එක්සත් ජනපද දරිද්‍රතා වාර්තාව සහ ඔබාමාගේ "සුවපත් වීම”

The US poverty report and the Obama “recovery”

15 September 2012

එක්සත් ජනපද සංගනන කාර්යාංශය විසින් බදාදා නිකුත් කරන ලද දරිද්‍රතා වාර්තාව, තමන් ආර්ථිකය "සුවපත් වීමක්” අධීක්ෂනය කරමින් සිටින බවටත් සාමාන්‍ය ඇමරිකානුවන්ගේ ජීවිත වැඩිදියුනු කිරීමට කටයුතු කරන බවටත් ඔබාමා පාලනාධිකාරයේ කියාපෑම් යලි වතාවක් කුඩුපට්ටම් කර තිබේ.

ආන්ඩුව විසින් දුප්පතුන් ලෙස වර්ගීකරනය කෙරුනු ජන සංඛ්‍යාව තවමත් 2011 පැවති වාර්තාගත ඉහල මට්ටම්වල පවතින අතර ධනවතුන් හා දුප්පතුන් අතර පරතරය තව දුරටත් පුලුල් වී ඇති බව වාර්තාව එලිදරව් කලේය. 2011 දී මිලියන 46.2ක් නිල දරිද්‍රතා රේඛාවෙන් පහල සිටියේය. එය වනාහි අඩ සියවසකටත් වැඩි කාලයක් තුල පැවති ඉහලම අගයයි. 2010න් පසුව අතිමූලිකව නොවෙනස්ව පවතින, සියයට 15ක් වන දරිද්‍රතා අනුපාතය 1983න් පසුව එතෙක් පැවති ඉහලම අගයයි.

දරිද්‍රතාවයේ බලපෑම විශේෂයෙන් ම තරුනයන් සඳහා ව්‍යසනකාරීය. 2011 දී ඇමරිකානු දරුවන්ගෙන් පහෙන් එකක් දරිද්‍රතාවයේ ගිලී සිටියේය. සිය දෙමව්පියන් සමග ජීවත් වන වයස 25 සිට 34 දක්වා වූ වැඩිහිටි තරුනයන් අතර දරිද්‍රතා අනුපාතය, ඔවුන්ගේ ආදායම මත පමනක් සැලකූ කල, සියයට 43.7ක් විය.

මෙම සියලලු සංඛ්‍යා සැබෑ දරිද්‍රතා මට්ටම බෙහෙවින් අඩුතක්සේරු කිරීමකි. ඒ මක් නිසාද කියතොත්, සිවු දෙනෙකුගෙන් යුක්ත පවුලක් සඳහා ඩොලර් 23,021ක වාර්ෂික ආදායමක් මත පාදක වන, ආන්ඩුවේ දරිද්‍රතා රේඛාව, විකාර සහගත ලෙස පහල අගයකි.

මධ්‍යස්ථ කුටුම්භ ආදායම, උද්ධමනය සැලකිල්ලට ගෙන සැකසූ කල, පෙර වසරේ සිට සියයට 1.5කින් වැටී ඇති බව සංගනන දත්ත පෙන්නුම් කලේය. එම අගය 2007 මට්ටමේ සිට සියයට 8.1ක වැටීමක් ද 1999 දී පැවති එහි ඉහලම අගයේ සිට සියයට 8.9ක වැටීමක් ද වාර්තා කලේය. 2011 දී සාමාන්‍ය එක්සත් ජනපද පවුලක ආදායම අඛන්ඩ සිවු වන වසරටත් වැටුනු අතර 1995න් පසු නොදුටු මට්ටම් කරා පහල වැටුනි.

කුටුම්භ ආදායම තව දුරටත් වැටීම සඳහා බලපෑ ප‍්‍රධාන සාධකයක් වූයේ වැටුප් කඩාවැටීමයි. අධීක්ෂක මට්ටමෙන් පහල කම්කරුවන්ගේ සාමාන්‍ය සතිපතා වැටුප්, උද්ධමනය අනුව සැකසූ කල, සියයට 0.3කින් වැටුනි. වැටුප් කප්පාදුව සඳහා වූ ජාතික පරිමාන ව්‍යායාමයේ බලපෑම වඩාත් පැහැදිලිව පිලිබිඹු වූයේ, පූර්න කාලීන රැකියාවන්හි නියුතු අඩුම ආදායම් ලබන කන්ඩායමේ කම්කරු සංඛ්‍යාව සියයට 17.3කින් පිම්මේ ඉහල නැගීම තුලය.

මහා ආර්ථික පසුබැස්ම තුල නිර්මානය කෙරුනු නව රැකියාවන්ගෙන් සියයට 58ක්, ඩොලර් 7.69 සිට ඩොලර් 13.83 දක්වා ගෙවන, අඩු වැටුප් සහිත රැකියා බව ජාතික සේවා නියුක්ති නීති ව්‍යාපෘතිය මෑත දී වාර්තා කලේය.

වැටුප් කැපීමේ ව්‍යාපාරය ආරම්භ කලේ, 2009 දී ජෙනරල් මෝටර්ස් හා ක‍්‍රයිස්ලර් සමාගම් ඇප දී ගලවාගැනීමේ සිය වැඩපිලිවෙලේ කොටසක් ලෙස අලුතෙන් බඳවා ගන්නා කම්කරුවන්ගේ වැටුප් මත සියයට 50ක පුලුල් පරිමාන කප්පාදුවක් පැනවූ ඔබාමා පාලනාධිකාරය විසිනි.

ඊනියා ආර්ථික සුවපත්වීමේ දෙවන වසර වන 2011 දී ආදායම් විෂමතාව වාර්තාගත මට්ටම්වලට වර්ධනය වීම, එම ඊනියා සුවපත්වීමේ සැබෑ ස්වභාවය අවධාරනය කරයි. රටක සමාජ අසමානතාවයේ මට්ටම මනින ගිනි සංගුනකය 1993 තරම් ඈතට දිවෙන වාර්තාගත ඉහලම අනුපාතිකයන්ගෙන් වර්ධනය වී තිබේ.

එක්සත් ජනපද කුඩුම්භ, ආදායම් මට්ටම් අනුව කොටස් පහකට බෙදූ කල, එයින් මධ්‍යම හා සිවු වන කොටස්වල ඒකාබද්ධ ආදායම් පංගුව පහල බැස ඇත. ඉහලම පහෙන් කොටස සඳහා එය සියයට 1.6කින් ඉහල නැගුනි. එම කොටස තුලම, ඉහල සියයට 5 සඳහා ඒකාබද්ධ ආදායමේ පංගුව සියයට 4.9කින් නැග තිබේ. ඉහලම සියයට 1 සිය ආදායමේ සියයට 6ක නැගීමක් අත් විඳ ඇත.

ඇමරිකානුවන්ගේ දෙවන හා තුන් වන පහෙන් කොටස දැන් ජාතික ආදායමෙන් භූක්ති විඳින්නේ සියයට 23.8ක් පමනි. එය 1960 ගනන්වල ජොන්සන් පාලනාධිකාරය පැවති සමයෙන් පසුව මෙතෙක් පැවති පහලම අගයයි.

පසුගිය වසර අග වන විට, එනම්, වෝල් වීදියේ කඩාවැටීමෙන් වසර තුනකට වැඩි කාලයකට පසුව සහ ඔබාමා පාලනාධිකාරය බලයට පැමිනීමෙන් පූර්න වසර තුනකට පසුව, මෙම වාර්තාව විසින් පෙන්නුම් කෙරෙන චිත‍්‍රය, පුලුල් මහජනතාව සඳහා වැඩෙන සමාජ ව්‍යසනයත් සමාජයේ ඉහලම කොටස් සඳහා පුලුල් වන ධනයත් පිලිබඳ චිත‍්‍රයකි. කෙසේවෙතත්, සිය පිලිවෙත් පිලිබඳ සනාථනයක් ලෙස වාර්තාවට හුරේ දැමීම පිනිස, 2010 සිට දරිද්‍රතා අනුපාතය නොවෙනස්ව පැවතියේ ය යන කරුන, ඔබාමා පාලනාධිකාරය ඩැහැගෙන තිබේ.

එවන් ප‍්‍රකාශ තුල පිලිබිඹු වන, කම්කරු පන්තියේ ඉරනම පිලිබඳ කෲර නොතැකීම පසෙකින් තැබූ කල, ඒවායේ යම් සත්‍යයක් අඩංගු වේ. සංගනන වාර්තාවේ නිගමන තුල පිලිබිඹු වන සමාජ ව්‍යසනය, අහිතකර ආර්ථික බලවේගවල හුදු ප‍්‍රතිඵලයක් නොව, බොහෝ සෙයින් ඔබාමා පාලනාධිකාරයේ පිලිවෙත්වල ප‍්‍රතිඵලයකි. ආරම්භයේ පටන්ම එම පිලිවෙත්වල සමස්ථ යොමුව වී ඇත්තේ, ජනගහනයේ බහුතරයේ වියදමින් එක්සත් ජනපද සංගත ප‍්‍රභූවේ ධනය ආරක්ෂා කිරීම සහ වර්ධනය කිරීමයි.

බුෂ් යටතේ ආරම්භ කෙරුනු වෝල් වීදියේ බැංකු ඇප දී ගලවා ගැනීමේ වැඩපිලිවෙල පුලුල් කිරීමට ඔහු කටයුතු කරන තතු තුල පවා, ඔබාමා, පොදු වැඩ ව්‍යාපෘති වැනි රැකියා නිර්මානය කිරීමේ මොන යම් හෝ ආන්ඩුවේ වැඩසටහන් හෝ උගස් කෙරුනු සිය නිවාස අහිමි වීමට හෝ මූලික උපයෝගිතා සේවාවන් කපාදැමීමට මුහුන දෙන රැකියා විරහිතයන්ට හෝ සංඛ්‍යාවෙන් වැඩෙන දුගී ජනයාට හා මන්දපෝෂනයෙන් පෙලෙන ජනයාට සහන සැලසීමේ මොන යම් හෝ බැරැරුම් ව්‍යාපෘති එක හෙලා ප‍්‍රතික්ෂේප කලේය.

ප‍්‍රතිකූල ලෙස, ඔහු 700,000කට ආසන්න ආන්ඩුවේ රැකියා විනාශය සහ සමාජ සේවාවන් මෘග ලෙස කපාදැමීම අධීක්ෂනය කලේය.

ලක්ෂ සංඛ්‍යාත දිගු කාලීන රැකියා විරහිතයන්ගේ විරැකියා ප‍්‍රතිලාභ අහෝසි වීමට ඔහු ඉඩ හැරියේය. එක තක්සේරුවකට අනුව, 2011 දී විරැකියා ප‍්‍රතිලාභවලින් ඩොලර් බිලියන 36ක් කපා දැමීම දරිද්‍රතා අනුපාතයට සියයට 0.3ක් එකතු කලේය.

2012 දී, මහා අවපාතයෙන් පසුව මෙතෙක් පැවති දරුනුම රැකියා අර්බුදය මධ්‍යයේ, ඔබාමා සහ කොංග‍්‍රස් මන්ඩලයේ පක්ෂ දෙකම, විරැකියා දීමනාවන්ට එරෙහි සිය ප‍්‍රහාර උත්සන්න කලේ, ප‍්‍රතිලාභ දීර්ඝ කල හැකි උපරිම කාල සීමාව සති 99 සිට සති 66 දක්වා කප්පාදු කරමිනි. නොවැම්බර් මැතිවරනයෙන් කුමන පක්ෂය ජයගත්තත්, ෆෙඩරල් ව්‍යාප්ත විරැකියා ප‍්‍රතිලාභ වැඩපිලිවෙල මෙම වසර අගදී අහෝසි වී යාමට ඉඩ හරිනු ඇත යන්න පිලිබඳව සෑම ඇඟවුමක්ම පවතී.

මෙය වනාහි, ධනපති ක‍්‍රමයේ අර්බුදයේ මුලු බර ම කම්කරු පන්තිය මත පැටවීමේ අභිප‍්‍රායෙන් යුක්ත, කප්පාදු පිලිවෙත් උත්සන්න කිරීමේ කොටසක් වනු ඇත.

ඒ අතරතුර, බැංකුවලට සහ හෙජ් අරමුදල්වලට මුක්කු ගැසීම ද කොටස් වෙලඳ පොලට හා සංගත ලාභවලට රුකුල් දීම ද පිනිස මූල්‍ය වෙලඳ පොලවල් තුලට මහජන අරමුදල්වලින් තවත් ටි‍්‍රලියන ගනන් පොම්ප කෙරෙනු ඇත. වෝල් වීදියට හා ඇමරිකානු සංගතවලට තථ්‍ය ලෙස ම නොමිලේ මුදල් සැපයීම පිනිස ඩොලර් නෝට්ටු අලූත් වටයකින් මුද්‍රනය කරන බවට බ‍්‍රහස්පතින්දා ෆෙඩරල් රිසර්ව් බැංකුව කල නිවේදනයේ අර්ථභාරය මෙයයි.

සංගනන වාර්තාව අවධාරනය කරන්නේ, හුදෙක් එක පාලනාධිකාරයක හෝ එක පක්ෂයක නොව, මහ ව්‍යාපාරික පක්ෂ දෙකම විසින් සේවය කරනු ලබන ධනපති ක‍්‍රමයේ ම අසාර්ථකත්වයයි. ඔබාමා හා රොම්නි අතර, ඩිමොක‍්‍රැටිකයන් හා රිපබ්ලිකන්වරු අතර, තරගය, කම්කරු පන්තියට විකල්පයක් සම්පාදනය නොකරයි.

මහජන විරැකියාවේ, වැටුප් කප්පාදුවේ, දරිද්‍රතාවයේ හා සමාජ අසමානතාවයේ චක‍්‍රය අවසන් කිරීම ඉල්ලා සිටින්නේ, සමාජය මත පවතින මූල්‍ය ප‍්‍රභූවේ බල ග‍්‍රහනය බිඳදැමීමේ ද සමාජ අවශ්‍යතා පුද්ගලික ලාභවලට යටත් කරන ධනපති ක‍්‍රමය, කම්කරු පන්තිය විසින් නිර්මානය කරනු ලබන ධනය පොදු යහපත සඳහා යොදා ගන්නා සමාජවාදයෙන් විස්ථාපනය කිරීමේ ද අරගලයකි.

කම්කරු පන්තිය, කම්කරු ආන්ඩුවක් සඳහා සටන් වදිනු පිනිස, සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම් වූ, තමන්ගේම දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුය. මෙය වනාහි, මැතිවරනයේ දී සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි ජනාධිපති හා උප ජනාධිපති අපේක්ෂකයන් වන ජෙරී වයිට් හා පිලිස් ස්චෙරර් විසින් ඉදිරිපත් කරනු ලබන වැඩපිලිවෙලයි.

සසප හා එක්වීම පිලිබඳ වැඩි විස්තර සඳහා මෙහි ක්ලික් කරන්න.

ආන්ඩෙ‍්‍ර ඩාමොන් සහ බැරී ග්‍රේ

Share this article: