පක්ෂ සම්මේලනවලින් අනතුරුව: 2012 මැතිවරනයේ දේශපාලන ප‍්‍රශ්න

After the conventions: The political issues in the 2012 elections

10 September 2012

ඇමෙරිකානු ධනවාදයේ නිල ධනපති පක්ෂ යුගලය වන ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ ඒවායේ ජාතික සම්මේලන දෙක අවසන් කල අතර නොවැම්බර් 06 වෙනි දිනට පැවැත්වීමට නියමිත මැතිවරන සඳහා තමන්ගේ අපේක්ෂකයින් නිල වශයෙන් තෝරා පත් කර ගත්තේ ය. දෙසතියක කලින් සකසා ගත් සන්දර්ශන හා මාධ්‍ය හුරේ දැමීම් මධ්‍යයේ ඇමෙරිකානු මහජනයා මුහුන දී සිටින අතිමූලික ප‍්‍රශ්න පිලිබඳ කවර හෝ බරපතල සාකච්ඡාවක් මග හැරවීමට සම්මේලනයන්ට හැකි විය.

දැන් මේ ගෙවෙමින් තිබෙන්නේ, 1930 ගනන්වලින් මෙපිට දැවැන්තම ලෝක ආර්ථික අර්බුදයට ආරම්භය දුන්, ඇස් මානයේ නිමාවක් නොපෙනෙන, 2008 වසරේ මූල්‍යමය බිඳවැටීමේ සිට සිව් වන වසර ය. යුරෝපයේ රටවල් එක් අර්බුදයක සිට තවකෙකට ද බැංකු ඇපබැඳීමක සිට තවකෙකට ද පැද්දෙ යි. චීනය, ඉන්දියාව හා බ‍්‍රසීලය තුල නිෂ්පාදන තියුනු ලෙස මන්දගාමී වෙමින් පවතී. ආර්ථික "පුනස්ථාපනයක්” පිලිබඳව ඔබාමා පාලනාධිකාරියේ මවාපෑම් වංචාවක් බව හෙලිදරව් කරමින් පසුගිය 07 දින ලේබර් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කෙරුනු විරැකියාව පිලිබඳ ඛේදජනක වාර්තාවෙන් අවධාරනය කෙරුනේ, එක්සත් ජනපදය නිමාවක් නැති රැකියා අර්බුදයක එරී ඇති බවයි.

"නව සාමාන්‍ය ය” වන්නේ දැවැන්ත පරිමාන විරැකියාව, දරිද්‍රතාව, කෙලවරක් නැති යුද්ධ, වඩාත් මූලික ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් කාබාසිනියා කිරීම යන මේවා යි. පැතිර පවත්නා කොන්දේසි ධනවාදී පද්ධතිය සම්බන්ධයෙන් ගත් කල පිලිතුරු බැඳිය නොහැකි චෝදනා පත‍්‍රයක් ලෙස නැගී සිටින අතර එහි විකල්පය, එනම් "සමාජවාදය” සඳහා අවශ්‍යතාව ඉස්මත්තට ගෙන එයි.

සම්මේලන ඒවාටම ආවේනික ආකාරයෙන් හෙලිදරව් කරන්නේ පක්ෂ දෙක විසින් ඒකාබද්ධව ආරාක්ෂා කරන ආර්ථික පද්ධතියේ බංකොලොත් බව යි. දෙසතියක සිදුවීම් මාලාවේදී, ඩිමොක‍්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් ඔවුන්ගේ වාචාල සන්දර්ශනවලදී එකෙක් පරයා එකෙක් තරග කරමින් ඇමෙරිකානු මහජනයා වෙත දීමට තමන්ට කිසිවක් නැති ය යන කරුන වහංගු කිරීමේ එල්ලයෙන් යුතුව බේගල් ඇද බෑවෝ ය.

බොහෝ අංශයන්හි දී, මහජනතාව ප‍්‍රතිචාර දක්වන්නේ උදාසීන ලෙසිනි. විඩාපත් කෙරෙන පූච්චානම් හා හිස් දෙඩවිලි සහිත මේ රංගනය බොහෝ වාරයක් රඟ දක්වා තිබේ. පක්ෂ දෙකේ ප‍්‍රමුඛ පුද්ගලයින්ගේ දේශපාලන හුලංමලු පිම්බීමේ වෑයමක මාධ්‍යය නොකඩවා නිරතව සිටී.

සෑම පක්ෂයකටම මුසාවාද පිලිබඳ ඔවුන්ටම ආවේනික වූ ක‍්‍රමයක් පවතී. ඔබාමා පාලන තන්ත‍්‍රයේ සිව්වසරක කාල පරිච්ඡේදයෙන් අනතුරුව පැතිර පවත්නා අතෘප්තිය පිලිබඳ හඟිමින් රිපබ්ලිකානුවන් වෑයම් කරන්නේ ඔවුන් ක‍්‍රියාවට දැමූ ප‍්‍රතිගාමී නිදහස්-වෙලඳපොල ප‍්‍රතිජීවකය හා රැකියා අර්බුදයට විසඳුමක් වසයෙන් සංගත හා ධනවතුන් සඳහා බදු කපා දැමීමේ වැඩසටහන යන ඒවායින් තමන්ගේ අත හෝදාගැනීමට ය. ඔබාමාගේ දැවැන්ත මෙඩිකෙයා කප්පාදු පිලිබඳ ඔවුනගේ නරුම විවේචනයන් එම වැඩසටහන මුලුමනින් ම සුනු විසුනු කර දැමීම සඳහා කෙරෙන ඔවුන්ගේම යෝජනාවන් සමග මුසු කරයි. ඔවුන්ගේ ඡන්ද අපේක්ෂකයා වන, පෞද්ගලිකව ගත් කල මූල්‍යමය වංශාධිපතියෙක් වන මිට් රොම්නි, පෞද්ගලික ව්‍යාපාර වස්තු සමපේක්ෂකයෙක් හා දේපල පැහැරගන්නෙක් වශයෙන් ගොඩගසා ගත් ඩොලර් මිලියන 200ක වාසනාවකට හිමිකම් කියන්නෙකි.

එකී මූලික පන්ති අවශ්‍යතාවන් ම ආරක්ෂා කරන අතරතුර තමන් "ජනතා හිතවාදී” යැයි පෙන්නුම් කිරීමට දරන වෑයමක් තුල ඩිමොක‍්‍රටියකයෝ තරමක වෙනස් පූච්චානමක් යොදා ගැනේ. ඔවුන්ගේ ම වාර්තාව පිලිබඳ විවේචනයන් වෙනතක හරවනු වස් ඔවුන් වෝල්වීදීයේ හා බැංකුවල විරුද්ධවාදීන් වශයෙන් කුහක මවා පෑමක යෙදේ. ධනවතුන්ට හා ඔවුන්ගේ රිපබ්ලිකානු සහායකයන්ට විරුද්ධව සාමාන්‍ය මහජනයා වෙනුවෙන් පාලනාධිකාරිය විසින් ගෙනගිය වික‍්‍රමාන්විත අරගලයක් වශයෙන් පසුගිය සිව් වසර පෙන්වා දෙමින් ඔබාමා හා හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් ඇතුලු සම්මේලනයේ මූලික කථිකයෝ ප‍්‍රබන්ධ කතාවක් විස්තාරනය කලෝ ය. ඔබාමා, ඔහුගේ කාර්යභාරය සැපීරීමට "තවකල්” අවශ්‍ය ය යන තැනට විවාදය ගෙන ගියේය.

ඩිමොක‍්‍රටිකයන්ගේ මවාපෙන්වීම පසුගිය සිව් වසරේ තත්‍ය වාර්තා සමග ගත් කල සම්පූර්නයෙන් ම විරුද්ධ පැත්තෙන් නැගී සිටියි. උදාහරනයක් ලෙස, ඩිමොක‍්‍රටිකයන් "විශ්වාස කරන්නේ, ඉහල විධායක නිලධාරියෙකු රථවාහන කම්කරුවන්ට ඔවුන් තැනූ මෝටර් රථයක් මිලදී ගැනීමට ප‍්‍රමානවත් තරමට වැටුප් ගෙවන විට මුලු සමාගම ම යහමින් ක‍්‍රියාත්මක වන බව” යැයි ඔබාමා කීවේ ය. අලුතෙන්-බඳවා ගන්නා කම්කරුවන්ට සියයට 50ක වැටුප් කප්පාදුවක් පිලිගැනීම මත මෝටර් රථ කර්මාන්තය ප‍්‍රතිව්‍යුහගත කිරීමට කොන්දේසි සැකසූවේ ද මේ පාලනාධිකාරය ම ය.

ධුරයට පැමිනි තැන් පටන් ම, ඔබාමා පාලන තන්ත‍්‍රය සංගත හා මූල්‍ය කතිපයාධිකාරියේ අවශ්‍යතාවන් රැක ගැනීමට එයට හැකි සෑම දෙයක්ම කර තිබේ. කිසිදු කොන්දේසියකින් තොරව ටි‍්‍රලියන ගනනක මුදලක් බැංකුවලට පුද දුනි. සාපරාධිත්වය හා දැවැන්ත පරිමානයේ දූෂනය මත අර්බුදයට පාර කපා තිබුන ද කිසිදු වගකිව යුත්තෙකු නැති අතර එකදු බැංකුකරුවෙකුට හෝ දඬුවම් ලබා දී නැත. රැකියා නැති වූ හෝ තමන්ගේ නිවෙස්වලින් එලියට ඇද දමනු ලැබූ මිලියන සංඛ්‍යාත ජනතාවට සහාය වන කිසිවක් සිදු කොට නැත.

විශේෂයෙන් ම විෂකුරු හා අශික්කිත ස්වෝත්තමවාදී ස්වරූපයක් එහි ප‍්‍රචාරන වැඩසටහනට ඈඳා ගනිමින් පාලනාධිකාරය ඔසාමා බින් ලාඩ්න්ගේ ලේ වැකුනු කමිසය වනමින් සිටී. නීතියට පිටතින් බින් ලාඩ්න් ඝාතනය කිරීම නිර්ලජ්ජිතව ඔජවඩවමින් ඇත්තේ ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවන් ආරක්ෂා කිරීමේ දී පාලන තන්ත‍්‍රය දක්වන නිර්දයභාවය පෙන්වන සාක්ෂියක් වශයෙනි.

එක් රටකට පසු තවෙකක් ඉලක්ක කරමින් එක්සත් ජනපදය නිමක් නැති යුද්ධයක නිමග්නව සිටී. මැතිවරනය පැවැත්වෙන්නේ ඉරානයට එරෙහි අනිවාර්ය යුද්ධයක තර්ජනය මධ්‍යයේ ය. ඇමෙරිකානු පාලක පන්තිය ගොඩබිම, මුහුද හා ගුවනේ සෑම අඟලකම එහි අධිකාරය සහතික කරගැනීමට දරන වෑයම නිසාවෙන් එක්සත් ජනපදය හා චීනය හෝ රුසියාව සමග අනාගත යුද්ධයක පැටලීමේ අනිවාර්යතාව ඇස්මානයේ පෙනෙන්නට තිබේ.

ඇමෙරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවතින්නේ කුනුවීමේ ඉහලම අදියරක ය. "ඔබේ තේරීම, ඔබේ ඡන්දය” යන මාධ්‍ය විසින් මතුරන මන්ත‍්‍රය අමු ප්‍රෝඩාවකි. යතාර්ථයේදී, ජනතාව කිසිවක් තීන්දු කරන්නේ නැත. මැතිවරන ක‍්‍රියාදාමය පාලනය කරන්නේ යෝධ සංගත, වෝල් වීදිය හා සුපිරි ධනවතුන් විසිනි. මොවුන් ද්වි-පක්ෂ ක‍්‍රමය පාලනය කරන බලවේග වන අතර කවර අපේක්ෂකයෙක් ජයග‍්‍රහනය කලේ වුවත් ආන්ඩුවේ පිලිවෙත තීන්දු කරන්නේ ද මොවුන් ය.

2008 වසරේ දී ඔබාමාගේ ජයග‍්‍රහනයේ ප‍්‍රතිපලය මෙයට දෙස් දෙයි. මැතිවරනයෙන් අනතුරුව පැමිනි වෙනස්කම් හුදෙක්ම සැරසිලි ය. සාරයෙන් ගත් කල, වෛරී සහගත බුෂ් පාලනාධිකාරියේ පිලිවෙත්වල භයානකම දේවල් එක්කෝ දිගටම පවත්වා ගෙන තිබේ, නැතිනම් උත්සන්න කර තිබේ.

ධනවතුන් තව තවත් ධනවත් වී ඇත. කම්කරු පන්තියේ තත්වය අතිශය නරක අතට හැරී තිබේ. මිලිටරිය විසින් කිසිදා නොවූ ආකාරයේ බලයක් රාජ්‍යය මත යොදමින් සිටී. කිසිදු දඬුවමක් නොලබාම සීඅයිඒ සිය සාපරාධී මෙහෙයුම් සිදු කරයි. නීතිමය විමර්ශනයක ඇඟවීමකින් හෝ තොරව එක්සත් ජනපද පුරවැසියන් ඇතුලු ඕනෑම තැනක සිටින ඕනෑම අයෙකු මරා දැමීමට ඇති අයිතිය සහතික කිරීමේ දී පසුගිය වසර හතරක කාල සමය තුලදී ඔබාමා ඔහුගේ පූර්වප‍්‍රාප්තිකයා ද ඉක්මවා ගොස් තිබේ.

ඔබාමාගේ ප‍්‍රතිගාමී වාර්තාව හුදෙක් සරලවම පිලිබිඹු කරන්නේ එක් පාලන තන්ත‍්‍රයක් නොව එය විසින් ආරක්ෂා කරන සමස්ත සමාජ පද්ධතිය ම යි. ධනවාදය අසමත්ව තිබේ. සැබෑ විකල්පයක් අත්‍යවශ්‍ය ය.

සමාජවාදී සමානතා පක්ෂය හා එහි ජනාධිපති හා උප ජනාධිපති අපේක්ෂකයින් වන ජෙරී වයිට් හා පිලිස් ෂෙරර් මැතිවරනවලදී මැදිහත් වන්නේ විප්ලවවාදී සමාජවාදී වැඩසටහනකින් කම්කරු පන්තිය සන්නද්ධ කිරීමට ය. අපගේ වැඩපිලිවෙල සඳහන් කරන්නේ එක්සත් ජනපදයේත් ජාත්‍යන්තරවත් කම්කරු පන්තිය අභිමුඛව සිටින අර්බුදයට ඇති එක ම විසඳුම සඳහා පූර්වාවයවය වන්නේ ආර්ථික ජීවිතය රැඩිකල් සහගත ලෙස ප‍්‍රතිසංවිධානය කිරීමත් බැංකු හා සංගතයන් හි ඒකාධිකාරිය නිමාවට පත් කිරීමත් සැබෑ සමානතාව ස්ථාපිත කිරීමත් ය.

සසප, කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව මත පදනම්වූ විප්ලවවාදී ක‍්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරයි. මහජන අයිතියට යටත් කෙරුනු හා පෞද්ගලික ලාභය සඳහා නොව සමාජ අවශ්‍යතාවල පදනමේ ප‍්‍රජාතන්ත‍්‍රීය ලෙස පාලනය කෙරෙන ව්‍යවසායන් බවට මහා සංගතයන් පරිවර්තනය කිරීමට අපි කැඳවුම් කරන්නෙමු. මනා-වැටුප් සහිත රැකියාවක්, ගුනාත්මක සෞඛ්‍යය සේවයක්, වියදම දැරිය හැකි අධ්‍යාපනයක් යන කම්කරු පන්තියේ අයිතීන් මූල්‍යමය කතිපයාධිකාරියේ බලය හා වරප‍්‍රසාදවලට එරෙහි සටනකින් තොරව ආරක්ෂා කරගත නොහැකි ය.

මෙම වැඩපිලිවෙල සාක්ෂාත් කර ගත හැකි වන්නේ මහජන අරගලය හරහාම පමනි. සංගත හා බැංකුවල ආඥාවන්ට එරෙහිව අරගලය කිරීමට සෑම රටකම කම්කරු පන්තිය ආරම්භකත්වය ගනිමින් සිටියි. ඩිමොක‍්‍රටික් පක්ෂය හා එහි "වාම” ආධාරකරුවන් සමග අත්වැල් බැඳගනිමින් විවෘත පන්ති ඝට්ටනය මෙල්ල කිරීමට හා මැඩීමට වෘත්තීය සමිතිවලට තිබූ ශක්‍යතාව සීග‍්‍රයෙන් මැකී යමින් තිබේ. එලෙස ම, ධනවාදී පද්ධතිය කෙරේ ඇමෙරිකානු ජනතාවගේ විශ්වාසය දැවැන්ත ලෙස ඛාදනය වී ඇත.

පවත්නා දේශපාලන පද්ධතිය තුල කිසිවක් අත්කර ගත නොහේ. සමානතාව, සාමය හා ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් උදෙසා සටන් වැදීම යනු සමාජවාදය සඳහා සටන යි. එහෙත් මෙය අත් කර ගත හැකිවන්නේ ද්වි-පක්ෂ ක‍්‍රමයෙන් බිඳී වෙන් වී ගැනීමෙන් හා කම්කරු පන්තිය ස්වාධීනව දේශපාලනිකව බලමුලු ගැන්වීමෙන් ම පමනි.

සමස්ත රටෙහිම කම්කරුවන් හා තරුනයින්ගෙන් සසප ඉල්ලා සිටින්නේ අපගේ ඡන්ද අපේක්ෂකයින් වෙත ඡන්දය ප‍්‍රකාශ කරන ලෙස යි. ඇතැම් ප‍්‍රාන්තවල වයිට් හා ෂෙරර් ඡන්ද ලැයිස්තුවේ සිටිනු ඇත. අතිශය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ඡන්ද නීති නිසාවෙන් ලියා ඡන්දය පල කිරීමට බොහෝ ප‍්‍රාන්ත රාජ්‍යවල අපගේ ආධාරකරුවන්ට සිදු වෙනු ඇත. වයිට් හා ෂෙරර් වෙත පල කරන සෑම ඡන්දයක් ම සමාජවාදය සඳහා දෙන පන්ති-සවිඤ්ඤානික ඡන්දයකි.

කෙසේවෙතත් අපට ඡන්දවලට වඩා වැඩි යමක් අවශ්‍ය ය. සසප උද්ඝෝෂනයේ කේන්ද්‍රීය ඉලක්කය වන්නේ කම්කරු පන්තිය තුල විප්ලවවාදී නායකත්වයක් ගොඩ නැගීම යි. පසුගිය සිව්වසරේ අත්දැකීම්වලින් අත්‍යවශ්‍ය දේශපාලන නිගමන උකහා ගත් සියලු දෙනාගේ ක‍්‍රියාකාරී සහයෝගය මෙය ඉල්ලා සිටී. සමාජවාදය ස්වයංක‍්‍රීයව පහලවෙන්නේ නැත. ඒ උදෙසා සටන් වැදිය යුතුය. සමාජවාදී සමානතා පක්ෂයට බැ‍ඳෙමින් මෙම අරගලය ඉදිරියට ගෙන යාමේ තීන්දු ගන්නා ලෙස සසප උද්ඝෝෂනය අනුමත කරන සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටින්නෙමු.

ජෝසප් කිෂෝර්

Share this article: