චිකා‍ගෝ ගුරුවරුන්ට ජයග්‍රහනය!

Victory to the Chicago teachers!

13 September 2012

චිකාගෝහි රජයේ පාසැල් ගුරුවරුන් 26,000ක් දියත්කර ඇති වැඩවර්ජනය එක්සත් ජනපදය හා ලෝකය පුරා කම්කරු පන්තියට ඉතා වැදගත් පාඩමක් ගෙන එයි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා සමාජවාදී සමානතා පක්ෂය වැඩවර්ජිත ගුරුවරුන් සමග එක පෙලට සිටින අතර රටේ හා ලෝකය පුරා කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඔවුන්ගේ අරගලයට සහාය දක්වන ලෙස ඉල්ලා සිටියි.

මාධ්‍ය හා මූල්‍ය වංශාධිපතීන් සමග එක්ව රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් යන ව්‍යාපාරික පාලනයට යටත් පක්ෂ දෙකේ කඩාපැනීම් චිකාගෝහි ගුරුවරුන් විසින් දිරිමත් ලෙස බිඳ දමා ඇත. කෙතරම් වැදගත් වුවත් ඔවුන් සටන් වදින්නේ, තම රැකියා, ජීවන තත්වයන් හා සේවා කොන්දේසි සඳහාම නොවේ. ඔවුන් සටන් වදින්නේ මූලධර්ම වෙනුවෙනි. එනම් රජයේ පාසැල් ආරක්ෂා කිරීමට හා යහපත් අධ්‍යාපනයක් ලැබීමට තරුනයින්ට ඇති අයිතිය වෙනුවෙනි.

මෙම වැඩවර්ජනය ඇමරිකානු කම්කරු පන්තිය හා ඔබාමා පාලනය අතර පලමු ප්‍රධාන ගැටුමයි. ඔබාමාගේ හිටපු ධවල මන්දිර කාර්යමන්ඩල ප්‍රධානියා වූ වත්මන් නගරාධිපති රාම් එමෑනුවෙල් සමග චිකාගෝහි හිටපු රජයේ පාසැල් ප්‍රධානියා වූ වත්මන් අධ්‍යාපන ලේකම් අර්නි ඩන්කන් හරහා ආන්ඩුව තම මැදිහත්වීම් සෘජුව ම සම්බන්ධීකරනය කරයි.

12දා වොෂින්ටන් පෝස්ට් පුවත්පතට අනුව, "පරිපාලන නිලධාරීහු සිදුවීම් සමීපව නිරීක්ෂනය කරමින් ඉක්මන් විසඳුමක් සඳහා වෙහෙස නොබලා කටයුතු කරති. චිකාගෝහි පාසැල් පද්ධතියේ හිටපු ප්‍රධාන විධායක ඩන්කන්, ඇමරිකානු ගුරු සම්මේලනයේ සභාපති රැන්ඩි වේන්ගාටන් සමග නිරන්තර දුරකථන සම්බන්ධතා පවත්වයි. වැඩවර්ජනයක් ඇතිවීමට යන බව පැහැදිලිව පෙනෙන්නට පටන්ගැනීමත් සමග පසුගිය 09දා සම්මේලනයේ නිලධාරීන්, යලි පත්වීම සඳහා ගෙනයන ඔබාමාගේ මැතිවරන ව්‍යාපාරයට එක්වෙමින් ජනාධිපතිගේ කන්ඩායමට තල්ලුවක් සැපයූ බව තතු දන්නා අය පැවසූහ.”

රජයේ පාසැල් නගාසිටුවීම සඳහා අවශ්‍ය කෙරෙන "ප්‍රතිසංස්කරන” වල වරුද්ධවාදීන් ලෙස ගුරුවරු පින්තාරු කරමින් ව්‍යාපාර පාලනයට යටත් ඇමරිකාවේ ජනමාධ්‍ය, දශ ලක්ෂපතියෙකු වන නගරාධිපති එමෑනුවෙල් දරුවන්ගේ හා දෙමව්පියන්ගේ නියෝජිතයෙක් ලෙස පින්තාරු කරයි.

නිතරම ඔබාමා පාලනයේ දේශපාලන මනෝගතිය ප්‍රකාශ කරන පුවත් පතක් වන නිව් යෝර්ක් ටයිම්ස්හි 12දා කතුවැකිය කැපී පෙනෙයි. "චිකාගෝ ගුරුවරුන්ගේ මොට්ටකම” යන හෙලාදැකීමේ සිරස්තලයක් සහිතව කතුවැකිය පලවිය. ප්‍රමිතිකරන පරීක්ෂන මත පදනම් කල රැකියා අගැයීම් හා ජ්‍යෙෂ්ඨත්වය නොසලකා සිදුකරන බඳවා ගැනීම් කෙරෙහි ගුරුවරුන්ගේ විරෝධය හෙලා දකිමින් කතුවැකිය, වර්ජනය "අනුවනකමක්” ලෙස හැඳින්වීය.

යථාර්තය නම් එමෑනුවෙල් වැනි මහා ව්‍යාපාරික දේශපාලඥයින් හා ප්‍රාන්ත හා ෆෙඩරල් මට්ටමේ ඔවුන්ගේ ඩිමොක්‍රටික් හා රිපබ්ලිකානු අනුචරයින් විශේෂයෙන්ම පසුගිය තෙවසර පුරා රජයේ පාසැල් වලට එරෙහිව යුද්ධයක් ගෙනගොස් ඇතැයි යන්නය. චිකාගෝ ඩිමොක්‍රටික් යන්ත්‍රයේ නිමැවුමක් වන ඔබාමා ධවල මන්දිරයට පැමිනිතැන් පටන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ රැකියා ලක්ෂ තුනකට වැඩි ප්‍රමානයක් කපාහැර තිබේ. ඔහුගේ අධ්‍යාපන ලේකම් මුදුන කරා යන තරගය වැනි වැඩසටහන් සමගින් ප්‍රහාරයේ පෙරමුන ගත්තේය. මෙ මගින් පලාත් ආන්ඩුවල රැකියා අහෝසිකිරීමටත් වැටුප් හා සහන කප්පාදුවටත් පාසැල් පුද්ගලීකරනයටත් දිරිගැන්වීය.

ඩිමොක්‍රටිකයින් හා රිපබ්ලිකානුවන් සදොස් ලෙස හඳුන්වන "ප්‍රතිසංස්කරන” සැබවින්ම නම් සියවසකට වැඩි කාලයක් තිස්සේ කටුක අරගලයන් මගින් කම්කරු පන්තිය දිනාගත් ප්‍රධාන සමාජ ජයග්‍රහනයක් වන නිදහස් අධ්‍යාපනය බිඳ විසුරුවා හැරීමයි.

ධනේශ්වර පද්ධතියේ ම අර්බුදයේ නිමැවුමක් වන දුප්පත්කම, සාගින්න, මත්ද්‍රව්‍ය ඇබ්බැහිකම් හා ප්‍රචන්ඩත්වය වැනි බිහිසුනු සමාජ තත්වයන්ගේ බලපෑම නොතකා හරිමින් මහා ව්‍යාපාරිකයේ නියෝජිතයින් ප්‍රකාශ කරන්නේ, ගුරුවරුන්ගේ වැටුප් හා රැකියා තීරනය කල යුත්තේ සිසුන්ගේ විභාග ලකුනු ප්‍රමිතිකරනය මගින් බවය.

සිය පන්ති කාමර තුල සිසුන්ගේ දක්ෂතා හා අධ්‍යාපනය පිලිබඳ හැකියාව කෙරෙහි මෙම තත්වයන් ඇතිකරන බලපෑම ගැන ගුරුවරු හොඳින් දැනුවත්ය. මෙම තත්වයන්ගෙන් ‍සිසුන් ගොඩගැනීම සඳහා ඔවුන් සියලු උත්සාහය දරයි. එහෙත් තමන් ඇති නොකල පුලුල් සමාජ අර්බුදයේ ගොදුරු බවට තමන් පත්කිරීමට ඔවුහු නිවැරදි ලෙසම විරුද්ධ වෙති. සමාජ ජීවිතයේ සියලු අංශ මෙන්ම මහජන අධ්‍යාපන ක්ෂේත්‍රය ද ලාභයේ මූලාශ්‍රයක් බවට පත්කිරීමට ව්‍යාපාරික වංශාධිපතියන් අර්බුදය අල්ලාගෙන ඇත. එබැවින් පාසැල් පුද්ගලීකරනය කිරීම කරා යෙදෙන තල්ලුව දරුවන්ගේ ඉරනම ලාභය සඳහා වන බලයලත් පාසැල් අධිකාරීන් හා ආරක්ෂන අරමුදල් හා බිලියනපතියන් වන බිල් ගේට්ස් හා එලී බ්‍රෝඩ් වැනි ඔවුන්ගේ මූල්‍ය සම්පාදකයින්ගේ අනුකම්පාව මත තබනු ලැබේ.

ප්‍රමිතිකරන පරීක්ෂනයන්හි සිසුන් දස්කම් පෙන්වා ඇති ආකාරය ගැන ගුරුවරු "වගකිවයුතුවීම” ගැන කථාකරන අයගෙන් මේ ප්‍රශ්නය නැඟිය යුතුය. එනම්, මෙම ප්‍රශ්නය ධනේශ්වර ක්‍රමය සැබවින්ම පවත්වාගෙන යන අය විසින් නොව ඇමරිකානු කම්කරුවන් විසින් නැගිය යුත්තේ කුමක් නිසා ද යන්නයි.

තමන්ට මූල්‍ය අර්බුදය උරුම වූයේ බුෂ් පාලනයෙන් නිසා ඇමරිකාවේ වැඩෙන දරිද්‍රතාව හා මහජන විරැකියාව සම්බන්ධයෙන් තමන් වගකීමට බැඳිය නොහැකි බව ජනාධිපති බුෂ් පවසා ඇත. වෝල් වීදියේ කඩාවැටීමට තුඩුදුන් සාපරාධී මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් වගකිවයුතු එකදු බැංකුකරුවෙක්, ආරක්ෂක අරමුදල් බාරකරුවෙක් හෝ මූල්‍ය සමපේක්ෂකයෙක් වරදකරු කර නැත. ගල්ෆ් වෙරල තීරයේ තෙල් කාන්දුවට වගකිවයුතු බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගමේ එකදු විධායකයෙක් හෝ වරදකරු කර නැත. ඉරාක යුද්ධය, සීඅයිඒ හි වදක කඳවුරු වැනි අපරාධ සම්බන්ධයෙන් හෝ, බුෂ් මෙන්ම ඔබාමා පාලනය යටතේ ව්‍යවස්ථාමය අයිතීන් බිඳ දැමීමට වගකිවයුතු කිසිවෙකුත් වරදකරු කර ඇත්තේ ද නැත.

එහෙත් චිකාගෝහි ගුරුවරුන් වැඩ වර්ජනය කල විට සමස්ත එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතයම එක හඬින් ඔවුන් හෙලා දුටුවේ කාලයක් බියෙන් සිටි පහතින් පැනනැඟි කැරැල්ලකට වහල් හිමියන් ප්‍රතික්‍රියා කරන ආකාරයකට ය. රිපබ්ලිකානු උප ජනාධිපි අපේක්ෂක පෝල් රයන් අසාමාන්‍ය ප්‍රකාශයක් කරමින් තමන්ට රාම් එමෑනුවෙල් සමග දේශපාලන වෙනස්කම් තිබිය දී ම වැඩවර්ජිත ගුරුවරුන්ට එරෙහිව තමන් චිකාගෝ නගරාධිපති සමග මුලුමනින්ම සහයෝගී වන බව පැවසීය.

ගුරුවරු සමස්ත දේශපාලන සංස්ථාපිතය තුලම සතුරු හා ‍ෙවෙරී සහගත ප්‍රතිචාරයක් දනවා ඇත. ඊට හේතුව දශලක්ෂපතියන් දුගී හා සුලු ජන කොටස්වල ලමුන්ගේ අධ්‍යාපනය ගැන සැලකිලිමත් වන අතර සිය වැඩකරන කාලය ම දරුවන්ට උදව් කිරීමට කැපවී කටයුතු කරන ගුරුවරු කෑදර හා ආත්මාර්තකාමී කොටසක් යයි පෙන්නුම් කරමින් ලෝකය උඩු යටිකුරු කරන මාධ්‍ය විජ්ජාවට ඔවුන්ගේ අරගලය අභියෝගයක් වී තිබීම යි.

රාම් එමෑනුවෙල්ගේ උද්ධච්ඡකම හා වෛරය පිටුපස ඇත්තේ හුදු දූෂිත චරිත ලක්ෂනයක් නොව, චිකාගෝ ගුරුවරුන්ගේ වැඩවර්ජනය ඇමරිකානු කම්කරු පන්තිය පුරා පැතිර පවතින වැඩෙන විරෝධතා මනෝ ගතියට ජවයක් සපයනු ඇති බවට පාලක පන්තිය පැත්තෙන් ඇති සැබෑ භීතියයි. මෙය ජනතා ව්‍යාපාරයක් තුල පලමු වරට ප්‍රකාශිත වූයේ පසුගිය වසරේ විස්කොන්සින්හිය. එහිදී පැනනැං‍ඟේ රිපබ්ලිකන් ආන්ඩුකාර ස්කොට් වෝකර් විසින් ඉදිරිපත් කරන ලද කම්කරු විරෝධී නීතියට එරෙහි වැඩවර්ජන හා විරෝධතා රැල්ලකි.

විස්කොන්සින් අරගලය මහා වැඩවර්ජනයක් බවට වර්ධනයවීම අවහිර කර කම්කරුවන් ඩිමොක්‍රටික් පක්ෂයට යටත්කල වෘත්තීය සමිති නායකයින්ගේ ප්‍රතිපත්ති මගින් එම ව්‍යාපාරය කඩාකප්පල් කොට අවසානයේ දී පාවාදෙන ලදී. චිකාගෝ කම්කරුවන් හමුවේ ඇති පාඩම පැහැදිලි එකකි. එනම්, නව දේශපාලන මූලෝපායකින් තොරව ඔවුන්ගේ අරගලයට සාර්ථකව ඉදිරියට යා නොහැකි බවයි.

ගුරුවරුන් ද ඔවුන්ගේ ආධාරකරුවන් ද තමන් මුහුන දී සිටින්නේ හුදෙක් රාම් එමෑනුවෙල්ට එරෙහිව පමනක් නොව රිපබ්ලිකන්/ඩිමොක්‍රටික් ඇතුලු සමස්ත එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතයට ම එරෙහි දේශපාලන අරගලයකට බව හඳුනාගත යුතුය. ගුරුවරුන්ගේ ජයග්‍රහනය සඳහා චිකාගෝහි මෙන්ම ජාතිකව ද කම්කරු පන්තියේ පුලුල්ම බලමුලු ගැන්වීමක් අවශ්‍යය. එය රටේ සම්පත් මත මූල්‍ය ප්‍රභූව පවත්වාගෙන යන ග්‍රහනයට සෘජුව ම අභියෝග කරනු ඇත.

වැඩවර්ජනය මගින් වැඩකරන ජනතාව මත නොවැලැක්වියහැකි ලෙසම පනවා ඇති ප්‍රායෝගික දේශපාලන ගැටලු සහිත වාතාවරනය හමුවේ ආරම්භයේ දී වැඩවර්ජනය කෙරේ පලවූ පුලුල් සහයෝගය අනවරත මාධ්‍ය හා දේශපාලන ප්‍රහාරයන්හි බලපෑම හමුවේ වියැකී යාමේ අන්තරාය පවති. එය ජයගත හැක්කේ කම්කරු පන්තිය වෙත කෙරෙන පුලුල් ආයාචනයෙන් හා අති මූලික දේශපාලන ප්‍රශ්න එලිමහනට ගෙනඒමෙන්ය.

චිකාගෝ ගුරුසංගමය හා එහි මව් සංවිධානය වන ඇමරිකානු ගුරු සම්මේලනය එවන් අරගලයක් ප්‍රතික්ෂේප කරති. සමිති නායකයින් ඇඟවුම් කරන්නේ, ගුරුවරුන්ගේ අයිතීන් මෙන්ම නිදහස් අධ්‍යාපනය ද එකවිටම ආරක්ෂා කල හැකි බවය. කෙසේ ද යත් ගුරුවරුන් හා කම්කරු පන්තිය පොදුවේ ඩිමොක්‍රටික් පක්ෂයටත් එය පෙනී සිටින ධනේශ්වර පද්ධතියටත් යටත් වීමෙනි. මෙය වනාහි, ගුරුවරුන්ම විරුද්ධ නොවුනහොත්, අරගලය පරාජය කරා මෙහෙයවන මුලුමනින්ම ශක්‍ය නොවන ඉදිරිදර්ශනයකි.

ගුරුවරුන්ට හා නිදහස් අධ්‍යාපනයට එල්ල කෙරෙන ප්‍රහාරය සමස්තයක් ලෙස කම්කරු පන්තියටම එරෙහිව එක්සත් ජනපදයේ පාලක පන්තිය ගෙනයන සමාජ ප්‍රතිවිප්ලවයේ කොටසකි. එයට එරෙහි සටන සඳහා සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම්ව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කල යුතුය.

මෙම අරගලයේ පලමු පියවර ලෙස සමාජවාදී සමානතා පක්ෂය, ගුරුවරුන්ගේ ද දෙමව්පියන්ගේ ද සිසුන්ගේ හා අනෙකුත් පාසැල් සේවකයින්ගේ කමිටු සංවිධානය කර, වර්ජනය ගෙනයාමේ බලය හා පාසැල් පද්ධතිය සමග සාකච්ඡා කිරීමේ බලය තමන් වෙත පවරාගත යුතු බවට යෝජනා කරයි. මෙම කමිටු චිකාගෝහි ද නගර හා නාගරිකයන් හා රට පුරාම කම්කරුවන්ගේ හා තරුනයින්ගේ සෑම කොටසක් වෙතම හැරීමේ ක්‍රියාත්මක පදනම සපයනු ඇත.

පැට්‍රික් මාටින්

Share this article: