එක්සත් ජනපද තානාපති කාර්යාලවලට එල්ල වන විරෝධය

The US embassy protests

14 September 2012

ඉස්ලාම් විරෝධී වීඩියෝ පටයකට එරෙහිව මැද පෙරදිග පුරා එක්සත් ජනපද තානාපති කාර්යාල ඉදිරිපිට පැවත්වෙන විරෝධතා, එක්සත් ජනපද ආන්ඩුවේ ප්‍රතිපත්ති පිලිබඳව ව්‍යසනසකාරී මහජන තීන්දුවකි.

ඊජිප්තුව, යේමනය, ලිබියාව, ඉරාකය, ටියුනීසියාව, ඇල්ජීරියාව, ජෝර්දානය, ඉරානය, මොරොක්කෝව, සුඩානය හා බංග්ලාදේශය ඇතුලු, අඩු වශයෙන් රටවල් එකොලහක විරෝධතා පැතිර ගොස් තිබේ.

එක්සත් ජනපද දක්ෂිනාංශික කවයන්ගේ දේශපාලන ප්‍රකෝපකරනයක් වන වීඩියෝව පිලිබඳව පැනනැඟී තිබෙන මහජන විරෝධය තුලින්, වොෂින්ටනයේ මැද පෙරදිග ප්‍රතිපත්ති පිලිබඳ මහජන වෛරය මතුපිටට ගෙනවිත් ඇත. පසුගිය අවුරුද්දේ කම්කරු පන්තියේ දැවන්ත නැගිටීම් එක්සත් ජනපදයේ අනුග්‍රහය ලබන ටියුනීසියාවේ හා ඊජිප්තුවේ ඒකාධිපතිත්වයන් පෙරලා දැමුවාට පසු ඔබාමා පාලනය නිර්දය ලෙස මහජන විරෝධයට එරෙහිව දක්ෂිනාංශික තන්ත්‍රයන්ට සහාය දී ඇති අතර ලිබියාව හා සිරියාව තුල ලේවැකි බලහත්කාරී යුද්ධ උත්සන්න කලේ ය.

ඊජිප්තුවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවන්ට එක්ව සිටි දෛනික කම්කරුවෙකු වන යසීන් මහේර් යහපත් ජීවන තත්වයක් සහතික කරන ලෙස තමා එක්සත් ජනපද ගැති ඉස්ලාමීය ජනාධිපති මෝසිට බලකරන බව අල් අහ්රාම් පුවත් පතට පැවසීය. "මුබාරක් කාලයේ මෙන්ම මෝසි යටතේත් හමුදා පාලනයක් ගෙනයන බව ඔබට දකින්ට පුලුවනි. දෙදෙනාම ඇමරිකාව ආරක්ෂා කරනවා.”

මහජන විරෝධයට එරෙහිව සිවිල් යුද්ධයක් ගෙනයන යේමනයේ දූෂිත ආන්ඩුවට වොෂින්ටනය සහාය දෙයි. දිලිඳු රටක් වන යේමනයේ අගනගරය වන සානා හි එක්සත් ජනපද කාර්යාලයට කම්කරුවෝ හා තරුනයෝ බලහත්කාරයෙන් ඇතුල්වූහ. පසුගිය වසරේ දී සිය රටේ පුරවැසියෙකු වන අව්ලාකි ඩ්‍රෝන් ප්‍රහාරයකින් ඝාතනය කල මෙරට තුල එක්සත් ජනපද හමුදා නිතිපතාම විශේෂ බලකායේ කඩාපැනීම් සංවිධානය කරන අතර ඩ්‍රෝන් ප්‍රහාර දියත් කරති.

මෙය වොෂින්ටනය සමග යේමනයේ සම්බන්ධතා කඩාකප්පල් කිරීමේ කුම්න්ත්‍රනයක් යැයි යේමන ජනාධිපති රබෝ මන්සූර් හාඩි විරෝධතාව හෙලා දුටුවේ ය.

2003 ආක්‍රමනය මගින් මිලියනයකට වඩා ඉරාක ජීවත බිලිගත්, ආසන්න වශයෙන් දශකයක් දීර්ග එක්සත් ජනපද වාඩිලාගැනීම මගින් විනාශ කෙරුනු ඉරාකය තුල, සුන්නි හා ෂියා විරෝධතාකරුවන් දහස් ගනනක් බැග්ඩෑඩ් හා බස්රාහි දී එක්සත්ව විරෝධතා පෙලපාලි දැක්වූහ.

බෙන්ගාසිහි එක්සත් ජනපද තානාපති කාර්යලයට පහරදීමෙන් තානාපති නිලධාරීන් හතරදෙනෙකු ඝාතනය විය. දැන් වොෂින්ටනය ලිබියාව තුල තමන්ම වැපිරූ දෙයෙහි අස්වැන්න නෙලමින් සිටී.

එක්සත් ජනපද හා යුරෝපීය විශේෂ හමුදා මග පෙන්වීම යටතේ ගොඩබිමේදී ලිබියාවේ බලකාරයන් ලෙස ක්‍රියා කල නොයෙකුත් ඉස්ලාමීය හා ගෝත්‍රික මිලීෂියා කන්ඩායම්වලට සහාය පිනිස ගුවන් ප්‍රහාර එල්ල කල ඔබාමා පාලනය, කර්නල් මුවම්මර් ගඩාෆිගේ ඇදවැටීමට මග හෙලිකලේ ය. කෙසේ නමුත් එක්සත් ජනපදය, ලිබියාව හා එහි තෙල් සල්ලිවල සම්පූර්න පාලනය මෙම හමුදාවන්ට දීමට හෝ තමන් අධීක්ෂනය නොකරන ජාත්‍යන්තර මෙහෙයුම් සඳහා හිස් චෙක් පතක් හෝ දීමට බලාපොරොත්තු නොවී ය. එක්සත් ජනපදය හා ලිබියාව තුල එහි දේශීය බලකාර හමුදා අතර මතභේද නොවැලැක්විය හැකිය.

රටේ පාලනය සඳහා සටන් වදින දක්ෂිනාංශික මිලීෂියා හමුදාවන්ගේ මූට්ටුවක් ඉතුරු කල එක්සත් ජනපද මැදිහත්වීම ඇතිකල සමාජ වියවුල මධ්‍යයේ බෙන්ගාසි තනාපති කාර්යාලයට පහරදුන් කන්ඩායමට එහි මෙහෙයුම සැලසුම් කිරීමට හා එල්ල කිරීමට හැකිවි ය.

එක්සත් ජනපදය සිරියාව තුල ගෙනයන එහි ලේවැකි කුලීකාර යුද්ධ‍ෙය් දී ඉව බවක් නොමැතිව මෙම ප්‍රතිපත්තියම අනුගමනය කරයි. ජනාධිපති බෂාර් අල් අසාද්ගේ තන්ත්‍රයට එරෙහිව පූර්න නරුම බවකින් යුත් යුද්ධය තුලදී එක්සත් ජනපදය, ලිබියානු කුලී හමුදා හා හිටපු ගුවන්තනාමෝ බේ රැඳවුම්කරුවෙකු වන අබ්දෙල් හකීම් බෙල්හඩ්ජ් වැනි බලවේග දිරිමත් කරයි.

මෙය අවධාරනය කරන්නේ අල්කයිඩාවට එරෙහිව එක්සත් ජනපදය ගෙනයන බව කියන "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ ” ඉමහත් කුහකත්වය යි. එය ඇමරිකානු ජනතාවට ජරා නිෂ්පාදනයක් අලෙවි කිරීමේ හංවඩු ගැසූ මෙහෙයුමකි. එනම් මැද පෙරදිග එක්සත් ජනපද උත්සුකයන්ගේ ලේ වැකි ප්‍රකාශනය යි. එක්සත් ජනපදය සිය ඉලක්කය ලෙස තෝරා ගෙන ඇත්තේ කව්රු ද යන්න අනුව අල් කයිඩාව එහි ඉලක්කයක් ලෙස නැත්නම් උපකරනයක් ලෙස මතුපිටට පැමිනෙයි.

"ප්‍රජාතන්ත්‍රවාදය” පිලිබඳව ගෙනයන එක්සත් ජනපද ප්‍රචාරය "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට” නොඅඩු හිස් ප්‍රෝඩාවකි. සත්‍ය නම් ඝාතන, වැනසීම් හා එක්සත් ජනපද යුද්ධ ද හා කලාපයේ බලකාර තන්ත්‍ර හා සංවිධාන සමග ගෙනයන කොල්ලයෙන් එහි ඉතුරු කෙරෙන්නේ දුප්පත්කම පමනක් බව යි.

මෑතක පටන් කලාපය තුල මතුවන මහජන විරෝධය කෙරෙහි වොෂින්ටනයේ ප්‍රතිචාරය නම් මහජන විරෝධය බිය ගැන්වීමට හමුදා බලමුලු ගැන්වීම හා ලේවැගිරීම්වල නව වටයක් සඳහා වේදිකාව සැකසීම යි. එය ලිබියානු වෙරල මුරකිරීමට එක්සත් ජනපද ප්‍රහාරක නෞකා යවා ඇති අතර ප්‍රහාරයට වගකිව යුතු යයි සැක කරන රට තුල ඉලක්කවලට කෘස් මිසයිල් ප්‍රහාර එල්ල කර ඇත.

සිරියාවට එරෙහි එක්සත් ජනපදයේ බලකාර යුද්ධය හා ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධානය බඳු ඉරානයේ මිත්‍රයන්ට එරෙහි තර්ජන මධ්‍යයේ තීව්‍රවන එක්සත් ජනපද මෙහෙයුම් හමුවේ ඊස්රායල් තන්ත්‍රය හා ඇමරිකානු පාලක පන්තියේ කොටසක් විසින් දිරිගන්වන ඉරානයට එරෙහි නව යුද්ධයකට වේදිකාව සකස යි.

විද්වතුන්, හමුදා නිලධාරීන් හා විදේශ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ කන්ඩායමක් විසින් ප්‍රකාශයට පත් කල ඉරාන ව්‍යාපෘතිය පිලිබඳ වාර්තාවකින් එවැනි යුද්ධයකින් විය හැකි ප්‍රතිවිපාක පිලිබඳව අනතුරු ඇඟවී ය. මූලෝපායාත්මක හෝමුස් සමූද්‍ර සන්ධියේ සටනක් මගින් ලෝක තෙල් වෙලඳාමට බාධා ඇතිවීම, මුලු මෑත පෙරදිග ම වෙලා ගත හැකි එක්සත් ජනපදයට පක්ෂ හා ඉරානයට හිතවත් හමුදා අතර සටන්, රුසියාව හා චීනය වැනි අනෙකුත් ප්‍රධාන බලවතුන් විසින් වැඩි කෙරුනු ආයුධ සැපයීම මෙයට ඇතුලත් ය.

මැද පෙරදිග එහි ප්‍රතිපත්තිවලට එරෙහිව එක්සත් ජනපදය තුලත් විදේශයන්හිත් නැගී එන කම්කරු පන්තියේ විරෝධය කෙරෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රචන්ඩ ප්‍රතිචාරය වඩාත් ලේ වැකි විනාශයකට වේදිකාව සකස යි. දෙවැනි ලෝක යුද්ධය පිපිරීමට පෙර 1930 ගනන්වලදී මෙන් ප්‍රාදේශීය යුද්ධ කරා එලඹීම, විනාශකාරී ප්‍රතිවිපාක සහිත මහා ගිනි ජාලාවක් සූදානම් කිරීමකි.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: