එක්සත් ජනපද ෆෙඩරල් හා යුරෝපීය බැංකුවල නවතම පියවර
"නව සාමාන්‍යය" වනාහි මූල්‍ය පරපෝෂිතභාවය හා කොල්ලය යි

Latest moves by Fed and European Central Bank
Financial parasitism and looting are the “new normal”

17 September 2012

"නව සාමාන්‍යය" වනාහි මූල්‍ය පරපෝෂිතභාවය හා කොල්ලය යි.

පසුගිය සතියේ නිවේදනය කල ඊනියා ප‍්‍රමානාත්මක ලිහිල් කිරී‍මේ තෙවැනි වටය යටතේ මූල්‍ය වෙලඳපොල සඳහා සීමාන්තිකව සහාය පලකිරීමට එක්සත් ජනපදයේ ෆෙඩරල් රිසව් බැංකුව ගත් තීන්දුව ද බැඳුම්කර වෙලඳපොලවල මැදිහත් වීම සඳහා ඊට කලින් යුරෝපය ගත් තීන්දුව ද එකට ගත් විට, ලෙහ්මන් බ‍්‍රදර්ස් කඩා වැටීමත් සමග ම ආරම්භ වූ ගෝලීය ධනේශ්වර ආර්ථික අර්බුදයේ නව අවධියක් සටහන් කරයි.

2008 සැප්තැම්බරයේ මූල්‍ය වෙලඳපොලවල කඩා වැටීමක් අද්දරට පැමිනි තැන් පටන් වසර 4ක් ගෙවෙන තැන, ගෝලීය මූල්‍ය ක්ෂේත්‍රයට වඩ වඩාත් මුදල් පොම්ප කිරීමට ලෝකයේ ප‍්‍රමුඛ බැංකු ගෙන ඇති තීන්දුවල "සාමාන්‍ය" කොන්දේසි යැයි වරෙක සලකනු ලැබූ දෙය කරා පෙරලා යාම පිලිබඳ අපේක්ෂාවක් නොමැති බව පෙන්නුම් කරයි.

බැංකු හා මූල්‍ය ආයතනවලට දක්වන සහාය අඩු කරනවා වෙනුවට ෆෙඩරල් බැංකුවල එය වැඩි කරමින් සිටියි. එහි මුල් මැදිහත්වීම් ක්‍රියාවට නඟන ලද්දේ කාල වකවානු සහිතවය. එහි නවතම තීන්දුව තුලින් ෆෙඩරල් මහ බැංකුව සීමාන්තික පොරොන්දුවක් දී තිබේ. ෆිනැන්ෂියල් ටයිම්ස්හි එක් ලිපියක සිරස් තලය අනුව "මහ බැංකුව එහි ප‍්‍රවේශයන් සීමාවක් නොදක්වන තරම් දුරකට ගෙන ගොස් ඇත."

ඊටත් වඩා එහි කැපවීමේ ක්‍රමය ප‍්‍රධාන හැරීමක් සලකුනු කරයි. භාන්ඩාගර බැඳුම්කර මිලදී ගැනීම කෙසේ වෙතත්, මාසයකට ඩොලර් බිලියන 40 බැගින්, බැංකු හා ආයෝජන ආයතනවලින් ඇපකර-පිටුබලය සහිත බැඳුම්කර මිලදී ගැනීමට මහ බැංකුව සූදානම් වේ. ආර්ථික කඩාවැටීමේ වෙඩිනූල පත්තු කල "විසකුරු වත්කම්" සමහරක් ඉවත දැමීමට එමගින් බැංකුවලට අවස්ථාව සම්පාදනය කරනු ඇත.

මහ බැංකුවේ කර්තව්‍යය සාදය ඇරැඹීමට ඔන්න මෙන්න කියා තිබිය දී අතසෝදන බඳුන ඉවත් කිරීම යයි කතාවක් තිබුනි. තවදුරටත් එසේ නොවේ. දැන් මහ බැංකුව අදිටන් කරගෙන සිටින්නේ, මධ්‍යසාර ප‍්‍රතිශතය වැඩි කරමින් සැපයුම් සීමාන්තිකව ඉහල නැංවීමට වගබලා ගැනීමටයි.

තීන්දුවට තර්කාන්විත බවක් ගෙන දෙමින් මහ බැංකු සභාපති බෙන් බර්නාන්කේ, එක්සත් ජනදපදයෙහි රැකියා වර්ධනය, පහල වැටුප් මට්ටම්වලදී පවා ජනගහනයේ වර්ධනයට අනුකූල නොවන තරම් ඉහල විරැකියා මට්ටමේ අඛන්ඩ නැඟීම හා එක්සත් ජනපද ආර්ථිකයේ රක්ත හීන වර්ධන වේගය යනාදිය ගැන කතා කලේය. සම්මත න්‍යායට අනුව බැංකුවේ මැදිහත්වීම, තවදුරටත් පොලී අනුපාත පහල දමනු ඇතැයි ද එනයින් සමාගම්වලට ආකර්ශනීය ආයෝජන තීන්දු ගැනීමට ඉඩ සලසමින් ආර්ථික වර්ධනයට ද ඒ හරහා සේවා නියුක්තිය ඉහල දැමීමට ද හේතු වනු ඇතැයි සැලකේ.

එහෙත් මූල්‍ය කවයන්හි අනෙක් සියල්ලන් මෙන් ම බර්නන්කේ ද මැනවින් දන්නා පරිදි උක්ත කොන්දේසි සැපිරිය නොහැක. ව්‍යාපාර, සියල්ලටම ඉහලින් මූල්‍ය ආයතන, අඛන්ඩව ලාභ පොදිගසා ගන්නා නමුත් එම ලාභ නව නිෂ්පාදනයන්හි ආයෝජන සඳහා අවශ්‍ය මුදල් සැපයීමට පාවිච්චි කරන්නේ නැත. ඒ වෙනුවට ඒවා යොදන්නේ සමපේක්ෂන අරමුනු ඉටුකරලන දැවැන්ත මුදල් සංචිත රාශිකරනයට ය.

වඩ වඩාත් සිදුවෙමින් පවතින්නේ, යුරෝපයේ ද එක්සත් ජනපද‍ෙය් ද ආන්ඩු වැටුප් පහල හෙලීමට ද එනයින් පාරිභෝගික ඉල්ලීම අවම කිරීමට ද තුඩුදී ඇති වියදම් කප්පාදුවයි. යුරෝපීය මහ බැංකුව පනවා ඇති එක් කොන්දේසියකි, එය මිලදී ගන්නා බැඳුම්කර අයිති රටවල් වියදම් කැපීම හා විරැකියාව ඉහල දැමීමට තුඩුදෙන කප්පාදු වැඩපිලිවෙලක් කල් තියා සූදානම් කල යුතුය යන්න. එක්සත් ජනපදය තුල, ආන්ඩුවේ වියදම් කැටි කරමින් තිබෙන අතර කප්පාදු ස්වයංක‍්‍රීයවම ක්‍රියාත්මක වන පරිදි කොන්ග‍්‍රසය මුලදී ගත් තීන්දුව ක‍්‍රියාවට නැගූවිට, ඊනියා "මූල්‍ය ප්‍රපාතය" ඉස්මත්තට ඒමත් සමග මෙම වසර අවසානයේදී තත්වය තව දුරටත් පිරිහී යනු ඇත.

වචනයේ මොනයම්ම හෝ අර්ථයකින් මහ බැංකුවේ තීන්දුව ආර්ථික "පුනර්ජීවනය" අරමුනු කර ගත්තක් නොවේ. වෙලඳපොලට එහි මැදිහත් වීමෙන් අරමුනු කරන්නේ තත්‍ය ආර්ථිකය තුල ආයෝජනය කිරීමෙන් නොව, මූල්‍ය මෙහෙයුම් ඔස්සේ සංගතවල, සියල්ලටම ඉහලින් බැංකු හා මූල්‍ය ආයතනවල ලාභ හා වත්කම් ඉහල දමමින් කොටස් වෙලඳපොල හා වත්කම්-පිටුබලැති සුරැකුම්පත්වල මිල නැංවීම ය. වෙනත් වචනවලින් කියතොත්, ලෙහ්මන් බ‍්‍රදර්ස් කඩාවැටීමට හා එක්සත් ජනපද හා ලෝක ආර්ථික පද්ධතිය දිය කර හැරීමේ ආසන්නයට ගෙනවිත් තිබෙන එකී මූල්‍ය පරපෝෂිතභාවයම බැංකුවේ නිල පිලිවෙත වී තිබෙන බවයි.

මෙම පිලිවෙත සේවය කරන පන්ති අවශ්‍යතාවන් ඒවායේ ක‍්‍රියාවට නැඟීම හා එහි පලවිපාකයන්ගේ ස්වභාවය යන කාරනා දෙකෙන් ම දැක ගත හැකි වනුඇත.

15දා දින සිඩ්නි මෝනින් හෙරල්ඩ් පුවත්පතේ පලවූ ලිපියක මූල්‍ය මාධ්‍යවේදී මයිකල් වෙස්ට් මෙකී පලවිපාක නිවැරැදි ආකරයෙන් ඉස්මතු කලේ ය.

"‘බෙදාහරින්නැයි’ ඔවුන් බැංකුවෙන් ඉල්ලා සිටියි." යයි ඔහු ලිවීය. "‘අසමත්වීමේ’ පලවිපාක ‘ගොරතර’යැයි ඔවුහු මොර දුන්නෝ ය." එවිට බර්නන්කේ, "අවසානයේදී මුදල් අච්චු ගැසීමේ වාසනාව ද" සමග "වෝල්වීදියේ වැසියන්ට අවනත වූවේ ය. අනතුරුව ඔවුන් එය සැරසූවේ විරැකියාවට පිලියමක් ලෙසය. යථාර්තයෙන් ගත් කල, බැංකුවලට ඔවුන්ගේ නොවටිනා උකස්කර නය මාසයකට ඩොලර් බිලියන 40 බැගින් බදුගෙවන්නන්ගේ කර මත පැටවීමට ඉඩ ලැබේ."

ඔහු සඳහන් කල පරිදි, බැංකුව මිලදී ගන්නේ හුදෙක් ආන්ඩුවේ බැඳුම්කර පමනක් නොවේ. "වෝල්වීදියේ ශේෂ පත‍්‍රවල ගොඩගැසී ඇති උකස්කර-පිටුබලැති සුරැකුම් පත් ද මිලට ගැනෙයි."

බැංකුවේ තීන්දුව ගෝලීය ප‍්‍රතිවිපාක ජනනය කරනු ඇත. ඒ සියල්ල කම්කරුවන්ගේ මෙන්ම ලෝකයේ දිලිඳු ම ජනයාගේ සමාජ හා ආර්ථික තත්වයන් මත දරුනු ලෙස බලපානවා ඇත. තීන්දුව ප‍්‍රකාශයකට පත් කල වහාම පාරිභෝගික භාන්ඩ සමපේක්ෂනයක නව වටයක ඇරඹුම සනිටුහන් කරමින් තෙල් හා ගෑස් මිල ගනන් ඉහල නැංගේ ය.

මෙය ප‍්‍රවාහනය මෙන් ම ආහාර පිසීම හා උනුසුම් කිරීමේ කටයුතු සඳහා යොදා ගන්නා ඉන්ධන මිල මත ද බලපානු ඇති අතර ප‍්‍රධාන ආහාර ද්‍රව්‍යවල මිල උද්ධමනට තුඩු දෙනු ඇත. බිලියන සංඛ්‍යාත ජනයාගේ යහපැවැත්ම සඳහා තීරනාත්මක ඉරිඟු, තිරිඟු හා සෝයා බෝංචිවල මිලගනන් මේ වනවිටත් ඉහල යාම ආරම්භ වී තිබේ.

මුදල් අච්චු ගැසීම මගින් බැංකුව ගෝලීය මූල්‍ය වෙලඳපොලෙහි එක්සත් ජනපද ඩොලරයේ වටිනාකම බාල්දු කර තිබෙන අතර මෙනයින් යුරෝවේ වටිනාකම ඉහලයාමෙන් යුරෝපයට සැලකිය යුතු බලපෑමක් එල්ල කරනු ඇත. මෙය තවදුරටත් අපනයනය කප්පාදු කිරීමට මෙහෙයවනු ඇතිවාක් මෙන් ම සමාගම්වල තරගය එන්ට එන්ටම අසීරු වීමත් සමග විරැකියාව උග‍්‍ර වීමට හේතු වනු ඇත.

මුදලේ වටිනකම් ඉහල යාම් දැනටමත් නිෂ්පාදනය මත බරපතල ලෙස බලපා තිබෙන බ‍්‍රසීලය හා ඔස්ටේ‍්‍රලියාව වැනි රටවල් ද දැඩි ලෙස බලපෑමට නතු වෙනු ඇත. ජාතික ආන්ඩු තමන්ගේ අපනයන වෙලඳපොලවල් පවත්වා ගැනීමට තරග කරන තතු යටතේ ඩොලරය තවදුරටත් බාල්දු කරන ලෙස යෙදෙන පීඩනය, "මූල්‍ය යුද්ධ" පිලිබඳ ශක්‍යතාවය ඉහල නංවයි.

බැංකුවේ තීන්දුව තුල දේශපාලන අරමුනක් ද තිබේ. 2008 වසරේදී ලෙහ්මන් බ‍්‍රදර්ස් කඩාවැටීම රිපබ්ලිකානු ප‍්‍රතිවාදියා වූ ජෝන් මැකේන් පරයා බැරැක් ඔබාමාගේ තේරී පත්වීම පිටුපස ඇමෙරිකානු පාලක ප‍්‍රභූවේ ප‍්‍රධාන කොටස්වල සහය ගොනු කර ගැනීමේදී තීරනාත්මක කාර්යභාරයක් ඉටු කලේ ය.

මෙම වසරේ මැතිවරනයට කලින් බැංකුව ගත් මෑතම තීරනය ද ඒ අයුරින් ම ඔබාමා යලි ධුරයට තෝරා පත් කර ගැනීම සඳහා ගැම්මක් ලබා දෙනු ඇත.

එහෙත් වඩාත් වැදගත් දේශපාලනික නිගමන වන්නේ, කම්කරු පන්තිය විසින් උකහා ගත යුතු පාඩම් ය. එක්සත් ජනපදයේත් ගෝලීය වසයෙනුත් කම්කරු පන්තියේ රැකියා, ජීවන තත්වයන් හා සමාජ තත්වයේ වියදමින් මූල්‍ය පරපෝෂිතබව පිම්බීමට ගත් තීන්දුවල ධනවාදී පද්ධතියේ ඓතිහාසික අර්බුදය හා බංකොලොත් භාවය පිලිබඳ තවත් බලගතු ප‍්‍රකාශනයකි. කලඑලි බැසීමට සූදානමින් සිටින ආර්ථික "ප්‍රකෘතියක්" ඇත්තේ නැත.

එක්සත් ජනපදයේ ෆෙඩරල් රිසව් බැංකුව හා යුරෝපීය මධ්‍යම බැංකුව නියෝජනය කරන බැංකු හා මූල්‍ය අවශ්‍යතාවන්ට වැඩපිලිවෙලක් තිබේ. එනම් ඒවා පරපෝෂිතබව, පද්ධතිගත කොල්ල කෑම හා ජනතාව හිඟමනට ඇද දැමීම සමග එකට අත්වැල් බැඳගෙන යන බවයි.

එක්සත් ජනපදයේත් ජාත්‍යන්තරවත් කම්කරු පන්තිය අවසානය දක්වාම සටන් වැදීමට අදිටන් කරගත් තමන්ගේ ම ස්වාධීන වැඩපිලිවෙලක් සකසා ගත යුතුය. ලාභ ශ‍්‍රමය වෙනුවට මානව අවශ්‍යතාවන් තෘප්ත කිරීමට යොදා ගන්නා බිලියන ගනන් කම්කරුවන් විසින් නිෂ්පාදිත සම්පත්වලින් ආඪ්‍ය සංවිධිත සමාජවාදී ආර්ථිකයක් ස්ථාපිත කිරීමේ පලමු හා අවිවාදිත පියවර වසයෙන් බැංකු හා මූල්‍ය ආයතන සමාජ සන්තක කිරීමට කැපවූ කම්කරුවන්ගේ ආන්ඩු පිහිටුවීම සඳහා අරගලයක් එය විසින් ආරම්භ කල යුතුය.

නික් බීම්ස්

Share this article: