චීන හා ජපන් ජාතිකවාදයට විරුද්ධ වනු

Oppose Chinese and Japanese nationalism

21 September 2012

නරක අතට හැරෙන ගෝලීය ආර්ථික බිඳවැටීම ඊසාන දිග ආසියාවට බලපාන තතු හමුවේ චීන හා ජපාන ආන්ඩු තම රටවල උත්සන්න වන ආර්ථික හා සමාජ ආතතිය වෙනතකට හැරවීම සඳහා නැගෙනහිර චීන මුහුදේ පිහිටි මතභේදයට ලක් වූ සෙන්කාකු/ඩයඕයූ දූපත් මුල්කරගෙන හිතාමතා ම ජාතිකවාදී හැඟීම් අවුලුවමින් සිටිති. උනුසුම් වූ මෙම වාතාවරනය තුල, හිතාමතා හෝ අහම්බයෙන් ඇතිවිය හැකි සිදුවීමක් පුලුල් ගැටුමක ආරම්භය විය හැක.

ජපන් අගමැති යොෂිහිකෝ නෝඩාගේ ආන්ඩුව පසුගිය සතියේ පෞද්ගලික ජපන් අයිතිකරුගෙන් එම දූපත් මිල දී ගෙන ඇතැ යි ප්‍රකාශ කරමින් ගැටුම උසිගැන්වී ය. ටෝකියෝ ආන්ඩුකාර ෂින්ටාරෝ ඉෂිහාරා දූපත මිල දී ගැනීමට පරිත්‍යාග ඉල්ලමින් දක්ෂිනාංශික ජාතිකවාදී කවයන් තුල මෙම කාරනය මත විවාදයකට දොර විවර කලේය.

ජපාන‍ෙය් චීන ආක්‍රමන‍යෙහි ආරම්භය සලකුනු කල 1937 මාකෝ පෝලෝ පාලමේ සිදුවීම පිලිබඳ සංවත්සරයේ දී ජූලි 07දා නෝඩා, තම “ජනසතුකිරීමේ” සැලැස්ම ඉදිරිපත් කලේ ය. යුද්ධ කාලයේ බියකරු අතවරයන්ට මුහුනපෑ චීන ජනතාවට එයින් සිදුවිය හැකි නිසැක සිත් රිදවීම නොතකා ජපන් යුදවාදයේ ආරක්ෂකයන්ට ආයාචනා කිරීමට හිතාමතාම මෙම වේලාව තෝරාගෙන තිබුනි.

ජපාන ජාතිකවාදය මත නෝඩාගේ වාරුවීම, කම්කරු පන්තිය තුල මතුවෙන විරෝධය පසෙකට හැරවීමේ මංමුලා සහගත උත්සාහයකි. කම්කරු ජනතාව මත නව බර පටවමින් ඔහුගේ ආන්ඩුව පාරිභෝගික බදු දෙගුනයක් කිරීමේ නීතියක් සම්මත කලාට පසු නෝඩාගේ මහජන පදනම සියයට 20කටත් වඩා පහත වැටුනි. ෆුකුෂීමා ව්‍යසනයට පසු ජපාන න්‍යෂ්ටික බලාගාර නැවත විවෘත කිරීමට ඔහු ගත් තීරනයට එරෙහිව සියදහස් ගනනක් විරෝධතා දැක්වීමට එක්වුනු අතර එය දශක ගනනාවක් තුල ජපානයේ පැවති විශාලත ම විරෝධතාව යි.

පසුගිය සතිය පුරා චීනයේ පුලුල් ව පැතිරුනු ප්‍රති-ජපන් විරෝධතාවන්ට ප්‍රතිචාර වශයෙන් ජපන් මාධ්‍යය “කලහකාරීන් ” ජපන් ජාතිකයන්ට තර්ජනය කරතැ යි ප්‍රකාශ කර ඇත. ජපන් ආන්ඩුව වෙරලාරක්ෂකයින්ගෙන් අඩක් බලමුලු ගැන්වූ අතර සෙන්කාකු/ඩයඕයූ දූපත් අවට ජපන් මුහුදට ඇතුල් වන මොන යම් හෝ චීන ධීවර බෝට්ටු පලවා හැරීමට හෝ රඳවා තබා ගැනීමට ජපන් නාවුක හමුදාව සූදානමේ තබා ඇත.

ආසියාව පුරා චීනය මත තම රාජ්‍යතාන්ත්‍රික හා හමුදා පීඩනය ඉහල නංවා ඇති ඔබාමා පාලනයේ නිහඬ දිරිගැන්වීම සමග නෝඩා ආන්ඩුව ක්‍රියා කරමින් සිටී. මෙම සතියේ කලාපය තුල ඔහුගේ සංචාරය අතරතුර දී එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලියොන් පැනෙටා ජපානය හා චීනය යන දෙරට ම සන්සුන් විය යුතු යි නරුම ලෙස ඉල්ලා සිටියේ ය. දූපත් පිලිබඳ ආරවුලේ දී පැත්තක් නොගන්නේ යයි වොෂින්ටනය ප්‍රකාශ කරන නමුත් දූපත සම්බන්ධයෙන් වන ඕනෑ ම හමුදා ගැටුමක දී ජපානයට සහාය දීමට එය බැඳී සිටිනු ඇතැ යි පවස යි.

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් කොල එලිය දැල්වීමෙන් ආරම්භවූ චීනය තුල ප්‍රති-ජපන් විරෝධතා ප්‍රතිගාමිත්වයෙන් අඩු නො වේ. සිය අනාගතය ධනේශ්වර බලයක් ලෙස චීනයේ ව්‍යාප්තිය සමග බැඳී ඇති බව දකින, චීනය හා ජපානය යන දෙරටේ ම කම්කරු පන්තියට ගැඹුරු ලෙස විරුද්ධ මධ්‍යම පන්තියේ ඉසුරුමත් කන්ඩායමක් මෙහි ආධිපත්‍යය දරනු ලැබේ. ජපන් සමාගම්වල වියදමින් චීන ව්‍යාපාර නැංවීම වෙනුවෙන් සේවය කරන “ජපාන බඩු වර්ජනය කරනු ” යන සටන්පාඨය තුල මෙය පිලිබිඹු වේ.

චීනය තුල සිටින ජපන් ජාතිකයන්ට එල්ල කෙරෙන අක්‍රමික ප්‍රහාර ගැන සඳහන් නොකලත්, “ජපන් බල්ලෝ ” හා “පුංචි ජපානය ” යනුවෙන් පරිභව කිරීමේ බොහෝ ධජ හා සටන්පාඨ සහිත චීන විරෝධතාවන්හි ප්‍රකටව ම වර්ගවාදී ලක්ෂනයක් ඇත. “ජපානයට එරෙහිව යුද ප්‍රකාශ කරනු” යයි චීන රජයෙන් ඉල්ලන ධජ හා ජපානයට ඉහලින් න්‍යෂ්ටික හතු වලාවක් සහිත ධජ වඩාත් ම ප්‍රකෝපකාරී ය. යුද්ධය පිපිරුවහොත් චීනයට තම තුරුම්පුව, එනම් ජපානය මත න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කල හැකි යයි රූපවාහිනියේ කයිවාරු ගසන හමුදා නිලධාරීන් හා චීන මාධ්‍ය විස්තර කථකයන් විසින් මෙම මිලිටරිවාදී හැඟීම් ඍජුව ම දිරිගන්වා ඇත. මෙම ම්ලේච්ඡ යෝජනාව ගෝලීය න්‍යෂ්ටික ගැටුමක උපායකට අඩු කිසිවක් නොවේ. ජපානය මත එවැනි ප්‍රහාරයක් ක්ෂනිකව ම එක්සත් ජනපදය සමග යුද්ධයකට පැටලැ‍ෙවනු ඇත.

චීන ජාතිකවාදය මත වාරුවීම සම්බන්ධ ඉතිහාසයක් ඇත. චීන කොමියුනිස්ට් තන්ත්‍රය 1980 ගනන්වල එහි ධනවාදය පුනස්ථාපනයේ වැඩසටහන අරම්භ කිරීම හා එහි සමාජවාදී වාගාලාප දෙඩවීම වැඩිවැඩියෙන් අත්හැර දැමීමත් සමග නැගී එන මධ්‍යම පන්තිය තුල සමාජ පදනමක් නිර්මානය කිරීමේ මාධ්‍යයක් ලෙස එය චීන ස්වෝත්තමවාදය දෙසට හැරුනි. 1989 තියන්ආන්මෙන් චතුරශ්‍රයේ විරෝධතා තලා දැමීමෙන් හා 1991 සෝවියට් සංගමය බිඳවැටීමෙන් අනතුරු ව මෙම සියලු ක්‍රියාදාමයන් වේගවත් විය.

ප්‍රති-ජපන් විරෝධතාවන්ගේ සටන්පාඨ මෙන් ම සීසීපී ප්‍රචාරය හරයෙන් ම වර්ගවාදී දෘෂ්ටියක් මත පදනම් වේ. දෙවැනි ලෝක යුද්ධය හා ආසියාව තුල මුල්කාලීන යටත් විජිත යුද්ධ අතරතුර සිදුකල බියකරු යුද අපාරාධ සඳහා මුලු ජපන් සමාජය ම වගකිව යුතු යයි නොකඩවා අවධාරනය කරමින් රාජ්‍ය මාධ්‍ය හිතාමතා ම සියලු ම ජපන් ජාතිකයන් වෙතට වෛරය වගා දිගා කර යි.

සත්‍ය වශයෙන් ම, ජපන් මිලිටරිවාදී තන්ත්‍රයන් යටතේ ජපන් කම්කරුවන් හා ග්‍රාමීය දුප්පතුන් පෙ‍ලුනේ චීන මහජනතාවට වඩා අඩුවෙන් නොවේ. සංවිධානය වූ කම්කරු ව්‍යාපාරය හා දේශපාලන විරුද්ධත්වය කුරිරු ලෙස මර්දනය කෙරුනු අතර ජපන් අධිරාජ්‍යවාදයේ විජිගීෂාවන් සඳහා හතුරන්ගේ ගොදුරු ලෙස සේවය කිරීමට දශලක්ෂ ගනනක් තරුනයන් බලහත්කාරයෙන් හමුදාව තුලට ඇද දැමිනි. ජපන් මිලිටරිවාදයට එරෙහිව වැඩකරන ජනතාව අතර වෛරය කෙතරම් ගැඹුරුවී ද යත් එරට ව්‍යවස්ථාවෙන් ඊනියා සාමවාදී වගන්ති ඉවත් කිරීමේ දී අද පවා ආන්ඩුව ප්‍රගාඪ දුෂ්තරතාවන්ට මුහුන දෙයි.

ටෝකියෝහි ඔවුන්ගේ සමානයන් මෙන් ම චීන නායකයෝ ද ජාතිකවාදය ප්‍රචාරය කරමින් තමන්ගේ ම තන්ත්‍රය පිලිබඳව ගැඹුරුවන සමාජ අසන්තෝෂය ඉවතට හැරවීමට උත්සාහ ගනිති. ජපානය මෙන් ම එක්සත් ජනපදය හා යුරෝපයට නිර්යාත කිරීම හා ඒවායේ ආයෝජනයන් මත විශාල වශයෙන් යැපෙන චීන ආර්ථිකය සියලු ම ධනේශ්වර කේන්ද්‍රයන් තුල පසුබසිනසුලු ප්‍රවනතා විසින් සුනුවිසුනු කෙරෙමින් පවතී. ජපාන සංගත චීනයෙන් ඉවත් කර ගත හොත්, චීනයේ දල දේශීය නිෂ්පාදනයේ හතරෙන් එකකට හා රැකියා මිලියන 200ක් සඳහා වග කියන, මේ වන විටත් මන්දගාමී අපනයන්ට ඊටත් වඩා දැඩි ප්‍රහාරයක් වදිනු ඇත.

විශාල පරිමානයේ සමාජ අසහනය අභිමුවෙහි, සීසීපී නිලධාරී තන්ත්‍රය එය 1989 කල පරිදි “තමන්ගේ ම ” කම්කරු පන්තිය කුඩු කර දැමීමට ජපන් සංගත ප්‍රභූව අතුලුව ජාත්‍යන්තර ප්‍රාග්ධනය සමග එක්සත් වීමට අදිමදි නොකරනු ඇත. චීන කම්කරුවන්ගේ මිත්‍රයන් වනුයේ ජපානයේ හා ජාත්‍යන්තරව තම පන්ති සහෝදරයන් හා සහෝදරියන් මිස තමන්ගේ ම හා චීන ධනපති පන්තියේ වරප්‍රසාද ආරක්ෂා කරන සීසීපී තන්ත්‍රය නො වේ.

ජපන් හා චීන කම්කරුවෝ පොදු පීඩකයන්ට, සමහර අවස්ථාවල දී එක ම ගෝලීය සංගතවලට මුහුන දෙති. ඔවුන් තම පාලක පන්තීන් විසින් ප්‍රචාරය කරනු ලබන ජාතිකවාදයන් හා යුදවාදය ප්‍රතික්ෂේප කල යුතු අතර සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනය වෙතට හැරිය යුතු ය. ලාභ පද්ධතිය අහෝසි කිරීමට කම්කරු පන්තිය එක්සත් කිරීම මත පදනම් වූ සමාජවාදී ව්‍යාපාරයකට පමන යි ආසියාව හා ලෝකය තුල යුද්ධයේ අනතුරු පිටුදැකිය හැක්කේ. මෙහි අර්ථය වනුයේ චීනය හා ජපානය යන දෙරට තුලම ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යපාරය වන හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන් ගොඩනැගීම යි

ජෝන් චෑන්

Share this article: