සසප මැතිවරන උද්ඝෝෂනයේ අවසන් රැස්වීම රුවන්වැල්ලේදී පවත්වයි

By Our correspondents, 6 September 2012

සැප්තැම්බර් 8 දා පැවැත්වීමට නියමිත පලාත් සභා මැතිවරනයේදී කෑගල්ල දිස්ති‍්‍රක්කය තුල සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) සති හයක් පුරා ගෙනගිය සාර්ථක මැතිවරන උද්ඝෝෂනය පසුගිය ඉරිදා රුවන්වැල්ල නගරයේ සමුපකාර ශාලාවේ පැවති ප‍්‍රසිද්ධ රැස්වීමත් සමග නිමාවට පත් විය. සසප කෑගල්ල දිස්ති‍්‍රක්කය සඳහා දේශපාලන කමිටු සභික ආනන්ද දවුලගලගේ නායකත්වයෙන් අපේක්ෂකයන් 21 ඉදිරිපත් කර තිබේ.

වතු කම්කරුවන් ඇතුලු කම්කරු පන්තියේ විවිධ කොටස්, දුගී ගොවීන්, රැකියා විරහිත තරුනයන්, ශිෂ්‍යයන් හා ගෘහනීන් අතර සසප උද්ඝෝෂනයේ යෙදුනි. පක්ෂයේ මැතිවරන නිවේදනයේ පිටපත් 15,000 හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කෙරුන ලිපි සැලකිය යුතු සංඛ්‍යාවක් මෙම උද්ඝෝෂනයේදී බෙදා හරින ලදී. ධනවාදයේ ගැඹුරුවන වර්තමාන අර්බුදය තුල ශී‍්‍ර ලංකාවේ හා ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දී සිටින තීරනාත්මක දේශපාලන ප‍්‍රශ්න ගැන බලගතු සාකච්ඡාවක් අවුලුවා ලීමට මෙම උද්ඝෝෂනයේ දී සසප හා සසජාශි සමත් වූ හ. සසප ඉදිරිදර්ශනය හැදෑරීමටත් එහි සාමාජිකත්වය ලබා ගැනීමටත් කම්කරුවෝ හා තරුනයෝ සැලකිය යුතු සංඛ්‍යාවක් උද්ඝෝෂනය තුලදී එකඟ වූ හ.

සසජාශි ශී‍්‍ර ලංකා කැඳවුම්කරු කපිල ප‍්‍රනාන්දු රැස්වීමේ මුලසුන දැරීය. 2008 පිපුරුන ලෝක ධනවාදී අර්බුදය විසින් රට තුල මූල්‍ය හා දේශපාලන අර්බුදය තීව‍්‍ර කෙරෙන තතු තුල ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඒවායේ නිල කාලය අවසන් වීමට වසරකට කලින් පලාත් සභා මැතිවරන කැඳවා ඇති බව ප‍්‍රනාන්දු සඳහන් කලේය. මෙම මැතිවරන පැවැත්වීම මගින් එක අතකින් වැටුප්, සෞඛ්‍යය සහ අධ්‍යාපනයට එල්ල කෙරෙන ප‍්‍රහාරවලින් අවධානය වෙනතකට යොමු කිරීමටත්, අනෙක් අතින් මහජනයා ඉදිරියේ අපකීර්තියට පත්ව සිටින හා මහජනයා ගේ දැවෙන සමාජ ආර්ථික ප‍්‍රශ්න සම්බන්ධයෙන් කිසිදු විකල්ප කි‍්‍රයාමාර්ගයක් ඉදිරිපත් කිරීමට අසමත් නිල විපක්ෂයේ බංකොලොත්කම ගසා කමින් මැතිවරනය ජය ගැනීමට රාජපක්ෂ ආන්ඩුව අපේක්ෂා කරන බව ඔහු පැවසුවේ ය. මැතිවරනය ජය ගැනීමෙන් පසුව ආන්ඩුවේ පිලිවෙත්වලට මහජන වරමක් පවතින බව ප‍්‍රකාශ කරමින් ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහි මහජන විරෝධය මැඩීමට ආන්ඩුව නිසැකව ම පියවර ගනු ඇති බවට ප‍්‍රනාන්දු අනතුරු ඇඟවී ය.

ප‍්‍රධාන කතාව පවත්වනු ලැබුවේ කන්ඩායම් නායක ආනන්ද දවුලගල විසිනි. ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් දිස්ති‍්‍රක්කය තුල දැනටමත් විනාසකාරී බලපෑමක් ඇතිකර තිබෙන බව ඔහු පැහැදිලි කලේ ය. ආන්ඩුවේ රෝහල් හා බෙහෙත්ශාලාවල අවශ්‍ය බෙහෙත් නැතිකම, දුසිම් ගනනක් පාසල් වසා දැමීම, සමෘද්ධි දීමනා කප්පාදු කිරීම ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වල ප‍්‍රතිවිපාකයක් බව ඔහු පෙන්වා දුන්නේය. "රුපියල් 1,000 දක්වා මාසික සමෘද්ධි දීමනාව වැඩිකල බව ආන්ඩුව කිව්වත් මැතිවරන උද්ඝෝෂනයේ දී මුන ගැසුන දුගීන් අපට ප‍්‍රකාශ කලේ මේ මාසේ රුපියල් 1,000 ලැබුනත් ඡන්දෙ ඉවර වුන ගමන් නැවතත් එය රුපියල් 100 ට කප්පාදු කිරීමට ඉඩ තිබෙන බවයි. සමෘද්ධි ආධාර ලබන බොහෝ අය ඉන් ඉවත් කිරීමෙන් ආන්ඩුව දරිද්‍රතා සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් උපාමාරු දමන” බව ඔහු කීය.

ආනන්ද දවුලගල

"මෙය ලංකාවට සුවිශේෂ වූ තත්වයක් නෙමෙයි. රාජපක්ෂ ආන්ඩුව අනුගමනය කරන්නේ ලෝකය පුරාම ආන්ඩු කි‍්‍රයාවට දමන කප්පාදු න්‍යාය පත‍්‍රයන්” බව දවුලගල පැහැදිලි කලේ ය. ආන්ඩුවේ නය දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 80 පමන වන අතර කඳු ගැසී ඇති නය ගෙවීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් තවත් ඩොලර් මිලියන 500 නයක් ගැනීමට ආන්ඩුව උත්සාහ කරමින් සිටින බව දවුලගල ප‍්‍රකාශ කලේ ය. "ආන්ඩුව මෙම නය ගැනීමේ දී ජාමුඅ පනවන කොන්දේසි, විශේෂයෙන්ම සියයට 9 පමන මට්ටමේ පවතින අයවැය පරතරය 6.2 දක්වා මෙම වසර තුල අඩු කිරීමට එකඟ විය යුතුයි. එහි තේරුම ඉදිරි මාස කිහිපය තුල සමාජ වැඩ පිලිවෙලවල්වල බරපතල කප්පාදුවක් සිදුවීම” යයි ඔහු පෙන්වා දුන්නේ ය.

ලෝකයේ බොහෝ කලාපවල ඔහුගේ සමපාර්ශවකරුවන්ට සමගාමීව 1977 දී ජේ. ආර්. ජයවර්ධන "පුද්ගලික අංශය සංවර්ධනයේ එන්ජිම” ලෙස ප‍්‍රවර්ධනය කල ආකාරය දවුලගල පැහැදිලි කලේ ය. ලන්ඩනය පදනම් කරගත් ටැක්ස් ජස්ටිස් නෙට්වොර්ක් හි ජුලි මාසයේ දත්තවලට අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල් 139 ක "ඉහල සුද්ධ ආදායමක් ලබන පුද්ගලයින්” පසුගිය වසර 40 තුල ඩොලර් ටි‍්‍රලියන 7.3 ත් 9.3 ත් අතර ප‍්‍රමානයක් බදුසහන පාරාදීසයන් වන ස්විට්සර්ලන්තය වැනි රටවල රහසිගත ගිනුම්වල තැන්පත් කර ඇති බවත් මෙම වත්කම් ඔවුන්ගේ රටවල්වල රාජ්‍ය නයවලට වඩා වැඩි බවත් දවුලගල කීවේ ය. "ජයවර්ධනගේ පිලිවෙත ඉස්මත්තට ගෙන යමින් පුද්ගලීකරනය ප‍්‍රසාරනය කිරීමට රාජපක්ෂ ජාත්‍යන්තර මුල්‍ය ආයතන සමග එකඟ වී සිටින” බව ඔහු පැවසුවේ ය.

ජාත්‍යන්තර සුපිරි ධනවතුන්ගේ එතෙර පවතින වත්කම් 2005 දී ඩොලර් ටි‍්‍රලියන 11.5 බවත් එතැන් පටන් එකී වත්කම් දෙගුන හෝ තෙගුන වී ඇති බව දවුලගල පැවසුවේ ය. "අද ලෝක ජනගහනයෙන් සියයට 10ක් සමස්ත ලෝක වත්කම්වලින් සියයට 84ක් පාලනය කරන” බව ඔහු පෙන්වා දුන්නේය. ධනවාදී අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීමේ පිලිවෙත් නිසා ශී‍්‍ර ලංකාවේ මෙන්ම එක්සත් ජනපදයේ හා යුරෝපයේ සමාජ අසමානතාවය පෙර නො වූ ආකාරයට පුලුල් වී ඇතැයි දවුලගල සඳහන් කලේ ය.

සමාජ අසමානතාවය කෙරෙහි පවතින ගැඹුරු විරෝධය ප‍්‍රකාශයට පත් වූ නමුත් වෝල් වීදිය වාඩිලා ගැනීමේ ව්‍යාපාරය දුප්පතුන් හා පොහොසතුන් අතර සමාජ අසමානතාවය පුලුල් වීමට තුඩුදෙන ලෝක ධනේශ්වර ලාබ පද්ධතියට විරුද්ධ වුනේ නැහැ. ඔවුන්ගේ අරමුන සිය කෝපය ප‍්‍රකාශ කිරීම හා සමාජ ආසමානාතාවය ඉවත් කරන ලෙස පාලකයන්ට පීඩනය යෙදීම පමනක් බව ඔහු පැහිදිලි කලේ ය.

මෙම ව්‍යාපාරය මුදුනත අරක් ගත් වෘත්තිකයන් හා බුද්ධිමතුන් ඇතුලු මධ්‍යම පන්තියේ ධනවත් කොටස් 1991 සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු දකුනට ගමන් කර ඇති බවත් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග පෙල ගැසී ඉමහත් ධනයක් උපයාගෙන ඇති බව දවුලගල සඳහන් කලේ ය. "ව්‍යාජ වම්මුන් වන නව සම සමාජ පක්ෂය සහ එක්සත් සමාජවාදී පක්ෂය ලංකාවේ ඔවුන්ගේ සම චින්තකයන්. මෙම සංවිධාන කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක වර්ධනය අවහිර කරන” බව ඔහු ප‍්‍රකාශ කලේ ය.

ව්‍යාජ වම්මුන්ට එරෙහිව තියුනු දේශපාලන හා න්‍යායික අරගලයකින් තොරව කම්කරුවන්ට හෝ තරුනයන්ට තමන්ගේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගිය නොහැකි බව අවධාරනය කල දවුලගල ශී‍්‍ර ලංකාවේ සසප හා එය සම්බන්ධ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව උරදී සිටින්නේ එම අරගලයට බව ප‍්‍රකාශ කලේ ය.

රාජපක්ෂ ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට හා පොලිස් රාජ්‍ය සැලසුම් වලට එරෙහිව සමාජවාදී ආර්ථික පිලිිවෙතක් කි‍්‍රයාවට දමන කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා සටන් වදින සසප අරගලයට ඒකාබද්ධ වන ලෙස ඔහු රැස්වීමට පැමින සිටි කම්කරුවන් ගෙන් හා තරුනයන් ගෙන් ඉල්ලා සිටියේ ය.

ඉක්බිතිව සසප දේශපාලන කමිටු සාමාජික ඩබ්ලිව්. ඒ. සුනිල් රැස්වීම ඇමතී ය. පොරොන්දු ලැයිස්තු ඉදිරිපත් කරන ආන්ඩුවේ සහ විපක්ෂයේ මැතිවරන උද්ඝෝෂනය හා සසප උද්ඝෝෂනය අතර පවතින තියුනු වෙනස ඔහු පෙන්වා දුන්නේ ය. "ශී‍්‍ර ලංකාවේ සසප මැතිවරන උද්ඝෝෂනයත්, ඇමරිකාවේ සසප ජනාධිපති අපේක්ෂක ජෙරී වයිට් ගේ ශී‍්‍ර ලංකා සංචාරයේත් අරමුන අධිරාජ්‍යවාදී යටත් විජිතවාදයට, මිලිටරිවාදයට, යුද්ධයට හා කප්පාදු පිලිවෙත් වලට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී කි‍්‍රයාමාර්ගයක් මත ශී‍්‍ර ලංකාවේ හා ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීම” බව ඔහු ප‍්‍රකාශ කලේය.

ඩබ්ලිව්. ඒ. සුනිල් සභාව අමතමින්

ලෝක මූල්‍ය අර්බුදයේ බල පෑමක් ලංකාවට නැති බව යලි යලිත් රාජපක්ෂ ආන්ඩුව පසුගිය කාලයේ ප‍්‍රකාශ කලත් එහි ප‍්‍රතිපලයක් ලෙස ශී‍්‍ර ලංකාව ගැඹුරු අර්බුදයකට මුහුන දී සිටින බව රාජපක්ෂ දැන් පිලිගෙන ඇති බව ඔහු සඳහන් කලේය. රාජපක්ෂ එය පිලිගෙන ඇත්තේ "කම්කරු පීඩිත ජනයා මත එල්ල කරන කප්පාදු පිලිිවෙත් හා ලෝක බලයන් මත ආන්ඩුවේ යැපීම යුක්ති සහගත කිරීම” සඳහා යයි සුනිල් ප‍්‍රකාශ කලේ ය. ආසියානු සංවර්ධන බැංකුවේ මෑත වාර්තාවකට අනුව ලංකාවේ ජනගහනයෙන් 27%ක් දිනකට ඩොලර් 1.25 ට අඩු ආදායමක් හා 54%ක් ඩොලර් 2 වඩා අඩු ආදායමක් ලබන අය බව ඔහු පෙන්වා දුන්නේය. සියයට 9.2 දක්වා නැග ඇති උද්ධමන රේට්ටුව වේගයන් ඉහල යමින් තිබෙන බවත් ලෝකයේ සෙසු කලාපවල මෙන්ම ආසියාවේ ද දරිද්‍රතාව වර්ධනය වී ඇති බවත් ඔහු ප‍්‍රකාශ කලේය. ආසියානු ජන ගහනයෙන් මිලියන 900 ක් දිනකට ඩොලර් 1.25 අඩු ආදායම් ලබන්නන් බව ඔහු පැවසුවේ ය.

2008 ආර්ථික බිඳ වැටීමත් සමග කම්කරු පන්තියට එරෙහිව ලෝක පරිමාන ප‍්‍රහාරයක් මුදා හැර ඇති බව පෙන්වා දුන් ඔහු දියුනු ධනපති රටවල් කම්කරුවන්ගේ වැටුප් සහ ජීවන තත්වයන් නොදියුනු රටවල කම්කරුවන් ගේ මට්ටමට සමතලා කෙරෙමින් පවතින බව කීවේ ය. කම්කරු පන්තියට එරෙහිව ලෝක ධනවාදය විසින් සුදානම් කෙරෙමින් පවතින සමාජ ප‍්‍රතිවිප්ලවය පරාජය කලහැක්කේ සමාජාවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩ නැගීමෙන් පමනක් බව ඔහු අවධාරනය කලේ ය.

ඊජිප්තුවේ මහජන විප්ලවයේ පාඩම් කෙරෙහි රැස්වීමේ අවදානය යොමු කල ඔහු විප්ලවවාදී නායකත්වයක් නො පැවතීම නිසා සමාජවාදී විප්ලවය දක්වා එය ඉදිරියට ගෙනයාමට ඊජිප්තු කම්කරු පන්තිය අසමත් වූ බව පෙන්වා දුන්නේ ය. එමගින් යලිත් සනාත කරනු ලැබ ඇත්තේ ට්‍රොට්ස්කිවාදී නොනවතින විප්ලව න්‍යායේ නිරවද්‍යභාවය බවත් සසප ඉදිරි දර්ශනය හදාරන ලෙසත් සසපට බැඳී විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීමට පෙරට එන ලෙසත් ඔහු ඉල්ලා සිටියේ ය.

Share this article: