ශ්‍රී ලංකාවේ කොටස් වෙලඳපොල සෝලිය පුපුරා යයි

Share market scandal erupts in Sri Lanka

By Saman Gunadasa ,12 September 2012

රජයේ ඇමතිවරු සමපේක්ෂකයන් හා එක්ව වැඩකරන බවට ශ්‍රී ලංකා කොටස් හා විනිමය කොමිස‍ම් (ශ්‍රීලකොවිකො) හිටපු සභාපති තිලක් කරුනාරත්න චෝදනා කිරීමෙන් පසු මෑත සති කීපයේ දී කොලඹ කොටස් හුවමාරුවෙහි කොටස් හැසිරවීමේ සෝලිය පුපුරා ගොස් තිබේ.

ඔහුගේ පත්කිරීමෙන් හරියටම මාස නවයකට පසු, තම තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස කරුනාරත්නට ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් පීඩනය එල්ල විය. ඔහුගේ නෙරපාහැරීමට පැහැදිලි හේතුව වූයේ, කොටස් වෙලඳපොල අපයෝජනය ගැන චෝදනාලත් සමාගම් 17 ක් සම්බන්ධව ශ්‍රීලකොවිකො පරීක්ෂන ආරම්භ කර තිබීම යි.

තම ඉල්ලා අස්වීමෙන් පසු, රාජපක්ෂ ඇතුලුව රජයේ නායකයන් හා ලඟ සම්බන්ධකම් ඇති "කොටස් වෙලඳපොල මාෆියාව" විසින් කෙරෙන "මහදවල් මංකොල්ල" ගැන කරුනාරත්න මාධ්‍යයට පැවසීය.

කරුනාරත්න දේශපාලඥයෙක් මෙන්ම ව්‍යාපාරිකයෙක්ද වේ. සිංහල ස්වෝත්තමවාදී ජාතික හෙල උරුමයේ (ජාහෙඋ) ආරම්භක නායකයෙක් වූ ඔහු පසුව දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයට (එජාප) එක්විය. 2010 ජනවාරි ජනාධිපති මැතිවරනයට මොහාතකට පෙර ඔහු රාජපක්ෂගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට (ශ්‍රීලනිප) මාරු විය.

ශ්‍රීලකොවිකො යනු කොලඹ කොටස් වෙලඳපොල අධීක්ෂනය සඳහා ජනාධිපති විසින් පත්කරන "නියාමන අධිකාරියයි". ආන්ඩුවට හිතවත් සභාපතිවරු පත්කරන්නට රාජපක්ෂ තම බලතල උපයෝගී කර ගෙන තිබේ. සමාන තත්වයන් යටතේ ඉල්ලා අස් වූ කරුනාරත්නගේ පූර්වගාමික ඉන්ද්‍රානි සුගතදාස යනු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ භාර්යාවයි.

රටෙහි දීර්ඝ කාලයක් පුරා පැවති සිවිල් යුද්ධයේ නිමාවෙන් පසු, රාජපක්ෂ ආන්ඩුව විසින් කිරි පොවා හදාවඩාගත් මූල්‍ය සමපේක්ෂකයන්ගේ පරපෝෂිත ස්ථරයේ මෙහෙයුම් සම්බන්ධව මෙම මෑතකාලීන අපචාරය ඉඟියක් සපයා තිබේ. 2009 මැයිවලදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) පරාජයෙන් පසු, කොලඹ සමස්ත කොටස් මිල දර්ශකය අහස උසට නැංගේය. 2008 දී 1,631 අගයක් ගත් එය 2011 පෙබරවාරියේ දී 7,800 ක් විය.

තම රජයේ ආර්ථික ජයග්‍රහනයේ සාක්ෂි සඳහා රාජපක්ෂ අහස උසට නගින කොටස් මිලගනන් පෙන්නුවේය. "ලෝකයේ ඉතාම හොඳින් ක්‍රියාත්මක වන කොටස් වෙලඳපොලින් එකක්" ලෙසට මූල්‍ය මාධ්‍ය පිලිගත්තේ නමුදු "ජයග්‍රහනය", ගෝලීය මූල්‍ය අර්බුදය අතරමැද, අසීමිත සමපේක්ෂ මත සෑදූවක් විය. 2011 මුලදී, බුබුල පුපුරා ගිය අතර වර්තමානයේදී දර්ශකය 5,000 අගයක රැඳී පවතී. විදේශ ආයෝජකයන් අරමුදල් ආපසු අදිමින් සිටි අතර දැන් කොලඹ ලෝකයේ "නරකම" වෙලඳපොලවලින් එකක් ලෙස වර්ගීකරනය කර තිබේ.

කොටස් මිල ඉහලයාමේ ප්‍රධාන සාධකයක් වූයේ සමපේක්ෂන බව කරුනාරත්න පිලිගත්තේය. "අතිශය ඉහල මට්ටම්වලට මිලගනන් ලඟාවීමට මග සෑදූ වෙලඳපොලට මුදල් පොම්පකිරීමට අසාධාරන ක්‍රම භාවිතාකල මිනිසුන්ගෙන් ප්‍රධාන දායකත්වය පැමිනියේය." ඔහු මාධ්‍යයට පැවසීය.

විමර්ෂනය සඳහා ඔහු නිර්දේශ කල සමාගම් 17 හිටපු ශ්‍රීලකොවිකො සභාපතිවරයා නම් කලේ නැත. නමුත් 2009 අග සිට 2010 අග අතරේදී මිලගනන් නාටකාකාරව ඉහල නැගි අවස්ථා පෙන්වාදෙමින් ඔහු ඒවායේ අනන්‍යතාව පිලිබඳව ඉඟි කලේය. එම වසර පුරා, දන්කොටුව පෝසිලේන්, බ්ලූ ඩයමන්ඩ්ස්, ඒසියන් එලායන්ස් ඉන්ෂුවරන්ස්, ලංකා හොස්පිටල්ස් සහ එච්වීඒ ෆුඩ්ස් යන සමාගම්වල කොටස් මිල පිලිවෙලින් සියයට 226, 270, 177, 204 සහ 394 කින් ඉහල ගියේය. "නරි හා වංචාකාරයන්ගේ මාෆියාව" නමින් පසුගිය සතිඅන්ත සන්ඩේ ටයිම්ස් කතුවැකියෙහි මෙසේ ප්‍රකාශ කලේය. "සැකකරුවන් 17 දෙනාගෙන් බොහෝ දෙනා පාලක ප්‍රභූව සමග කිට්ටු සම්බන්ධකම් ඇති බව පොදු ඕපාදූපයකි. පාලකයන්ගේ දේශපාලන රැස්වීම්වලට මූල්‍ය පහසුකම් සැපයීම සහ වැඩිමනත්ම, පාලකයන් සඳහා පෙනී සිටින්නන් වැනි මට්ටමට මෙම සම්බන්ධකම් විහිදේ."

"පොම්පකිරීම සහ ඉවතලීම" ලෙස නම් ලද වැඩපිලිවෙලක දී, ඉහල ලාභ පොරොන්දු වෙමින් විශේෂිත කොටස්වල මුදල් යොදවන ලෙස ප්‍රධාන විකුනුම්කරුවන් ආයෝජකයන්ව ධෛර්යමත් කර තිබේ. එක්තරා මට්ටමකට කොටස් මිල ඉහල ගිය විට, විකුනුම්කරුවන් යෝධ ලාභ ලබමින් ඒවා විකුනා දමන අතර මිල ගනන් සීඝ්‍රව පහත වැටේ. තමන්ගේ ඉතිරිකිරීම් සහ විශ්‍රාම අරමුදල් ආයෝජනය කර ඇති කුඩා කොටස් හිමියන් දැවැන්ත පාඩු ලබා ඇත.

ගලධාරි හෝටල්, ලාෆ්ස් ගෑස්, පිරමල් ග්ලාස් සිලෝන්, සිලෝන් ග්‍රේන් එලිවේටර්ස් සහ බ්‍රවුන්ස් වැනි දුර්වල සමාගම් ඇතුලත්ව කොටස් මිලදී ගැනීමට රටෙහි විශාලතම විශ්‍රාම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලෙන් (සේඅඅ) මුදල් නිදහස් කරමින් මහ බැංකුව මෙම සමපේක්ෂ උමතුව ධෛර්යමත් කලේය. පුද්ගලික අංශ ආයෝජනය සඳහා සේඅඅ මුදල් නිදහස් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) බොහෝ කල් සිට පැවතුනු ඉල්ලීමක් විය.

ප්‍රතිපල මහත් ව්‍යසනකාරී වී තිබේ. උදාහරනයකට, 2010 දී සේඅඅ පාඩු ලබන ගලධාරි හෝටල් කොටස් මිලියන 23.7 ක් නවලෝක හොස්පිටල්ස් වෙතින් කොටසක් රු. 32.50 ගනනේ මිලදී ගත්තේය. 2012 ජූලි වනවිට, සේඅඅ ට රුපියල් මිලියන 500 පාඩුවක් ඇති කරමින් කොටස් මිල රු. 11 දක්වා පහලට ඇද වැටුනි. සමස්තයක් ලෙස මේ අවුරුද්දේ මැද වන විට සේඅඅ රුපියල් බිලියන 6 ක පමන පාඩුවක් ලබා තිබේ.

අලු‍තෙන් පත්කල ශ්‍රීලකොවිකො සභාපතිවරයා වන නාලක ගොඩහේවා ආන්ඩුව සමග හොඳින් සම්බන්ධකම් ඇත්තෙකි. කොටස් හැසිරවීම ගැන සැකයට භාජනය වූ කොලම්බු ලෑන්ඩ්ස් සහ ඩිවලොප්මන්ට් (සීඑල්ඩී) සමාගමේ ප්‍රධාන නිලය තිබිය දී මෙම රැකියාව ඔහුට ප්‍රදානය කර තිබේ.

සීඑල්ඩී යනු කොලඹ ප්‍රධාන දේපල වෙලඳාම් සමාගමක් වූ නමුත් නාගරික සංවර්ධන අධිකාරිය (නාසඅ) සමග හවුල් ව්‍යාපාරයක් ලෙසට ප්‍රතිව්‍යුහගත කෙරුනි. 2010 දී, රජය සිවිල් ආයතනයක් වූ නාසඅ ජනාධිපතිගේ සහෝදර ගෝඨාභය රාජපක්ෂ යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කලේය. මූලිකව ම 70,000 ක් පමනවන පැල්පත්වාසීන් ඉවත්කිරීම හරහා කොලඹ ප්‍රධාන "වානිජ මධ්‍යස්ථානයක්" ලෙස සංවර්ධනය කිරීමේ ආන්ඩුවේ සැලැස්මවල් ක්‍රියාත්මක කිරීමට නාසඅ මූලික වේ. ආරක්ෂක හමුදා දැනටමත් පවුල් සිය ගනනක් බලහත්කාරයෙන් ඉවත් කර ඇත.

"කොටස් වෙලඳපොල මාෆියාවේ" එක් සාමාජිකයෙක් බවට මාධ්‍ය මගින් මෑතකදී හඳුන්වාදුන් අයෙකුටත් රජය සමග සම්බන්ධකම් පවතී. කොටස් වෙලඳපොල කටයුතු ගැන සාකච්ඡා කරන්නට මෑතක දී ගෝඨාභය රාජපක්ෂ හමුවූ බව දිවස ඉක්විටි සමාගමේ අධිපති දිලිත් ජයවීර පිලිගත්තේය. කොටස් ගැනුම්කරුවන් සඳහා නිදහස් හැසිරීමක් ඉල්ලන අයෙක් ලෙස ප්‍රසිද්ධ ජයවීර සඳහා ශ්‍රීලකොවිකො සභාපති කරුනාරත්න හමුවීමට ගෝඨාභය රාජපක්ෂ පිලිවෙල යෙදූවේය.

කොටස් වෙලඳපොල අපචාර පුපුරායාම ආයතනික ප්‍රභූවේ ස්ථර අතරේ රාජපක්ෂ ආන්ඩුව සහ එහි ව්‍යාපාර සහචරයන් ගැන ගැඹුරු අසන්තෝෂයක් පෙන්නුම් කලේය. කරුනාරත්නගේ ඉල්ලා අස්වීම ගැන සිය සැලකිල්ල ප්‍රකාශ කල ලංකා වානිජ මංඩලය එය විදේශ ආයෝජකයන්ට වැරදි සංඥාවක් නිකුත්කරනු ඇතැයි අනතුරු ඇඟවීය.

අපනයන පහල බැසීම සහ නැගී එන ගෙවුම් ශේෂ අර්බුදය හරහා ශ්‍රී ලංකා ආර්ථිකය මත දරුනු ලෙස බලපෑම් ඇතිකරන නරක්වන ගෝලීය ආර්ථික කඩාවැටීම මැද පාලක කවයන් තුල මෙම බෙදීම් විවෘත වී තිබේ. මෙම පාඩුවල බර, වැඩකරන ජනතාව මතට පටවන්නට නොවැරදීම උත්සාහ කරන ආන්ඩුව සමග ගැලතීගෙන සිටින සමපේක්ෂකයන්ගේ පරපෝෂිත ස්ථරය සහ කොටස් මිල හසුරුවන්නන් මෙම අපචාරය තුලින් හෙලිදරව් වී තිබේ.

Share this article: