ශී‍්‍ර ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට සහාය දෙනු!

Support the struggle of Sri Lankan university teachers

By the Socialist Equality Party (Sri Lanka), 25 September 2012

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට ලබා දී ඇති මහජන සහයෝගය පිලිබඳව සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි ශිෂ්‍ය ව්‍යාපාරය වන සමාජවාදී සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) ව්‍යාපාරය මුලුහදින්ම සාතිශය සතුට පල කරයි. වඩා හොඳ වැටුපක් සහ සේවා කොන්දේසි සඳහා වූ ඔවුන්ගේ ඉල්ලීම් වලට එරෙහි ආන්ඩුවේ කප්පාදු පියවරයන් මගින් බරපතල ලෙස පහර කා සිටින කම්කරු පන්තිය තුලින් මේ බලගතු සහයෝගය ගොඩ නැගී තිබේ.

ජීවන තත්වයන් ආරක්ෂා කිරීම සඳහා වන පුලුල්ම උද්ඝෝෂනයක කොටසක් ලෙස, තමන්ගේම කි‍්‍රයාකාරකම් වලින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට සහයෝගය දෙන ලෙස කම්කරුවන්ගෙන්, ශිෂ්‍යයන්ගෙන් සහ තරුනයන්ගෙන් සසප ඉල්ලා සිටී. මෙය, අත්‍යවශ්‍යයෙන්ම රාජපක්ෂ ආන්ඩුවට සහ සමස්තයක් ලෙස කොලඹ දේශපාලන සංස්ථාපිතයට එරෙහි දේශපාලන අරගලයකි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ (විවිආස) නායකයන් එවන් ඉදිරිදර්ශනයකට මූලිකව ම විරුද්ධ වන බවත් රාජපක්ෂ ආන්ඩුවට යටත් වෙමින් වර්ජනය පාවාදෙනු ඇති බවටත් අපි අනතුරු අඟවමු.

වර්ජනයට දැනටමත් මාස දෙකහමාරක් ගතවී ඇත. මහජන සහයෝගය ගොනු කර ගැනීම සඳහා ගාල්ලේ සහ මහනුවර නගර වල සිට දැන් ගමන්කරමින් තිබෙන දීර්ඝ පාගමන් සිකුරාදා කොලඹදී පැවැත්වෙන මහජන රැලියකින් කුලුගැන්වෙනු ඇත. සියයට 20ක වැටුප් වැඩිවීමක්, නිදහස් අධ්‍යාපනය සඳහා දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 6ක් වෙන් කිරීම සහ විශ්වවිද්‍යාල පුද්ගලීකරනය නතර කරන ලෙස ඉල්ලමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු අරගලයේ යෙදී සිටිති. මතු වන මූලික ප‍්‍රශ්නය මෙයයි; රාජපක්ෂ ආන්ඩුව හෝ වෙනත් කවර හෝ ධනපති ආන්ඩුවක් යටතේ මෙම ඉල්ලීම් සාක්ෂාත් කරගත හැකි ද? පිලිතුර පැහැදිලි ය; ලොව පුරා ස්වකීය පාලක පන්ති සහකරුවන් මෙන්ම ශී‍්‍ර ලංකා ආන්ඩුව ද උත්සාහ කරමින් සිටින්ගේ ගෝලීය ආර්ථික බිඳවැටීමේ බර වැඩ කරන ජනතාවගේ කරමත පැටවීමට ය.

රුපියලේ අගය පහත වැටෙමින් තිබිය දී රාජපක්ෂ ආන්ඩුව දැනටමත් වැටුප් කැටි කර, පාරිභෝගික භාන්ඩ මත බදු පනවා, අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවාවන් සඳහා වූ මිල සහනාධාර කප්පාදු කර ඇත. අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුල දැනටමත් පාසැල් 150ක් වසා දමා විශ්වවිද්‍යාලවලට ගුරුවරුන් බඳවා ගැනීම, දේශනශාලා ගොඩනැගීම, විද්‍යාගාර සහ පුස්තකාල සේවා පහසුකම් සැපයීම සඳහා අවශ්‍යවන්නා වූ අරමුදල් කපා හැර තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට හෝ කම්කරු පන්තියේ සෙසු කවර හෝ කොටසකට සහන දෙනවා වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ඉල්ලීම්වලට අනුකූල මෙම කප්පාදු න්‍යාය පත‍්‍රය කි‍්‍රයාවට දැමීම තීව‍්‍ර කිරීමට රාජපක්ෂ ආන්ඩුව කැප වී සිටියි. ධනවාදයේ අර්බුදය සඳහා කම්කරු පන්තිය කරගැසිය යුතුයි යන්න පිලිබඳව ප‍්‍රධාන විරුද්ධ පක්ෂ වන එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ට මූලික මතභේදයක් නැත.

එසේ වුවද, විවිආස නායකයෝ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් රාජපක්ෂ ආන්ඩුවට පීඩනය යෙදීම මගින් දිනාගත හැකි යයි මාරක මිථ්‍යාවක් වපුරති. ජනාධිපතිගේ සහෝදරයෙකු වන ආර්ථික සංවර්ධන ඇමති ඇතුලු ආන්ඩුවේ නිලධාරින් සමග පැවති සාකච්ඡා ඉතා "සුහදශීලී” වූ බව විවිආස සභාපති නිර්මාල් රංජිත් දේවසිරි පසුගිය සතියේ ඉරිදා ලක්බිම පුවත්පතට පැවසුවේය. වසර දෙකකටත් වඩා ඉහත දී තමන්ගේ ඉල්ලීම් මෙම ආන්ඩුව විසින් ම ප‍්‍රතික්ෂේප කල බව විශ්වවිද්‍යාල ආචාර්යවරු හොඳින්ම දනිති.

තමන් කම්කරු පන්තිය තුල "වරප‍්‍රසාදිත කොටසක්” නිසා සෙසු කම්කරුවන්ගේ සහායකින් තොරව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ස්වකීය ඉල්ලීම් දිනාගත හැකි යයි විවිආස අවධාරනය කර ඇත. ස්වකීය ජීවන තත්වයන් ට එරෙහිව සමාන ප‍්‍රහාරයන්ට මුහුන දී සිටින කම්කරු පන්තියේ සෙසු ස්ථරයන්ගෙන් කෙසේ වෙතත් ආචාර්යවරුන්ගේ අරගලයට විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මන්ඩල සහ ශිෂ්‍යයන්ගේ සහයෝගය ඉල්ලා සිටීම පවා සමිති නායකයෝ ප‍්‍රතික්ෂේප කරති.

විවිආස විසින්, වර්ජිත විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙහෙයවනු ලබමින් සිටින්නේ, පසුගිය වසරේ දිග් ගැස්සුනු වැටුප් අරගලය පාවා දීමෙන් අවසන් කෙරුන එම මාවතේ ම ය. මාස තුනක් දිග්ගැස්සී ගිය උද්ඝෝෂනයකින් පසුව,ඒ අවස්ථාවේදී, මුල් ඉල්ලීමට බෙහෙවින්ම අඩු සීමිත වැටුප් වැඩිවීමක් විවිආස විසින් පිලිගත් අතර නිදහස් අධ්‍යාපනය සඳහා දජානියෙන් සියයට 6ක් වෙන් කිරීම ඇතුලු සෙසු ඉල්ලීම් සරලව ම අතහැර දැමීය.

මේ අවස්ථාවේදී ද කිසිදු සහනයක් නොදෙන බව ආන්ඩුව දැනටමත් අවධාරනය කර තිබේ. ආන්ඩුවට අවශ්‍ය නම් වර්ජනය ක්ෂනිකවම කුඩු කල හැකි බවට උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක ගර්ජනය කර ඇත. ඉහත දී වර්ජන හා විරෝධතාවල යෙදුන කම්කරුවන්ට එරෙහිව පොලීසිය සහ මිලිටරිය යෙදවීමට ආන්ඩුව මැලි නොවූ තතු තුල මෙය නිකම්ම කමකට නැති තර්ජනයක් නොවේ.

විවිආස නායකත්වයේ විරුද්ධත්වය නොතකමින් ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට සහ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමට සහාය දෙන වැඩකරන ජනතාවගේ ව්‍යාපාරයක් ඉස්මතු වීමට පටන් ගෙන තිබේ. මෙම නිශ්චිත මොහොතේදී ම කම්කරු පන්තියේ පැරනි ද්‍රෝහී නායකත්වයන් වන ලංකා සමසමාජ පක්ෂය (ලසසප) හා කොමියුනිස්ට් පක්ෂය (කොප) ද ව්‍යාජ වම්මුන් වන නව සමසමාජ පක්ෂය (නසසප), එක්සත් සමාජවාදී පක්ෂය (එසප) සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද සමග "අරගලයට සහයෝගය දීම” සඳහා විපක්ෂයේ එජාප සහ ජවිපෙ ද විවිආස වේදිකාවේ පෙනී සිටිති.

සසප විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට නැවතත් අනතුරු අඟවයි: මොවුන් සියල්ලෝම ව්‍යාජ මිතුරෝය. මෙකී පක්ෂ මෙම අරගලයට මැදිහත් වී සිටින්නේ වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සහ ඔවුන්ට සහයෝගය දෙන වැඩකරන ජනතාවට නොව, විවිආස නායකයින්ට සහයෝගය දීමට ය. ආන්ඩුවේ කොටස්කරුවන් වන ලසසප සහ කොප එහි කප්පාදු වැඩපිලිවෙලට වගකීම දරයි. එජාප සහ ජවිපෙ, ධනපති න්‍යාය පත‍්‍රය කි‍්‍රයාවට දැමූ ආන්ඩුවල කොටස්කරුවන්ව සිට ඇත.

වඩාත් ද්‍රෝහී භූමිකාව ඉටු කරන්නේ, දක්ෂිනාංශික එජාපය සමග යථාවශයෙන්ම සන්ධාන ගතවී සිටින, හිටපු වම්මුන් වන නසසප හා එසපය යි. සුවිශේෂව ම, ඔවුන්ගේ දේශපාලනික ප‍්‍රහාරය එල්ල කෙරනු ඇත්තේ, සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී කි‍්‍රයාමාර්ගයක පදනම මත ධනපති පන්තියේ සියලුම කන්ඩායම් වලින් ස්වධීනව කම්කරු පන්තිය බලමුලුගැන්වීමට සටන් වදින, එකම පක්ෂය වන සසප සහ එහි සසජාශියට එරෙහිවය.

වෘත්තීය සමිතිවලින් ස්වාධීනව, අනධ්‍යයන සේවකයින් සහ ශිෂ්‍යයන් ඇතුලත් කර ගත් කි‍්‍රයාකාරී කමිටු සියලුම විශ්වවිද්‍යාල තුලත් වැඩකරන ජනතාවගේ සෙසු කොටස් අතරත් පිහිටුවන ලෙස සසප ඉල්ලා සිටී.

යහපත් වැටුප් හා ඉහල ගුනාත්මක නිදහස් අධ්‍යාපනය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහා පමනක් නොව සමස්තයක් ලෙස කම්කරු පන්තියට ම අදාල මූලික අයිතීන් ය. මෙම අයිතීන් දිනා ගත හැක්කේ සමාජවාදී ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට දමන කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවක් සඳහා වූ අරගලයක් මගින් පමනි. ධනවත් අතලොස්සකගේ ලාභ සඳහා නොව බහුතර වැඩ කරන ජනතාවගේ වුවමනාවන් සැපිරීම සඳහා සමාජය උඩ සිට පහලට ප‍්‍රතිව්‍යුහගත කලයුතු ය. සසපට බැඳෙන ලෙසත් එය කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩනගන ලෙසත් අපි අපගේ කි‍්‍රයාමාර්ගයට එකඟවන සියලුදෙනාගෙන් ම ඉල්ලා සිටිමු.

Share this article: