ශ‍්‍රී ලංකා ආන්ඩුව ශිෂ්‍ය සංගම් නායකයා අත්අඩංගුවට ගෙන රඳවා තබයි

Kapila Fernando, 23 September 2012

අරගලයට පිවිස සිටින විශ්ව විද්‍යාල සිසුන් හා ආචාර්යවරුන් මත නව මට්ටමක මර්දනයක් මුදා හැරීමේ ආන්ඩුවේ සුදානම පෙන්නුම් කරමින්, මේ මස 19 දා කොලඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු සංජීව බන්ඩාර අත්අඩංගුවට ගනු ලැබුනි. බන්ඩාර අත්අඩංගුවට ගැනීමෙන් පසුදින කොලඹ මහේස්ත‍්‍රාත් අධිකරනයට ඉදිරිපත් කෙරුනු අතර මේ මස 25 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කෙරින.

කොලඹ මධ්‍යයේ බස් රථයකින් ගමන් කරමින් සිටියදී සිවිල් ඇඳුමින් පැමිනි පොලිස් භටයන් විසින් බන්ඩාර අත්අඩංගුවට ගැනීම පැහැර ගැනීමක ස්වරූපයක් ගනු ලැබීය. අත්අඩංගුවට ගැනීම හා බන්ඩාරට එරෙහිව ගොනු කර ඇති චෝදනා මගින් ආන්ඩුවේ සුදානම හෙලිදරව් වේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ලබා දී සරසවි යලි විවෘත කරන ලෙස ඉල්ලා පසුගිය මස 29 දා කොලඹ කොටුවේ පැවති උද්ඝෝෂනයක් අතර තුරදී පොලීසියේ නිලධාරීන් 4 දෙනෙකුට තුවාල සිදු කිරීම, පොලිස් ජල ප‍්‍රහාර රථයකට රුපියල් 70,000 ක් පමන වන අලාභයක් සිදු කිරීම හා මහජනයාට බාධාවන අයුරින් අයුතු ජන රාශියට අනුබල දීම යන චෝදනා බන්ඩාරට එරෙහිව එල්ල චෝදනාවන් ය. ඇත්තටම සිදු වුයේ සිසුන් 500 ට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වූ ඉහත උද්ඝෝෂනයට පොලිසිය විසින් දරුනු ජල, කඳුලු ගෑස් හා බැටන් ප‍්‍රහාර එල්ල කොට විසුරුවා දැමීමයි.

මෙම චෝදනා සම්බන්ධව දඬුවම් දරුනු හා බරපතල වෙයි. අයුතු ජන රාශියට මාස 6ක සිර දඬුවමක් ද, මහජන දේපලවලට හානි කිරීමට අවුරුදු එකත් විස්සත් අතර සිරදඬුවමක් ද සමග අලාභය හෝ එමෙන් තුන් ගුනයක දඩයක් ද නියම කල හැකි අතර මෙම චෝදනා පිලිබඳව පරීක්ෂන දිගට සිදු කෙරනවා ද යන්න මත ඇප දීම ප‍්‍රතික්ෂේප කල හැක.

අවිශිබමයේ හා එයට නායකත්වය දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) අවස්ථාවාදී දේශපාලනය සමග තියුනු දේශපාලනික මතභේද තිබිය දී ම සමාජවාදී සමානතා පක්ෂයත් (සසප) එහි ශිෂ්‍ය ව්‍යාපාරය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) ව්‍යාපාරයත් මෙම අත්අඩංගුවට ගැනීම තරයේ හෙලා දකින අතර කොන්දේසි විරහිතව ඔහු නිදහස් කල යුතු යයි කියා සිටී.

පෙර ජවිපෙ යටතේ ක‍්‍රියාත්මක වූ බන්ඩාර නායකත්වය දරන අවිශිබමය දැන් ජවිපෙන් සංවිධානාත්මක පමනක් කැඩී වෙන් වී සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) යටතේ ක‍්‍රියාත්මකව පවති.

බන්ඩාර වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නුවන් බෝපගේට අනුව සාමාන්‍ය අත්අඩංගුවට ගැනීමක දී චෝදනා කලින් ඉදිරිපත් කිරීමක් සිදුවන නමුත් මෙම අත් අඩංගුවට ගැනීමේ දී එය එසේ සිදු වී නැත. නමුදු උසාවියේ දී පොලීසිය පවසා ඇත්තේ කොලඹ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනම අංශයක් බැවින් එය එසේ සිදු කිරීම අනිවාර්ය නොවන බවයි.

පැමිනිලි ගොනු කිරීමට හා අත්අඩංගුවට ගැනීමට දින 20 කට වැඩි කාලයක් ගත වීමෙන් පැහැදිලිව පෙන්නුම් කෙරෙන්නේ මෙය ඉදිරි විරෝධතා මර්දනය කිරීම සඳහා කල්තියා ගත් තීන්දුවක් බවයි. බන්ඩාර අත්අඩංගුවට ගත් දිනයේ දී අවිශිබමය විසින් කොලඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිට ආරම්භ කල සත්‍යග‍්‍රහය සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරමින් කොලඹ මහේස්ත‍්‍රාත් අධිරකරනය ප‍්‍රකාශ කලේ විරෝධතා පැවැත්විය හැකි නමුත් පාර අවහිර කල නො හැකි බවයි.

බන්ඩාරට එරෙහි චෝදනා දේශපාලනිකව එල්ල කල ඒවා බව තවත් පැහැදිලි වන්නේ ඔහුට ඇප ලබා දීම සඳහා ඉදිරිපත් කර ඇති කොන්දේසි මගිනි. ඉදිරියේ දී තවදුරටත් සිසු විරෝධතා සංවිධානය නො කරන බවට දිවුරුම් ප‍්‍රකාශයක් මගින් සහතික වීම බන්ඩාරට පැන වූ එක් කොන්දේසියකි.

අලුත් වටයකින් ශිෂ්‍ය වර්ජන මර්දනය කිරීමට ආන්ඩුව මෙහෙය වී ඇත්තේ තම මර්දනය හා අවලාද නොතකා මාස තුනක් තිස්සේ අධිෂ්ඨානශීලීව වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට ශිෂ්‍යයන් හා අවශේෂ කම්කරු පීඩිත මහජනයා ආකර්ශනය වෙතැයි හටගෙන ඇති බලගතු භීතියෙනි.

ආන්ඩුවේ ප‍්‍රහාර අධ්‍යාපනයට පමනක් සීමාවී නො මැත. සමාජ සුභසාධන වියදම් කප්පාදුව, අත්‍යාවශ්‍ය භාන්ඩ මිල ගනන් ඉහල දැමීම හා සමස්ත කම්කරු පන්තියේ වැටුප් කැටි කිරීම වැනි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් නියෝග කර ඇති කප්පාදු පිලිවෙත් හේතුවෙන් ආන්ඩුවට එරෙහිව බරපතල මහජන විරුද්ධත්වයක් වර්ධන වී තිබේ. මේ තත්වය තුල විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සියයට 20 ක වැටුප් වැඩි වීමක්, අධ්‍යාපනයට දජානියෙන් සියයට 6 ක් වෙන් කිරීම හා පුද්ගලික විශ්ව විද්‍යාල වෙනුවට රාජ්‍ය විශ්ව විද්‍යාල නගා සිටුවීම වැනි ඉල්ලීම් මත ආරම්භ කෙරී ඇති අරගලය ආන්ඩුවට එරෙහි පලල් මහජන විරුද්ධත්වයක් බවට වර්ධනය වේය යන්න ආන්ඩුව සැලකිල්ලට ගෙන ඇත.

කෙසේ නමුත්, අවිශිබමය හෝ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයට (විආසස) හෝ ආන්ඩුවට එරෙහි දේශපාලන සටනක් කිරීමේ අවශ්‍යතාවයක් ඇත්තේ නැත. මෙම ව්‍යාපාර දෙකම පදනම් වී ඇත්තේ මහජන විරුද්ධත්වය මගින් ආන්ඩුවේ පිලිවෙත් වෙනස් කල හැකිය යන බංකොලොත් ඉදිරි දර්ශනයක් මතයි.

ආන්ඩු සන්ධානයේ සිටින සම සමාජ, කොමියුනිස්ට් ද්‍රෝහී පක්ෂ හා විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂය හා ජවිපෙ සමග ද, මාකස් ඇන්ටනි, ජෝසෆ් ස්ටාලින් හා සමන් රත්නප‍්‍රිය වැනි කම්කරු අරගල පාවාදීමේ දීර්ඝ ඉතිහාසයක් ඇති වෘත්තීය සමිති නිලධරයන් සමග ද සම්බන්ධ වී ලබන සතියේ විආසස පවත්වන සිව්දින පාගමන සමග අවිශිබමය හා පෙසප පෙලගැසී සිටී.

බන්ඩාරට හා අවිශිබමයට එල්ල කල චෝදනාව ම, එනම් මහජනතාවට බාධාවන අයුතු ජන රාශිය, යන චෝදනාව මෙම පාගමනට හා එක් දින වර්ජනයට ද, එල්ල කල හැකිව තිබේ.

ජවිපෙ, පෙසප හා අවිශිබමය ඇතුලු සියලු සමිති නිලධරයන් ආන්ඩුවේ වත්මන් ප‍්‍රහාරවලට දේශපාලනිකව වගකිව යුතු ය. දහස් සංඛ්‍යාත ජනයා මරා දමමින්, ලක්ෂ ගනනකට උන්හිටි තැන් අහිමි කරමින් 2009 දී අවසන් කෙරුනු දෙමල ජනතාවට එරෙහි වර්ගවාදී යුද්ධයට සහයෝගය දුන් මෙම පක්ෂ හා සමිති, යුද්ධය ඉදිරියට යෑම රටේ ප‍්‍රමුඛ කාර්යය යයි පවසා කම්කරු සටන් නවතා දැමූහ. එවක දී ජවිපෙ හා අවිශිබමය, අධ්‍යාපනය ඇතුලු තවත් සුබසාධන සඳහා යෙදවිය හැකිව තිබූ බිලියන ගනන් මහජන මුදල් නාස්ති කල යුද අයවැයට ඡන්දය ලබා දුන් අතර හදිසි නීතියට හා මිලිටරිකරනයට කර පින්නා ගත්හ.

2008 සිට ආරම්භ වී අවපාතයක් දිසාවට වර්ධනය වන ලෝක ආර්ථික අර්බුදය හමුවේ රටක් රටක් පාසා ආන්ඩු උග‍්‍ර අර්බුදයකට ගමන් කරමින් තිබෙන අතර, අධ්‍යාපනය ඇතුලු සමාජ සුබසාධන කපා දමමින් එම අර්බුදයේ බර කම්කරු පීඩිත මහජනතාව මත පටවමින් සිටී. මෙම ප‍්‍රහාරයන්ට එරෙහිව වර්ධනය වන මහජන නැගිටීම් මර්දනය කිරීම සඳහා පොලිස් මිලිටරි බලකායන් හා ක‍්‍රමෝපායන් වෙත සියලු පාලක පන්තීහු යොමු වෙමින් සිටිති. රාජපක්ෂ ආන්ඩුව ද මහජන නැගිටීම් මර්දනය කිරීම සඳහා යුද්ධයේ දී යොදා ගත් පොලිස් මිලිටරි ක‍්‍රමෝපායන් වඩ වඩාත් උපයෝගී කර ගනිමින් සිටී. බන්ඩාර අත්අඩංගුවට ගැනීමත් ආචාර්යවරුන් මත මුදාහැර ඇති මර්දනයත් යලි යලිත් පෙන්නුම් කරන්නේ මෙම කාරනයයි.

ප්‍රෝඩාකාරී විශ‍්‍රාම වැටුප් පනතට එරෙහි ව, වෘත්තීය සමිතිවලට පිටින් පසුගිය වසරේ වර්ධනය වූ නිදහස් වෙලඳ කලාප කම්කරුවන්ගේ අරගලයේ දී හා මේ වසරේ පෙබරවාරියේ තෙල් මිල ඉහල දැමීමට එරෙහි හලාවත ධීවරයන්ගේ උද්ඝෝෂනයේ දී ද කම්කරුවන් දෙදෙනෙක් ඝාතනය කරමින් ආන්ඩුව එය සනාථ කර තිබේ.

Share this article: