එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ දෙවන ජාතික සමුලුවේ ප‍්‍රධාන යෝජනාව

සමාජවාදී සමානතා පක්ෂයේ ඉදිරිදර්ශන

Resolutions of the SEP (US) National Congress
Perspectives of the Socialist Equality Party

30 August 2012

1. 2008 සැප්තැම්බර් මාසයේදී ලෙහ්මන් බ‍්‍රදර්ස් සංගතය බිඳවැටීමෙන් ඇවුලුනු ආර්ථික අර්බුදය අතිශයින්ම දූරගාමී සමාජ, දේශපාලන සහ ඓතිහාසික විපාක දරා සිටී. "පහත වැටීම”, "පසු බෑම” පමනක් නොව "අවපාතය” යන වචනය පවා මෙම අර්බුදයේ සම්පූර්න පරිමාව පෙන්නුම් කිරීමට අසමත් ය. වෘත්තික අර්ථ ශාස්ත‍්‍රඥයන් සහ මාධ්‍ය අටුවාකරුවන් විසින් අනාගත "සුවවීමක්” පිලිබඳව කැරෙන අපේක්ෂා සහගත කතා එන්න එන්න ම අඩු වීගෙන යයි. අරටුවට ම තත්වාරක්ෂක ප‍්‍රකාශනයක් වන "ද ඉකොනොමිස්ට්” සඟරාව ලඟදී මෙසේ පිලිගති, "ලෝක ආර්ථිකයේ කිසියම් ඉතා බරපතල වැරැද්දක් ඇත.” එය ඊලඟට කෙලින්ම මෙසේ ද කීය: "ඒ කිසියම් දෙය වනාහී අඩාල වන වර්ධනය ද මුල්‍ය ව්‍යසනයක අනතුර ඉහල නැගීම ද යන දෙකෙහි එකතුවකි. (1)

2. මීට අවුරුදු 20 කට පෙර, 1991 දෙසැම්බරයේදී සෝවියට් සංගමය විසුරුවා හැරීම, සමාජවාදයේ අසාර්ථකත්වය ද ඓතිහාසිකව විජයග‍්‍රාහී ධනවාදය හැර අන් විකල්පයක් නොමැති බව ද පිලිබඳව නොබිඳිය හැකි සාක්ෂ්‍යයක් හැටියට ධනේශ්වර දෘෂ්ටිවාදීන් විසින් නිවේදනය කරනු ලැබිනි. ලෝකය පුරා මිලියන සිය ගනන් ජනයා සම්බන්ධ වූ, විසිවෙනි ශතවර්ෂයේ ධනවාදයට එරෙහි අරගලවල සමස්ත විප්ලවවාදී අත්දැකීම ම නිරර්ථක පමනක් නොව අතාර්කික ද වූ අත් කරගත නො හැකි යුතෝපියාවක් (මනෝ රාජ්‍යයක්) සොයා යාමක් ය යි නිවේදනය කරන ලදී. රැවටිලි කාරී මන්දබුද්ධික සරල බවකින් සෝවියට් සංගමය සමාජවාදය සමග අනන්‍ය කිරීම ද 1917 ඔක්තෝබර් විප්ලවය පේ‍්‍රරනය කලා වූ මුලධර්මයන් ස්ටැලින්වාදය විසින් පාවාදීමට එරෙහිව ලියොන් ට්‍රොට්ස්කි නායකත්වය දුන් මාක්ස්වාදී විරුද්ධ පක්ෂය කල අරගලය නොසිදු වූවක් සේ තැකීම ද යන මත දෙකම ඉහත අර්ථකථනයන් සඳහා අවශ්‍ය විය.

3. එහෙත් සෝවියට් සංගමය විසුරුවා හැරීමට පෙර එලඹුනු ආර්ථික අර්බුදය සමාජවාදයේ අසාර්ථක භාවය පෙන්නුම් කලේ යයි අවධාරනය කරන පාලක පන්තියේ ක්ෂමාලාපකයෝ වත්මන් ගෝලීය ආර්ථික අර්බුදය ධනවාදයේ අනාගතය පිලිබඳව දරන අර්ථ භාරය පිලිබඳව එවන් කිසිදු නිගමනයක් කරා නො එලඹෙති. එසේ වුව ද 2008 පුපුරාගිය, ලෝක ධනවාදයේ සම තුලනය බිඳවැටීම 1914 අවුරුද්දේ පලමු වන ලෝක යුද්ධය පුපුරායාම, 1929 වෝල් වීදිය බිඳ වැටීම සහ 1939 දී දෙවන ලෝක යුද්ධයේ පුපුරා යාම සමග සමකල හැකි ලෝක ඓතිහාසික අර්ථභාරයක් දරා සිටී. මෙම අර්බුදය ධනවාදී පද්ධතියේ අති මහත් ඓතිහාසික අසාර්ථකත්වය නියෝජනය කරයි: එහෙයින්, එය ධනවාදයට සමාජවාදී විකල්පය ගොඩනැගීමේ ද ඒ සඳහා සටන් කිරීමේ ද අත්‍යවශ්‍ය භාවය මානව වර්ගයා ඉදිරි පිට ඉස්මතු කරයි.

4. ආර්ථික අවපාතය රටින් රටට, මහාද්වීපයෙන් මහාද්වීපයට පැතිරෙයි. ගෝලීය වශයෙන් එකාගි‍්‍රත මූල්‍ය වෙලඳපලවල් පවත්නා මෙවන් යුගයක කිසිදු රටකට ප‍්‍රධාන භූගෝලීය ප‍්‍රදේශයක් තුල ඇතිවන ආර්ථික අර්බුදයක විපාක වලින් වෙන් වී ගත නොහැකිය. 2008 ඇමරිකා එක්සත් ජනපදයේ අවමුඛ උගස් බිඳවැටීම යුරෝපය අස්ථායි කලේ ය. එහි බලපෑම තරමක් කල්පසුවී වුවද, ප‍්‍රධාන ධනේශ්වර කේන්ද්‍රයන්හි අපනයන වෙලඳ පලවල් මත බරපතල ලෙස ආයත්තව පවත්නා චීනය, ඉන්දියාව සහ බ‍්‍රසීලයේ ප‍්‍රගාමීව උග‍්‍ර වන්නට පටන් ගෙන තිබේ.

5. තනි මුදල් ඒකකයක් සහිත "එක්සත්” යුරෝපයක් පිලිබඳ ව්‍යාපෘතිය ඉතිහාසයේ විශාලම ආර්ථික ප්‍රෝඩාවක් බව එලිදරව් වීමට ගත වූ යේ දශක දෙකක් පමනි. 1992 මාස්ටි‍්‍රච්ට් ගිවිසුමෙන් පැන නැංගේ බැංකුකාරයන් ගේ යුරෝපයකි. එක්සත් ජනපදයේ කි‍්‍රයාත්මක වන "නිදහස් ව්‍යවසායට” විකල්පයක් ලෙස මානව හිතවාදී යුරෝපීය විකල්පය වශයෙන් කලක් තිස්සේ හුවා දක්වනු ලැබූ "සමාජමය-ආර්ථිකය” දැන් තෝමස් මැල්තස් විසින් වුව සාදරයෙන් පිලිගැනෙනු ඇති වර්ගයේ ධනවාදයකට ඉඩ දී අයින්ව ඇත. යුරෝපීය සංගමයේ සෑම රටක් තුල ම, සාධිකාරී වචනය බවට පත්ව ඇත්තේ කප්පාදුවයි. ගී‍්‍රසියේ කම්කරු පන්ති ජනයා දිලිඳු බවේ ගිල්වා ඇත. ස්පාඤ්ඤයේ සියයට 25 ක විරැකි අනුපාතයක් පවතී: වයස 16 සිට 25 දක්වා තරුනයන් ගෙන් අඩකට රැකියාවක් නැත. පෘතුගාලයේ, බි‍්‍රතාන්‍යයේ, අයර්ලන්තයේ සහ ඉතාලියේ කම්කරුවන් මුහුන දෙන්නේ එන්න එන්නම දැරිය නොහැකි තත්වයන්ට ය. ප‍්‍රන්සයේ අලුතින් පිහිටුවා ඇති සෝෂලිස්ට් පක්ෂයේ ආන්ඩුව වැඩි කල් නොයවා ම කම්කරුවන්ගේ ජීවන තත්වයන් ට එරෙහි කප්පාදු පියවර කි‍්‍රයාත්මක කිරීම සඳහා වැඩට බැස ඇත. එහෙත් කම්කරු පන්තියට දරුනු ප‍්‍රහාර එල්ල කිරීමෙන් පසුව යුරෝපීය ධනේශ්වරය, අර්බුදයට ප‍්‍රතිචාරයක් ලෙස, සාර්ථකත්වයක් ලබා ගැනීම තබා අඩුගනනේ ඒකාබද්ධ පියවරක් වත් ගැනීමට අසමත් ව සිටී.

තනි යුරෝපීය මුදල් ඒකකයක් පැවතීම, ධනේශ්වර ජාතික රාජ්‍ය ඒකකය තුල ගැඹුරෙන් මුල්බැස ඇති ආර්ථික පිලිවෙත්වල විෂමතා ජය ගැනීමට, සමත් ව නැත. ධනේශ්වර පදනමක එක්සත් යුරෝපයක් පිහිටුවීමේ ප‍්‍රයත්නය අසාර්ථක වන බව මුල පටන් ම තීන්දුව තිබුනි: දැනුදු එය එසේ ය. රටක් රටක් පාසා යුරෝපීය පාලක පන්තිය තමන්ගේ ම ජාතික අවශ්‍යතාවලට සරිලන විසඳුමක් සොයයි. යුරෝපීය රාජ්‍යයන් අතර ඝට්ටනය වැලැක් වීම සඳහා 1945 දී පිහිටුවන ලද ආර්ථික සංස්ථාවන් නොතකා ම, ධනේශ්වර යුරෝපය දෙවන ලෝක යුද්ධයේ මුවවිට දී පැවති තරමටම බෙදී පවතී.

6. 1930 ගනන් වලදී මහා අවපාතය විසින් නිර්මානය කෙරුනු දේශපාලන අවමංගතවීම විස්තර කල ට්‍රොට්ස්කි මෙසේ නිරීක්ෂනය කලේ ය, "ධනවාදයේ සියලු සාම්ප‍්‍රදායික පක්ෂ. අධිෂ්ඨාන භංගය අද්දරට සේන්දුවී වියවුල්ව සිටිති.”(2) මෙම වචන යුරෝපයේ දැන් පවත්නා තත්වයට පුදුමාකාර නිරවද්‍ය තාවකින් යුතුව ගැලපෙයි. හොඳින්ම සිතන මතන ධනේශ්වර අර්ථ කථකයන් පවා අර්බුදයෙන් එලියට එන මගක් නොදකිති. ද ෆිනැන්ෂල් ටයිම්ස් පුවත්පතේ මාටින් වොල්ෆ් සිය කොලමේ මෙසේ ලිවීය:

වියරු බව ඉතාම තර්කානුකූල දෙය බවට පත්ව ඇත. පීඩනයට හසුව පවත්නා රටවලට තව කොතරම් වධවේදනා දරාගත හැකිද? දන්නා කෙනක් නැත: රටක් යුරෝ කලාපය හැර ගියොත් කුමක් සිදුවේ ද? දන්නා කෙනක් නැත: අර්බුදයෙන් එලියට පැන ගැනීමට පවත්නා දිගු කාලීන මූලෝපාය කුමක් ද? දන්නා කෙනක් නැත. එවන් අඩමාන තත්වයක් තුල, අහෝ, වියරු-බිය තර්කානුකූලවෙයි. මේ වනතෙක් 1930 ගනන් වැනි දෙයක් සිදුවන්නේ කෙසේද යි මට වැටහී තිබුනේ නැත. එය මට වැටහෙන්නේ දැන් ය. ... ඒ සඳහා අවශ්‍ය වන්නේ බිඳෙනසුලු ආර්ථිකයන්, අනම්‍ය මූල්‍ය තන්ත‍්‍ර, කලයුත්ත පිලිබඳ උග‍්‍ර මතභේද, දුක් පැටවීම හොඳ ය යන විශ්වාසය පැතිරීයාම "අදූරදර්ශී දේශපාලකයන්ට එක්ව කි‍්‍රයාකිරීමට බැරිකම, සහ ඔවුන් සිද්ධීන්ට ඉදිරියෙන් සිටගැනීමට අසමත්වීම පමනයි. (2012 ජූනි 5)

7. ලෝක අර්බුදය වෝල් වීදියේ බිඳ වැටීමක් මගින් මුලපුරනු ලැබීම යන්න කිසිසේත්ම අහම්බයක් නොවේ. "මූල්‍යකරනය” (financialization ) නම් ප‍්‍රපංචය සමග සම්බන්ධ වූ ආර්ථික පරපුටු බව පැන නැංගේ ලාභානුපාතිකයේ දිගුකාලීන පිරිහීමක් විසින්, ආයෝජන නිෂ්පාදන කර්මාන්තවලින් ඉවතට දුවවනු ලැබීමක් විසිනි. "මූල්‍යකරනය” වඩාත් වේගයෙන් ඉදිරියට ගියේ එක්සත් ජනපදයේ ය යන කාරනය ලෝකයේ අධිපති කාර්මික බලවතා ලෙස මේ රටට තිබුනු තත්වය පිරිහීමත් සමග වෙන්කල නොහැකි පරිද්දෙන් බැඳී ඇත. පරපුටුබවේ වැඩීම ඇමෙරිකානු ධනවාදයේ ජරපත් වීම ඔප්පු කරන ප‍්‍රපංචයකි. සමාන්තර නය බැඳුම් සහ අවමුඛ උගස් ද මූල්‍යකරනය සමග බැඳුනු වෙනත් වංචනික මූල්‍ය උපකරන ද කෙලින්ම ගලා ආවේ, සංගත සහ පෞද්ගලික ධන සමුච්චය සන්තතිය නිෂ්පාදන සන්තතියෙන් වෙන් කිරීම තුලිනි.

1980 ගනන්වල මුල දක්වා දිවෙන පරම්පරාවක් තරම් කාලයක් ඇතුලත, මූල්‍ය කර්මාන්තය සමස්ත සංගත ලාභවලින් තම පංගුව සියයට 6 සිට දලවශයෙන් සියයට 50 දක්වා ඉහල දමා ගති.

වෝල් වීදීයේ ප‍්‍රභූව අත ධනය ගොඩ ගැසීම මූල්‍ය ව්‍යවසායවල පුපුරනසුලු වර්ධනය මගින් අති උග‍්‍ර ලෙස ඉහල දැමිනි. සිය ආසක්තයන්ට ධනේශ්වර රාජ්‍යය මුලුමනින් ම නතු කරගැනීම සඳහා, මුල්‍ය ප‍්‍රාග්ධනය විසින් ඉහත වර්ධනයේ විපාකයක් ලෙස එකරාශීවූ අසීමිත සම්පත් යොදා ගැනිනි. ඒ සමග ම පොදු වත්කම් සහ සේවා - පොදු අධ්‍යාපනය යනාදිය - කොල්ලකෑමට ද ඒවා වඩවඩාත් ඍජුව පෞද්ගලික ලාභ ගොඩ ගසා ගැනීම ද යොදාගැනීමට ද වැඩ කෙරීගෙන යයි.

8. ඇමරිකා එක්සත් ජනපදයේ 2012 ජනාධිපති තරගය අභව්‍ය ස්වභාවයක් දරන්නට පටන් ගෙන තිබේ. ජනාධිපති ඔබමා ද ඔහුගේ රිපබ්ලිකන් තරගකරු මිට් රොම්නි ද ඇමරිකානු ධනවාදයේ විශිෂ්ටත්වය සහ එහි නොපසුබට ව්‍යවසායික උද්‍යෝගය පිලිබඳව එකම සුලභ පද හා සුපුරුදු වාක්‍ය ඇද බාති. "අසීමිත ප‍්‍රස්තාවේ” දේශය ලෙස ඇමරිකාවේ "ශ්‍රේෂ්ඨත්වය” රැක ගැනීමට දෙදෙනාම සපථ කරති. එහෙත් 2012 ජුනියේ දී නිකුත් ඇමෙරිකානු මහ බැංකුවේ ප‍්‍රකාශය අපේක්ෂකයන් දෙදෙනාම යථාර්තය මගහරින සැටි, සත්‍ය කරුනු මත පදනම්ව, මුලුමනින් ම එලිදරව් කර තිබුනි. එම වාර්තාවේ මෙසේ දැක්විනි:

2007-10 කාල පරිච්ඡේදය තුල එක්සත් ජනපද ආර්ථිකය මහා අවපාතයෙන් පසු ව අත් දුටු බලවත්ම පහත වැටීමට හසු විය. 2007 තුන්වන කාර්තුවේ පටන් 2009 දෙවන කාර්තුව දක්වා, එනම් නැෂනල් බියුරෝ ඔෆ් ඉකොනොමික් රිසර්ච් විසින් නිර්නිත නිල අවපාත කාලපරිච්ඡෙදය තුල දී, සැබෑ දල දේශීය නිෂ්පාදිතය (දදේනි - GDP) සියයට 5.1 කින් පහත වැටුනි. එම කාල පරිච්ඡේදය තුල දී ම විරැකි අනුපාතය 5.0 සිට 9.5 දක්වා ඉහල නැගුනි. එය වනාහී 1983න් මොබ ඉහලම මට්ටම ය. විශේෂයෙන් ම එම කාලය තුල, එනම් මහා අවපාතය යයි නම්කරන ලද පරිච්ඡේදයේ දී, ආර්ථික සුව වීම හෙමින් සිදු වී තිබේ. සැබෑ දදේනි 2011 තුන්වන කාර්තුව වන තෙක් අවපාතයට පෙර පැවති මට්ටම කරා නැංගේ නැත. විරැකියා මට්ට්ම 2009 තුන් වන කාර්තුව පුරා ම ඉහල නැග 2010 තුල දී සියයට 9.4ක් මට්ටමට රැඳී තිබුනි. (3)

9. අර්බුදයේ බලපෑම පිලිබඳව අතිශයින්ම අර්ථභාරී දත්තය නම් ඇමරිකානුවන් බහුතරයක ශුද්ධ වටිනාකම යි.

2007 සිට 2010 දක්වා, උද්ධමනය සැලකිල්ලට ගෙන සකසන ලද ශුද්ධ වටිනාකම එනම් පවුලේ දල වත්කම් සහ බැරකම් අතර වෙනස හෙවත් (ධනය) - මධ්‍යන්‍ය වශයෙන් ගත්ත ද සාමාන්‍යය වශයෙන් ගත්ත ද රඟට පහත වැටුනි. මධ්‍යන්‍ය පහත වැටුනේ සියයට 38.8 කිනි: සාමාන්‍යය පහත වැටුනේ සියයට 14.7 කිනි. සාමාන්‍යයේ ශුද්ධ වටිනාකම 2001 මට්ටමට ඇදවැටුනු අතර මධ්‍යන්‍ය 1992 සමීක්ෂනයෙන් මොබ දක්නට නොලැබුනු මට්ටමට වැටුනි... (4)

10. දල වශයෙන් දශක තුනක් පමන කාල වකවානුවක පටන් උද්ධමනය ගනන් ගතහොත් කම්කරු වැටුප්වල සැබෑ අගය එක තැන පල්වෙමින් පවතී. නව ශතවර්ෂයේ වැටුප් මට්ටම් ඛාදනය වීමේ බලපෑම 1990 ගනන්වල සහ 2000 ප‍්‍රථම දශකයේදී නිවාසවල වටිනාකම ශීඝ‍්‍රව ඉහල යාම මගින් අර්ධවශයෙන් පාලනය කරන ලදී. එහෙත් 2008 නිවාස බුබුල පිපිරී යාම ඇමරිකානු ධනවාදයේ දිගු කාලීන පිරිහීම ඉස්මත්තට ගෙනවුත් තිබේ. සියයට 40 ක් වූ මධ්‍යන්‍ය ශුද්ධ පුද්ගල වටිනාකම වැටීමේ පරිමාව ඇමරිකා එක්සත් ජනපදයේ ලෝක ආර්ථික ස්ථානය පිරිහීම් විසින් කම්කරුවන්ගේ ජීවන මට්ටම් කොතරම් මෘග ලෙස ඇද දමනු ලැබ ඇද්ද යන්න නියෝජනය කරයි.

11. ඇමරිකානුවන් අති මහත් බහුතරයක් අයත් කම්කරු පන්තිය සහ මධ්‍යම පන්තියේ සැලකිය යුතු කොටසක ආදායම් පංගුව ඇදවැටීමත් සමග සමාජ අසමානත්වයේ අති උග‍්‍ර මට්ටම් වැඩී ආ සැටි දක්නට ලැබේ. ගිය දශක තුන තුල වැඩකරන ජනතාවගෙන් සංගත ප‍්‍රභූව අතට ආදායමේ දැවැන්ත මාරු වී යාමක් සිදුවී තිබේ. ආදායමේ ද ශුද්ධ අගයේ වර්ධනයේ ද අති මහත් වැඩි පංගුව ජනගහනයේ පොහොසත්ම සියයට 10 අතට සංකේන්ද්‍රනය වී ඇත. වරප‍්‍රසාදිත සමාජ කන්ඩායම තුල ද, පෞද්ගලික ධනයේ ඉහලයාමේ වැඩි පංගුව ගිලගෙන ඇත්තේ ජනගහනයේ පොහොසත්ම සියයට එක විසිනි.

12. ඇමරිකා එක්සත් ජනපදයේ පාලක පන්තියේ මූලෝපායේ පදනම අන්තර් සමබන්ධිත සාධක දෙකකින් සමන්විත ය: පලමුව එක්සත් ජනපදයේ ලෝක ආර්ථික ස්ථානය පිරිහීමයි. දෙවනුව ඉහලින් ම සංවර්ධනය වූ ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍ර රාජ්‍යයක් තුල සිදුවිය නොහැකි යයි සාපේක්ෂව මෑතක් වනතුරු සිතන ලද මට්ටමක ධන සංකේන්ද්‍රනය යි.

ප‍්‍රථම සාධකයට ප‍්‍රතිචාර වශයෙන් ඇමරිකානු පාලක ප‍්‍රභූව අනභියෝගී භූ-දේශපාලන ආධිපාත්‍යයක්, ඇත්තෙන්ම පෘථිවි ගෝලය මත ආධිපත්‍යය (hegemony ), පිහිටුවා ගැනීම ට සිය අතිමහත් යුදබලය යොදවමින් සිටී. වොෂිංටනය මේ මගින් තම ආර්ථික දිරාපත්වීමේ දිගු කාලීන විපාක වලක්වාලීමට අධිෂ්ඨාන කරගෙන සිටී.

දෙවන සාධකයට ප‍්‍රතිචාර වශයෙන් පාලක පන්තිය ඇමරිකානු ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි ප‍්‍රහාරය උත්සන්න කරමින් සිටී. මෙම සාරභූත සාධක දෙක - යුදවාදය සහ මර්දනය - කි‍්‍රයාත්මක කරනු ලබන්නේ "ත‍්‍රස්ත විරෝධී යුද්ධයේ” රාමුව තුල ය.

13. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආධිපාත්‍යයේ මෙයට බොහෝ පෙර අවධියක, 1928 දී ට්‍රොට්ස්කි මෙසේ අනතුරු හැඟවී ය. "ආර්ථික පිම්බීමේ කාලපරිච්ඡෙදයේදී ට වඩා අර්බුදයේ කාලපරිච්ඡෙදයේ දී, එක්සත් ජනපදයේ ආධිපාත්‍යය වඩාත් සම්පුර්නව, වඩාත් විවෘතව, සහ වඩාත් නිර්දයව කි‍්‍රයාත්මක වනු ඇත: (5) මේ වචන අනාවැකියක ස්වභාවය ගනී. 1991 දී සෝවියට් සංගමය විසුරුවාහැරීම ලෝකය පුරා මිලිටරි ප‍්‍රචන්ඩය ලිහා හැරීමට ලද අවස්ථාවක් ලෙස එක්සත් ජනපදය විසින් අර්ථකථනය කරගත් බව දැන් තහවුරුව ඇත. සීතල යුද්ධය සමයේ ඇමරිකාවට කි‍්‍රයාත්මක කිරීමට සිදුවූ -ඉතා සීමිත ඉවසිලි සහගත බව වුව ද- තවදුරටත් අවශ්‍ය වූයේ නැත. ගතවූ විසිවසර තුල එක්සත් ජනපදය විසින් ගන්නා ලද පියවර සලකාබලන කල්හි, යම් හෙයකින් ඔක්තෝබර් විප්ලවය සිදු නොවී නම් ලෝකය මොන ස්වරුපයක් ගැනීමට ඉඩ තිබුනි දැයි සිතාගත හැකිය. එවන් තත්වයක් තුල, දෙවන ලෝක යුද්ධයට පසුව පැනනැගී, ඍජු යටත් විජිත පාලනයෙන් මිදුනු ආසියාවේ බොහෝ ප‍්‍රදේශවල ද මැදපෙරදිග සහ අපි‍්‍රකාවේ ද යෝධ ජාතික ස්වයං නීර්න ව්‍යාපාර වලට, අමරිකානු අධිරාජ්‍යවාදයේ සම්පුර්න බලයට මුහුන දීමට සිදු වන්නට ඉඩ තිබුනි. අනාරක්ෂිත හිරෝෂිමා සහ නාගසාකි නගර දෙක මත පරමානු බෝම්බ දෙකක් හෙලීම මගින් සිය ම්ලේච්ඡ නිර්දයභාවය විදහාදැක්වූ වොෂිංටනය, පැරනි යුරෝපීය යටත් විජිත බලවතුන්ගේ තැන උදුරාගැනීමට සෑම අවස්ථාවක්ම යොදාගනු ඇති අතර ඒ සඳහා නොකරන දෙයක් ද නැත.

14. සෝවියට් සංගමය විසුරවා හැරීම ඇමරිකා එක්සත් ජනපදයට නිරන්තර යුද්ධ වැඩ පිලිවෙලක් සඳහා වේදිකාව සකසාදුනි. 1991 පටන් එක්සත් ජනපදයේ සන්නද්ධ හමුදා පොලෝ තලයේ හැමතැනකම මෙහයුම් කි‍්‍රයාත්මක කරමින් සිටිති.

සම්භාව්‍ය මාක්ස්වාදයේ වචනවලින් කිවහොත් ඇමරිකානු අධිරාජ්‍යවාදය උත්සාහ කරන්නේ තම අධිපාත්‍යය යටතේ "ලෝකය නව බෙදීමකට” භාජන කිරීමට ය. එක්සත් ජනපදය සිය මූලෝපායික ආසක්තතාවන්ගේ සංරචකයක් ලෙස නොගන්නා එකදු ප‍්‍රදේශයක් වත් ඇත්තේ නැත.

ඇමරිකානු අධිරාජ්‍යවාදයට උවමනා කුමක් ද? සියල්ලම ය. හැම රටක්ම සෑම මහාද්වීපයක් ම සෑම මුහුදු මගක්ම ද මහා සාගරය සහ අභ්‍යවකාශය ද මත සිය ආධිපාත්‍යය තහවුරු කර ගැනීම ට එය අධිෂ්ඨාන කරගෙන සිටී. මෙම භූ-පාලක මෙගලොමේනියාව (ලෝක පාලන මහඋමතුව) සාමකාමී පියවර මගින් සාක්ෂාත් කල නොහැකිය.

ඇෆ්ගනිස්තානය, ඉරාකය, පකිස්තානය, යේමනය, ලිබියාව යනාදී වශයෙන් රටකට පසු රටක් ආක‍්‍රමනයට ද බෝම්බ, රොකට් සහ කාලතුවක්කු ප‍්‍රහාර වලට ද ලක්කර තිබේ. දැන් එක්සත් ජනපදය ලිබියාව තුල සිවිල් යුද්ධය අවුලුවාලූ පරිදිම සිරියාව තුල ද සිවිල් යුද්ධය අවුලුවා ලමින් ඉරානයට තර්ජනය කර සිටී. ඒ සමගම ඔබාමා පාලනාධිකාරය චීනය හුදෙකලාකර වට ලෑමට වැඩිවැඩියෙන් අවධානය යොමු කරන්නට පටන්ගෙන තිබේ. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පුපුරා යාම අනිවාරනීය ලෙස ගෝලීය මහබලවතුන් ගිනිමැලයක් කරා, ඇදගෙන යමින්, ලෝකය න්‍යෂ්ටික සමූලඝාතනයක තර්ජනය ට ලක්කරයි.

15. 9/11 සිද්ධීන් ව්‍යාජ හේතුවක් කරගෙන "ත‍්‍රස්ත විරෝධී යුද්ධය” දියත් කිරීම රාජ්‍ය පිලිවෙතේ අඛන්ඩ උපකරනයක් ලෙස යුද්ධමය ප‍්‍රචන්ඩය යොදාගැනීම සලකුනු කලේ ය. යුද්ධය සහ ඝාතන මෙසේ නිල උත්කර්ෂනය කිරීමට ගැලපෙන පරිදි ඇමරිකානු ජනාධිපති වරයාගේ පෞරුෂය සීසර් අධිරාජයා ද මාෆියා මහ මැරයෙකු ද බද්ධ කොට අඹන ලද දුෂ්ට විකාර රූපයක් සේ සකසනු ලැබ ඇත. සිය කාලයෙන් සැලකියයුතු පංගුවක් ඩ්‍රෝන් මිසයිලවල ඝාතන ඉලක්ක ලෙස පුද්ගලයින් තෝරා ගැනීමට තමා පෞද්ගලිකවම යොදවන බවත් කිසිදු ආකාරයකින් යුද්ධමය හෝ ත‍්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ නොවූ සිවිල් පුද්ගලයන් තම මිසයිල ප‍්‍රහාරවලට ගොදුරු වන බව දැන දැන ම තමා මෙම මිනීමැරුම්වලට අනුමැතිය දෙන බවත් ඔබාමා ප‍්‍රසිද්ධ කරයි. අදාල නෛතික කි‍්‍රයාවලියකින් තොරව ඇමරිකානු ව්‍යවස්ථාව අති දරුනු ලෙස උල්ලංඝනය කරමින්, සිදු කරන මෙම ඝාතනවලට ලක් වුවන් අතර ඇමරිකානු පුරවැසියයෝ ද වෙති. කොටින් ම කිවහොත් ඇමරිකානු ජනාධිපති මිනීමැරුම් චෝදනාවල ට වැරදි කරුවෙකි. බුෂ් සහ ඔබාමා පාලනාධිකාර තම කි‍්‍රයාවල පදනම ලෙස, නාසින්ගේ තුන්වන රයිකයේ ප‍්‍රමුඛ "නීති” න්‍යාය කරුවා වූ කාර්ල් ෂ්මිට් හදා ගත්, "ව්‍යතිරේක තත්වය” (State of exception ) යන සංකල්පය යොදාගෙන ඇත.

16. කේන්ද්‍රීය ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් තත්වාකාරයෙන් ම බිඳීම සඳහා ව්‍යාජ හේතුවක් ලෙස "ත‍්‍රස්ත විරෝධී යුද්ධය” යොදාගෙන, "බිල් ඔෆ් රයිට්ස්” (ඇමරිකානු ව්‍යවස්ථාවේ පුරවැසි අයිතීන් පිලිබඳ මුල් පනත් දහය-පරිවර්තක) විසින් සහතික කරනලද සියලුම ප‍්‍රජාතන්ත‍්‍ර අයිතිවාසිකම් - හබෙයාස් කෝර්පුස් අයිතිය සහ හිතුවක්කාර සෙවිලිවලින් ද අත්අඩංගුවට ගැනීම් වලින් ද ආරක්ෂාව ඇතුලු නිසි නීතිමය පටිපාටිය සඳහා වන පුරවැසි අයිතිය - පුලුල් ප‍්‍රහාරයකට ලක් කර ඇත.

17. ජනාධිපතිවරයාගේ පෞද්ගලික ගතිගුන කොතරම් අජූව වුවද ඒවා මගින් අති මුලික ව්‍යවස්ථානුකුල මූලධර්ම බිඳීම විග‍්‍රහ කල නොහැකි ය. වෙනසේ උල්පත පවතින්නේ අධිරාජ්‍යවාදයේ ආර්ථික අත්‍යවශ්‍යතා ද පෙර නුවූ විරූ ධ‍්‍රැවගත වීමකට ලක්ව ඇති ඇමරිකානු සමාජයේ පන්ති ව්‍යූහය ඇතුලත ය. ජනයාගේ අති මහත් බහුතරයේ පිරිහීයන ජීවන තත්වයන් සමාජ කලහකාරිත්වයට මග පාදන බව පාලක පන්තිය හොඳින්ම දැන සිටී. මේ අයුරින්, ව්‍යවස්ථානුකුල රැකවල් දුබල කිරීම වනාහී දැරිය නොහැකි සමාජ තත්වයන් ට ද, අසමානතාව සහ යුදවාදය ට ද එරෙහිව නැගී සිටින කම්කරු පන්තියේ සහ තරුනයන්ගේ අරගල ලෙයින් මර්දනය කිරීමට සැරසීමකි.

18. ගෝලීය ආර්ථික අර්බුදය උග‍්‍රවීම එක්සත් ජනපදය තුල ද ලෝකය පුරාම ද පන්ති අරගලයේ අනිවාර්ය පුනර්ජීවනයක් ඇතිකරමින් තිබේ. 2011 වර්ෂයේදී පුපුරා ගිය ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ මහා ජන විරෝධතා වනාහී වැඩෙමින් පවත්නා විප්ලවවාදී රැල්ලේ අරුනලු ය.

2011 වසරේ අරගල ජාත්‍යන්තර කම්කරු පන්තියේ විඥානය මත ප‍්‍රගාඪ බලපෑමක් ඇති කලේ ද වේ . මුබාරක් ඒකාධිපතිත්වය ඇද හෙලූ කයිරෝ නුවර මහා ජන පෙලපාලිවලින් සති ගනනක් ඇතුලත ඇමරිකාවේ විස්කන්සින් නගරයේ කම්කරුවෝ වොල්කර් ආන්ඩුකාරයාගේ ප‍්‍රතිගාමී පිලිවෙත්වලට එරෙහිව වීදි බසිද්දී තහ්රිර් චතුරශ‍්‍රයේ ආදර්ශය මතක් කර ගත්තෝ ය.

19. විප්ලවවාදී අරගලවල අනිවාර්යතාව පෙර දැක ඒවා එනතුරු නිකම් බලාසිටීම නොසෑහේ. න්‍යායිකව මෙහෙයුනු ඥානනයේ ද විප්ලවවාදී භාවිතයේ ද එකමුතුව අවධාරනය කරන මාක්ස්වාදයට, උදාසීන භාවය සමග මොනම පෑහීමක් වත් ඇත්තේ නැත. මුබාරක් ගේ වැටීමෙන් ඉක්බිතිව උවමනාවටත් වඩා හොඳින් පැහැදිලි වූ පරිදි "සමාජවාදී විප්ලවයේ ජයග‍්‍රහනය සඳහා විප්ලවවාදී පක්ෂයක පැවැත්ම අත්‍යාවශ්‍යය. මහජන අරගල පුපුරායාමට පෙරාතුව කම්කරු පන්තිය තුල, විශේෂයෙන්ම එහි වඩාත් දියුනු කොටස් තුල, පක්ෂය සිය දේශපාලන පැවැත්ම සැලකිය යුතු දුරකට පිහිටුවා ගැනීම වැඩ කල යුතුය. මෙය පරම වශයෙන්ම වැදගත්වේ. එම පැවැත්ම විප්ලවවාදී ඉදිරිදර්ශනයේ කේන්ද්‍රීය ගැටලූ සවිස්තරව විග‍්‍රහ කරගත් සජීව ව්‍යාපාරයක් විය යුතු ය. ධනවාදයේ අර්බුදය කම්කරු පන්තිය රැඩිකලී කරනය කොට සමාජවාදී විප්ලවය සඳහා වෛෂයික තත්වය පැනනංවයි. බල ය සඳහා අරගලයේ දී කම්කරු පන්තියට මග පෙන්වන මූලෝපාය සහ උපාය වර්ධනය කිරීම සමාජවාදී සමනතා පක්ෂයේ වගකීමයි.

20. ඇමරිකානු අධිරාජ්‍යවාදය ශක්තිමත් බලයකි. එහෙත් ඇමරිකානු පාලක පන්තිය පරාජය කල නොහැකි එකක් නොවේ. එහි පාලනයේ ආර්ථික, දේශපාලන, සමාජ සහ සංස්කෘතික අත්තිවාරම් අරටුවටම කුනුවී ඇත. සමාජවාදී ව්‍යාපාරය දැන් මුහුන දී සිටින්නාවූ අභියෝගය වනාහී තම බලවේග කම්කරුවන්, තරුනයන් අතර වර්ධනය කරගැනීම ය: පැන නගිමින් පවතින්නා වූ මහජන ව්‍යාපාරය තුල ලෝක ධනවාදී අර්බුදයේ දේශපාලන ගම්‍යයන් පිලිබඳ සැබෑ වැටහීම තහවුරු කිරීම ය. පෙර විප්ලවවාදී අරගලයේ කාලපරිච්ඡේදයක දී ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි "යුරෝපයේ ද ලෝකය පුරා ද කම්කරු පන්තියේ කර්තව්‍යය වන්නේ ධනේශ්වර පන්තිය මැනවින් සිතාබලා වර්ධනය කර ගෙන ඇති ප‍්‍රති විප්ලවවාදී මුලෝපායට එරෙහිව, එපරිද්දෙන්්ම අවසානය දක්වා සිතාමතා වර්ධනය කරගත් තමන්ගේම විප්ලවවාදී මුලෝපාය පිහිටුවා ගැනීම ය.”(6)

21. ආන්තික සමාජ අසමානතාවය ඇමරිකා එක්සත් ජනපදයේ ද ලෝකය පුරාම ද පන්ති බෙදීම් උත්සන්න කර තිබේ. කම්කරු පන්තිය තුල ධනේශ්වර විරෝධී හැඟීම් වැඩෙමින් පවතී. වැඩෙන ජනතා අසහනයේ කාල පරිච්ඡේදවල සෑම විට ම සිදුවන පරිදි පාලක පන්තිය ජනතාව මත සිය දේශපාලන සහ දෘෂ්ටිමය ආධිපත්‍යය පවත්වා ගැනීමට සුවිශේෂ ප‍්‍රයත්නයක් දරයි. ඔවුන් මෙය ඉටු කර ගැනීමට උත්සාහ කරන්නේ විනෝද සැපයුම් කර්මාන්තය, ප‍්‍රවෘත්ති මාධ්‍ය ශාස්ත‍්‍රාලික සංස්තාපිතය, ප‍්‍රතිගාමී ඩිමොක‍්‍රටික් සහ රිපබ්ලිකන් ද්වි පක්ෂ ක‍්‍රමයේ දේශපාලන තන්ත‍්‍රය යනාදිය මගින් පමනක් නොවේ: මහ සංගත මූල්‍ය ප‍්‍රභූව ට, ගනන් නැති "වාම” පක්ෂවල, සංවිධානවල සහ ප‍්‍රවනතාවල දේශපාලන සේවාව ද අත්‍යවශ්‍ය වන අතර, ප‍්‍රභූව ඔවුන්ගේ සේවය මත රැඳී පවතී. ඔවුන්ගේ භූමිකාව වන්නේ පන්ති අරගලය සිරකර රඳවා ධනවාදයට තර්ජනයක් ඉස්මතු නොවන පරිදි අගලට හරවා යැවීමය. "වාම” දේශපාලනය යයි කියනු ලබන දෙය දශක ගනනාවක් තිස්සේ නියෝජනය කලේ කම්කරු පන්තියේ අවශ්‍යතාවය නොවේ; මධ්‍යම පන්තියේ වරප‍්‍රසාදිත ස්තරයක අවශ්‍යතාවන් ය. මෙම ධනවත් සමාජ ස්ථරයේ දේශපාලන හැඩගැසීම වඩාත් හොඳින් වටහා ගත හැක්කේත් පැහැදිලි කරගත හැක්කේත් වත්මන් ධනේශ්වර සමාජයේ ධනය බෙදීයාමේ සුවිශේෂ ලක්ෂනවල සන්දර්භය තුල ය.

22. අධ්‍යයනයන් විශාල සංඛ්‍යාවක් විසින් පෙන්නුම් කරනු ලැබ ඇති පරිදි ඒකකයක් වශයෙන් ගත්කල්හි සමාජයේ ධනවත්ම සියයට දහය පහල සියයට 90 වඩා අතිශයින්ම සැපපහසු වූ ද ආරක්ෂිත වූ ද ජීවන මට්ටමක් භුක්ති විඳිති. නිශ්චිත ප‍්‍රතිශත සහ බෙදුම් සීමා රටින් රට වෙනස් විය හැකි බව ඇත්තය. එහෙත් විශේෂයෙන් වඩාත්ම දියුනු රටවල ඉහල සියයට 10 තුල සැලකිය යුතු ඉහල මධ්‍යම පන්තික තට්ටුවක් පවති. මෙම තට්ටුව තුලද ධනය බෙදීමේ සැලකියයුතු අසමානතා පවතී. මින් ඉහලම සියයට 1 අත අසීමිත ධනසම්පත් සංකේන්ද්‍රිතව ඇත. (එද විශේෂයෙන් ම මෙම ස්ථරයේ පොහොසත්ම මුදුන් තට්ටු තුලය.) ඒ අනුව ඉහලම සියයට 10 තුල සමස්ත ධනය සහ වාර්ෂික ආදායම බෙදී ඇති අන්දම සලකුනු කරන ප‍්‍රස්ථාරයක රේඛාව මුදුනේ සිට පහලට උග‍්‍ර බෑවුමක් පෙන්නුම් කරනු ඇත. ඇට්කින්සන්, පිකෙටි සහ සයෙස් යන ආර්තිකඥයන් විසින් රැස් කරනු ලැබූ දත්ත අනුව (2007 දී) ඉහලම සියයට 1ට ඇතුලු වී ගැනීම සඳහා අවම වශයෙන් ඩොලර් 398,000 දාහක වාර්ෂික ආදායමක් අවශ්‍ය විය. එහෙත් ඉහල සියයට 10 තුලට ඇතුලත් වීම සඳහා ඩොලර් 109,000ක වාර්ෂික ආදායමක් ද. ඉහලම සියයට 5 තුලට ඇතුලත්වීම සඳහා ඩොලර් 155,000 ක අවමයක් ද අවශ්‍ය විය. අවසානයෙන් දක්වන ලද ප‍්‍රමානය වනාහී ඉහලම සියයට 1 කාන්ඩයේ පහලම තට්ටුවේ ඉන්නා කුටුම්බයක අවම ආදායමෙන් සියයට 40 කි. ජනගහනයේ ඉහලම තට්ටුවේ ඉහලම සියයට .1 සහ සියයට .01 අත ගොඩ ගසා ගෙන ඇති පිලිකුල් සහගත ධන මට්ටම් සලකා බලන කල්හි කුට්ම්බයන්හි ඉහලම සියයට 10 අතර පවා ධනය බෙදීයාමේ ආන්තික අසමානතාව වඩාත් පැහැදිලි වෙයි.

23. මේ අනුව, ජනගහනයේ සාපේක්ෂව ධනවත් කොටස් අතර පවත්නා අතෘප්තියට සැලකිය යුතු පදනමක් තිබේ. මුදුනේ සියයට 5 ට යටින් ඉන්නා අය පවා තමන් ආර්ථිකව සුරක්ෂිත නැති බව හඟිති. සිය සමාජ තත්වයට උචිත වූ නිවසක ජීවත් වීමට, අධ්‍යාපනය ට, ආපන ශාලා වලින් කෑම බීමට, නිවාඩු ගත කිරීමට යනාදී වියදම් සඳහා සැලකියයුතු මුදලක් නයට ගැනීමට ඔවුන්ට සිදුවී ඇත. ඉහල සියයට 10 ඇතුලත ධනය වඩා සමව බෙදීයාමට වැඩි යමක් ඉල්ලා නොසිටින ප‍්‍රතිසංස්කරනවාදී "වමේ”, වඩාත් නිවැරදිව කිවහොත් ව්‍යාජ වමේ ඡන්දාශය සම්පාදනය කරන්නේ වෘත්තිකයන්, තරමක සාර්ථකත්වයක් ලත් ශාස්ත‍්‍රාලිකයන්, වෘත්තීය සමිති වල සහ කම්කරු සංවිධාන වල රැකියා කරන නිලධාරීන්, සුභාසාධක රාජ්‍ය යන්ත‍්‍රයේ ඉතුරුව ඇති කොටස්වල ඉන්නා නිලධරයේ ඉහල තට්ටු සහ ධනවත් නිවෙස් වලින් එන තරුණ ශිෂ්‍යයන් ය.

24. මෙම ස්ථරයේ "ධනවාද විරෝධය” දිවැවෙන්නේ ලබන්නේ කම්කරු පන්තිය කෙරේ සහගාමී බවින් නොව පොහොසතුන් කෙරේ ඉරිසියාවෙනි. එයට අවශ්‍ය පුද්ගලික දේපල (වෙනත් වචනවලින් කිවහොත් නිෂ්පාදන බලවේගවල පෞද්ගලික අයිතිය) අහෝසි කිරීම නොවේ: ඉන් ලැබෙන ආදායම් වලින් තම පංගුව වැඩි කර ගනීමට ය.

සමානත්වය දිනාගැනීම කලහැක්කේ සමාජවාදය සඳහා කම්කරු පන්තියේ මහා අරගලය තුලින් ය යන්න ප‍්‍රතික්ෂේප කරන මධ්‍යම පන්තික ව්‍යාජ වම, ඒ වෙනුවට විවිධාකාර අනන්‍යතා, එනම් වර්ගය, ජාතිය, සහ ලිංගිකත්වය යනාදිය පෙරටු කොට විශේෂ වාසි පංගු බදා ගැනීම, පිලිබිඹු කරන්නේ වෘත්තික වාසි සහ වැඩි ධනයක් ධනවාදයේ රාමුව තුල ලබාගැනීමට වරප‍්‍රසාදිත ප‍්‍රභූවේ ම කොටස් වල පවත්නා ආශාවයි.

පෞද්ගලික අනන්‍යතාව ට සම්බන්ධ ප‍්‍රශ්න- විශේෂයෙන්ම ලිංගිකත්ව ග‍්‍රස්තීය පන්ති ප‍්‍රශ්න වලට උඩින් පෞද්ගලික ආසක්තයන් තැබීමට ද ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සඳහා අරගලය සමාජවාදය සඳහා අරගලයට ඉහලින් තැබීමට ද සනිටුහන් කර ගෙන සිටින මධ්‍යම පන්තික සංවිධානවල විශේෂ ලක්ෂනයකි.

25. වෝල්වීදිය වාඩිලා ගැනීමේ විරෝධතාවය, පවත්නා ආර්ථික රටාවට එරෙහි වූ එකක් යයි අර්ථ කථනය කල කම්කරු පන්තියේ පලල් කොටස් වල හිතවත්කම එම ව්‍යාපාරයට ලැබුනු බව ඇත්ත ය. නමුත් එම ව්‍යාපාරය කම්කරු පන්තියට ඉදිරි මාවතක් සම්පාදනය කලේ නැත. "වාඩි ලාගැනීමේ” ව්‍යාපාරය මත දේශපාලන ආධිපාත්‍යය දරා සිටියේ මධ්‍යම පන්තියේ සාපේක්ෂ වශයෙන් ධනවත් කොටස් වූ අතර එය ප‍්‍රකාශිත කලේද ඔවුන්ගේ උත්සුකයන්ම ය.

ඩිමොක‍්‍රටික් පක්ෂය වටේම රැඳී සිටි එය සිය විරෝධතා කෙසේ හෝ ඔබාමා පාලනාධිකාරයේ පිලිවෙත් කෙරේ බලපානු ඇතැයි අපේක්ෂා කලේ ය. එය සමාජවාදය මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් ඇවිලවීමට වැඩ කලේ නැත.

එම ව්‍යාපාරය විසින් "සියයට 99 අප වේ” යන සටන් පාඨය තෝරා ගැනීම අහම්බයක් නොවීය. ඇමරිකානු සමාජයේ ප‍්‍රති විරුද්ධ පන්තීන් හා බැඳුනු සමාජ-ආර්ථික ප‍්‍රවනතා, විශේෂයෙන් ම ඇමරිකානු ජනතාව පතුලේ තට්ටුවේ සියයට 90 මුහුන දී ඉන්නා තත්වයන් ද තමන්ගේ ම වරප‍්‍රසාද ද අතර පරතරය ඇතුලත්, වඩාත් නිශ්චිත බෙදීම් මතු කරගැනීමට එහි නායකයන්ට උවමනා වූ යේ නැත. උත්ප‍්‍රාසාත්මකව, විරෝධතා නායකයන් ප‍්‍රකාශයට පත් කල අවශ්‍යතාවය ඔවුන්ගේ ම සමාජ යොමුව එලිදරව් කලේය.

මධ්‍යම පන්තියේ ධනවත් කොටස්වලට උවමනා වන්නේ මූල්‍ය ව්‍යවසායේ ධනයෙන් තම පංගුව වැඩිකර ගැනීම ය. "වෝල්වීදිය වාඩිලාගනු” යන සටන් පාඨය එහෙයිනි. එය වෝල්වීදියේ ඒකාධිපතිත්වය පෙරලා දමා උන්ගේ ධනය අත්පත් කර ගැනීම ඉල්ලා සිටින සමාජවාදී කි‍්‍රයාමාර්ගයට ගව් ගනනක් ඈත ය.

26. කලින් ආ "ප‍්‍රති-ගෝලීකරන” (සියැටල් සහ වෙනත් නගර වල) පෙලපාලි මෙන්ම වෝල්වීදිය වාඩිලා ගැනීමේ ව්‍යාපාරය ද මෙහෙයවනු ලැබුවේ විවිධ අරාජකවාදී ප‍්‍රතිසංස්කරනවාදී ප‍්‍රවනතා තුල පැතිර තිබුනු න්‍යායික සංකල්පයන් ගෙනි.

අසීමිත පුද්ගලවාදය උත්කර්ෂනය කරන අරාජකවාදය මධ්‍යම පන්තිය තුලින් උනන්දු ශ‍්‍රාවකයක් අත්කරගනී. ෆ‍්‍රැන්ක්ෆට් ගුරුකුලය, පශ්චාත් නූතන වාදය, ව්‍යුහවාදය සහ පශ්චාත් ව්‍යුහවාදය (හෝර්කයිමර්, ඇඩෝර්නෝ, ෆොකොල්ට්, ඩෙරීඩා, ලියෝටාර්ඞ්, ල’කන් සහ බදියු වැනි) ආත්මීය විඤ්ඤානවාදී සහ අහේතුවාදී පස්චාත් නූතනවාදී චින්තකයන් පරාසයකින් ආභාසය ලබන මෙම ප‍්‍රවනතා මාක්ස්වාදයේ සෑම සාරභූත කි‍්‍රයාමාර්ගික සංකල්පයක් ම - අන් සියල්ලටමත් වඩා කම්කරු පන්තියේ කේන්ද්‍රීය විප්ලවවාදී භූමිකාව පිලිබඳව මාක්ස්වාදය කරන අවධාරනය- ප‍්‍රතික්ෂේප කරති. සමකාලීන "පශ්චාත් නුතනවාදයේ” නියෝජකයෙක් මෑතදී ලියූ ලිපියක මෙසේ සඳහන් කර තිබුනි:

"මේ වර්ගයේ දේශපාලනය මාක්ස්වාදී පන්ති අරගලයට වෙනස් ය. එය කම්කරු පන්තියේ කේන්ද්‍රීය ආත්මීයත්වය මත පදනම්ව නැත. එහෙයින් මෙම අරගල තුලට වැදගත් ආකාරයකට සාම්ප‍්‍රදායික කම්කරු පන්ති සංවිධාන සම්බන්ධව තිබුනත් ව්‍යාපාරය පෙර මෙන් පන්ති අරගලයේ ප‍්‍රවර්ගය යටතේ තවදුරටත් අර්ථ කථනය කල නොහැකිය. (ලියා තිබූපරිදිම) මාක්ස් වාදී අර්ථයකින් පන්ති අරගලයක් හැටියට නොවේ: ඒ වෙනුවට ගෝලීය ධනවාදය වැඩ කරන්නේ හුදෙක් ආර්ථික වශයෙන් නොව දේශපාලන වශයෙන් විවිධ මිනිසුන් විසින් විවිධ ආකාරයට වටහා ගනු ලබන විවෘත දිගන්ත ලෙසින් වන හෙයිනි. එතකුදු නොව, එය කේන්ද්‍රීයව සංවිහිත මහා පක්ෂයක් වන් මාක්ස්වාදී මාදිලියේ දේශපාලන බලමුලු ගැන්වීමක් මත පදනම්වන්නේ ද නැත. ඒ වෙනුවට එය අන්තර්ගත කරගන්නේ, අප කල්තියා දුටු පරිදි සාම්ප‍්‍රදායික පෙලපාලි පමනක් නොව වඩා නවීකාරක ඍජු උද්ඝෝෂන කි‍්‍රයා වල ද නියුතු, සමාන කන්ඩායම්වල ද විවිධ සංවිධානවල ද ලිහිල් "ජාල” කි‍්‍රයාකාරිත්වයකි..” (8)

සකල පශ්චාත් අරාජකවාදී වැඩ පිලිවෙල සාරාංශ කරමින් මෙම න්‍යායඥ තෙමේ මෙසේ අවධාරනය කරයි: "එය තවදුරටත් තනි මහා කතිකාවකට - උදාහරනයක් හැටියට කම්කරු පන්ති විමුක්තිය ට - බැඳුනු දේශපාලන ආකෘතියක් නොවේ.”(9)

27. ව්‍යාජ වාම සංවිධාන ද ඔවුන්ගේ කි‍්‍රයාමාර්ග සඳහා යුක්ති ප‍්‍රතිපදානය කරන න්‍යායඥයෝ ද මාක්ස්වාදයට ද කම්කරු පන්තිය පදනම් කරගත් සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනයට ද උග‍්‍ර විරෝධයක් දරා සිටිති. විප්ලවවාදී පක්ෂයක් ගොඩ නැගීම සඳහා දැරෙන සෑම ප‍්‍රයත්නයක් ම, "නිකාය වාදය”, "අධිකාර වාදය”, "ප‍්‍රභූ වාදය” පමනක් නොව, "සර්වාධිකාර වාදය” යයි ද ඔවුන් කරන නිරන්තර හෙලාදකීම්වලින් ප‍්‍රකාශිත වන්නේ කම්කරු පන්තිය සමාජවාදී විඤ්ඤානය වර්ධනය කර ගෙන මධ්‍යම පන්තියේ දේශපාලන ආධිපත්‍යයෙන් බිඳී වෙන්වනු ඇති ය යන බියය.

28. සමස්තයක් වශයෙන් ගත් කල්හි ව්‍යජ වාම සංවිධාන වනාහී ධනේශ්වර දේශපාලනයේ ම ප‍්‍රවනතාවයකි. එක්සත් ජනපදය තුලදී ඩිමොක‍්‍රටික් පක්ෂයට "වාම” පැවැත්මක් මවා පෙන්වීම සඳහා පවත්නා උවමනාව විසින් සිය දිශාව තීන්දු කර ගන්නා සංවිධානයක් වන ඉන්ටර් නැෂනල් සෝෂලිස්ට් ඔර්ගනයිසේෂන් (අයිඑස් ඕ) මෙම ප‍්‍රවනතාවය නිරූපන කරයි. ව්‍යාජ වම වනාහී ජාත්‍යන්තර ප‍්‍රපංචයකි. ඇමරිකා එක්සත් ජනපදයෙන් පිටස්තරව, පන්ති අරගලය වඩාත් ඉදිරියට ගොස් ඇති රටවල ව්‍යාජ වමේ ප‍්‍රතිගාමී භූමිකාව වඩාත් විශදව මතුව ඇත. ඊජිප්තුවේ හොස්නි මුබාරක් ගේ ඇදවැටීමෙන් ඉක්බිත්තේ ඊනියා රෙවලූෂනරි සෝෂලිස්ට් (එක්සත් ජනපදයේ අයිඑස්ඕවට දේශපාලන වශයෙන් අනුබද්ධ) සංවිධානය මුස්ලිම් සහෝදරත්වයට අත වනන ගමන් ම මිලිටරි පාලනයට දේශපාලන විශ්වාසය පිදුවේ ය. මෙම බි‍්‍රතාන්‍ය රෙවලූෂනරි සෝෂලිස්ට් සංවිධානයේ සමචින්තකයින්ගේ ප‍්‍රතිගාමී හැඩගැස්ම සැකසී තිබුනේ "මාක්ස් සහ මහම්මත් මාට්ටු කොට, එම පදනමේ වාම කි‍්‍රයා මාර්ගයක් වර්ධනය කර ගත හැකිය” යන අභූතය මතය. පෙරදැකිය හැකි පරිදි ම විපාකය ව්‍යසනකාරී විය. දේශපාලන වශයෙන් ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනැගීමේ සියලු ප‍්‍රයත්න වලට විරුද්ධව සිටි මෙම ව්‍යාජ - වාම සංවිධානය 2012 ජුනි 14 ඊජිප්තු මිලිටරිය දියත් කල පාර්ලිමේන්තුවට එරෙහි කුමන්ත‍්‍රනය කිසිසේත් ම පෙරදැක්කේ නැත. කුමන්ත‍්‍රනයට ප‍්‍රතිචාර වශයෙන් රෙවලූෂනරි සෝෂලිස්ට් (RS) සංවිධානය ප‍්‍රකාශයක් නිකුත් කලේ ය. ඉන්ටර්නැෂනල් සෝෂලිස්ට් ඕ’ගනයිසේෂන් (ISO) සංවිධානයේ වෙබ් අඩවියේ පලකරන ලද එය දේශපාලන දිරිසුන්බව සහ බංකොලොත්බව පිලිගත් ශෝචනීය පාපොච්චාරනයක් විය. ගත වූ මාසවල දේශපාලන වශයෙන් කිසිදු පැහැදිලි කරගැනීමකින් තොරව සංවිධානය මෙසේ ප‍්‍රකාශ කලේ ය:

සහෝදරවරුනි, සහකරුවෙනි, මිත‍්‍ර වරුනි මෙය ප‍්‍රති විප්ලවය ලද තීරනාත්මක සහ හදිසි ජයග‍්‍රහනයක් නිසා විප්ලවවාදීන්ට අද දින සිදු වූ දේ සිතාගත නොහැකි තත්වයක් වීම කිසිසේත්ම පුදුමයට හේතුවක් නොවේ” (10)

29. මෙවන් බියගුලූ දේශපාලන ප‍්‍රකාශ කියවන කල්හි අප කාට වුව ද ප‍්‍රකාශයේ කතුවරුන්ගෙන් අසන්න ට සිතෙන්නේ , "ඉතින්, නෝනා වරුනි, මහත්වරුනි, 2011 පෙබරවාරි මාසයේ දී මුබාරක් ගේ වැටීමෙන් පසු එලඹුනු මාසවල දී නුඹලා කරමින් සිටියේ මොනවා ද? හමුදාවට තම කුමන්ත‍්‍රනය කි‍්‍රයාත්මක කිරීමට ඉඩ දීම ගැන නුඹලා කොතරම් වගකීමක් පිලිගන්නවා ද?” එහෙත් ප‍්‍රකාශයේ කතුවරු මෙවන් ප‍්‍රශ්නවලට පිලිතුරු දෙනු නැත. ඔවුහු කිසිම දෙයකට වග නොකියති.

30. ගී‍්‍රසියේ දී ධනේශ්වර දේශපාලනය තුල ප‍්‍රවනතාවක් ලෙස ව්‍යාජ වමේ භූමිකාව එලිදරව් කරනු ලැබ ඇත්තේ සිරිසා සංවිධානය විසිනි. හිටපු-ස්ටැලින් වාදීන් ද පැබ්ලෝවාදීන් ද (දිගු කලකට පෙර ට්‍රොට්ස්කිවාදයෙන් පලාගිය) විවධ රාජ්‍ය ධනවාදී කන්ඩායම්වල ද පරිසරවාදීන්ගේ ද සන්ධානයක් වන මෙම සංවිධානය යුරෝපීය බැංකු ගී‍්‍රසිය මත පැටවූ කප්පාදු පියවර හෙලා දැකීමේ පදනම මත විශාල ජනතා පදනමක් දිනා ඇත.

එහෙත් සිරිසා සංවිධානය බලයට පත්වීමේ හැකියාව මතු වූ වහාම එහි නායක ඇලෙක්සැන්ඩර් සිප්රාස් ජර්මනියට දිව ගොස් තමාගේ පක්ෂය ඉයුරෝ කලාපයෙන් ඉවත් වීමට අදහස් නොකරන බවද යුරෝපීය බැංකු විසින් ගී‍්‍රසිය මත පටවා ඇති කප්පාදු වැඩ පිලිවෙල සාකච්ඡා කොට යලි සකසාගන්නවාට වැඩි අන් කිසිදු රැඩිකල් පියවරක් ඉදිරිපත් කරන්නේ නැත යි ද බැංකුවලට සහතික විය.

31. ව්‍යාජ වාම ප‍්‍රවනතාවන්ගේ ප‍්‍රතිගාමී ස්වභාවය කිසිදු ප‍්‍රශ්නයකින් තොරව නිශ්චය වශයෙන් ම තීන්දු වන්නේ "මානව අයිතීන්” නමැති ප්‍රෝඩාකාරී ධජය යටතේ අධිරාජ්‍යවාදයේ නව-යටත් විජිත වාදී මෙහෙයුම්වලට ඔවුන් දී ඇති සහයෙනි. ජාත්‍යන්තර පැබ්ලෝවාදී වෙබ් අඩවිය වන ඉන්ටර්නැෂනල් විව්පොයින්ට්හි ද http:// SocialistWorker.org හි පලවූ ලිබියාවේ අධිරාජ්‍ය ආක‍්‍රමනයට පක්ෂපාතිත්වය පලකල "විප්ලවයට ප‍්‍රහාරයක්” නම් ප‍්‍රකාශය මෙයට උදාහරනයකි. දශක ගනනාවක් තිස්සේ විජිත පාලනයට යටත්ව තිබුනු රටවල්වලට එරෙහිව නව අධිරාජ්‍යවාදයේ ආක‍්‍රමන කි‍්‍රයාත්මක වන තතු තුල ව්‍යාජ වම්මු අධිරාජ්‍යවාදී ප‍්‍රහාරයන්ට පක්ෂව හුරේ දමන ප‍්‍රතිගාමීන් ලෙස ඉස්මතුව සිටිති. දැන් එය සිරියාවේ යලි සිදුවෙමින් පවතී.

32. අවුරුදු 160 කට පෙර ලියූ මාක්ස් ගේ මුල් කෘති අතර එක ශ්‍රේෂ්ඨ කෘතියක මාක්ස් මෙසේ සඳහන් කලේය: "මිනිස්සු තමන්ගේ ඉතිහාසය ගොඩනගා ගනිති. එහෙත් ඔවුන් එය ගොඩනගන්නේ ඔවුන්ට උවමනා හැටියටම නොවේ, අතීතය විසින් ලබා දී ඇති ඔවුන් කෙලින් ම මුහුන දෙන උරුම හා තතු තුලය.” (11) වර්තමානය "කෙලින් ම මුහුන දෙන අතීතය විසින් ලබා දී ඇති උරුමයේ තතු” භැඩ ගස්වනු ලැබ ඇත්තේ පසු ගිය ශතවර්ෂයේ විප්ලවයන් ද යුද්ධයන් ද විද්‍යාත්මක හා තාක්ෂනික ප‍්‍රතිවර්තනයන් ද විසින් ය. ස්ටැලින්වාදය, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, වෘත්තිය සමිති නිලධරය සහ වෙනත් ආකාර දේශපාලන අවස්ථාවාදයන් ගිය සියවසේ විප්ලවවාදී අරගලයන්ගේ පරාජය ඇති කරමින් ධනවාදයේ පන රැක ගැනීමට උදව් වූ ආකාරය පිලිබඳ වැටහීම කම්කරු පන්තියේ ද, තරුනයන්ගේ ද දියුනු කොටස් විසින් අත්පත් කරගත් යුතුව ඇත. විසිවෙනි ශතවර්ෂයේ මහා පන්ති අරගලයන්ගේ මූලෝපායික අත්දැකීම් හැදෑරිය යුතු ය.

33. එවැනි අධ්‍යාපනයක අවශ්‍යතාවය වඩාත් ම උත්සන්න වී තිබෙන්නේ බරපතල පන්ති අරගලයන් සිදු වූ අතීත කාලපරිච්ඡේදයේ සිට මේ වනවිට දශක ගනනාවක් ගත ව තිබෙන නිසා ය. අසීමිත පන්ති සහයෝගිතාවේ ගැලුනු නිල වෘත්තීය සමිති, සිය සාමාජිකයන් මහා සංගත විසින් සුරාකෑම උග‍්‍ර කිරීමට මුලුමනින්ම කැපවී සහයෝගය දෙමින් සිටින තතුතුල ධනවාදයට එරෙහි අරගලයේ කෙලින් ම යෙදීගැනීමේ අවස්ථාව කම්කරුවන් මුලුමහත් පරම්පරාවකටම නැති කර දමනු ලැබ ඇත. පන්ති අරගලය දිගු කලක් තිස්සේ යටපත් කර තිබීම කම්කරුවන්ගේ දේශපාලන විඥානයේ වර්ධනය පසුබස්වා ඇත. එහෙත් දශක ගනනාවක සමාජ සහ දේශපාලන පල් වීම ඇතුලත සිදුවූ පන්ති විඥානයේ එම පිරිහීම අවසන් කල නොහැකිය යි නිගමනය කිරීම සාවද්‍යය. ධනේශ්වර "ඇමරිකානු මාවත” මහජනතාවගේ පිලිගැනීමට ලක්ව ඇතැයි පාලක පන්තිය ට විශ්වාසයක් තිබේ නම් එම පන්තිය මහජන සන්තානය නො මග යැවීමට ද හිරිවැට්ටීමට ද මෙතරම් සම්පත් සම්භාරයක් යොදනු නැත. සමාජ යථාර්තය වසන් කිරීමට, සිය ප‍්‍රචාරක යන්ත‍්‍රයට නොහැකි බව ද පාලක පන්තිය මැනවින් දනී. සුන්දර "ඇමරිකානු සිහිනය” දැන් "භයංකර ස්වප්නයක්” බවට පත්ව ඇත.

34. සමාජ පැවැත්ම සමාජ විඥානයේ පදනම නිර්මානය කරයි. කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව නීර්නය කරනු ලබන්නේ අවසාන විග‍්‍රහයේ දී එම පන්තිය ධනේශ්වර නිෂ්පාදන මාධ්‍යය තුල දරන වෛෂයික තත්වය විසිනි. ධනවාදයේ උග‍්‍රවන අර්බුදය අනිවාර්යයෙන්ම කම්කරුවන්ගේ විඥානය තුල තැන්පත්ව පවත්නා විභව සමාජවාදී ප‍්‍රවනතාවන් ඉස්මත්තට ගෙන එනු ඇත. ට්‍රොට්ස්කි පැහැදිලි කලපරිදි: "විද්‍යාත්මක සමාජවාදය වනාහී අවිඥාත ඓතිහාසික සන්තතියේ සවිඥාත ප‍්‍රකාශනය යි: එනම් කොමියුනිස්ට්වාදී ප‍්‍රාරම්භකත්වයක් මත, සමාජය යලි ගොඩනැගීම සඳහා කම්කරු පන්තිය තුල පවත්නා සහජාසීය භෞතික ගාමකයේ, ප‍්‍රකාශනයයි. කම්කරුවන්ගේ මනස තුල පවත්නා මෙම සමාජවාදී ප‍්‍රවනතාවෝ වත්මන් අර්බුද සහ යුද්ධ කාලපරිච්ඡේදයේ දී අතිශයින් ම වේගවත්ව ජීවමානව නැගී සිටිත්.”(12)

35. මෙම "ඓන්ද්‍රීය ප‍්‍රවනතාවන්”ගේ පැවැත්ම සමාජ ප‍්‍රතිරෝධයේ පුපුරායාම තුල ප‍්‍රකාශනයක් අත්කරගනු ඇතිවා පමනක් නොව සමාජවාදී අදහස් පිලිගැනීමට කම්කරු පන්තිය දක්වන කැමැත්ත වශයෙන් ද ප‍්‍රකාශ වනු ඇත. එහෙත් මෙම ප‍්‍රවනතා වගා කොට සැබෑ සමාජවාදී විඥානය බවට දැනුවත්ව වර්ධනය කරගත යුතු වේ.

36. සමාජවාදී සමානතා පක්ෂය ඉදිරියේ පවත්නා කේන්ද්‍රීය කර්තව්‍යය නම් කම්කරු පන්තිය දෙසට එලියට හැරීමයි. අපි ඇමරිකානු කම්කරු පන්තියේ පෙරනුවුවිරූ නැගීටීමක් අපේක්ෂා කරමු. අපගේ දිශාවනතිය සාකල්‍යයෙන් ම කම්කරු පන්තිය වෙතට වේ. අප මෙම පක්ෂය ගොඩනගන්නේ එම මහා බලවේගය තුලය. ජාත්‍යන්තර සමාජවාදී කි‍්‍රයාමාර්ගය මත පදනම් වූ කම්කරු පන්තියේ මහා ව්‍යාපාරය පමනක් ම ඇමරිකානු පාලක පන්තිය පරාජය කොට තීරනාත්මක ජයග‍්‍රහනය අත්කර ගැනීමට සමත්වනු ඇත. කම්කරු පන්තියට ජයග‍්‍රහනය තබා බරපතල, ස්ථිර සාර අරගලයක් වුව කිරීම සඳහා අත්‍යවශ්‍ය වන දේශපාලන ඉදිරිදර්ශනය, සම්පාදනය කල යුත්තේ සමාජවාදී සමානතා පක්ෂය විසිනි. සසප වඩාත් දුරදක්නා සහ ආත්ම පරිත්‍යාගී කම්කරුවන් සහ තරුනයින් තම සාමාජිකත්වයට බඳවා ගතයුතු ය. සසප සැබෑ විප්ලවවාදී කි‍්‍රයාමාර්ගයක් උඩ, ධනවාදයට සහ අධිරාජ්‍යවාදයට එරෙහිව මධ්‍යම පන්තියෙන් කම්කරු පන්තියේ කඳවුර කරා පැමිනෙන්නවුන් සාදරයෙන් පිලිගනී. එවන් බලවේගයන් විප්ලවවාදී ව්‍යාපාරයේ වර්ධනයේ දී අර්ථභාරී භූමිකාවක් ඉටු කරනු ඇත, එහෙත් ඒ ඔවුන් සුලුධනේශ්වර වාතාවරනයෙන් දේශපාලනිකව සහ බුද්ධිමය වශයෙන් බිඳී වෙන්වන තාක් දුරට ය. සමාජවාදී සමානතා පක්ෂය හතරවෙනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සිය සහචින්තකයින්ගේ සමීප දේශපාලන සහයෝගයෙන්, තමන් වෙත දිනාගත් සියලු බලවේග මාක්ස්වාදී - ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සහ න්‍යායික උරුමයේ පදනම මත පුලුල් කරගනු ඇත. එය විසින් පන්ති අරගලයේ ජාත්‍යන්තර ස්වහාවය පිලිබඳව ද සමාජවාදී විප්ලවය පිලිබඳව ද ප‍්‍රගාඪ වැටහීමක් ඇමරිකානු කම්කරු පන්තිය තුලට කාවැද්දිය යුතු ය.

37. සකල මානව වර්ගයාගේ අනාගතය රඳා පවත්නේ කම්කරු පන්තියේ සැබෑ විප්ලවවාදී ව්‍යාපාරයක වර්ධනය මත ය. වත්මන් අපාරයෙන් එලියට වෙනත් මාවතක් නැත. සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යයන් සහ ඉදිරි දර්ශනය සාරාංශ කිරීමේ දී හතරවෙනි ජාත්‍යන්තරයේ ආරම්භක කි‍්‍රයාමාර්ගයේ (ධනවාදයේ මරලතෝනිය) ලියොන් ට්‍රොට්ස්කි ලියා තැබූ පහත සඳහන් වැකි අත්‍යසාමාන්‍ය ලෙස කාලෝචිත වෙයි :

සමාජවාදය සඳහා තවමත් තත්වයන් "මෝරා” නැතැයි කියන සියලු දෙඩවිලි අඥත්වයේ නැතහොත් වංචාවේ නිෂ්පාදිතයකි.

නිර්ධන පන්ති විප්ලවය සඳහා වෛෂයික පූර්වාවශ්‍යතාවන් මෝරා ඇතුව පමනක් නොව තරමක් දුරට කුනුවන්න ට ද පටන් ගෙන ඇත.

යටත් පිරිසෙයින් මීලඟ ඓතිහාසික යුගයේදී සමාජවාදී විප්ලවයක් නොසිදුවුවහොත් මානව වර්ගයාගේ මුලුමහත් සංස්කෘතියට ම මහා විනාශයක් එල්ල වන්නේය. දැන් වාරය නිර්ධන පන්තියටයි. එනම්, ප‍්‍රධාන වශයෙන්ම එහි විප්ලවවාදී පෙර ඇනියටයි. මානව වර්ගයාගේ ඓයිතිහාසික අර්බුදය විප්ලවවාදී නායකත්වයේ අර්බුදය බවට සිඳී ඇත්තේය. (13)

සටහන්:

1. ද ඉකොනොමිස්ට්, 2012 ජුනි 9 -15 කලාපය

2. ධනවාදයේ මරලතෝනිය හා හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ: හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක සම්මේලනයේ දී සම්මත කෙරුන සංක‍්‍රමන කි‍්‍රයාමාර්ගය හා හතරවන ජාත්‍යන්තරයේ ව්‍යවස්ථා කම්කරු මාවත ප්‍රකාශන, 1988) පිටුව 2.

3. Federal Reserve Bulletin (ඇමෙරිකානු මහ බැංකුවේ ප‍්‍රකාශනය), 2012 ජූනි, පිටුව 4.

4. එම., පිටු 17-18

5. "The Draft Program of the Communist International" in The Third International After Lenin (ලෙනින්ගෙන් පසු තුන්වන ජාත්‍යන්තරය කෘතියේ "කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ කෙටුම්පත් වැඩ පිලිවෙල” (නිව් යෝර්ක්: 1996) පිටුව 5.

6. “A School for Revolutionary Strategy” in The First Five Years of the Communist International කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ පලමු වසර පහ කෘතියෙහි "විප්ලවවාදී පිලිවෙත සඳහා පාසැලක්” ලිපිය, වෙලුම 2, (ලන්ඩන් 1974), පි. 7.

7. Journal of Economic Literature ("ඉතිහාසයේ දිගු කාලය තුල ඉහල ආදායම්” ඇන්තනි බී ඇට්කින්සන්, තෝමස් පිකටි සහ එම්මානුවල් සයෙස් - ජර්නල් ඔෆ් ඉකොනොමික් ලිට්ටෙ‍්‍රචර් 2011, 6-7 පිටු

8. සාවෝ නිව්මන්: Unstable Universalities: Poststructuralism and Radical Politics, අස්ථාවර සාර්වත‍්‍රතා: පශ්චාත් ව්‍යුහවාදය සහ රැඩිකල් දේශපාලනය (මැන්චෙස්ටර් සහ නිව් යෝර්ක්, 2007), පිටුව 176.

9. එම., පිටුව 180.

10. “An Attack on the Revolution,” විප්ලවය මතට ප‍්‍රහාරයක් http:// SocialistWorker.org

11. "The 18th Brumaire of Louis Bonaparte" in Collected Works of Karl Marx and Friedrich Engels "ලුවී බොනපාර්ට්ගේ 18වන බ‍්‍රෑමරය” ලිපිය, කාල් මාර්ක්ස් සහ ෆෙඩි‍්‍රක් එංගල්ස් සංගෘහිත කෘති, වෙලුම 11, (නිව් යෝර්ක්: 1979) 103 පිටුව.

12. "From a Scratch to the Danger of Gangrene" in In Defense of Marxism (ලන්ඩන්: 1972) පිටුව-129. මාක්ස්වාදයේ ආරක්ෂාව සඳහා, කම්කරු මාවත ප‍්‍රකාශන, පිටුව 68.

13. ධනවාදයේ මරලතෝනිය හා හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ: හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක සම්මේලනයේ දී සම්මත කෙරුන සංක‍්‍රමන කි‍්‍රයාමාර්ගය හා හතරවන ජාත්‍යන්තරයේ ව්‍යවස්ථා කම්කරු මාවත ප්‍රකාශන, 1988) පිටුව 2.

Share this article: