ශී‍්‍ර ලංකාව: ඉහල වැටුප් හා නිදහස් ගුනාත්මක අධ්‍යාපනයක් ඉල්ලා විශ්වවිද්‍යාල ආචාර්යවරු පාගමනේ යෙදෙති

By Our Correspondents, 28 September 2012

ගාල්ලෙන් ඇරඹි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පාගමනේ අවස්ථාවක්

ඉහල වැටුප් හා ගුනාත්මක නිදහස් අධ්‍යාපනයක් ඉල්ලා මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ අඛන්ඩ වර්ජනයක යෙදී සිටින ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරු, සිය අරගලය සඳහා මහජන සහයෝගය ගොනු කරනු වස් ගාල්ලේ සිට කොලඹ දක්වා දින 5ක පාගමන යෙදී සිටිති.

වර්ජනයට නායකත්වය දෙන විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (විආසස) විසින් සංවිධානය කරන ලද, සැප්තැම්බර් 24 දා ගාල්ලෙන් ඇරඹි පාගමන, කිලෝ මීටර් 118 දුරක් ගෙවා 28 දා කොලඹට ලඟාවීමට නියමිත ය. එදින සවස 3ට කොලඹ හයිඩ් පිටියේ දී රැලියක් පැවැත්වීමට ද විආසස බලාපොරොත්තු වේ.

24 දා ඇද හැලුනු මහා වැසි නොතකා පේරාදෙනිය, කොලඹ, මොරටුව හා රුහුන ආදි සරසවිවලින් දහසකට ආසන්න ආචාර්යවරු, ශිෂ්‍යයන් හා දෙමාපියන් ඇතුලු දෙදහසක පමන පිරිසක් එක්වූ එයට මග දෙපස රැස්ව සිටි ජනතාවගේ සහයෝගය ගොනු වී තිබේ. අවට පාසල්වල ගුරුවරු ද තම පාසල් ප‍්‍රධාන ගේට්ටු අසලට රැස්වී අත් ඉහලට වනමින් හා අත්පොලසන් දෙමින් සිය සහාය පල කලහ.

මෙම පාගමන පැවැත්වෙන්නේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව ආචාර්ය ඉල්ලීම් මුලුමනින්ම නොතකා හැර කම්කරු කොමසාරිස් හරහා අනිවාර්ය බේරුම්කරනයකට යටත් කිරීමත් ආචාර්යවරුන්ට එරෙහිව අවලාද, තර්ජන හා මර්දන විධික‍්‍රම දියත් කිරීමත් මගින් වර්ජනය බිඳීමේ තර්ජනය මතු කර ඇති වර්ජනයේ තීරනාත්මක සන්ධිස්ථානයකදී ය.

පාගමනට ලැබී ඇති ආචාර්ය, ශිෂ්‍ය හා දෙමව්පිය පුලුල් සහයෝගය මගින් පෙන්නුම් කෙරෙන්නේ, සිය අයිතීන්ට පහර එල්ල කිරීමට විරුද්ධව මහජනතාව අතර ආන්ඩුවට එරෙහිව පවතින වැඩෙන විරෝධයයි.

යාපනයේ විශ්විද්‍යාල ආචාර්යවරුන්ගේ පාගමනේ අවස්ථාවක්

උතුරේ යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු ද දකුනේ පාගමනට සහාය දෙමින් 25 දා පේදුරුතුඩුවේ සිට යාපනය සරසවිය දක්වා කිලෝමිටර් 30ක දුරක් රථ පෙලපාලියක හා පාගමනක යෙදුනහ. එහි දී පැවති රැලියක් අමතමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයට අනුබද්ධිත යාපනය විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ සභාපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකුමරන් මෙසේ කියා සිටියේය: "අපගේ විරෝධතාව මාස තුනකට ආසන්න කාලයක් පැවතී ඇතත් ආන්ඩුව තවමත් කිසිම අර්ථවත් විසඳුමක් දීලා නැහැ. ආන්ඩුව උත්සාහ කරන්නේ අධ්‍යාපනය පුද්ගලීකරනය කරන්න. අපි සටන් කරන්නෙ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න. නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමෙන් පීඩා විඳින්නේ දුප්පත් ජනතාව.”

යාපනයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උද්ඝෝෂනයේ ‍අවස්ථාවක්

ඔහුගේ කතාව, ආන්ඩුවට බලපෑම් දැමීමෙන් ආචාර්ය ඉල්ලීම් දිනාගත හැකිය යනුවෙන් විආසස නායකයන් පතුරුවන මිථ්‍යාවන් පිලිබිඹු කරයි. ආන්ඩුව නිදහස් අධ්‍යාපනය විනාශ කරන්නේ ඇයි ද යන වග පැහැදිලි කිරීමට ඔහු අසමත්ය.

එසේම, ආචාර්ය ගැටලු විසඳා සරසවි යලි ආරම්භ කරන ලෙස ඉල්ලමින් ආචාර්යවරුන්ගේ අරගලයට සහයෝගය පල කරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ පාගමනක් 24 දා ම මහනුවරින් ඇරඹුනු අතර එය ද 28 දා කොලඹට පැමිනීමට නියමිත ය. එයට ශිෂ්‍යයෝ දහස් ගනනින් සහභාගි වෙමින් සිටිති.

මහනුවරින් ඇරඹි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ පාගමන

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) හා එහි ශිෂ්‍ය ව්‍යාපාරය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ ව්‍යාපාරයේ (සසජාශි) සාමාජිකයෝ, "විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට සහාය දෙනු”, "විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය සන්ධිස්ථානයකට පැමිනෙයි” හා "ආන්ඩුව ශිෂ්‍ය සංගම් නායකයා අත්අඩංගුවට ගෙන රඳවා තබයි” යන සසප/සසජාශි පත‍්‍රිකා බෙදා හරිමින් ආචාර්යවරුන්ගේ අරගලයට තම සහයෝගයත් ඔවුන් මුහුන දී සිටින දේශපාලන ප‍්‍රශ්නත් මතු කරමින් රාජපක්ෂ ආන්ඩුවට එරෙහි සමාජවාදී වැඩපිලිවෙල මත කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අරගලයක අවශ්‍යතාව පෙන්වා දෙමින් පාගමනේ යෙදී ආචාර්යවරු හා අවට මහජනතාව සමග සාකච්ඡාවක යෙදුනහ.

රුහුනු සරසවියේ විද්‍යා පීඨයේ කථිකාචාර්යවරයෙක් මෙසේ පැවසීය. "ජූලි 04 දා ඉඳන් අපේ වැටුප් නතර කරලා. අපිට ජීවත් වෙන්න තිබුනු එකම මාධ්‍ය ආන්ඩුවේ පඩිය විතරයි. වෙන අමතර ටියුෂන් අපි කිසිවක් කලේ නෑ. බිරිඳගේ වැටුපෙන් තමයි දැන් ජීවත් වෙන්නේ. මේ අරගලය ජයග‍්‍රහනයකින් කෙලවර කරන්න ඕනා. ඒකටයි අපි පාරට බැස්සේ.”

විආසස නායකයෝ ආචාර්යවරුන්ගේ ඉල්ලීම් රාජපක්ෂ ආන්ඩුවට පීඩනය යෙදීම මගින් දිනාගත හැකි යයි මිථ්‍යාවන් වපුරන අතර දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) ඇතුලු පක්ෂ සමග පෙල ගැසී සිටී. විආසස මෙම පිලිවෙත මගින් නිෂ්චිතව ම අරගලය පාවාදීමේ අනතුර පවතින බව අප පෙන්වා දුන් විට එම ආචාර්යවරයාම පැවසුවේ "ඒක ඇත්ත ඒ අය එක්ක කිසිදු අරගලයක් දිනන්න පුලුවන් කියලා හිතන්න බෑ” යනුවෙනි.

මේ අරගලය අවශේෂ කම්කරු පන්තිය සමග ඒකාබද්ධ නොකරන්නේ මන්ද යන ප‍්‍රශ්නයට එම ආචාර්යවරයා මෙසේ පැවසීය. "අපි කම්කරුවෝ නෙමේ. අපි බුද්ධිමතුන් එමනිසා ආන්ඩුවට අපේ ඉල්ලීම් අහක දාන්න බෑ.” ඔහු වැඩි දුරටත් පැවසුවේ විආසස අදහස වන්නේ ආචාර්යවරු වරප‍්‍රසාදිත කොටසක් නිසා කිසිදු ලෙසකින් ඔවුන් සේවයෙන් ඉවත් කිරීමට ආන්ඩුව කටයුතු නො කරනු ඇති බවයි. විආසස නායකත්වය විසින් තොරොම්බල් කරන මෙම මිථ්‍යාව, රාජපක්ෂ ආන්ඩුව රජයේ විශ්වවිද්‍යාල ඇතුලු නිදහස් අධ්‍යාපනය විනාශභාග් කරමින් වඩවඩා පුද්ගලික සරසවි බිහි කිරීම සඳහා හැරී ඇති බව මුලුමනින්ම නොතකා හරී.

රුහුනු සරසවියේම තවත් ආචාර්යවරයෙක් "සමාජවාදී වැඩපිලිවෙලක් අරගලය සඳහා ඔබ යෝජනා කරනවා. සමාජවාදය ප‍්‍රායෝගික නෑ කියලා අපේ ඔලුව ඇතුලේ චිත‍්‍රයක් තියෙනවා. ඒ චිත‍්‍රය වෙනස් කොලොත් සමාජවාදය ප‍්‍රායෝගිකව ක‍්‍රියාවට දැමිය හැකියි කියලා විශ්වාසයක් නම් තියෙනවා. ඔබ කියනවා විආසස දේශපාලන අරගලයකට විරුද්ධයි කියලා. ඒක ඇත්ත. වෘත්තීය සමිති ස්වභාවිකව ම කරන්නේ ආන්ඩුවට බලපෑම් දාන එක. දේශපාලන අරගල කිරීම වෘත්තීය සමිතියක වැඩක් නෙමේ.”

රුහුනු සරසවිය තුලත් ඉන් පිටතත් සරසවි ශිෂ්‍ය මර්දනය පිලිබඳව ඔහු කියා සිටියේ මෙබඳු දෙයකි. "(අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ කැඳවුම්කරු) සංජීව බන්ඩාර අත්අඩංගුවට ගැනීම වැරදියි. ඔහු සටන් කලේ අපේ අයිතිය වෙනුවෙන්. ඒක අපිට එල්ල කරපු ප‍්‍රහාරයක්.”

මෙම පාගමන තුල නැග සිටින අනෙකුත් දේශපාලන පක්ෂ හා කන්ඩායම්වල ක‍්‍රියාකාරීත්වය පිලිබඳව පේරාදෙනිය සරසවියේ සිට පැමිනි සහකාර කථිකාචාර්යවරියක් මෙසේ පැවසුවාය. "47 ඉඳන් කව්රුත් කලේ අපිව රවට්ටපු එක. විපක්ෂයේ අය කයිවාරු ගහලා තියෙනවා අපිට සහයෝගය දෙනවා කියලා. මට නම් ඒවා විශ්වාස කරන්න බෑ. දැන් ආපසු හැරෙන්න බෑ. ඉදිරියටම යනවා ඇරෙන්න.”

ආචාර්ය ඉල්ලීම් ලබා නොදීම පිලිබඳ ආන්ඩුවට දොස් පැවරූ කෑගල්ලේ මවක් ආන්ඩුවේ මාධ්‍ය හා මර්වින් සිල්වා වැනි ඇමතිවරු ආචාර්යවරුන්ට එල්ල කරන චෝදනා පිලිකුලෙන් යුතුව හෙලා දුටුවාය. "අපේ පාසල්වල තිබෙන අඩුපාඩු සම්පූර්න කරන්න වෙලා තියෙන්නේ දැන් අපිටමයි. ඒක අපේ දෙමාපියන්ට කරන්න බෑ. අධ්‍යාපනයට කරන ප‍්‍රතිපාදන වැඩි කරන්න ඕනා” යනුවෙන් කලුතර පාසල් සිසුවෙක් කියා සිටියේ ය.

මහජනතාවගේ සහයෝගයට හා ආචාර්යවරුන්ගේ ධෛර්ය‍යට ප‍්‍රතිකූලව, විආසස නායකත්වය පෙලගැසී සිටින්නේ විවිධාකාර ව්‍යාජ වාම පක්ෂ, රාජපක්ෂ ආන්ඩුවේ කොටස්කරුවන් ලෙස නිදහස් අධ්‍යාපනය වැනසීමේ ප‍්‍රහාරයන්ට දායක වී සිටින ද්‍රෝහී සමසමාජ හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂවලට සම්බන්ධිත සමිති, එලෙස ම ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග යටතේ සන්ධාන ආන්ඩුවේ කොටස්කරුවන් ලෙස එවන් ප‍්‍රහාරවලට දායක වූ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ තමන් බලයේ සිටිය දී නිදහස් අධ්‍යාපනයට එරෙහි ප‍්‍රහාර සම්බන්ධයෙන් කුප‍්‍රකට වාර්තාවක් සහිත දක්ෂිනාංශික එජාපය සමග ය.

මේ සියලු සංවිධාන විආසස නායකත්වයේ කර පිටින් වත්මන් පාගමනට වඩම්මාගෙන තිබේ. එජාපයේ සජිත් ප්‍රේමදාස, රවි කරුනායක, අකිල විරාජ් කාරියවාසම් හා මංගල සමරවීර මෙන්ම ජනාධිපති රාජපක්ෂ විසින් යලි අරඹන ලද වර්ගවාදී යුද්ධය මෙහෙයවූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ද විආසස නායකත්වයේ ආශිර්වාදය යටතේ පාගමනට එක්වී සිටියහ.

එවන් ප‍්‍රතිගාමී බලවේගවලට ඉඩ දී ඇති විආසස නායකත්වය, සසප හා සසජාශි සමාජවාදී වැඩපිලිවෙලක් මත කරන ලද සප‍්‍රතිපත්තික මැදිහත්වීමට එරෙහිව කඩාපැන තිබේ. සැප්තැම්බර් 26 දා කලුතර දී පාගමනේ යෙදී සිටින ආචාර්යවරුන් අතර "විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට සහාය දෙනු” පති‍්‍රකාව බෙදමින් සිටි සසප හා සසජාශි සාමාජිකයන්ට ශාරීරිකව පහර දීමට උත්සාහ කල, මොරටුව විශ්වවිද්‍යාලයේ එන්ඩීටී අංශයේ ජයරත්න නම් වූ විආසස නායකයෙක්, ඔවුන් අත තිබූ පති‍්‍රකා 100ක් පමන උදුරා ගෙන විනාශ කලේය.

මහනුවර සිට කොලඹට පැමිනෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ පාගමනේ අවස්ථාවක්

මහනුවර සිට කොලඹට සිසු පාගමන සංවිධානය කර ඇති අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු සංජීව බන්ඩාර, තමන් ආචාර්යවරුන්ගේ පාගමනට එක් නොවූයේ, අධ්‍යාපනය පුද්ගලීකරනය ප‍්‍රතිපත්තිය කර ගත් එජාප වැනි පක්ෂ සිටින නිසා බව කියා සිටී. එහෙත් සිය පාගමන අවසානයේ දී සැප්තැම්බර් 28 දා කොලඹ දී තමන් විආසස සමග ඒකාබද්ධ රැලියක් පවත්වනවා ද නැතහොත් වෙනම රැලියක් පවත්වනවා ද යන්න තවම තීන්දු කර නැතැයි පැවසීය. බන්ඩාර එලෙස දෙපැත්ත බලමින් සිටින්නේ, ආන්ඩුවේ අධ්‍යාපන කප්පාදුවට එරෙහි ශිෂ්‍යයන්ගේ වෛරය ගසාකෑමේ හොඳම විධික‍්‍රමය කුමක්ද යන්න වගය.

කෙසේවෙතත්, අවිශිබම ආචාර්යවරුන්ගේ වැටුප් ප‍්‍රශ්නය මෙන්ම තමන් නියෝජනය කරන බව කියාපාන ශිෂ්‍යයන්ගේ ප‍්‍රශ්න පිලිබඳව දරන ආස්ථානය වන්නේ, අධ්‍යාපන කප්පාදුව තම පිලිවෙත කරගෙන සිටින රාජපක්ෂ ආන්ඩුවට බලපෑම් දැමීමේ විරෝධතා ව්‍යාපාර හරහා ආන්ඩුව නම්මාගෙන එම කප්පාදු ආපසු හරවා ගත හැකි ය යන්නයි.

අවිශිබමට නායකත්වය දෙන ජවිපෙන් කැඩී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) එයට සම්බන්ධිත ජනරළ පත‍්‍රයේ "සරසවි ඇදුරු ප‍්‍රශ්නය ගැන නිශ්චිත යමක්” යන මැයෙන් පලකල කතුවැකියක් ”අටානූවක් රෝග හා නවානූවක් ව්‍යාධීන් සුවපත් කරගැනීම සඳහා (ජාතික ගැටලුව ද ඇතුලුව) සමාජවාදය ස්ථාපිත කරනතෙක් බලා සිටීමේ 'විනෝදාංශයක්' අපට නැතත්” යනුවෙන් සමාජවාදී වැඩපිලිවෙලට එරෙහි සිය නරුම විරුද්ධත්වය වමාරා තිබේ. එම කතුවැකිය ආචාර්යවරුන්ගේ අරගලය සම්බන්ධයෙන් තමන්ට ඇත්තේ ද ආන්ඩුවට බලපෑම් දැමීමේ වැඩපිලිවෙල බව තහවුරු කර ඇත්තේ මෙසේය: "අවසාන වශයෙනුදු අප ආන්ඩුවට බල කරන්නේ, ධනපති ආන්ඩුවකට පෙන්විය හැකි 'අවම' සදාචාරය හෝ පෙන්වා හරයෙනුත් පෙනුමිනුත් තක්කඩිකම් නොකර ගැටලුව විසඳීමට මැදිහත් වනු කියාය.”

Share this article: