වැටුප් කප්පාදු වලින් ඇමරිකානු කම්කරුවන් දශලක්ෂ සංඛ්‍යාවකට පහර වදියි

Wage cuts hit millions of US workers

By Patrick Martin , 27 August 2012

එක්සත් ජනපද කම්කරු සංඛ්‍යාලේඛන බියුරෝව (බීඑල්එස්) විසින් සිකුරාදා නිකුත් කල වාර්තාවකට අනුව, 2008 වර්ෂයේ වෝල් වීදිය බිඳ වැටීමෙන් පසු රැකියා අහිමි වූ ඇමරිකානු කම්කරුවන් දශලක්ෂ සංඛ්‍යාවක් රැකියා සොයාගැනීමට අසමත් ව ඇති අතර තවත් දශලක්ෂ සංඛ්‍යාවක් සැලකිය යුතු වැටුප් කප්පාදු බාරගැනීමෙන් පසුව නැවත රැකියාවට ගොස් ඇත.

බීඑල්එස් අනුව, 2009 ජනවාරි සිට 2011 දෙසැම්බර් දක්වා මිලියන 12.9ක් මිනිසුන්ට සිය රැකියා අහිමි විය. පසුගිය වසර තුන තුල රැකියාවන්හි නිරතව සිටි එහෙත් දැනට රැකියා අහිමි වී ඇති අය මත බීඑල්එස් අධ්‍යයනය යොමුවිය. මුලුගනනින් අඩක් වූ, එනම් මිලියන 6.1ක් වන මෙම කම්කරුවන්ගෙන් සියයට 27ක් තවමත් රැකියා විරහිත නමුත් රැකියා බලාපොරොත්තුවෙන් සිටින අතර, සියයට 17ක් සදහටම ශ්‍රම බලකායෙන් ගිලිහීගොස් රැකියා සෙවීම නතර කර ඇත. නව රැකියා සොයාගෙන ඇති සියයට 56න් යන්තමින් අඩකට වඩා සොයා ගෙන ඇත්තේ මුල් රැකියාවට අඩුවෙන් ගෙවන රැකියාවන්ය. වැටුප් කප්පාදු සහිතව නව රැකියා ලබාගත් අයගෙන් බහුතරය මුල් වැටුප් හා සසඳන විට සියයට 20ක් හෝ ඊට වැඩි ප්‍රමානයක් අහිමි කර ගත් අතර අර්ධකාලීන වැඩ හා අඩුකල අතිකාල නිසා ඉපැයීම් අහිමිවීම ඉහල නැඟී ඇත.

සමස්තයක් ලෙස, ආර්ථික බිඳවැටීමට පෙර ඔවුන් ඉපැයූ වැටුපට වඩා ගෙවන පූර්න කාලීන රැකියාවලට බඳවාගෙන ඇත්තේ කම්කරුවන් දශලක්ෂ 6.1කින් දශලක්ෂ 1.1ක් පමනි. වෙනත් වචනවලින් කිවහොත් අවපාතයෙන් ඉතා දරුනුවට පහර කෑ කම්කරුවන්ගෙන් සාපේක්ෂව ඔවුන් අහිමි කරගත් තත්වය නැවත අත්පත් කරගැනීමට හැකිව ඇත්තේ සියයට 15කට පමනි.

කම්කරු පන්තිය තුල විශාල වදවේදනා හා දුෂ්කරතා පිලිබඳ අභිනිවේශයක් සපයන මෙම සංඛ්‍යාලේඛන හා ව්‍යාපාරික ඇමරිකාව මුහුන දෙන තත්වයන් අතර ප්‍රබල වෙනස්කම් පවතී. බොහෝ සංගත විශාල ලාභ හිමිකරගනිමින් කොටස් මිල බිඳවැටීමට පෙර තිබුන තත්වයට පැමින ඇති අතර ප්‍රධාන විධායකයන්ගේ වැටුප් සියලු ම වාර්තා බිඳ දමා ඇත.

ලාභ හා ප්‍රධාන විධායකයන්ගේ වැටුප් වැඩිවීමේ වාසනාව මධ්‍යයේ, අලුතින් බඳවාගන්නන් සඳහා වන වැටුප් සියයට 50කින් කැපූ හා සෞඛ්‍ය හා විශ්‍රාම ප්‍රතිලාභ මත දරුනු කප්පාදු පැට වූ ජෙනරල් මෝටරස් හා ක්‍රයිස්ලර් සමාගම්වලට එහි ඇපදීම මගින් ඔබාමා පාලනය දුන් උදාහරනය අනුගමනය කරමින් යෝධ සංගත කම්කරු පන්තියේ ජීවන තත්වයන් මත ප්‍රහාරයන් වැඩි කර ඇත.

වෘත්තීය සමිතිය සති 14ක වැඩවර්ජනය නවතා දැමීමත් සමග පසුගිය සතියේ දී සමාගමේ ඉලිනොයිස්හි ජොලීට් කම්හලේ දී කැටපිලර් හා යාන්ත්‍රිකයන්ගේ ජාත්‍යන්තර සංවිධානය ඉතා දරුනු ගනුදෙනුවක් පිලිගත් අතර සමාගම වාර්තාගත ලාභයක් ලබමින් සිටිය දී පවා, අවුරුදු හයක් තුල මූර්ත වැටුප් සියයට 20කින් කප්පාදු කරන කොන්ත්‍රාත්තුවක් පිලිගත්තේ ය.

පසුගිය සතියේ නිකුත් කල දෙවැනි වාර්තාවක් ඔබාමා පාලන‍ෙය් ප්‍රශංසාවට ලක්වූ තුන් අවුරුදු (2009 ජූලි සිට 2012 ජූනි දක්වා) "සුවවීමේ ” කාලය තුල දී මධ්‍ය කුටුම්භ ආදායම සියයට 4.8කින් වැටී ඇති බව පෙන්වන අතර මෙය "අවපාතය” ලෙස නිල වශයෙන් හැඳින් වූ දෙවසර (2007 ජූලි සිට 2009 ජූනි දක්වා) අතරතුර සියයට 2.6ක වැටීමට වඩා විශාලය. බොහෝ අප්‍රිකානු ඇමරිකානුවන්ගේ ආදායම සියයට 11.1න් හා නිවාස වෙලඳපොල බිඳවැටීමේ කේන්ද්‍රීය ස්ථානය වූ බටහිර ප්‍රාන්තවල නිවැසියන්ගේ ආදායම සියයට 8.5න් පහල වැටී ඇත.

අවපාතය නිල වශයෙන් ආරම්භවූ 2007 දෙසැම්බර් සිට මධ්‍ය කුටුම්භ ආදායම සියයට 7.2කින් වැටී ඇත. 2000 සිට 2012 දක්වා ජනාධිපති ධුර කාල තුනක් එනම් ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ දෙවාරයක් හා ඔබාමාගේ එක් වාරයක් අතරතුර, එක්සත් ජනපදයේ මූර්ත ආදායම සියයට 8.1කින් වැටී ඇත.

2012 ජනාධිපතිවරනයට තරඟ වදින ධනේශ්වර පක්ෂ දෙක විසින්ම මෙම සමාජ යතාර්ථය නොසලකා හරින අතර ඉරිදා ෆ්ලොරිඩාවේ ටැම්පාහි දී ආරම්භවන රිපබ්ලිකානු රැස්වීමේ දී හෝ ඊලඟ සතියේ පැවැත්වෙන ඩෙමොක්‍රටික් පක්ෂයේ එවැනිම හමුව තුල හෝ මෙය විශාල වශයෙන් නොසලකා හැරෙනු ඇත.

ඔහියෝ, විස්කොන්සින්, මිචිගන් හා පෙනිසිල්වේනියා වැනි ප්‍රධාන මධ්‍ය බටහිර හා කාර්මික නගර මත තම ඡන්ද ව්‍යාපාරය නාභි ගත කරමින් රිපබ්ලිකානු පක්ෂය හා මිට් රොම්නිගේ ව්‍යාපාරය, සැබවින් ම කම්කරු පන්තියේ විනාශකාරී තත්වයන්ගෙන් දේශපාලනික වාසි ගැනීමට බලාපොරොත්තු වෙයි.

දශලක්ෂ සංඛ්‍යාවක් රැකියා විරහිත හා දරිද්‍රතාවට ඇද දැමුනු කම්කරු පන්තික පවුල් යැපෙන සමාජ සුරක්ෂිත භාවයේ ජාලය විනාශකිරීම සම්බන්ධයෙන් රිපබ්ලිකානු ඡන්ද ව්‍යාපාරය ඉදිරිපත් කරන ප්‍රතිපත්ති සලකන විට, දොට්ට දැමුනු කම්හල් කම්කරුවන් හා වෙහෙසන තනි මව්වරුන් පිලිබඳව ඔවුන් දක්වන විරෝධය නරුම බොරුවකි.

රිපබ්ලිකානු ඡන්ද ව්‍යාපාරයට අයත් සංගත හා ප්‍රකෝටිපතියන් විසින් භෝජන සංග්‍රහ, පිලිගැනීමේ උත්සව, හා වෙනත් වාසිදායක "පෞද්ගලික මාවත්” කඳුගැසෙනු ඇති ටැම්පා රැස්වීමේ තිරය පිටුපස රිපබ්ලිකානුවන්ගේ සැබෑ ආකල්පය ප්‍රදර්ශනය වනු ඇත. රොම්නිගේ ආධාරකරුවන් 1500ක සංඛ්‍යාවක් — අඩුවශයෙන් ඩොලර් 250,000ක් එකතු කර ඇති "තරු” හා ඩොලර් 500,000ක් එකතු කර ඇති "පටිකරුවන් ” — ඉහල මට්ටමේ විශේෂ සැලකිලි ලබනු ඇත.

ඉරිදා නිව් යෝක් ටයිම්ස් සටහන් කල පරිදි, නියෝජිතයන් ටැම්පාවට පැමිනෙන විට, බලපෑම් කරන්නවුන්, සංගත විධායකයන්, වෙලඳ සංවිධාන හා ආධාරකරුවන් ඔවුන් පැමිනෙන තෙක් මග බලා සිටිනු ඇත.

රිපබ්ලිකානු බලපෑම තොරොම්බල්කරන්නන් අතර හෝ නැතහොත් ඊලඟ සතියේ උතුරු කැරොලිනාහි ෂාලොට්හිදී රැස්වෙන විට ඩෙමොක්‍රටික් සමුලුව තුල ඒ හා සමානයන් අතර රැකියා විරහිත හෝ විතැන් වූ කම්කරුවන් නොසිටිනු ඇත.

මොනවා වුනත්, ඔබාමාගේ ඡන්ද ව්‍යාපාරය රොම්නිගේ ව්‍යාපාරයටත් වඩා නරුම හා ව්‍යාජ ය. මන් ද යත්‍ එය ඩෙමොක්‍රටික් පක්ෂයේ අධිපතියා වෝල් වීදියේ උත්සුකයන්ට හා පොහොසතුන්ට එරෙහිව කම්කරු පන්තියේ ආරක්ෂකයා ලෙස නිරූපනය කරන බැවිනි. ඔබාමා ඔටෝ සමාගම්වලට ඇප ලබාදීම සමග රැකියා හා වැටුප් විනාශ කිරීම වේගවත් කල අතර පසුගිය තෙවසර තුල රැකියාවල විශාලතම තනි කප්පාදුවට මග පෑදූ රජයේ අධ්‍යාපනය මත යුද්ධය දියත් කිරීමට උදව් කලේ ය: එනම් ආන්ඩුව හා ප්‍රාන්ත ආන්ඩු විසින් ගුරුවරුන් හා සහායක කම්කරුවන් 60,000කගේ රැකියා අතුගා දැමීමයි.

පසුගිය සතියේ දී ඔබාමා පාලනය, ආන්ඩුවේ අයවැය හිඟය අඩු කිරීමට උදව් කරනු ඇතැ යි යන බොරුව මත මේ වන විටත් වසර දෙකක් දීර්ග මධ්‍යම ආන්ඩුවේ කම්කරුවන් මත පනවා ඇති වැටුප් කැටි කිරීම්, 2013 අප්‍රේල් දක්වා අතිරේක හය මාසයක් සඳහා දීර්ග කරන බව ප්‍රකාශ කලේ ය. සැබවින් ම භාන්ඬාගාරය හරහා දැවැන්ත මහජන මුදල් සම්භාරයක් වෝල් වීදියට ඇප දීම පිනිස යොදවන කල ඒ කෙරහි බලපෑහැකි එවැනි සලකා බැලීම්වලට ඉඩක් තිබුනේ නැත.

ධනේශ්වර දේශපාලඥයින් තමන් සේවය කරන යෝධ සංගත හා බැංකු මෙන් ම විරැකියාවේ වැඩිවීම, වැටුප් කප්පාදුව හා දරිද්‍රතාව සාදරයෙන් පිලිගනිති‍. මන්ද කම්කරු පන්තියෙන් —හා මධ්‍යම පන්තියේ විශාල කොටසකින්— විශාල ධනසම්භාරයක් සුපිරි පොහොසතුන් වෙත මාරුකිරීමේ කේන්ද්‍රීය සංරචක මේවා වන බැවිනි.

ෆෙඩරල් මහ බැංකුව ජූනියේ දී නිකුත් කල වාර්තාවක සඳහන් කල පරිදි, සාරාර්ථයෙන් ගත් කල පසුගිය දශක දෙක පුරා කම්කරු ජනතාව ලබාගත් සියලු ජයග්‍රහන අතුගාදමමින් සාමාන්‍ය ඇමරිකානු කුටුම්භවල සැබෑ ධනසම්පත් 2007 සිට 2010 දක්වා සියයට 38.9කින් පහත වැටුනි.

මෙය බොහෝ කම්කරුවන්ට අයිති වත්කම්වල සැලකිය යුතු වටිනාකමක් කපාහල නිවාස වෙලඳපොල බිඳවැටීමේ හුදු ප්‍රතිඵලයක් නොවේ. එය කම්කරු ජනතාවගේ වියදමින් පොහොසතුන්ට වාසි සැලසීමට සංගත අධ්‍යක්ෂ මන්ඩල කාමර තුල හා වොෂින්ටනය තුල සිට ගනු ලැබූ තීරනවල ඍජු ප්‍රතිඵල ය.

ඊලඟ වසරේ ඔබාමා නැත්නම් රොම්නි ධවල මන්දිරය අරක්ගනී ද, ඩෙමොක්‍රටිකයන් නැත්නම් රිපබ්ලිකානුවන් කොංග්‍රසය පාලනය කරයි ද යන්න නොතකා මෙම ප්‍රතිපත්ති ඉදිරියට යනු ඇති අතර වේගවත් ද වනු ඇත. ඇමරිකානු පාලක පන්තිය කම්කරු පන්තියේ රැකියා, ජීවන තත්වයන් හා සමාජ තත්වයන්ට එරෙහිව යුද්ධයක් ගෙනයමින් සිටින අතර නිල පක්ෂ දෙක ම මූල්‍ය කතිපයාධිකාරය වෙනුවෙන් බැඳී සිටී.

ඔබාමා සෙනසුරාදා ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවයට දුන් සාකච්ඡාව තුල දී මෙය අවධාරනය කලේය. එහි දී ඔහු නැවත පත්වුනොත් කොංග්‍රසය තුල රිපබ්ලිකානුවන් සමග ගිවිසුමකට ඒමට පොරෙන්දු විය: තම පක්ෂයේ වි‍රෝධයට ලක් වීමට ඉඩ ඇති සහනයන් ඇතුලු “ සියලු ම ආකාරයේ සම්මුති ඇති කිරීමට මා සූදානම්ය. ඒ ඇමරිකානු ජනතාව මට ඡන්දය දී තිබෙන නිසාය” යි ඔහු පැවසී ය.

වෙනත් වචනවලින් කිවහොත්, මැතිවරනය අවසන් වූ වහා ම පක්ෂ දෙක ම ඒවායේ ජනතාවාදී වාගාලාප හා නොනැමෙන හතුරුකම් අතහැර: වෛද්‍ය රැකවරන, වෛද්‍යාධාර හා සමාජ ආරක්ෂක වැඩසටහන් කොල්ලකෑම හා සංගත හා ධනවතුන් සඳහා නව බදු විරාම පැනවීම මගින් සිය සංගත ස්වාමීන්ගේ ඉල්ලීම් ඉටුකරමින් ආන්ඩුවේ හිඟය පහත දැමීමට වැඩ කරනු ඇත.

Share this article: