බංග්ලාදේශ කම්හල කඩාවැටීමෙන් දැවැන්ත ජීවිත හානි

Huge death toll in Bangladesh factory collapse

සරත් කුමාර සහ විමල් පෙරේරා විසිනි, 2013 අප්‍රේල් 25

බංග්ලාදේශ ඉතිහාසයේ දරුනුම කාර්මික ව්‍යසනයන්ගෙන් එකක් වන ඩකා අගනුවරට සමීප සැවාහි තට්ටු අටක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් එහි පවත්වාගෙන ගිය ඇඟලුම් කම්හල්වල කම්කරුවන් 25 දා උදෑසන වන විට අඩුම තරමින් 149ක් මියගොස් 1,000 පමන තුවාල ලබා ඇති බව තහවුරුවී ඇත. තවත් 1,600ක් තරම් සංඛ්‍යාවක් සුන්බුන් තුල අතර සිරවී ඇතැයි සැලකේ.

කර්මාන්ත බිමෙහි සිදුවූ මෙම ඝාතනය කෙරෙහි මහජන කෝපය පුපුරා යා හැකිය යන භීතියෙන් රටේ මිලිටරිය හා දාමරික ක්ෂනික මෙහෙයුම් භටකන්ඩායම් බලමුලුගන්වා, ගලවා ගැනීමේ මෙහෙයුම "යුද පදනමක” තබන ලෙස අගමැති ෂික් හසීනා නියෝග කලාය.

තව තවත් මල සිරුරු හමුවෙමින් තිබෙන අතර 24 දා ගොඩනැගිල්ල කඩා වැටීමෙන් සිදු වූ ජීවිත හානි ඉහල යා හැක. ආරෝග්‍ය ශාලාවල ප‍්‍රතිකාර ලබමින් සිටින බොහෝ දෙනෙකුගේ තත්වය බරපතලය. රනා ප්ලාසා ලෙස හඳුන්වන ගොඩනැගිල්ලෙහි මහල් හයක පිහිටා ඇති ඇඟලුම් කම්හල්වල අවම තරමින් කම්කරුවන් 3,000 පමන සේවයේ යොදවා තිබුනි. අනතුර සිදුවන මෙහොතේ ගොඩනැගිල්ල ඇතුලත සිටි සංඛ්‍යාව හරියටම පැහැදිලි නැත.

උදෑසන 9 ට පමන ඉහල තට්ටු පහත මාලයන් මතට වැටී තෙරපෙන අවස්ථාවේ දහස් ගනනක් එහි වැඩ කරමින් සිට ඇත. ඉතා කෙටි කාලයක් ඇතුලත ප‍්‍රධාන කුලුනු සහ ඉදිරි බිත්ති කිහිපයක් හැරුනු කොට ගොඩනැගිල්ලේ කිසිවක් ඉතිරි නොවීය. එහි මුලු ව්‍යුහයම මහල් දෙකක සුන්බුන් සහ කොන්ක‍්‍රීට් කැබැලි ගොඩක් බවට පත් විය. ඬේලි ස්ටාර් මාධ්‍ය වාර්තා අනුව අනතුරට ගොදුරු වූවෝ "ගොඩනැගිල්ලේ සුන්බුන් තුල සිරවී සිමෙන්ති දූවිලිවලින් හුස්ම හිරවී” ජලය සහ උදව් ඉල්ලමින් කෑ ගැසූහ.

අනතුරට ගොදුරු වූවන් සෙවීමේ කම්කරුවන්ගේ ප්‍රයත්නය[Photo: Bangladesh Federation of Workers Solidarity (BFWS)]

එක් අයෙකු රොයිටර් වෙත පැවසුවේ: "මෙහි භූමි කම්කපාවක් සිදු වූවාක් මෙන් දිස්වන බවය”. ඇඟලුම් කම්කරුවකු වූ ඝොරා බෙගම් පැවසුවේ "මම තුන්වන මහලේ වැඩ කරමින් සිටියා. එවිට ක්ෂනිකවම කන්අඩි පුපුරුවන තරම් ශබ්දයක් ඇසුනා නමුත් කුමක් සිදුවනවාදැයි සිතා ගැනීමට නොහැකි වුනා. මම දුවන විට යම් දෙයක් මගේ හිසට වැදුනා” යනුවෙනි.

මහන මැෂිමක් යටට බඩගා ගොස් පන බේරා ගත් 22 හැවිරිදි මසුදා බෙගම් පැවසුවේ ”අප වැඩ ආරම්භ කර පැය භාගයකට පමන පසුව ගොඩනැගිල්ල හෙල්ලෙන්ට පටන් ගත්තා. කම්කරුවෝ සිය ගනනක් අපගේ මහලේ සිටියා. එක්වරම ඇඳිරි වුනා. අපගේ කිහිපදෙනෙක් බඩගාමින් එලියට ආවා නමුත් අනෙක් අයට කුමක් වුනා ද දන්නේ නැහැ.” යනුවෙනි.

අඟහරුවාදා අවසන් භාගයේ ගොඩනැගිල්ලේ පැල්මක් ඇති බව කම්කරුවෝ දැක තිබුනි. මුලදී ඔවුන් ඉවත් කරනු ලැබීමෙන් අනතුරුව නැවත වැඩට යන ලෙස නියෝග කෙරින "කර්මාන්ත ශාලාව විවෘත නොකරන ලෙස කර්මාන්ත පොලීසිය හිමිකරුවන්ට පවසා තිබිනි. අපගේ ඉල්ලීම නොතකා හරිමින් ඔවුහු කෙසේ හෝ කම්හල විවෘත කලහ.” යනුවෙන් පොලිස් ඒකකය භාර නිලධාරි මුස්තනිසුර් රාහ්මන් මාධ්‍ය වෙත පැවසීය. බංග්ලාදේශයේ පවතින සම්මතය පරිදි පරීක්ෂකයින් වැඩ නතර කරන ලෙස පැවසුව ද අයිතිකරුවන් එය නොතකා හැරියේ ආන්ඩුවේ බලධාරීන් ඒ පිලිබඳව කිසිවත් නොකරන බව දන්නා නිසාය.

හමුදාවේ ගලවා ගැනීමේ මෙහෙයුම් මාධ්‍ය විසින් හුවා දැක්වීය. කෙසේ වෙතත් සුන්බුන් අතර සිරවී සිටින කම්කරුවන් බේරා ගැනීම සඳහා දහස් සංඛ්‍යාත ජනයා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ. අසල්වාසි ජනයා සහ එහි වැඩ කල අයගේ නෑදෑයින් සිය දෑත්වලින් සුන්බුන් ඉවත් කරමින් සිටිති. අනතුරෙන් මතුවිය හැකි ආර්ථික සහ දේශපාලන ප‍්‍රශ්න යට ගැසීම සඳහා ආන්ඩුවත් කම්හලේ අයිතිකරුවනුත් ප‍්‍රධාන ජාත්‍යන්තර ඇඟලුම් ව්‍යාපාරත් වහා ක‍්‍රියාකාරී වූහ.

ජීවිත අහිමි වූවන් කෙරෙහි "ශෝකය” ප‍්‍රකාශ කරමින් උඩින් පල්ලෙන් ප‍්‍රකාශයක් නිකුත් කල අගමැති හසීනා 25 දින ජාතික ශෝක දිනයක් ප‍්‍රකාශ කලාය අනතුර සිදුවූ ස්ථානයට පැමිනි නිවාස ඇමැති මුහිඋදින් ඛාන් අලම්ගිර් වාර්තා කරුවනට පැවසුවේ ගොඩනැගිල්ල ”නීත්‍යානුකූල” නොවන බවය. ඔහු වගකිවයුත්තන්ට එරෙහි ව "දැඩි කි‍්‍රයාමාර්ග” ගන්නා බවට පොරොන්දු විය.

බංග්ලාදේශ පදනමක් සහිත ඉන්ඩිපෙන්ඩන්ට් මාධ්‍යයට අනුව රනා ප්ලාසා හිමිකරුට අවසර තිබුනේ මහල් හයක් ගොඩනැගීමට පමනි. ඔහු නීති විරෝධී ලෙස තවත් මහල් දෙකක් එයට එකතු කර ඇත. ගොඩනැඟිල්ල කඩා වැටීම පිලිබඳව සොයා බැලීමට කම්කරු අමාත්‍යාංශය කමිටුවක් පත් කර ඇත. නමුත් මීට පෙර සිදුව ඇති කාර්මික අනතුරු සේම මෙම පරීක්ෂනයද දඩ මීමෙක් සොයා ගැනීමට පමනක් සීමා වනු ඇති අතර පවතින ආරක්ෂක සහ ගොඩනැගිලි නීති රීති උල්ලංඝනය කිරීම් අවසාන නොවනු ඇත.

පෙරාතුව නියම කරන ලද විරෝධතාවක් කල්දමමින් ඛේදවාචකය තමන්ගේ දේශපාලන අරමුනු සඳහා යොදවා ගැනීමට බංග්ලාදේශ විපක්ෂය වන ජාතික පක්ෂය (බංජාප) මාන බලමින් සිටියි. විරුද්ධ පක්ෂ නායිකා ඛලීඩා සියා ද ඛේදවාචකය කෙරෙහි තම "කම්පාව” පල කලාය. කෙසේ වෙතත් පාලක අවාමි ලීගය මෙන්ම බංග්ලාදේශ ජාතික පක්ෂය ද බලයේ සිටින විට අසීමිත ලෙස අනාරක්ෂිත කම්හල් සහ ගොඩනැගිලි ඉදිකිරීමට මූලිකත්වය ගත්තේ ය.

සේවායෝජකයින්ගේ ඉහලම සංවිධානය වන බංග්ලාදේශ ඇඟලුම් නිෂ්පාදන සහ අපනයන සංවිධානය (බීජීඑම්ඊඇ) කුමන හෝ වගකීමකින් නිදහස් වීමට උත්සාහ දරමින් සිටියි. මෙහි සභාපති අයිකුල් ඉස්ලාම් ද නිව් ඒජ් මාධ්‍යයට පැවසුවේ පැලීම් නිරීක්ෂනය කිරීමෙන් අනතුරුව එහි කටයුතු නවතා දමන ලෙසට තම සංවිධානය ඉල්ලීම් කල බව ය. "සමහර ඉංජිනේරුවන්ගේ සමීක්ෂනයන්ගෙන් පසුව ගොඩනැගිලි හිමිකරු ප‍්‍රශ්නයක් නැති බවට කම්හල් හිමිකරුවන්ට සහතික කලේය.”

ආන්ඩුවේ මෙන්ම අපනයන සංවිධානයේ ද මූලික උත්සුකය වන්නේ, අනතුර මගින් රටේ අපනයනවලින් සියයට 80 ඉක්මවන ඇඟලූම් ව්‍යාපාරය කෙරෙහි සිදුවිය හැකි බලපෑම අවම කර ගැනීම ය. නිරන්තර අනාරක්ෂිත සහ සෞඛ්‍යයට අහිතකර තත්වයන් යටතේ ඇඟලුම් කම්කරුවෝ ලක්ෂ 36, කම්හල් 5,400කට වැඩි සංඛ්‍යාවක දීර්ඝ පැය ගනනක් වෙහෙස නොතකා වැඩ කරමින් සිටිති.

ලොවෙහි ඉතාමත් අඩු වැටුප් ගෙවන බංග්ලාදේශ කම්කරුවන් සූරා කමින් අති මහත් ලාභ ගරන දැවැන්ත ජාත්‍යන්තර සංගත මෙම මෑතම ව්‍යසනයෙන් තමන් ඈත්වී ගැනීමට යුහුසුලූ වෙති.

ඊතර් ටෙක්ස්, නිව් වේව්, බොටම්ස් නිව් වේව්, ස්ටයිල් ෆැන්තම් ඇපරලස්, ඇන්ඞ් ෆැන්තම් යන ඇඟලුම් කම්හල් පහ රනා ප්ලාසා සංකීර්නයෙහි ක‍්‍රියාත්මක විය. ඊතර් ටෙක්ස් සභාපති අතිසුර් රහ්මන් ද ඉන්ඩිපෙන්ඩන්ට් මාධ්‍යයට පැවසුවේ, තම ව්‍යාපාරය වොල්මාට් සහ යුරෝපීය සී ඇන්ඞ් ඒ සමූහයේ උප කොන්ත‍්‍රාත් මත වැඩ කරන බවය. අයර්ලන්තයේ ප‍්‍රිමාර්ක් ඇතුලු ප‍්‍රධාන යුරෝපීය වෙලඳ ලකුනු සහිත ව්‍යාපාර සඳහා නිව් වේව් සමූහය ඇඟලුම් නිපදවති.

කඩා වැටුනු ගොඩනැගිල්ලෙහි ”දෙවන මහලෙහි තමන්ගේ එක් සැපයුම් කරුවෙකුගේ කම්හල පිහිටි බව පිලිගත් ප‍්‍රිමාර්ක් සමාගම සිද්ධිය පිලිබඳව කම්පාවට පත්වූ බවත් ගැඹුරින්ම කනගාටු වන” බවත් ප‍්‍රකාශ කලේ ය. බෙනිටන් ප‍්‍රකාශයක් නිකුත් කරමින් රනා ප්ල්සා හි තිබුනු කිසිදු ආයතනයක් තමන්ගේ සැපයුම් කරුවකු නොවූ බව පැවසීය. මෙම ඛේදජනක සිද්ධිය දැනගැනීමෙන් කනගාටුවට පත්වූ බවත් තමන්ගේ කුමන හෝ සැපයුම්කරුවකු මෙයට සම්බන්ධ ද යන වග පරීක්ෂා කරන බවත් වොල්මාර්ට් පැවසීය.

මේ සියල්ල සිදු වන්නේ හොඳින් තහවුරු වූ රටාවකට අනුවය. මහජන අවධානය ඉවත හැරවීමේ හා වගකීමෙන් අත සෝදාගැනීමේ එල්ලය ඇතිව ය. ඒ අනුව විනාශයට ගොදුරුවූවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සොච්චම් ආධාර ද අනාගතයේ දී සුරක්ෂිත තත්වයන් ඇති කරන බවට දෙන හිස් පොරොන්දු ද වනු ඇත. හුදෙක් නිෂ්පාදනය බංග්ලාදේශයේ හෝ අනෙකුත් රටවල අනාරක්ෂිත, ලාභ ශ‍්‍රම කඳවුරු වෙත මාරු කෙරෙනු ඇත.

මෑතම ඛේදවාචකය සිදු වුනේ අවම තරමින් ජනයා 112 කට මරු කැඳවමින් බංග්ලාදේශ ඉතිහාසයේ දරුනුම කම්හල් ගින්න ඇතිවී යන්තම් මාස පහකට පසුව ය.

අෂුලියා කර්මාන්ත කලාපයේ පිහිටි මහල් අටකින් සමන්විත ටස්රින් ෆැෂන්ස් ගොඩනැගිල්ලෙහි ගින්න ඉහල මහල්වල කම්කරුවන් සිය ගනනක් කොටු කරමින් බිම් මහලෙන් ආරම්භ විය. කම්කරුවෝ හුස්ම සිරවීමෙන් හා පිලිස්සීම්වලින් හෝ ගොඩනැගිල්ලෙන් ඉවතට පැන පන බේරාගැනීම සඳහා දැරූ මංමුලාගත ප‍්‍රයත්නයේදී හෝ මරනයට පත් වූහ.

පරීක්ෂන දෙකකදී සනාථ වී ඇත්තේ දැඩි නොසැලකීම ඊට හේතු වූ බවයි. අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් වුව ද පාලකයෝ කම්කරුවනට වැඩට යන ලෙස බල කලහ. එකම හදිසි දොරටුව ගින්න නිසා අවහිර වී තිබිනග අනෙක්වා වසා තිබින. ”සාපරාධී නොතකා හැරීම” පිලිබඳ චෝදනා මත හිමිකරු අත් අඩංගුවට ගන්නා ලෙස පරීක්ෂකයින් නිර්දේශ කර තිබුන ද ඔහු අත්අඩංගුවට ගත්තේ ප‍්‍රකෝප වූ කම්කරුවන්ගේ උද්ඝෝෂනවලින් පසුව පසුගිය පෙබරවාරියේ ය. සිය ගනන් අනාරක්ෂිත ලාභ ශ‍්‍රම කඳවුරු පෙර පරිද්දෙන් ම රට පුරා ඉදි වෙමින් තිබේ.

2006 සිට බංග්ලාදේශයේ කම්හල් ගිනිබත් වීමෙන් ඇඟලුම් කම්කරුවන් 300 අධික සංඛ්‍යාවක් මරනයට පත්ව ඇත. ගොඩනැගිලි කඩා වැටීම් නිරන්තරව සිදුවෙයි. 2005 අපේ‍්‍රල් මස කම්කරුවන් 64 මරනයට පත් කරමින් ද 80කට තුවාල සිදු කරමින් ද සවාර් අසල ස්පෙක්ට‍්‍රම් ස්වේටර් කම්හල කඩා වැටුනි.

මෙම ඛේදවාචකයන්ගේ වගකීම රඳා පවතින්නේ, ඇඟලුම් ව්‍යාපාර, රාජ්‍ය බලධාරීන් හා බංග්ලාදේශ ආන්ඩුව මත පමනක් නොව, කම්කරු පන්තියේ වියදමින්, වියදම් කප්පාදුවේ හා ලාභ තර කර ගැනීමේ නිරන්තර ප‍්‍රයත්නය මගින් ලාභ ශ‍්‍රම කඳවුරු නිර්මානය කර ඇති ගෝලීය සංගත මත ද වේ.

Share this article: