ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත ආන්ඩුව විදුලි ගාස්තු දැවැන්තව ඉහල දමයි

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2013 අපේ‍්‍රල් 22

ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව අපේ‍්‍රල් 20 දා සිට බලපවත්වන පරිදි සියයට 60කටත් වඩා ඉහලට විදුලි ගාස්තු වැඩි කරමින් වැඩ කරන ජනයා මතට රුදුරු ප්‍රහාරයක් එල්ල කර ඇත. කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල විදුලි බිල නැග්ගීම නරුම ලෙස යුක්තිසහගත කලේ "රට ඉදිරියට ගෙන යාමට නම් සහනාධාර වලට සීමාවක් තිබිය යුතුය” යි ප්‍රකාශ කරමිනි. ඔහුගේ ප්‍රකාශය ආන්ඩුව තවත් ප්‍රහාර මාලාවකට අර අදින බවට සංඥාවකි.

විදුලි ගාස්තු ඉහල දැමීමට පෙරාතුව ඒ සම්බන්ධව මහජන අදහස් විමසීම නමින් මාස දෙකක් පමන ආන්ඩුවේ මහජන උපයෝගිතා කොමිසම තෙපරබෑවේ මහජන විරෝධය පුපුරා ඒ යයි පැකිලෙමිනි. විපක්ෂය හා වෘත්තීය සමිති ව්‍යාජ වාමාංශිකයන්ගේ ද උදවු ඇතිව බොරු විරෝධතා ප්‍රකාශ මගින් මහජනයා නොමග යැවීමත් සමග ආන්ඩුව ගාස්තු ක‍්‍රියාවට දැමීමේ දින නියම කලේය.

නව ගාස්තු ක්‍රමයෙන් පරිභෝජනය කරන ඒකක ගනනට අය කරන ගාස්තු ඉහල දැමීමට අමතරව ඉන්ධන ගැලපුම් ගාස්තු වැඩි කිරීමක් ද සිදුකර ඇත. විදුලි බිල ඉහල දැමීමෙන් ආර්ථිකය මත ඇති කෙරන බලපෑමේ බර ද පැටවෙන්නේ වැඩ කරන ජනතාව මතය.

ලංකා ජාතික වානිජ මන්ඩලය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ විදුලි වියදම වැඩි නිසා සියලු නිෂ්පාදනවල මිල ඉහල යනු ඇති බවයි. පාන් ඇතුලු බේකරි නිෂ්පාදන මිල වැඩිකිරීමට නියමිත අතර තෙල් මිල ඉහල දැමීම නිසා කලින් සියයට 10කින් බස් ගාස්තු නැංවීමට තීන්දු කර තිබුන ද දැන් එම වැඩිවීම සියයට 15ක් කර ජූනි මස සිට ක්‍රියාවට දමන බවට පුද්ගලික බස් හිමියන්ගේ සංගමය තීන්දු කර ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව රුදුරු ලෙස කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන කොන්දේසිවලට හා සමාජ අයිතීන්ට අලුත් වටයකින් පහර දීමට සුදානම් වේ. නිදහසින් පසු මෙතෙක් පැවති ආන්ඩු ඡන්දය බලා ගෙන අත්‍යාවශ්‍ය භාන්ඩ සහ සේවා සඳහා සහනාධාර දුන්නත් තව දුරටත් එය කල නොහැකි බව රඹුක්වැල්ල 18 දා පුවත්පත් සාකච්ඡාවේ දී ප‍්‍රකාශ කලේය. වැඩ කරන ජනයාට තරවටු භාෂාවෙන් ඔහු කීවේ රට අර්බුදයකට මුහුන දී ඇති තතු තුල "මහජනයා වගකිවයුතු" ලෙස ක්‍රියා කල යුතු බවයි.

රඹුක්වැල්ලගේ කටින් වැමෑරුනේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝගයි. සංවර්ධනයේ නාමයෙන් විදුලිය ගාස්තු ඉහල දැමීම සහ සෙසු සහනාධාර කැපීම සිදුවන්නේ ජාමුඅ කොන්දේසිවලට අනුව රාජපක්ෂ ආන්ඩුව විසින් රාජ්‍ය වියදම් කපා හරිනු ලැබීමේ කොටසක් ලෙසය. තෙල් සහ විදුලිබල සංස්ථා ලබන පාඩු පියවා ගනිමින් සිය ආදායමෙන් යැපෙන තත්වයකට ගෙන ආ යුතුයි වසර ගනාවක සිට ජාමුඅ දිගටම අවධාරනය කල කාරනාවකි.

තෙල් සංස්ථාව පසුගිය මාසයේ තෙල් මිල යලි වතාවක් ඉහල දැම්මේ රුපියල් බිලියන 80ක එහි වාර්ෂික අලාභය ජනතාව මත පැටවීම සඳහා ය. විදුලි බිල වැඩි කිරීම මගින් පසුගිය වසරේ ලංකා විදුලි බල මන්ඩලය ලැබූ රුපියල් බිලියන 61කින් 45ක් පියවා ගැනීමට බලාපොරොත්තු වෙයි. අලාබයේ ඉතිරිය පියවා ගැනීම සඳහා ඉදිරියේ දී යලි වතාවක් විදුලි බිල වැඩි කරනු ඇත. සහනාධාර කපා හැරීමේ මෙම වැඩපිලිවෙල අනුව පසුගිය මාස කිහිපයේ තවත් අංශ ගනනාවකටද ආන්ඩුවේ කෙටේරිය එල්ල විය.

ගොවි විශ‍්‍රාම වැටුප් ගෙවීම වසරක සිට අත් හිටුවා ඇති ආන්ඩුව, කාබනික පොහොර භාවිතයට ගොවීන් දිරි ගැන්වීමේ මුවාවෙන් අක්කරයකට දෙනු ලබන පොහොර ප‍්‍රමානය කප්පාදු කර සියයට 30කින් පොහොර සහනාධාරය කපා තිබේ. පසු ගිය අයවැයෙන් යෝජිත අරමුදල් පවා සැපයීම මහා භාන්ඩාගාරය විසින් කපා හරිනු ලැබීම නිසා අත්‍යාවශ්‍ය ඖෂධවල බරපතල හිඟයකට රජයේ රෝහල් මුහුන දී ඇත.

රාජපක්ෂ ආන්ඩුව 2006 සිට ම කම්කරුවන්ගේ වැටුප් කැටිකර තබා ඇත.

කප්පාදු පිලිවෙත්වලට හා ජීවන වියදම ඉහල නැගීමට එරෙහිව මහජන විරුද්ධත්වය මැඩීම සඳහා යුද්ධය තුල වර්ධනය කල පොලිස් රාජ්‍ය විධික‍්‍රම යොදා ගැනීමට නො පැකිලෙන බව ආන්ඩුව ප්‍රදර්ශනය කර ඇත. ප්‍රෝඩාකාරී විශ‍්‍රාම වැටුප් පනතට එරෙහි නිදහස් වෙලඳ කලාප කම්කරුවන් 2011 දී කල අරගලයේ දී හා තෙල් මිල ඉහල දැමීමට එරෙහි හලාවත ධීවරයන් 2012 දියත් කල විරෝධතාවයේ දී ආන්ඩුව කම්කරුවකු හා ධීවරයකු ඝාතනය කලේය. කම්කරුවන්ගේ හා සිසුන්ගේ විරෝධතා මැඩීමට පොලිසිය, හමුදාව හා මැරයන් යෙදීම එක දිගටම සිදුවෙයි.

ඇමති රඹුක්වැල්ල ප‍්‍රකාශ කර ඇති ආකාරයට සහනාධාර කප්පාදුව ''රට ඉදිරියට ගෙනයාම" සඳහා නො වේ. හැම රටකම ධනපති ආන්ඩු ගැඹුරුවන ලෝක ධනවාදයේ බර වැඩකරන ජනතාව මත පටවමින් බැංකු හා මහා සංගතවල ලාභ රැකදීමේ වැඩපිලිවෙලක් ක‍්‍රියාවට දමති. රාජපක්ෂ ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් කම්කරු පන්තියට එරෙහි මේ ජාත්‍යන්තර ප‍්‍රහාරයේ කොටසකි. ධනපතීන් සඳහා වඩ වඩා සහන දෙන ගමන් කම්කරු පන්තිය පසුගිය සියවස තුල සිය අරගල මගින් දිනා ගත් සියලු අයිතීන් උදුරා ගැනීමේ සමාජ ප‍්‍රතිවිප්ලවයක් හැම රටකම ක්‍රියාවට දැමෙයි.

ග‍්‍රීසිය, පෘතුගාලය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ පසුගිය සතිවල සයිප‍්‍රස් හි කම්කරු පන්තිය මේ ව්‍යසනකාරී අත්දැකීම්වලට මුහුන දී සිටිති. අර්බුදයෙන් ගොඩ එමින් රටවල් සංවර්ධනය කිරීමේ නමින් ජමුඅ, යුරෝපා සංගමය හා යුරෝපීය මහ බැංකුව පටවා ඇති ප‍්‍රහාර නිසා සිදුව ඇත්තේ සංවර්ධනයක් නොව ආර්ථිකයන් හැකිලීයමින් කම්කරුවන් හා අනෙකුත් ජන කන්ඩායම් දරිද්‍රතාවයේ හා විරක්ෂභාවයේ අගාධය පතුලට ඇද වැටීමයි.

දරිද්‍ර ජීවන කොන්දේසි තුල ජීවත්වන ලංකාවේ කම්කරුවන්ට හා දුගීන්ට අත්වන ඉරනම මේ අත්දැකීම්වලින් ම තේරුම් ගත හැකිය.

විදුලි බිල ඉහල දැමීමට එරෙහිව කම්කරුවන් හා දුගීන් අතර කැකෑරෙන කෝපය නොමග යවා යටපත් කර දැමීමේ වගකීම භාරගෙන ඇත්තේ විපක්ෂයේ ප‍්‍රධාන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය (එජාප) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ වෘත්තීය සමිති රොත්තයි. මොවුහු විදුලි බිල වැඩි නොකරන ලෙස ඉල්ලා ආන්ඩුවට යැවීමට පෙත්සම් අත්සන් කිරීමේ නිරර්ථක ව්‍යායාමයක් ද නඩු පැවරීමේ වඳ යෝජනා ද මහා සටන් ලෙස හුවා දක්වති.

ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අප්‍රේල් 18 දා පුවත්පත් සාකච්ඡාවක දී වැඩි කල විදුලි බිල ගෙවීම ප‍්‍රතික්ෂේප කර පාරට බසින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. අප්‍රේල් 22 දා සවස ජවිපෙ නායකයන් ඉටිපන්දම් පත්තුකර ආන්ඩුවට විරුද්ධත්වය දැක්වීමට යන බව වාර්තා වේ.

පන්ති අරගලයට හතුරු මෙම පක්ෂ ආන්ඩුවට අඟවා ඇත්තේ මොනම සටනකට වත් ඉඩ නොදී කම්කරුවන් කොටුකරන බවයි.

මේ පක්ෂ දෙකට රාජපක්ෂ ආන්ඩුවේ ආර්ථික පිලිවෙත සම්බන්ධයෙන් මූලික මතභේදයක් නැත. සහනාධාර කැපීම ඇතුලු ජාමුඅ විසින් නිර්දේශිත ආර්ථික ප‍්‍රතිසංස්කරන පිලිවෙත් ක‍්‍රියාවට දැමීම ආරම්භ කලේ 1977 බලයට පත් වූ එජාප ආන්ඩුවය.

ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ගේ ආන්ඩුවට 2004 දී ඇතුලු වූ ජවිපෙ ඇගේ ආර්ථික ප‍්‍රතිසංස්කරනවලට සහාය දුන්නේය. 2005 රාජපක්ෂ බලයට ගෙන ඒමට දරදිය ඇදි ජවිපෙ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධයටත්, යුද්ධය මැද රාජපක්ෂ ක‍්‍රියාවට දැමු ආර්ථික කප්පාදු පිලිවෙත්වලටත් මුලුමනින්ම සහය දුන්නේ සිංහල වර්ගවාදය අවුස්සමිනි.

රාජපක්ෂගේ ආර්ථික පිලිවෙත්වලට එරෙහිව පැන නැගි කම්කරු පන්ති අරගලවලට කොටි ලේබල් ඇලවූ ජවිපෙ ඒවා කඩාකප්පල් කිරීම සඳහා සිය වෘත්තීය සමිති මෙහෙයවීය. යුද්ධයෙන් පසුව පසුගිය වසර තුන තුල පැන නැගි වැටුප් අරගල ද බොරු විරෝධතාවලට කොටු කර යටපත් කිරීමට ජවිපෙ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ක‍්‍රියා කලේය.

ලංකාවේ ජන මාධ්‍ය විපක්ෂවල හා වෘත්තීය සමිතිවල මෙම ක්‍රියා හුවා දක්වමින් ඒවාට බකිම දෙයි. අප්‍රේල් 22 දා ලක්බිම පුවත්පතේ හෙඩිම "විදුලියට එරෙහිව රට ම සටනට" යන්නයි. මෙන්න ඒ මහා සටන්: මේ පක්ෂ හා සමිති අප්‍රේල් 22, 23 හා 24 දිනවල කොලඹට රැස්ව විරෝධතා, සමිති ක්‍රියාමාර්ග, අධිකරන ක්‍රියාමාර්ග තෝරා ගැනීමට නියමිත ය! එකක් නම් පැහැදිලිය. විපක්ෂ, සමිති හා ඔවුන්ට උඩගෙඩි දෙන ව්‍යාජ වම්මු සමාජ පිපිරීමක් ඒ යයි පස්ස රත්වී ඒවා වැලැක්වීමට විවිධ උප්පරවැට්ටි ක්‍රියාවට දමන බවයි.

කම්කරුවන් ප‍්‍රමුඛ වැඩකරන ජනතාව මේ ප්‍රෝඩාවන් ප්‍රතික්ෂේප කල යුතු ය. ජාත්‍යන්තර බැංකුකාරයන්ගේ නියෝග ක්‍රියාවට දමන ඒවාට කැපවූ ආන්ඩුව අඩියක් පස්සට නොගනු ඇත.

ලංකාවේදීත් ජාත්‍යන්තරවත් කම්කරු පන්තිය ඉදිරියේ ඇති අභියෝගය නම් ධනේශ්වර ලාභ පද්ධතිය අහෝසිකර සමාජයේ අතිමහත් බහුතරයේ අවශ්‍යතාවයන් සපුරන සමාජවාදී ලෝක ආර්ථික ක‍්‍රමයක් ස්ථාපිත කිරීම ය.

ලංකාවේ දී එය රාජපක්ෂ පාලනය පලවා හැර, සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට දමන කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමේ අරගලය සමග බැඳී ඇත. ධනපති පක්ෂ, ව්‍යාජ වාම පක්ෂ හා වෘත්තීය සමිතිවලින් බිඳී එම අරගලය සඳහා අවශ්‍ය සමාජවාදී මහජන ව්‍යාපාරයක් කම්කරු පන්තියේ නායකත්වයෙන් ගොඩනැගීමට සමාජවාදී සමානතා පක්ෂයට එක්ව ක්‍රියාත්මක වන ලෙස කම්කරුවන්ගෙන්, දුගීන්ගෙන් හා තරුනයන්ගෙන් අපි ඉල්ලමු.

Share this article: