කොරියානු අර්බුදය පිලිබඳව චීනය උභතෝකෝටිකයකට මුහුන දෙයි

China confronts dilemma over Korean crisis

ජෝන් චෑන් විසිනි, 2013 අප්‍රේල් 10

කොරියානු අර්ධද්වීපයේ නැ‍ඟෙමින් ඇති ආතතීන් සමග පොරබදන්නේ කෙසේ ද යන ප්‍රශ්නය මත, ජනාධිපති සි ජින්පින් ගේ නායකත්වයෙන් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ (සීසීපී) තන්ත්‍රය උභතෝකෝටිකයකට මුහුනපා සිටියි. උතුරු කොරියාව සමග සිය දිගුකාලීන සන්ධානය පිලිබඳව චීන පාලක කවයන් තුල විවාදයක් ඇරඹී තිබේ.

එක්සත් ජනපදයේ ඉල්ලීම් වලට ඉඩ දෙමින්, පීඩනය යොදා උතුරු කොරියාව හික්මවා ගෙන, අර්බුදය සමහන් කර ගැනීමට, සීසීපී නිලධරයේ සමහර කොටස් හැරී සිටිති. අනෙකුත් කොටස් අවධාරනය කරන්නේ, එක්සත් ජනපදය හා එහි අනුචරයින්ට, විශේෂයෙන්ම දකුනු කොරියාවට එරෙහිව බාධකයක් ලෙස එරට තබාගැනීම පිනිස බීජිනය පියොන්යෑනයට දිගටම පිටුබලය දිය යුතු බවයි.

පසුගිය සති අන්තයේ පැවති බෝඕ ආර්ථික සන්සදයේදී ජනාධිපති සි මෙලෙස ඉල්ලා සිටියේය. “ගෝලීය ගම්මානය පොදු සංවර්ධනයේ වේදිකාවක් තුලට පරිවර්තනය වන විට පූර්න ආරක්ෂාව හා සහයෝගිතා ආරක්ෂාව මිස අවශ්‍ය වන්නේ, පුහුනු අවි හරඹකරුවන් එකිනෙකා සමග සටන් වදින පිටියක් නොවේ. කලාපය හෝ සමස්ත ලෝකයම පවා, ආත්මාර්ථකාමී වාසි ලබාගැනීම පිනිස විනාශයකට ඇද දැමීමට කිසිවෙකුටත් ඉඩ නොදිය යුතුය.”

බොහෝ බටහිර මාධ්‍ය සිගේ ප්‍රකාශ උතුරු කොරියාවට එරෙහිව එල්ල කල ඒවා ලෙස අර්ථ ගන්වා ඇති නමුත් පියොන්යෑන් හා බීජිනය යන දෙපාර්ශවයටම පීඩනය යෙදීම සඳහා වගකිම් විරහිතව කොරියානු අර්ධද්වීපයේ ආතතීන් අවුලුවා ඇති එක්සත් ජනපදයට ද ඒවා එසේම අදාල වන්නේය. පසුගිය මාසය මුලුල්ලේම පෙන්ටගනය දකුනු කොරියාවට න්‍යෂ්ටික බෝම්බ ගෙනයාමේ හැකියාව සහිත බී 52 හා බී 2 ප්‍රහාරක යානා පිටත්කර හැරීම ද ඇතුලු එහි ඊනියා “කුපිත කිරීම් වැලැක්වීමේ” සැලැස්ම ක්‍රියාත්මක කර තිබේ.

චීන මිලිටරි ස්ථරයන් යුද්ධයේ අන්තරාය පිලිබඳව ගැඹුරින්ම කනස්සල්ලට පත්ව සිටියි. මහජන විමුක්ති හමුදාවේ නම් සඳහන් නොකල අයෙක් පසුගිය 04දා ජර්මනියේ ඩීපීඒ ප්‍රවෘත්ති ආයතනයට පැවසුවේ, චීන මිලිටරිය උපරිම සුපරික්ෂාවෙන් තබා ඇති බවත්, කොරියානු අර්ධද්වීපයට “ගිනි ඇවිලෙන” තත්වයකදී ඊට මුහුනදීම සඳහා හදිසි සැලසුම් සකස් කරමින් සිටින බවත්ය.

එම පුද්ගලයාම ඩීපීඒ වෙත පවසා ඇත්තේ, උතුරු කොරියාවේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවල ආරක්ෂාව පිලිබඳව මෙන්ම උතුරු චීනය වෙත විශාල පරිමානයෙන් සරනාගතයින් ගලා ඒමේ හැකියාව පිලිබඳවත් ජෙනරාල්වරු කන්ඬායමක්ම කනස්සල්ල පල කරන බවය. “ගැටුමක් හටගතහොත් න්‍යෂ්ටික මධ්‍යස්ථානයන්හි ආරක්ෂාව සඳහාත් කුමන හෝ න්‍යෂ්ඨටික ව්‍යසනයක් වැලැක්වීමටත් චීන හමුදා උතුරු කොරියාවට ඇතුලුවීමේ හැකියාව ද සැලකිල්ලට ගන්නා හදිසි සැලසුම් සකස් කෙරේ.” යනුවෙන් එය වාර්තා කලාය.

කුඩා, හුදෙකලා හා ආර්ථික වශයෙන් බංකොලොත් පියොන්යෑන් තන්ත්‍රයේ ස්ථාවරත්වය ගැන බීජිනය සැබවින්ම කනස්සල්ලට පත්ව සිටියි. පසුගිය සිව් වසර පුරා ඔබාමා පාලනය, උතුරු කොරියාවට එරෙහිව ආර්ථික සම්බාධක ක්‍රියාත්මක කල අතර එරට කුඩා න්‍යෂ්ටික අවි ගබඩාව අත් නොහරින්නේ නම් හා න්‍යෂ්ටික හා මිසයිල් වැඩසටහන් බිඳ දමන්නේ නැතිනම්, පියොන්යෑනය සමග මොනම සාකච්ඡාවක් හෝ ප්‍රතික්ෂේප කර තිබේ.

උතුරු කොරියාව කෙටි දුර මිසයිලයක් අත්හදා බැලීමේ හැකියාව පවතින අතර ඊට පෙර වොෂින්ටනය පියොන්යෑනයට දිගටම පීඩනය යොදමින් සිටියි. එක්සත් ජනපදයේ පැසිෆික් අනදෙන මධ්‍යස්ථානයේ ප්‍රධානී අද්මිරාල් සැමුවෙල් ලොක්ලියර් සෙනේට් අවි සේවා කමිටුව හමුවේ 09දා පැවසුවේ, මිසයිලය සිය භූමි ප්‍රදේශයට, කඳවුරු වෙතට හෝ සිය මිතුරු රටවල් දිසාවට පැමිනියහොත් එක්සත් ජනපදය එය වෙඩිතබා බිම හෙලීමට සූදානම්ව සිටින බවයි.

උතුරු කොරියාව හා එක්සත් ජනපදය අතර සම්බන්ධකම් 1950 ගනන්වල කොරියානු යුද්ධයෙන් පසු එහි නරකම අඩියට වැටී ඇති බවට රිපබ්ලිකානු සෙනේට් සභික ජෝන් මැකේන් පල කල අදහස සමග එකඟ නොවුන ද ලොක්ලියර්, තමන්ගේ අන යටතේ ක්‍රියාත්මක වන එක්සත් ජනපද හමුදා බලඇනි උතුරු කොරියාවට එරෙහිව ඕනෑම යුද්ධයකට “සූදානම්” බව කියා සිටියේය.

එක්සත් ජනපදය, එරට මිලිටරි බලය, විශේෂයෙන්ම එහි බැලිස්ටික් මිසයිල් ප්‍රතිරෝධක පද්ධතීන් ගොඩනැඟීම පිනිස කොරියානු අර්බුදය ගසා කන බවත් එය හුදෙක් උතුරු කොරියාවට එරෙහිව පමනක් නොව චීනයටම එරෙහිව එල්ල වන යුද සූදානමක් බවත් බීජිනය හොඳින්ම දැන සිටියි. ඔබාමා පාලනය විසින් කොරියානු අර්ධද්වීපයේ ආතතීන් උත්සන්න කරන්නේ, එරට ආක්‍රමනශීලී ආසියාවට “හැරීමේ” මූලෝපායේ කොටසක් ලෙස වන අතර එය ඉලක්ක කෙරෙන්නේ, කලාපය පුරා චීනයේ මූලෝපායික තත්වය හා බලපෑමට වල කැපීම සඳහා ය.

ඊට ප්‍රතිචාර වශයෙන් සීසීපී නිලධර‍යේ සමහර කොටස්, උතුරු කොරියාව සමග සන්ධානය අවසන් කිරීම හා කොරියානු ආතතීන් ගසාකෑමට වොෂින්ටනයට ඇති හැකියාව නතර කිරීමේ අර්ථයෙන්, එරට පාලන තන්ත්‍ර වෙනසක් ඇති කිරීමට පවා යෝජනා කරති. සීසීපීයේ මධ්‍යම පාසැලේ ස්ටඩි ටයිම්ස් පුවත්පතෙහි නියෝජ්‍ය සංස්කාරක ඩෙන් යුවෙන්, බ්‍රිතාන්‍යයේ පලවන ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතේ තීරුවක් ලියමින් පැවසුවේ උතුරු කොරියාව තවදුරටත් චීනය වෙනුවෙන් මූලෝපායික බාධකයක් ලෙස ක්‍රියා නොකරන අතර චීනයට විරුද්ධව පවා හැරිය හැකි බවයි. උතුර එක්සත් රටක් තුලට ඒකාග්‍ර කිරීම පිනිස ඔහු දකුනු කොරියාවට සහාය පල කලේය.

පසුගිය සතියේදී දින නියමයකින් තොරව ඩෙන්ගේ තනතුර අත්හිටුවා ඇති බව වාර්තාවූ නමුත් ඊට සමාන අදහස් චීන රජය සතු මාධ්‍ය විසින් විකාශනය කෙරේ.

පීපල්ස් ඩේලි පුවත්පතේ 10දා විදේශ සංස්කරනයෙහි චීනයේ ජාතික අවශ්‍යතාවන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රටවල් හතරක් විවේචනය කර තිබේ. ඒ උතුරු කොරියාව, එක්සත් ජනපදය, දකුනු කොරියාව හා ජපානයයි. එම ප්‍රකාශය පිලිබඳ අසාමාන්‍ය තත්වය නම්, “තත්වය වැරදියට තක්සේරු” නොකල යුතු බවට උතුරු කොරියාවට කරන අනතුරු ඇඟවීමයි. “පසුගිය වසරේ පටන් කොරියානු අර්ධද්වීපයේ ආතතීන් උත්සන්න කිරීමේ වගකීම” උතුරු කොරියාව විසින් බාරගත යුතු බව ඉන් කියැවේ. මක්නිසා ද යත්, එහි මිසයිල හා න්‍යෂ්ටික අත්හදා බැලීම් නිසාය. උතුරු කොරියාවේ අභ්‍යන්තර කටයුතු වලට පිටස්තර ඇඟිලිගැසීම් ප්‍රතික්ෂේප කරන නමුත් එරට කටයුතු “කලාපීය ස්ථාවරත්වයට හා සාමයට බලපානතාක් දුරට හා ජාත්‍යන්තර ගැටලු ඇතිකරන්නේ නම් එවිට, එය උතුරු කොරියානු ප්‍රශ්නයක් නොවනු” ඇත. වෙනත් වචන වලින් කිවහොත් චීනයේ මැදිහත් වීමක් සුජාත කල හැකිය.

චීනයේ යුදකාමී ජාතිකවාදී අටුවාකාරයින් පවා නිරායාසයෙන්ම උතුරු කොරියාවට පිටුබලය නොදෙයි. පසුගිය වසරේ දකුනු චීන මුහුදේ මතභේදකාරී භූමිභාගයක් මුල්කරගෙන ෆිලිපීනයට එරෙහිව යුද්ධයකට කැඳවුම් කල ජෙනරාල් චෑන් චවෝෂොං, 09දා චයිනා රේඩියෝ නෙට්වර්ක් සමග පැවති සාකච්ඡාවේ දී සාපේක්ෂ වශයෙන් මෘදු විය. අර්බුදය නිර්මානය කල බවට ඔහු එක්සත් ජනපදයට, ජපානයට හා දකුනු කොරියාවට දොස් පැවරූ නමුත් සරලව කියා සිටියේ “ඇමරිකාව මඳක් පස්සටවී කිම් ජන් අන්ට අඩියක් පහත බැසීමට ඉඩ සලසිය යුතු” බවයි. “එවිට ප්‍රශ්නය විස‍ඳෙනු ඇත” යනුවෙනි.

මෙම අදියරේදී නව චීන නායකත්වය එක්සත් ජනපදය ඉල්ලා සිටින පරිදි, පසු බසින ලෙසට උතුරු කොරියාවට බලකිරීමට එකඟ වන බවට පැහැදිලි සලකුනු දක්නට නැත. පෙබරවාරියේදී උතුරු කොරියාව සිදුකල තුන්වන න්‍යෂ්ටික අත්හදා බැලීම පිලිබඳව එක්සත් ජාතීන්ගේ නව සම්බාධක වටයක් පැනවීමට පසුගිය මාසයේ දී බීජිනය එක්සත් ජනපදය සමග එක් විය. එහෙත් සිය අනුචරයාට අත්‍යවශ්‍ය ආහාර හා ඉන්ධන අපනයන අවහිර කිරීමට එක් නොවීය. මෑත වසරවලදී චීනය, උතුරු කොරියාවේ යටිතල පහසුකම් ගොඩනැංවීමට ආධාර වශයෙන් ඩොලර් බිලියන ගනනින් එහි ආයෝජනය කලේය. එරට ලාභ ශ්‍රමය සූරාකෑම පිනිස ගොඩනඟන ලද “විශේෂ ආර්ථික කලාප” ගනනාවක් ද ඊ‍ට ඇතුලත්ය.

පසුගිය සතියේ නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රයට අනුව, උතුරු කොරියාවට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්බාධක හා තවත් එවැනි බාධක බලගැන්වීම සඳහා දිරිගැන්වීමට, භාන්ඬාගාර ලේකම් ජැකොබ් ලිව් ද ඇතුලු එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් බීජිනයට යවන ලද නමුත් ඔවුන් ආපසු ගියේ කිසිදු නිශ්චිත එකඟත්වයකින් තොරව ය.

Share this article: