උතුරු කොරියාව සමග සාකච්ඡා සඳහා එක්සත් ජනපදය දොර අඩවල් කර තබයි

US leaves door ajar for talks with North Korea

පීටර් සිමන්ඩ්ස් විසිනි, 2013 මාර්තු 19

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී‍ගේ පසුගිය සති අන්ත චීන සංචාරය හමුවේ, ඔබාමා පරිපාලනය උතුරු කොරියාවෙන් මතු ව ඇති "තර්ජනය"ට අඩු වැදගත්කමක් දී ඇත. වොෂිංටනයේ අරමුන වී ඇත්තේ, ගැටුමක් පැන නැඟීමේ තර්ජනය නො තකා, බීජිනයෙන් සහන ලබා ගැනීම සඳහා උපාමාරු මඟින් කොරියානු අර්ධද්වීපයේ අර්බුදය ගසාකෑම යි.

චීන නායකයන් සමඟ සාකච්ඡාවෙන් පසු ව මාධ්‍ය අමතා උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරනය සඳහා ඇති "සියලු මාර්ග" ගැන සාකච්ඡා කල බව කෙරී ප්‍රකාශ කරන ලදි. ඇමෙරිකානු ප්‍රධාන මිලිටරි හා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් - ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානීන්ගේ සභාපති මාටින් ඩෙම්ප්සේ සහ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් විලියම් බර්න්ස් - තම චීන ප්‍රතිපක්ෂයන් සමඟ තව දුරටත් සකච්ඡා පවත්වනු ඇත.

අඟහරුවාදා එන්බීසී ප්‍රවෘත්තිවලට දුන් සාකච්ඡාවක දී ඔබාමා ප්‍රකාශ කලේ මිසයිලයක් මත රැඳවිය හැකි න්‍යෂ්ටික අවියක් උතුරු කොරියාව සතු ව ති‍බීමේ හැකියාවක් නොමැති බව ය. "අපගේ වත්මන් බුද්ධි අංශ ගනන් බැලීම්වලට අනුව ඔවුන්ට ඒ හැකියව ඇතැ යි අප විශ්වාස කරන්නේ නැතැ" යි ඔහු සඳහන් කලේ ය. ඇමරිකාවට එරෙහිව විභව උතුරු කොරියානු තර්ජනය සම්බන්ධ ව සති කිහිපයක් තිස්සේ කෙරුනු නාටකාකාර ප්‍රවෘත්ති ආවරනයට මෙමගින් තිත තැබෙයි.

ආසියානු-පැසිෆික් කලාපයේ මිසයිල ප්‍රතිරෝධක පද්ධතීන් ගොඩ නැඟීම ඔබාමා විසින් යුක්ති යුක්ත කලේ, "ඕනෑ ම තත්වයකට මුහුන දීම" සඳහා යන ව්‍යාජය යටතේ ය. එහෙත් ඇත්ත නම්, ඇලස්කාවේ ඇති බැලස්ටික් මිසයිල ප්‍රතිරෝධක සියයට 50 කින් වැඩි කිරීමට එක්සත් ජනපදය මාස කිහිපයකට එපිට දී තීන්දු කල අතර එය සම්පූර්න කිරීමට තව වසර කිහිපයක් ගත වනු ඇත යන්න යි. මේවා ස්ථානගත කරන්නේ උතුරු කොරියාවට එරෙහි ව නො ව, චීනය සමඟ න්‍යෂ්ටික යුද්ධයක් පිලිබඳ පෙන්ටගනයේ සැලසුමක කොටසක් ලෙස ය.

පියොංයැන්ග් සිය න්‍යෂ්ටික අවි වැඩපිලිවෙල අතහැර දමන බව පෙන්නුම් කරන නිශ්චිත පියවර ගන්නේ නම්, උතුරු කොරියාව සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට එක්සත් ජනපදය සූදානම් බව තම චාරිකාවේ දී කෙරී ඉඟි කලේ ය. ඔබාමා ද ඇඟවූයේ, උතුරු කොරියාව "එලැඹෙන සති කිහිපය පුරා වඩාත් ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට" යොමු විය හැකි අතර "සමහර ප්‍රශ්න සම්බන්ධ ව රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කෙරේ යොමු වෙමින් වෙන අදියරකට යාමට" තමන් බලාපොරොත්තු වන බව ය.

ඒ සමඟ ම, උතුරු කොරියාවේ පුහු තර්ජන ගැන සඳහන් කරමින් "එවැනි ප්‍රකෝපකාරීත්වයන්ට සහන පිරිනැමීමට" තමාගේ සූදානමක් නැතැ යි ඔබාමා ප්‍රකාශ කලේ ය. මෙය සම්පූර්නෙයන් ම කුහක ප්‍රකාශයකි. පියොංයැන්ග්හි පුරාජේරු ගසා කෑ එක්සත් ජනපදය ඒවාට හිතාමතා ම උල්පන්දම් දුන්නේ චීනය මත පීඩනය යෙදීම සඳහා ය. උතුරු කොරියාව වැනසීම සඳහා තමන්ට ඇති හැකියාව පෙන්නුම් කිරීමට පෙන්ටගනය F-22 ගුවන් යානාත් න්‍යෂ්ටික බෝම්බවලින් සන්නද්ධ B-2 හා B-52 මූලෝපායි ක බෝම්බ ගුවන් යානාත් දකුනු කොරියාවට පිටත්කර හැරී ය.

සාකච්ඡා සඳහා එක්සත් ජනපදයේ හා දකුනු කොරියාවේ කැඳවුමට කර්කශ භාෂාවෙන් හා ඉල්ලීම් මඟින් උතුරු කොරියාව ප්‍රතිචාර දැක් වූ වත්, ගනුදෙනු කිරීම ප්‍රතික්ෂේප නො කලේ ය. සාකච්ඡා සඳහා තමන් විවෘත බව පසුගිය අඟහරුවාදා ප්‍රකාශ කල පියොංයැන්ග්, නමුත් එය එක්සත් ජනපදය "න්‍යෂ්ටික රිට ලෙලවමින්" සිටින විට සිදු නො වන්නක් බව ප්‍රකාශ කලේ ය. දකුනු කොරියාව සමඟ සාකච්ඡා ප්‍රතික්ෂේප කල එම නිවේදනය ම අප්‍රේල් අග දක්වා පැවතීමට නියමිත, ඒකාබද්ධ එක්සත් ජනපද දකුනු කොරියානු මිලිටරි අභ්‍යාස දිගට ම සිදු වුව ‍හොත් "මිලිටරි ප්‍රතිපියවර" ගැනීම පිලිබඳව ද අනතුරු ඇඟ වී ය.

18 දා පියොංයැන්ග් සාකච්ඡා සඳහා තමන්ගේ පූර්ව කොන්දේසි ඉදිරිපත් කලේ ය: එක්සත් ජනපද සම්බාධක ඉවත් කිරීම, ඇමෙරිකානු-කොරියානු මිලිටරි අභ්‍යාස අවසන් කිරීම, දකුනු කොරියාවෙන් "සියලු [එක්සත් ජනපද] න්‍යෂ්ටික යුධ ස්ථානගත කිරීම්" ඉවත් කිරීම හා උතුරු කොරියානු සයිබර්-ප්‍රහාර ගැන කෙරෙන සියලු දකුනු කොරියානු චෝදනා නැවැත් වීම යනාදිය යි. මෙම පූර්ව කොන්දේසි "පිලිගත නො හැකි" යයි හංවඩු ගැසූ නමුත්, "අඩු ම වශයෙන් කේවලයේ ආරම්භයක් සඳහා" ඒවා සැලකිල්ලට ගැනීමට තමන් සූදානම් යයි කෙරී සඳහන් කලේ ය.

පසුගිය කතිකාවල චක්‍රය කැඩීමට ඔබාමා පරිපාලනයට අවශ්‍ය ව ඇතැ යි කෙරී සඳහන් කලේ ය. පෙරාතු ව "අප එකඟතාවකට එලැඹෙන නමුත් ඔවුන් එය ආපස්සට ගනියි. අපි නැවතත් එකඟතාවකට එලැඹී ඔවුන්ට යම් ආහාර සහන ලබා දෙමු; යම් ආකාරයක ඇමක් ඇත; කිසිවක් සිදුවන්නේ නැතැ" යි, ඔහු අවලාද නැඟී ය.

ඇත්තට ම, පසුගිය දශක දෙක තුල මෙම කුඩා, ආර්ථික පසුගාමී රාජ්‍යය සමඟ කල ගනුදෙනුවල දී කසය අතැති ව සිටියේ එක්සත් ජනපදය යි. කෙටි කාලීන සීමිත ආධාර සැපයීමට අමතර ව, වොෂිංටනය එක දිගට ම එකඟතාවන් පැහැර හරින ලදි. මෑතක දී ම, චීනය විසින් අනුග්‍රාහකත්වය සැපයූ, 2007 සය පක්ෂ සාකච්ඡා එකඟතාව, බුෂ් පාලනය වි‍සින් කඩා කප්පල් කලේ ය. උතුරු කොරියාව තම කොන්දේසි - යොංග්බ්යොංන් හි පිහිටි න්‍යෂ්ටික බලාගාර වසා දමා ඒවා ක්‍රියා විරහිත කිරීමේ තත්වයට පත් කිරීම - හා අනුකූල ව වැඩ කල නමුත්, ගනුදෙනුවේ කොටසක් නො වූ අතිරේක පිරික්සුම් කොන්දේසි ගැන අවධාරනය කිරීම මඟින් 2008 දී එය කඩා වැටීමට සැලැස් වී ය.

2007 එකඟතාව නැවත ප්‍රානවත් කිරීමට හෝ කොරියන් දෙරට, එක්සත් ජනපදය, චීනය, ජපානය හා රුසියාව යන සය පාර්ශව සාකච්ඡා නැවත පන ගැන්වීමට ඔබාමා පාලනය කිසි උත්සාහයක් දැරුවේ නැත. මෙම සය පාර්ශ්ව සාකච්ඡා පාලනය කරනුයේ චීනය නිසා වොෂිංටනය බොහෝ විට ඊට නැවත සම්බන්ධ වනු නැත. කලාපය පුරා චීන අවශ්‍යතාවන්ට යටින් වල කැපීම අරමුනු කරගත් ඔබාමාගේ ආක්‍රමනකාරී "හැරීමේ" කොටසකි, කොරියානු අර්ධද්වීපයේ ආතතිය පවත්වා ගෙන යාම. 2011 සිට බුරුමය එක්සත් ජනපදය සමඟ නැවත මිත්‍රවීම සිදු වූ පරිදි ම, ඕනෑ ම සාකච්ඡාවක් උතුරු කොරියාවට චීනය සමඟ තිබෙන දිගු කාලීන සම්බන්ධතාවන්ගෙන් කඩා අමෙරිකාව දෙසට ආකර්ෂනය කර ගැනීමට මාන බලනවා ඇත.

උතුරු කොරියාව බුරුමය නො වන නමුත්, 1953 කොරියානු යුද්ධය අවසන දී සිට පවත්වා ගෙන යන විනාශකාරී ඇමෙරිකානු ආර්ථික හා රාජ්‍ය තාන්ත්‍රික සම්බාධක අවසන් කිරීම ගැන එරට අතිශයින් ම උනන්දු ය. පියොංග්යැන්ග්හි "අධිරාජ්‍ය විරෝධී" වාගාලාප ගැන කිසිවෙකුත් රැවටිය යුතු නැත. තම රට, ගෝලීය සමාගම් සඳහා ලාභ ශ්‍රම කලාපයක් ලෙස පරිවර්තනය කිරීමට උතුරු කොරියානු තන්ත්‍රය බොහෝ කැමැත්තෙන් සිටී. දකුනු කොරියානු සමාගම් සඳහා, එය දැනටමත් කාර්මික කලාප පිහිටුවා ඇත. ඊට ප්‍රතිලාභ ලෙස ඔවුන් ඉල්ලන්නේ තම පැවැත්ම සහතික කරන ලෙස ය. එහෙත් ඒ සඳහා ඇමෙරිකාව සූදානම් නැත.

ව්‍යාපාර සඳහා පියොංග්යැන්ග් විවෘත කල හැකි යයි, උතුරු කොරියාවේ නව නායකයා වන කිම් ජොංග්-යුන් සංකේතාත්මක සංඥා නිකුත් කර ඇත. ජනවාරියේ දී, ගූගල් සභාපති එරික් ශ්මිඩ් හා එක්සත් ජාතීන්ගේ ඇ‍මෙරිකානු තානාපති ව සිටි බිල් රිචඩ්සන් ඇතුලත් වූ "නිල නොවන" ඇමෙරිකානු නියෝජිත කන්ඩායමක් උතුරු කොරියාව විසින් පිලිගන්නා ලදි. කිම් ජොංග්-යුන්, පසුගිය මාසයේ දී ඇමෙරිකානු පැසිපන්දු තරුවක් ව සිටි ඩෙනිස් රොඩ්මන් හමුවූ අතර, එවක් පටන් ඔහු උතුරු කොරියානු නායකයා සමඟ එන අගෝස්තුවේ දී නිවාඩුව ගත කිරීමට බලා‍පොරොත්තු වන බව ප්‍රකාශ කරයි. තව කලක් යන තෙක්, වැඩිදුරටත් මිසයිල පරීක්ෂන පැවැත්වීම පියොංග්යැන්ග් විසින් නතර කර ඇත.

දෙපාර්ශවය ම සිදු කරන මෙම රාජ්‍ය තාන්ත්‍රික සංඥා අතිශය අස්ථිර ය. තව ද එක්සත් ජනපදය, ඔලෙමාට්ටල ලෙස, කොරියානු අර්ධද්වීපයේ ආතතිය නැංවීමෙන් පසු ව, අස්ථාවර තත්වයක් නිර්මානය කර ඇත. උතුරු කොරියානු තන්ත්‍රයට තව දුරටත් සහාය දැක්විය යුතු ද නැත් ද යන්න ගැන විවාද චීන නායකත්වය තුල සිදු වෙමින් පවතී. ඕනෑ ම පාර්ශවයක් සිදු කරන ඕනෑ ම වැරැදි ගනන් බැලීමක් තුඩු දෙනු ඇත්තේ අවුල වැඩි දියුනු වීමට හා ගැටුමක් දෙසට වර්ධනය වීමට ය.

Share this article: