යුරෝපීය සංගමයේ සයිප්‍රස් කොල්ලය

The European Union’s looting of Cyprus

2013 මාර්තු 29

යුරෝපීය සංගමය විසින් සයිප්‍රසය මත පටවන ලද ඇපදීමේ ක්‍රියාවලිය, රටේ බැංකු විනාශයට හා කම්කරු පංතිය දරිද්‍රතාවයට ඇද දැමීම කරා එල්ල කෙරෙන මූල්‍ය කොල්ලකෑමේ දේශපාලනික සාපරාධී ක්‍රියාවකි.

රාජ්‍ය බංකොලොත්කම මග හැරීමේ නාමයෙන්, මිලියනයක ජනගහනයකින් යුත් කුඩා මධ්‍යධරනී දූපත මේ වන විටත් ග්‍රීසියට විනාශය කටින ලද කම්පන චිකිත්සාවට ගොදුරු කර ඇත.

යුරෝපා සංගමය, යුරෝපා මහබැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන ත්‍රිත්වය විසින් අන කරන ලද යුරෝ බිලියන 10ක නය කොන්දේසිවලට ඇතුලත් වූයේ, සයිප්‍රසයේ දෙවැනි විශාල ම බැංකුව වන ලයිකි වසා දැමීම හා එහි නය යුරෝපා මහ බැංකුවටත්, සයිප්‍රස් බැංකුවටත් මාරුකිරීම ය. සයිප්‍රස් මහ බැංකුව ද ප්‍රධාන ප්‍රතිව්‍යුහකරනයකට මුහුනපා සිටියි. බැංකු සුරැකුම්පත් ලාභීන් හා යුරෝ 100,000ට වඩා බැංකු තැන්පතු සහිත අය මත සියයට 40ක තදබල දඬුවම් පටවමින් අතිරේක යුරෝ බිලියන 5.8ක් රැස්කිරීමට නියමිත ය.

විදේශ වලට අරමුදල් මාරුකිරීම අත් හිටුවීම, මුදල් ආපසු ගැනීම යුරෝ 300කට සීමාකිරීම හා යුරෝ 1000ට වැඩි මුදල් රැගෙන රටින් බැහරව යන ඕනෑ ම අයෙකු මත තහංචි පැනවීම ඇතුලු හදිසි ප්‍රාග්ධන පාලනයන් පනවා ඇත. අවසානයේ දී දින දොලහකට පසුව 28දා බැංකු නැවත විවෘත කලාට පසුව “ස්ථාවරත්වය පවත්වා ගැනීම” පිනිස දූපතේ බැංකු තුල ජී4එස් නම් බ්‍රිතාන්‍ය ආරක්ෂක සමාගම මුරට තබා ඇත.

“එරට වර්තමාන ව්‍යාපාර ආකෘතිය මිය ගොස්” ඇති බව සයිප්‍රසය විසින් තේරුම්ගත යතු යැයි ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල්ගේ අවධාරනය සමග මෙම පියවර එකට සිටියි. රටේ මූල්‍ය අංශය එරට දල ජාතික නිෂ්පාදිතයෙන් අට ගුනයක් වීමේ කාරනය සමග සලකන කල මෙහි අර්ථය ආර්ථික බිඳ වැටීමකි.

යුරෝ 100,000ට අඩු බැංකු තැන්පතු වලින් සියයට 6.7ක බද්දක් පැනවීමේ සයිප්‍රස් ආන්ඩුවේ යෝජනාව අකුලා ගැනීමට ආන්ඩුවට බල කෙරුනු බව සැලකිල්ලට ගන්නා කල එම තත්වය ලේශමාත්‍රයකින්වත් සමනය නොකරේ. මෙම අවස්ථාවෙන් ගැල වුනා යයි සිතන අය වෙනත් ක්‍රම වලින් නට්ටම් කෙරෙනු ඇත.

කොමියුනිස්ට් පක්ෂය නායකත්වය දුන් කලින් පැවති ආන්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලද යුරෝපීය සංගමයේ කප්පාදු පියවර නිසා විරැකියාව පවතින්නේ සියයට 15ක මට්ටමක ය. වර්තමාන අර්බුදයට පෙර පවා පපෝස්, ලිමසෝල් හා නිකෝසියාහි පුන්‍යාධාර ආහාර බැංකු විවෘත කිරීමට එම ආන්ඩුවට සිදුවිය.

මෙය නාටකාකාර ලෙස නරක අතට හැරෙනු ඇත. වෝල් ස්ට්‍රීට් ජර්නලය සතුටින් සටහන් කල පරිදි, “නිකෝසියාව දැන් යුරෝ කලාපය ගලවා ගැනීමේ සාමාන්‍ය කොන්දේසිවලට මුහුන දෙනු ඇත: එනම්, ශ්‍රම වෙලඳපොල ප්‍රතිසංස්කරන, රාජ්‍ය මූල්‍ය විනය, පෞද්ගලීකරනය, විශ්‍රාම වැටුප් හා සෞඛ්‍ය ආරක්ෂක වැඩ සටහන් ප්‍රතිසංස්කරනයයි.”

කෙසේ වෙතත්, කප්පාදු පියවර හා වැටුප් කැපීම් ආර්ථිකය යලි පන ගන්වනු ඇතැයි යන මවාපෑම යටතේ ග්‍රීසිය, අයර්ලන්තය, ස්පාඤ්ඤය හා තවත් ර‍ටවල් සඳහා පිරිනමන ලද යුරෝපා සංගමයේ ඇපදීම් මෙන් නොව, මාධ්‍ය සඳහන් කරන පරිදි, සයිප්‍රසයේදී නම් එහි බෙහෙත් වලින් ලෙඩා මැරෙනු ඇත.

රැකියා අහෝසිය හා වැටුප් කප්පාදු, සෞඛ්‍ය , අධ්‍යාපනය හා සමාජ ප්‍රතිපාදන කැපීම, ප්‍රධාන උපයෝජනයන් පුද්ගලීකරනය හා දූපතේ ස්වභාවික හා බලශක්ති මූලාශ්‍ර යෝධ ගෝලීය බලශක්ති සමාගම් වලට පැවරීම සමග නය පැකේජය බැඳී තිබේ.

ඉදිරි වසර දෙක තුන තුල දී දදේනි සියයට 25කින් වැටෙනු ඇතැ යි පුරෝකතනය කෙරෙන අතර විරැකියාව දෙගුන වනු ඇත. සයිප්‍රසයේ පියවර මගින් උත්සන්න කෙරෙන අර්බුදයක් තුලට මුලු යුරෝ කලාපය ම කිඳාබැසීම සමග ප්‍රතිඵලය වනු ඇත්තේ සමාජ හා ආර්ථික විනාශය යි.

ෆයිනෑන්ෂල් ටයිම්ස් සයිප්‍රස් ජනතාවට දොස් පවරන්නේ මෙසේ ලියමිනි, “...ආර්ථිකය විදේශීය බැංකු වලට සම්බන්ධ කිරීමට පියවර ගනු ලැබුවේ නායකයන්ගේ උදාසීනත්වය හා රටේ සාමාන්‍ය තත්වයට වඩා ඉහලින් ජීවත්වීමට කැමත්තෙන් සිටින ජනතාවකගේ එකඟත්වය ඇතිව ය.”

එරට, බැංකු ව්‍යාපාර මධ්‍යස්ථානයක් විය යුතු ද නැද්ද යන්න පිලිබඳව සයිප්‍රස් කම්කරුවන්ගෙන් උපදෙස් විමසුවා සේ ය!

සැබවින් නම්, මූල්‍ය කතිපයාධිකාරය සෑම තැනකම දඬුවම් නොලබන වරප්‍රසාදය ඇතිව වැඩ කරන අතර ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ආන්ඩුවේ ප්‍රතිපත්ති පිලිබඳව අන පනවති. සෑම තැන ම ප්‍රතිඵලය පරපුටුකම හා අසීමිත දූෂනය යි. ලිබෝ අනුපාත දුෂ් පරිහරනය, එච්එස්බීසී බැංකුව හා අනෙකුත් බැංකු කලු සල්ලි යටිමඩි ගැසීම, ජේපීමෝගන් චේස් බැංකුව කරන ලද පුලුල් ව පැතිරුන වංචා පිලිබඳ මෑත මගඩි මගින් මූර්තිමත් කලේ ඉන් ස්වල්පයක් පමනි. එක ම අවස්ථාවකදීවත් මෙම අපරාධ සඳහා කිසිවෙකුට වගකීම පවරා නැත.

සයිප්‍රස් “ඇපතැබීම,” රුසියානු කතිපයාධිකාරීන් හා බදු පැහරහරින්නන් ඉලක්ක කෙරෙන බවට හා එමඟින් සාපරාධී තත්වයන් වෙනස් කරනු ඇති බවට මෙන්ම, ධනය අත්පත්කර ගැනීමේ ක්‍රමයක් පවා නියෝජනය කෙරෙන බවට බර්ලිනය, පැරිස්, ලන්ඩන් හා බ්‍රසල්ස් වෙතින් මතුවන නරුම ප්‍රචාරය කම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කල යුතු ය.

එක්සත් ජනපදයේ සහාය ඇතිව ජර්මනියේ ප්‍රධානත්වයෙන් යුරෝපා සංගමය, සයිප්‍රසය තුල අර්බුදය ඩැහගෙන ඇත්තේ, දුර්වල තරඟකරුවෙකු විනාශ කිරීමට හා ගෝලීය මූල්‍ය වෙලඳපොලවල් තුල තම පාලනය තහවුරුකර ගැනීමට ය. ඇපදීමේ අර්බුදය කඩා වැදීමට පෙර සතිවල දී සයිප්‍රසයෙන් තම මුදල් පිටමං කල රුසියානු කතිපයාධිකාරීන් හා බදු පැහැර හරින්නන්ගෙන් වාසි ලබා ගැනීමට යුරෝපීය හා ඇමරිකානු බැංකු ඉදිරිපත්ව සිටියි.

සයිප්‍රසයේ, යුරෝපයේ හා ලෝක ආර්ථිකයේ සම්පත් කම්කරු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට යටත් කිරීමට සටන් වදින කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලයකට පමන යි, මූල්‍ය කතිපයාධිකාරය සතු ධනය අත්පත්කරගත හැක්කේ. මීට පෙර සයිප්‍රස් බැංකු තුල පවත්වාගෙන ගිය මුදල් ඩැහැ ගැනීමේ යුරෝපා සංගමයේ පියවර, මූල්‍ය ප්‍රාග්ධනයේ ඉතාමත් බලගතු කොටස්වල අවශ්‍යතාවන්ගේ තුනී ලෙස වෙස්වලා ගත් හොරකමකට වඩා අඩු දෙයක් නොවේ.

ජර්මනියේ සූඩේයට්ෂේ සෙයිටුන්ග් පත්‍රය කෙලින් ම පිලිගත් පරිදි, “ඉසුරුමත් බව වර්ධනය කිරීම හා අනොන්‍ය ස්ථාවරත්වය සඳහා වූ සහෝදරකම ලෙස පැවතීම යුරෝ කලාපය විසින් නවතා දමා ඇත්තේ බොහෝ කලක සිට ය. එයම පරිවර්තනය වී ඇත්තේ සෑම එකෙක් ම තමන්ගේ ම දියුනුව හා පැවත්ම සඳහා සටන් කරන නිපුන අවි හරඹකරුවන්ගේ ගුරුකුලයකට ය.”

යුරෝපය පුරා සිදුවෙමින් පවතින ම්ලේච්ඡ ප්‍රහාරය ජාතික පදනමක් මත පරාජය කල නොහැක. ග්‍රීසිය හා ඉතාලිය තුල හා වෙනත් තැනක එහි සමානයන් මෙන් සයිප්‍රස් ධනේශ්වරය ද සැමදා අතිශයින් ම ප්‍රතිගාමී කාර්යභාරයක් ඉටු කර ඇත. ත්‍රිත්වයේ සැලැස්මට ඔවුන් ගෙන ආ විකල්පය, විශ්‍රාම වැටුප් අරමුදල් හා කුඩා තැන්පත් කරුවන් පීරීම මගින් සුපිරි පොහොසතුන් රැකීම හා දූපතේ බදු ක්ෂේමභූමි තත්වය ආරක්ෂා කිරීමය.

මෙම සිදුවීම් පැහදිලිව ම අවධාරනය කරන්නේ, ලෝකය ග්‍රහනයට ගන්නා ආර්ථික අර්බුදයට ධනවාදය යටතේ ප්‍රජාතන්ත්‍රවාදී, ශිෂ්ට හා ප්‍රගතිශීලී විසඳුමක් ඒකාන්තයෙන් ම නොමැති බව යි.

සයිප්‍රසය මත පටවන පියවරයන්ට එරෙහි අත්‍යාවශ්‍ය මූලධර්මාත්මක විරුද්ධත්වය, කම්කරු පන්තියේ අවශ්‍යතාවයන් මත මිස, අධිරාජ්‍යවාදී හොරුන්ගේ කිසි ම තරගකාරී කල්ලියක් මත පදනම් නොවිය යුතු ය. තම පන්ති අවශ්‍යතාවයන් පැටවීමට ධනේශ්වරයට ජාත්‍යන්තර සංවිධාන රූපාකාරයන් තිබෙනවාක් මෙන් ම කම්කරු පන්තිය ද තමන්ගේ ම සංවිධාන වර්ධනය කල යුතු ය.

මෙහි අර්ථය වන්නේ යුරෝපීය සමාජවාදී සමූහාන්ඩුවකට සටන් කිරීම යි. මහද්වීපය පුරා කම්කරු පන්තියේ එක්සත් විප්ලවවාදී ප්‍රහාරයකින් හා අව්‍යාජ ලෙස සමස්ත ධනේශ්වරය ම අස්වාමික කිරීමෙන් පමනක් යුරෝපීය ආර්ථික විනාශය නැවත්විය හැක.

ජූලි හයිලන්ඩ්

Share this article: