ලංකාවේ ව්‍යාජ වම්මු ඇමරිකාව ඉදිරිපත් කල බොරු මානව අයිතිවාසිකම් යෝජනාවට සහය දෙති

Sri Lankan pseudo lefts back bogus US calls for human rights

නන්ද වික‍්‍රමසිංහ විසිනි, 2013 අප්‍රේල් 13

ශ‍්‍රී ලංකාවේ නව සම සමාජ පක්ෂය (නසසප) නමැති ව්‍යාජ-වාම කන්ඩායම යලිත් වරක් සිය අධිරාජ්‍ය ගැති ස්වභාවය ද පාලක පන්තියේ තොල්කයෙකු ලෙස සිය භූමිකාව ද විදහා දක්වා තිබේ. ගිය මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මන්ඩලයේදී සම්මත කෙරුනු ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය පිලිබඳ යෝජනාව ක‍්‍රියාත්මක කරන ලෙස ජනාධිපති රාජපක්ෂට බලකිරීම සඳහා එය මෙරට පැරනිම ධනපති පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය (එ.ජා.ප.) සමග එකතුවී සිටී.

එක්සත් ජනපද යෝජනාව රාජපක්ෂ ආන්ඩුවට කියා සිටින්නේ රාජපක්ෂ ආන්ඩුව සිය යුද අපරාධ වසන් කිරීම සඳහා පත් කරගත් උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ යෝජනා ඉෂ්ට කරන ලෙස ය.

කොලඹ ආන්ඩුව බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව කරගෙන ගිය වර්ගවාදී යුද්ධයේ දී දෙමල සිවිල් වැසියන් දස දහස් ගනන් මරාදැමීය. ඇමරිකාව මානව හිමිකම් මන්ඩලයේදී සම්මත කරගත් යෝජනාව කියාසිටින්නේ ආන්ඩුව ම සිය මානව හිමිකම් උල්ලංඝනයන් පිලිබඳ "විශ්වසනීය පරීක්ෂනයක්” පවත්වා ගත යූතු ය කියාය.

මෙම යෝජනාවට ලංකාව තුල මූලික නීතිමය අයිතීන් ද ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ද ආරක්ෂා කිරීමත් සමග මෙලෝ සම්බන්ධයක් ඇත්තේ නැත.

කොලඹ පාලනය ඇමරිකා එක්සත් ජනපදයේ ආධාරයෙන් ගෙන ගිය යුද්ධය 2009 මැයි මාසයේ දී එල්ටීටීඊයේ පරාජයෙන් කෙලවර විය. වොෂිංටනය එවක පටන් කර ඇත්තේ රාජපක්ෂ ආන්ඩුව චීනය සමග ඇති කොට ගෙන තිබෙන සමීප සම්බන්ධකම්වලින් ඈත් කරගැනීම සඳහා බලපෑම කිරීමට, එම ආන්ඩුව හමුදාව ලවා කරවන ලද මෘග ක‍්‍රියා පාවිච්චි කිරීම ය. මාර්තු 14 දා, විපක්ෂයේ විරෝධය (වි.වි.) නම්ලත්, නසසප ද ඇතුලත් එජාප සන්ධානය ජනාධිපති රාජපක්ෂට යැවු ලිපියක් මගින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාව විසින් මතු කෙරෙනු ඇති "ගැටලු වලට මහුන දීම” සඳහා සර්ව පාක්ෂික සම්මේලනයක් කැඳවන ලෙස කියා සිටියේය.

මෙම සන්ධානයට නසසපය ට අමතරව තවත් ව්‍යාජ වාම පක්ෂයක් වන එක්සත් සමාජවාදී පක්ෂය (එසප) ද දෙමල ධනපති පක්ෂ වන දෙමල ජාතික සන්ධාන ය ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුන ද නව සිංහල උරුමය සහ මවබිම් ආරක්ෂක සංවිධානය යන සිංහල අන්තවාදී සංවිධාන දෙකක් ද ඇතුලත් ය.

මාර්තු 18 දා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සර්ව පාක්ෂික සමුලුවක් පිලිබඳ සිය යෝජනාව පැහැදිලි කිරීම සඳහා පුවත්පත් සාකච්ඡාවක් කැඳවීය.

එහිදී ඇමරිකානු-ප‍්‍රධාන මැදිහත් වීමක් පිලිබඳව විවෘතව අනතුරු හැඟවූ හෙතෙම මානව හිම්කම් යෝජනාව සම්මතවීමත් සමග "ලංකාව, සිරියාව සහ ලිබියාව ට සමාන තත්වයක ට පත්විය හැකි” යි අනතුරු හැඟවීය. "එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාව සම්මත වීමෙන් ඉස් මතු කෙරෙනු ඇති තත්වයන්ට මුහුන දීම සඳහා සංයුක්ත පියවරයන් සකසා ගැනීමට සර්ව පාක්ෂික සමුලුවක් පැවත්වීම මගින්” මෙම තත්වය මගහැර ගැනීමට ආන්ඩුවට හැකි වෙතැයි ඔහු කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ යෝජනාව මගින් රාජපක්ෂට බල පා, වික‍්‍රමසිංහ ගේ පක්ෂය ද සමග සහයෝගීව ලංකාව වොෂිංටනය සමග වඩා සමීප සම්බන්ධතාවක ට රාජපක්ෂව නමා ගැනීමට වික‍්‍රමසිංහ පැහැදිලිව ම උත්සාහ දරමින් සිටී.

ඇමරිකාව ප‍්‍රධාන බල කඳවුර ලිබියාවේ ගඩාෆි තන්ත‍්‍රය ප‍්‍රචන්ඩ ලෙස පෙරලාදැමීම ද සිරියාවේ බෂීර් අල් අසාඩ් ගේ ආන්ඩුව පෙරලාදැමීමට දැන් ගෙනයන ප‍්‍රචන්ඩ මෙහෙයුම් ද ඉදිරිපත් කිරීමෙන් වික‍්‍රමසිංහ උත්සාහ දරන්නේ, දැනට ලංකාවට එවන් තර්ජනයක් නොතිබුනත් තත්වය වෙනස් විය හැකි බව අවධාරනය කිරීමට ය.

එම පුවත් සාකච්චාව ම ඇමතූ නසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්න අවධාරනය කලේ රාජපක්ෂ උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ යෝජනා ඉටු කරන බවට "ජාත්‍යන්තර ප‍්‍රජාවට” - ඒ කියන්නේ ඇමරිකන් අධිරාජ්‍යවාදය සහ එහි සගයන්ට - දී ඇති පොරොන්දු වහා ඉටු කලයුතු බව ය.

ආර්ථික කටයුතු පිලිබඳ ඇමති බැසිල් රාජපක්ෂ විපක්ෂය සමග කුමන හෝ එකඟතාවයකට එලඹීම ප‍්‍රතික්ෂේප කලේ ය. දැනට ආන්ඩුව කරන්නේ, තමන් ජාත්‍යන්තර කුමන්ත‍්‍රනයක ගොදුරක්ව ඇතැ යි ඉරියව් පෑමට ඇමරිකාව මුල්තැනගත් මානවහිමිකම් ව්‍යායාමය යොදා ගැනීම ය. එහෙත් ආන්ඩුව කෙලින්ම ඇමරිකානු අධිරාජ්‍යවාදය නම් නොකිරීමට වග බලා ගනී.

එවන් රංගනයක එල්ල ය නම් ආන්ඩුව විසින් පටවනු ලබන කප්පාදු කෙරෙහි ද ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් කෙරෙහි ද කම්කරු පන්තිය තුල ඇවිලෙන කෝපය ඉවතට හරවා යැවීම ය.

වික‍්‍රමසිංහ සහ කරුනාරත්න කෙලින්ම ඇමරිකා එක්සත් ජනපදය සමග පෙල ගැසෙමින් මෙම දුර්යත්නයේ යෙදී සිටිති. මාර්තු 27 වන දා කරුනාරත්න ඬේලි මිරර් පුවත් පතට ලියු ලිපියක ඇමරිකාව කරන බලපෑම අලුතින් සම්මත යෝජනාව ද සමග වැඩිවී ඇති බව පෙන්වා දෙමින් "ඉක්මනින්ම ක‍්‍රියාකිරීමට අසමත් වීම දැඩි ව්වේචන පමනක් නොව තහන්චි වලට ද මගපාදනු ඇතයි” අනතුරු හැඟවිය.

තමන් ඉඳ හිට කරන "විරෝධතා ක‍්‍රියා නොතකා” තමන් හා එක් පෙරමුනක ට එලඹෙන ලෙස රාජපක්ෂගෙන් ඉල්ලා සිටි කරුනාරත්න, ”උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ පාඩම් ක‍්‍රියාත්මක කිරීමට ආන්ඩුවට ආධාර දීමට දැන් වුවද තමන් සූදානම්” යයි ප‍්‍රකාශ කලේ ය.

රාජපක්ෂ ඇමරිකා එක්සත් ජනපදයේ අවශ්‍යතා ඉටු කිරීමට සූදානම් නම්, විරෝධතා ක‍්‍රියා පසෙක තබා, ඔහුට සහයෝගය දීමට නසසපය සහ එජාපය සූදානම් බව මින් පෙන්නුම් කරයි.

එවන් සහයෝගිත්වයකට රාජපක්ෂ කැමති නැති නම් විපක්ෂයේ පක්ෂ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කරවීම සඳහා” සියලු ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග බලමුලු ගන්වනු ඇතැ යි” කරුනාරත්න ප‍්‍රකාශ කලේ ය.

වොෂිංටනය මානව හිමිකම්වල ආරක්ෂකයෙකු යයි පින්තාරු කිරීම මගින් නසසපය විවෘතවම ඇමරිකානු අධිරාජ්‍යවාදයට සුදුහුනු ගාන්නෙකු බවට පත්ව සිටී.

ගිය දශකය තුල පමනක් වුව ඇෆ්ඝනිස්තානය සහ ඉරාකය ආක‍්‍රමනය මගින් ඇමරිකා එක්සත් ජනපදය දැවැන්ත විනාශයක් සිදුකර තිබේ, ඔබාමා ගනන් නැති ඩ්‍රෝන් යානා ප‍්‍රහාර මගින් පකිස්තානයේ දහස් ගනනක් ජනයා මරාදමා ඇත. "පාලන තන්ත‍්‍රය මාරු කරලීම” ට ලිබියාවට අතදැමූ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය දැන් සිරියාවට ද ඒ දෙය ම කිරීමට උත්සාහ කරන අතර ඉරානයට සහ උතුරු කොරියාවට එරෙහිව යුද්ධ කිරීමට අර අඳිමින් සිටී.

ඇත්තෙන් ම රාජපක්ෂ පාලනය කෙරේ ඕබාමා එල්ල කරන රාජ්‍යතාන්ත‍්‍රික පීඩනය වනාහී, චීනය ඉලක්ක කර ඔබාමා ඇරඹු ආසියා පිම්ම එක් අංගයක් පමනි. ඉතාම මෑතදී ඔබාමා පාලනාධිකාරය විසින් තහවුරු කරගෙන ඇති අයිතියක් නම් ලෝකය පුරා ඇමරිකානු පුරවැසියන් ද ඇතුලු පුද්ගලයන් කිසිදු නීතිමය පටිපාටියකින් තොරව ඝාතනය කිරීම යි.

නසසපය සහ කරුනාරත්න වේගයෙන් දකුනට පදිමින් සිටිති.

නසසප ය පෙබරවාරියේදී එජාපය සමග "අවබෝධතා ගිවිසුමක්” අත්සන් කලේ ය. එයට විවි හි තවත් පක්ෂ ද අත්සන් කලෝ ය. එහි අරමුන වුයේ ගිය වසරේ අත්සන් කල සන්ධානය තවදුරටත් තහවුරු කිරීමයි.

නසසපය මෙම ගිවිසුමෙන් ඒකාධිපති විධායක ජනාධිපති ධුරය අහෝසි කලයුතු ය යන ඉල්ලීම පවා අතහැර ශ‍්‍රී ලංකාවේ ධනේශ්වර ව්‍යවස්ථාව පවත්වාගෙන යාමට සපථ කලේ ය. එය සිංහල දෙමල ධනපති පන්තීන් අතර බලය බෙදීම යුද්ධයට ”දේශපාලන විසඳුමක්" ලෙස පිලිගති.

ගිවිසුම අනුව එයට සම්බන්ධ පක්ෂ හා සාමාජිකයන් සන්ධානයේ නායකයන් විවේචනය කිරීමෙන් වැලකිය යුතු ය.

"අප ස්වයං විනයක් හා වාරනයක් පිලිබඳ වැටහීමකින් වැඩ කල යුතු ය” යි එය කියා සිටියේ ය. මෙම විනය සහ ක‍්‍රියාමාර්ගය පිලිගැනීම නිසැකවම තහවුරු කරන්නේ නසසපය කොලඹ දේශපාලන සංස්ථාපිතයට එකාග‍්‍රවීම යි.

වික‍්‍රමසිංහ ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු යයි ප‍්‍රශස්ති ගයන කරුනාරත්න එජාපය සමග සන්ධානය ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කරනු ඇති යයි කියා සිටින්නේ බලයේ සිටිද්දී, යුද්ධය දියත්කොට ක‍්‍රියාත්මක කිරීම මගින් ද දේශපාලන විරෝධය මෘග ලෙස මර්දනය කිරීමෙන් ද එජාප ය ඉටු කල භූමිකාව යට ගසමිනි. නසසපය කම්කරුවන් සහ තරුනයන් යටත් කිරීමට උත්සාහ කරන්නේ මෙම ධනේශ්වර පක්ෂයට ය. එහි අරමුන වන්නේ කම්කරු පන්තිය සිය අවශ්‍යතාවන් සඳහා කරන මොනම ස්වාධීන අරගලයක් වුව වලක්වාලීම ය.

ලිබියාව සහ සිරියාව ආශ‍්‍රිතව වික‍්‍රමසිංහ කරන තර්ජන වලට කරුනාරත්න එක්වීම පුදුම නැත.

නසසපයේ ජාත්‍යන්තර සහෝදරවරුන් වන ප‍්‍රන්සයේ නිව් ඇන්ටි-කැපිටලිස්ට් පාටි වැනි පක්ෂ අධිරාජ්‍යවාදීන්ගේ නව යටත් විජිත ආක‍්‍රමනයන්ට මුලුමනින්ම සහය දෙමින් එවන් ආක‍්‍රමන මානව හිමිකම් සුරැකීම සඳහා යයි ව්‍යාජ ලෙස පින්තාරු කර ඇත.

අධිරාජ්‍යවාදය ද එහි ඒජන්තයන් වන එජාපය ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරතැයි යන නසසපයේ ප‍්‍රතිගාමී බේගල් කම්කරුවන් සහ තරුනයන් පිලිකුලෙන් බැහැර කල යුතුය.

දෙමල ජනයා පීඩනයට පත් කිරීම නවතාලීම ද ඇතුලු සියලු ප‍්‍රජාතන්ත‍්‍ර හා නෛතික අයිතීන් තහවුරු කරගත හැක්කේ අධිරාජ්‍යවාදයට ද රාජපක්ෂ ආන්ඩුවට ද එරෙහිව ලෝක සමාජවාදය උදෙසා කෙරෙන අරගලයේ කොටසක් ලෙස පමනි.

සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන් මුලුමහත් ඉන්දියානු උප මහාද්වීපයේ ද ඇමරිකා එක්සත් ජනපදයේ ද යුරෝපයේ ද කම්කරු පන්තිය සමග ජාත්‍යන්තරව එක්සත් වෙමින් ශ‍්‍රී ලංකා සහ ඊලම් හි ඒකාබද්ධ සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා ද දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා ද සටන් වැදිය යූතු ය. සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉදිරිපත් කරන ඉදිරි දර්ශනය එයයි.

Share this article: