බොදු බල සේනා වේ ප‍්‍රතිගාමී දේශපාලනය

වසන්ත රූපසිංහ විසිනි, 2013 අපේ‍්‍රල් 3

අන්තවාදී බෞද්ධ භික්ෂු කල්ලියක් විසින් නායකත්වය දෙන බොදු බල සේනා (බොබසේ) සංවිධානය දියත් කල මුස්ලිම්-විරෝධී වාර්ගික හා ආගමික ප‍්‍රකෝපකරනය, මුස්ලිම් ජාතිකයන් සතු ව්‍යාපාරවලට පහර දෙන මට්ටම දක්වා දැන් උත්සන්න කර තිබේ.

මාර්තු 28 වෙනි දා බෞද්ධ භික්ෂූන් ද ඇතුලත් සිය ගනනක මැර නඩයක් පැපිලියාන සුනේත‍්‍රා දේවි පිරිවෙනට විරුද්ධ පැත්තේ පිහිටා ඇති මුස්ලිම් ව්‍යාපාරිකයන්ට අයත් පැෂන් බග් නිමි රෙදි අලෙවිහලට හා එමරල්ඩ් යන්ත්‍රෝපකරන ආයතනයට පහර දී අලාභ හානි කිරීම එවන් එක් මෑත උදාහරනයක් පමනක් වන අතර තවත් එවැනි සිදුවීම් ගනනාවක් දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් වාර්තා වී තිබේ.

කලම්බු ටෙලිග‍්‍රාප් වෙබ් අඩවිය මාර්තු 31 පලකල පුවතකින් කියවුනේ, දකුනු පලාතේ ඇල්පිටිය නගරයේ පිහිටා ඇති මුස්ලිම් ව්‍යාපාරිකයන් 13 දෙනෙකුට ම තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන ගිය ගොඩනැගිලිවලින් ඉවත්වෙන ලෙස බල කෙරී ඇති බව යි. එම ව්‍යාපාරික ස්ථානවල ගොඩනැගිලි හිමි සිංහලයන්ට ඒවා ආපසු පවරා ගන්නා ලෙස බලකොට තිබීම මීට හේතුව යි.

මුස්ලිම්-විරෝධී මෙහෙයුමේ නියැලෙන දුසිම් ගනනක් වෙබ් අඩවි අතර එකක් වන ''ඇතුගල්පුර සිංහ පැටව්'' නම් කල්ලියක් විසින් පල කර තිබූ ඡායාරූප කීපයක් ටෙලිග‍්‍රාප් එදින ම උපුටා පල කර තිබුනි. ඒවායේ සටහන්ව පැවතියේ, මුස්ලිම් රෙදිපිලි අලෙවිසැලක් වන නෝලිමිට් ආයතනයෙන් රෙදි මිලදී ගත් යුවලකට කුනු බිත්තර ප‍්‍රහාරයක් එල්ල කර තිබූ ආකාරය යි.

එම පින්තූර සමඟ ප‍්‍රකෝපකාරීන්ගේ තර්ජනයක් ද පල කර තිබිනි: ''නෝලිමිට් පැෂන්බග් ගියත් ගහනවා...බෑග් අතේ තිබ්බත් ගහනවා..ඒ විතරක් නෙවෙයි පොලිස් ආරක්ෂාව කොච්චර තිබ්බත් ජාතිය පාවා දෙන එවුන්ට අද කුනු බිත්තර හෙට අසූචි.." මෙකී තර්ජන හා පින්තූර ප‍්‍රතිරාව නංවන්නේ බොබසේ ක‍්‍රියාවන් හා අදහස්වල ක‍්‍රියාකාරී කටයුතු යි.

බොබසේ මෙම අන්තවාදී ප‍්‍රසිද්ධ මෙහෙයුම්වලට මුලපිරූ, පාරිභෝගික භාන්ඩවලට ''හලාල්" ලාංඡනය යෙදීමට එරෙහි උද්ඝෝෂනය, එම සහතිකය නිකුත් කල සමස්ථ ලංකා ජමිය්යතුල් උලමා සංවිධානය විසින් මාර්තු 11 වෙනි දින ඉවත් කර ගැනීමත් සමඟ නතර කෙරුනු බව බොබසේ ප‍්‍රකාශ කලත් දැන් වඩාත් ප‍්‍රචන්ඩ ස්වරූපයන්ගෙන් ඉදිරියට ගෙන යමින් ලැබීම මෙම නව සිදුවීම්වලින් පෙන්නුම් කෙර්.

මාර්තු 17 වෙනි දින මහනුවර දී පැවැත්වූ ප‍්‍රසිද්ධ සමුලුවේ දී බොබසේ ප‍්‍රකාශ කලේ, හලාල් ප‍්‍රශ්නය මත ''දැවැන්ත ජයග‍්‍රහනයක්" තමන් ලබා ගත් බවත් ඒ සඳහා තමන්ට සහය වූ මැති ඇමැතියන්ටත්, විශේෂයෙන් ම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂටත් ස්තුතිවන්ත වන බව යි. (මේ තොරතුරු උපුටා ගැනුනේ, යූ ටියුබ් වෙබ් අඩවියේ පල කර තිබූ අදාල රැස්වීමේ වීඩියෝ පටවලිනි. මෙතෙක් බොබසේ මෙම වාර්තාවල් ප‍්‍රතික්ෂේප කර නැත).

බොබසේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර, එම සංවිධානයට සමාන ආකාරයෙන් මුස්ලිම්-විරෝධී ප‍්‍රකෝපකරනවල යෙදෙන ජාතික හෙල උරුමයටත්, ''සිංහල රාවය" වැනි සංවිධානවලටත් ඒ වෙනුවෙන් ස්තුති කලේ ය. ''සියයට සියයක් හලාල් නතර කරන බවටත් වෙලඳ සැල්වලට ගොස් හලාල් නිෂ්පාදන තිබේද යන්න පිලිබඳ විමර්ශනය කිරීමට පොලිස් කන්ඩායම් යොදවන" බවටත් ආරක්ෂක ලේකම්වරයා පොරොන්දුවූ බැව් ද ඥානසාර හෙලි කලේ ය. අන්තර් ජාලය පුරා මුස්ලිම්-විරෝධී වාර්ගික ප‍්‍රකෝපකරනයන් වපුරන ෆේස්බුක් කල්ලිවලට ද ප‍්‍රශංසා කල හෙතෙම බොබසේ විවේචන කර ඇති ගල්ෆ් නිව්ස්, ෆිනෑෂල් ටයිම්ස් හා ඒෂියන් ටි‍්‍රබියුන් යන මාධ්‍යවලට එරෙහිව බුරා පැනීමට ද අමතක නොකලේ ය.

"රට-දැය" වෙනුවෙන් නිර්මානකරනයේ නියැලීමට හා සාහිත්‍ය යොදා ගන්නා ලෙසට කලාකරුවටත් මාධ්‍යවේදීන්ටත් නිර්දේශ කල ඥානසාර, ජනාධිපති රාජපක්ෂ යුද්ධය යලි දියත් කල සමයේ දී ''සිංහල රනවිරුවන්ගේ, දේශපේ‍්‍රමී බලවේගවල, හාමුදුරුවන්ගේ කොඳු නාරටි කඩන්න පුරහඳ කලුවර, වගේ ඉතාමත් තුච්ඡ කලා කෘති බිහිකරලා දෙමල බෙදුම්වාදී ත‍්‍රස්තවාදීන්ගේ මනෝ විද්‍යාත්මක මෙහෙයුම ඉෂ්ට කිරීම" පිලිබඳව එහි අධ්‍යෂකවරයා ගර්හාවට ලක් කලේ ය. බොබසේ පිලිබඳ ඉඳ හිට විවේචන ඉදිරිපත් කරන ආන්ඩුවේ ඇතැම් ඇමැතියන් පිලිබඳව සඳහන් කරමින් ''...බෞද්ධ බලවේගයට එරෙහිව වින කටින්න, බොරු වලවක් කපන්න, අවලාද නගන්න, කට කැඩිච්ච කතා කියන්න ආන්ඩු පක්ෂයේ කවුරු හරි වල් නරි සැරසෙනවා නම් ජනාධිපතිතුමාට අපි කියනවා... බැඳලා දාන්න මේ සත්තු..," යැයි බොබසේ මහලේකම් ඉල්ලා සිටියේ ය. ''සමාජ බලවේග විසින් ඔවුන්ට දෙනු ඇති දඬුවම් කටකැඩිච්ච කතාවලට වඩා බලවත්" හෙයින් විපක්ෂයේ මන්ත‍්‍රීවරු ද එය සිහිතබා ගත යුතුයැයි හෙතෙම ගර්ජනය කලේ ය.

''සිංහල ජාතිය වඳ බවට පත් කිරීමට" මුස්ලිම් ව්‍යාපාරික ආයතන කටයුතු කරන්නේ යැයි පතුරුවා තිබූ පදනම් විරහිත කතාවන්ට තවත් විෂක් එක් කරමින් ඥානසාර කීවේ, මුස්ලිම් ව්‍යාපාරික ආයතනවල සේවය කරන ''සිංහල තරුනියන්ට" මෙම ආයතන ''ගනිකා මඩම්" බවට පත් කර ඇති බව යි. මින් මත්තට මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවල සිංහල තරුනයින් පමනක් සේවයට බඳවා ගන්නා ලෙසත්, මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට පෝය දිනවල දී දවස ම නිවාඩු දී පන්සල් යාමට එහි වැඩ කරන සේවකයන්ට අවස්ථාව සලසන ලෙසත් මෙම භික්ෂුව තර්ජනාත්මක ස්වරයෙන් කියා සිටියේ ය. පැෂන් බග් ආයතනයට පහරදුන් දාමරිකයන් නිසැකව ම මෙවැනි කතා අසා තිබුනාට සැක නැත.

ඔහුට පසුව කතා කල පැපිලියාන සුනේත‍්‍රා දේවි පිරිවෙනේ විහාරාධිපති මැදගොඩ අභයතිස්ස භික්ෂුව, මුස්ලිම් වාර්ගික ප‍්‍රකෝපකරනයන් තවදුරටත් ඇවිස්සීය. මුස්ලිම් කාන්තාවන් හිස පලඳන පර්දාව ගලවා දැමිය යුතුයැයි හඬ තැලූ මෙම භික්ෂුව, ''මේක අරාබිය ද? මේ සිංහල බෞද්ධ රටේ මේවා අතුගාලා දාන්න බැරිනම් මොකටද අපි ඉඳලා?" යැයි ඇසී ය.

මුස්ලිම්වරුන්ට ඉඩම් නොවිකුනන ලෙසත්, මුස්ලිම්වරුන්ගේ ස්ත‍්‍රීන් දරුවන් ''වැඩියෙන්'' බිහිකිරීම පිලිබඳව නින්දිත ආකාරයෙන් කතා කල අභයතිස්ස, සිංහල වාර්ගිකයන්ගේ ඉඩම් රැකීමට හා ''සිංහල ජාතිය රැකීමට ඇති තරම් දරුවන් හදන" ලෙසත් ඔවුන් පෝෂනය කිරීමේ කර්තව්‍ය තමන් (භික්ෂූන්) බාර ගන්නා බවත් ප‍්‍රකාශ කලේ ය.

ජනාධිපති රාජපක්ෂ සමඟ බොබසේට ඇති සම්බන්ධතාව ද ඔහුගේ කතාවේ දී හෙලි කල අභයතිස්ස, ''අපි ජනාධිපතිට කිව්වා ඔබතුමා රට බේරුවා. හැබැයි ජාතිය බේරුවේ නෑ, ඒ නිසා ඔබතුමාගේ සහය ඕන කියලා. එතුමාගේ සම්පූර්න සහය අපට තියෙනවා. බය වෙන්න එපා," යැයි කීවේ ය. බෞද්ධ භික්ෂූන් මුස්ලිම් හා හින්දු අය සමඟ සමගියෙන් කටයුතු කිරීමට රුදුරු ලෙස විරුද්ධත්වය පල කරන බොබසේ එය ගර්හාවට ලක් කලේ ''සර්ව ආගමික ගුන්ඩුව" ලෙස විස්තර කරමිනි.

ඉතා ම මෑතක දී පැවැති තවත් ප්‍රසිද්ධ රැස්වීමක දී ලංකාවට හෙරොයින් හා තවත් මත්ද්‍රව්‍ය ගෙන එන ප‍්‍රධාන ජාවාරම්කරුවන් 11දෙනාගෙන් නවදෙනෙක් ම මුස්ලිම් ජාතිකයන් යැයි කියමින් බොබසේ තවත් ගලක් ගැසුවේ ය. කලුතර සිය පානදුර දක්වා ප‍්‍රදේශයේ ''සිංහල දරුවන් 390 දෙනෙකු මුස්ලිම් බවට හරවා ඇති බව" ද එහි දී කියවිනි.

පර්දාව පැලඳි මුස්ලිම් යුවතියන්ට කෙල ගැසීම, සමහර අවස්ථාවල දී පර්දාව බලාත්කාරයෙන් ගැලවීම හා අසභ්‍ය වචනයෙන් බැන වැදීම, මුස්ලිම්වරුන් පූජනීය ලෙස සලකන සංකේත හා පිලිවෙත් ගර්ගාවට හා පිලිකුලට ලක් කිරීම රටේ නොයෙක් තැන්වලින් වාර්තා වෙමින් තිබේ. එවැනි එක් බරපතල සිදුවීමක් වූයේ, දකුනු පලාතේ දික්වැල්ල ප‍්‍රදේශයේදී පර්දාව පැලදි මුස්ලිම් යුවතියන් තිදෙනෙකුට පහර දී තුවාල සිදුකිරීමත් එවැනි පහරදීමක් ගැන ''ප‍්‍රමානවත් සාක්ෂි නැත" යන බොරු හේතුව යොදා ගනිමින් සිද්ධිය පිලිබඳ පැමිනිල්ලක් බාර ගැනීම පොලිසිය විසින් ප‍්‍රතික්ෂේප කර තිබීමත් ය.

මහනුවර රැස්වීමට පෙර දිනයේ දී -යටත් විජිත සමයේ මුස්ලිම් ජාතික ප‍්‍රතිසංස්කරනවාදියෙකු ලෙස ප‍්‍රකට -සිද්දි ලෙබ්බේ නමින් නම් කර තිබූ මාවතක නාම පුවරුවට දාමරික පිරිසක් විසින් කලුතෙල් වත්කර ගලවා විසි කර තිබුනි. මේ සෑම සිද්ධියක දී ම පොලිසියේ හැසිරීම බොබසේ සංවිධානයට හිතකර අයුරින් ක‍්‍රියාත්මක වී තිබීම මෙම සංවිධානය ලබන රාජ්‍ය අනුග‍්‍රහයට දෙස් දෙන තවත් නිසැක සාක්ෂියකි.

මෙම සංවිධානයට ආන්ඩුවේ සහය ලැබෙන බවට තහවුරු කෙරුනු තවත් ප‍්‍රකට උදාහරනයක් වූයේ, ජනාධිපති රාජපක්ෂගේ මර්දන හස්තය ශක්තිමත් කිරීම සිය මෙහෙවර කොටගෙන සිටින, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විවෘත ම බොබසේ වග වර්නනා කරමින් එහි කටයුතුවලට ක‍්‍රියාශීලිව සහයෝගී වීම මඟිනි. බෞද්ධ නායකයින් පුහුනු කිරීමට යැයි කියාගනිමින් ගාල්ලේ ඉදිකල බොබසේ නායකත්ව පුහුනු ඇකඩමිය මාර්තු 09 වෙනි දින විවෘත කිරීමේ උලෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එයට සම්බන්ධ වූ ආරක්ෂක ලේකම්, මෙය ''කාලීනව වැදගත් ජාතික කර්තව්‍යයක්" බවත් ''ජාතික වසයෙන් වැදගත් කර්තව්‍යයක් ඉටුකර මෙම භික්ෂූන් කිසිවකට බිය වීමට හෝ සැකකිරීමට අවශ්‍ය නැති" බවත් ප‍්‍රකාශ කර තිබින. තමන් ''නිල නොවන පොලිසියක්" බව එලිපිට ප‍්‍රකාශ කරමින් දාමරික ක‍්‍රියාවල නිරත සංවිධානයකට ලබා දුන් එම සහතිකයෙන් පොලිසියට ඉඟි කලේ මෙම සංවිධානයට අත නොතබනු යි යන පනිවිඩය බව පැහැදිලි ය.

මේ වනවිට මෙම සංවිධානය ගුරුකොට ගනිමින්, සිංහල රාවය, රාවනා බලකාය වැනි මුස්ලිම්-විරෝධී වර්ගවාදී සංවිධාන 20කට නොඅඩු සංඛ්‍යාවක් පවතින බවට කෙරුනු බුද්ධි අංශ මූලාශ‍්‍රයක් මාර්තු 31 වෙනි දා සන්ඩේ ටයිම්ස් පුවත්පත උපුටා දැක්වූවේ ය.

ආන්ඩුව මෙම සංවිධානය කෙරේ දක්වන සහනශීලි ප‍්‍රතිචාරය සැමවිට ම කැපී පෙනේ. උදාහරනයක් ලෙස පැෂන් බග් ආයතනයට කෙරුනු ප‍්‍රහාරයට පසු දිනයේ දී, ඒ පිලිබඳ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවන්නැයි වාර්ගික මුස්ලිම් කොන්ග‍්‍රසයේ නායක හා අධිකරන ඇමැති රාවුෆ් හකීම් ජනාධිපතිවරයාගෙන් ඉල්ලූ විට, ප‍්‍රහාරය මුස්ලිම්වරුන්ට එරෙහිව එල්ල කෙරුනක් නොව මුස්ලිම් තරුනයෙකු හා සිංහල තරුනියක අතර පැවැති පෞද්ගලික සම්බන්ධයක් මුල්කරගමින් සිදුවූවක් යැයි කියමින් හකීම්ගේ ඉල්ලීම ගසා බසා දමා තිබීම සඳහන් කල හැකි ය.

රටතුල ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තලා දැමීම සාධාරනීකරනය කිරීම ''අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රන" හා "එල්ටීටීඊ ත‍්‍රස්තවාදය යලි හිස එසැවීම" යනාදිය ගැන දිවා රෑ ජපකරන රාජපක්ෂ ආන්ඩුව බොබසේ ත‍්‍රස්ත ක‍්‍රියාකාරකම්වලට නිදහසේ ක‍්‍රියාත්මක වීමට ඉඩ දී ඇත්තේ, ඉදිරියේ පුපුරායාමට නියමිත පන්ති අරගල කුඩු පට්ටම් කිරීමට යොදාගත හැකි ෆැසිස්ට් මුගුරක් ලෙස බොදු බල සේනා සංවිධානය සලකන නිසා ය.

Share this article: