බියගම වෙලඳ කලාප කම්කරුවන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරයි

උදේශිකා රොද්‍රිගෝ විසිනි, 2013 අපේ‍්‍රල් 6

වැඩිවන උද්ධමනය හේතුවෙන් වැටුප්වල සැබෑ වටිනාකම් අඩු වී යාමකට ද කර්මාන්ත ශාලා තුල දැඩි සේවා කොන්දේසිවලට ද මුහුන දී සිටින සිට ශී‍්‍ර ලංකාවේ නිදහස් වෙලඳ කලාප (නිවෙක) කම්කරුවන් තම රැකියා අහිමි වීමේ බලගතු තර්ජනයට මුහුන දී සිටී. පසුගිය දශකය තුල නිවෙක තුලත් ඉන් පිටතත් ඇඟලුම් කර්මාන්ත ශාලා සිය ගනනක් වසා දමා දහස් ගනනකට රැකියා අහිමි කර ඇත.

2008 න් ඇරැඹි ලෝක ආර්ථික අර්බුදයේ ප‍්‍රතිඵලයක් ලෙස ලංකාවේ ඇඟලුම් සඳහා මූලික වෙලඳ පොලවල් වන ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපය විසින් ආනයනය කල ඇඟලුම් ප‍්‍රමානය පහත වැටුනි. අර්බුදය තවත් උග‍්‍ර කරමින්, ලංකාව තම මූලෝපායික සැලසුම්වලට වඩ වඩාත් නතු කර ගැනීම සඳහා යුරෝපා සංගමය විසින් 2010 අගෝස්තුවේ දී ජීඑස්පී+ සහනය කපා හරින ලදි. ඉහත දී ජීඑස්පී+ යටතේ, යුරෝපියානු වෙලඳ පොල සඳහා බදු සහන ලබමින් ඇඟලුම් අපනයනය කල හැකි විය.

මෙහි ප‍්‍රතිඵලයක් ලෙස, මෑත අවුරුදුවල දී රැකියා 217,000ක් අහිමිකරමින්, 180කට වඩා වැඩි ඇඟලුම් කම්හල් ප‍්‍රමානයක් වැසී ඇති බව වාර්තා වේ. 2000 දී 835ක් වූ කම්හල් ප‍්‍රමානය, 2008 වන විට 300 දක්වා අඩුව තිබේ. 2000 දී දශ ලක්ෂයක් වූ රැකියා ප‍්‍රමානය, මේ වන විට දෙලක්ෂ අසූ තුන් දහස දක්වා පහත බැස ඇත.

මෑතක පලවූ සන්ඩේ ටයිම්ස් වාර්තාවකට අනුව මෙම බදු සහනය සීමා කිරීම හේතුවෙන් මල්වත්ත ක‍්‍රිස්ටල් ස්විටර්ස් හා වත්තල ෆයර්ෆොක්ස් යන ආයතන වසා දමා ඇති අතර පිලිවෙලින් සේවකයන් 1,100 ක් හා 600 ක් රැකියාවලින් දොට්ට දමා ඇත.

පසුගිය ජනවාරියේ දී ටයිම්ස් පල කල වාර්තාවකට අනුව, ඊට පෙර මාස දෙක තුන තුල කම්හල් 20ක් පමන වසා දමා සේවකයන් 1,000ක ගේ රැකියා අහිමි කර ඇති අතර කම්හල් හිමිකරුවන් හා පරිපාලකයන් වන්දි ගෙවීම පැහැර හැර රටින් පිටව ගොස් ඇත්තේ කම්කරුවන්ට හිමි ඊපීඑෆ් හා ඊටීඑෆ් ගෙවීම පවා පැහැර හරිමිනි.

ලෝක ආර්ථිකයේ භූගෝලීයකරනය යටතේ ඇමරිකාවේ හා යුරෝපයේ බහු ජාතික සංගත ආසියානු කලාපයේ ලාබ ශ‍්‍රම වේදිකාවන් කරා සේන්දු වූ තතු තුල 1977 බලයට පැමිනි එක්සත් ජාතික පක්ෂය (යූඑන්පී) හඳුන්වා දුන් විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති යටතේ පලමුව කටුනායක නිදහස් වෙලඳ කලාපය ආරම්භ කෙරින. දෙවනුව බියගම නිදහස් වෙලඳ කලාපය පිහිටුවාලූ අතර ශ‍්‍රී ලංකා ආයෝජන මන්ඩලයට අනුව නිදහස් වෙලඳ කලාප 12ක් මේ වන විට ලංකාව පුරා ස්ථාපිත කර ඇත.

ජාතික හා ජාත්‍යන්තර ආයෝජකයින්ට ලාබ ශ‍්‍රමය සූරා කෑම උදෙසා ස්ථාපිත කර ඇති මෙම කලාපයන්හි සත්‍ය තත්ත්වය සැලකූ විට ආයෝජකයන් බදුවලින් පමනක් නොව කම්කරුවන් පිලිබඳව සියලු වගකීම්වලින් ද නිදහස් කර ඇත. මෙම ආයෝජකයන් ගෙන්වා ගැනීමේ දී කම්කරුවන් සම්බන්ධයෙන් ආන්ඩුවේ නොතැකීම හා ලිහිල් භාවය කෙතෙක්ද යන්න මෑත සිදුවීමකින් පැහැදිලිව අනාවරනය වේ. කටුනායක නිවෙක යේ කොරියානු ආයෝජනයක් ලෙස පැවති ''ඒස් බි‍්‍රජ්" කම්හල වසා දැමීමෙන් පසුව සේවකයන්ට කිසිදු වන්දි මුදලක් නොගෙවූ අතර පසුව සොයා බැලීමේ දී ආයෝජන මන්ඩලයට ලබා දී ඇත්තේ ව්‍යාජ කොරියානු ලිපිනයක් බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කලේ ය.

ආරම්භයේ සිට ම නිවෙක තුල වැටුප් ඉතා සොච්චමක් වුව ද අයහපත් ජීවන තත්ත්වයන්ගෙන් යන්තමින් හෝ ගොඩ ඒමේ අපේක්ෂාවෙන් රැකියා විරහිත ගම්බද තරුන තරුනියන් බුරුතු පිටින් නිදහස් වෙලඳ කලාප තුලට ඇදී ආ අතර අවුරුදු 16-17 තරම් වයසේ සිට විවිධ වයස්වල කම්කරුවෝ මෙහි සේවය කරති.

මෙම තතු යටතේ නිවෙක කම්කරුවන් මුහුන දී සිටින අනතුරුදායක හා දුෂ්කර තත්වය පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවෝ කන්ඩායමක් පසු ගිය සති අන්තයේ බියගම නිදහස් වෙලඳ කලාපය කරා ගියහ.

රබර් ආශ‍්‍රිත ව අත් මේස් නිෂ්පාදනය කරන ඇන්සල් ලංකා ආයතනය, දුම්කොල නිෂ්පාදනය කරන ඇගියෝ ටුබැකෝ ආයතනය හා ඇඟලූම් ආශ‍්‍රිත නිෂ්පාදන සිදුකරන මාස් සමූහ ව්‍යාපාරයට අයත් කම්හල් ඇතුලු විවිධ නිෂ්පාදන ආයතන එහි ස්ථාපිත කෙරී ඇත. සමස්ත බියගම නිදහස් වෙලඳ කලාපය තුල 20,000 කට අධික කම්කරු සංඛ්‍යාවක් සේවය කරති.

අයහපත් රැකියා කොන්දේසි හේතුවෙන් මෙම කම්කරුවන් තුල මතුවන අතෘප්තිය මග හරවා ඒ තුලින් තම නිෂ්පාදන ඵලදායීතාව ඉහල දමා ගැනීමට කර්මාන්ත ශාලා හිමිකරුවෝ නොයෙක් උපාමාරු යොදා ගනිති. කම්කරුවන්ගේ සුබ සාධන සඳහා විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක කරන බව මවා පාන ඔවුන් ප‍්‍රවාහන පහසුකම්, ආහාර දීමනා, සෞඛ්‍ය පහසුකම් හා නවාතැන් පහසුකම් ආදිය ලබා දෙන බව පැවසුව ද බොහෝ කර්මාන්ත ශාලාවල සත්‍ය තත්වය වන්නේ, ඒවා කිසිසේත් පහසුකම් නොවන බව යි.

යක්කල පොලිටෙක්ස් ගාමන්ට් හි සේවයේ නියුතු කාන්තාවක් තම නේවාසිකාගාරවල දුෂ්කර තත්වය විස්තර කරමින් මෙසේ පැවසුවා යඃ ''සමාගම කුලියට ගත් තට්ටු දෙකේ ගෙදරක තමයි හොස්ටල් එක තියෙන්නෙ. මේකෙ 75 දෙනෙක් ඉන්නවා. එක කාමරයක තට්ටු ඇඳන් 4ක් 5ක් දාලා තියෙනවා මදිවට එක තට්ටුවක දෙන්නෙක් නිදා ගන්නවා. උයා ගන්න කුස්සි තිබුනට භූමිතෙල් ලිප් වල තමයි උයන්නේ. වැසිකිලි 10යි තියෙන්නෙ. නාන්න පොදු ජල කරාම 10ක් තියෙනවා. දවස ම වැඩකරලා මහන්සි වෙලා ඇවිත් නාගන්න පෝලිමේ ඉන්න ඕනෙ. මහන්සියට නිදහසේ නිදාගන්නවත් විදිහක් නැහැ."

බොහෝ කර්මාන්ත ශාලාවල නේවාසිකාගාර පහසුකම් නොමැති බැවින් කම්කරුවෝ කුලියට ගත් කාමරවල ඉතා අවම පහසුකම් යටතේ ජීවත් වෙති. වර්ග අඩි 150ක පමන ඉඩ ප‍්‍රමානයක් ඇති පේලි කාමරයක් තුල දෙදෙනෙකුට නිදාගැනීම හා ඉවුම් පිහුම් ඇතුලූ තම සියලු කටයුතු කරගත යුතුව තිබේ. කාමර හිමියන් විදුලිය හා ජලය පරිහරනය කිරීම් සීමා කර විදුලි උපකරන පරිහරනය තහනම් කර ඇති හෙයින් ආහාර පිස ගැනීම සඳහා භූමිතෙල් ලිප් යොදාගත යුතු වේ.

මාස් සමූහ ව්‍යාපාරයට අයත් ස්ටෙ‍්‍රච් ලයින් ආයතනයේ සේවය කරන තරුන කම්කරුවෙකු මෙසේ පැවසුවේ යඃ ''මගේ වයස අවුරුදු 29 යි. ඇඹිලිපිටියෙ ඉඳන් බියගම වෙලඳ කලාපයට ඇවිත් දැන් අවුරුදු 10ක් විතර වෙනවා. ගෙදර ආර්ථික ප‍්‍රශ්න නිසා උසස් පෙල කලේ නැහැ. මට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. අපි පස්දෙනා ම යැපුනෙ තාත්තගෙ ගොවිතැන් ආදායමෙන්. ඒක ජීවත් වෙන්න ප‍්‍රමානවත් නොවන නිසයි 2001 දී කලාපයට ආවෙ.

මගේ මූලික පඩිය රුපියල් 9000 යි. පැමිනීමේ දීමනාව රුපියල් 2000ක්. මාසෙට දවස් 20ක් වැඩ තියෙනවා. හැමදාම ආවොත් විතරයි ඒක ගන්න ලැබෙන්නෙ. වැඩ දවස්වලින් මුලු අවුරුද්දට ම දවස් 14ක් විතරයි නිවාඩු තියෙන්නෙ. පඩියෙන් 500ක් නවාතැන් ගාස්තු හැටියට කපනවා. අපට තියෙන්නෙ පැය 12ක වැඩ මුරයක්. ඒකෙන් පැය 4ක් අතිකාල වුනාට අපට ලැබෙන්නෙ පැය තුනක අතිකාල දීමනාව විතරයි. ඉතිරි පැයක අතිකාල දීමනාව අපේ කෑම සඳහා කපනවා. මේ ආර්ථිකය යටතේ මට ලැබෙන පඩිය පවුලක් නඩත්තු කරන්න තරම් ප‍්‍රමානවත් නැහැ. ඒ නිසා තමයි තව ම විවාහය ගැන නො සිතුවෙ.”

බොහෝ තරුනියෝ විවාහ වීමට අවුරුදු 5කට හෝ 6කට පෙර නිදහස් වෙලඳ කලාපය තුල සේවයට පැමින තම විවාහය සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමෙන් පසුව රැකියාව හැර යති. සේවා කාලය තුල දී ඔවුන් බොහෝ කායික හා මානසික රෝගාබාධවලට ගොදුරු වන බව බියගම නිදහස් වෙලඳ කලාපයේ කම්කරු කාන්තාවෝ කිහිප දෙනෙක් ලෝසවෙඅ ට පැවසූහ.

මේ වන විට බරපතල ලෙස රෝගාතුරව සිටින මල්වාන ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 47ක තිදරු මවක් වන සුමනාවතී තම අත්දැකීම් ලෝසවෙඅ ට පැවසූයේ මෙසේ යඃ

''මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. මගේ මහත්තයා කුලී වැඩ කරන්නේ. මීට අවුරුදු 3කට විතර කලින් මම බියගම නිදහස් වෙලඳ කලාපයේ ඞීඑස්එල් ආයතනයේ සේවයට ගියේ. ඒ වෙනකොට දරුවෝ තුන්දෙනා ම පාසල් යනවා. දැන් පොඩි දුවට අවුරුදු 7 යි. කුලී වැඩ කරලා ලැබෙන ආදායම ගෙදර වියදමටයි ලමයින්ගේ වැඩවලටයි ගෑවෙන්නවත් මදි නිසයි මම රස්සාවට ගියේ. මම ගිය ෆැක්ටරියෙ රෙදි බෝනික්කන් හැදුවේ. අවුරුදු දෙකක් එතැන වැඩ කරන අතරෙදි මට සෙමයි ඇදුමයි හැදුනා. වැඩපොලේ සේවය කරන අයව පරීක්ෂා කරලා බලන්න විටින් විට ආපු දොස්තර මහත්තුරු මාව පරීක්ෂා කරලා කිවුවා ඔයාට පෙනහැල්ල ආශි‍්‍රතව ලෙඩක් තියෙනවා හැකි ඉක්මනින් බෙහෙත් ගන්න කියලා. එහෙත් මට කිසිම බෙහෙතක් දුන්නෙ නැහැ. නිවාඩු දාලා බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට ගියොත් පැමිනීමේ දීමනාව කපන නිසාත් සල්ලි නැති නිසාත් බෙහෙත් ගන්න බැරි උනා."

කම්කරුවන් පැවසූ පරිදි කර්මාන්ත ශාලා තුල වෛද්‍ය පරීක්ෂන සිදුකරන්නේ, ඒ තුල වඩා හොඳින් සූරා කෑමට ලක්වීමට කම්කරුවාට කායික හැකියාවක් ඇත්දැයි පරීක්ෂා කිරීමට පමනි. ඒවා පරීක්ෂන වලට පමනක් සීමා වී ඇති අතර කම්කරුවන් ගොදුරුව සිටින රෝගී තත්වයන්ට ප‍්‍රතිකාර සදහා යොමු කරවීමට කවර හෝ දායකත්වයක් කම්හල් හිමියන්ගේ පාර්ශ්වයෙන් සිදු නොවේ. සුමනාවතී මුහුන දී ඇති මෙම අසරන තත්ත්වය යටතේ ඇයට ප‍්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය කිසිදු මුදලක් මේ වන තෙක් ආයතනයෙන් ලබා දී නැත.

සුමනාවතී තවදුරටත් කියා සිටියේ තමා බලගතු පෙනහලු රෝගයකින් පෙලෙන බව හා එය දූවිලි අංශූ විශේෂයක් ශ්වසන පද්ධතියට ඇතුලුවීමෙන් ඇතිවූ ආසාදනයක් බව වෛද්‍යවරුන් පැවසූ බව යි. "මට ඇඳෙන් නැගිටලා අඩි 10ක් වත් දුර පයින් යන්න බැහැ හතිය හැදෙනවා. ඇඳේ ම යි ඉන්න වෙලා තියෙන්නේ. දොස්තරලා කියන්නේ සදහට ම මෙහෙමමයි ඉන්න වෙන්නෙ කියලා. මම දැන් වැඩපොලෙන් නතර වෙලා මාස ගානක් වෙනවා. ඒත් ෆැක්ටරි එකේ අය කිසි ම සොයා බැලීමක්වත් කලේ නැහැ. ”

සුමනාවතීට අනුව මෙම දූවිලි අංශු විශේෂය ඇතුල් වී ඇත්තේ කම්හලේ දී වන අතර ඇය සේවය කල ඩීඑස්එල් ආයතනයේ ආරක්ෂක නිලධාරියෙකු එය සනාථ කරමින් පැවසූවේ කර්මාන්තශාලාව තුල බොහෝ තැන්වල අවට වාතයේ මෙම කෙඳි වැනි කොටස් පැතිරී ඇති බව යි.

බියගම නිදහස් වෙලඳ කලාපය තුල පවතින බොහෝ කර්මාන්ත ශාලාවල විවිධ විෂ රසායනික ද්‍රව්‍ය භාවිත කරන අතර ඒවායෙන් කෙටි කාලීනව හා දිගු කාලීනව කම්කරුවන්ට විවිධ අසාදනයන් හා රෝගී තත්ත්වයන් වැලඳී ඇත.

ඇගියෝ ටුබැකෝ ආයතනයේ වැඩ පරීක්ෂකවරියක ලෙස වසර 10ක් සේවය කල කාන්තාවක් එය තහවුරු කරමින් මෙසේ පැවසුවා ය: ''පහුගිය කාලෙ අපේ ආයතනයේ සේවය කරපු කම්කරුවන් තුන්දෙනෙක් මොලයේ හා පෙනහලුවල පිලිකාවලින් මරනයට පත් වුනා. කම්කරුවෝ මේවාට විරුද්ධව කතාකරලා තමයි දැනට මේ දෙන අත් මේස් හා මුඛවාඩම් පවා ලැබුනේ. නැත්නම් සේවකයන්ට ඒවාවත් තිබුනේ නැහැ.

ඇගියෝ එකේ කරන්නේ දුම් කොල කපන එක. ඒවා විෂ සහිත යි. මේ කම්කරුවන් මුහුන දෙන තත්වය ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. ආයතන තුල වෘත්තිය සමිති පිහිටුවන්න දෙන්නෙත් නැහැ. තියෙන වෘත්තිය සමිති මේ ගැන කතා කරන්නෙත් නැහැ."

නිෂ්පාදන වියදම් අඩු කරමින් තම ලාභය තර කර ගැනීම සඳහා ආයෝජකයන් අතර ජාත්‍යන්තර පරිමානව තීව‍්‍ර කෙරී ඇති තරගයේ දී නිවෙක ඇතුලු අනෙකුත් කම්කරුවන්ගේ සේවා කොන්දෙසි වඩාත් පහල මට්ටම්වලට ඇද දැමීම ජාත්‍යන්තර ප‍්‍රපංචයකි. බංග්ලාදේශය, පකිස්තානය හා චීනය වැනි රටවල කම්කරුවන් අත් විඳිමින් සිටින්නේත් මෙයම ය.

ලොව අනෙක් සෑම තැනක මෙන් ම ශී‍්‍ර ලංකාවේ ව්‍යාජ ''වාම" පක්ෂ හා වෘත්තීය සමිති මෙම රුදුරු කොන්දේසි පවත්වා ගෙන යාම සඳහා ආන්ඩුවටත් ආයෝජන මන්ඩලයටත් තම පූර්න සහයෝගය ලබා දෙයි.

තම රැකියා, සේවා කොන්දේසි හා ජීවන තත්වයන් මෙන්ම අනෙකුත් සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ආරක්ෂා කර ගැනීමට නම් ජාත්‍යන්තර කම්කරු පංතිය ඒකාබද්ධව තම පැවැත්මට එරෙහිව පවත්නා ලෝක ධනේශ්වර පද්ධතිය පෙරලා දැමිය යුතු ය. එය කල හැකි වන්නේ, ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන අරගලයක් හරහා පමනි. මෙම වැඩ පිලිවෙල සඳහා සටන් වදින්නේත් එම අරගලයට නායකත්වය සම්පාදනය කරන්නේත් සමාජවාදී සමානතා පක්ෂය ම පමනි.

Share this article: