සරසවි ශිෂ්‍ය නායකයින්ට එරෙහි පොලිස් බියවැද්දීම් මාලාවක්

කල්ප ප‍්‍රනාන්දු හා නිලන්ත පෙරේරා විසිනි, 2013 අපේ‍්‍රල් 12

අධ්‍යාපන කප්පාදුවට එරෙහිව වැඩෙමින් පවතින ශිෂ්‍ය අරගල මර්දනය කිරීම සඳහා රාජපක්ෂ ආන්ඩුව ගෙන යන ප‍්‍රජාතන්ත‍්‍ර වීරෝධී වැඩ පිලිවෙල තීව‍්‍ර කරමින් පසුගිය මාස කීපය පුරා විශ්ව විද්‍යාල ශිෂ්‍ය නායකයින්ට එරෙහිව පොලිස් තර්ජන හා බිය වැද්දීම් මාලාවක් මුදා හැර ඇත.

"අන් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතු ගැන සිතා” ශිෂ්‍ය සංගම් කටයුතු වලින් ඉවත් වන ලෙස බල කරමින් "සරසවි දෙමාපිය සංවිධානය” හා "සරසවි ස්වාධීන සිසුන්”යන ව්‍යාජ නම් වලින් දිවයිනේ සෑම සරසවියකම පාහේ ශිෂ්‍ය සංගම් නායකයින්ට තර්ජනතාමක ලිපි ලැබී ඇත. මීට අමතරව ශිෂ්‍ය නායකයින්ගේ නිවෙස් වලට ගිය රහස් පොලීසිය දෙමාපියන් බිය වද්දමින් තම දරුවන් ශිෂ්‍ය සංගම් කි‍්‍රයාකාරිත්වයෙන් ඉවත් කර ගන්නා ලෙස බල කර තිබේ.

කැලනිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ශ්‍යාමලී ලියනාරච්චි මෙම ප‍්‍රකෝපකරනයේ මෑතම ගොදුර යි. ඉහත ලිපි වලින් හා රහස් පොලිසියේ මැදිහත් වීමෙන් කරන ලද තර්ජනයෙන් අනතුරුව පසුගිය පෙබරවාරි 21 දා ඇය ජාතිද්‍රෝහියකු ලෙස නම් කරමින් ඡායාරූපය ද සහිත පෝස්ටරයක් බොරලැස්ගමුව ප‍්‍රදේශයේ අලවා තිබිනි.

මෙම සිදුවීම් මාලාව විස්තර කරමින් ලියනාරච්චි ලෝක සමාජවාදී වෙබ් අඩවිය ට (ලෝසවෙඅ) මෙසේ පැවසුවාය:

"පෙබරවාරි 21 දා රාති‍්‍රයේ මගේ ගෙවල් අවට තමයි මෙම පෝස්ටරය අලවලා තිබුනේ. මම මේ ගැන බොරලැස්ගමුව පොලිසියට පැමිනිලි කලා. මගේ ජීවිතයට මරන තර්ජනයන් පවතින බවත් ජීවිතයට හානියක් වුවහොත් ආන්ඩුව එයට වගකිව යුතු බවත් පැමිනිල්ලේ සටහන් කර ගන්නා ලෙස කීවා.

ආන්ඩුවට එරෙහිව කරන එවන් පැමිනිලි වලදී පොලීසිය නිරතුරුව හැසිරෙන නීති විරෝධී ස්වභාවයෙන් බොරලැස්ගමුව පොලීසිය වෙනස් වී නොමැත. ඇය මෙසේ පැවසුවාය:"ඒත් පොලීසිය ආන්ඩුවට විරුද්ධ ව පැමිනිලි බාර ගත නොහැකි බව දන්වා පැමිනිල්ලේ එය සඳහන් කිරීම ප‍්‍රතික්ෂේප කලා."

"මෙම සිද්ධියට පෙරත් විවිධ ආකාරයේ තර්ජන තිබ්බා. දුරකථනයෙන් පවා අවස්ථා ගනනාවකදී මරන තර්ජන නිර්නාමිකව එල්ල කලා. ඒවා ගැන තකන්නේ නැතිව ශිෂ්‍ය සංගමයේ වැඩ කලා. ජාතිය පාවලා දෙන බව තමයි ප‍්‍රධාන චෝදනාව වෙන්නේ. ඇත්තටම මේ තර්ජන වැඩි වුනේ යාපන විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින් අත් අඩංගුවට ගත් වේලාවේ ශිෂ්‍ය සංගම් ඒකට විරුද්ධව උද්ඝෝෂනය කලා. මම ඒවායේ හිටියා. අලවපු පෝස්ටරයේ තියෙන ඡායාරූපයත් මම උද්ඝෝෂනයක ඉන්න එකක්.”

මෙම ප‍්‍රකෝපකාරී පෝස්ටරයට පෙර ලියනාරච්චිගේ නිවසට මිරිහාන පොලීසියේ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් දෙදෙනකු කැලනිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් හි කි‍්‍රයාකාරකම් පිලිබඳවත් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවැත් වු උද්ඝෝෂනයන් පිලිබඳවත් ඇයගේ මවගෙන් විමසා සටහන් කරගෙන ගොස් ඇත.

ඉන් අනතුරුව සිවිල් ඇඳුමෙන් සැරසුනු පොලිස් නිලධාරින් ඇයගේ නිවස අවට කරක් ගසා ඇත. එමෙන්ම අසල්වාසීන්ගෙන් ඇය පිලිබඳව තොරතුරු විමසා ඇති බව තම පවුලට හිතවත් ග‍්‍රාමාරක්ෂක භටයෙක් පැවසු බව ලියනාරච්චි තවදුරටත් පැවසුවාය.

මෙම පොලිස් නිලධාරීන් කැලනිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති, ලේකම් හා භාන්ඩාගාරික යන අයගේ නිවෙස් වලට ගොස් විස්තර සටහන් කරගෙන ඇති බව ද ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරීන්ගෙන් එම සිසුන් පිලිබඳ වාර්තා කැඳවා ඇති බව ද ලියනාරච්චි ලෝසවෙඅට කීවා ය.

මෙම බියවැද්දීම් මාලාවේ කොටසක් ලෙස දුරකථන හා කෙටි පනිවිඩ (එස් එම් එස්) ඔස්සේ පේරාදෙනිය, කැලනිය, සබරගමුව, රුහුන වැනි විශ්ව විද්‍යාලයන් හි ශිෂ්‍ය නායකයින්ට මරනීය තර්ජන එල්ල කොට ඇත.

ලියනාරච්චි ඇතුලු අනෙකුත් ශිෂ්‍ය නායකයන්ට එරෙහි මෙම ප‍්‍රකෝපකරනයේ පාඩම් තරුනයන් හා ශිෂ්‍යයන් වටහා ගත යුතුය.

ගැඹුරුවන ලෝක ආර්ථික අර්බූදයේ කොන්දේසි යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග ක‍්‍රියාවට දමමින් සිටින රාජපක්ෂ ආන්ඩුව, නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යය ඇතුලු සමාජ සුබසාධන කප්පාදු කරමින් කම්කරු පීඩිත මහජනතාව මත අර්බුදයේ සියලු බර පටවමින් සිටී. මෙම ප‍්‍රහාරයන් ඉවසනු නොහැකිව අරගලයට පිවිසෙන කම්කරුවන්ට, ශිෂ්‍යයන්ට හා අවශේෂ පීඩිතයන් ට එරෙහිව තම මර්දන හස්තය දිගේලි කරන රාජපක්ෂ, පොලිස් රාජ්‍යයක් දෙසට වේගයෙන් පියවර තබමින් සිටී. ශිෂ්‍ය නායකයන්ට එරෙහි ප‍්‍රකෝපකරනයන් ද මෙම මර්දන කි‍්‍රයාදාමයේ එක් අංශයකි.

දෙමල ජනයාට එරෙහි වර්ගවාදී යුද්ධයේ දී සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා එහි පුර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය එක දිගට අවධාරනය කලේ මෙම යුද්ධය කම්කරු පන්තියේ යුද්ධයක් නොවන බවත් එයින් තම මර්දන යන්ත‍්‍රය ශක්තිමත් කර ගන්නා රාජ්‍ය යන්ත‍්‍රය උතුරට එල්ල කර ඇති ධනපති ප‍්‍රහාරය දකුනට ද එල්ල කරන බවත් ය. යුද්ධයට එරෙහිව සසප ඉදිරිපත් කලේ සිංහප හා දෙමල කම්කරුවන්ගේ එකමුතුවෙන් ගොඩනගන ශී‍්‍ර ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක ඉදිරි දර්ශනයයි.

යුද්ධය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලියනාරච්චි කියා සිටියේ යුද්ධයේ අවසන් වසර කිහිපය තුලත් ඉන් පෙරත් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් හෝ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) හෝ යුද්ධයට කිසිදු සහයෝගයක් නොදුන් බවයි. නමුත් සත්‍යය එය නොවේ.

ජනතා විමුක්ති පෙරමුනෙන් (ජවිපෙ) බෙදී වෙන් වූ එහෙත් එම දේශපාලනයෙන් නොබිඳුනු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේත් (පෙසප), එහි හස්තයක් ලෙස කි‍්‍රයාත්මක වන අවිශිබමයේත්, දෙමල මහජනතාව පිලිබඳ ව්‍යාජ මානුෂිය කඩතුරාවට තරුනයන් හා ශිෂ්‍යයන් මුලා නොවිය යුතුය. යුද්ධය පවතින සමයේ ජවිපෙ තුල සිටි මෙම සංවිධානයන් හි නායකයන් තරුනයන්ට හා ශිෂ්‍යයන්ට කියා සිටියේ "පලමුව යුද ජයග‍්‍රහනය අවශ්‍ය බවත් දෙමල මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් දෙවැනි බවත්ය.”

මෙම සහයෝගයෙන් වාරුව ලැබූ රාජපක්ෂ වර්ගවාදී යුද්ධයත්, අධ්‍යාපනය ඇතුලු මහ ජන සුබසාධනයන්ට එරෙහි ප‍්‍රහාරයත් යන දෙකම වේගවත් කලේය. 2009 දී යුද්ධය අවසාන වීමත් සමග, යුද්ධයේ දී ශක්තිමත් කර ගත් මර්දන යන්ත‍්‍රය දිවයිනේ සමස්ත කම්කරු පීඩිත මහජනතාව තලා පෙලා දැමීම සඳහා යොදා ගැනීම තීව‍්‍ර කෙරින.

නිදහස් අධ්‍යාපන කප්පාදුවට එරෙහිව අරගලයට පිවිස සිටින තරුන හා ශිෂ්‍ය කොටස් මර්දනය කිරීම සඳහා යොදා ගනු ලබන්නේ ද මෙම මර්දන යන්ත‍්‍රය හා එහි ක‍්‍රමවේදයන්ම ය.

මෑතදීම සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් පහක් තහනම් කර පස් දෙනෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කර ඇත. ජනවාරි 29 දින ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක‍්‍රියාකාරින් එකොලොස්දෙනෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කර ඇති අතර ඉන් තිදෙනෙකුගේ ශිෂ්‍ය භාවය ජීවිතාන්තය දක්වා අහෝසි කර ඇත. එමෙන්ම යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් හතර දෙනෙකු 2012 නොවැම්බර් මාසයේ දී අත්අඩංගුවට ගත් පොලිසිය ප‍්‍රශ්න කිරීම සඳහා ත‍්‍රස්ත විමර්ශන ඒකකයට භාර දෙනු ලැබීය.

මේ අතර සරසවි ශිෂ්‍ය සංගම් හි දේශපාලනය පිලිබඳව ලියනාරච්චිගේ අදහස විමසූ විට ඇය කියා සිටියේ "මට පුද්ගලික දේශපාලනයක් තියෙනවා. ඒක ශිෂ්‍ය දේශපාලනයට ගාවාගෙන නැහැ. අපි කිසිම පක්ෂයකට කඬේ යන්නේ නැහැ” යනුවෙනි.පෙසප විසින් ඉදිරිපත් කරන මෙම සූත‍්‍රය ජවිපෙ විසින් එකල තොරොම්බල් කල ප‍්‍රලාපයට කවර අයුරකින් හෝ වෙනස් නැත. අවිශිබමය තම දේශපාලනයේ හස්තයක් ලෙස විවෘතවම හසුරුවන අතර ජවිපෙ නිරතුරුව කියා සිටියේ තමා සහ අවිශිබමය අතර කවර හෝ සම්බන්ධයක් නොමැති බවයි.

රාජපක්ෂ පාලන තන්ත‍්‍රයේ මෙම ප‍්‍රහාරයන් "ශිෂ්‍ය දේශපාලනය” හෝ ආන්ඩුවට බලපෑම් දැමීම මගින් ආපසු හැරවීමට හෝ පරාජයට පත් කිරීමට නොහැක. පෙසප පිටුබලය සහිතව අවිශිබමය හා සරසවි ශිෂ්‍ය සංගම් පතුරන දේශපාලන මිථ්‍යාවන්ගේ ප‍්‍රතිඵලය වන්නේ ආන්ඩුවේ ප‍්‍රහාරයන් හමුවේ ශිෂ්‍යයන් දේශපාලනිකව නිරායුධ කිරීමයි.

මෙම ධනපති ප‍්‍රහාරයන්ට එරෙහිව ශිෂ්‍යයන්ට සටන් කල හැකි වන්නේ කම්කරු පන්තිය දෙසට හැරී නව සමාජවාදී නායකත්වයක් ගොඩනැගීම තුලින්ම පමනි. මෙම ඉදිරිදර්ශනය තහවුරු කිරීම සඳහා සටන් වදින එකම ව්‍යාපාරය සමාජවාදී සමානතා පක්ෂය හා එහි ශිෂ්‍ය ව්‍යාපාරය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) පමනි.

Share this article: