පොලීසි හමුදා යොදා දඹුල්ලේ දුගී නිවාස කඩා ඉවත් කිරීම දිගටම

විලානි පීරිස් සහ ආනන්ද දවුලගල විසිනි, 2013 අගෝස්තු 26

දඹුල්ල "පූජා භුමිය” තුල නිවාස සියයක් පමන මේ වනවිට හමුදාව යොදවා බුල්ඩෝසර් කර ඇති අතර උන්හිටිතැන් අහිමිවූවෝ ගස්යට පවා ජීවත්වෙති. දෙමල, සිංහල, මුස්ලිම් පීඩිතයින්ගේ නිවාස බිමට සමතලා කරනු ලැබුවේ නිවසක් හෝ ඉඩම් කැබැල්ලක් ලබා නොදී සොච්චම් වන්දි මුදලක් පමනක් ගෙවමිනි. මෙලෙස නිවාස කඩා බිඳ දමා දුගී ජනයා මහපාරට ඇද දමන්නේ මහ දඹුලු සංවර්ධන සැලැස්ම ය‍ටතේ දේශීය හා විදේශීය ආයෝජකයන් සඳහා ඉඩම් වෙන්කරදීමේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ වැඩපිලිවෙලේ කොටසක් ලෙසය.

පාදෙනියේ නිවාස බිමට සමතලා කර ඇති අයුරු

දෙමල නිවාස ඉවත් කිරීමෙන් පසුව එම නිවාස මැද පිහිටි හින්දු කෝවිල ඉවත් කිරීමට බෞද්ධ භික්ෂූන් උත්සාහ දැරුවත් පලාතේ මහජනයා මැදිහත්ව හින්දු චාරිත්‍රානුකූලව පසුව එය ඉවත්කර ගන්නා බවට පොරොන්දුවී එය නතර කරගත් බවද වර්තා විය. රංගිරි දඹුල්ල විහාරාධිපති ඉනාමලුවේ සුමංගල හිමි‍ගේ මූලිකත්වයෙන් 2012 අපේ‍්‍රල් මාසයේදී ප‍්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට විරුද්ධව වර්ගවාදී ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග නිවාස කැඩීම ආරම්භ විය. ආන්ඩුව සම්බන්ධයෙන් මෙන්ම විහාරස්ථානයට එරෙහිව ද බරපතල විරෝධයක් පලාතේ මහජනතාව අතර වැඩී ඇත.

මේ අතර කන්ඩලම හන්දියේ සිට නිශ්ශංක හන්දිය දක්වා තවත් කුඩා කඩ කාමර සමග ඇති නිවාස 27ක් ඉවත් කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරිය (නාසඅ) එම නිවැසියන්ට දන්වා ඇත. පාරම්පරික පදිංචිකරුවන් වන ඔවුන් අතර මේ පිලිබඳව ඇත්තේ දැඩි විරුද්ධත්වයකි. පසුගිය මහා මැතිවරනයේදී පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහයෝගය දුන් මෙම ජනයා දැන් ආන්ඩුව සමග ගැටුමට තල්ලුවී ඇත.

පාරම්පරික සින්නක්කර ඔප්පු ඇති තම නිවසේ හා තවත් නිවාස පහක අය අනවසරයෙන් පදිංචිව සිටින බැවින් ඒවායේ ජල හා විදුලි සම්බන්ධතා විසංධි කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියෙන් නියෝග ලැබී ඇති බව පවසමින් පැමිනි විදුලි බල මන්ඬලයේ හා ජල සම්පාදන මන්ඩලයේ නිලධාරින් අසල්වැසියන්ගේ විරෝධය හමුවේ ආපසු ගිය බව ලලිත් කුමාර ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසීය.

තම නිවස හැර යාමට මුහුන දී ඇති පවුලක්

“කලින් නාගරික සංවර්ධනයේ නිලධාරීන් පැවසුවේ අපි පදිංචි ඉඩමේ ඇති නිවසට පිටුපසින් වෙනත් නිවසක් සාදාගැනීමට පුලුවන් බවයි. ඒත් දැන් කියන්නේ වහාම ඉඩමෙන් හා නිවසෙන් ඉවත්වන ලෙසයි. මේ මොන නීතියක් ද දන්නෑ. මගේ ලමයි දෙදෙනා පාසැල් යනවා. දුව මේ අවුරුද්දේ අපොස සාමාන්‍ය පෙල විභාගය ගන්නවා.”

දැන් ඉවත්කිරීමට සූදානම්ව ඇති ඉඩම් 1982 පුජා භුමි පනතින් රජයට පවරා ගත් නමුත් ඒවා පාරම්පරිකව පදිංචිකරුවන්ට අයත්ය. කුඩා කඩවලට පසුපසින් තනා ගත් කාමරයක් හෝ දෙකක් ඔවුන් නිවාස ලෙස යොදාගෙන ඇත. ඔවුනට ඉවත්වීමට දන්වා ඇත්තේ 1982 තක්සේරුකල වන්දි මුදල ලබාගෙනය. ඒ අනුව ඔවුන්ට ලැබීමට නියමිතව ඇත්තේ රුපියල් 8,000 – 12,000 ක් වැනි සුලු මුදලකි. එම මුදල හා රුපියල් 100,000 ලබාදෙන බව පවසන නාසඅ වහාම ඉවත් වන ලෙස ඔවුනට දැනුම් දී තිබේ. පසුගිය දිනවලදී මෙම නිවැසියන් තමන් නිවාසවලින් පලවා හැරීමේ ආන්ඩුවේ උත්සාහයට එරෙහිව උද්ඝෝෂන දියත් කල අතර දඹුල්ල පොලීසිය මහ මාර්ග හරස් කර උද්ඝෝෂන තහනම් කරන නියෝගයක් උසාවියෙන් ලබා ගනිමින් ඔවුන් බියවැද්දීමට උත්සාහ දරා ඇත.

තම නිවාස ඉවත් කිරීමට විරුද්ධව පෙත්සමක් භාරදීම සඳහා ජුලි 31 දින දඹුල්ල ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයට ගිය නිවැසියන්ට සහකාර ප‍්‍රාදේශීය ලේකම්වරිය දන්වා සිටියේ එම සැලසුම්වල කිසිදු වෙනසක් කල නොහැකි බවය. මෙම හමුව වාර්තා කරමින් සිටි මව්බිම වාර්තාකරු බන්ඩාර විජයතිලකට පහරදීම සඳහා එහි කාර්යාල සේවකයන් යෙදවු ලේකම්වරිය ඔහුගේ දුරකථන සටහන් ද ඉවත් කල බව එම පුවත්පත සඳහන් කලේය.

මෙම මර්දනයන් මධ්‍යයේම පවුල් 27ක සාමාජිකයන් අරඹා ඇති උපවාසය

මෙම මර්දනයන් මධ්‍යයේම ආන්ඩුවට බලපෑම් දැමීමේ තවත් පියවරක් ලෙස එම ජනතාව උපවාසයක් ද සංවිධානය කර ඇත. පවුල් 27ක සාමාජිකයන් අරඹා ඇති උපවාසයට හා ඔවුන්ගේ අඛන්ඩ විරෝධතාවට අවශේෂ ජනතාවගේ පුලුල් සහාය හිමිව තිබේ. පසුගිය මුස්ලිම් රාමසාන් උත්සවය දිනවල මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ඔවුන්ගේ ඉල්ලීම් ඇතුලත් ලිපියක් බාරදී ඇත. මාත‍ලේට පැමිනි විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙත ද ඔවුන් එවැනි ම ලිපියක් බාරදී ඇත. ආයෝජකයන්ට කොන්දේසි සැකසීම මූලික පිලිවෙත කරගෙන ඇති රාජපක්ෂගෙන් හෝ මහජන විරෝධය ගසාකෑමට කිඹුල් කඳුලු හෙලන එජාප නායකයාගෙන් හෝ මොන ම විසඳුමක් වත් නිවාස වලින් පලවා හැරෙන ජනයාට නොලැබෙනු ඇත.

උපවාසය දින 10ක් පැවතීමෙන් පසු මෙම තත්වය සැප්තැම්බර් 21දින පැවැත්වීමට නියමිත මධ්‍යම පලාත් සභා මැතිවරනයට බලපෑහැකි බවට ගනන් බැලූ ආන්ඩුව ජනාධිපති පුත්‍ නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයා මැදිහත් කරමින් උපවාසය නතර කිරීමට පියවර ගත්තේය. මේ පිලිබඳව සලකා බලා "සාධාරනයක්" ඉටුකරන බවට බොරු පොරොන්දුවක් දෙමින් සහන සැලසීමෙන් පසුව පමනක් නිවාස ඉවත්කරන බව පවසා ඇත.

මේ පිලිබඳව ලෝසවෙඅට කතා කල නිවැසියෙක් මෙසේ පැවසීය."අපි අසරන වෙලයි ඉන්නෙ. ආන්ඩුව නිවාස ඉවත්කරන එක නවත්වන්නෙ නැහැ. යම් සහනයක් හරි ලැබු‍නොත් ඒ මැතිවරනයක් තියන නිසයි. අපි මේ අවස්ථාවේදීම එය ලබාගත යුතුයි." ‍‍

"තාවකාලික සහනයක්" හෝ ලබා ගැනීමේ අපේක්ෂාව බිඳ දමමින් ආන්ඩුවේ ප‍්‍රහාරය වඩවඩාත් ඉක්මන් වෙමින් පවතී. ලෝසවෙඅ වාර්තාකරුවන් ඔවුනට පෙන්වා දුන්නේ රාජපක්ෂ පැමිනියේ මැතිවරනයට ඡන්ද ගරා ගැනීමට හා මැතිවරන කාලයේ පැවැත්වෙන උද්ඝෝෂනය නතර කිරීමට බවත් ආන්ඩුව ලෝක බැංකුව සමග එක්ව ක්‍රියාවට දමන නගර සංවර්ධනයේ එල්ලය වන්නේ මෙම නගර වානිජ මධ්‍යස්ථාන බවට පත්කරමින් ලාබ පිපාසාවෙන් පෙලෙන ආයෝජකයන්ට මෙම බිම් පවරාදීම බවත්ය. එම තතු තුල උපවාස, පෙත්සම් හෝ ලිපි ඉදිරිපත් කිරීම මගින් ආන්ඩුවට හෝ එජාපයට බලපෑම් දැමීමෙන් නිවාස අයිතිය රැකගත නොහැක. ඒ සඳහා ලාභ පොදි ගසා ගැනීම අරමුනු කරගත් ධනපති ක්‍රමයට එරෙහිව ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් සෙසු කම්කරු-පීඩිත ජනයා සමග එකමුතුව සමාජවාදී ‍වැඩපිලිවෙල යටතේ සටන්වැදිය යුතු බව සසප සාමාජිකයෝ පෙන්වා දුන්හ. මෙම සටන ධනපති ක්‍රමය පෙරලා දමා කම්කරු-ගොවි ආන්ඩුවක් ගොඩනැගීමේ අරගලය සමග බැඳී ඇත.

ආන්ඩුව ලෝක බැංකුව සමග සහයෝගයෙන් ක්‍රියාවට දමන "නාගරික සංවර්ධන" වැඩපිලිවෙල යටතේ ප්‍රධාන වන්නේ කොලඹ නගරයයි. ආන්ඩුව පවසන පරිදි එහි පමනක් පවුල් 70,000ක් ඉවත් කිරීමට නියමිත ය. දැනට නාසඅ රට පුරා එවන් ව්‍යාපෘති 5ක් හා සංවර්ධනය කෙරෙන නගර ගනනාවක් ද නම් කර තිබේ. ආන්ඩුවේ මෙම වැඩපිලිවල යටතේ ලක්ෂ ගනනකට නිවාස අහිමි කෙරෙනු ඇත.

දැනට සිය නිවාස අත්හැර ගොස් සිටින සමහර පවුල් අවට පිහිටි නෑදෑ නිවාසවල තාවකාලිකව පදිංචිව සිටිති. එවැනි එක් පදිංචිකරුවෙකු වන වීරයියා මහේන්ද්‍රන් මෙසේ පැවසීය. “අපි තාවකාලිකව නැන්දම්මා කෙනෙකු‍ගේ නිවසෙහි මිදුලේ පදිංචිව ඉන්නවා. අපි නාන්ට හා රෙදි සෝදාගන්නට ගියේ කලින් පදිංචිව සිටි කොටසේ ලිඳටයි. ඒත් අද උදේ එම ලිඳත් බුල්ඩෝසර් කරලා වහලා දාලා. බොහෝ දෙනෙක් පැල්පත් සාදාගෙන තැන් තැන්වල ඉන්නවා. ගෙදරින් ගිය දවසේ ඉඳන් මල් විකුනන රස්සාව වත් කරගන්ට බැරිවුනා. කෑවෙ බිව්වේ වන්දි හැටියට ලැබුන සල්ලි වලින්. ඒත් තව කී දවසක් මෙහෙම ඉන්ට වෙයි ද කියලා දන්නේ දෙයියො තමයි.”

ඉවත්ව ගිය අයගේ ගෙවල් බැකෝ යන්ත්‍ර යොදාගෙන කඩා ඉවත් කරන අයුරු

ඉවත්ව ගිය අයගේ ගෙවල් බැකෝ යන්ත්‍ර යොදාගෙන කඩා ඉවත් කරනු ඡායාරූප ගත කල අවස්ථාවේ එහි පැමිනි හමුදාවේ කන්ඩායමක් අපගේ වාර්තාකරුවන්ගෙන් තොරතුරු විමසා පවසා ඇත්තේ “හමුදාව ගෙවල් කඩන බවක් වාර්තා නොකරන” ලෙසයි. එහෙත් ප්‍රදේශවාසීන් කිහිපදෙනෙක්ම පැවසුවේ නාගරික සංවර්ධන මන්ඬලයේ උපදෙස් මත ගෙවල් කඩන්නේ හමුදාව විසින් බවය.

වැලිවේරියේ දී වි‍රෝධතා දැක්වූ ජනයාට එල්ල කල හමුදා ප්‍රහාරය පිලිබඳව ද ඔවුහු සිය විරුද්ධත්වය පල කලහ. “වැලිවේරියේ දී විරෝධතා දැක්වූ පිරිස් ඉල්ලා සිටියේ පිරිසිදු ජලයයි. අපි ඉල්ලන්නේ අපගේ දරු පවුල්වලට ජීවත් වීමට සුදුසු නිවාස හා ඉඩම් ලබාදෙන ලෙසයි. අන්තිමේදී මෙහෙටත් හමුදාව ඇවිත් වෙඩි තියයි ද කියන ප්‍රශ්නය අපිට තිබෙනවා.” යයි එක් අයෙක් පැවසීය.

තවත් නිවැසියෙක් ‍මෙසේ කියා සිටියේය. “ජනාධිපතිවරයා දඹුල්ල සංවර්ධන වැඩ වේගවත් කරන ලෙස උපදෙස් දී තිබෙනවා. අපි නිවාසවලින් යවන්ට තදියම්වී ඇත්තේ ඒ උපදෙස් නිසා තමයි. අපි සංවර්ධන වැඩවලට විරුද්ධ නෑ. ඒත් අපේ දරු පවුල්වලට සුදුසු විසඳුම් ලැබෙන්ට ඕනෑ. අපි මේ විදිහට උද්ඝෝෂනය කරන කොට ආන්ඩුව කියන්නේ අපි සංවර්ධන කටයුතු කඩාකප්පල් කිරීමට උත්සාහ කරන පිරිසක් කියලයි. නිලධාරීන් කියන්නේ අපි හැමෝම බොරු කියන බවයි. අපි රජයට අයිති ඉඩම්වල අනවසරයෙන් පදිංචිව සිටින බවයි.”

දඹුල්ලේ, කොලඹ සහ රටේ වෙනත් නගරවල දුගී ජනයා මුහුන දෙන අත්දැකීම් මගින් පෙන්නුම් කෙරී ඇති පරිදි, ආන්ඩුවේ “සංවර්ධන” ව්‍යාපෘතිවල ඉලක්කය කම්කරු-පීඩිත ජනයා තව දුරටත් විනාශයට ඇද දමමින් ඔවුන්ගේ වියදමින් දෙස් විදෙස් ආයෝජකයන්ගේ ලාභ තර කිරීමයි.

Share this article: