ඩව් ජෝන්ස් දර්ශකය වාර්තාගත ඉහලකට නැගෙද්දී, එක්සත් ජනපද ආර්ථිකය ප‍්‍රකෘතිමත්වීමේ කථාවල බොරුව අඳුරු රැකියා වාර්තාවෙන් හෙලි කෙරේ

As Dow hits new record, Dismal jobs report exposes claims of US recovery

ඇන්ඩ්රි ඬේමන් විසිනි, 2013 අගෝස්තු 3

කම්කරු දෙපාර්තමේන්තුව අගෝස්තු 2දා වාර්තා කල පරිදි එක්සත් ජනපද ආර්ථිකය ජූලියේ දී 162,000ක ශුද්ධ රැකියා සංඛ්‍යාවක් නිර්මානය කොට ඇත. මේ සිව් මසක් තුල වාර්තා වූ නරක ම රැකියා සංඛ්‍යාවයි. මුලු රැකියා ප‍්‍රමානය අර්ථ ශාස්ත‍්‍රඥයන් විසින් අපේක්ෂා කලාට වඩා පහත වැටුනු අතර, සමස්ත විරැකියාව කෙරේ බලපෑමක් ඇති කිරීමට අවශ්‍ය ප‍්‍රමානයට වඩා බෙහෙවින් පහත අගයක් විය.

වාර්තාව අවධාරනය කරන්නේ, 2008 ආර්ථික කඩා වැටීමෙන් වසර 5කට පසු, එක්සත් ජනපදය තවමත් ගැඹුරු ආර්ථික පරිහානියේ කරවටක් ගිලී සිටින බවයි. රැකියා කරන වයසේ ජනගහන වර්ධනය 184,000ක මාසික සාමාන්‍ය අගයක පවතින නමුත්, පසුගිය සිව් මස පුරා එක්සත් ජනපද ආර්ථිකයට රැකියා සම්පාදනය කල හැකි වූයේ 173,000ක සාමාන්‍ය අගයකින් පමනි.

නිල විරැකියා අනුපාතය ජූලි මාසයේ දී සියයට 7.4 දක්වා සියයට 0.2කින් පහත වැටුනේ ප‍්‍රධාන කොටම 240,000ක ජනතාවක් ශ‍්‍රම බලකාය හැර යාම නිසාය.

එක්සත් ජනපදයට 2008-2009 අවපාත සමයේ අහෝසි වූ රැකියා මිලියන 8.5න් යලි නිර්මානය කිරීමට හැකි වී ඇත්තේ රැකියා මිලියන 6ක් පමනෙකි. අවපාතයේ නිල අවසානය ලෙස සැලැකුනු 2009 ජූනියේ සිට රැකියා කරන වයසේ ජනගහනය මිලියන 6කින් ඉහල ගොස් ඇති අතර ඒ අනුව ජනගහන වර්ධනයට සාපේක්ෂව රැකියා වැඩි වීම ඉඳුරාම ශුන්‍ය අගයක් ගනී.

එක්සත් ජනපද ජනගහනයේ රැකියා නියුක්ත කොටස ජූලියේ දී ද සියයට 58.7ක මට්ටමේ නොවෙනස් ව පැවැතියේය. 2007 දෙසැම්බරයේ පැවැති සියයට 62.7 මට්ටමේ සිට පහත වැටී ඇති මෙය, 2009 සිට බොහෝදුරට නොවෙනස් ව පවතී. මේ අතර, ශ‍්‍රම බලකායේ සහභාගීත්ව අනුපාතය දශක ගනනාවකින් පැවැති අවම මට්ටමට සේන්දු වෙමින් සියයට 63.4 දක්වා සියයට 0.1කින් පහත වැටී ඇත.

ආර්ථික හේතූන් මත අර්ධ-කාලීන රැකියාවන්හි නිරත වෙන ජන සංඛ්‍යාව පසුගිය මාසයේ මිලියන 8.2කි. මෙය ජූනි අගයට වඩා 19,000කින් වැඩි වීමකි. රැකියා වියුක්ත ජනයාගේ හා ඌන රැකියා නියුක්ත ජනයාගේ මුලු එකතුව මිලියන 22ක් වේ.

පසුගිය මාසයේ නිර්මානය වූ රැකියා අතරින් වැඩි කොටස අඩු වැටුප් ගෙවන හා අර්ධ කාලීන රැකියා වූ අතර ප‍්‍රධාන කොට ම ඒවා ආහාර සැපයීම් හා ගෘහස්ථ සෞඛ්‍ය සේවා බඳු ක්ෂේත‍්‍රයන්ට අයත් විය. "පසුගිය මාස හතර පුරා අපි, සෑම පූර්න කාලීන රැකියාවකට ම අර්ධ කාලීන රැකියා 4.2ක් බැගින් නිර්මානය කලෙමු. මේ ප‍්‍රවනතාවය යහපත් දිශාවකට සිදු වන්නක් නො වේ,” යැයි එල්පීඑල් ෆිනෑන්ෂල්හි බර්ට් වයිට් සීඑන්බීසී සේවයට ප‍්‍රකාශ කලේය.

පසුගිය මාසයේ ආහාර සේවා ක්ෂේත‍්‍රය එක් කල රැකියා සංඛ්‍යාව 38,400කි. කම්කරු සංඛ්‍යා ලේඛන බියුරෝවට අනුව, ආහාර සැකසුම් කම්කරුවෙක් සාමාන්‍යයෙන් පැයකට ඇමරිකානු ඩොලර් 9.18ක වැටුපක්, නැතහොත් වසරකට ඇඩො 19,100ක් ලබයි. පෞද්ගලික අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා රැකියා 13,600ක් සම්පාදනය කර ඇත. ගෘහස්ථ සෞඛ්‍ය සේවාවන්හි රැකියා 3,900ක් ද ඊට ඇතුලත්ය. ඉන් වැඩි කොටස සමන්විත වන්නේ පැයකට ඇඩො 9.70ක මධ්‍ය වැටුපක් ලබන ගෘහ සෞඛ්‍ය සේවා සහායකයන්ගෙනි.

ෆෙඩරල් ආන්ඩුව රැකියා 2,000ක් අතු ගා දැමූ අතර ප‍්‍රාන්ත ආන්ඩුව රැකියා 3,000ක් සිඳ ලීය. ඒ, වාර්ෂික වැටුපෙන් සියයට 20ක් දක්වා වැටුප් අහිමිවීමට මග පෑදූ අයවැය කප්පාදුවල ප‍්‍රතිඵලයක් ලෙස විශ‍්‍රාම ගැන්වූ ෆෙඩරල් ආන්ඩුවේ ලක්ෂ සංඛ්‍යාත සේවකයන්ට අමතරව ය.

රැකියා වාර්තාව නිකුත් ව ඇත්තේ, මේ වසරේ දෙවන කාර්තුවේ ආර්ථිකය වර්ධනය වී ඇත්තේ සියයට 1.7කින් පමනක් බව වානිජ දෙපාර්තමේන්තුව බදාදා නිවේදනය කිරීමෙන් පසුව ය. ඒ අතර ම, මුල් කාර්තුවේ ආර්ථික වර්ධනය පිලිබඳ සිය තක්සේරුව සියයට 1.1ක දක්වා පහත හෙලීමට එය කි‍්‍රයා කලේය.

පසුගිය කාර්තු තුන පුරා ම එක්සත් ජනපද ආර්ථිකය වර්ධනය වී ඇත්තේ වාර්ෂික ව ගනනය කෙරුනු සියයට 0.96ක අනුපාතයකින් පමනෙකි. මේ සංඛ්‍යා ආර්ථිකයේ "ප‍්‍රකෘතිමත් වීමක්” පිලිබඳ ආන්ඩුවේ කයිවාරු සුනුවිසුනු කරමින්, එක්සත් ජනපද ආර්ථිකය යුරෝපයේ, ආසියාවේ හා ලතින් ඇමරිකාවෙන් වැඩි කොටසක ආර්ථිකයන් සමග දිරාපත් වෙමින් පවත්නා බව පෙන්වා දෙයි.

එක්සත් ජනපදය අද අත්පත් කර ගැනීමට සමත් වී ඇත්තේ පශ්චාත් දෙවන ලෝක යුද්ධ සමයේ ලබා ගත් වර්ධන වේගයෙන් හයෙන් එකක් වන වර්ධන වේගයකි. අතීතයේ එක්සත් ජනපදය තුල සියයට 3ක හෝ 4ක වර්ධන වේගයක් මධ්‍යස්ථ අගයක් ලෙස සැලැකුනු අතර සියයට 3ට වඩා අඩු ඕනෑම අගයක් සලකන ලද්දේ දුබල වර්ධන වේගයක් ලෙසය. සියයට 2ට වඩා අඩු වර්ධන වේගයක් අතිශය ව්‍යසනකාරී ලෙස සලකන ලදී.

මේ අර්බුදය හමුවේ, බැරෑරුම් ආර්ථික වර්ධනයක් හෝ රැකියා උත්පාදනයක් අත්පත් කර ගැනීම උදෙසා ඉදිරිපත් කල හැකි පිලිවෙත් කිසිවක් ඔබාමා පාලනය හෝ පාලක පන්තිය සතුව නැත. ඔවුන්ගේ ප‍්‍රතිචාරය වී ඇත්තේ කම්කරු පන්තිය මත ප‍්‍රහාරය තවදුරටත් උත්සන්න කිරීමයි. ඔබාමාගේ ඊනියා "රැකියා” වැඩ පිලිවෙල මුලුමනින් ම පාහේ සමන්විත වී ඇත්තේ එක්සත් ජනපදයේ "තරඟකාරීභාවය” ඉහල නැංවීමේ නාමයෙන් ව්‍යාපාරික බදු කපා හැරීම් හා සහනාධාර ලබා දීම, කම්කරුවන්ගේ වැටුප් හා ප‍්‍රතිලාභ කපා හැරීම සඳහා දිරි ගැන්වීමට ඔවුන්ට දිරි දීමනා ලබා දීම සහ එක්සත් ජනපදයේ පවත්නා දරිද්‍රතා සීමාවට ආසන්න වැටුප් වලින් වාසි ලබා ගැනීමට විදේශීය ලාභ ශ‍්‍රම පාරාදීසයන්හි සිට එක්සත් ජනපදය කරා රැකියා මාරු කිරීමට අන්තර් ජාතික සමාගම් ඒත්තු ගන්වා ගැනීම යන පියවරයන්ගෙනි.

මේ පියවර ඒකාබද්ධ කොට ඇත්තේ, ආර්ථික වර්ධනය තවදුරටත් අවපාතයට ලක් කෙරෙන කප්පාදු පිලිවෙත් සමගය.

පසුගිය 30දා ටෙනසිහි චතනූගාහි පැවැත්වූ ආර්ථිකය පිලිබඳ සිය නවතම දේශනයේදී ඔබාමා යෝජනා කලේ සංයුක්ත බදු අනුපාතය සියයට 35 සිට, නිෂ්පාදකයන් සඳහා සියයට 25ක අනුපාතයක් ලබාදීම ද ඇතුලත් ව, සියයට 28 දක්වා කපා දැමීමටය. ඒ අතරම හේ යටිතල පහසුකම්, සමාජ සේවා හා අධ්‍යාපනය සම්පාදනය කිරීමට "පෞද්ගලික අංශය සමග කොටස්කරුවෙකු වන ලෙස” ආන්ඩුවට කැඳවුම් කලේය. මේ වූ කලී පෞද්ගලීකරනය හා මහජන පිරිවැය කපා හැරීම කේත වචන යොදා ප‍්‍රකාශ කිරීමකි.

මේ ප‍්‍රකාශ කෙරෙන්නේ ජූලි 18වන දා බංකොලොත්භාවය ප‍්‍රකාශයට පත් කල ඩෙට්රොයිට් නගරයට කවර හෝ ෆෙඩරල් ආධාරයක් ලබා දීම ඔබාමා පරිපාලනය විසින් ප‍්‍රතික්ෂේප කරන ලද තතු යටතේය. බැංකු හා ප‍්‍රමුඛ බැඳුම්කර හිමියන්ගේ ඉල්ලීම් නියෝජනය කරමින් ප‍්‍රාන්ත හා නාගරික නිලධාරීහු, 20,000ක් නාගරික කම්කරුවන්ගේ විශ‍්‍රාම ප‍්‍රතිලාභ සිඳලීමට ද, ඩෙට්රොයිට් කලායතනයේ ලෝක ප‍්‍රකට කලා කෘති එකතුව ඇතුලු නගරයේ වත්කම් පෞද්ගලීකරනය කිරීමට ද මෙකී බංකොලොත්භාවය ප‍්‍රකාශ කිරීම පාවිච්චි කල හැකි මං සොයමින් සිටිති.

මේ අතර, මසකට ඩොලර් බිලියන 85 බැගින් වූ සිය මුදල් නෝට්ටු මුද්‍රනය කිරීමේ කි‍්‍රයාවලිය හා ශුන්‍යයට ආසන්න වූ පොලී අනුපාතිකය ද නුදුරු අනාගතය පුරා දිගටම පවත්වා ගෙන යන බව, මේ සතියේ නිකුත් වූ එක්සත් ජනපද ෆෙඩරල් සංචිත මන්ඩලයේ නවතම ප‍්‍රකාශයෙන් පැහැදිලිව පවසා ඇත. විලක්ෂනය මීට ද වඩා පරිපූර්න ආකාරයකින් නිරුවත් ව දැකිය හැකි වෙනත් ආකාරයක් ඇත් ද? මූල්‍ය ප‍්‍රභූවේ සමෘද්ධිය සඳහා මූල්‍ය සම්පාදනයට අසීමිත ආකාරයකින් අරමුදල් ලබා දෙන අතර ඩෙට්රොයිට් කම්කරුවන්ට නෛතිකව හිමි විශ‍්‍රාම දීමනා ගෙවීමට "මුදල් නැත”.

අතිවිශාල ලෙස මෙසේ මුදල් බෙදා දීම් කොටස් වෙලඳ පොලේ දැන් සිදුවෙමින් පවත්නා පුනර්ජීවනයකට අවශ්‍ය තල්ලුව සම්පාදනය කොට ඇත. රැකියා පිලිබඳ සංඛ්‍යාවන්හි දිලිඳුකම නොතකා ඩව් ජෝන්ස් කාර්මික සාමාන්‍යය හා එස්ඇන්ඞ්පී 500 දර්ශකය යන දෙකම 02දා, පිටපිටම දෙවන දිනයටත්, නව වාර්තාගත අගයන් කරා නැගුනි.

එක්සත් ජනපදයේ සුවිසල් බැංකුවල ලාභ මේ වසරේ දෙවන කාර්තුවේ දී ද දිගටම තර වී ඇත. පසුගිය මාසයේ, විශාලතම එක්සත් ජනපද බැංකු වන ගෝල්ඩන් සැෂ්, ජේපීමෝගන් චේස් හා වෙල්ස් ෆාර්ගෝ වාර්තාගත ත්‍රෛමාසික ලාභ නිවේදනය කලෝය. ජේපීමෝගන් දෙවන කාර්තුවේ ලද ලාභය ඩොලර් බිලියන 6.1 කි. මෙය වසරකට ඉහත පැවැති තත්වය හා සැසැඳීමේ දී සියයට 32ක වැඩි වීමකි. වෙල්ස් ෆාර්ගෝ පසුගිය වසරේ එම කාර්තුවට වඩා සියයට 20ක වැඩි වීමක් දක්වමින් දෙවන කාර්තුව තුල ඩොලර් බිලියන 5.27ක් ලාභ උපයා ඇත.

ජේපීමෝගන් චේස් මේ වසරේ ඩොලර් බිලියන 25ක ලාභ ඉපැයීමට අපේක්ෂිතය. මෙය, මිලියන 30ක ජනගහනයකින් යුත් ඇෆ්ගනිස්ථානයේ දල දේශීය නිෂ්පාදිතයට සමාන අගයකි.

ඉක්විලර් ඉන්කෝපරේට් සමාගම විසින් වෝල් ස්ට්රීට් ජර්නලය සඳහා සිදු කෙරුනු විශ්ලේෂනයකට අනුව, ඩොලර් බිලියනයකට වඩා ආදායම් උපයන එක්සත් ජනපද සමාගම් 200ක ප‍්‍රධාන විධායක නිලධාරීන්ගේ වැටුප් 2012 වසරේ සියයට 16කින් තර වී ඇත. ඔවුන්ගේ වැටුප් සාමාන්‍යය ඩොලර් මිලියන 15.1 දක්වා ඉහල නැංවී ඇත.

ආර්ථිකයේ දිගින්දිගට සිදු වන පල්ලම් බැසීමට හා අර්බුදයට මුහුන දෙමින් සිටින එක්සත් ජනපද පාලක පන්තිය, ජනගහනයේ බහුතරය හිඟමනට ඇද දැමීම මගින් ප‍්‍රමුඛ සමාගම්වල ලාභ සහ සුපිරි ධනපතියන්ගේ වත්කම් තර කිරීමේ ක‍්‍රමානුකූල පිලිවෙතක් කි‍්‍රයාවට නංවමින් සිටියි.

Share this article: