එක්සත් ජනපද යුද සැලසුම්වලට ලේබර් ආන්ඩුවේ කැපවීම් කවරේ ද?

What commitments has the Labor government made to US war plans?

බටහිර ඕස්ට්‍රේලියාවේ සසප සෙනේට් අපේක්ෂක පීටර් සිමන්ඩ්ස් විසිනි, 2013 ජූලි 25

පසුගිය මැයි මාසයේ සිය 2013 මැතිවරන ව්‍යාපාරය දියත් කල සමාජවාදී සමානතා පක්ෂය (සසප), චීනයට එරෙහි එක්සත් ජනපද යුද සූදානමට ඕස්ට්‍රේලියානු ආන්ඩුව කරබදු වීම පිලිබඳ තීරනාත්මක ප්‍රශ්නවලට කම්කරුවන් හා තරුනයින් පිලිතුරු ඉල්ලා සිටිය යුතු යයි අවධාරනය කලේ ය. රටපුරා පිහිටුවා ඇති එක්සත් ජනපද කඳවුරුවල සැබෑ අභිප්‍රාය කුමක් ද? අලුතෙන් සැලසුම් කරන කඳවුරු හා මිලිටරි මෙහෙයුම් මොනවා ද? ඇමරිකානු මිලිටරි සැලසුම් කොතරම් ඉදිරියට ගොස් ඇද්ද?

එතැන් පටන් ජාතික ආරක්ෂක ඒජන්සියේ (එන්එස්ඒ) අකටයුතුකම් හෙලිකරන්නා වන එඩ්වඩ් ස්නෝඩන්ගේ හෙලිදරවු කිරීම් සහ හෙලිදරවු වුනු අනෙකුත් තොරතුරු තහවුරු කර ඇත්තේ, ඉන්දු-පැසිෆික් කලාපය තුල ඇමරිකානු මිලිටරි ස්ථානගත කිරීම් වලදී ඕස්ට්‍රේලියානු කඳවුරු තීරනාත්මක වනවා පමනක් නොව ඒවා දැනට මත් ඇමරිකාව පුරා කරගෙන යන සාපරාධී යුද මෙහෙයුම්වලට උපකාරී වන යෝධ ඇමරිකානු විද්‍යුත් ඔත්තු බැලීම්, සන්නිවේදන හා පාලන ක්‍රියාවලියට කේන්ද්‍රීයව සම්මාදම්ව ද සිටින බව යි.

ෆෙයාෆැක්ස් මාධ්‍ය ජාලය පසුගිය සති අන්තයේ අනාවරනය කලේ, බොහෝ සිවිල් වැසියන් ඇතුලුව දහස් ගනනක් මරා දමා ඇති ඔබාමා පාලනය ඇෆ්ගනිස්තානය, පාකිස්තානය හා යේමනයේ ගෙනයන ඩ්‍රෝන් යුද්ධවල දී එක්සත් ජනපද-ඕස්ට්‍රේලියානු පයින් ගැප් ඒකාබද්ධ කඳවුර අත්‍යවශ්‍ය පුරුකක් බවයි. එක්සත් ජනපද ව්‍යවස්ථාව හා ජාත්‍යන්තර නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් ඇමරිකානු පුරවැසියන් ඇතුලුව ඝාතනයට නියමිත ඉලක්ක තේරීමට ජනාධිපති ඔබාමා පුද්ගලිකව මැදිහත් වේ. මැද පෙරදිග සිට නැගෙනහිර ආසියාව දක්වා සමස්ත කලාපයෙන් රැස් කරගත් යෝධ විදුලි සන්දේශ දත්ත ප්‍රමානයන් පයින් ගැප්හි එක්සත් ජනපද හා ඕස්ට්‍රේලියානු සේවකයින් විසින් ඩ්‍රෝන් ප්‍රහාරවලට අවශ්‍ය ඛන්ඩාංක සකසා ගැනීම සඳහා විකේතනය කරයි.

ලේබර් ආන්ඩුව මෙම සාපරාධී ක්‍රියාවට ඍජුව සම්මාදම් වී සිටී. ආරක්ෂක ඇමති ස්ටීවන් ස්මිත් “ගනු ලැබ ඇති සෑම ක්‍රියාවක් හෝ ඉලක්කයක් ම” ඕස්ට්‍රේලියාව විසින් අනුමත කර නැති බව පසුගිය මාසයේ පාර්ලිමේන්තුවට කියා සිටිය ද සරලවම එය විශ්වාස කල නොහැක. ෆෙයාෆැක්ස් ලිපිය වාර්තා කලේ “පසුගිය දශකය තුල” ද එයිනුත් ජනාධිපති ඔබාමා ඩ්‍රෝන් ඝාතන වලට බැසගැනීමෙන් පසුව ගෙවුනු “වසර තුන තුල විශේෂයෙන්” ද පයින් ගැප් කඳවුර “යෝධ ප්‍රමානාත්මක හා ගුනාත්මක පරිවර්තනයකට“ බඳුන් වී ඇති බව යි.

ඔබාමාගේ ඩ්‍රෝන් ඝාතනවලට හවුල් වීම, පයින් ගැප් කඳවුර එක්සත් ජනපද මිලිටරි හා ඔත්තු බැලීම් මෙහෙයුම්වල දී ඉටුකරන සංගෘහිත භූමිකාවේ එක් අංගයක් පමනි. ඔවුන් සම්මාදම්ව සිටින අනෙකුත් එක්සත් ජනපද අපරාධ මොනවා ද? 2010 හා 2011 දී එක්සත් ජනපදයේ සහභාගිත්වය ද ඇතිව ඊස්රායලය අවම වසයෙන් ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයින් පස් දෙනෙකු මරා දැමී ය. අරමුනු කල ඉලක්ක පිලිබඳ විදුලි සන්දේශ දත්ත ඇමරිකානු රහස් ඔත්තු සේවය හරහා මොසාඩ් සංවිධානය වෙත ලබා දීමට පයින් ගැප් සම්මාදම් වී ද? සිරියාවේ අසාද් තන්ත්‍රය පෙරලීමට මාන බලන එක්සත් ජනපදයේ පිටුබලය ලබන ප්‍රතිගාමී සටන්කරුවන්ට ඔවුන් රහස් තොරතුරු සම්පාදනය කරන්නේ ද?

පයින් ගැප් වනාහි සමස්ත ලෝකය පුරා ඇමරිකාව කරගෙන යන යෝධ විද්‍යුත් ඔත්තු බැලීම් ජාලයේ කොටසක් එඩ්වඩ් ස්නෝඩන් විසින් හඳුනාගත් ඕස්ට්‍රේලියානු කඳවුරු හතරෙන් එකකි. අනෙක් ඒවා නම්, ඩාවින් අසල පිහිටි ෂෝල් රේ ප්‍රතිග්‍රාහක ස්ථානය, බටහිර ඕස්ට්‍රේලියාවේ ගෙරල්ඩ්ටොන්හි පිහිටි ආරක්ෂක චන්ද්‍රිකා සන්නිවේදන ස්ථානය හා සියලු පහසුකම්වලින් යුත් නව දත්ත රැස්කිරීමේ ස්ථානයක් ඉදිකරනු ලැබෙමින් තිබෙන කැන්බරාවෙන් ඔබ්බේ පිහිටි එච්එම්ඒඑස් හාමන් නමැති නාවික සන්නිවේදන කඳවුර යි. යෝධ දත්ත බැංකු තුල ලොවපුරා දුරකථන අංක, විද්‍යුත් ලිපින, අන්තර්ජාලයට පිවිසීම් හා ග්‍රාහකයින්ගේ කටයුතු එක්රැස් කරන එන්එස්ඒහි එක්ස්-කීස්කෝර් වැඩසටහනට මෙම කඳවුරු දත්ත සම්පාදනය කරති.

පසුගිය දශකය තුල අන්තර්ජාලය අනෙකුත් විද්‍යුත් සන්නිවේදන මාධ්‍ය පරයා ගොස් ඇති තතු යටතේ අන්තර්-මහාද්වීපික කේබල් හරහා ප්‍රකාශ කෙරෙන තන්තුමය කොඳුනාරටිය වෙත ඇමරිකානු රහස් තොරතුරු ඒජන්සීන් ඇදගෙන ඒමට ඕස්ට්‍රේලියාව කේන්ද්‍රීයව ක්‍රියාකොට තිබේ. අනෙකුත් කේබල් සන්නිවේදන සංගත සමගින් ටෙල්ස්ට්‍රා යන යෝධ ඕස්ට්‍රේලියානු විදුලි සන්දේශ සංගතය ඕස්ට්‍රේලියාව, ආසියාව හා යුරෝපයේ සිට එක්සත් ජනපදයට පැමිනෙන සන්නිවේදන කේබල් භූගත වන ස්ථානවල ඉහල ම ආරක්ෂක පහසුකම් සහිතව එක්සත් ජනපද පුරවැසියන් කාර්ය මන්ඩලය ලෙස යොදා ගනිමින් “පහසුකමක්” ස්ථාපනය කිරීමට ගිවිසුමකට අත්සන් තබා ඇත. එහි කොටසක් ලෙස, ටෙල්ස්ට්‍රා සංගතය විදුලි සන්දේශ දත්ත විශාල ප්‍රමානයන්ගෙන් ගබඩා කොට පසුව ප‍්‍රයෝජනයට ගැනීම සඳහා එක්සත් ජනපද රහස් ඔත්තු ඒජන්සීන්ට අවස්ථාව සලසා දී තිබේ.

ඇමරිකානු රහස් තොරතුරු හා යුද ක්‍රියාදාමය තුල ඕස්ට්‍රේලියානු මිලිටරිය, රහස් තොරතුරු ඒජන්සි හා සංගත ගැඹුරින් පටලැවී තිබෙන ක්‍රමය පිලිබඳ ඡායා මාත්‍රයක් පමනක් මෙම හෙලිදරවු කිරීම් මගින් සම්පාදනය කරයි.

ඔබාමා පාලනයේ “ආසියාවට හැරීම” යන වැඩපිලිවෙල, චීනයට එරෙහි මිලිටරි ප්‍රහාරයක් සූදානම් කිරීමේ නිරතව ඇත. ඩාවින්හි එක්සත් ජනපද නාවික භටකායන්, කොකෝ දූපත් මත ඩ්‍රෝන් ප්‍රහාර සැලසුම් හා පර්ත් අසල ස්ටර්ලිං නාවුක කඳවුර ඇතුලු ආසියාව පුරා ඇමරිකානු මිලිටරි දෘඩාංග හා හමුදා බලකායන් වර්ධනය කිරීම, එක්සත් ජනපද විද්‍යුත් ඔත්තු බැලීම් හා සයිබර් යුද සූදානම ට ඕස්ට්‍රේලියාව ඒකාබද්ධ වීම සමග අතිනත ගෙන ගමන් කරයි. එන්එස්ඒය දැනටමත් වැදගත් අන්තර්ජාල සංරචක ඇතුලුව චීන ආන්ඩුවේ ද මිලිටරිමය හා වානිජමය අංශවල ද පරිගනක සිය ගනනක් තුලට හොරෙන් ඇතුලු වී ඇතැයි ස්නෝඩන් අනාවරනය කර ඇත.

“පයින් ගැප්හි ඍජු දායකත්වය නොමැතිව එක්සත් ජනපදය නැගෙනහිර අර්ධ ගෝලයේ තවත් යුද්ධයක් කිසි දිනක නො කරනු ඇතැ”යි නම් හෙලි නො කල ඕස්ට්‍රේලියානු රහස් අංශ නිලධාරියෙක් ෆෙයාෆැක්ස් මාධ්‍ය වෙත කල ප්‍රකාශය මගින්, එක්සත් ජනපද මිලිටරියට ඕස්ට්‍රේලියානු කඳවුරුවල ඇති වැදගත් කම ඉස්මතු කරයි. වෙනත් වචනවලින් කියතොත් ඕස්ට්‍රේලියානු ජනයාගේ කැමැත්ත පසෙක තැබුවත්, ඔවුන්ගේ දැනුවත් භාවයෙන් පවා තොරව ඔවුන් එක්සත් ජනපදය ආසියාව තුල කරන ඕනෑ ම යුද්ධයක් තුල ඉබේම පෙරමුනට තල්ලු කර තිබේ.

මේ කිසිවක් ප්‍රසිද්ධියේ සාකච්ඡාවට හෝ විවාදයට ගැනීම කල නො හැක. සුලු ව්‍යතිරේකයන් කිහිපයක් හැරුනු විට ඕස්ට්‍රේලියානු දේශපාලන සංස්ථාපිතය හා මාධ්‍ය, ස්නෝඩන්ගේ හෙලිදරවු කිරීම්වලට ප්‍රතිචාර දක්වා ඇත්තේ නිශ්ශබ්දතාවෙනි. ලේබර් ආන්ඩුවේ ඇමතිවරු “ජාතික ආරක්ෂාව” යන හේතුව මත කාන්දුවීම් පිලිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇත. ඕස්ට්‍රේලියානු ආන්ඩුව ඇෆ්ගනිස්තානයේ හා ඉරාකයේ එක්සත් ජනපද යුද්ධයට දස අවුරුද්දක් තිස්සේ සම්මාදම් වීමෙන් පසුව, එක්සත් ජනපදයේ යුද සැලසුම් තුල ඕස්ට්‍රේලියාව කොතෙක් දුරට සම්බන්ධවී ඇත් ද හා ඒ කෙතරම් දුරට ද යන්න දැනගතහොත් පුපුරා යා හැකි විරුද්ධත්වය කෙරෙහි පාලක පන්තිය බිය වේ.

යුද්ධයට සූදානම ප්‍රජාතන්ත්‍රවාදීව කල නොහැක. ස්නෝඩන් විසින් හෙලිදරවු කරන ලද යෝධ එන්එස්ඒ පොලිස් රාජ්‍ය යාන්ත්‍රනය, චීනය හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අනෙකුත් ප්‍රතිමල්ලවයන්ට එරෙහිව යොමු වී ඇති ප්‍රමානයට ම ඇමරිකානු ජනතාවට එරෙහිව ද එල්ල වේ. “ඇස් පහේ” රහස් තොරතුරු සන්ධානය යටතේ විශාල එක්සත් ජනපද දත්ත බැංකුවලට අත පෙවීමට තමන්ට ඇති හැකියාව ඕස්ට්‍රේලියානු ජනතාව පිලිබඳව ඔත්තු බැලීමට ඕස්ට්‍රේලියානු රහස් තොරතුරු අංශ විසින් භාවිතා නො කරතියි යන්න සිතාගැනීමටවත් නො හැක.

චීනයට එරෙහි එක්සත් ජනපද යුද තල්ලුවට තෙල් වක්කරන්නේ වඩා නරක අතට හැරෙමින් තිබෙන ධනවාදයේ ගෝලීය අර්බුදය විසිනි. ඕනෑම ප්‍රතිමල්ලවයෙකුට එරෙහිව සිය ගෝලීය ආධිපත්‍යය රඳවා ගැනීම සඳහා තම මිලිටරි ශක්තිය පාවිච්චි කිරීමට ඇමරිකානු අධිරාජ්‍යවාදය අධිෂ්ඨානවත්ව සිටී. එක්සත් ජනපදය, මිලිටරි සංධානයන් හා කඳවුරු ජාලයක් සමගින් චීනය වටලෑමේ මං සොයද්දී සමස්ත ආසියානු කලාපය පුරා තියුනු ලෙස නැගෙන ආතතීන්, තීව්‍ර වන ආයුධ තරඟ හා ජ්වලනාංකයන්ගේ ගිනිගැනීම්වල මූලාශ්‍රය එය යි.

යුද්ධය කරා ධාවනය නවතාලිය හැකි එක ම මාවත, මිලිටරිවාදයේ හා යුද්ධයේ මූලය වන ලාභ පද්ධතිය ම අහෝසි කිරීම ඉලක්ක කරගත් කම්කරු පන්තියේ පුලුල් ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීම යි. එක්සත් ජනපද මිලිටරි කඳවුරු හා ඕස්ට්‍රේලියානු රාජ්‍යයේ කුදු මහත් මිලිටරි රහස් තොරතුරු පද්ධතිය බිඳ විසිරවීම ඇතුලු සමාජවාදී පිලිවෙත්වලට කැප වූ කම්කරුවන්ගේ ආන්ඩුවක් සඳහා කරන සටන තුලින් පමනක් එක්සත් ජනපද යුද සැලසුම්වලට ලේබර් ආන්ඩුවේ සම්මාදම් වීමේ සමස්ත සත්‍යය එලිමහනට එනු ඇත.

යුද්ධයට එරෙහි අරගලය ප්‍රජාතාන්ත්‍රික අයිතීන් සඳහා අරගලය සමග සමීපව බැඳී තිබේ. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ නීති විරෝධී කටයුතු ධෛර්ය සම්පන්නව හෙලිදරවු කර ඇති එඩ්වඩ් ස්නෝඩන් ආරක්ෂා කරන ලෙස සසප කම්කරුවන්ට හා තරුනයන්ට ආයාචනා කරයි. ඔහු ආරක්ෂා කිරීම ලොව පුරා පොලිස් රාජ්‍ය සැලසුම් පරාජය කිරීමේ පුලුල් අරගලයක කොටසක් විය යුතු ය.

සියල්ලටත් වඩා 2013 සසප මැතිවරන උද්ඝෝෂනයට සහභාගි වන ලෙස ද යුද්ධය, කප්පාදු හා ආඥාදායකත්වය කරා යන ගමනට එරෙහිව සමාජවාදී ඉදිරිදර්ශනයක් සඳහා සටන් වදින එකම පක්ෂය වන සසපට බැ‍‍ෙඳන ලෙසත් අපි ඉල්ලා සිටිමු.

Share this article: