ඔබාමා පාලනාධිකාරය අර්ධකාලීන රැකියා වර්ධනය වේගවත් කරයි

Obama administration spearheading growth of part-time labor

ඇන්ඩෘ ඩෙමොන් විසිනි, 2013 අගෝස්තු 26

කම්කරු දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, පසු ගිය මාස දෙක තුල එක්සත් ජනපද ආර්ථිකය පූර්නකාලීන රැකියා 148,000කට අර්ධකාලීන රැකියා ආදේශ කර තිබේ. මෙය පෙන්නුම් කරන්නේ ඔබාමා පාලනයේ ඇෆෝඩබල් කෙයා ඇක්ට් (ඒසීඒ) නම් පනත යටතේ අර්ධකාලීන ශ්‍රමිකයන් වැඩිකිරීම සැලකිය යුතු තරම් වේගවත් කර ඇති බවයි.

පූර්නකාලීන රැකියාවල වියදමින් අර්ධකාලීන හා තාවකාලික රැකියාවල වර්ධනය, “වෛෂයික” ආර්ථික බලවේගයන්ගේ ප්‍රතිඵලයක් නො වේ. එය 2008 සැප්තැම්බර් මස වෝල් වීදියේ කඩාවැටීමේ සිට වේගවත් කෙරී ඇති කම්කරු පන්තියේ ජීවන තත්වයන් හා සමාජ කොන්දේසිවලට එරෙහි ප්‍රහාරයේ සාරභූත අංශයකි.

ඔබාමා පාලනය මෙම ප්‍රහාරය මෙහෙයවන්නේ වැටුප් කප්පාදු හා කම්කරුවන්ගෙන් විශාල කොටසක් තාවකාලික තත්වයට පහත හෙලීම දිරිමත් කරමිනි. ඒසීඒ නම් ඔබාමාගේ ඊනියා සෞඛ්‍ය ආරක්ෂක “ප්‍රතිසංස්කරන” සැලැසුම් කෙරුනේ, පූර්නකාලීන කම්කරුවන්ට සෞඛ්‍ය රක්ෂන සැලසීමේ අවශ්‍යතාව මගහැරීම සඳහා සේවකයින්ගේ පැය ගනන අඩුකිරීමට සේවාදායකයන් දිරිමත් කිරීම මගින් මෙම ක්‍රියාදාමයට පහසුකම් සැපයීමට ය.

පහල වැටුප්, අර්ධකාලීන හා තාවකාලික ශ්‍රමය, මේ පාලනයේ ඊනියා “රැකියා වැඩසටහනේ” හරය වන්නේය. ඔබාමා පොරොන්දු වී ඇත්තේ එක්සත් ජනපද නිෂ්පාදනය “පුනරීක්ෂනය” කිරීමෙන් හා ලෝක වෙලඳපොල තුල ඇමරිකානු සමාගම් වඩා තරඟකාරී කිරීමෙන් එක්සත් ජනපද අපනයන වැඩි කිරීමට ය. ඔහු නො පවසන දෙය නම් මෙය ද සමග සමස්ත පාලක පන්තියේම පරාමාර්ථය, පසු ගිය සියවස පුරා ඇමරිකානු කම්කරු පන්තියේ පරම්පරාවන් විසින් දිනාගන්නා ලද සියළු සමාජ ජයග්‍රහනයන් විනාස කිරීම බව යි.

කම්කරු සංඛ්‍යා ලේඛන බියුරෝවේ කුටුම්භ සමීක්ෂනයකට අනුව, අර්ධකාලීන රැකියා 534,000ක් එකතු කරන අතරතුර ජූනි හා ජූලි මාසවල දී එක්සත් ජනපදය අහිමි කර ගත් ඒකාබද්ධ පූර්නකාලීන රැකියා සංඛ්‍යාව 148,000කි. මෙය පෙන්වන්නේ පූර්න කාලීන රැකියා අනුපාතයට අනුව අර්ධකාලීන රැකියාවල අනුපාතය වඩා වේගයෙන් වර්ධනය වෙමින් පවතින බව යි. මෙම වසරේ මේ දක්වා නව රැකියාවලින් හතරෙන් තුනකට වඩා අර්ධකාලීන රැකියා වී ඇත.

අර්ධකාලීන ශ්‍රමය සමග පූර්නකාලීන රැකියා ආදේශ කරන සමාගම් හා පලාත් පාලන ආයතන ඔවුන්ගේ පියවර ආරෝපිත කර ඇත්තේ ඇෆෝඩබල් කෙයා ඇක්ට් සේවායෝජක ආඥාවට ය. මෙම ආඥාව අනුව සේවකයන් 50ට වඩා වැඩි සමාගම් පූර්නකාලීන කම්කරුවන්ට සෞඛ්‍ය සේවා රක්ෂන සැපයිය යුතු ය. මෙය සිදුවන්නේ සංගත පීඩනයට හිස නමමින් ඔබාමා පාලනාධිකාරය පසු ගිය මාසයේ දී සේවායෝජක ආඥාව සඳහා ආරම්භක දිනය 2015 ජනවාරි දක්වා වසරකින් කල් දැමීමේ කාරනය නොසලකා ය.

“සමහර පූර්නකාලීන රැකියා නවතා දමා ඇති අතර අර්ධකාලීන සේවකයින් බඳවා ගනිමින් සිටින බැවින් ඔවුන්ට (හාම්පුතුන්ට) ප්‍රතිලාභ ගෙවීමට සිදුවන්නේ නැත” යි ක්ලයන්ට් ස්ටාෆින්ග් සොලූෂන්ස් නම සේවකයින් සැපයීමේ සමාගමේ ඩරින් හොවෙන්ඩික් රොයිටර් පුවත් සේවයට පැවසී ය.

මෙම මස මුල දී, ෆෝඑවර් 21 නම් සිල්ලර ඇඳුම් වෙලඳ සමාගමක් පූර්න කාලීන“ගබඩා සහායකයින්ට, විකුනුම් සහායකයින්ට, ගබඩා නඩත්තු සහායකයින්ට, උපකරන පිලිබඳ නිපුනයන්ට හා අයකැමියන්ට” අගෝස්තු 18වැනිදා සිට ඔවුන්ගේ රැකියා “අර්ධකාලීන ලෙස වර්ගීකරනය වනු ඇති” බව දන්වන ලිපියක් යැවී ය.

ලිපිය සේවකයින්ට දැන්වූයේ “අපගේ වෛද්‍ය, දන්ත, අක්ෂි හා එෆ්එස්ඒ සැලැසුම් (නම්‍ය වියදම් ගිනුම) යන ඕනෑ ම එකක්” තුල ලියාපදිංචි වූවන්ගේ ආවරන මෙම වසරේ අගෝස්තු 31වැනි දින අවසන් වනු ඇති බව යි. සේවකයින්ට දැනුම්දී ඇත්තේ, ඔවුන්ගේ පඩි සහිත නිවාඩු නැතිවන බවත්, වැඩ කාලය සතියකට පැය 29.5 නොඉක්මවනු ඇති බවත්ය.

වෙනත් සමාගම් ඇෆෝඩබල් කෙයා ඇක්ට් පනතේ නියමයන්ට ප්‍රතිචාර දක්වා ඇත්තේ, සේවක ප්‍රතිලාභ කපා දමමිනි. පසු ගිය සතියේ යුනයිටඩ් පාර්සල් සර්විස් පැවසුවේ සෞඛ්‍ය ආරක්ෂන නීතියට ප්‍රතිචාර වශයෙන් තමන්, සේවකයින්ගේ කලත්‍රයින් 15,000කගේ පමන සෞඛ්‍ය ප්‍රතිලාභ කපනු ඇති බව යි.

නිව් යෝක් ටයිම්ස් වාර්තා කරන ලද පරිදි අභ්‍යන්තර සටහනක් තුල සමාගම පවසා ඇත්තේ, “ඇෆෝඩබල් කෙයා ඇක්ට්හි වියදම් සමග බැඳුනු සෞඛ්‍ය ආරක්ෂන වියදම් වැඩිවිම නිසා, දැරිය හැකි පිරිවැයක් තුල අපගේ සේවකයින්ට එක ම මට්ටමේ සෞඛ්‍ය ආරක්ෂන ප්‍රතිලාභ සැපයීම දිගට ම ගෙනයාම දුෂ්කර” බවය.

ඒ ආකාරයෙන් පලාත් පාලන ආයතන ද සෞඛ්‍ය ආරක්ෂන නීතියට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ පැය ගනන් කප්පාදු කරති. නිව් ජර්සී හි මිඩ්ල්ටන් නාගරිකය; ටෙක්සාස් හි බී කවුන්ටිය; හා ෆ්ලොරිඩා හි බ්‍රේවාර්ඩ් කවුන්ටිය යන සියල්ල ඒසීඒ යටතේ සෞඛ්‍ය රක්ෂනය සඳහා ගෙවීම් මගහැරීම පිනිස කම්කරුවන්ගේ වැඩ පැය ගනන් කප්පාදු කර ඇති බව වොෂින්ටන් පෝස්ට් වාර්තා කලේ ය.

2008 සිට එක්සත් ජනපදය තුල මිලියන 5ට වඩා පූර්නකාලීන රැකියා අහිමිවී ඇති නමුත් නිර්මානය කර ඇත්තේ අර්ධකාලීන රැකියා මිලියන 3.1ක් පමනි. 2005 සිට අර්ධකාලීන රැකියා ආසන්න වශයෙන් සියයට 14කින් වැඩි වී ඇත.

අඩු පැය ගනන් වැඩ කරනවාට අමතර ව, අර්ධකාලීන කම්කරුවන් සැබවින් ම උපයන්නේ පූර්නකාලීන කම්කරුවන්ට වඩා සැලකිය යුතු ලෙස අඩු වැටුපකි. අනියම් කාලසටහන් යටතේ ඔවුන් වැඩ කරන බැවින් රැකියා ප්‍රතිලාභ සපයනු නොලැබේ.

2008 කඩාවැටීම හා ඒ අනුව පැමිනි අවපාතය පාලක පන්තිය විසින් උපයෝගී කරගෙන ඇත්තේ, එක්සත් ජනපදය තුල සමාජ සම්බන්ධතාවන්ගේ පුළුල් ප්‍රතිව්‍යුහනයක් ක්‍රියාත්මක කිරීමට ය. අඩු වැටුපකට මහන්සිවී වැඩ කිරීමට සේවකයන් තල්ලු කිරීම සමගින් සමාගම් වල ලාභ ඉහල යාමට පටන්ගෙන ඇත. මූල්‍ය විශ්ලේෂන සමාගමක් වන සේග්වර්ක්ස් වාර්තාවකට අනුව, මෙහි ප්‍රතිඵලයක් වශයෙන් එක්සත් ජනපදයේ පෞද්ගලික සමාගම් තුල ඒක-ශ්‍රමික ලාභය ආසන්න වශයෙන් තුනෙන් එකකින්, එනම් 2009දී ඩොලර් 14,000 සිට පසු ගිය වසරේ ඩොලර් 18,000 දක්වා පිම්මක් පැන්නේ ය.

“අඩු සේවක සංඛ්‍යාවක් සමගින් නැතිනම් අතිරේක කම්කරුවන් බඳවා ගැනීමකින් තොරව වඩ වඩා මුදල් ඉපයීමට පෞද්ගලික සමාගම් සමත් වී ඇතැ”යි සේග්වර්ක්ස් විශ්ලේෂක ලිබී බියර්මන් රොයිටර්ට පැවසී ය.“අවපාතය තුල දී ව්‍යාපාර සඳහා උගත් පාඩම වූයේ සේවකයන් අඩුවෙන් යෙදවීමේ මෙහෙයුම යි.”

ශ්‍රම පිරිවැය විශාල ලෙස වැටීම හා සේවාස්ථානවල අනියම්කරනය මගින් එක්සත් ජනපද හා ජාත්‍යන්තර නිෂ්පාදන සංගත මෙහෙයවා ඇත්තේ, චීනය හා මෙක්සිකෝව වැනි අඩු වියදම් රටවලට ගෙන ගොස් තිබූ නිෂ්පාදන “නැවත රටතුලට ගෙන ඒමට ය.” කලමනාකරන උපදේශන සමාගමක් වන බොස්ටන් කන්සල්ටින්ග් ගෘප්, පසු ගිය සතියේ ප්‍රසිද්ධ කල වාර්තාවක මෙසේ සඳහන් කලේ ය: “අපගේ විශ්ලේෂනය පෙන්වා දෙන්නේ සංවර්ධිත ලෝකය තුල නිෂ්පාදනය සඳහා අඩු ම වියදම් සහිත රටවලින් එකක් බවට එක්සත් ජනපදය පත්වෙමින් තිබෙන බව යි.”

පාලනාධිකාරයේ ක්ෂමාලාපකයන් කියන පරිදි කම්කරුවන්ගේ වැඩ පැය ගනන හා ප්‍රතිලාභ කැපීමට සමාගම් ගනු ලබන පියවර “ඔබාමාරක්ෂාවට” එරෙහිව පසමිතුරු “ප්‍රතික්‍රියාවක් (ආපසු ගැසීමක්)” නොවේ. එය මුළුමනින් ම එක පෙලට සිටින්නේ, ඇමරිකානුවන් මිලියන ගනනාවකට බලපාන සමාජ ආරක්ෂනය අඩු කිරීම මගින් සංගත හා ආන්ඩුවේ සෞඛ්‍ය ආරක්ෂන වියදම කපා දැමීමට සැලැසුම් කෙරුනු මෙම පියවරවල ස්වරය හා ලීලාව සමග ය. වෛද්‍ය රැකවරනවල ඩොලර් බිලියන ගනනාවක කප්පාදුවලට අමතරව එක්සත් ජනපදය තුල සෙඛ්‍ය රැකවරනය, ඖෂධ,පරීක්ෂන හා පරිපාටීන් පන්ති හා ආදායම් තත්වයන්ට ඍජුව බද්ධ කෙරෙන පරිදි සලාක කිරීම වැඩසටහන මගින් දිරිමත් කෙරේ.

පාලනාධිකාරිය අනුයන සමාජ පිලිවෙතේ අනෙකුත් සෑම අංශයක මෙන්ම මෙහි ද කේන්ද්‍රීය එල්ලය වන්නේ පුළුල් කම්කරු පන්ති සමූහයේ වියදමින් සංගත ලාභ වැඩිකිරීම ය.

Share this article: