ඊජිප්තු කුමන්ත්‍රනය හා කම්කරු පන්තිය හමුවේ ඇති කර්තව්‍යයෝ

The Egyptian coup and the tasks facing the working class

2013 ජූලි 30

ඊජිප්තුවේ ජූලි 03දා සිදුවූ කුමන්ත්‍රනය හා පසුව දියත්වූ මර්දනය, ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුනදෙන මූලික ගැටලුව, එනම් විප්ලවවාදී නායකත්වයේ අර්බුදය තියුනු ලෙස ඉස්මතු කරයි.

දිගු කලක් තිස්සේ එක්සත් ජනපදය පිටුබලය දුන් ආඥාදායක හොස්නි මුබාරක් බලයෙන් පහකිරීමට බලකරනු ලැබූ මහජන නැගිටීම් වලින් දෙවසරකට වැඩි කාලයක් ගතවීමෙන් පසුව, එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලත් මිලිටරි ආඥාපති ජෙනරාල් අබ්දෙල් ෆටා අල් සිසීගේ නායකත්වය යටතේ මිලිටරිය, 2011 පෙබරවාරියට පෙරාතුව පැවති දේශපාලන වාතාවරනය යලි පිහිටුවීමේ උත්සාහයක නිරතව සිටී.

මාසයකට පෙර මුස්ලිම් සහෝදරත්වයේ (මුස) ජනාධිපති මොහමඩ් මුර්සි බලයෙන් පහ කිරීමෙන් පසුව මිලිටරිය, ත්‍රස්තයේ පර්යායක් ගොඩනැගීම පිනිස රුදුරු ලෙස පියවර ගනිමින් සිටියි. මූර්සිගේ අධාරකරුවන් සිය ගනනක් අමු අමුවේ මරා දමා ඇති අතර දහස් ගනනක් සිරගතකොට ඇත.

වෝල් ස්ට්‍රීට් ජර්නල් පත්‍රය 29දා පල කල ලිපියක සඳහන් කර ඇති ආකාරයට, "ඊජිප්තුවේ අන්තර් වාර සිවිල් ආන්ඩුව දිගු කලක් බලයේ සිටි, බෙහෙවින් වෛරයට පාත්‍රවූ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් තන්ත්‍රය වර්ගයේ පොලිස් රාජ්‍යයක් පනගැන්වීම දෙසට ගමන් කරයි. ආන්ඩුව 28දා සිවිල් වැසියන් අත්අඩංඟුවට ගැනීමේ බලතල හමුදාවට පවරාදුන් අතර මුබාරක් යටතේ පැවති හදිසි නීති බලතල සමහරක් යලි පනගැන්වීය. දිනකට පෙර අභ්‍යන්තර (කටයුතු පිලිබඳ) ඇමති මොහමඩ් ඊබ්‍රහීම්, මුබාරක් යටතේ දශක ගනනක් පැවති මර්දනකාරී රහසිගත පොලිසියේ ඒකකයක් යලි පිහිටුවීමට තමා සැලසුම් කර සිටින බව පැවසීය.”

මර්දනයේ ක්ෂනික එල්ලය මුස්ලිම් සහෝදරත්වය හා එහි ආධාරකරුවන් වන අතර අවසන් ඉලක්කය වන්නේ කම්කරු පන්තියයි.

ප්‍රතිවිප්ලවවාදී කුමන්ත්‍රනයේ වැදගත්කම කුමක් ද හා ඊජිප්තු විප්ලවයේ වර්ධනය තුල අප සිටින්නේ කොතැනක ද?

ඊජිප්තු විප්ලවය එක් වැදගත් සිදුවීමක් නො වේ. විශේෂයෙන්ම සංකීර්න ජාතික හා ජාත්‍යන්තර ක්‍රියාවලීන් තුල ප්‍රගාඪ ලෙස මුල්බැසගත් සියලු ශ්‍රෙෂ්ඨ විප්ලවයන් මෙන්ම එය ද දිගහැරුනේ, සති හා මාස ගනන් නොව වසර ගනනාවක් තිස්සේය. විප්ලවය වනාහි පෙරට එන දේශපාලන බලවේග ඔවුන් නියෝජනය කරන පන්ති අවශ්‍යතා හෙලිදරව් කරන සටන් බිමකි.

මෙම ආස්ථානයේ සිට සලකන කල 2013 ජූනි-ජූලි සිදුවීම් නියෝජනය කරන්නේ විප්ලවයේ අවසානය නොව, එහි ආරම්භක අදියරයන් පමනක් බව කිව හැක.

විප්ලවයේ ආරම්භක අදියරයන්හි දී විවිධ සමාජ හා දේශපාලන බලවේග මුබාරක් නෙරපා හැරීම සඳහා වූ ඉල්ලීම් වටා පෙල ගැසුනහ. සියලු දෙනාම කීවේ තමන් ප්‍රජාතන්ත්‍රවාදයේ හා ජනතාවගේ පැත්තෙහි බවය. ඒ අතර, ගූගල්හි මැදපෙරදිග කලමනාකාර වයෙල් ගොනීම් වැනි ලිබරල් අදහස් දැරූ ව්‍යාපාරිකයින් ද හිටපු එක්සත් ජාතීන්ගේ නිලධරයෙක් වූ මොහමඩ් එල් බරාඩේ වැනි ධනපති දේශපාලඥයින් ද විශාලතම එහෙත් මුබාරක් යටතේ නිල වශයෙන් තහනම් කර තිබූ විපක්ෂ කන්ඩායමක් වූ මුස්ලිම් සහෝදරත්වයේ සාමාජිකයින් ද වරප්‍රසාදිත මධ්‍යම පන්තියේ නියෝජිතයින් හා මිලිටරියේ ම කොටස් ද පවා සිටියහ.

මෙම බලවේගයන්ගෙන් තමන් වෙන් කරන ඉමහත් පන්ති ආගාධය පිලිබඳව කම්කරු පන්තිය ඒ වන විට දැනුවත්ව සිටියේ නැත. කෙසේ වෙතත් විප්ලවය දිගහැරෙන විට, ඊජිප්තු පාලක පැලැන්තියේ දේශපාලන බලවේග කිරා බලා පරීක්ෂාවට ලක්ව තිබුනි.

පලමුවෙන්ම, මුබාරක්ගෙන් පසුව බලය අත්කරගත් මිලිටරි ජුන්ටාව, පැරනි පර්යායේ හැකිතාක් ප්‍රමානයක් සුරක්ෂිත කර ගැනීමේ අවශ්‍යතාවෙන් පෙලුනු ප්‍රතිවිප්ලවවාදී බලවේගයක් ලෙස හෙලිදරව් විය. ඔවුන් ඉක්මනින්ම වැඩවර්ජන තහනම් කල අතර විරෝධතා මැඩ පවත්වා මුබාරක් අවධියේ අනුගමනය කල වධ දීමේ ක්‍රම දිගට පවත්වාගෙන යමින් දහස් ගනන් සිවිල් වැසියන්ට මිලිටරි උසාවි වලදී දඬුවම් කරන ලදී.

මිලිටරිය හෙලිදරව් වීම පසුපසින් මුබාරක් තන්ත්‍රයේ ප්‍රධාන සංවිධිත දේශපාලන විපක්ෂය වූ මුස්ලිම් සහෝදරත්වය ද හෙලිදරව් විය. මුස්ලිම් සහෝදරත්වය, පාලනයට සම්බන්ධ පුද්ගලයන් එහා මෙහා කර, තමන්ට ද තමන් පෙනී සිටි ඊජිප්තු ධනේශ්වරයේ කොටස් වලට ද බලයේ වැඩි පංගුව හිමිවන පරිදි එරට නීති හා දේශපාලන සංස්ථා නවීකරනය සඳහා කැඳවුම් කලහ. කෙසේ වෙතත් මිලිටරිය සේම ඔවුන් ආරක්ෂා කලේ ද එම ධනේශ්වර පන්ති අවශ්‍යතාවන් ම ය.

මුස ආන්ඩුව ද පෙර පැවති පාලන තන්ත්‍රයන් සේම, කම්කරු පන්ති විරෝධී හා අධිරාජ්‍ය ගැති පිලිවෙත් අනුගමනය කලේය. මූර්සි බලයට පත්වුන වහාම ඊජිප්තු ආර්ථිකය නිදහස් වෙලඳපොල ප්‍රතිපත්ති යටතේ තවදුරටත් නිදහස් කිරීමටත් ජනතාවට නැතුවම බැරි ඉන්ධන හා පාන් සහනාධාර කැපීමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කලේය. සියල්ලටත් වඩා, එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් සිරියාව තුල ගෙන යන කුලීකාර යුද්ධය ඇතුලු එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ කලාපීය අවශ්‍යතා ආරක්ෂා කිරීමට ඔහු ඉදිරිපත් වූයේය.

ඉන් පසුව පසුගිය ජූනි 30දා මිලියන ගනනාවක් සහභාගී වූ විරෝධතාවන්ගෙන් කුලුගැන්වුන මහජන අරගල මූර්සි ආන්ඩුවට හා මුස එරෙහිව පැනනැඟුනි. 2011 පටන් පැනනැඟී තිබුනු කම්කරු පන්තියේ පෙරලිකාරිත්වයෙන් ද කම්කරු පන්ති විප්ලවයේ තර්ජනයෙන් ද බියපත්වූ මිලිටරිය, සෘජුවම මේ තුලට මැදිහත් විය. කුමන්ත්‍රනයට, ධනේශ්වර හා මධ්‍යම පන්ති කන්ඩායම් සහයෝගය දුන්හ. ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ "සැබෑ විප්ලවවාදීන්” ලෙස ද මුබාරක් හා මුර්සි තන්ත්‍රයන්ට විකල්ප "ප්‍රජාතන්ත්‍රවාදීන්” ලෙස ද පෙරමුන ගැනීමයි.

මිලිටරියේ පිටුබලය සහිත නව ආන්ඩුවට, එල් බරාඩේ හා එක්සත් ජනපදයේ සහාය ලබන ඊජිප්තු නිදහස් වෙලඳ සංගමයේ සභාපති කමාල් අබු ඊටා වැනි පුද්ගලයින් ඇතුලත්ය.

මිලිටරිය පිටුපස පෙලගැසී සිටින කන්ඩායම් අතරින් වඩාත්ම දූෂිත හා කුනුවූ සංවිධානය විප්ලවකාරී සමාජවාදීන් (විස) ය. ඔවුහු මිලිටරි කුමන්ත්‍රනය "දෙවන විප්ලවය” ලෙසින් හුවා දැක්වූහ. විප්ලවයේ සෑම අදියරකදීම ඔවුහු පෙනී සිටියේ ඉහල මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත කොටස් වෙනුවෙනි. එහිදී ඔවුන් පලමුව මිලිටරියට ද දෙවනුව මුස්ලිම් සහෝදරත්වයට හා පසුව යලි මිලිටරියට ද සහාය දෙමින් කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී ව්‍යාපාර‍යක් පැනනැඟීම වලක්වා එය ඊජිප්තු ධනේශ්වරයට යටත් කිරීමට වැඩ කලේය.

මෙම සියලු බලවේගයන්ගේ දේශපාලන බංකොලොත්කම පිටුපස පවතින කාරනය, කිසිවෙකුටත් ඊජිප්තු ජනතාව මුහුනදෙන කිසිදු ගැටලුවක් විසඳිය හැකි වැඩපිලිවෙලක් නොමැති කමයි. එනම්, මැද පෙරදිග අධිරාජ්‍යවාදී ආධිපත්‍යය, සමාජ දුප්පත්කම හා ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිකමයි. ඊජිප්තු ධනේශ්වරයේ සියලු බලවේග හා වරප්‍රසාදිත මධ්‍යම පන්තික කොටස් ධනපති දේපොල සම්බන්ධතා ආරක්ෂා කරමින් අධිරාජ්‍යවාදයටත් ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයටත් ගැටගැසී ඇත. ඔවුන් ඊජිප්තු විප්ලවයේ ගාමක බලය වන කම්කරු පන්තියේ අවශ්‍යතාවන්ට ඓන්ද්‍රීයවම සතුරුය. කම්කරු පන්තියේ සමාජ විප්ලවය වෙනුවට ඔවුහු මිලිටරි ආඥාදායකත්වයකට වඩාත් මනාප වෙති.

නිසැකවම 2013 ජූනි-ජූලි ප්‍රතිවිප්ලවවාදී කුමන්ත්‍රනය ජනතාවන්ට පරාජයකි. මිලිටරිය, එහි අධිරාජ්‍යවාදී ආධාරකරුවන්, ලිබරලුන් හා ව්‍යාජ වම්මු විප්ලවය අවසාන යයි සිතනු විය හැකිය. එහෙත් ප්‍රශ්නය සම්බන්ධයෙන් කම්කරු පන්තියේ මතය තවමත් පලවී නැත.

ආරම්භයේ පටන්ම ඊජිප්තු විප්ලවය ඉදිරියට මෙහෙයවූයේ ගැඹුරු වෛෂයික ක්‍රියාවලීන් මගිනි. පලමුව, ඊජිප්තුව තුලත් මැද පෙරදිග පුරාත් පැවතුනේ පුපුරන සුලු ප්‍රතිවිරෝධයන්ය. මෙම ප්‍රතිවිරෝධයන් මත් ලෝක ධනේශ්වර පද්ධතියේ අර්බුදයට නොවැලැක්විය හැකි ආකාරයෙන් ගැටගැසී තිබුනු අතර ඒ මගින් උත්සන්න කරන ලදී.

විප්ලවයේ සමස්ත ගමන් මාවතම ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ න්‍යායික සංකල්ප සනාථ කරනු ලැබින. එනම්, කුමන හෝ ප්‍රගතිශීලී කාර්ය භාරයක් ඉටුකල හැකි කිසිදු කොටසක් ධනේශ්වර පන්තියේ හෝ එහි දේශපාලන නියෝජිතයන් අතර නොසිටියේය. එමෙන්ම සමාජවාදය හා කම්කරු බලය සඳහා සටනේ කොටසක් ලෙස ප්‍රජාතන්ත්‍ර වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කල හැක්කේ කම්කරු පන්තියට පමනක් ය. ඕනෑම තනි රටක විප්ලවයට ජයග්‍රාහී විය හැක්කේ ලෝක කම්කරු පන්තිය එක්සත් කිරීමේ ජාත්‍යන්තර මූලෝපායක පදනම මත පමනක්ය යන්නය.

මෙම ක්‍රියාමාර්ගය සඳහා සටන දේශපාලන නායකත්වය පිලිබඳ මූලික කාරනය ඉස්මතු කරයි. ඊජිප්තුව තුල කැලඹීම් මගින් ඉස්මතු කරන ලෝක සමාජවාදී විප්ලවයේ නව අවධිය කම්කරු පන්තියේ නව විප්ලවවාදී පක්ෂ කැඳවුම් කරයි. මෙහි ‍ අර්ථය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ශාඛා ඊජිප්තුව තුලත් ජාත්‍යන්තරවත් ගොඩනැඟිය යුතු බවයි.

ජොහැනස් ස්ටර්න්

Share this article: