එක්සත් ජනපදයේ වර්ධනය හා විරැකියා දත්ත, අඛන්ඩව සිදුවන ආර්ථික බිඳ වැටීම සලකුනු කරයි

US growth and jobs figures point to continuing economic breakdown

2013 අගෝස්තු 6

එක්සත් ජනපදයේ ආර්ථික වර්ධනය සමඟ බැඳුනු අලුත්ම සේවා නියුක්ති සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරන්නේ, ලේමන් බ්‍රදර්ස් ආයෝජන බැංකුව බිඳ වැටීමෙන් පසුව වසර පහක් තරම් කාලයකට පෙර ආරම්භවූ ආර්ථික කඩා වැටීම අඛන්ඩව ගැඹුරු වන බවයි.

එක්සත් ජනපද ආර්ථිකය 2013 දෙවන කාර්තුව තුල වර්ධනය වී ඇත්තේ වාර්ෂික අනුපාතයකට අනුව යන්තම් සියයට 1.7න් පමනි. ජූලි මාසයේ අලුතින් ශ්‍රම බලකායට එකතුවී ඇත්තේ 162,000කි. එය සිව් මසක කාලයක් තුල වාර්තාවූ නරකම ප්‍රතිපලයයි. මෙයින් ද වැඩි කොටස අඩු වැටුප් හා තාවකාලික රැකියා වන අතර සේවා නියුක්තිය ප්‍රසාරනය කිරීම සඳහා අවශ්‍ය තරමට වඩා බෙහෙවින් අඩු රැකියා ප්‍රමානයකි. පසුගිය සිව් මාසය තුල තාවකාලික රැකියා වර්ධන අනුපාතය, පූර්න කාලීන රැකියා වර්ධන අනුපාතය මෙන් සිව් ගුනයක් තරම් විය.

දෙවන කාර්තුවේ දල දේශීය නිෂ්පාදිතය පෙන්නුම් කල ප්‍රතිපලය “රක්තහීන” යයි සලකනු ලැබේ. ඒ සමඟ බැඳී පලමු කාර්තුවේ සංඛ්‍යා පහත හෙලීමක් වාර්තාවූ අතර එය පොදුවේ සලකනු ලැබුවේ “බලාපොරොත්තු වූවාට වඩා හොඳ” ප්‍රතිපලයක් ලෙසය. මක්නිසා ද යත් අපේක්ෂා කර තිබුනේ සියයට 1.0ටත් අඩු වර්ධන වේගයක් නිසාය. එසේම දෙවන කාර්තුවේ උද්වේගකර නොවූ ප්‍රතිපලය පවා තිරසාර නොවන බවට සලකුනු දක්නට ලැබේ. වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කලේ, “කාර්තුවේ වර්ධනයෙන් සියයට 24කටත් වඩා අත්කර ගත්තේ, තොග ගනනය ඉහල නැංවීමෙනි. එම තත්වය යලිත් ඇතිවිය නොහැකි අතර සංඛ්‍යා සංශෝධනය කිරීමේදී අහෝසි වීමට පවා ඉඩ ඇත” යනුවෙනි.

පසුගිය කාර්තු තුන ඇතුලත එක්සත් ජනපද ආර්ථිකය වර්ධනයවී ඇත්තේ වාර්ෂික අනුපාතයකින් ගත් කල සියයට 0.96කින්ය. මෙය ඔබාමා පාලනය කියාපාන ආර්ථික “ප්‍රකෘතියක්” සිදුවෙමින් තිබේය යන්නට කනේ පහරකි. එක්සත් ජනපද ආර්ථිකයට අත්කරගත හැකිව ඇත්තේ පශ්චාත් දෙවන ලෝක යුද්ධ අවධියේ වර්ධන අනුපාත‍යෙන් හයෙන් එකක් පමනක් වීමේ කාරනය ඇඟවුම් කරන්නේ, ඇමරිකානු ආර්ථිකය තුල ගැඹුරු ව්‍යුහාත්මක වෙනස්කම් සිදුව ඇති බවත්, පූර්වයෙන් පැවති වර්ධන අනුපාතයට සමීප වීමක් පවා යලිත් දැකගත නොහැකිවන බවත්ය.

මෙම වෙනස්කම් සමහරක් ජූලි 24දා පලවූ ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයේ ඉස්මතු කර දක්වා තිබුනි. “සංගත ආයෝජන-අද්භූත අපසරනයක්” යන හිසින් පලවූ ලිපියෙන්, ලාභ මට්ටම් හා ආයෝජන අනුපාතය අතර විසංන්ධිවීම එන්ට එන්ටම වැඩිවෙමින් තිබෙන බව පෙන්වාදී තිබුනි. මෙය තීරනාත්මකය. මක්නිසා ද යත්, අවසාන විග්‍රහයේදී ආයෝජන, එනම් නිෂ්පාදනය ඉහල නැංවීම සඳහා නව කම්හල් හා මෙවලම් මිලට ගැනීම හා අලුතෙන් කම්කරුවන් බඳවා ගැනීම, ධනේශ්වර ආර්ථික ප්‍රසාරනයේ මූලික ගාමකය වන බැවිනි.

1980 ගනන් වන තෙක්ම ලාභ හා ශුද්ධ ආයෝජන එකිනෙක ලුහුබැඳ ගියේය. දෙඅංශයම දදේනි සියයට 9ක් තරම් නියෝජනය කලේය. එහෙත් ඉන් පසුව සංඛ්‍යා අපසරනය වීමට පටන්ගත් අතර 2009න් පසුව පරතරය සැලකිය යුතු තරම් පුලුල් වී ඇති බව ද එය සඳහන් කරයි.

බදු ගෙවීමට පෙර සංගත ලාභ දදේනි සියයට 12ක් තරම් වාර්තාගත මට්ටම් කරා ලඟාවී තිබියදී, ශුද්ධ ආයෝජන පවතින්නේ නිමැවුමෙන් යන්තම් සියයට 4ක මට්ටමේය. මෙසේ සිදුව ඇත්තේ, පොලී අනුපාතයේ පහත් මට්ටමට අනුකූලව කොටස් ප්‍රාග්ධන පිරිවැය අඩුවී තිබීමේ කාරනය තිබිය දී ය. අතීතයේදී මෙන්, වැඩිවන ලාභ නිෂ්පාදනය ප්‍රසාරනය කිරීම සඳහා යෙද‍වෙන්නේ නැත. ඒ වෙනුවට ලාභ යොදවන්නේ, කොටස් ප්‍රති මිලට ගැනීම සඳහා ය. එමගින් ව්‍යාපාර වස්තු හිමිකරුවන්ගේ ප්‍රාග්ධනය සඳහා ප්‍රතිලාභ අනුපාතය ඉහල දැමේ.

කලෙකදී පැවති “සාමාන්‍ය” තත්වය යටතේ ඉහල නඟින ලාභ, ආයෝජන වැඩිවීමටත්, වැඩි නිෂ්පාදනයක් හා වැඩිවන වැටුප් සඳහාත් මඟ පාදමින් වෙලඳපොල ප්‍රසාරනයකට තුඩු දුන්නේය. එහෙත් අද දදේනි වැටුප් වල පංඟුව පහත වැටෙමින් තිබේ. මෙම ප්‍රතිපලය ඇඟවුම් කරන්නේ, අතීතයේදී මෙන් වැඩිවන ලාභ, තවදුරටත් නිර්මානය කරන්නේ වෙලඳපොලේ ප්‍රසාරනය මගින් නොව, වඩ වඩාත් වියදම් කැපීමේ ප්‍රතිපල වශයෙන් බවයි. එකතැන පලවෙන හෝ හැකිලෙන වෙලඳපොලේ වැඩිවන පංඟුවක් සිය තරගකරුවන් වෙතින් පැහැර ගැනීම මගින් ව්‍යාපාරික ආයතන, සිය පහත මට්ටම ඉහලට ඔසවනු ලබන අතර මෙය සිදුවෙයි. වෙනත් වචන වලින් කිවහොත්, වැඩිවන ආයෝජන වෙලඳපොලේ ප්‍රසාරනයටත්, ඉහල ලාභ වලට හා තවත් ආයෝජන සඳහාත් තුඩුදුන්නාවූ එක් කලෙක “සාමාන්‍ය” ධනේශ්වර සමුච්ඡයකරන ක්‍රියාවලිය මුලුමනින්ම බිඳවැටී ඇති බවයි.

තවත් මූලික කාරනයක් වන්නේ, 1930 ගනන් වල මහා අවපාතයෙන් මෙපිට එක්සත් ජනපද ආර්ථිකයට දැවැන්තම කම්පනය ඇතිකර තිබෙන ඊනියා “මහා පසුබෑම” හා මූල්‍ය අර්බුදයේ අඛන්ඩ බලපෑමයි.

ඩලාස්හි ෆෙඩරල් මහ බැංකු කාර්ය මන්ඩලය සිදුකල මෑත අධ්‍යයනයකින්, මූල්‍ය අර්බුදය නිසා එක්සත් ජනපදයට දැරීමට සිදුව ඇති වියදම, එරට සමස්ත ආර්ථිකයේ වසරක නිමැවුමට සමාන ඩොලර් ට්‍රිලියන 14ක් තරම් බව ගනන් බලා තිබේ. මූල්‍ය අර්බුදය එක්සත් ජනපද ආර්ථිකයට සිදුකල බලපෑම ඩොලර් ට්‍රිලියන 13 සිට ට්‍රිලියන 22 දක්වා ප්‍රමානයක් බවට ගනන් බලා ඇති තවත් අධ්‍යයනයන් සමග මෙම ප්‍රතිපලය පෑහෙන බව දැකගත හැකිය.

ඩලාස් වාර්තාවේ කතුවරුන් නිගමනය කරන්නේ, අලුත්ම සංඛ්‍ය ලේඛන වලට අනුව ශුභවාදී අභ්‍යුපගමනයක් සේ සැලකිය හැකි, සියයට 2-3 තරමේ “ඇල් මැරුනු අනුපාතයකින්”ඉදිරි දශකයේ නිමැවුම වර්ධනය වුවහොත්, එක්සත් ජනපද ආර්ථිකයට දැරීමට සිදුව ඇති වියදම වාර්ෂික නිමැවුමෙන් සියයට 165ක් තරම් වනු ඇති බවය. “තවදුරටත් ගෝලීය ආර්ථිකය තුලට උතුරා යාම එම පරිමානය ම හෝ එක්සත් ජනපදයේ අහිමිවූ නිමැවුමට වඩා විශාල පරිමානයක් පවා ගත හැකිය.”

එක්සත් ජනපද ආර්ථිකයේ හැකිලීමෙහි බලපෑම දැනටමත් ගෝලීය වර්ධන අනුපාතයන් තුල ප්‍රකාශ වීමට පටන් ගෙන තිබේ. 2007 වසරේදී ආර්ථිකයන්ගේ ප්‍රසාරනය මෙසේ විය. චීනයේ සියයට 14.2, ඉන්දියාවේ 10.1, රුසියාවේ 8.5ක් හා බ්‍රසීලයේ සියයට 6.1ක් විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යම් ආකාරයක ශුභවාදී පුරෝකථනයන්ට අනුව මේ වසරේ චීන ආර්ථිකය වර්ධනය වන්නේ සියයට7.8න්ය. තවත් අනාවැකිවල සඳහන් වන්නේ එය සියයට 7කට ආසන්න වන බවය. ඉන්දියාවේ සියයට 5.6ක් ද රුසියාවේ හා බ්‍රසීලයේ යන්තම් සියයට 2.5ක් බව ජාමූඅ ගනන් බලයි.

මූල්‍ය අර්බුදය හමුවේ ඊනියා බ්‍රික් ආර්ථිකයන් (බ්‍රෙසීලය, රුසියාව, ඉන්දියාව හා චීනය) ප්‍රධාන ධනපති ආර්ථිකයන් කෙරෙන් “විතැන්වී” (decouple) සමස්තයක් ලෙස ගෝලීය ආර්ථිකයේම ප්‍රසාරනයක් ඇති කරන බවට පලවූ ප්‍රකාශයන්ගේ පල්ල ගොස් තිබේ.

එක්සත් ජනපදයේ හා ඊනියා “නැඟී එන ආර්ථිකයන්ගේ” දත්ත, කොටස් වෙලඳපොල උත්පාතයේ සැබෑ වැදගත්කම තියුනු අවධානයකට යොමු කරයි. පසුගිය සතියේදී වෙලඳපොලවල් නව වාර්තා පිහිටුවන ලද්දේ, තමන්ගේ “ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ” වැඩසටහන තුලින් මූල්‍ය පද්ධතිය තුලට ලාභ මුදල් පොම්ප කිරීමේ එක්සත් ජනපද ෆෙඩරල් මහ බැංකු පිලිවෙත තවදුරටත් පවත්වාගෙන යාමට, මන්දගාමී වර්ධනය මගින් සකසන කොන්දේසි හමුවේ, දැවැන්ත මූල්‍ය සමපේක්ෂනයේ හැකියාව ඇති කරන්නේය යන පදනම මතය.

එක් රොක්වන ගෝලීය පසුබෑම හමුවේ සිදුවන එක්සත් ජනපද කොටස් වෙලඳපොල උත්පාතය, ආර්ථික නිරෝගිමත් කමේ සලකුනක් නො වේ. ඊට විපරිතව එය, ගෝලීය මූල්‍ය පද්ධතියේ අස්ථාවරත්වය පිලිබඳ උන රෝගයේ සටහනකි.

ඊලඟ අර්බුදයේ එකම විභව මූලාශ්‍රය එක්සත් ජනපදය පමනක්ම නො වේ. 2008-09 මූල්‍ය කඩාවැටීමෙන් පසුව චීනයේ මුල් තැනට පැමිනි උත්තේජක පියවරයන්ට ප්‍රතිචාර වශයෙන් වර්ධනය වූ නය බුබුලේ හුලං යැවීමට දරන ලද ආන්ඩුවේ හා මූල්‍ය බලධාරීන්ගේ උත්සාහයක් ලෙස ක්‍රියාවට නඟන ලද එරට නය කැටිකිරීම ද ගෝලීයව බලපෑම් ඇතිකරන ක්‍රියාවලියකි.

පසුගිය සතියේදී ඕස්ට්‍රේලියානු භාන්ඩාගාරය, චීන බලධාරීන් එරට මූල්‍ය ක්‍රමයේ ආරක්ෂාව සඳහා සෑහෙන පියවර ගෙන තිබේ ද යන්න “තවමත් අපැහැදිලි” යයි අනතුරු ඇඟවීය. අවදානම් මඟහැරීම පිනිස ගන්නා පියවර මගින් “ප්‍රතිපත්තියේ පය ලිස්සුවොත් වඩාත් පෘතුල හා නොසිතූ විරූ වෙලඳපොල අවහිරවීම් වලට තුඩුදීමේ අන්තරායක් පවතින්නේ” යයි එය සඳහන් කලේය.

1930 ගනන්වල මහා අවපාතය ප්‍රමුඛ ධනේශ්වර ආර්ථිකයන්ට සිදුකල තරමේ බලපෑමක් ඇති කරමින්, කලාපයේම ආර්ථික හැකිලීමකට තුඩුදුන් ඊනියා ආසියානු මූල්‍ය අර්බුදය ලිහා හැරියේ 1997 තායි මුදලේ කඩාවැටීම ය.

“ප්‍රකෘතියක්” සලකුනු කිරීම කෙසේ වෙතත් එක්සත් ජනපදයේ නිමැවුම් හා රැකියා දත්ත සමග බැඳීගත් වර්ධනය වන මූල්‍ය අස්ථාවරත්වය, ගෝලීය ධනේශ්වර බිඳ වැටීම නව අදියරකට ඇතුල්වී තිබෙන බව ඇඟවුම් කරන අතර එය සමග අත්වැල් බැඳ ගෙන රැකියා, වැටුප් හා ජීවන තත්වයන්ට එල්ල කෙරෙන ගැඹුරු වන ප්‍රහාරයන් හමුවේ දැන් ස්වාධීන සමාජවාදී ක්‍රියාමාර්ගයක් වර්ධනය කිරීම තුලින් ජාත්‍යන්තර කම්කරු පන්තිය අවශ්‍ය සූදානම ඇතිකර ගත යුතුය.

නික් බීම්ස්

Share this article: