ඔබාමා හා ඊජිප්තු ජනසංහාරය

Obama and the Egyptian massacre

2013 අගෝස්තු 16

එක්සත් ජනපදයේ අනුබලය ලත් ඊජිප්තු මිලිටරි ජුන්ටාව 14දා විරෝධතාකරුවන් සිය ගනනක් ඝාතනය කිරීම මඟින් තමන්ගේ මැදපෙරදිග ප්‍රතිපත්ති පදනම් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව අයිතීන් මත ය යන වොෂින්ටනයේ කුහක ප්‍රකාශන සුනුවිසුනු කර යි.

එක්සත් ජනපදයේ අනුබලය ලත් ඊජිප්තු මිලිටරි ජුන්ටාව 14දා නිරායුධ විරෝධතාකරුවන් සිය ගනනක් ඝාතනය කිරීම මඟින් තමන්ගේ මැදපෙරදිග ප්‍රතිපත්ති පදනම් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව අයිතීන් මත ය යන වොෂින්ටනයේ කුහක ප්‍රකාශන සුනුවිසුනු කර යි.

සංගත මූල්‍ය කලමනාකරුවෙකුට අයත් මාර්තාගේ මිදියාය නම් ඩොලර් මිලියන ගනනක් වටිනා මන්දිරය තුල විවේක සුවයෙන් පසුවන ඔබාමා කල කතාවෙන් ඔහු උභතෝකෝටිකයකට මුහුන දුන්නේ ය. වොෂින්ටනය වඩාත් මනාපව සිටියේ, හමුදාව හා නෙරපා හැරුනු ජනාධිපති මූර්සිගේ මුස්ලිම් සහෝදරත්වය අතර සම්මුතියක් ඇටවීමට ය. කෙසේ නමුත්, ජූලි මස පැන නැගුන මහජන විරෝධතා මධ්‍යයේ වොෂින්ටනය, සිය ආශීර්වාදය ලබා දුන්නේ, යලි පන ගැන්වුනු කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල පූර්වභංග කිරීම සඳහා මූර්සි බලයෙන් පහ කල මිලිටරි කුමන්ත්‍රනයකට ය.

මුස්ලිම් සහෝදරත්වය සමග ගනුදෙනු බේරා ගැනීම සඳහා මිලිටරියට හා එහි මිතුරන්ට ඉඩ හැරීමේ ප්‍රතිවිපාක සම්පූර්නයෙන් පෙරදැකීමට වොෂින්ටනය සැබවින් ම අසමත් විය. මෑත ම සංහාරයත් සමග යලි පෑස්සිය නො හැකි ලෙස ඊජිප්තුව අස්ථාවර කරමින් හා එක්සත් ජනපදයේ මැදපෙරදිග ප්‍රතිපත්තියට වල කපමින් හමුදාව පොට වරද්දා ගෙන ඇතැ යි දැන් ඔවුහු බිය වෙති.

සිය පාලනාධිකාරය සංහාරයෙන් ඇඟ බේරාගැනීමට උත්සාහ ගන්නා අතරම තමන් දිගට ම හමුදාවට සහාය දෙන බවට ඇඟවුම් කිරීමෙන් සලකුනු කරන්නේ, ඔබාමාගේ පුහු කයිවාරුව පමනි. තම පාලනාධිකාරය ඊජිප්තු තන්ත්‍රය “ගෙන ඇති පියවර තරයේ හෙලා දකින” බව ඔබාමා පැවසීය. ජුන්ටාවට පැනවූ ඔහුගේ ප්‍රධාන දඬුවම නම්, “ලබන මස පැවත්වීමට නියමිත අපගේ අර්ධ වාර්ෂික ඒකාබද්ධ හමුදා අභ්‍යාස” කල් දැමීම යි.

ඒකාධිපතිත්වයක් තහවුරු කිරීමට හා ඊජිප්තු විප්ලවය ලේ විලක ගිල්වීමට ජුන්ටාව උත්සාහ දරමින් සිටිය දී ගන්නා මෙම පියවර වනාහි එක්සත් ජනපදය ඊජිප්තු හමුදාවට නොකඩවා ආධාර ලබාදීම වෙනුවෙන් කෙරෙන ඔපදැමීමකි. ජූලි 3දා මූර්සි බලයෙන් පහකිරීම කුමන්ත්‍රනයක් ලෙස පිලිගැනීම ධවල මන්දිරය තවමත් ප්‍රතික්ෂේප කරයි. ඒ, දශක ගනනාවක් තිස්සේ වසරකට ඩොලර් බිලියන 1.55 බැගින් තවදුරටත් ඊජිප්තු හමුදාවට අරමුදල් සැපයීමේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාම පිනිස ය.

“යන්තම් වසර දෙකකට පෙර, සිය ආත්මාභිමානය ආරක්ෂා කර ගැනීම, තම දේශපාලන නිදහස හා ආර්ථික අවකාශයන් සඳහා වන ආන්ඩුවක් ඉල්ලා මිලියන ගනනාවක් ඊජිප්තු ජනතාව වීදි බසිමින් වෙනසක් සඳහා තම අභිමතය පල කිරීම තුලින් ඇමරිකාව පොලඹවන ලද” බව පවසමින් ඔබාමා ඊජිප්තුව තුල ඔහුගේ පාලනාධිකාරයේ වාර්තාව වසන් කිරීමට උත්සාහ ගත්තේ ය.

ඊජිප්තු විප්ලවය මගින්, විස්කොන්සින් ජනපදයේ කප්පාදුවලට එරෙහි මහජන විරෝධතා ඇතුලු ඇමරිකානු කම්කරු පන්තිය දිරිගැන්වූ අතර වොෂින්ටනටය එය දැකගත්තේ තැතිගැන්මක් සහිතව ය. මුබාරක් තන්ත්‍රය සිය ගනනක් විරෝධතාකරුවන් ඝාතනය කරද්දී අවසානය දක්වා ම ඔබාමා ඊට සහාය දුන්නේය. මුබාරක් හමුවීමට යැවූ ඔහුගේ විශේෂ දූතයා වන ෆ්‍රෑන්ක් විස්නර් දැඩි ලෙස පවසා සිටියේ, “මෙම වෙනස්කම් ක්‍රියාවට දැමීම සඳහා මුබාරක් තනතුරේ සිටිය” යුතු බව යි.

මාර්තා මිදි යායේ සිට කල ඔහුගේ කතාවේ හඬ, ඔබාමා පාලනය ලිබියාවට හෝ සිරියාවට එරෙහිව එල්ල කල රනකාමී කයිවාරු සමග ගත් කල, කැපී පෙනෙන අයුරින් වෙනස්ය. වොෂින්ටනය දීර්ග කාලයක් තිස්සේ පාලන තන්ත්‍ර වෙනසක් සඳහා ඉලක්ක කල මෙම රටවල් සම්බන්ධයෙන් ඔබාමා පාලනාධිකාරය හා සුලුධනේශ්වර “මානව හිමිකම්” ප්‍රජාවේ ඔහුගේ හවුල්කරුවන් ප්‍රකාශ කලේ, විරෝධතාකරුවන් තම තමන්ම කාකොටා ගැනීමේ අවදානමක් මතුව ඇති බැවින්, යුද්ධය ඇතුලු තීරනාත්මක පියවර යුක්ති සහගත වන බව යි.

2011දී ලිබියාව සම්බන්ධයෙන්, වොෂින්ටනය, ලන්ඩනය, පැරිස් හා මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ රොත්තක් අවධාරනය කලේ, කර්නල් මුවම්මර් අල්-ගඩාෆි විරුද්ධවාදීන් කැරලි ගසන බැවින් “බෙන්ගාසිවල සංහාරයක් වැලක්වීමට” සියලු දෙය කල යුතුව තිබූ බව යි. මෙම පදනම මත ඔවුහු ලිබියාව තුල “මානව හිමිකම් මෙහෙයුම් හා පියාසර තහනම් කලාප” පිහිටුවීමට සහාය දුන්හ. මෙය මග පෑදුවේ එරට තුල මිනිසුන් දස දහස් ගනනක් ඝාතනය කෙරුනු, නගර මත එක දිගට බෝම්බ හෙලනු ලැබූ හා බටහිර බැංකු විසින් ලිබියාවේ තෙල් ආදායම ඩැහැ ගනු ලැබූ නේටෝ යුද්ධයකට ය.

සිරියාව තුල, බෂාර් අල්-අසාද්ගේ තන්ත්‍රය “තමන්ගේ ම ජනතාව මරමින් සිටී” යන වාර්තා යොදා ගැනුනේ අසාද් පෙරලා දැමීමේ ව්‍යාපාරයට අල් කයිඩා හා සිරියාවේ මුස්ලිම් සහෝදරත්වය ඇතුලු ඉස්ලාමීය හමුදා සන්නද්ධ කිරීමේ එක්සත් ජනපද ප්‍රතිපත්තිය යුක්තිසහගත කිරීමට ය.

“මානවහිතවාදී” යුද්ධයේ ශාස්ත්‍රාලික උදව්කරුවන් අතර මෙම දේශපාලන දෙපිටකාට්ටුව දැක ගත හැක. එහි “තමන්ගේ ම ජනතාවට” එරෙහිව කයිරෝව තුල ඊජිප්තු ජුන්ටාව දියත් කල සංහාරය තිබිය දී ද ඔවුහු, වියරු පුවත්පත් තීරු ලිපි, බ්ලොග් තැපෑල ඉදිරිපත් කරමින්, ජුන්ටාව නෙරපීමට හා කයිරෝව තුලට හෙලිකොප්ටර් යානා බැස්සවීම සඳහා පියාසර තහනම් කලාපයක් පැනවීමට උද්ඝෝෂනය නොකරති.

කයිරෝව තුල විරෝධතාකරුවන් ඝාතනය කිරීම නැවත තහවුරු කරන්නේ, එක්සත් ජනපද ප්‍රතිපත්තිය තීන්දු කෙරෙන්නේ සාදාචාරමය වියුක්තයන්ගෙන් නො ව, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ භූ දේශපාලනික උත්සුකයන්ගේ ගනන් බැලීම් මත බව යි. නොයෙකුත් “මානවහිතවාදී තර්ක” උදව් කරන්නේ, මහජන මතය හැසිරවීමට හා දූෂිත මාධ්‍ය සංස්ථාපිතයේ සහාය ඇති ව අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රතිපත්ති සඳහා මධ්‍යම පන්තියේ තට්ටුවක සහයෝගය ඒ සඳහා ගොනු කිරීමට ය.

කම්කරුවන් හා තරුනයින් ඔබාමාගේ සදාචාර අනුශාසනා කුමක් සඳහා දැ යි හඳුනා ගත යතු ය: එය අධිරාජ්‍යවාදයේ භූ මූලෝපායික උත්සුකයන් හඹායාම සදහා කෙරෙන ප්‍රචාරයක් පමනි.

ජොහැනස් ස්ටර්න්

Share this article: