හමුදාවේ වෙඩි තැබීමෙන් මිය ගිය සිසුවාගේ අවමඟුලට දහස් ගනනක් රැස්වෙති

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2013 අගෝස්තු 6

අඛිල දිනේෂ් සිසුවා

ගම්පහ වැලිවේරිය ප‍්‍රදේශයේ පැවති උද්ඝෝෂනයකට හමුදාව එල්ල කල වෙඩි ප‍්‍රහාරයකින් මිය ගිය අකිල දිනේෂ්ගේ අවමංගල්‍යයට රැස් වූ පන්දහසකට අධික ජනයා ආන්ඩුවට ද හමුදාවට ද තමන්ගේ දැඩි කෝපය ප‍්‍රකාශ කර සිටියහ. ඉරිදා මෙම අවමඟුල පැවැත්වෙන විට හමුදා ප‍්‍රහාරයෙන් මිය ගිය සංබ්‍යාව තිදෙනෙක් දක්වා ඉහල ගොස් තිබුනි.

දිනේෂ්ගේ මව සැනසීමට ඥාතීන් තැත්කර

අවමඟුල් දිනයේ මහජන නොසන්සුන්තාවක් පැන නැගෙතැයි බියෙන් එවැන්නක් මැඞීමට ආන්ඩුව කැරලි මර්දන පොලීසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් සිය ගනනක් වැලිවේරිය නගරයේත් ඒ අවටත් සීරුවෙන් තබා තිබුනි. මහජනයා බිය ගැන්වීම සඳහා යුද හමුදා සන්නද්ධ රථ හා විශේෂ කාර්ය බලකායේ සෙබළුන් සහිත ජීප් රථ වැලිවේරියේ සිට කිලෝමීටර් 5 ක් පමන දුරින් කොලඹ-නුවර මාර්ගයේ රඳවා තිබෙනු දක්නට ලැබුනි. පොලිස් හදිසි ඇමතුම් රථයක් අවමඟුල් පෙරහරේ ඉදිරියෙන් ම ගමන් කරවන ලදී.

අවමඟුල් දිනයේ පොලීසිය සීරුවෙන් තබා තිබූ අයුරු

වැලිවේරිය පින්කෝවත්තේ පදිංචිව සිටි 17 වියැති දිනේෂ් යක්කල චන්ද්‍රජෝති මහ විදුහලේ උසස් පෙල හදාරමින් සිටි සිසුවෙකි. සිය මව සහ මිත්තනිය සමග ජීවත් වූ දිනේෂ් පවුලේ එකම දරුවාය. මිය ගිය අනෙක් දෙදෙනා වැලිවේරිය බන්ඩාරවත්තේ අමිල රවිශාන් පෙරේරා (18) සහ කොලඹ සිට කිලෝ මීටර් 150 පමන දුරින් පිහිටි ගම්පොල උඩහේනතැන්නේ පදිංචිව සිටි 29 වියැති නිලන්ත පුෂ්පකුමාර ය. රවිශාන් ප‍්‍රදේශයේ ශාන්තපීතර් විදුහලේ ඉගෙනුම ලැබූ අතර පුෂ්පකුමාර වැලිවේරියේ නතර වී බියගම නිදහස් වෙලඳ කලාපයේ සේවය කල කම්කරුවෙකි.

මිය ගිය මේ දෙදෙනාට අමතර ව තවත් සය දෙනෙක් කොලඹ ජාතික රෝහලේ බරපතල තත්වයෙන් සිටිති. හතලිහකට ආසන්න ගනනක් රෝහල් ගත කිරීමට සිදුවීම හමුදා ප‍්‍රහාරයේ මෘග ස්වභාවය පෙන්නුම් කරයි.

හමුදා ප‍්‍රහාරය හෙලා දුටු පෝස්ටරයක්

මහජන උද්ඝෝෂනය පැන නැගී තිබුනේ පිරිසිදු ජලය ලබා දෙන ලෙස ඉල්ලමිනි. ප‍්‍රදේශයේ පිහිටුවා ඇති ඩිප්ඞ් ප්‍රොඩක්ට්ස් නැමැති රබර් අත්වැසුම් කම්හලෙන් පිට කෙරෙන රසායනික ද්‍රව්‍ය සහිත ජලය භූගත වීමෙන් තමන් පානයට සහ සෙසු අවශ්‍යතාවලට ගන්නා ජලය විෂ වී ඇතැයි ගම් දහයක පමන ජනයා චෝදනා කරති. දින ගනනක විරෝධතාවලින් පසු අගෝස්තු 1 වෙනිදා පැවති උද්ඝෝෂනයට මෙම ගම්වල ජීවත් වන කම්කරුවන්, ගොවීන්, තරුනයන් හා ගෘහනීන් සහභාගී වී කොලඹ-නුවර මාර්ගය අවහිර කරමින් තම ගැටලුවට ස්ථීර විසඳුමක් අවශ්‍ය බව දැඩි ලෙස කියා සිටියහ. ආන්ඩුව හමුදාව කඩා පැන්නුවේ මේ ජනයා මතටයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ගම්පහ දිස්ති‍්‍රක්කයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රන් බහුතරයක් නියෝජනය කරතත් ඔවුන් කිසිවෙකුත් දිනේෂ්ගේ දේහය නිවසේ තබා තිබූ දින දෙකේ හෝ අවමංගල්‍යය දිනයේ දී නො පැමිනියේ මහජන කෝපය එල්ල වන බව දැන ගෙන ය. විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුන ප‍්‍රහාරය හෙලාදැක මහජන වෛරය ගසා කෑමට තැත් කර තිබුනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට කතා කල හැකි වූ අවමඟුලට පැමිනි සිය ගනනක් දෙනාගෙන් ප‍්‍රකාශ වුයේ හමුදා ප‍්‍රහාරය නිසා මහජනයා අතර විදුලි වේගයෙන් දිව ගොස් ඇති විඥානයේ සිදු වන බරපතල වෙනස්කම් ය. ආන්ඩුවත් හමුදාවත් ගැන බොහෝ දෙනා අතර පැවති මිත්‍යාවන් බිඳී යමින් තිබුනි.

උද්ඝෝෂකයන් අතර මූලිකත්වයක් ගත් බව පැවසූ මර්වින් රෝයල් ප‍්‍රකාශ කලේ හමුදා කන්ඩායමක් සමග පැමිනි බි‍්‍රගේඩියර් කෙනෙකු විනාඩි පහක කල් දීමකින් පසු පහර දීම ආරම්භ කල බවයි. "පහර දෙන්න කලින් ඉස්සරහ ගොඩනැගිල්ලේ උඩ සිට උද්ඝෝෂනය ආවරනය කල මාධ්‍යවේදීන්ට ඉවත් වෙන්න කිව්වා. මාධ්‍ය මෙතනට අවශ්‍ය නැහැ කිව්ව. ඉන් පස්සේ ඉවක් බවක් නැතිව පහර දුන්න. පාරේ ගිය අයට, ටෙලිකොම් සේවකයන්ට හැම කෙනෙකුටම පහර දුන්න.”

ජනාධිපති රාජපක්ෂ නායකත්වය දරන ධනපති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු හමුදා ප‍්‍රහාරය හෙලා දුටුවේ මෙසේ ය. "මම මෙච්චර කල් ඡන්දය දුන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට. මේ සිද්ධියෙන් පස්සේ පක්ෂය ගැන මම හොඳටම කලකිරුනා. මේ විදිහට පහර දීලා, වෙඩි තියල මිනිස්සු මරන්න අපි කරපු වැරැද්ද මොකක්ද? මේ කරපු අපරාධය දිහා බලපුවහම අහිංසක දෙමල ජනයා මැරුව කියන එක ඇත්ත කියල හිතන්න පුළුවන්. මානව හිමිකම් කඩ කිරීම ගැන ආන්ඩුවට එල්ල වෙලා තියෙන චෝදනා ඇත්ත කියල මම දැන් විශ්වාස කරනව.”

මෙබඳු ප‍්‍රකාශ ගනනාවක් ම අප වාර්තාකරුවන් සතුව තිබේ. මහජනයා අතර හමුදාව හා ආන්ඩුව කෙරෙහි එල්ල වී ඇති කෝපය ආපසු හැරවීමට උත්සුක වෙමින් ප‍්‍රහාරය මුලුමනින් ම යුක්ති යුක්ත කරන අන්තරායකාරී ප‍්‍රකාශයක් ශී‍්‍ර ලංකා යුද්ධ හමුදාව නමින් එදින බෙදා හැරියේ ය. ආරක්ෂක අමාත්‍යංශය "ප‍්‍රශ්න හඳුනාගෙන” ඒවා විසඳීමට "මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන” වැඩ සටහනක් ඉදිරිපත් කිරීමට කටයුතු කරද් දී එම අමාත්‍යංශයත් හමුදාවත් කෙරෙහි ජනයා තුල කැමැත්තක් ඇතිවීම වැලක්වීමට "කඩාකප්පල්කාරීන්” විසින් ඔවුන් කුපිත කර වූ නිසා එම තත්වය පාලනය කිරීමට මැදිහත් වීමට සිදු වූ බව ද එම ප‍්‍රකාශයේ බේගලක් ඇද බා තිබුනි.

මහජන උද්ඝෝෂන මැඩලීම සඳහා ඒවාට "ත‍්‍රස්තවාදී කුමන්ත‍්‍රන”, "දේශීය හා විදේශීය බලවේග රටෙහි අස්ථාවර තත්වයක් නිර්මානය කිරීම” ආදී ලේබල් ඇලවීම හමුදා ප‍්‍රකාශයේ පුනරුච්චාරනය කර තිබුනි. තම අයිතීන් සඳහා උද්ඝෝෂනවලට එන කම්කරුවන් ප‍්‍රමුඛ ජනයාට චෝදනාත්මකව හා තර්ජනාත්මකව එම ප‍්‍රකාශය අවසන් කර තිබුනේ "ඉදිරියේදී ද ජන සමාජය අවුල් කර කඩාකප්පල්කාරී කි‍්‍රයාවන් ඇති කිරීම උදෙසා විවිධ බලවේග කි‍්‍රයාත්මක විය හැකි” අතර ඔවුන්ගේ අරමුනු ඉටු කිරීම සඳහා දායකත්වයක් ලබා නොදී "රටේ සාමයට හා සංවර්ධනයට කැපවන” ලෙස කියා සිටිමිනි. ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මැදිහත් වීම යටතේ ඉදිරියේ දී ද හමුදාව කි‍්‍රයාත්මක වන බවට ප‍්‍රකාශයෙන් අනතුරු අඟවා තිබුනි, මෙම ප‍්‍රකාශවල තේරුම නම් තම අයිතීන් සඳහා කම්කරුවන්, තරුනයන් හා දුගීන් කරන ඕනෑම අරගලයක් "සාමය හා සංවර්ධනයේ” නමින් තලා දැමීමට ආන්ඩුව හා මිලිටරිය කි‍්‍රයා කරන බවයි.

අවමඟුලට රැස්ව සිටි ජනයා හමුදාවේ ප‍්‍රකාශ ප‍්‍රතික්ෂේප කලහ."ඡන්දෙ කාලෙට ඡන්දෙ ගන්න ගෙන් ගෙට යන දේශපලනඥයෝ එකෙක්වත්” මේ සිද්ධියේ දී තමන්ගේ පිහිටට නො ආ බව වයෝවෘද්ධ ගොවියෙක් ප‍්‍රකාශ කලේ ය. "උන් එන්නේ ඡන්දෙ කාලෙට විතරයි. මේකට මැදිහත් වෙලා ප‍්‍රශ්නේ විසඳුවා නම් මෙහෙම අපරාධයක් වෙන්නේ නැහැ නේ. අපරාධෙ කරලා දැන් ඒක වහන්න එක එක කතා හදනවා. කුමන්ත‍්‍රන කාරයෝ හිටියලු මේක අස්සේ. ජනතා විමුක්ති පෙරමුන සම්බන්ධලු ගල් පැලෙන බොරු. ජේවීපී කාරයෝ ගැන මේ ගම්වල අයට විශ්වාසයක් නැහැ. ගම්පහ දිස්ති‍්‍රක්කෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂෙට වැඩිම ඡන්ද හම්බ වෙන්නේ මේ ගම්වලින්. මම හිතන්නේ නැහැ මීට පස්සේ නම් මේ ගම්වල මිනිස්සු ඒ ගොල්ලන්ට ඡන්දෙ දෙයි කියල ”ඔහු කීවේ ය.

ප‍්‍රදේශයේ ජනයාගේ චෝදනා එල්ල වන ඩිප්ඩ් ප‍්‍රඩක්ට්ස් සමාගම පුවත්පත්වලට ප‍්‍රකාශයක් නිකුත් කරමින් ඉන් බැහැර කෙරෙන ජලයේ විෂ රසායනික ද්‍රව්‍ය ඇතුලත් නැතැයි කියා ඇත. ඔවුන් එවන් ප‍්‍රකාශයක් කර ඇත්තේ විධිමත් පරීක්ෂනයක වාර්තාවක් තවමත් නිකුත් වී නැති තත්වයක් තුල ය. කම්හලේ සහ එය අයත් හේලීස් සමාගමේ කොටස් බහුතරයේ අයිතිය ඇත්තේ ආන්ඩුවේ රාජපක්ෂ පාලක කල්ලියට සමීප ධම්මික පෙරේරා නමැති කෝටිපතියාට ය. ඔහු ප‍්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා ද වෙයි. අප වාර්තාකරුවන් සමග කතාකල බොහෝ දෙනා අවධාරනය කලේ ආන්ඩුව ආරක්ෂා කරන්නේ මෙම මහා ධනපති සමාගම් බව ය.

අවමඟුල් පෙරහැරේ කොටසක්

මහජන උද්ඝෝෂනයට හා දිනේෂ් ගේ අවමගුලට විශාල ජනකායක් සහභාගී වීම පිලිබදව දේශපාලන සංස්ථාපිතයේ කොටස් තැති ගැනී සිටිති. ඉරිදා සන්ඬේ ටයිම්ස් දේශපාලන කොලම අවසානයේ කනස්සලුව මෙය අඟවා තිබුනි. ආන්ඩුව ගත යුතුව තිබුනේ මහ සමාගමේ පැත්ත නොව මහජනයාගේ පැත්ත බව කී එම ලිපිය ආන්ඩුවට "බලවත් පනිවුඩයක්” නිකුත් වී ඇතැයි සඳහන් කලේ ය. එහි මෙසේ ද සදහන් විය:"මහජනතාව විරුද්ධ පක්ෂයේ භූමිකාව ඉටු කිරීමට පටන් ගෙන ඇත. තමන්ගේ අවශ්‍යතාවයන් කෙරෙහි ඔවුන්ගේ ආන්ඩු අසංවේදී වන විට වීදිවලට එමින් ලොව වටා ජනතාව ප‍්‍රතිකි‍්‍රයා දක්වන්නේ කෙසේදැයි රුපවාහිනීවලින් ඔව්හු දකිති.”

විපක්ෂය දේශපාලන අපකීර්තියට හා බංකොලොත්කමට පත්ව ඇති තතු තුල ජාත්‍යන්තරව පැනනැගෙමින් ඇති විප්ලවවාදී අරගලවලට සමාන්තරව ලංකාව තුල ද අරගල පිපිරීම වලක්වා ගැනීමේ ආරක්ෂක වැටක් නොමැති වීම ගැන පාලක පන්තියේ දැනුවත් කොටස් භීතියට පත්ව සිටින අයුරු මෙම ප‍්‍රකාශයෙන් පෙන්නුම් කෙරේ. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් උසිගන්වනු ලබන ප‍්‍රහාරයන්ට එරෙහිව නැගෙන කම්කරුවන්ගේ, දුගීන්ගේ හා තරුනයන්ගේ අරගල මැඞීමට සෙසු රටවල මෙන් ම ලංකාවේ ධනපති පන්තියට හා ආන්ඩුවට ඇත්තේ ද මිලිටරි විධික‍්‍රමයන් හා පොලිස් රාජ්‍ය පියවරයන් මිස වෙනත් විකල්පයක් නො වේ.

තමන්ගේ අතිමූලික අවශ්‍යතාවක් පවා ලබාගැනීමට නොහැකි ලෙස ධනපති ක‍්‍රමය ලෝක පරිමානව අර්බුදයේ ගිලී ඇත. ජනාධිපති රාජපක්ෂගේ ආන්ඩුව පෙනීසිටින්නේ ජාත්‍යන්තර ආයෝජකයන්ගේ ද ඔවුන්ගේ හවුල්කාර ලංකාවේ මහ ධනපතියන්ගේ ද උවමනාවන් වෙනුවෙනි.

කම්කරු පන්තිය ප‍්‍රමුඛ මහජනතාවන්ට තමන්ගේ අයිතීන් රැකගැනීම හා දිනාගැනීම කල හැක්කේ ඔවුන්ගේ අයිතීන් තහවුරු කරන සමාජවාදී ක‍්‍රමයක් තුල පමනි. එය කල හැක්කේ කම්කරු පන්තියේ ප‍්‍රමුඛත්වයෙන් පීඩිතයන් හා තරුනයන් රැලි කරගත් සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනගා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමෙනි.

සියලු ධනපති පක්ෂවලින් හා කන්ඩායම්වලින් බිඳී එබඳු ව්‍යාපාරයක් ගොඩනැගීමට හා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට එක්වන ලෙස අපි ඉල්ලා සිටිමු. මෙම ඉදිරිදර්ශනය සඳහා සටන් කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානයයි.

Share this article: