17 හැවිරිදි තරුනයෙකු ඝාතනය කරමින් ශ්‍රී ලංකා හමුදාව විරෝධතාකරුවන්ට වෙඩි තබයි

Sri Lankan army fires on protesters, killing 17-year-old youth

පානිනී විජේසිරිවර්දන හා එම්. රාජපක්ෂ විසිනි, 2013 අගෝස්තු 3

සන්නාහ සන්නද්ධ වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමාන්ඩෝ භටයෝ අගෝස්තු 1දා ගම්පහ ප්‍රෙද්ශයේ දී 5,000ක් පමන වූ විරෝධතාකරුවන්ට වෙඩි තබා 17 හැවිරිදි අකිල දිනේෂ් මරා දමා තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු කලහ.

17 හැවිරිදි අකිල දිනේෂ්

දිනේෂ් මියගියේ ඔහුගේ උදරයට වැදුනු වෙඩි පහර හේතුවෙනි. තුවාල ලැබූ තවත් තරුනයෙකු කොලඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත්තේ අසාධ්‍ය තත්ත්වයෙනි. වෙඩි පහර හේතුවෙන් තුවාල ලැබූ ජනමාධ්‍යවේදීන් ද ඇතුලු 20 දෙනෙකුට අධික පිරිසක් ප්‍රදේශයේ රෝහල් දෙකක ප්‍රතිකාර ලබති.

ගල්ඔලුව, නැදුන්ගම, රතුපස්වල, ඌරුවල, කතුරුවත්ත, කිරිකිත්ත හා අඹරලුව යනාදී ගම් කිහිපයකින් පැමිනි නිරායුද මිනිසුන්, ගැහැනුන් හා ලමුන් ඇතුලු විරෝධතාකරුවෝ රබර් අත්වැසුම් නිෂ්පාදනය කරන වින්ග්‍රොස් ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් නමැති කම්හල හේතුවෙන් ප්‍රදේශයේ පානීය ජලය දූෂනය වීමට එරෙහිව වි‍රෝධයේ යෙදෙමින් සිටියහ. ගැටලුවට වහා විසඳුමක් නොලැබ විරෝධතා නැවැත්වීම ප්‍රතික්ෂේප කරමින් යුද හමුදා ප්‍රහාරයට පෙර දින කිහිපයක් තිස්සේ ගම්මු විරෝධයට රැලි වී සිටියහ.

අගෝස්තු 1දා කොලඹ-නුවර අධිවේගී මාර්ගයේ වැලිවේරිය, බැලුම්මහර හා රතුපස්වල යන ස්ථානවලට රැස්වූ විරෝධතාකරුවෝ මාර්ගය අවහිර කරමින් විසිරෙන ලෙසට පොලීසිය කල නියෝග ප්‍රතික්ෂේප කලහ. "අපට ඇසිඩ් වතුර එපා. අපිට පිරිසිදු වතුර දුන්නොත් සාමය ලැබෙයි” වැනි සටන් පාඨ රැගත් පුවරු අතැතිව ඔවුහු සිටියහ.

පසුගිය වසරේ වි‍රෝධතාවේ යෙදුනු ධීවරයන්ට එල්ල කල මරනීය ප්‍රහාරයෙන් පසුව සිදු වූ මෙම කෲර ප්‍රහාරය රාජපක්ෂ ආන්ඩුව කම්කරුවන් හා ගොවීන්ගෙන් එල්ල වන ඕනෑම විරුද්ධත්වයක් තලාදැමීමට වඩ වඩා මිලිටරිය භාවිතා කරන බවට තවත් උදාහරනයකි. මාධ්‍ය වාර්තාවලට අනුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද සහභාගි වූ ආන්ඩුවේ ආරක්ෂක කවුන්සිල රැස්වීමක් ගම්පහ විරෝධතාවලට එරෙහිව මිලිටරිය දිගේලි කිරීමට නියෝග කලේ ය.

හමුදා ප්‍රහාරයට ලක් වූ අයෙක්

වෙඩි නොවදින ජැකට්ටු ඇඳ ටී-56 ප්‍රහාරක රයිෆල්වලින් සන්නද්ධ සොල්දාදුවන් 1,000ක් පමන ප්‍රදේශයට යවනු ලැබිනි. යුද හමුදා යතුරු පැදි බලකායේ සාමාජිකයෝ පස්වරු දෙකට පමන බැලුම්මහරට පැමින විරෝධතාකරුවන්ට බාධා කරමින් වහාම විසිරී යන ලෙස දැනුම් දුන්හ.

පැය දෙකකට පමන පසුව විරෝධතාව බිඳ විසුරුවීමට වැලිවේරිය ප්‍රදේශයට තවත් සොල්දාදුවන් කන්ඩායමක් බලමුලුගන්වනු ලැබිනි. විනාඩි පහක් ඇතුලත විසිරී යාමට හමුදා බ්‍රිගේඩියර් වරයෙක් කල නියෝගයට විරෝධතාකරුවෝ එකඟ වූ නමුත් පසුව ඇති වූ ගාලගෝට්ටියේ දී කොමාන්ඩෝ භටයෝ එක්වරම ජීව උන්ඩවලින් වෙඩි තැබීමට පටන් ගත්හ. දිගු පොලු, කඳුලු ගෑස් හා ජල ප්‍රහාරවලින් ද විරෝධතාකරුවන්ට පහර දෙනු ලැබිනි.

ප්‍රහාරය රාත්‍රීය දක්වා අඛන්ඩව ගෙනයමින් මිලිටරිය නගරයේ විදුලිය හා සන්නිවේදන කටයුතු ද විසන්ධි කලේ ය. සොල්දාදුවෝ නිවාස හා අනෙකුත් ගොඩනැගිලි පරීක්ෂා කලහ. ජනයා අසල පිහිටි පල්ලියක් ඇතුලුව සෑම දිශාවකට ම ආරක්ෂාව පතා හිස් ලූ ලූ අත දිවගිය නමුත් හමුදාව පල්ලියට ද ඇතුලුවී වෙඩි තැබී ය. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට පල්ලියේ බිම හා බිත්තිවල ලේ පැල්ලම් හා පතුරම් සලකුනු දැකින්ට ලැබුනි.

අගෝස්තු 2 දින කඩසාප්පු ද වසා දමා තිබූ වැලිවේරිය දැකගැනීමට ලැබුනේ හමුදාව වාඩිලාගත් කලාපයක් ලෙස ය. සන්නද්ධ මෝටර් රථ, සොල්දාදුවෝ හා ‍ පොලිස් නිලධාරියෝ ප්‍රදේශයේ සංචාරය කරමින් සිටියහ. අගෝස්තු 1දා ප්‍රහාරය මධ්‍යයේ පලායන ජනයා ගෙන් ගිලිහුනු පාවහන් පාර පුරා විසිරී තිබුනේ සිය ආරක්ෂාව සඳහා ගත් උත්සාහයේ දී විරෝධතාකරුවන් ඉදිකර තිබුනු බිඳීගිය බාධක වල සුන්බුන් ද සමගිනි. ලෝසවෙඅ වාර්තාකරුවෝ බිම තිබූ උන්ඩ ද තැලුනු ශරීර සහිත ජනයා හා ලේවලින් තෙමුනු ඇඳුම් ද දැක ගත්හ.බරපතල ලෙස තැලුම් කෑ , ලෙයින් තෙත් වූ ඇඳුම් ඇඳගත් ජනයා ලෝසවෙඅ වාර්තාකරුවන්ට මුන ගැසුනි.

නිසල බවක් මතුපිටින් පෙනුන ද ජනයා අතර යටින් ගිනි දැවෙමින් ඇත්තේ ආන්ඩුවට හා මිලිටරියට එරෙහි වැඩෙන කෝපයකි. එක් කාන්තාවක් තම නිවසට සිදු වුනු හානිය ලෝසවෙඅට පෙන්වූවා ය. ආරක්ෂාව පතා මිනිසුන් 15ක් පමන නිවසට කඩාවදිද්දී ඇය සිය දරු දෙදෙනා ද සමග නිවසේ සිටියා ය. හමුදාව දොරවල්කඩා නිවසට ඇතුලු වී ලී බඩු හා නාන කාමර භාන්ඩවලට හානි කලහ. ඔවුන්ගේ කඩාවැදීමට පෙර ම ඇය තම දරු දෙදෙනා ඇඳ යට සැඟවූවා ය.

එක් ලමයෙක් අපට මෙසේ කීවේ ය: "පාසලේ දී යුද විරුවන්ට ආදරය කරන ලෙස අපිට කියනවා. ඇත්තට ම අපි ඔවුන්ට ආදරය කලා. අපි සොල්දාදුවන් වෙනුවෙන් බෝධී පූජා තිබ්බා. දැන් අපේ ආදරය නැති වී ගිහින්. කිසිම හේතුවක් නැතුව ඔවුන් අපිට පහර දුන්නා.දැන් අපි ඔවුන්ට වෛර කරනවා.”

එම ලමයාගේ අම්මා මෙසේ කීවා ය: "හමුදාව අපිට සලකන්නේ මෙහෙමනම් යුද්ධෙ කාලෙ දෙමල මිනිස්සුන්ට සලකන්න ඇත්තෙ කොහොමද කියල අපිට හිතා ගත්තැහැකි. ඒගොල්ලො කිවුවෙ ඒක ‘මානුෂික මෙහෙයුමක්’ කියල වුනත් දැන් අපිට තේරෙනව මෙහෙයුම කරන්න ඇත්තෙ කොහොමද කියල. අපි හිතුවෙ හමුදාව ඉන්නෙ අපේ ආරක්ෂාවට කියල. ආන්ඩුවට වටින්නෙ රබර් අත්වැසුම් ෆැක්ටරිය මිසක් ඒක අපිට බලපාන්නෙ කොහොමද කියන එක නෙවෙයි.”

තවත් අයෙක් ලෝසවෙඅට මෙසේ කීවේ ය: "ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුලු ආන්ඩුව මේ ප්‍රහාරයට වග කියන්න ඕන. බැසිල් (රාජපක්ෂ) පත්වුනේ මේ පලාතෙන්. ආයිනං අපි එයාට ඡන්ද දෙන්නෑ.”

"මාධ්‍ය, පොලීසිය, හමුදාව හා උසාවි අපිට විරුද්ධයි” යනුවෙන් තවත් අයෙක් පැවසීය. "මාධ්‍ය අපේ ඇත්ත කතාව වාර්තා කරල නැහැ.” ප්‍රදේශයේ පානීය ජලය දූෂනය වීම පිලිබඳ පරීක්ෂනය උසාවියෙන් අගෝස්තු 21දාට කල් දමා ඇත්තේ ඇයිදැ’යි ඔහු විමසීය. මෙය හදිසි කරුනක් බවත් විරෝධතාකරුවන් මෙතරම් කෝප වී ඇත්තේ ඇයි ද යන්නට එය එක් හේතුවක් බවත් ඔහු විස්තර කලේ ය.

60 හැවිරිදි අයෙක් මෙසේ කීවේ ය: "මගේ පපුවට බැටන් පොල්ලක් තියපු සොල්දාදුවො ‘අපි ශ්‍රී ලංකා හමුදාවෙන්. තමුසෙලාට පුලුවන් ද අපිට අභියෝග කරන්න’ කියල ඇහුව.”

තරුනයන් 40ක් පමන පල්ලියෙන් පිටතට ගෙන දනගැසීමට අන කරනු ලැබ ඔවුන්ට පහර දුන් බව කෝපාවිෂ්ට වූ තරුනයෙක් විස්තර කලේ ය. "අපි පාර බ්ලොක් කලා කියල ඒගොල්ලො අපිට දොස් කිවුවත් ඊයෙ ඉඳල ඒක ඒගොල්ලො ම වහල දාල.”

වින්ග්‍රොස් ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් කම්හලෙන් මුදාහරින රසායන ද්‍රව්‍ය මිශ්‍රිත ජලය සුදුසු පරිදි පිරිපහදු කිරීමට යෝග්‍ය ක්‍රමයක් නැතැයි එම කම්හලේ කලින් සේවය කල කම්කරුවෙක් කීවේ ය. දෛනිකව විවෘත පරිසරයට අපිරිසිදු ජලය ගැලුම් 15,000ක් පමන මුදාහරින බවත් එම ජලය භූගත ජලය සමග මිශ්‍ර වී ලිංවලට ගලා යා හැකි බවත් ඔහු ප්‍රකාශ කලේ ය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන කාර්මික සමාගම්වලින් එකක් වන හේලීස් වෙත හිමි මෙම කම්හල පාලනය කරනු ලබන්නේ පාලක රාජපක්ෂ පාලක කල්ලියට සමීපව සම්බන්ධ මෙරට ප්‍රකෝටිපතියෙක් විසිනි.

ප්‍රදේශයේ ජලය බීමට පාවිච්චි කල නො හැකි බවත් නෑමටවත් නො හැකි තරමට දූෂිත බවත් නැදුන්ගමුව ප්‍රදේශවාසියෙක් විස්තර කලේ ය. එම ජලය නෑමෙන් පසු හටගත් කුෂ්ට හා අනෙකුත් රෝගවලින් ජනයා පීඩා විඳින බව ද ඔහු කීවේ ය. ප්‍රදේශයේ කුඹුරු කිහිපයක් පුරන් ව ඇති අතර බොහෝ මරන සිදුවී ඇත්තේ දූෂිත ජලය හේතුවෙන් යයි ප්‍රදේශවාසීහු සැක කරති.

විරෝධතාකරුවන් සතුව පෙට්‍රල් බෝම්බ හා බෝතල් තිබුනු බවට පචයක් ඇද බෑ හමුදා ප්‍රකාශක රුවන් වනිගසූරිය මිලිටරිය "අවම බලය” පාවිච්චි කලේ යයි ප්‍රකාශ කලේ ය.

විරෝධතාකරුවන්ව කෲර ලෙස මර්දනය කිරීම කම්කරුවන්, දිලින්දන් හා තරුනයන් අතර වැඩෙන විරුද්ධත්වය ගැන ආන්ඩුවේ භීතියට දෙස් දෙයි. පසුගිය සති කිහිපය පුරා දුම්රිය හා අනෙකුත් කම්කරුවන්ගේ වැඩ වර්ජන මෙන් ම විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතා ද පොහොර සහනාධාර කැපීමට එරෙහි ග්‍රාමීය දිලින්දන්ගේ විරෝධතා පිපිරී ගියේ ය. ආර්ථික හා දේශපාලන අර්බුදයෙන් මිරිකෙන රාජපක්ෂ ආන්ඩුව නොසන්සුන්තාව මැඩීමට මිලිටරි විධික්‍රම යොදමින් පොලිස් රාජ්‍ය පාලන විධිවලට හැරෙමින් සිටී.

Share this article: