එඩ්වර්ඩ් ස්නෝඩන් රුසියාව තුල තාවකාලික රැකවරන ලබයි

Edward Snowden gains temporary asylum in Russia

තෝමස් ගෙයිට්ස් විසිනි, 2013 අගෝස්තු 02

සිතිය හැකි පරිදිම රැකවරන ප්‍රදානය, එක්සත් ජනපද නිලධාරීන්ගේ හෙලාදැකීම් හා පලිගැනීමේ තර්ජන උත්සන්න කර ඇත.

සති පහකට වැඩි කාලයක් තිස්සේ එඩ්වර්ඩ් ස්නෝඩන් හිර වී සිටි මොස්කව් ගුවන් තොටුපලේ සංක්‍රමන කලාපයෙන් පිටවීමට 01දා දේශීය වේලාවෙන් පස්වරු 3.30ට ඔහුට අවසර ලැබුනි. ස්නෝඩන්ට රුසියාව තුල තාවකාලික රැකවරනය ප්‍රදානය කෙරී ඇති අතර අඩු වශයෙන් වසරක් එහි රැඳී සිටීමට ඔහුට ඉඩ ලැබෙනු ඇත.

ඔහුට එරෙහිව වොෂින්ටනයේ වෛරී සහගත ජාත්‍යන්තර පරිමාන පලිගැනීමේ ව්‍යාපාරය මගින් ඔහුගේ ජීවිත ආරක්ෂාවට මතු කෙරෙන බරපතල අනතුර පිලිබඳව ඇඟවුම් කරමින් ස්නෝඩන් රහසිගත ස්ථානයකට ගෙන යන ලදී.

රැකවරන ප්‍රදානය කෙරෙන සහතිකය ලැබීමෙන් පසුව ස්නෝඩන් පැවසුවේ, “පසු ගිය සති අට පුරා අප දුටුවේ ඔබාමා පාලනාධිකාරය ජාත්‍යන්තර හා දේශීය නීතියට ගෞරවයක් නොදක්වන බව යි. එහෙත් අන්තිමේ දී නීතිය ජය ගනු නියතය” යනුවෙනි.

සිතිය හැකි පරිදිම රැකවරන ප්‍රදානය, එක්සත් ජනපද නිලධාරීන්ගේ හෙලාදැකීම් හා පලිගැනීමේ තර්ජන උත්සන්න කර ඇත. එක්සත් ජනපදය හා අනෙකුත් ධනේශ්වර ආන්ඩු විසින් ගොඩනඟා තිබෙන ඔත්තු බැලීමේ යාන්ත්‍රනයට එරෙහි ජාත්‍යන්තර ප්‍රතිරෝධයේ සංකේතයක් වී ඇත්තේ ස්නෝඩන් ය. ඒ නිසාම ඔහු, එක්සත් ජනපද හමුදා-ඔත්තුසේවා යාන්ත්‍රනයේ, සංගත-මූල්‍ය කතිපයාධිකාරයේ හා ආන්ඩුව තුල ඔවුන්ගේ දේශපාලන නායකත්වය තුල කනස්සල්ලේ හා වෛරයේ මූලය බවට පත්ව තිබේ.

මීට පෙර පැවති කිසි ම පාලනාධිකාරයකට වඩා ඔබාමා පාලනාධිකාරය, අන්ඩුවේ සාපරාධී ක්‍රියා හෙලිකරන්නන් ඉලක්ක කර ඇති අතර මෙම උද්ඝෝෂනයේ කේන්ද්‍රය වන්නේ ස්නෝඩන් ය. රුසියාව තුල රැඳී සිටීමට අවසර දීමේ තීරනය ඔබාමා පාලනයේ හෙලාදැකීමට ලක්ව ඇත්තේ එබැවිනි.

“රුසියානු සමූහාන්ඩුව මෙම පියවර ගැනීම සම්බන්ධව අපි මුළුමනින් ම කනස්සල්ලට පත්ව සිටිමු” යයි ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජේ කාර්නේ පැවසී ය. “සැබවින් ම මෙය සාධනීය වර්ධනයක් නො වේ.” පලිගැනීමක් වශයෙන් ධවල මන්දිරය, නියමිතව ඇති ජනාධිපතිගේ මොස්කව් සංචාරය අවලංගු කල යුතු යයි කාර්නේ යෝජනා කලේ ය.

“ඔහු විසංවාදියෙකු නො වේ” යැයි කාර්නේ අවධාරනය කලේ ය. “ස්නෝඩන් මහතා අකටයුතු හෙලිකරන්නෙකු නො වේ. ඔහු රාජ්‍ය රහස් හෙලිකිරීමේ චෝදනා ලැබූවෙකි. ඔහුට මහාපරාධ තුනක් මත චෝදනා එල්ල වී ඇත. හැකි ඉක්මනින් ඔහු එක්සත් ජනපදයට ආපසු එවිය යුතු ය, එහිදී ඔහුට නියමිත ක්‍රියාදාමයේ එකඟත්වය හා ආරක්ෂාව මුළුමනින් ම ලැබෙනු ඇත.”

අයිතිවාසිකම් පනත තුල සියල්ලන්ට ම සහතික කෙරුනු නියමිත ක්‍රියා පටිපාටියේ ආරක්ෂාව ස්නෝඩන්හට ලැබෙනු ඇති බව අවධාරනය කිරීම අත්‍යාවශ්‍ය යැයි කාර්නේට හැඟුනේ, ඔබාමා පාලනාධිකාරය මේ වන විටත් නියමිත කාර්ය පටිපාටියෙන් බැහැර ව එක්සත් ජනපද පුරවැසියන් මරා දමා, විධායක මන්ඩලයේ පරමාධිකාරයක් ලෙස නීතිවිරෝධී ඉලක්ක ගත ඝාතනයන් දිගට ම කරන බව හොඳින් ප්‍රසිද්ධ නිසා ය.

ස්නෝඩන් හා රුසියානු ආන්ඩුව හෙලාදැකීම තුල දී ව්‍යවස්ථාසම්පාදකයෝ සුසංගත ව එකට එක් වූහ. “රුසියාව අපට පිටිපස්සෙන් පිහියෙන් ඇන ඇත. ස්නෝඩන්ට නිදහසේ රවුම් ගැසීමට ඉඩ දෙන සෑම දවසක් ම තවත් පිහිපාරකි” යි ඩෙමොක්‍රටික් සෙනෙට් සභික චාල්ස් ෂූමර් පැවසී ය. ස්නෝඩන් “බියගුල්ලෙකු” ලෙස නම් කල ෂූමර් “පලායාම ඔහුගේ තේරීම වී” ඇතැයි පැවසී ය.

ඇරිසෝනාවේ රිපබ්ලිකානු සෙනෙට් සභික ජෝන් මැකේන් රැකවරන ප්‍රදානය “සියළු ම ඇමරිකානුවන්ගේ කනට ගැසීමක්” ලෙස හැඳින් වු අතර එක්සත් ජනපද-රුසියානු සම්බන්ධතා පිලිබඳව “අතිමූලික ලෙස යලි සිතා බැලීම” අවශ්‍ය යැයි පැවසී ය.

“එක්සත් ජනපද උසාවියට අයිති එඩ්වර්ඩ් ස්නෝඩන් පලායන්නෙකු මිස රුසියාව තුල රැකවරනයට සුදුසු නිදහස් පුද්ගලයෙකු නො වේ” යැයි නිව් ජර්සි හි ඩෙමොක්‍රටික් සෙනේට් සභික රොබට් මෙනෙන්ඩෙස් පැවසී ය. ක්‍රියාව “එක්සත් ජනපද - රුසියා සම්බන්ධතාවේ පසුබෑමක්” යයි මෙනෙන්ඩෙස් හැඳින් වූ අතර ස්නෝඩන් “එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට විශාල හානියක් කරන අතර ත්‍රස්තවාදීන්ට උදව් කරනු ඇතැයි” ද පැවසී ය.

ඔක්ලහෝමා හි රිපබ්ලිකානු සෙනෙට් සභික ටොම් කොබර්න් පැවසුවේ ස්නෝඩන් “අපේ රටෙහි හතුරෙකි” යනුවෙනි.

රුසියාව තාවකාලික රැකවරනය ප්‍රදානය කර ඇති නමුත් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පාලන තන්ත්‍රය නැවත නැවතත් පැවසුවේ එක්සත් ජනපදය සමග සම්බන්ධතා සුමට කිරීමේ මාධ්‍යයක් ලෙස තමන්ට ස්නෝඩන් අනවශ්‍ය බව යි. පුටින්ගේ සහායකයෙකු වන යුරී වී. උසකෝව් පැවසුවේ ස්නෝඩන් පිලිබඳ ප්‍රශ්නය “නොවැදගත් ස්වභාවයේ” එකක් බවය.

පුටින් ප්‍රකාශ කර තිබුනේ ස්නෝඩන් සඳහා රැකවරනය රඳා පවතින්නේ ඔහු සියළු දේශපාලන කටයුතු අත්හිටුවීම මත බවය.

ස්නෝඩන්ගේ ජීවිතය අනතුරට මුහුනපා ඇත. එක්සත් ජනපද ආන්ඩුව සැකයට කිසි ඉඩක් තබා නැත: නීතිමය අවශ්‍යතාවයන් රහිතව ආන්ඩුවේ හතුරන් අවසන් කල හැකි ය, කෙරෙනු ඇත. ස්නෝඩන්ට ජීවත් වීමට ඉඩ දෙනවා ද නැත්නම් ඝාතනය සඳහා ඉලක්ක කෙරෙනවා ද යන්න ඉහල එක්සත් ජනපද නිලධාරීන්ට දේශපාලන උපක්‍රම පිලිබද ප්‍රශ්නයක් පමනි.

ස්නෝඩන් සිද්ධියෙන් මතුවිය හැකි ඔත්තු බැලීමේ මෙහෙයුමේ අළුත් ම තොරතුරු අත්‍යන්තයෙන් ම වැදගත් ද විනාශකාරී ද වී ඇත. රැකවරනය පිලිබඳ ප්‍රවෘත්තිය අනාවරනය වීමට දිනකට පෙර, ගාර්ඩියන් පත්‍රය, අනෙකුත් කටයුතු අතර ඩ්‍රැග්නට් ක්‍රමයේ අන්තර්ජාල සෝදිසියෙහි හා පුද්ගලික විද්‍යුත් තැපෑලේ අන්තර්ගතයන් කියවීමෙහි යෙදෙන එක්ස්කීස්කොර් නම් ජාතික ආරක්ෂක ඒජන්සියේ “පුළුල්ම -ලඟාවීමේ” අන්තර්ජාල ඔත්තුබැලීමේ මෙහෙයුම විස්තර කරමින් ස්නෝඩන් හෙලි කල තවත් වාර්තාවක් පල කලේ ය.

සීඑන්එන්ඩොට්කොම් වෙබ් අඩවියට අනුව, එක්ස්කීස්කෝර් ක්‍රමයෙන් “ඔබ අන්තර්ජාලය තුල කල හැම දෙයක් ම― එනම් ඉතිහාසය විමර්ශනය කිරීම, ගවේෂන, ඔබගේ විද්‍යුත් තැපෑලේ අන්තර්ගතයන්, මාර්ගගත කතාබහ, ඔබගේ පශ්චාත් දත්ත පවා ―යතුරු පුවරුව තට්ටු කිරීම මගින් හැම දෙයක් ම ලබාගැනීමේ හැකියාව ඇති කර යි... කිසිදු පූර්ව බලය දීමකින් තොර ව-වරෙන්තුවක් නොමැති ව, උසාවි අවසර පත්‍රයක් නොමැති ව, තිත් පෙලක් මත අත්සනක් නොමැති ව- ඔබගේ තොරතුරුවල මුළු දත්ත පදනම හරහා සෝදිසි කිරීමට මෙම වැඩසටහන් විශ්ලේෂකයාට හැකියාව ලබා දෙයි. විශ්ලේෂකයෙකු සරලව තිරය මත සරල ආකෘති පත්‍රයක් සම්පූර්න කල යුතු ය. තප්පර ගනනකින් ඔබගේ මාර්ගගත ඉතිහාසය තවදුරටත් පෞද්ගලික වන්නේ නැත.”

ඔබාමා ද ඇතුළු එක්සත් ජනපද නිලධාරීන්, අනේකවිධ කොන්ග්‍රස් සභිකයන් හා සෙනෙට් සභිකයන්, මෙම සෝදිසි කිරීම්, “ඇමරිකානුවන් ඉලක්ක කර නොගන්නා ” බව කියා ඇති නමුත් එක්ස්කීස්කෝර් ක්‍රමය මගින් සැබවින් ම තම අභිමතය පරිදි සෑම අයෙකුගේ ම දත්ත නිරීක්ෂනය කිරීමේ හැකියාව ආන්ඩුවේ විශ්ලේෂකයන්ට ලබා දෙයි.

Share this article: