ටීඑන්ඒ මහඇමති අපේක්ෂක විග්නේශ්වරන්ගේ එල්ලය කොලඹ ආන්ඩුව සමග සම්මුතියක්

கொழும்பு அரசாங்கத்துடனான சமரசமே தமிழ் தேசிய கூட்டமைப்பின் முதலமைச்சர் வேட்பாளர் விக்னேஸ்வரனின் குறிக்கோள்

යාපනය දිස්ත‍්‍රික්කයට තරග වදින සමාජවාදී සමානතා පක්ෂ කන්ඩායමේ නායක පරමු තිරුඥානසම්බන්දර් විසිනි, 2013 අගෝස්තු 23

ජනාධිපති මහින්ද රාජපක්ෂ උතුරු පලාත් සභා මැතිවරනය සැප්තැම්බර් මස පවත්වන්නේ දෙමල ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ගැන කැක්කුමක් නිසා නොව, මූලිකව ම ඉන්දියාවේ හා ඇමරිකාවේ බලකිරීම මතය. ඉන්දියාව හා ඇමෙරිකාව මෙම බලකිරීම කර ඇත්තේ හුදෙක්ම තම භූ-දේශපාලන උවමනාකම් මතය.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊය) මිලිටරි පරාජයකට පත්වීමෙන් අවුරුදු හතරකට වැඩි කලක් ගතවී තිබේ. දෙමල කම්කරුවන්, තරුනයන් හා දුගීන් සිටින්නේ යුද ව්‍යසනයෙන් වඩාත් ගැඹුරු කල සමාජ-ආර්ථික හා දේශපාලන ප‍්‍රශ්නවලට පිලිතුරු ලබා ගැනීමේ දැවෙන උවමනාවකිනි. කෙසේ නමුත් ප‍්‍රධාන ලෝක බලයන්ගේ, කොලඹ ආන්ඩුවේ සහ දෙමල ධනපති පක්ෂවල උපාමාරු දැමිල්ලක ප‍්‍රතිපලයක් වන මෙම මැතිවරනයෙන් දෙමල ජනයාගේ මොනම ප‍්‍රශ්නයකටවත් විසඳුමක් සැපයන්නේ නැත.

උතුරු පලාත් මැතිවරනය දෙමල ධනපති පන්තියේ ප‍්‍රධාන සංවිධානය වන දෙමල ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) අධම භූමිකාවේ නව හැරීම තරයේම හෙලිදරව් කල අවස්ථාවක් වී ඇත.

මහජනයා අතර ආන්ඩුව කෙරේ ඇති දැවෙන විරුද්ධත්වය ගසාකමින් පලාත් සභාවේ බලයට ඒමට ටීඑන්ඒය තැත් කරයි. එය කිසි කලෙක තම සන්ධානයේ සාමාජිකයෙකු නොවූ, හිටපු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු සී.වී. විග්නේශ්වරන් සිය මහ ඇමති අපේක්ෂකයා ලෙස තෝරා ගෙන ඇත්තේ, ශ‍්‍රී ලංකාවේ දෙමල ධනපති පන්තියේ අවශ්‍යතා වෙනුවෙන් රාජපක්ෂ ආන්ඩුව, ඉන්දියාව සහ එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර බලයන් සමග ගනුදෙනු කිරීම සඳහා වඩාත්ම සුදුසු නියෝජිතයෙකු ලෙසය.

හිටපු විනිසුරුවරයා මහඇමති ධූරයට ඉදිරිපත්වන ගමන් තමන්ගේ මෙම භූමිකාව කුමක්දැයි විවෘතව ම ප‍්‍රසිද්ධ කලේ මෙසේය: "මා සම්බන්ධයෙන් ගත් කල මහ ඇමතිකම දේශපාලන නිලයක් නො වේ. මේ සුවිශේෂ අවස්ථාවේ, ආන්ඩුව සහ ඉන්දියාව ද අන් විදේශ රටවල් ද සමග ප‍්‍රශ්න කතා කල හැකි පුද්ගලයෙක් අවශ්‍යයි,” යනුවෙනි. මේ "අන් විදේශ රටවල්” නම් ඇමරිකාව ඇතුලු බටහිර බලයන් ය.

ටීඑන්ඒ මහ ඇමති අපේක්ෂකයා ලෙස පත් කිරීමට නියමිතව තිබුනේ එහි ලේකම් මාවෙයි සේනාධිරාජා බැව් මාධ්‍යයන් වල වාර්තා කර තිබුනි. සන්ධානය තුල දිගු අර්බුදකාරී සාකච්ඡා වලින් පසු ටීඑන්ඒ නායක ආර්. සම්බන්ධන්ගේ අවධාරනය පරිදි විග්නේශ්වරන් තෝරා ගෙන ඇත.

ඔහු මහ ඇමති තනතුරට ඉදිරිපත් කිරීමෙන් ටීඑන්ඒ ඉලක්ක කීපයකට ම කුරුමානම් අල්ලයි. බලයට ආවොත් අධිරාජ්‍යවාදීන්ගේ උදව්වෙන් කොලඹ ආන්ඩුව සමග සම්මුතියකට බරපතල කේවලක් කරගැනීම ඉන් එකකි. ධනේශ්වර සංස්ථාපිතයට සම්බන්ධ, නීතියේ ආධිපත්‍ය රැකීමට කැප වූ ඔහු ඉදිරිපත් කිරීමෙන් එල්ටීටීඊ "ත‍්‍රස්තවාදයට” සහ බෙදුම්වාදයට උදව්දීම පිලිබඳව තමන්ට එල්ල වන චෝදනා වලින් ගැලවීමට හැකි වෙතැයි ටීඑන්ඒ නායකයෝ ගනන් බලති.

මිලිටරි පරාජයක් ලබන තුරුම එල්ටීටීඊයේ හොරනෑවක් ලෙසින් ක‍්‍රියා කල, ඉන් පසු අවුරුදු හතරේ කොලඹ ආන්ඩුවට එබිකම් කරන ගමන්ම දෙමල මහජනයාගේ ප‍්‍රශ්න ගැන ව්‍යාජ අනුකම්පාවක් දක්වන, ටීඑන්ඒ දෙමල කම්කරුවන්, තරුනයන් සහ දුගීන් අතර අපකීර්තියට පත් ව ඇත. එබැවින් එල්ටීටීඊ ය සමග සම්බන්ධයක් නොමැති වූ "අලුත්” පුද්ගලයෙක් ලෙස විග්නේශ්වරන් ඉදිරිපත් කිරීමෙන්, මහ ජනයාගේ ඇස්වලට වැලිගැසීමට ටීඑන්ඒ බලාපොරොත්තු වෙයි.

කොලඹ ජනමාධ්‍ය කීපයක්ම විග්නේශ්වරන් සමග සම්මුඛ සාකච්ඡා වලට ඉඩදීමෙන් හා ලිපි පල කිරීමෙන් ඔහු තෝරා ගැනීම සම්බන්ධයෙන් දේශපාලන සංස්ථාපිතයේ අනුමැතියක් ඇති බව පෙන්නුම් කර ඇත. හිටපු රැඩිකලෙකු වන, ආන්ඩුවේ තානාපති සේවයට ද බඳවා ගැනුනු දයාන් ජයතිලක නැමැත්තා මාධ්‍යට ලියූ ලිපි කීපයකින් විග්නේශ්වරන් තෝරා ගැනීම අනුමත කරන්නේ, "උතුර සහ දකුන අතර වඩාත් ශක්‍ය සබඳතාව සඳහා සුදුසුම තැනැත්තකු” ලෙසය. මේ සියල්ලටම ඉහලින් රාජපක්ෂ විග්නේශ්වරන්ට ඇස් ගසා ඇත්තේ "යකා කියන තරම්ම කළු නෑ”යනුවෙන් පවසමිනි. තමන් විග්නේශ්වරන් සමග සාකච්ඡාවකට සූදානම් බව ද රාජපක්ෂ ප‍්‍රකාශ කලේය.

ඇමෙරිකාව කොලඹ ආන්ඩුවට බලපෑම් දමන්නේ එය ආසියාවට හැරීම නමින් චීනයට විරුද්ධව සුදානම් කරන යුද්ධයේදී ආසියානු-පැසිපික් කලාපයේ රටවල යුද කඳවුරු පෙල ගස්වා ගැනීම සමග ලංකාව ද සම්බන්ධ කිරීමට ය. එල්ටීටීඊයට එරෙහි මිලිටරි ප‍්‍රහාරයට මුලුමනින්ම සහාය දුන් මේ රටවලට ප‍්‍රධාන ප‍්‍රශ්නය වී ඇත්තේ යුද්ධය තුලදී හා පසුව කොලඹ ආන්ඩුව චීනයට සමීප වීමයි. එහෙයින් චීනය සමග සම්බන්ධතා වලට වල කැපීමට එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ අවසන් සතිවල ආන්ඩුව විසින් සිදුකල මානව අයිතීන් උල්ලංඝනයට ඇඟිල්ල දික්කර මෙම බලපෑම ගෙන එයි.

ඉන්දියානු සාගර කලාපය තුල චීනය සබඳකම් වර්ධනය කර ගන්නවාට නව දිල්ලිය කිසිසේත්ම කැමති නැත. එමෙන්ම තමන්ට ඉතා කිට්ටු උතුරු-නැගෙනහිර දෙමල ජනයා මැඩීම ගැන තමිල්නාඩුවේ ජනයා අතර පැනනැගී ඇති විරුද්ධත්වය නිසා එම ප‍්‍රාන්තයේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වීම ද ඉන්දියාවේ කනස්සල්ලට හේතුවී ඇත.

ඇමරිකාව හා ඉන්දියාව, කොලඹ මත පීඩනය දැමීමේ දී ටීඑන්ඒ ලීවරයක් ලෙස යොදා ගැනීමට තැත් කරමින් එය සමග දේශපාලන සම්මුතියකට එන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටී. ටීඑන්ඒ එම රට වල පිලිසරන පතමින් ස්වකැමැත්තෙන් ඉන්දියාවේ ද වෙසෙසින්ම ඇමරිකාවේ ද මූලෝපායික උපමාරුවලට ලංව එහි යුද කරත්තයට බැඳී දෙමල ජනයා ව්‍යසනයන්ට තල්ලු කිරීමේ අන්තරායකාරී සූදුවක යෙදී සිටියි.

සාමාන්‍ය දෙමල මහ ජනතාවගේ අයිතීන් ගැන මොනම තැකීමක් වත් ටීඑන්ඒයට නැතිබව සහසුද්දෙන්ම පෙන්නුම් කර ඇත්තේ එය යුද අපරාධ ගැන හා උතුරු නැගෙනහිර හමුදා වාඩිලා ගැනීම ගැන ගෙන ඇති ආස්ථානයන්ගෙනි. රාජපක්ෂ ආන්ඩුවේ හා මිලිටරියේ යුද අපරාධ ගැන බරපතල චෝදනා එල්ල වී ඇතත් විග්නේශ්වරන් ඒ ගැන කිසිවක් තම සම්මුඛ සාකච්චා වලදී කියා නැත්තේ අහම්බෙන් නො වේ.

විග්නේශ්වරන් ද ටීඑන්ඒ ද ආන්ඩුවට අඟවන්නේ තමන් "පසුගිය දේවල්” [යුද අපරාධ] නො ඇද සම්මුතියකට ඒමට සුදානම් බවය. උතුරේ ජනයාට තීරනාත්මක ප‍්‍රශ්නයක් වන උතුර වාඩිලා ගෙන සිටින මිලිටරිය ඉවත් කිරීම ද ඔවුන්ගේ ඉල්ලීම් ලැයිස්තුවට අඩංගු නැත. විග්නේශ්වරන් කියා ඇත්තේ ක‍්‍රමයෙන් හමුදාව අඩුකල යුතු බවයි.

තමන් උත්සුක වන්නේ "කෙටි කාලීන දේවල්” පිලිබඳව විසඳුම් ලබා ගැනීමට බව විග්නේශ්වරන් කියා ඇත. ඒවාට ඇතුලත් වන්නේ යුද්ධයේදී අතුරුදහන් වූ ඥාතීන් සොයා ගැනීම, හමුදාව විසින් අත්පත් කරගෙන තිබෙන දෙමල ජනතාවට හිමි දේපොල, අතිමහත් සංඛ්‍යාවක් වන වැන්දඹුවන් සහ විරැකියාව පිලිබඳව සොයා බැලීම වැනි දෑය. අතුරුදහන් වූවන්ට හා වැන්දඹුවන්ට සොච්චම් වන්දි ලබා ගැනීම වැනි දේවලින් මේ කෙටිකාලීන යයි කියන්නා වූ ප‍්‍රශ්න වටා ඇති මූලික ප‍්‍රශ්න යට ගැසීමෙන් කොලඹ පාලක පන්තිය අස්වසා ගැනීමට හැකි ය යන නරුම ගනන් බැලීමක ටීඑන්ඒ යෙදී සිටී.

එල්ටීටීඊ සංවිධානය නිරායුධ කිරීමට ඉන්දියානු හමුදා එවීම සඳහා 1987 ජුලි මාසයේ දී දිල්ලියේ හා කොලඹ ආන්ඩු අත්සන් කල ඉන්දු-ලංකා ගිවිසුමෙන් ඇති කල 13 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව පලාත් සභා වලට ලැබිය යුතු පොලිස් සහ ඉඩම් බලතල ලබා ගැනීමට ටීඑන්ඒ ඉතා උනන්දු ය. රාජපක්ෂ ද සිංහල ස්වෝත්තමවාදීන් ද මේ බලතල දීමට විරුද්ධව සිටින්නේ එම ප‍්‍රදේශ තම සූරාකෑමේ වැයික්කි ලෙස දිගටම තබා ගැනීමටය. දෙමල ධනපතියන්ට උවමනා එම පලාත් තම සූරාකෑමේ වේදිකා ලෙස තහවුරු කර ගැනීමටයි.

තම සූරාකෑමේ අයිතීන් සඳහා සිංහල හා දෙමල ධනපතියන් එක්ව වැඩ කිරීමේ උවමනාව ගැන ඬේලිමිරර් පුවත්පතට දුන් ප‍්‍රකාශවලදී විග්නේශ්වරන් කර තිබූ අවධාරනයෙන් පෙන්නුම් කරන්නේ මෙම පාලක පන්තීන් තුල වැඩෙන භීතියකි. ඔහු මෙසේ සඳහන් කර ඇත: " [උතුරේ ගෙනයන] දරුනු මර්දනය අර්බුදය වඩාත් නරක අතට හරවන බව ආන්ඩුව වටහා ගත යුතුයි. මක් නිසාද යත් මෙම තත්වය දිගටම පැවතියහොත් තවත් සන්නද්ධ ගැටුමක් පැන නැගීම අනිවාර්ය වන හෙයිනි. ....විශ්වාසය මත පදනම් වූ විසඳුමක් සඳහා නායකයන් ලෙස කටයුතු කල හැකිනම් අපට ඉදිරියට යා හැකියි.”

විග්නේශ්වරන් අනතුරු අඟවන්නේ හුදු සන්නද්ධ ගැටුමක් ගැන පමනක් නො වේ. දකුනේ මෙන්ම උතුරේ ද කම්කරුවන්ගේ හා තරුනයන්ගේ නැගිටීමකින් මතුවිය හැකි තර්ජනය පෙන්වා දෙමින් ඔහු අවධාරනය කරන්නේ එම "පොදු සතුරාට” එරෙහිව ධනපති පන්තියේ එකමුතුවීම ගැනයි. කොලඹ ආන්ඩුව මෙන්ම දෙමල ධනපතියන් ද සිංහල දෙමල කම්කරුවන්ගේ අරගල පැනනැගීම ගැන බිය වන්නේ ඔවුන් ධනපති පන්ති පාලනයට එරෙහිව එකමුතු කිරීමේ කොන්දේසි නිර්මානය වන හෙයිනි.

ටීඑන්ඒ තුච්ච උපාමාරු දෙමල කම්කරුවන්, තරුනයන් හා දුගීන් පිලිකුලෙන් ප‍්‍රතික්ෂේප කල යුතුය. ටීඑන්ඒ ඇතුලු දෙමල ධනපති පන්තියේ සෑම කොටසක් ම -එල්ටීටීඊය ද මීට ඇතුලත්ය- ඓතිහාසිකව පෙන්නුම් කර ඇත්තේ දෙමල ජනතාවගේ මොනම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක්වත් තහවුරු කිරීමේ විකල්ප ක‍්‍රියාමාර්ගයක් ඉදිරිපත් කිරීමට ඔවුන්ට නොහැකි බවයි.

දෙමල ජනයා මුහුන දුන් ව්‍යසනයන්ට කොලඹ පාලක පන්තිය ප‍්‍රධාන කොටම වගකිව යුතු වනවා මෙන්ම ටීඑන්ඒ, එල්ටීටීඊ ඇතුලු සෑම ධනපති කන්ඩායමක් ම ඊට වගකීම දරයි. එමෙන්ම තම උත්සුකය වන දෙමල වැඩකරන ජනයා සූරාකෑමේ කොන්දේසි නිර්මානය කර ගැනීම සඳහා අධිරාජ්‍යවාදී රටවලට සේවය කිරීමට ටීඑන්ඒ සැදී පැහැදී සිටී.

ව්‍යාජ වම්මුන්ගේ නව සම සමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය ටීඑන්ඒ ධනපති පක්ෂයට ආවඩමින් එහි ප‍්‍රතිගාමී වැඩපිලිවෙලට සුදුහුනු ගාති.

දෙමල ජනයාට එරෙහි වාර්ගික භේද කරනයේ මූලය ධනපති ක‍්‍රමය හා එහි පන්ති පාලනයයි. එක්සත් වන දෙමල හා සිංහල කම්කරුවන්, කලාපයේ හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහාය දිනා ගනිමින්, තරුනයන් හා අවශේෂ පීඩිතයන් ද රැලි කරගනිමින් සමාජවාදී වැඩපිලිවෙල ක‍්‍රියාවට දැමීම සඳහා ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තහවුරු කිරීමට ද කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් වැදීම එකම විකල්පය වේ.

අපේ පක්ෂය වන සමාජවාදී සමානතා පක්ෂය පමනක් ම උතුරින් හා නැගෙනහිරෙන් කොන්දේසි විරහිතව ශ‍්‍රී ලංකා හමුදාව ඉවත් කිරීම ඉල්ලා සිටී. ඇමෙරිකාව චීනයට එරෙහිව සුදානම් කරන යුද්ධයට අපි විරුද්ධ වෙමු.චීන පාලන තන්ත‍්‍රයට හා ධනපති ප‍්‍රභූවට ද අපි කිසිදු සහායක් නොදෙමු. ටීඑන්ඒ, ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන් හා ඉන්දියාව වෙත හැරීමේ අධිරාජ්‍ය ගැති වැඩ පිලිවෙලට එරෙහිව අපි එම රටවල හා අවශේෂ රටවල කම්කරු පන්තිය වෙත හැරෙමු.

අප ඔබෙන් ඉල්ලා සිටින්නේ සසප අපේක්ෂකයන්ට ඡන්දය දීම පමනක් නො වේ. ඉතා වැදගත් වන්නේ ඉහත ඉදිරිදර්ශනය සඳහා සටන් වදින සසපට බැඳී එය කම්කරු පන්තිය මෙහෙයවීමට සමත් පලල් පක්ෂයක් ලෙස ගොඩ නැගීමට එක්වන ලෙසයි.

Share this article: