එජාපය, නසසප-එසප සමග එක්ව වැලිවේරියේ හමුදා ප‍්‍රහාරයට එරෙහි ප්‍රෝඩාකාරී උද්ඝෝෂනයක

කපිල ප‍්‍රනාන්දු විසිනි , 2013 අගෝස්තු 25

පිරිසිදු පානීය ජලය ඉල්ලා විරෝධතාවයේ යෙදුනු වැලිවේරිය ජනතාවට එල්ල කල හමුදා ප‍්‍රහාරය සම්බන්ධව දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ (එජාපය) නායකත්වයෙන් අගෝස්තු 14 දා කොලඹ කොටුව ඉදිරිපිට ප්‍රෝඩාකාරී විරෝධතාවයක් පැවැත්විනි.

ආන්ඩුවට එරෙහිව වර්ධනය වන මහජන විරුද්ධත්වය ගසා කෑමේ අරමුනින් පැවති මෙම විරෝධතාවයේ දී එජාපයට කඩතුරාවක් ලබා දීම සඳහා ව්‍යාජ වාම පක්ෂ හා වෘත්තීය සමිති පෙලගැසී සිටියහ. කෙසේ නමුත්, විරෝධතාවය එජාපයේ බංකොලොත්කම හා ව්‍යාජ වාම පක්ෂවල ධනපති ගැති පිලිවෙත යහමින් එලිමහනට ගෙන එන්නක් විය. ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ හා ඉන්දියාවේ උදව්වෙන් කොලඹ ආන්ඩුව සමග බලය බෙදා ගැනීමේ සම්මුතියකට වලිකන දෙමල ජාතික සන්ධානය ද මෙම අවස්ථාවට සහභාගි විය.

අගෝස්තු 14 දා ආන්ඩුව දැවැන්ත කැරලි මර්දන පොලිස් බට පිරිසක් පෙල ගස්වා තිබු අයුරු

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව හමුදාව යොදවා වැලිවේරියේ විරෝධතාවය මැඞීමට එල්ල කල ප‍්‍රහාරයෙන් තරුනයන් තිදෙනෙක් මරා දැමුනු අතර 40කට පමන තුවාල සිදු කෙරින. ආන්ඩුව ගැන ද හමුදාව ගැන ද රටපුරා වැඩ කරන ජනයා හා තරුනයන් අතර පැතිර ගියේ බරපතල කෝපයකි. එජාප නායකත්වයෙන් පැවති විරෝධතාවට විශාල සෙනගක් රැස්වෙතැයි සිතූ ආන්ඩුව දැවැන්ත කැරලි මර්දන පොලිස් බට පිරිසක් පෙල ගස්වා තිබුනි.

එබඳු තත්වයක වුව, එජාපය ඇතුලු සංවිධාන රොත්තකටම රැස් කර ගත හැකි වූයේ 2000කටත් අඩු පිරිසක් වීමෙන් ප‍්‍රදර්ශනය වූයේ, මෙම සංවිධාන මහජනයා අතර අවිශ්වාසයට හා අපකීර්තියට පත්ව සිටින තරම යි.

එජාපයේ ප‍්‍රමුඛ නායකයන් සමග එක පෙලට විරෝධතාවයේ මූලිකත්වයේ සිටියේ ව්‍යාජ වාම පක්ෂ දෙකක් වන නව සමසමාජ පක්ෂයේ (නසසප) නායක වික‍්‍රමබාහු කරුනාරත්න හා එක්සත් සමාජවාදී පක්ෂයේ (එසප) නායක සිරිතුංග ජයසූරිය යි. එජාපයට සහාය පලකල පක්ෂ හා සංවිධාන මෙහිදී "එකමුතුවේ බලය” නමින් පෙනී සිටියේ ය.

විනාශකාරී යුද්ධයේ වියදම්වලින් ද ලෝක අර්බුදයෙන් බැට කෑමෙන් ද උග‍්‍ර වී ඇති ලංකාවේ ධනපති අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පටවමින් සිටින රාජපක්ෂ ආන්ඩුව පැනනගින මහජන විරෝධතා මැඞීම සඳහා මෑත අවධියේ දකුනු ප‍්‍රදේශයේ හමුදා මෙහෙයුමක් උසි ගැන්වූ ප‍්‍රථම අවස්ථාව වැලිවේරියේ ප‍්‍රහාරයයි.

මහජනයා මර්දනය කිරීමට එරෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සහතික කිරීම සඳහා කි‍්‍රයා කරන සංවිධානයක් ලෙස එජාපය හුවා දැක්වීමට නසසපයත් එසපයත් වලිකෑම දේශපාලන අපරාධයකි. එජාපයේ මර්දනකාරී වාර්තාව රාජපක්ෂ ආන්ඩුවේ වාර්තාවට දෙවැනි නැත.

එජාපය හා සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සාමන්‍ය සිවිල් වැසියන් දහස් ගනනක් ඝාතනය කල බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි යුද්ධයට මුලුමනින් සහයෝගය ලබා දුන්නේ ය. එජාපය, දෙමල ජනතාවට එරෙහි වර්ගවාදී යුද්ධය ආරම්භ කල පක්ෂය වන අතර ම 1989-90 කාල පරිච්ඡේදයේ දී දහස් ගනන් තරුන ජනයා ඝාතනය කිරීම සම්බන්ධව ද වගකීම දරයි.

කොටුව විරෝධතාවයෙන් පසු "එකමුතුවේ බලය” සංවිධානයේ සංදේශයක් ජනාධිපතිට භාර දීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට පිරිසක් පාගමනේ යෙදුනේ ය. එහි සිවිල් වැසියන්ට වෙඩි තැබීමට අන කලේ කව් ද? ජීව උන්ඩ සහිතව හමුදාව යෙදවූයේ ඇයි? ඝාතන සම්බන්ධව ස්වාධීන පරීක්ෂනයක් නැත්තේ ඇයි? ජල ප‍්‍රශ්නයට ඔබගේ ස්ථිර විසඳුම් මොනවාදැයි ප‍්‍රශ්න කර තිබුනි. මෙය තවත් ප්‍රෝඩාකාරී කි‍්‍රයාවකි. කවුරු අන දුන්නත් මෙම මර්දනයට වගකිව යුත්තේ ආන්ඩුවයි. v

වැලිවේරිය ප‍්‍රහාරය සම්බන්ධ එජාපයේ විරෝධය එල්ල වන්නේ එම විරෝධතාකරුවන් මැඞීම ගැන නොව ඒ සඳහා යොදා ගත් ක‍්‍රමෝපාය ගැනයි. තම විරෝධතාවට රැස්ව සිටි පිරිස ඇමතූ එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුනානායක එය යලිත් ප‍්‍රකාශ කලේ මෙසේ ය. "අපි යන්නේ පොලීසියේ කාර්යයන් වෙන අයට පවරා නොදෙන පාලනයක් ගේන්නයි.” යූඇන්පී නායකයන් තර්ක කරන්නේ මුලින් පොලීසිය යොදවා පිරිස් පාලනය කල නොහැකි නම් අවසාන වශයෙන් හමුදාව යොදා ගත යුතු බවයි.

පලමුවෙන් විරෝධතාකරුවන් ඇමතීමට අවස්ථාව ලබා දී තිබුනේ එසපයේ නායක සිරිතුංග ජයසූරියට හා නසසප වික‍්‍රමබාහු කරුනාරත්නට යි. එය ද අහම්බයක් නො වේ. මෙම ව්‍යාජ වම්මුන්ට පැවරී තිබුනු කාර්යය එජාපයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී වහන්තරාවක් සම්පාදනය කිරීම බැවිනි.

"අපි -දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන, මාධ්‍යවේදීන්, මහා සංඝරත්නය- ඇවිල්ලා තියෙන්නේ රාජපක්ෂ ආන්ඩුව ගෙදර යවන්න නෝටිස් එක භාර දෙන්න.”යයි ජයසූරිය කියා සිටියේ ය. එජාප නායකයන් හා එක පොදියට කුඩා වේදිකාවක සතුටින් තෙරපෙමින් ඔහු මෙසේ ගුගුලේ ය: "මේ රටේ කම්කරුවාගේ, ශිෂ්‍යයාගේ, ද්‍රවිඩ ජනතාවගේ අයිතීන් සමානව ඉෂ්ට වෙන ජනතා රජයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ගෙන ඒමට අපි ඉදිරියට යායුතු යි.”

"රාජපක්ෂ පාලනයට මෙන්ම අනාගතයේ බලයට පත්විය හැකි එජාපය වැනි ධනපති ආන්ඩුවකට” ද මහජනයාගේ ප‍්‍රශ්න විසඳීමට නොහැකියි යනුවෙන් රතු තරුව නමැති එසප පුවත්පතේ බොරුවට ලියන ජයසූරිය සමානව අයිතීන් ලබා දෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ඇති කල යුතු යයි කියමින් එජාපය සමග පෙල ගැසී සිටින්නේ එහි ආන්ඩුවක් බලයට ගෙන ඒමට ය.

ඉන් පසුව ජනයා ඇමතූ කරුනාරත්න තවත් ප‍්‍රතිගාමී කතාවක් කලේ ය. වැඩි සෙනගක් අද්දා ගැනීමට නොහැකි වීමෙන් චකිතයට පත්ව සිටි හේ මෙසේ කිවේය: "මං කියනවා රාජපක්ෂට අදට බයවෙන්න එපා. අද අපට සෙනග මදි. දවසක් එනවා තමුන්නාන්සේව බෙල්ලෙන් අල්ලලා දොට්ට දාන්න පුලුවන්, අන්න එදාට බය වෙන්න.”

කරුනාරත්න, වික‍්‍රමසිංහට මයික‍්‍රෆෝනය අල්ලා උදව් කරයි

කරුනාරත්න තම කතාවෙන් පසුව, එජාප නායක රනිල් වික‍්‍රමසිංහට මුක්කුව දුන්නේ ය. එජාපය යටතේ තරුනයන්ට මැෂිමකින් වගේ රැකියා නිෂ්පාදනය කර දෙන බවටත් ඉදිරි අයවැයෙන් පුද්ගලික අංශයට වැටුප් වැඩිවීමක් අවශ්‍ය බවටත්, වික‍්‍රමසිංහ කල බොරු දෙඩවීමට ජයවේවා, ජයවේවා කියමින් මයික‍්‍රෆෝනය අල්ලා උදව් කලේ කරුනාරත්නයි.

කෙසේ වෙතත්, යූඇන්පිය සමග තමන්ගේ සභාගය තවත් සවිමත් වීම පිලිබඳව කරුනාරත්න උද්දාමයට පත්ව සිටියේ ය. ඔහු මෙසේ සඳහන් කලේ ය: "අද වැඩකරන ජනතාව විතරක් නෙමෙයි දේශීය ධනපතියොත් ඇවිල්ලා තියෙනව මේ ආන්ඩුවට විරෝධය පෙන්නන්න.”

නසසපය හා එසපය, දක්ෂිනාංශික එජාපයට කම්කරුවන් හා දුගීන් ගැට ගැසීමේ අධම කි‍්‍රයාකලාපයට අත ගසා ඇත්තේ එලෙස ය. වැලිවේරියේ සිදු කෙරුනු ගොරතර හමුදා මෙහෙයුම පෙන්නුම් කලේ රාජපක්ෂ ආන්ඩුව තමන්ගේ කප්පාදු වැඩ පිලිවෙලට එරෙහි වන කම්කරු පන්තිය රුදුරු ලෙස මඩින බවයි. ආන්ඩුවේ මෙම ප‍්‍රහාරය තිස් අවුරුදු යුද්ධයේ ස්වභාවය පිලිබඳව ද ධනපති පාලනය පිලිබඳව ද කම්කරුවන්ගේ හා තරුනයන්ගේත් අවශේෂ පුලුල් ජන කොටස්වලත් ඇස් අරවන්නක් විය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) පෙන්වා දුන් පරිදි කම්කරු පන්තිය දුගීන් ද රැලි කරගනිමින් සමාජවාදී පිලිවෙත් කි‍්‍රයාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම එකම විසඳුම් කි‍්‍රයාමාර්ගය වේ. එය ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයක කොටසක් බවද සසප පැහැදිලි කලේ ය.

කම්කරු පන්තිය ධනපති පන්තියේ සෑම කොටසකින් ම දේශපාලනිකව ස්වාධීනව මෙම විප්ලවවාදී අරගලයේ නායකත්වය ගැනීම තීරනාත්මක බව සසප අවධාරනය කලේ ය. නසසප හා එසප ඉදිරිපත්ව සිටින්නේ එම ස්වාධීන කි‍්‍රයා කලාපය ඉටු කිරීම වලක්වා ලමින් කම්කරු පන්තිය ධනපති පන්තියට ගැට ගැසීමට ය.

නසසප හා එසප එජාපය සමග ඇති කරගෙන තිබෙන සන්ධානයේ විසකුරු අධිරාජ්‍ය ගැති ස්වභාවය මෙම ඊනියා විරෝධතාවේ දී යලිත් මතු විය.

එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මෙසේ ප‍්‍රකාශ කලේ ය: "රාජපක්ෂ ජුන්ටාවට අපි එකක් මතක් කරනවා. රාජපක්ෂගේ යාලුවෙක් වෙච්ච ලිබියාවේ ගඩාෆිට මොකද වුනේ. ඔහු දශක ගානක් රට පාලනය කලේ තුවක්කුවෙන් මැරෙන්න සිද්ධ වුනේ බෝක්කුවක් යට.”

රාජපක්ෂ ආන්ඩුවේත් ලිබියාවේ පෙර පැවති ගඩාෆි ආන්ඩුවේත් මර්දනකාරී පාලනයට මුවා වී මෙලෙස අත්තනායක ආවැඩුවේ ඇමරිකානු අධිරාජ්‍යවාදීන් ප‍්‍රමුඛව ලිබියාවට සිදු කල ආක‍්‍රමනික මැදිහත් වීමටයි.

අධිරාජ්‍යවාදීන්ගේ මෙම මූලෝපායික ප‍්‍රහාරය, ටියුනීසියාවේ ද, ඉන් පසුව ඊජිප්තුවේ ද, කම්කරු පන්තියේ විප්ලවකාරී නැගිටීම්වලට එරෙහිව සිදු කල ප‍්‍රතිගාමී ප‍්‍රතිචාරයකි. ටියුනීසියාවේ හා ඊජිප්තුවේ නැගිටීම් අරාබිකරය පුරා පැතිරේ යයි එක්සත් ජනපද අධිරාජ්‍යවාදියෝ බියව සිටියහ.

ලිබියාව පිලිබඳ අත්තනායකගේ අනතුරු ඇඟවීම වොෂින්ටනයට යවන ලද පනිවුඩයකි. රාජපක්ෂ ආන්ඩුව එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ දී පටන් චීනය සමග, ගොඩ නගන සමීප සම්බන්ධකම් පිලිබඳව ඔබාමා පාලන තන්ත‍්‍රය විරසක වී සිටින බව එජාපය දනී. ලොව දෙවන ආර්ථික බලය ලෙස නැගී ඇති චීනය තමන්ගේ මූලෝපායික තරගකරුවෙකු ලෙස නම්කර ඊට එරෙහිව යුද සූදානමක වොෂින්ටනය යෙදී සිටී. ආසියානු පැසිෆික් කලාපයේ රටවල් තමන්ගේ පසුපස ගලතා ගැනීමට ඇමරිකාව කි‍්‍රයා කරයි. රාජපක්ෂ ආන්ඩුව මේච්චල් කර ගැනීමට ඔබාමා තන්ත‍්‍රයට උවමනා ය.

එජාපයේ පනිවුඩය නම් රාජපක්ෂ තන්ත‍්‍රය වොෂින්ටනයට අවනත වීම ගැන දෙගිඩියාවක් ඇත්නම් තමන් ඊට සූදානම් බවයි. එජාපය වටා රැලිවී සිටින ධනපති පන්තියේ සැලකිය යුතු කොටසක් රාජපක්ෂ ආන්ඩුව ගැන කලකිරී සිටින්නේ තමන් ආර්ථික වසයෙන් කොන් කිරීම ගැනය. මහජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට හා ජීවන තත්වයන්ට කෙටීමට රාජපක්ෂ ආන්ඩුව ගෙන යන වැඩපිලිවෙල ගැන එජාපයට මතභේදයක් නැත.

ඉහල මධ්‍යම පන්තියේ සැලකිය යුතු කොටසක් ද රාජපක්ෂ පාලනයේ කොන් කිරීම ගැන නොසතුටින් සිටිති. මෙය ප‍්‍රදර්ශනය වූ එක් අවස්ථාවක් නම් මේ අවුරුද්ද මුල නීති ප‍්‍රජාව තුල හිටපු අගවිනිසුරු ශිරානි බන්ඩාරනායක බොරු චෝදනා මත දෝෂාභියෝගයකට ලක් කිරීමට එරෙහිව පැන නැගුනු පුලුල් විරෝධතා ව්‍යාපාරය යි.

නසසප හා එසප රාජපක්ෂ ආන්ඩුව සමග විරසක වී සිටින ධනපතියන්ගේ ද ඉහල මධ්‍යම පන්තික ස්ථරයක ද උවමනාකම් පිලිබිඹු කරමින් එජාපය සමග පෙල ගැසී අධිරාජ්‍යවාදීන් වෙතට හැරී සිටිති.

වික‍්‍රමබාහු කරුනාරත්න ද ලිබියානු ආක‍්‍රමනයේ මධ්‍යයේ දී ලක්බිම නිව්ස් පත‍්‍රයේ තීරු ලිපියක් තුල අධිරාජ්‍යවාදීන් වෙතට හැරී සිටි ලිබියානු කන්ඩායම් වලට අවි සැපයීමත් ගඩාෆිගේ වත්කම් හා ආයුධ සැපයුම් නතර කිරීමත් පිලිබඳව යෝජනා ඉදිරිපත් කලේ ය.

කරුනාරත්න ප‍්‍රකාශයට පත් කලේ ලොව පුරා ව්‍යාජ වාම පක්ෂවල අධිරාජ්‍ය ගැති පිලිවෙතයි. සාමාන්‍ය සිවිල් වැසියන් දහස් ගනනින් ඝාතනය කරමින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් හා යුරෝපා බලයන් ලිබියාව තුල පමනක් නොව දැන් සිරියාව තුලත් විපක්ෂ කන්ඩායම්වලට අවි සපයමින් සිදු කර ඇති අධිරාජ්‍යවාදී මැදිහත්වීම ඇමරිකාවේ ජාත්‍යන්තර සමාජවාදී (අයිඑස් ඕ) සංවිධානය වැනි ව්‍යාජ වාම පක්ෂ හුවා දක්වා ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමේ මානුෂවාදී මැදිහත්වීම් ලෙසයි.

නසසප හා එසප ද මේ කලාපය තුල අධිරාජ්‍යවාදීන්ගේ උපකරන ලෙස සේවය කිරීමට ඇති සූදානම එජාපය සමග පෙල ගැසී වැලිවේරියේ මුර්ග ප‍්‍රහාරය වහන්තරාවක් ලෙස යොදා ගෙන ප‍්‍රකාශයට පත් කර ඇත්තේ ය.

Share this article: