වැලිවේරිය ඝාතන යට ගැසීමට ආන්ඩුව තැත් කරයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2013 අගෝස්තු 27

තිදෙනෙක් ඝාතනය කල වැලිවේරිය හමුදා ප‍්‍රහාරයට මේ වන විට මාසයකට ආසන්න කාලයක් ගතව ඇත. පිරිසිදු ජලය සඳහා වන මහජනයාගේ ඉල්ලීමත්, හමුදාව සිදුකල ඝාතනත් යට ගැසීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව කි‍්‍රයා කරමින් සිටී. රාජපක්ෂ වැඩ කරමින් සිටින්නේ ජනතා උද්ඝෝෂනය ප‍්‍රකෝපකාරීන්ගේ වැඩක් ලෙස හංවඩු ගසා හමුදා ප‍්‍රහාරය යුක්ති සහගත කිරීමට ය. මහ ජනතාවගේ දැවෙන ප‍්‍රශ්න වලට ආන්ඩුවට ඇති එකම විසඳුම මර්දනය උග‍්‍ර කිරීමයි.

ලංකාව පුරාම මහජනතාව අතර විශාල විරුද්ධත්වයක් පැතිරී ගිය නිසා ආන්ඩුවට මෙම සිද්ධිය ගොඩින්ම ඉවත දැමිය නොහැකි විය. නමුත් රාජපක්ෂ ආන්ඩුවේ අරමුන මහජනයාට මොනවා වුනත් එය නොතකා, ෆැක්ටරි හිමියන්ගේ ලාභ සූරාකෑම සහතික කිරීමට යි.

හමුදා ප‍්‍රහාරවලින් මිය ගිය තිදෙනාගේ පවුල් වලට සහනයක් දීමට පසුගිය සතියේ දී රාජපක්ෂ කි‍්‍රයා කලේය. අඛිල දිනේශ්ගේ හා ශර්මිලා රවිෂාන් යන ශිෂ්‍යයන්ගේ දෙමව්පියන්ට වන්දි ගෙවීම පසුගිය බ‍්‍රහස්පතින්දා ජනාධිපති ලේකම් කාර්යාලයේ දීත්, නිලන්ත පුෂ්පකුමාර ගේ බිරිඳට ඊට පෙර නුවර ජනාධිපති මන්දිරයේ දීත් සිදු කරන ලදී. මේවා තමන් ඝාතනය වූවන්ගේ පවුල්වල සුභසිද්ධිය ගැන උනන්දු යයි මවා පෙන්වීමට කරන ප්‍රෝඩාවන්ය.

ඔවුන් හමුවේ දී හමුදා ප‍්‍රහාරය ආරක්ෂා කරමින් රාජපක්ෂ තව දුරටත් සඳහන් කෙරුවේ මෙම ඝාතනයන්ට හේතුව "විවිධ කන්ඩායම් විසින් කල කඩාකප්පල්කාරී කි‍්‍රයාවන්” බවය. ඉදිරියටත් මෙවැනි උද්ඝෝෂනයන් මේ ආකාරයට ම මර්දනය කිරීමට ආන්ඩුව පසුබට නොවන බව එහි ඇඟවුමයි. මෙය අවධාරනය කරන්නේ වැලිවේරිය ප‍්‍රහාරය මහජනතාව ත‍්‍රස්ත කිරීම සඳහා රාජපක්ෂ තන්ත‍්‍රය විසින් හිතාමතා සිදු කරන ලද්දක් බවට සමාජවාදී සමානතා පක්ෂය එල්ල කල චෝදනාව ය.

මහජනයා සම්බන්ධ ආන්ඩුවේ පිලිකුල් සහගතභාවය, විදේශ ඇමති ජී.එල්. පීරිස් පසුගිය දා කල ප‍්‍රකාශයෙන් මනාව පැහැදිලි වේ. පැවතීමට නියමිත පොදු රාජ්‍ය මන්ඩලයේ නායක සමුලුවට මෙය බලපාවිද යන්න ගැන ප‍්‍රශ්න කල විට, පීරිස් පැවසුවේ "මෙවන් සිද්ධීන් ඇති තරම් සුලභ” බවත් එය බල නොපාන බවත් ය. සමුලුවට සහභාගිවීමට නියමිත මොනම රාජ්‍ය නායකයකු හෝ වැලිවේරිය ඝාතන නිසා ලංකාවට නොපැමිනෙනු නැති බව ඔහු සහතිකකර කියා සිටියේ ය.

ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම සඳහා රාජපක්ෂ තන්ත‍්‍රයට බලකිරීමට බටහිර රටවල් හා එක්සත් ජාතීන් පිටුපස යාමේ ප්‍රෝඩාව ද සිදුවෙමින් පවතී. නිදහස සඳහා වේදිකාවේ නිමල්කා ප‍්‍රනාන්දු ඒපී පුවත් සේවයට සඳහන් කලේ මානව අයිතීන් සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය වන නවිනිදම් පිල්ලේට වැලිවේරියටත් යන ලෙස තමන් ඉල්ලා සිටි බවය.

අගෝස්තු 25 දින, දින හතක චාරිකාවක් සඳහා ලංකාවට පැමිනෙන පිල්ලේ, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි මිලිටරි ප‍්‍රහාරවලදී සිදු කල යුද අපරාධ සම්බන්ධ චෝදනා ගැන ආන්ඩුවේ "වගවීම” කොතරම් සාර්ථකව සිදුවේද යන්න සොයා බැලීම ය. බටහිර රටවලට හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අවශ්‍යව ඇත්තේ චීනය සමග වඩා සමීප සම්බන්ධතාවයක් වර්ධනය කරගෙන ඇති රාජපක්ෂ තන්ත‍්‍රයට පීඩනය දැමීම සඳහා යුද අපරාධ පිලිබඳ චෝදනා පාව්ච්චි කිරීම යි. එය එක්සත් ජනපදය චීනයට එරෙහිව ගෙනයන යුද සූදානමට සම්බන්ධවත් ලංකාවේ මහ ජනයාගේ සුබසාධනය සලකා බැලීමට මොනම සම්බන්ධයක් වත් නැත.

පුවත් පත් වාර්තාවලට අනුව, වැලිවේරිය ඝාතනයන් පරීක්ෂා කර බැලීම සඳහා හමුදාපති ලෙෆ්ටිනන්ට් ජෙනරල් දයා රත්නායක විසින් පත්කරන ලද කොමිසමේ වාර්තාව මේ වන විට හමුදාපතිවරයාට බාර දී ඇත. දෙමල ජාතියට එරෙහි කරනු ලැබූ යුද අපරාධ පරීක්ෂාකර බැලීම සඳහා ඇට වූ කොමිසම් මෙන්ම, මෙය ද හමුදාවේ මැර ප‍්‍රහාර හා ඝාතනයන්ට සුදු හුනු ගානු ඇත.

ජනාධිපති විසින් කැඳ වූ සාකච්ඡාවත් මෙවැනිම ප්‍රෝඩාවකි. ජල ප‍්‍රශ්නය විසඳීම ප‍්‍රමුඛ කර්තව්‍ය ලෙස සඳහන් කෙරුනත්, ආන්ඩුවේ අරමුන ඝාතනයන්හි උනුසුම යටයන තෙක් කල් ගැනීම ය. අගෝස්තු 12 දා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ප‍්‍රදේශවාසීන්, හේලීස් සමූහ ආයතනයේ බලධාරීන් හා ආන්ඩුවේ නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ ප‍්‍රකාශ කලේ අපනයන ඉලක්ක සම්පූර්න කිරීම සඳහා ෆැක්ටරිය තාවකාලිකව විවෘත කරන බවය.

වතුර දූෂනයට මෙහි දායකත්වයක් නැති බවට පරීක්ෂන මගින් එලිවූවත් මෙම ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් ෆැක්ටරිය රතුපස්වලින් ඉවත් කරන බව රාජපක්ෂ ප‍්‍රකාශ කරන ලදි. මෙය මහජනතාව ගේ සුභසාදනයට ඉහලින්, ලාභ සූරාකෑම තැබීම පෙරදැරි කරගත් ආන්ඩුවක පූච්චානම් කතාවන් ය.

රාජපක්ෂ තවදුරටත් නියෝග කලේ මින් පසු ආරම්භ කරන සියලුම කර්මාන්තශාලා නිදහස් වෙලඳ කලාපය තුල පටන් ගන්නා ලෙසය. මෙය පරිසර දූෂනයට පිලියමක් නො වේ. පසු ගිය දිනවල තවත් වාර්තාවලින් දැක්වුනේ මේ හා සමාන පරිසර දූෂන විවිධ පෙදෙස්වල සිදුවන බවයි. පරිසර වේදීන් සැක කරන ආකාරයට විෂද්‍ර‍්‍රව්‍ය භූගත ජල තටාකයට එකතුව ඇත්නම් නව කර්මාන්තශාලා වෙන තැන්වල ඇති කිරීම ඊට පිලියම නො වේ. අනෙක් අතට එය, භූමියට විෂ ද්‍රව්‍ය එක්වීම වලක්වන්නේ ද නැත.

නමුත් ජනතාවට මෙම පොරොන්දු ගැන විශ්වාසයක් නැත. එක් කාන්තාවක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට සඳහන් කලේ, "මම රජයේ සේවිකාවක්. අපි එක දිගටම ඡන්දය දුන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයටයි. මේ පැත්තේ ඔක්කොම වගේ එහෙමයි. ඒත් දැන් අපිට මොකක්ද වෙන්නේ.

"ආන්ඩුව කියනවා වතුර නල දෙනවා කියලා. එත කොට කවුද ඒවට ගෙවන්නේ. අපි දැන් වතුර ටැංකියක් හයි කර ගත්තා. ඒකට රුපියල් ලක්ෂයකට කිට්ටු වෙන්න වියදම් වුනා. ඊට පස්සෙ අපට දැන් මීටර් වලට ගෙවන්න වෙයි. ඒවට අපිට සල්ලි කෝ?”

වතුර විෂ වීම ගැන සඳහන් කරමින් ඇය පැවසූවේ, "මතක ඇති කාලෙක අපිට වතුරින් ප‍්‍රශ්න තිබුනේ නෑ. මගේ අම්මා මෙච්චර කල් හොඳට හිටියා. එයාට දැන් අසූ ගනනක්. දැන් එයාට වකුගඩු අමාරුව. මටත් දැන් වකුගඩු අමාරුව කියලා දොස්තරලා කියනවා. එක පාරටම කොහොමද මෙහෙම වෙන්නේ. අන්තිමට වුනේ තුන් දෙනෙක් මැරුම් කාපු එක විතරයි.”

මේ වන විට ප‍්‍රදේශය පුරා ප්ලාස්ටික් ටැංකි තැනින් තැන සවිකර බවුසර් මගින් ජලය බෙදා හැරේ. ඝාතනයන්ගෙන් පසුව උද්ඝෝෂනය තව දුරටත් වර්ධනය වීම වැලැක්වීම සඳහාත් ජල ප‍්‍රශ්නය විසඳීම සඳහා තමන් උනන්දු බව මවා පෙන්වීම සඳහාත් කරනු ලබන උප්පරවැට්ටියකි මෙය.

අර්බුදයේ ගිලී ඇති රාජපක්ෂ තන්ත‍්‍රයට ලක්ෂයක පමන ප‍්‍රදේශ වැසියනට නල ජලය සැපයීම සඳහා හැකියාවක් හෝ අවශ්‍යතාවයක් ද නැත.

වෙඩි තැබීම හා ඝාතනයන් මහජනතාව භීතියට පත් කිරීම සඳහා හමුදාව විසින් සිතා මතා කලාය යන්න දැන් හෙලිදරව් වෙමින් පවතී. පසුගිය බ‍්‍රහස්පතින්දා ගම්පහ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ටිකිරි ජයතිලක ඉදිරියේ සාක්කි දුන් හමුදා ප‍්‍රහාරයට ලක් වූ අයෙක් වූ නැදුන්ගමුව ඌරුවල ජූඩ් නිශාන්ත පෙරේරා, 45, ප‍්‍රකාශ කෙල්, "පාර ඉඩදෙන්න කියා බි‍්‍රගේඩියර් කිව්වා. අපි පාරෙන් යන්නම් විනාඩි දහයක් දෙන්න කියා එක්කෙනෙක් කියද්දී, දෙන්න බැහැ කියා ගහපියව් කිව්වා. ඒ සමග ම හමුදා පිරිස ගස්වලින් කඩාගෙන තිබූ පොලූවලින් පහරදුන්නා. අපි දුවද්දී වෙඩි තිබ්බා”.

වෙඩි තැබීම ජනතාව ත‍්‍රස්ත කිරීම සඳහා රාජපක්ෂ තන්ත‍්‍රය විසින් සිදුකලක් යන්න සමාජවාදී සමානතා පක්ෂයේ චෝදනාව මෙ මගින් සනාත වේ. භීතියට පත් කිරීම මගින් ආන්ඩුවේ කප්පාදු වැඩ පිලිවෙලට එරෙහිව මහජනතාව නැගී සිටීම වැලැක්වීම මෙහි අරමුනයි.

ජූඩ් පෙරේරා තව දුරටත් සාක්කි දෙමින් මෙසේ පැවසීය. "බැලුම්මහරදී උද්ඝෝෂනයට හමුදාවෙන් ගහලා කියා ආරංචිවුනා. හවස පහමාරට විතර හමුදාවේ සීයක් විතර අප හිටිය තැනටත් ආවා. බි‍්‍රගේඩියර් විස්තරයක් කිව්වා. ඒ වෙලාවෙදී හමුදා පිරිසක් මාධ්‍යවේදියෙක් ඇදගෙන ගියා. ඒ සමග ම ජනතාව කලබලවුනා. හමුදා බි‍්‍රගේඩියර්වරයා ගහපියව් කීවාට පසු අපි දිව්වා. මම හිටියේ බි‍්‍රගේඩියර් වරයා ලඟමයි හමුදාව ලයිට් වයර්වලට වෙඩි තිබ්බා. මම ඇඹරලූව පාරේ කොන්ක‍්‍රීට් ස්ලැබ් එකක හැංගිලා හිටියා. ටික වේලාවකින් ශබ්දයක් නැතිව ගියා. මම බැහැලා ගෙදර යන්න ගියා. ටික දුරක් යනකොට මගේ ඉනේ වම් පැත්තට වෙඩිල්ලක් වැදුනා. එතකොට කලුවර වැටී තිබුනා. හමුදාව වෙඩි තියන නිසා රාත‍්‍රියේ රෝහලකටත් යන්න බැරිවුනා. පහුවදා රෝහලට ගියා.”

ප‍්‍රහාරය ගැන ඇති සාක්කි මකාලීම සඳහා හමුදාව වැඩ කරන ලදි. ප‍්‍රදේශවාසියකු ලීඩර් පත‍්‍රයට පැවසුවේ, එදින "රාත‍්‍රී 12.30 ට පමන හමුදාව පාරවල් සෝදන බව මම දැක්කා. ඉන් පසුදා හිමිදිරියේම පාරවල් පුරා විසිරී පැවති මූනිස්සං කොපු ඒ ගොල්ලෝ එක්කහු කර ගෙන පල්ලියේ කොරිඩෝවේ තිබුනු ලේ පැල්ලම් ද හේදුවා.”

ප‍්‍රදේශවාසියකු ලෝසවෙඅ පැවසුවේ, අගෝස්තු 01 දා හමුදා ප‍්‍රහාර යෙන් පසුව සොකෝ (Scenes of Crime Officer) නැමැති ගම්පහ පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන කන්ඩායමයක් වැලිවේරිය පල්ලියට පැමින ඇත. එම කන්ඩායමට පල්ලියේ කොරිඩෝර් එකේ ලේ ගලා ගිය ස්ථානයක් හා ලේ පිස දැමූ කලූ ලේන්සුවක් හමු වී ඇත.

පහර දීමට ලක්වූ අයෙක් මහේස්ත‍්‍රාත් පරීක්ෂනයේ දී සඳහන් කලේ තමනට පහර දුන්නේ කලු ඇඳගත් සොල්දාදුවන් බව ය. මෙය ඔවුන් අතපසුවීමකින් දමා ගිය ලේන්සුවක් වීමට ඉඩ ඇත. එය පරීක්ෂන කන්ඩායම රැගෙන ගොස් ඇත. සොකෝ පරීක්ෂන කන්ඩායම ප‍්‍රදේශවාසීන්ට පවසා ඇත්තේ ලේන්සුව හා ලේ තිබී හමුවූ තැන මිනීමැරීමක් වැනි අපරාධයක් සිදු වී ඇති බවය.

මෙය බොහෝ දුරට පුෂ්ප කුමාරගේ මරනය පිලිබඳ අදාල දේ වියහැකිය. එදින රාතී‍්‍ර වැඩට යාම සඳහා බෝඩිමෙන් පිටවූ ඔහු හමුදා ප‍්‍රහාරයෙන් බේරීම සඳහා වැලිවේරිය පල්ලිය තුලට ගොස් ඇත. රාතී‍්‍ර 7.30ට පමන පල්ලිය තුල සිට සිය බිරිඳට දුරකථනය මගින් ඇමතූ ඔහු පවසා ඇත්තේ "තවම උද්ඝෝෂනය තියෙනවා. වෙඩි තියනවා කඳුලුගෑස් ගහනවා, අපිට යන්න විධියක් නැහැ. ගොඩක් අය මෙතන ඉන්නවා” කියාය.

මරන පරීක්ෂකවරයා සඳහන් කලේ මොට්ට වූ ආයුධයකින් පහර දීම නිසා පුෂ්පකුමාර මිය ගොස් ඇති බවය. එනම්, පල්ලිය තුලට ඇතුලු වූ සොල්දාදුවන් එල්ල කල පොලු පහරවල් ඔහුගේ මරනයට හේතුව වන්නට ඉඩ තිබේ.

Share this article: