ඇන්සල් සේවකයින් සියගනනක් සේවයෙන් නෙරපයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2013 දෙසැම්බර් 6

ඔවුන්ව දඩයම් කිරීමට ඉඩ සලසමින් නිවෙක සහ පොදුසේවක සංගමය විසින් වර්ජිත සේවකයන් හිතාමතාම හුදකලා කරනු ලැබී ය.

වැඩ වේගවත් කිරීමට සහ වෘත්තීය සමිතිය දඩයම් කිරීමට එරෙහිව මාස දෙකකට ආසන්න කාලයක් වර්ජනයේ යෙදී සිටි සේවකයන් 300 ආසන්න පිරිසක් බියගම ඇන්සල් ලංකා සමාගම විසින් පසුගිය සතියේ දොට්ට දමනු ලැබී ය. ඇන්ටන් මාකස් විසින් නායකත්වය දරන නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය (නිවෙක සහ පොසේසේ සංගමය) වර්ජකයන් හුදකලා කිරීම මගින් ඔවුන් ව රැකියාවෙන් නෙරපීම සඳහා සමාගමේ අත ශක්තිමත් කලේ ය.

ඇන්සල් ලංකා, ආරක්ෂක රෙදි සහ රබර් ග්ලවුස් ගෝලීයව නිෂ්පාදනය කරන කරන ඕස්ට්‍රේලියාවේ ඇන්සල් සමාගමේ ශාඛාවකි. දෙදහසක් පමන වන ශ්‍රම බලකායෙන් 800 ක් පමන වන නිවෙක සහ පොසේ සේ සංගමයේ සාමාජිකයෝ ඔක්තෝබර් 11 වෙනිදා වර්ජනයකට එලඹුනහ. වැඩ වේගවත් කිරීමට විරුද්ධවීම නිසා සේවයෙන් පහකළ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් 11 යලි සේවයේ පිහිටුවීම ඔවුන්ගේ එක ඉල්ලීමකි. පැකින් අංශයේ වැඩ ඉලක්කය විනාඩියකට 70 ඉහල දැමීම ඇතුලුව ඇන්සල් ලංකා සමාගම නව වැඩ ඉලක්කයන් ක්‍රියාවට දමා ඇත. එහි ප්‍රතිවිපාකයක් ලෙස සේවකයන්ගේ මාසික නිෂ්පාදන දිරි දීමනාව රුපියල් 5,000 පමන අඩුවිය.

නිවෙක සහ පොදුසේසේ සංගමය හිතාමතා ම වර්ජනය හුදකලා කලේ ය. වර්ජකයන් ආරක්ෂා කිරීම සඳහා එය කම්හලේ සෙසු සේකයන්ට හෝ නිවෙක කම්කරුවන්ට ආයාචනා නො කලේ ය. ඔහුගේ සමිතියේ සෙසු සාමාජිකයන්ටවත් මාකස් කඳවුමක් කලේ නැත.

ඒ වෙනුවට මාකස් සහ ඔහුගේ සමිතිය කලේ ඕස්ට්‍රේලියානු මව් සමාගමට සහ කොලඹ ඕස්ට්‍රේලියානු හා එක්සත් ජනපද තානාපතිවරුන්ට නිරර්ථක ආයාචනා නිකුත් කිරීම ය. උපකාර ඉල්ලමින් මාකස් ජනාධිපති මහින්ද රාජපක්ෂට, කම්කරු ඇමති ගාමිණි ලොකුගේට සහ ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂට ද ලියුවේ ය.

ආයෝජන ආකර්ෂනය කර ගැනීමේ දැඩි වුවමනාවෙන් පෙ‍ලෙන රාජපක්ෂගේ ආන්ඩුව සමාගමේ වුවමනාවන් ආරක්ෂා කර ඇත. කටුනායක නිවෙක කම්කරුවන්ගේ ප්‍රධාන වර්ජනයක් බිඳීම සදහා 2011 පොලිස් කොමාන්ඩෝ භටයන් යැවීම මගින් කාර්මික ක්‍රියාවන් මර්දනය කිරීමේ එහි අධිෂ්ඨානය 2011 දී ප්‍රදර්ශනය කලේ ය. මෙම ප්‍රහාරයෙන් එක් කම්කරුවෙකු මරනයට පත් විය.

සේවයෙන් නෙරපූ සමිති ක්‍රියාකාරීන් 11 සම්බන්ධව පරීක්ෂනයක් පැවැත්වීම සඳහා කම්කරු ඇමති, කම්කරු කොමසාරිස් සහ වෘත්තීය සමිති නියෝජිතයන් සමග ඇතිකර ගත් එකඟතාවය ඇන්සල් ලංකා සමාගම නොතකා හලේ ය. ඒ වෙනුවට, එහි කොන්දේසි වලට අනුකුලව වර්ජනය අවසන් කිරීමට ආන්ඩුව අසමත් වුනොත් වෙනත් රටකට කම්හල ගෙන යන බවට තර්ජනය කලේ ය. නිෂ්පාදනය පවත්වාගෙන යාම සඳහා පාලකයෝ කොන්ත්‍රාත් කම්කරුවන් යොදා ගත්හ. කම්හල් පරිශ්‍රයෙන් වර්ජකයන් ඉවත් කිරීම සඳහා උසාවි නියෝගයක් ලබා ගත් පාලකයෝ කොන්ත්‍රාත් කම්කරුවන්ට අඩංතේට්ටං කල බවට බොරු චෝදනා කරමින් වර්ජකයන්ට එරෙහිව පොලිසිය උසිගැන්වීමට උත්සාහ කලහ.

නොවැම්බර් 26 වෙනිදා පෙරවරු 6 ට සේවයට වාර්තා නොකලොත් සේවය අහිමි කරන බව දන්වමින් පාලානධිකාරය 22 වෙනි දා වර්ජකයන්ට ලිපියක් යැවී ය. හුදකලාවීම සහ රැකියාව අහිමිවීමේ අවදානම යටතේ වර්ජකයන්ගෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් සේවයට වාර්තා කලේ ය. ඔවුන්ව ආරක්ෂා කිරීමට කිසිවක් ම නොකල වෘත්තීය සමිතිය ඉතිරි 294 ට නොවැම්බර් 30 සේවයට වාර්තා කරන ලෙස උපදෙස් දුන්නේ ය. යලි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලමින් විධිමත් අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස පාලනාධිකාරය ඔවුන්ට දැනුම් දුන්නේ ය.

මාකස් ගේ උපදෙස් මත දඩයමට ලක් වූ සේවකයන් කම්කරු උසාවියේ නඩුවක් පවරා ඇත. සේවයෙන් නෙරපූ සමිති ක්‍රියාකාරීන් 11 ප්‍රශ්නය කම්කරු ඇමති විසින් අනිවාර්ය බේරුම් කරුවෙකු වෙත යොමුකර තිබේ. අනිවාර්ය බේරුම්කරනයක් වසර ගනාවක් ඇදී යන අතර බොහෝවිට ලැබෙන්නේ සමාගමට වාසිදායක .තීන්දුවකි. සේවයෙන් නෙරපූ ක්‍රියාකාරීන් 11 යලි සේවයේ පිහිටුවීමට සුදානම් නැති බවට ඉඟි කරමින් පාරිතෝෂිකය (ග්‍රැටිවිටි ) සමාගම විසින් ඔවුන්ගේ ගිනුම්වලට බැර කර තිබේ.

වෘත්තීය සමිතියෙන් බිඳී තමන්ගේ අතට අරගලය නො ගත්තොත් නිවෙක හා පොසේසේ සංගමය විසින් ඔවුන්ව පාවා දෙනු ලබන බවට ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කලින් පලකල ලිපි දෙකක දී සමාජවාදී සමානතා (සසප) පක්ෂය ඇන්සල් ලංකා කම්කරුවන්ට අනතුරු ඇඟ වී ය. සාමාජිකයන්ගේ ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගනිමින් සමාජවාදී පිලිවෙත් මත පදනම් ව කම්කරු පන්තියේ සෙසු කොටස් සිය අරගලය වටා බලමුලු ගන්වා ගැනීමට පියවර ගන්නා ලෙස සසප ඇන්සල් ලංකා කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ ය. සසප අනතුරු ඇඟවීම මුලුමනින් ම සනාත වී තිබේ.

කම්කරුවන්ගේ අරගල කඩාකප්පල් කිරීමේ හා සමාගම්වල වුවමනාවන් රැකීම සම්බන්ධයෙන් මාකස්ට සහ නිවෙක හා පොසේසේ සංගමයට දිගුකාලීන හා කුප්‍රකට වාර්තාවක් ඇත.

කටුනායක නිවෙක බ්‍රාටෙක්ස් ඇඟලුම් කම්කරුවන්ගේ 2011 වර්ජනය සිත් කා වදින උදාහරනයකි. වැටුප් ඉල්ලීම් හා සංවිධානය වීමේ අයිතිය ඉල්ලමින් 1,700 පමන කම්කරුවෝ එහිදී වර්ජනය කලහ. සමාගම වර්ජනයට ප්‍රතිචාර දැක්වුයේ සේවකයන් 38 ක් සේවයෙන් පහ කරමිනි. ආන්ඩුවේ, හාම්පුතුන්ගේ හා වෘත්තීය සමිති නියෝජිතයන්ගේ කෝපරෙට්වාදී උපකරනයක් වන ජාතික කම්කරු උපදේශක සභාවට (ජාකඋස) ආරවුල යොමු කරන බව ප්‍රකාස කල මාකස් පසුව ඔවුන් අතහැර දැමුවේ ය.

ගෝලීය මුල්‍ය අර්බුදය පුපුරා යාමෙන් ඉක්බිතිව ඉන් බරපතල අර්බුදයකට මුහුන දුන් කර්මාන්තකරුවන් කම්හල් වැසීමේදී, සේවකයන් දොට්ට දැමීමේ දී හා වැටුප් සහ සේවක ප්‍රතිලාභ කප්පාදු කිරීමේ දී ජාකඋස සමග එකට වැඩකරමින් මාකස් ඊට අනුබල දුන්නේ ය.

යුරෝපීය සංගමය සමග සමීපව වැඩකරන ජිනීවා හි කාර්මික සම්මේලනයට නිවෙක හා පොසේසේ සංගමය අනුබද්ධිත ය. ලෝකයේ ප්‍රධාන කාර්මික රටවල් නියෝජනය කරන ආර්ථික සහයෝගිතාවය සහ සංවර්ධනය පිලිබඳ සංවිධානය (ඕඊසීඩී)ට නිවෙක හා පොසෙස් සංගමය නිරර්ථක පැමිනිල්ලක් කර ඇත.

යලි සේවයට වාර්තා කල ඇන්සල් ලංකා සේවකයන් විධාකාර දඬුවම් වලට යත් කර ඇති බව ඔව්හු කීහ. සමහරු වෙනත් අංශ වලට මාරු කර තිබේ. සෙසු අයගේ වැඩ ඉල්ලකයන් ඉහල දමා ඇත. රෝගවලින් පෙලෙන අයගේ රෝගී තත්වය නො සලකා ඔවුන්ට බර වැඩ පවරා තිබේ.

ඇන්සල් ලංකා සමාගමේ නව පිලිවෙත් නිෂ්පාදන වියදම කැපීම සඳහා එහි මව් සමාගම ගෙන ඇති තීන්දුවක කොටසකි. සේවකයන්ගේ වාර්ෂික වෛද්‍ය පරීක්ෂන අත්හිටුවා ඇති සමාගම සහන මිලට දෙන උදේ ආහාරයේ මිල රුපියල් 5 සිට 10 දක්වා වැඩි කර තිබේ. ඊනියා ස්වේච්චාවෙන් විශ්‍රාම ගැන්වීම යටතේ ස්ථීර ශ්‍රම බලකාය පසුගිය වසර කිහිපය තුල ක්‍රමානුකුලව අඩුකර ඇත. ඒ වෙනුවට අඩු වැටුපට කොන්ත්‍රාත් කම්කරුවන් යොදා තිබේ.

නිවෙක සෙසු කම්හල් මෙන් ම ඇන්සල් ලංකා ද තමන්ගේ ලාබ උවමනාවන් රැක ගැනීම සඳහා කම්කරුවන්ට සංවිධානය වීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දිගට ම මර්දනය කලේ ය.තම වෘත්තීය සමිති අයිතිය මර්දනය කිරීමට එරෙහිව 1994 අන්සල් ලංකා කම්කරුවන් දහස් ගනනකගේ පෙලපාලියකට පොලීසිය වෙඩි තැබීමෙන් එක කම්කරුවෙකු මරනයට පත් විය.

නිවෙක හා පොසේසේ සංගමය විසින් ඇන්සල් ලංකා වර්ජනය පාවාදීම හුදකලා සිද්ධියක් නො වේ. එය ජාත්‍යන්තර ප්‍රපංචයකි: එනම් වෘත්තීය සමිතිවල කුජීත බංකොලොත්කම හා ධනපති සංගතයන්ගේ වුවමනාවන් ආරක්ෂා කරන විවෘත ආරක්ෂකයන් බවට ඒවායේ පරිවර්තනය.

Share this article: