නාසි ජර්මනියේ ක්‍රිස්ටල්නාක්ට් සංහාරයේ සිට 75ස් වසරක්

75 years since the Kristallnacht pogrom in Nazi Germany

පීටර් ස්වාෂ් විසිනි, 2013 නොවැම්බර් 13

(ක්‍රිස්ටල්නාක්ට් යනු 1938 නොවැම්බර් 9වැනිදා රාත්‍රියේ යුදෙව්වන්ට එරෙහිව මුදාහල නාසි භීෂනයේ දී වීදුරු දොර ජනෙල් කුඩුපට්ටම් කිරීම සංකේතවත් කරන යෙදුමකි)

1938 නොවැම්බර් 9දා රාත්‍රියේ මුලපුරමින් ජර්මනිය පුරා යුදෙව් ධර්මාශ්‍රාම 1400 ක් ගිනිබත් කරන ලදී. යුදෙව් ව්‍යාපාර දහස් ගනනකට ද ගිනි තැබූනි. නිවාස කොල්ල කමින් පුද්ගලයන්ට පහර දුන් අතර සොහොන්බිම් කෙලසූහ. හරියට ම යුදෙව්වන් 30,000ක් සරනාගත කඳවුරුවල හිර කරන ලද අතර 1,500ක් දෙනා ඝාතනය කරන ලදී.

නොවැම්බර් භීෂනය ජර්මනියේ යුදෙව් ජනයාට වධ දීමේ ආරම්භය සලකුනු කලේ නැත. එය ඇරඹුනේ 1933 ජනවාරියේ දී ඇඩොල්ෆ් හිට්ලර් චාන්ස්ලර් ලෙස පත් කිරීමෙන් ක්ෂනික ඉක්බිත්තේ දී ය. එය සලකුනු කලේ යුදෙව් පුරවැසියන්ට එරෙහිව වෙනස්කම් කිරීමේ සිට ක්‍රමානුකූල වධබන්ධනය දක්වා පරිවර්තනය කිරීමකි. අවුරුදු තුනකට පසු සංවිධානගතව ඔවුන් මුලිනුපුටා දැමීම තුල එය කූඨප්‍රාප්ත විය.

17හැවිරිදි හර්ෂෙල් ග්‍රීන්ස්පන් විසින් නොවැම්බර් 7වැනිදා පැරීසියේ දී ජර්මානු තානාපති අර්නස්ට් වොම් රාත් ඝාතනය කිරීමට ප්‍රතිචාර වශයෙන් පැන නැගි මහජන කෝපයේ ස්වයංසිද්ධ පිපිරීමක් ලෙස නොවැම්බර් සංහාරය පෙන්වීමට නාසීහු මහත් වෙහෙසක් දැරූහ. ඇත්ත වශයෙන් ම ජනවධය සැලැසුම් කර සංවිධානය කරන ලද්දේ පක්ෂයේ හා ආන්ඩුවේ ඉහල ම මට්ටම්වල දී ය.

ඔහුට පහර දී දින දෙකකට පසු රාත් මියගිය අවස්ථාවේ හිට්ලර් හා මුළු පක්ෂය ම 1923 නොවැම්බර් 23 හිට්ලර් -ලුඩෙන්ඩ්‍රෝෆ් නැගිටීම සැමරීමට මියනික් හි දී රැස්වුනේ ය. එහි දී ප්‍රචාරක ඇමති ජෝසප් ගොබෙල්ස් ගුවන් විදුලි කතාවකින් පුද්ගලිකවම යුදෙව් විරෝධී හැඟීම් ඇවිස්සුවේ ය.

පෙර දිනය තුල ඒ වන විටත්, වොල්කිෂ් බඕබක්ටර් පත්‍රය මඟපෙන්වීම ලබා දී තිබුනි. "අපගේ දේශසීමා තුල සියදහස් ගනනක් යුදෙව්වෝ සම්පූර්න සාප්පු සංකීර්නවල, විනෝදස්ථානවල තවමත් ආධිපත්‍යය දරති, "විදේශ” නිවාස හිමියන් ලෙස ජර්මානු කුලී නිවැසියන් ගේ මුදල් සාක්කුවේ දා ගන්නා අතර විදේශවල සිය යුදෙව් සහචරයෝ ජර්මනිය සමග යුද්ධයකට උද්ඝෝෂනය කරන අතර ජර්මන් නිලධාරීන්ට වෙඩි තබති” යි එකී නාසි පත්‍රය සඳහන් කලේ ය.

ගොබෙල්ස්ගේ කතාවෙන් පසු නාසි නිලධාරීහු හා ප්‍රහාරක ඇනි (එස්ඒ- දූඹුරුකබා බලකාය) නායකයෝ මියුනිච්වල දී රැස්වී ප්‍රාදේශීය පක්ෂ සංවිධානවලට උපදෙස් දුන්හ. ගොබෙල්ස්ගේ ප්‍රචාරක අමාත්‍යංශය දිස්ත්‍රික් බලමන්ඩලවලට හා ගෙස්ටාපෝවට විදුලිපුවත් යැවූ අතර ඔවුහු පෙරලා තමන් යටතේ සිටියවුන්ට උපදෙස් දුන්හ.

"උතුරු මුහුදේ” එස්ඒ කාර්යාලයට යැවූ නියෝගයෙන් කියැවුනේ මෙය යි: "එස්ඒ නිල භටයන් විසින් සියළු යුදෙව් වෙලඳසැල් වහා ම විනාස කල යුතු ය, ... යුදෙව් ධර්මශාලා වහාම ගිනි තැබිය යුතු ය, යුදෙව් සංකේත අහිමි කල යුතු ය. ගිනිනිවන දෙපාර්තමේන්තුව මැදිහත් නොවනු ඇත...නායකයා (ෆියුරේ-හිට්ලර්) අපේක්ෂා කරන්නේ පොලීසිය මැදිහත් නොවිය යුතු යි කියලා. සියළු ම යුදෙව්වන් නිරායුධ කල යුතු යි. විරෝධතාවේ සංඥාවක් දුටු තැන වෙඩි තියනු. විනාස කල යුදෙව් සාප්පු, ධර්මශාලා ආදියෙහි පහත සඳහන් පාඨය සහිත සංඥා එල්ලිය යුතු ය: වොන් රාත් ඝාතනය වෙනුවෙන් පලිගනු. ජාත්‍යන්තර යුදෙව් වර්ගයාට මරනය. යුදෙව්වන් වන පුද්ගලයන් සමග සම්මුතියක් නැත.”

එම රාත්‍රියේ ඇරඹුනේ යුදෙව් ජනතාවට එරෙහිව පෙර නො වූ විරූ ප්‍රචන්ඩකම් රැල්ලකි. ඉතිහාසඥ ජෝග් වොලෙන්බර්ග් විසින් ඔහුගේ "නීමන්ඩ් වාර් ඩාබයි උන්ඩ් කයිනර් හාට්ස් ගෙවුස්ට්” (“එහි කිසිවෙක් නො වීය, කිසිවෙකු ඒ ගැන දැන සිටියේ නැත”) යන පොතේ උපුටා දක්වන ලද නියුරෙම්බර්ග් වල ඇසින් දුටු සාක්ෂිකරුවෙකුගේ වාර්තාව බොහෝ නගරවල සිදුවූයේ කුමක් දැ යි විස්තර කර යි:

"පලමුව, විශාල කඩසාප්පුවලට පහර දුන්හ; පොලුවලින් ජනේල කුඩු කෙරින, එස්ඒ නායකත්වය යටතේ කඩසාප්පු කොල්ලකෑමට පෙර සවස කල්ලියක් දැනුවත් කර තිබුනි. ලැයිස්තුවේ ඊලඟට වූයේ යුදෙව්වන් විසූ නිවාස ය [...]

" ‘ස්වයංසිද්ධ’ පලිගන්නන් බොහෝ දෙනා රිවෝල්වර හා කිනිසිවලින් සන්නද්ධ වුනි. සෑම කන්ඩායමකට ම පොරෝ, කුළු ගෙඩි හා යකඩ ඉනි වැනි ගෙවල් බිඳීම සඳහා අවශ්‍ය මෙවලම් තිබුනි. [...]

"වීදුරු දොරවල්, කන්නාඩි හා චිත්‍ර ඩැහැ ගැනුනි. තෙල් සායම් සිතුවම් කිනිසිවලින් ඉරා දැමුනි. ඇඳඇතිරිලි, සපත්තු, ඇඳුම් කපා දැමුනි. සෑම දෙයක් ම කුඩා කෑලිවලට කුඩාකර දමන ලදී. නොවැම්බර් 10වැනිදා උදෑසන කම්පාවට පත්ව සිටි පවුල් වලට දැකගත හැකි වූයේ, ජෝගුවක්, හැන්ඳක් හෝ පිහියක් පමනක් නොව කිසිම දෙයක් තමන්ට නැති බව යි. මොන යම් මුදලක් වී නම් ඒවා පැහැර ගැනුනි. සුරැකුම්පත් හා ඉතිරිකිරීමේ බැංකු පොත් පැහැර ගැනුනි. සියල්ලෙන් නරක ම දෙය වූයේ ගෙහිමියන්ට පහර දීම යි. මෙහි දී පිරිමින් මෙන් ම ගැහුනුන් ද නින්දාවට ලක් කෙරුනි.”

නරඹන්නන් වදබන්ධන දර්ශන පථයට රොක් වූයේ අපරාධකරුවන්ට ඔල්වරසන් නගමිනි, නැතහොත් ඔවුන් ද කොල්ලකෑමට සහභාගි වෙමිනි. පිටිසර බද ප්‍රදේශවල අපචාරයන්ට හවුල් වූවෝ හිට්ලර්ගේ තරුන සාමාජිකයෝ ය. කෙසේ නමුත්, සමස්තයක් වශයෙන් සාමාන්‍ය මහජනතාවගේ ප්‍රතිචාරය ප්‍රධාන වශයන් ම නිරූපනය කෙරුනේ භීතිය හා හෙලාදැකීම සමග මිශ්‍ර නිෂ්ක්‍රීය භාවය මගින් ය.

ජනවධයේ 75වැනි සංවත්සරය සැමරීමට ජර්මන් විදේශ අමාත්‍යංශය එකතු කර ඇති, එවකට ජර්මනියේ ස්ථානගත ව සිටි තානාපතීන්ගේ ප්‍රසිද්ධ නො කල අනෙකුත් මූලාශ්‍රයන් අතර මෙහි වාර්තා ඇත. ඒවා දැනට බර්ලිනයේ ඔරේනියන්බර්ගර් වීදියේ නව ධර්මාශ්‍රය තුල ප්‍රදර්ශනයේ තබා ඇත.

භීෂනයේ පරිමාව හා ම්ලේච්ඡත්වය පිලිබඳව තානාපතීන් හොඳින් දැනුවත් ව සිටි අතර ඔවුහු මහජනයාගේ ප්‍රතිචාර විස්තර කලහ. ඩර් ස්පීගල් පත්‍රයට අනුව පින්ලන්ත තානාපති ආර්නී වූරිමා මෙසේ වාර්තා කලේ ය: "යමෙකුට ඇහෙන බොහෝ සාමාන්‍ය ප්‍රකාශය වන්නේ ජර්මානුවෙකු වීම ගැන මට ලජ්ජයි” යන්න ය.

පිටුවහලේ සිටි බහුශ්‍රත එස්පීඩී විධායකයෙකු ද "ම්ලේච්ඡත්වය පිලිබඳ කෝපය” හා රටේ ස්ථාන කීපයක මහජන විරෝධතා වාර්තා කලේ ය.

මෙම අවස්ථාව වන විට, අවුරුදු පහමාරක් තිස්සේ ජර්මානු ජනතාව ක්‍රමානුකූල යුදෙව් විරෝධී ප්‍රචාරයන්ට හසුකර තිබුනි. 1933 අප්‍රේල් මාසයේ දී නාසීන් පලමු ජාතික පරිමාන යුදෙව් ව්‍යාපාර වර්ජනය සංවිධානය කර තිබුනි. එම මාසයේ දී ම, සිවිල් සේවා හා නීතිඥ වෘත්තියට ඇතුල්වීම පාලනය කෙරෙන නව නීති සම්මත කරන ලදී. යුදෙව්වන් 30,000ක් ඔවුන්ගේ වෘත්තීය පැවත්මෙන් වියෝ කරන ලදහ. වසර දෙකකට පසු න්‍යුරෙම්බර්ග් වාර්ගික නීති යුදෙව්වන් දෙවන පෙල පුරවැසියන්ගේ තත්වයට පහත හෙලී ය. යුදෙව්වන් හා යුදෙව්වන් නොවන අය අතර විවාහ හා ලිංගික සබඳතා තහනම් කල නීති යුදෙව්වන් ඔවුන්ගේ සිවිල් අයිතීන්ගෙන් පහත හෙලූ අතර බොහෝ වෘත්තීන්ගෙන් ඔවුන් බැහර කලේ ය.

විරෝධය දක්වන ඕනෑම අයෙකු දෝෂාරෝපනයට හා වදබන්ධනයට ලක්වීමට ඉඩ තිබුනි. විරෝධතා සංවිධානය කල හැකි ව තිබූ සංවිධාන තවදුරටත් පැවතුනේ නැත. ප්‍රොතෙස්තන්ත හා කතෝලික පල්ලි දෙක පමනක් සම්පූර්නයෙන් ම රෙජිමේන්තු ගත නොකෙරුනි. ඉන් කොයික නමුත් කිසිවක් කීවේ නැත. නැත්නම් භීෂනයට සහාය දුන්නේ ය.

තුරින්ජියා හි ප්‍රොතෙස්තන්ත බිෂොප් වරයා වූ මාර්ටින් සසේ ධර්මාශ්‍රම ගිනි තැබීම සාදරයෙන් පිලිගත්තේ නොවැම්බර් 10වැනිදාට උපන් දිනය යෙදුන මාටින් ලූතර් ගැන සඳහන් කරමිනි. ඔහු ලූතර් විස්තර කලේ "සිය ජනතාවට යුදෙව්වන් ගැන අනතුරු ඇඟ වූ” අයෙකු ලෙස ය.

මෙක්ලෙන්බර්ග් හි ඉවැංජලික ලූතර්වාදී පල්ලියේ ජ්‍යේෂ්ඨ දේවස්ථාන සභාව මෙසේ ප්‍රකාශ කලේ ය: "යුදෙව්, නිර්-ක්‍රිස්තියානී ලෝක බොල්ෂෙවික්වාදයට එරෙහිව ජර්මන් ජාතියේ නිදහස් අරගලයේ යහපත් හා පවිත්‍ර චේතනාවට වංක වීමක් නොමැති ව, කිසි ම අවංක ක්‍රිස්තියානි ජර්මානුවෙකුට රට පුරා යුදෙව්වන්ට එරෙහිව ආන්ඩුවේ පියවරවලට, විශේෂයෙන් ම යුදෙව් වත්කම් රාජසන්තක කිරීම සම්බන්ධයෙන් විලාප දිය නොහැක.”

යුදෙව්වන්ට එල්ල කල ප්‍රහාර සමගින් නාසීහු, ඉලක්ක කීපයක් හඹා ගියහ.

පලමුව, යුදෙව් විරෝධය - මේ දක්වා වූ ඕනෑම ආකාරයක වර්ග වාදයක් මෙන්- ඉලක්ක කලේ කම්කරු පන්තිය හා මධ්‍යම පන්තියේ දේශපාලනිකව පසුගාමී තට්ටු අතර කුඤ්ඤයක් බැස්සීමට ය. මෙම තාක්ෂනයේ ගුරා වූයේ, හිට්ලර්ගේ ඉතාමත් වැදගත් දේශපාලනික පරමාදර්ශකයින්ගෙන් එකෙකු වූ වියනාවේ නගරාධිපති කාල් ලූගර් ය. සුළු ධනේශ්වරය තුල විශාල අනුගාමිකයින් සංඛ්‍යාවක් දිනා ගැනීමට කූගර් යුදෙව් -විරෝධී හා ධනේශ්වර විරෝධී කයිවාරුවල එකතුවක් යොදා ගත් අතර, 1897 සිට 1910 දක්වා ඕස්ට්‍රියානු අගනගරය පාලනය කලේ ය.

හිට්ලර්ගේ යුදෙව් විරෝධය ම වාත්තු කෙරුනේ සමාජවාදී කම්කරු ව්‍යාපාරය පිලිබඳ ඔහුට පැවති වෛරයෙනි. ඉතිහාසඥ කොන්රාඩ් හේඩන් පෙන්වා දුන්නේ හිට්ලර්ගේ යුදෙව් විරෝධය පෙලඹවූයේ "ධනේශ්වර රොත්ෂීල්ඩ් නො ව සමාජවාදී කාල් මාක්ස් ය.” යුදෙව්වන් විසින් මෙහෙය වන ලද නිසා හිට්ලර් කම්කරු ව්‍යාපාරයට ගැරහුවේ නැත, ඊට වෙනස් ව ඔහු යුදෙව්වන්ට ගැරහුවේ ඔවුන් කම්කරු ව්‍යාපාරය මෙහෙය වූ නිසා ය යි හේඩන් සඳහන් කලේ ය.

සංවිධානගත කම්කරු ව්‍යාපාරය විනාස කිරීම අනෙක් අතට දැඩි යුදෙව් විරෝධය මුදාහැරීම සඳහා පූර්ව අවශ්‍යතාවක් විය. ධනේශ්වර පක්ෂවලට වෙනස් ව මාක්ස්වාදී ව්‍යාපාරය හැමවිට ම නිර්දය ලෙස යුදෙව් විරෝධයට එරෙහි වී තිබුනි.

දෙවනුව, යුදෙව්වන්ගේ බුක්තිය පැහර ගැනීම නාසි ප්‍රභූව පොහොසත් කිරීමේ හා නව ලෝක යුද්ධයක් සඳහා සූදානම් වීමේ දී යලි සන්නද්ධ කිරීමට මුදල් යෙදීමේ උපක්‍රමය විය. තරමක පිරිසක් භීෂනනයට සහයෝගය දැක්වූයේ යුදෙව් දේපල "ආර්යකරනයෙන්” ඔවුන් පුද්ගලිකව වාසි ලැබූ නිසා ය.

භීෂනයෙන් ක්ෂනික ඉක්බිත්තේ නාසි තන්ත්‍රය යුදෙව්වන් ජර්මානු ආර්ථිකයෙන් මුළුමනින් ම බැහර කිරීමට පියවර ගත්තේය. "ජර්මන් ජනතාව වෙතට වූ යුදෙව්වාදයේ පසමිතුරු ආකල්පය” වෙනුවෙන් "වන්දි ගෙවීමක්” ලෙස නාසීහු රීච්මාක්ස් බිලියන එකක වත්කම් බද්දක් පැනවූහ. රීච්මාක්ස් 5,000ට වඩා හිමි යුදෙව් පුරවැසියන් ඔවුන්ගේ වත්කම්වලින් සියයට 20ක් රජයට දිය යුතු විය.

බිඳවැටීමට මුහුන දුන් ආන්ඩුවේ අයවැයට මෙය සැලකියයුතු මුදලක් විය. මෙම පියවර යෝජනා කර තිබූ හර්මන් ගෝරිං එකල මෙසේ සඳහන් කලේ ය: "ජාතික මුදල් තත්වය සඳහා ඉතාමත් තීරනාත්මක අවස්ථාවකි. පිලියම (තිබුනේ) පලමුව යුදෙව්වන් විසින් තැන්පත් කරන ලද බිලියන ගනන් හා යුදෙව් ව්‍යාපාර ආර්යකරනය මගින් එකතුවුන ලාභ තුලින්ය.”

නාසීන් බලය ගත්තාට පසු යුදෙව්වන්ට හිරිහැර කර හා නීතිමය වශයෙන් වෙනස්කම් කර තිබුනි. නොවැම්බර් භීෂනය සමග ඔවහු නීතියෙන් පිටමං කෙරුනි. යුදෙව් දේපල හා ජීවිත විනාස කිරීම නොදුටුවාක් සේ සිටීමට හා අපරාධකරුවන්ට නඩු නොපවරන ලෙසට ඉහල ම බාලාධිකාරය මගින් ආරක්ෂක හමුදා හා අධිකරන සංස්ථාපිතයන්ට අනදෙන ලද්දේ ය. යුදෙව්වන් 30,000ක් දෙනා බුෂෙන්වොල්ඩ්, ඩාචාව හා සස්ෂෙන්හවුසෙන් වද කඳුවුරවලට පිටමං කරන ලදී. මේවාහි දී ඔවුන්ට අමානුෂික කොන්දේසි යටතේ වැඩ කිරීමට සිදු වූ අතර බොහෝ දෙනා ඝාතනය කෙරුනි.

නොවැම්බර් භීෂනය හොලෝකෝස්ටයට ඍජුවම පූර්වගාමී විය. යුද්ධයේ පිපිරීම අවසානයේ දී මහා යුදෙව් සංහාරයට පැවති මොනයම් හෝ බාධවක් වී නම් එය ඉවත් කර තිබුනි.

හොලෝකෝස්ටය බද්ධ වූයේ නැගෙනහිර දී නාසීන් විසින් ගෙන යන ලද සමූලඝාතනයේ යුද්ධය සමගිනි. ආරම්භයේ සිට ම එය එල්ල වූයේ සෝවියට් සංගමයේ සමස්ත දේශපාලන නායකත්වය ද බුද්ධිමතුන් ද තුරන් කර දැමීමට යි. යුදෙව්වන් මිලියන 6ක් කුරිරු ලෙස ඝාතනය කිරීම පෝලන්තයේ, නැගෙනහිර යුරෝපයේ හා සෝවියට් සංගමයේ කොමියුනිස්ට්වාදීන්, පාක්ෂිකයන්, බුද්ධිමතුන් හා සිවිල් වැසියන් මූලෝත්පාඨනය කිරීමේ ව්‍යාපාරයක කූඨප්‍රාප්තිය විය.

ඓතිහාසික ව පෙර නො වූ විරූ මෙම අපරාධ සඳහා වගකීම හිට්ලර් හා ඔහුගේ කිට්ටු හෙන්චයියන් මත පමනක් නො ව, ජර්මනියේ සමස්ත පාලක ප්‍රභූව මත ද රැඳෙ යි. පාලක ප්‍රභූව හිට්ලර්ට බලය පංගාර්තු කර තිබුනේ ධනවාදයේ ගැඹුරුත ම අර්බුදය මධ්‍යයේ කම්කරු පන්තිය මර්දනය කිරීමට හා එහි ව්‍යාප්තවාදී ඉලක්කයන් ජයගැනීමට වූ අනෙක් සියළු යාන්ත්‍රනයන් අසාර්ථක වූ විට දී ය.

තයිසෙන්, කෘප්, ෆ්ලික් හා අනෙකුත් කර්මාන්තකරුවන් මිලියන ගනන් ජාතික සමාජවාදී පක්ෂයට (එන්එස්ඩීඒපී) පුද කර තිබුනි. ජර්මානු හමුදාවේ නාමික ප්‍රධානියා වූ හින්ඩෙන්බර්ග් (ජනාධිපති) විසින් හිට්ලර් චාන්ස්ලර් හැටියට පත් කර තිබුන අතර සියළු ම ධනේශ්වර පක්ෂ හිට්ලර්ගේ ඒකාධිපතිත්වයට මුද්‍රාව තැබූ බලදායි පනතට එකඟ වූහ.

එබැවින් නොවැම්බර් භීෂනයේ 75වැනි සංවත්සරය, සිහිපත්කිරීම සඳහා අවස්ථාවක් පමනක් නො ව, අනාගතය සඳහා අනතුරු ඇඟවීමක් ද වේ. ධනවාදයේ ගැඹුරු ගෝලීය අර්බුදයට හා වැඩෙන පන්ති සතුරුකමට පාලක පන්තිය ප්‍රතිචාර දක්වන්නේ අධිකාරවාදී පාලන රූපාකාරයන්ට, වර්ගවාදය හා යුද්ධය දෙසට වඩ වඩාත් හැරී ගැනෙමිනි.

යුදෙව්වන් මිලියන ගනනාවක් ඝාතනය කිරීම හා නැගෙනහිර මූලෝත්පාඨනය කිරීමේ යුද්ධය තුල කූඨප්‍රාප්ත වූ නාසීන්ගේ වනචාරිත්වය, ධනවාදයේ ම්ලේච්ඡ ස්වභාවයේ තියුනු ම ප්‍රකාශනය යි. එවැනි විනාසයක් යලි පැමිනීම වැලක්විය හැක්කේ ධනවාදය පෙරලා දැමීමෙන් හා සමාජවාදී සමාජයක් ස්ථාපනය කිරීමෙන් පමනි.

Share this article: