යුක්රේනය සඳහා සටන

The struggle for Ukraine

2013 දෙසැම්බර් 06

යුක්රේනයේ වර්තමාන විරෝධතා රැල්ල, "ජර්මනියේ නිෂ්පාදිත”, "යුරෝපා සංගමයේ නිෂ්පාදිත” හා ”ඇමරිකාවේ නිෂ්පාදිත” යන වෙලඳ සලකුනු දරා සිටියි. කීයෙව් හි පෙලපාලි ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහ පාලනයක් සඳහා වන අරගලයක් ලෙස පින්තාරු කිරීමේ දී බටහිර මාධ්‍ය බොහෝ දුර ගොස් ඇත්තේ ය. සත්‍ය වශයෙන් ම ඒවා භූ-මූලෝපායික කාරනා පිලිබඳ ගැටුමක කොටසකි. එහි ඉලක්කය, රුසියානු බලපෑම වැලක්වීම හා යුක්රේනය ජර්මනියේ, යුරෝපා සංගමයේ හා නේටෝවේ ආධිපත්‍යයට යටත් කිරීම යි.

අවුරුදු නවයකට පෙර තැඹිලි පාට විප්ලවය සංවිධානය කෙරුනේ එක්සත් ජනපද ආන්ඩුවේ හා ප‍්‍රකෝටිපති ජෝජ් සොරොස් ගේ ඕපන් සොසයිටි ඉන්ස්ටිටියුට් වැනි ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධානවල දැවන්ත දේශපාලන හා මූල්‍ය සහයෝගය සහිතව ය. ජනාධිපතිවරනය නිෂ්ප‍්‍රභ කිරීමට හා රුසියාවේ සාක්කුවේ සිටින්නේ යයි සලකන ලද වික්ටර් යනුකොවිච් වෙනුවට යුරෝපා සංගමයට හා එක්සත් ජනපදයට ගැති වික්ටර් යුෂෙන්කෝ හා ජූලියා ටිමොෂෙන්කෝ යන දෙදෙන රාජ්‍ය නායකයා හා ආන්ඩුවේ ප‍්‍රධානියා ලෙස තහවුරු කිරීමට මෙම පිරිසට හැකිවිය. කෙසේ වුව ද මෙම දෙදෙනා ක්ෂනිකව බලයෙන් ඇද වැටුන අතර 2010දී යනුකොවිච්ට ජනාධිපති තනතුර අල්ලා ගැනීමට හැකිවි ය.

පැරනි සෝවියට් සමූහාන්ඩුව හා රුසියාවේ ධන්‍යාගාරය යුරෝපීය සංගමය යටතට ගත හැකි තන්ත‍්‍රයක් බලයට ගෙන ඒමට දැන් තවත් උත්සාහක් ගැනෙමින් තිබේ. විරෝධතාවන්ගේ දේශපාලන නායකත්වය පිලිබඳව විමසා බැලීමෙන් ඔවුන්ගේ ප‍්‍රතිගාමී ස්වභාවය හෙලිකරගත හැකිය. ඔවුන් මෙහෙයවනු ලබන පක්ෂ තුනෙන් දෙකකට යුරෝපා සංගමයේ කොන්සවේටිව් කඳවුර සමග කිට්ටු සම්බන්ධකම් ඇති අතර තුන්වැන්න විවෘතව ම ෆැසිස්ට්වාදී ය.

සිර ගතකර සිටින ජූලියා ටිමොෂෙන්කෝගේ නායකත්වෙයෙන් යුත් Batkivshchyna (මාතෘභූමී) පක්ෂයට, යුරෝපයේ ක‍්‍රිස්තියානි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය හා කොන්සවේටිව් පක්ෂයේ එකතුවක් වන යුරෝපීය මහජන පක්ෂය සමග නිරීක්ෂන තත්වය ඇත. ජර්මනියේ පුරවැසියෙක් හා බොක්සින් වීරයෙකු වන විටාලි ක්ලිට්ස්කෝ නායකත්වය දෙනු ලබන UDAR (මුෂ්ටි පහර) පක්ෂය, ජර්මානු චාන්ස්ලර් ඇන්ජෙලා මර්කෙල්ගේ ක‍්‍රිස්තියානි ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංගමයේ (සීඩීයූ) හා එහි බුද්ධි ජීවීන්ගේ සංවිධානයක් වන කොන්රාඩ් ඇඩිනෝර් පදනමේ නිර්මානයකි. දෙවනුව සඳහන් වුන ආයතනය UDAR සාමාජිකයන්ගේ දේශපාලන අධ්‍යාපනයට කැපවුනු සම්මන්ත‍්‍රන එහි වෙබ් අඩවිය තුල ප‍්‍රසිද්ධියේ ප‍්‍රචාරය කර යි.

ජර්මානු ප්‍රෙඩ්රික් ඊබට් පදනමේ "යුක්රේනයේ අන්ත දක්ෂිනාංශය” යන අධ්‍යයනයකට අනුව ස්වොබොදා (විමුක්තිය) නම් තුන්වන පක්ෂය ”අරටුවෙන් ම අන්ත දක්ෂිනාංශික දෘෂ්ටිවාදයේ ඉතා වැදගත් නිපයුම යි.” පක්ෂයේ මුල් නම වූයේ යුක්රේන සමාජ-ජාතික පක්ෂය යන්න යි. එය තම සලකුන ලෙස පාවිච්චි කලේ නාසි ස්වස්තිකයට සමාන සංකේතයකි. එය හා සමග කිට්ටුවෙන් වැඩ කරන ප‍්‍රන්ස ජාතික පක්ෂයේ (එෆ්එන්) උපදෙස් මත එය වඩා අඩු ප‍්‍රකෝපකාරී නමක් තෝරා ගත්තේය.

ආර්සෙනයි යට්සෙන්යුක් (මාතෘභූමිය) හා විටාලි ක්ලිට්ස්චිකෝ ස්වොබොදා පක්ෂයේ ඔලේ ත්යානිබොක් සමග මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි විය. ත්යානිබොක් ඔහුගේ අන්ත ජාතිකවාදී, ආගන්තුක භීතික හා යුදෙව් විරෝධී හඬතැලීම් නිසා කුප‍්‍රකට නව-නාසිවාදියෙකි.

ප‍්‍රමුඛ යුරෝපීය හා ඇමරිකානු දේශපාලනඥයින් යුක්රේනයේ විරෝධතාවට තම සහයෝගය ප‍්‍රකාශ කර ඇත. ඇතන්ස්, මැඩ්රිඩ් හා තවත් තැන්වල, යුරෝපා සංගමයේ කප්පාදු ප‍්‍රතිපත්තිවලට විරෝධය දක්වන්නන්ට නිර්දය ලෙස පහරදීමේ දී තම නිහඬ සහාය පලකර ඇති මෙම බලවතුන් ම යුක්රේන පොලීසියේ ප‍්‍රචන්ඩත්වය කෙරෙහි දැන් සිය කෝපය ප‍්‍රකාශ කරති.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී "මහජනතාවගේ හඬට කන් දෙනු”යි යුක්රේන ආන්ඩුවට කියා සිටි අතර ඔහුගේ ජර්මානු අනුචරයා වන ගයිඩෝ වෙස්ටර්වෙල් කීයෙව්හි පෙලපාලිකරුවන් අතර 05දා පුද්ගලිකව ම මැදිහත් විය. නේටෝ මහලේකම් ජෙනරාල් ඇන්ඩර්ස් ෆෝග් රස්මුසේන් යුක්රේන ආන්ඩුව භාෂනයේ හා රැස්වීමේ නිදහස තහවරු කල යුතු යයි ඉල්ලා ඇත. නව ෆැසිස්ට්වාදී ජර්මන් ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට එරෙහිව ඉතා මෑත දී නව ක‍්‍රියාමාර්ග ගනිමින් සිටින ජර්මන් ආන්ඩුව යුක්රේන ෆැසිස්ට්වාදීන්ට පෙලපාලි යාමේ ඇති අයිතිය ආරක්ෂා කර යි.

ජනාධිපති ඉල්ලා අස්විය යුතු බව හා නව මැතිවරනයක් පැවැත්විය යුතු බව ඉල්ලා සිටිය ද විරුද්ධ පක්ෂයට, යුක්රේනියානුවන් බහුතරයකගේ සහාය ලැබී නැත. ආන්ඩුවට එරෙහිව දෝෂාභියෝගී යෝජනාව 04දා පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් විය. විරුද්ධ පක්ෂයට ක‍්‍රියාවට නැගීමට අවශ්‍ය වී ඇති, ඒකාබද්ධවීම හා යුරෝපා සංගමය සමග නිදහස් වෙලඳ ගිවිසුමක් ඇටවීම, යුක්රේනියන් ජනතාවගේ විශාල කොටසකට විනාසකාරී ප‍්‍රතිපල ගෙන එනු ඇත.

යුරෝපා සංගම් ගිවිසුම මගින් රුසියාව මෙහෙයවන තීරුබදු සංගමය තුල සමගාමී සාමාජිකත්වය ඉවත් කරන අතර ඒ මගින් යුක්රේනයේ කර්මාන්ත හා ප‍්‍රවාහන මාර්ග සම්බන්ධ එහි ප‍්‍රධාන වෙලඳ හවුල්කරුවාගෙන් යුක්රේනය කපා හරිනු ඇත. යුරෝපීය භාන්ඩ සඳහා තීරුබදු අහෝසි කිරීමේ තේරුම වනවා ඇත්තේ ද බොහෝ යුක්රේනියානු කර්මාන්ත බංකොලොත්වීම යි.

ශ‍්‍රම වෙලඳපොල නීති ඉවත් කිරීමේ යූරෝපා සංගම් නීති හඳුන්වාදීම, රාජ්‍ය ව්‍යවසාය පුද්ගලීකරනය හා රාජ්‍ය නය අඩුකිරීම ඇතුලත් ගිවිසුමේ කොන්දේසි ග‍්‍රීසිය, රුමේනියාව හා අනෙකුත් රටවල් මත පැටවූ යුරෝපා සංගම් කප්පාදු වැඩසටහන්වලට සමාන සමාජ බලපෑමක් ඇති කරනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වන විටත් යුක්රේනයට බෙහෙවින් අවශ්‍ය නය මුදලක් දීම ප‍්‍රතික්ෂේප කරන්නේ, ආන්ඩුව සියයට 40කින් ගෑස් මිල වැඩි කිරීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා ය. මෙම පියවරේ අනිවාර්ය ප‍්‍රතිඵලය වනු ඇත්තේ සිය නිවාස උනුසුම් කිරීමේ බිල් ගෙවා ගත නොහැකි බොහෝ රැකියා විරහිතයින් හා විශ‍්‍රාමිකයන් මරුමුවට පත්වීම යි.

ඒකාබද්ධ ගිවිසුම මගින්, ජර්මානු හා යුරෝපීය සමාගම් සඳහා පුලුල් වැඩ පට්ටලයක් බවට රට හරවනු ඇත. චීනයට වඩා අඩු වැටුප් අනුපාතයකින් මෙහි නිෂ්පාදනය කල හැකි වනු ඇත. ඒ අතර ම, රටේ ස්වභාවික සම්පත්, විශාල හා සාරවත් භූ ස්කන්ධය හා මිලියන 46ක වැසියන්ගේ දේශීය වෙලඳපොල, ජර්මානු හා යුරෝපීය ව්‍යාපාර සඳහා ආකර්ශනීය තැනක් බවට පත් කරනු ඇත.

තව ද ගිවිසුම මගින් රුසියාවට එරෙහිව යුරෝපා සංගමයේ හස්තය ශක්තිමත් කරනු ඇත. රුසියාව හා යුක්රේනය ඇතුලත් තීරුබදු සංගමයකට හෝ යුරේසියානු සංගමයකට, යුරෝපීය සංගමය සමග කෙරෙන වෙලඳ සාකච්ඡාවල දී හුදකලා රුසියාවකට වඩා සැලකිය යුතු ශක්තිමත් තත්වයක් හිමිවනු ඇත.

ජර්මනිය, යුරෝපා සංගමය හා එක්සත් ජනපදය ආර්ථික අරමුනු පමනක් නො ව භූදේශපාලනික අරමුනු ද සහිත පිලිවෙතක් යුක්රේනය තුල අනුගමනය කරයි. සෝවියට් සංගමය විසුරුවා හැරීමේ තැන් පටන්, නැගෙනහිර යුරෝපය තුල රුසියානු බලපෑම ක්ෂයවී යාම සලකන විට, යුක්රේනය යුරෝපා සංගමයට ඇතලත් කර ගැනීම මගින් රුසියාව, යුරෝපයේ අද්දරට තල්ලු කරනු ඇත.

18වැනි සිවසේ අවසානයේ සිට යුක්රේනය රුසියාවේ හා සෝවියට් රාජ්‍යයේ වැදගත් කොටසක් විය. තව ද, කලු මුහුදේ රුසියානු නාවුක බලඇනිය, යුක්රේනය විසින් රුසියාවට බද්දට දෙන ලද ක‍්‍රිමියාවේ වරායක ස්ථානගත කර ඇත.

එක්සත් ජනපදය හා යුරෝපා සංගමය යන දෙපාර්ශවයට ම දුර්වල වන රුසියාව පිලිබඳ බලාපොරොත්තු ඇත. රුසියාව චීනයේ වැදගත් සහචරයෙකු ලෙස සැලකේ. මාර්තු මාසයේ දී බලයට පත්වූ වහා ම, චීන ජනාධිපති ෂී ජින්ග්පින්ග් මොස්කව්හි සංචාරයක යෙදුනි. ඒ, දෙරටේ "මූලෝපායික සම්බන්ධතා” ශක්තිමත් කිරීමට ය. ආසියාව, මැද පෙරදිග හා අප‍්‍රිකාව තුල එක්සත් ජනපදය හා එහි සහචරයින්ගේ ආක‍්‍රමනකාරී කාවැදීම මගින් දෙරටටම ආර්ථික හා මූලෝපායික තර්ජන එල්ල වනු ඇති බවට බියක් ඇත.

චීනය ද යුක්රේනය සමග තම සම්බන්ධතා පුලුල් කරමින් සිටී. යුක්රේනය වර්තමානයේ සිය විදේශ වෙලඳාමෙන් සියයට 5ක් පමන පවත්වාගෙන යන්නේ චීනය සමග ය. ඔක්තෝබරයේ දී, සවුත් චයිනා මෝනින්ග් පෝස්ට් වාර්තා කලේ, XPCC නම් චීන රාජ්‍ය ව්‍යාපාරය චීනය වෙනුවෙන් ආහාර නිෂ්පාදනය සඳහා වගාකල හැකි බිම් හෙක්ටයාර් 100,000කට ප‍්‍රවේශය අත්පත් කර ගැනීමට KSG Agro නම් යුක්රේන කෘෂිකර්ම සමාගම සමග ගිවිසුමක් ඇති කර ගත් බව යි. මෙම ප‍්‍රදේශය හෙක්ටෙයාර් මිලියන 3ක් දක්වා දීර්ග කිරීමට නියමිත ය- එය බෙල්ජියම හෝ මැසචුසෙට්ස් ප‍්‍රාන්තය තරම් විශාල ය.

චීනය මේ වන විටත් එරටට ඩොලර් බිලියන10ක නයක් ලබා දී ඇත. යුක්රේනය, චීනය සමග සම්බන්ධතා ඉතා වැදගත් යයි සලකන බැවින් දැනට දිග්ගැස්සෙමින් ඇති දේශපාලන අර්බුදය නොතකා දින හතරක රාජ්‍ය සංචාරයක් සදහා ජනාධිපති යනුකොවිච් චීනය බලා පිටත් විය.

යුක්රේන අන්ඩුව අස්ථාවර කිරීම සඳහා කීයෙව් හි විරෝධතා යොදා ගැනීමට යුරෝපා සංගමය හා ජර්මන් ආන්ඩුව විසින් ගනු ලබන උත්සාහයන්හි පසුබිම ඇත්තේ මෙහිය. ඔවුන්ගේ මැදිහත්වීම් සිදු වන්නේ, චීනය වැටලීමට හා කලාපය තුල එරට බලපෑමට වල කැපීම සඳහා ආසියාව තුල තම මිලිටරි මැදිහත්වීම ක‍්‍රමානුකූලව පුලුල් කරමින් සිටින එක්සත් ජනපදය සමග හවුලේ ය. මෙම අරමුන සඳහා එක්සත් ජනපදය පසු ගිය සතිවල දී චීනය මත එහි පීඩනය දැවන්ත ලෙස උග‍්‍ර කර ඇත.

යුක්රේනයට එරෙහි ආක‍්‍රමනය ප‍්‍රගාඪ ඓතිහාසික ප‍්‍රශ්න මතු කර යි. ලෝක යුද්ධ දෙකක දී යුක්රේනය තම පාලනය යටතට ගැනීමට ජර්මනිය උත්සාහ කල අතර එම ක‍්‍රියාවලියේ දී ජුගුප්සාජනක අපරාධ සිදු කලහ. ජර්මන් ආන්ඩුවේ වර්තමාන නිර්දය භාවය නව අන්තරායන්ගෙන් ගහන ය. වැඩෙන ජාත්‍යන්තර ආතතීන් ක්ෂනිකව සන්නද්ධ ගැටුමකට පෙරලී යා හැකි ය.

මෙම අනතුර පිටුදැකිය හැකි වන්නේ, එක්සත් සමාජවාදී යුරෝපයක් සඳහා සටන් කරන ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් මගින් පමනි.

පීටර් ෂ්වාෂ්

Share this article: