ජපන් අගමැති මිලිටරිවාදී සම්ප්‍රදායන් යලි පනගන්වයි

Japanese PM revives militarist traditions

2013 දෙසැම්බර් 27

ජපාන අගමැති ෂින්ෂෝ අබේ එරට යුද්ධයෙන් මියගිය අය සිහිකරන අපකීර්තිමහත් යසුකුනී සිද්ධස්ථානයට 26දා කල සංචාරය මේ වන විටත් තියුනු කලාපීය ආතතීන් අවුලුවා ඇති ජපාන මිලිටරිවාදය දෙසට තබන තවත් ප්‍රකෝපකාරී පියවරකි. චීනය හා දකුනු කොරියාව -මෙම රටවල් දෙක ම ජපානයේ යුදකාලීන පාලනයට නතුව පැවතිනි- වහා ම සංචාරය හෙලාදුටු අතර, මෙය 2006දී අගමැති ජුනිචිරෝ කොයිෂුමී එම සිද්ධස්ථානයට සංචාරය කලාට පසු බලයේ සිටින අගමැතිවරයෙකුගේ පලමු සංචාරය විය.

යසුකුනී සිද්ධස්ථානය සරලව යුද ස්මාරකයක් නො ව, 1930 හා 1940 ගනන්වල ජපාන මිලිටරිවාදයේ බලවත් සංකේතයකි. සංකේතාත්මකව එහි තැන්පත්ව ඇත්තේ, මිත්‍රපාක්ෂික අධිකරනයක් මගින් වරදකරුවන් කරන ලද “පලමු පන්තියේ” යුද අපරාධකරුවන් 14ක් ඇතුලු ජපානයේ යුද්ධයෙන් මියගිය බොහෝදෙනා ය. එහි ප්‍රකෝපකාරී ස්වභාවය තුල යසුකිනයට කල අබේගේ සංචාරය සංසන්දනය කල හැක්කේ ජර්මානු ආන්ඩුවේ නායකයෙකු නාසි නායකයින්ගේ සොහොන් බිම් නමස්කාර කිරීමට තීරනය කිරීමකට ය.

අබේගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආන්ඩුව බලයට ඒමෙන් පසු පලමු වසර මෙම ගමනින් සලකුනු කලේය. තමන් සිද්ධස්ථානයට ගියේ “ජපානය කිසි දා යුද්ධ නොකල යුතු ය” යන පොරොන්දුව අළුත් කිරීමට බව ඔහු නරුම ලෙස ප්‍රකාශ කලේ ය. එහෙත් දශකයක් තුල දී පලමුවරට ඔහුගේ ආන්ඩුව පසු ගිය වසරේ දී මිලිටරි වියදම් ඉහල දැම්මේ ය. ඔහු, නැගෙනහිර චීන මුහුදේ මතභේදයට තුඩුදී ඇති සෙන්කාකු/ඩයේයූ දූපත් පිලිබඳව චීනය සමග ආතතීන් උත්සන්න කල අතර චීනයට එරෙහිව එක්සත් ජනපද යුද සූදානම සමග ජපානය වඩාත් කිට්ටුවෙන් ඒකාබද්ධ කලේ ය.

අබේගේ සංචාරය ගැඹුරින් මුල්බැසගත්, විශේෂයෙන් ම කම්කරු පන්තිය තුල පවතින යුද-විරෝධී හැඟීම්වලට එරෙහිව, ජාතිකවාදය ඇවිස්සීමට ගෙන යන ව්‍යාපාරයක කොටසකි. වැඩ භාරගැනීමට ඔන්න මෙන්න තිබියදී පසු ගිය වසරේ බුන්ජෙයි ෂුන්ජු හි පල කල ලිපියක අබේ ප්‍රකාශ කලේ, ඔහු “පශ්චාත් යුද ඉතිහාසයෙන් ජපාන ජාතිය ගලවා ගැනීමේ සටනක” නිරතව සිටින බව යි. එනම්, මිලිටරියේ යුද අපරාධ පිලිබඳ කිසියම් හෝ පිලිගැනීමකින් ජපානය නිදහස්කර ගැනීම යි. එරට ආර්ථික හා මූලෝපායාත්මක උත්සුකයන් හඹායාමේ දී ජපාන අධිරාජ්‍යවාදයට යුද්ධයක් ගෙනයාමට හැකි වන සේ රටේ පශ්චාත් යුද ව්‍යවස්ථාවෙන් පැනවෙන සීමා බාධක ඉවත් කිරීම සමග මෙම සාංකල්පික උද්ඝෝෂනය බැඳී තිබේ.

අබේගේ සංචාරය ගැන ටෝකියෝවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය “කනස්සල්ල” ප්‍රකාශ කල නමුත් ජපානයේ මිලිටරිවාදයේ නැවත මතුවීම දිරිමත් කිරීම වෙනුවෙන් මූලික වගකීම පැවරෙන්නේ ඔබාමා පාලනාධිකාරය වෙතය. 2006-2007 අගමැති වශයෙන් සිය පලමු වාරය අතරතුර අබේ, ඔහුගේ පූර්වගාමී කොයිෂුමී යටතේ අවුල් කෙරී තිබුන චීනය සමග සම්බන්ධතා පෑස්සීමට උත්සාහ කලේය. කෙසේ නමුත් සබඳතා අවුල් කෙරුනේ, කොයිෂිමීගේ යසුකුනී දේවස්ථාන ගමනේ ප්‍රතිඵලයක් ලෙස නොව, පසු ගිය වසර හතර තිස්සේ ඔබාමා රාජ්‍යතාන්ත්‍රිකව චීනය බිඳ දැමීමට හා එය මිලිටරි වශයෙන් වටකිරීමට එල්ල කල “ආසියාවට හැරීම” යන පිලිවෙත ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපල වශයෙනි. මෙය චීනයට එරෙහිව වඩා ආක්‍රමනකාරී ආස්ථානයක් ගැනීම සඳහා එක්සත් ජනපදයේ අනුචරයින්, විශේෂයෙන් ම ජපානය දිරිගන්වනු ලැබිනි.

එක්සත් ජනපද බැඳීම් යලි තහවරු කරන අතර ම චීනය සමග කිට්ටු බැඳීම් ඇතිකර ගැනීමට බලාපොරොත්තු වූ අගමැති යුකිඕ හටයොමා 2010දී ඉවත් කිරීම තුල, ඔබාමා පාලනාධිකාරයට ඍජු සම්බන්ධයක් තිබුනි. ජපාන ඩෙමොක්‍රටික් පක්ෂෙයෙන් පැමිනි හටයොමාගේ අනුප්‍රාප්තිකයින්, එනම් නඔටෝ කාන් හා යොෂිහිකෝ නොඩා යන දෙදෙනො ම බීජීනයට එරෙහිව, විශේෂයෙන් ම විවාදිත සෙන්කාකු/ ඩියේයූ දූපත් සම්බන්ධයෙන් දැඩි පිලිවෙක් අනුගමනය කලහ. 2010 සැප්තැම්බරයේ දී චීනය සමග මතභේද තීව්‍රකරමින් හා අබේට හා ඔහුගේ දක්ෂිනාංශික එල්ඩීපීයට පසු ගිය මැතිවරනය ජයගැනීමට දොර විවෘත කරමින් නොඩා, ගල්පර දූපත් “ජනසතු කලේය.”

පසු ගිය මාසයේ නැවත වතාවක් ආතතීන් පැතිර ගියේ, චීනය විවාදිත දූපත් ද ඇතුලු ව නැගෙනහිර මුහුදේ ගුවන් ආරක්ෂක හැඳුනුම් කලාපයක් ස්ථාපිත කිරීම ප්‍රකාශ කල විට දී ය. එම කලාපයට දැනුම් දීමකින් තොරව න්‍යෂ්ටික හැකියාව සහිත බී-52 බෝම්බ ප්‍රහාරක යානා පිටත්කර කර හරිමින් එක්සත් ජනපදය වහා ම චීන අධිකාරීන්ට අභියෝග කලේය. ජපානය ද සිය ගුවන් යානා පිටත්කර හරිමින් එයම කලේය. ප්‍රහාරක යානා ගුවන්ගත කරමින් චීනය, වැරදි ගනන් බැලීමක් හෝ වැරද්දක් මගින් ගැටුමක් ඇවිලී යාමේ අනතුරුක හැකියාව වැඩි කරමින් ඊට ප්‍රතිචාර දැක්වීය. යන්තම් සති කීපයකට පසුව, එක්සත් ජනපද ප්‍රහාරක නෞකාවක් ප්‍රකෝපකාරී ලෙස චීන නාවික අභ්‍යාසයක් පසුපස යෑමත් සමග දකුනු චීන මුහුදේ ආසන්න ගැටුමක් ඇතිවීමේ අවස්ථාව ඇමරිකානු හා චීන යාත්‍රා මගහැර ගත්තේ අවසන් මොහෙතේය.

පලමු ලෝක යුද්ධයේ සංවත්සරය ලංවීමත් සමග වර්තමාන ලෝකය, අවුරුදු සියයකට පෙර පැවති තත්වයට ඇඟ කිලිපොලන සමානත්වයක් පෙන්ව යි. එවකට ලෝක ධනවාදයේ ගැඹුරු වූ අර්බුදයක් මධ්‍යයේ ප්‍රධාන බලවතුන් රාජ්‍යතාන්ත්‍රික උගුල් ඇදීම්, ප්‍රකෝපකිරීම් හා එකකට පසු එකක් “යුද බිය” ඇතිකල මිලිටරි මැදිහත්වීම්වල පැටලුනි. පෙනෙන හැටියට සුළු සිද්ධියක් මුල්කරගෙන අවසානයේ දී, - ඔස්ට්‍රියානු ආදිපාදවරයෙකු ඝාතනය කිරීම- ප්‍රධාන බලවතුන්ගෙන් කවරෙකු ලෝකයේ ආධිපත්‍යය ගනු ඇත් ද යන්න තීරනය කිරීම පිනිස පෙර නොවූ විරූ ලේ වැගිරීමක් නිර්මානය කරනු ලැබින.

සියවස් කාලකට පසුව ලෝකය, ඊටත් වඩා පුලුල් පරිමානයේ යුද්ධයක් තුල නැවතත් ගිලී ගියේ ය. ආසියවේ දී මහා අවපාතය මගින් ජපාන ආර්ථිකයට තදින් පහර වැදී තිබුනු අතර පාලක කවයන් තුල මංමුලාව ගිනි ඇවිලුනි. ජපාන ප්‍රභූව අර්බුදය ජයගැනීමට උත්සාහ කලේ දිග් විජයේ යුද්ධ මගිනි. 1931දී මැන්චූරියාව හා 1937දී සමස්ත චීනයම ආක්‍රමනය කිරීම සමග ය. අවසානයේ දී, ආසියාව තුල ප්‍රමුඛ බලවතා වීමේ ජපාන අභිලාශය, එක්සත් ජනපදය සමග මුහුනට මුහුන ලා ගැටුමකට මඟපෑදූ අතර 1941 ශාන්තිකර යුද්ධයේ විධාරනයට තුඩුදුන්නේය.

2008 ගෝලීය මූල්‍ය අර්බුදයේ පිපිරීමෙන් අවුරුදු පහකට පසු අද ලෝක ධනවාදී පද්ධතිය පවතින්නේ අවපාතය හා පසුබැසීම තුල ගිලෙමිනි. පසු ගිය දශක තුන පුරා ආසියාව, ගෝලීය පසමිතුරුකමේ කේන්ද්‍රය බවට පත් වෙමින් ලෝකයේ ලාභ ශ්‍රම වේදිකාව වී ඇත. ඔබාමාගේ “ආසියාවට හැරීම” සියල්ලටත් වඩා, කලාපය තුල එක්සත් ජනපදය ප්‍රමුඛ බලවතා ලෙස පැවතීම තහවුරු කිරීම සඳහා එය සතු මිලිටරි ශක්තිය ප්‍රයෝජනයට ගනිමින්, ඇමරිකානු ධනවාදයේ සාපේක්ෂ බිඳවැටීම මගහැරීම වෙත යොමුවී තිබේ. එහිදී වොෂින්ටනය, ප්‍රධාන බලවතෙකු ලෙස සිය මැකීයාම වැලක්වීමට මංමුලා සහගත ලෙස වෙර දරන වඩාත් ආක්‍රමනකාරී ජපන් අධිරාජ්‍යවාදය දිරිමත් කර ඇත.

යුද්ධයට සූදානම්වීමේ කොටසක් ලෙස ජපානය, චීනය හා ලෝකය පුරා පාලක පන්ති, නැවත වතාවක් ජාතිකවාදයේ විසකුරු වාතාවරනය නිර්මානය කරමින් සිටිති. යුද්ධය සඳහා වන මෙම තල්ලුව නැවත්වීමේ එක ම මාර්ගය වන්නේ මේ වන විටත් ලෝක යුද්ධ දෙකක් සිදු කර ඇති සමාජ පර්යාය වෙනස් කිරීම යි. ගෝලීය ආර්ථිකය හා යල්පැනගිය ජාතික රාජ්‍ය පද්ධතිය අතරත්, සමාජගත නිෂ්පාදනය හා නිෂ්පාදන මාධ්‍ය්‍යන්ගේ පුද්ගලික අයිතිය අතරත් ප්‍රතිඝතිතා මගින් මීට සියවසරකට පෙර සිදු වූ පරිදිම ධනවාදය සුන්බුන් කෙරෙමින් තිබේ. ජාත්‍යන්තර සමාජවාදයේ පදනම මත චීනය, ජපානය, එක්සත් ජනපදයේ හා ලෝකය පුරා එකාබද්ධ අරගලයක් තුලින් මෙම ලාභ පද්ධතිය පෙරලාදැමිය හැකි එකම සමාජ බලවේගය වන්නේ කම්කරු පන්තිය යි.

පීටර් සිමන්ඩ්ස්

Share this article: