ග‍්‍රන්ථ විචාර:කල්පනා ලෝකවාදය සාහිත්‍ය කලා හා මාක්ස්වාදය

විලානි පීරිස් විසිනි, 2013 දෙසැම්බර් 10

සමකතුවරු -

කීර්ති බාලසූරිය

සුචරිත ගම්ලත්

හැඳින්වීම

කල්පනා ලෝකවාදය සාහිත්‍ය කලා හා මාක්ස්වාදය - 1989 දෙසැම්බර් 29 දින කම්කරු මාවත පුවත්පතේ පලමු වරට පලකරන ලද මෙම අගැයීම, උක්ත කෘතියේ තෙවන මුද්‍රනය එලිදැක්වීම වෙනුවෙන් සංස්කරනය කර යලි පලකෙරේ.

මෙම ග‍්‍රන්ථය කෙටුම්පත් කිරීමේ දී ප‍්‍රමුඛ ක‍්‍රියා කලාපයක් ඉටු කරන ලද සමාජවාදී සමානතා පක්ෂයේ පෙරගමන්කරු වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ප‍්‍රධාන ලේකම්ව සිටි කීර්ති බාලසූරිය සහෝදරයා 1987 දී හදිසියේ මිය ගියේ ය.

මෙහි අනෙක් කතුවර මහාචාර්ය සුචරිත ගම්ලත් 1989 දී විකොස අතහැර පලා ගිය අතර නොයෙක් ප‍්‍රතිගාමී පක්ෂයන් සමග ඒකාබද්ධ වෙමින්, මෙම ග‍්‍රන්ථය මගින් තහවුරු කරනු ලබන ඓතිහාසික භෞතිකවාදයේ පදනමට හතුරු කි‍්‍රයා කලාපයක් ඉටු කොට, ට්‍රොට්ස්කිවාදයේ භ‍්‍රෂ්ටයෙකු ලෙස 2013 මාර්තුවේ දී මිය ගියේය. කියවන්න "සුචරිත ගම්ලත්: දේශපාලන අගැයීමක්"

1985 මැයි මස 12 වෙනි දින දිවයින පුවත්පතට ලිපියක් ලියමින් ඓතිහාසික භෞතිකවාදී කලා විචාර ක‍්‍රමයක් තහවුරු කිරීම සඳහා විකොස දැරූ ප‍්‍රමුඛත්වයට එරෙහිව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එල්ල කලා වූ ප‍්‍රහාර ධාරාවට හා සකලවිධ විඤ්ඤානවාදී ආස්ථානයන්ට එරෙහිව ඓතිහාසික භෞතිකවාදයේ පදනම් මෙම කෘතියෙන් තහවුරු කෙරේ.

මෙම ග‍්‍රන්ථය ලේඛන ගත කෙරෙන්නේ විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීමේ තීරනාත්මක අරගලයේ කොටසක් ලෙස ය.

ග‍්‍රන්ථයෙහි අරමුන පෙරවදනේ දී කතුවරු මෙසේ පෙන්වා දුන්හ:

"සාහිත්‍ය-කලා නිර්මාණයේ නිදහස ආරක්ෂා කිරීම නමැති ධජය යටතේ සිට ලියා ඇති මෙම ලිපිය මාක්ස්වාදයට එල්ල කෙරුණු පෘථුල ප‍්‍රහාරයකි. එහෙයින් එය ඊට උචිත පරිදි පෘථුල ලෙස ම විමර්ශනය කිරීම අවශ්‍ය වේ.”

ග‍්‍රන්ථයෙහි අතිමහත් වැදගත්කම වන්නේ එය විඤ්ඤානවාදී යථානුභූතවාදී අපරූපනයන්ට එරෙහිව අපෝහක භෞතිකවාදය තහවුරු කිරීම යි. මෙහි දී විමර්ශනය කෙරෙන්නේ සාහිත්‍ය-කලා විචාර ක්ෂේත‍්‍රයෙහි කෙරී ගෙන යන්නා වූ විඤ්ඤානවාදී විකෘත කිරීම් වුව ද එමගින් සකලවිධ විඤ්ඤානවාදී ගුරුකුලයන්ට එරෙහිව අපෝහක භෞතිකවාදය ප‍්‍රතිෂ්ඨාපනය වන්නේ ය.

යථානුභූතවාදය හා ඥාන විභාගය විමර්ශනයට ලක් කරමින් ග‍්‍රන්ථය මෙසේ පෙන්වා දෙයි:

"සකල මානව චින්තනයේ ම ඉතිහාසය එකලා වූ චින්තකයා සංජානනය ද නිරීක්ෂණය ද මගින් ඒ ඒ ස්වාභාවික හා සාමාජික ප‍්‍රපංච ගැන පොදු සංකල්ප හෙවත් සාමාන්‍යකරණයන් ගොඩ නැගීම නමැති අභූතයේ ඉතිහාසය බවට පිරිහෙළන්නේ නූතන ධනේශ්වර දර්ශනවාදය වන යථානුභූතවාදය යි...” (47 පි.)

ධනේශ්වර ක‍්‍රමය තුළ විඤ්ඤානවාදී යථානුභූතවාදයේ වැඩීම විභාග කරන ග‍්‍රන්ථය, ධනේශ්වර ක‍්‍රමය පෙරලා දැමීමේ දී මිනිස් ජීවිතයේ ගැඹුරුතම අවශ්‍යතාවන් හා අභිලාෂයන් කරා කිමිදීමේ දී යථානුභූතවාදය නමැති යදම නිරුතුරුව ම පුපුරුවා ලීමේ සටනක නිරත වීමට සිදුවන බව පෙන්වා දෙයි. ග‍්‍රන්ථය මෙසේ අවධාරනය කරයි:

"...යථානුභූතවාදය දෘශ්‍යමානය වන්දනාමාන කරනු පමණක් නො වේ. එය කම්කරු පන්තියේත් පීඩිත ජාතීන්ගේ හා ජනතාවන්ගේත් අරගලය මගින් ධනේශ්වර පරත්වාරෝපිතත්වය අහෝසි කර පෙරට යෑමට දැරෙන ප‍්‍රයත්නයට එරෙහිව ද ඉඳුරා ම පිහිටා සිටී. මෙම අරගලවල නිරත මිනිසුන්ගේ හා ගැහැනුන්ගේ හිස මත දෘශ්‍යමානයේ ආධිපත්‍යය හා බර පටවා ඔවුන්ගේ දිරියබල සිඳ දැමීම සඳහා මෙම දර්ශනවාදය ක‍්‍රියාත්මක වෙයි. පන්ති අරගලයේ සැබෑ ගැඹුර කරා කිමිදීම, එනම්, මිනිස් ජීවිතයේ ගැඹුරුතම අවශ්‍යතාවන් හා අභිලාෂයන් කරා කිමිදීම යනු යථානුභූතවාදය නමැති යදම නිරතුරුව ම පුපුරුවා ලීමේ සටනකි. මිනිස්සු යථානුභූතවාදය සඳහා වත් එය සාධනය කිරීම සඳහා වත් ජීවත් නො වෙති. සුවිශේෂ විද්‍යාත්මක වචන භාවිත නො කළත් ඔවුහු ධනවාදයට එරෙහිව ජීවිතයේ දී සත්තාව පිළිබඳ ධර්මය, තර්ක ශාස්ත‍්‍රය හා තම භාවිතය අතර එකමුතුව දිනා ගැනීමටත් ඇතුළතින් නො බෙදුණු ජීවිතයක් සාක්ෂාත් කර ගැනීමටත් වැර වීරිය කරති. කම්කරු පන්තියේ ද පීඩිත ජාතීන්ගේ ද අරගල ලෙසින් ප‍්‍රකාශයට පත් වන්නේ මෙය ම නො වේ නම් අන් කුමක් ද?...” (63 පි.)

විඤ්ඤානවාදී යථානුභූතවාදයට එරෙහිව සියලු චින්තනයේ ද සංකල්පරූපවල ද ක්ෂනික පදනම වන්නේ ”සොබාදහමේ දේවල් තමන් සඳහා දේවල් බවට පෙරළා ගනු වස් මිනිසා උනුන් අතර සබඳතාවයන්ට එළඹෙමින් සමාජ-සත්වයෙකු ලෙස පවත්වා ගෙන යන්නා වූ කි‍්‍රයාකාරිත්වය යි.” (29 පි.)

මිනිසා හා ඔහුගේ සකලවිධ ක‍්‍රියාකාරිත්වය දෙවියන් වහන්සේගේ හෝ වෙනත් සංකල්පයක හෝ නිපැයුමක් ලෙස දුටු විඤ්ඤානවාදයන් ද ශුද්ධ ස්වභාව ධර්මයේ හා පරිසරයේ ප‍්‍රතිඵලය ලෙස දුටු යාන්ත‍්‍රික භෞතිකවාදයන් ද සමතික‍්‍රමනය කරමින් මාක්ස් තහවුරු කළ අපෝහක භෞතිකවාදී දෘෂ්ටිය ම ග‍්‍රන්ථයෙන් තහවුරු වන්නේ ය:

"මානුෂික වූ කිසිවක් කිසි යම් විඤ්ඤාණයක නිපැයුමක් නො වන්නා සේ ම හුදු සොබාදහමේ හෝ පරිසරයේ නිෂ්පාදිතයක් ද නො වෙයි. මානුෂික වූ කිසිවක් හුදෙක් ස්වාභාවික බවට පිරිහෙළීමට මෙහි දී කිසි ම ඉඩක් නැත. මෙය මාක්ස්ගේ සංකල්පයක් පමණක් නො වේ. කම්කරු පන්තිය ද පීඩිත ජාතීන් හා ජනතාවන් ද අමු ම අමු ස්වාභාවික තත්වයට, එනම්, තිරිසන් තත්වයට හෙළීමට දරන සෑම ප‍්‍රයත්නයකට ම එරෙහිව පුපුරා එන සමාජ විප්ලවය මෙම ඓතිහාසික භෞතිකවාදයේ සාක්ෂාද්භවනය ද අරටුව ද වන්නේ ය.” (28 පි.)

අපෝහක භෞතිකවාදී ලෝක දෘෂ්ටිය මත ඉතා දැනුවත්ව පිහිටා සිටීම විප්ලවවාදීන්ට තීරනාත්මකව ඇති ඓතිහාසික අවස්ථාවක මේ ග‍්‍රන්ථයේ වැදගත්කම අවධාරනය කර ගත යුතු ය. හුදෙක් කම්කරු පන්තියේ දෘෂ්ටිමය ප‍්‍රකාශනය ලෙස මාක්ස්වාදය පහල වූයේ නැත. සමාජවාදය විද්‍යාවක් බවට පත්ව ඇති නිසා එය විද්‍යාවක් සේ ක‍්‍රියාවට නැගිය යුතු එනම් අධ්‍යයනය කල යුතු බව සිත්හි දරා ගනිමින් ධනේශ්වර ක‍්‍රමයට එරෙහිව ඇදී එන කම්කරු පන්තිය ප‍්‍රමුඛ සමාජ කන්ඩායම් කම්කරු පන්තියේ වෛෂයික අවශ්‍යතාව දැනුවත්ව ප‍්‍රකාශයට පත් කරන්නා වූ විද්‍යාත්මක මාක්ස්වාදය මත බලමුලූ ගැන්වීමේ දැඩි උත්සාහයක ග‍්‍රන්ථය යෙදී ගනියි.

අපෝහක භෞතිකවාදී විද්‍යාත්මක ලෝක දෘෂ්ටිය දැඩිව තහවුරු කිරීම ග‍්‍රන්ථයේ මුඛ්‍යතම අරමුන යි. ෆොයබාක් ගැන මාක්ස්ගේ ප‍්‍රවාදයෙහි දී මාක්ස් තම අපෝහක භෞතිකවාදී දෘෂ්ටිය මෙසේ තහවුරු කල බව ග‍්‍රන්ථය උපුටා දක්වයි:

"ෆොයබාක්ගේ භෞතිකවාදයත් ඇතුළත්ව මෙතෙක් පැවති සකල භෞතිකවාදයේ ම ප‍්‍රධාන දෝෂය නම් විෂය, යථාර්ථය, ඉන්ද්‍රියගෝචරය යන මෙය මානුෂික ඉන්ද්‍රියමූලක ක‍්‍රියාකාරිත්වය, භාවිතය වසයෙන් ආත්මීයත්වයෙන් නො ව හුදෙක් විෂයේ හෝ සංකල්පනයේ ස්වරූපයෙන් තේරුම් ගැනීම යි. එහෙයින් මේ තත්වය උදා විය: භෞතිකවාදයට හාත්පසින් ම වෙනස් ලෙස ක‍්‍රියාත්මක පැත්ත විඤ්ඤාණවාදය විසින් වර්ධනය කෙරිණ. සත්තකින් ම විඤ්ඤාණවාදය සැබෑ ඉන්ද්‍රියමූලක ක‍්‍රියාකාරිත්වය ඒ අයුරින් නො දන්නා හෙයින් එම වර්ධනය සිදු කෙරුණේ හුදෙක් වියුක්ත ලෙසිනි....

"මනුෂ්‍යයෝ වනාහි පරිසරයේත් ශික්ෂණයේත් නිෂ්පාදිතයෝ ය; එහෙයින් වෙනස් වූ මිනිස්සු වනාහි වෙනත් පරිසරයන්ගේත් වෙනස් ශික්ෂණයන්ගේත් නිෂ්පාදිතයෝ ය යන භෞතිකවාදී මතය පරිසරය වෙනස් කරන්නේ මිනිසුන් ම බවත් ශික්ෂකයා ම ශික්ෂිත කළ යුතු බවත් අමතක කරයි....

"පරිසරය වෙනස් කිරීමත් මානුෂික ක‍්‍රියාකාරිත්වයත් යන මේ දෙකේ සම්පාතය සිතා ගත හැක්කේත් තර්කානුකූල ලෙස වටහා ගත හැක්කේත් විප්ලවකාරක භාවිතය වසයෙන් පමණකි” (27-28 පිටු, උපුටා ගැනීම: ලුඞ්විග් ෆොයබාක් හා සම්භාව්‍ය ජරමානු දර්ශනවාදයේ අවසානය යන ෆ්‍රෙඩ්රික් එංගල්ස්ගේ කෘතියෙනි, කම්කරු මාවත ප‍්‍රකාශන, 61-62 පි.).

මෙම ප‍්‍රවාදයෙහි මාක්ස් ඉදිරිපත් කරන විද්‍යාත්මක ලෝක දෘෂ්ටිය මත දැඩිව පාදක වෙමින් සාහිත්‍ය-කලා විවරනය හා විචාරය සම්බන්ධ මාක්ස්වාදී ආස්ථානයන් කතුවරු මෙසේ පෙන්වා දෙති:

"සාහිත්‍ය-කලා විවරණය හා විචාරය සම්බන්ධ මාක්ස්වාදීන්ගේ අපෝහක භෞතිකවාදී ප‍්‍රවිෂ්ටයත් මහාචාර්ය සරච්චන්ද්‍රගේ විඤ්ඤාණවාදී යථානුභූතවාදී ප‍්‍රවිෂ්ටයත් අතර වෙනස මෙසේ හකුළා දැක්විය හැකි ය: සාහිත්‍ය-කලාවන්ට පිවිසීමේත් ඒවා අගැයීමේත් එක ම සැබෑ පදනම මිනිසාගේ ප‍්‍රායෝගික විප්ලවවාදී ක‍්‍රියාකාරිත්වය බව මාක්ස්වාදය කියා සිටී. අනෙක් අතට, විඤ්ඤාණවාදී යථානුභූතවාදය සිය සාහිත්‍ය-කලා විවරණවල පදනම බවට පත් කර ගන්නේ කිසි යම් ආකාරයකින් ගූඪකරණය කරන ලද මිනිසාගේ විඤ්ඤාණය ම යි”. (21 පි.)

තව දුරටත් ග‍්‍රන්ථය පෙන්වා දෙන්නේ සියලු ආධ්‍යාත්මික හා ද්‍රව්‍යමය බලශක්තීන්, සංවේදිතා, කලාව හා විද්‍යාව යනාදි සියල්ල විෂය ආත්මසාත්කරනයෙහි සුවිශේෂ විධීන් ලෙස ක‍්‍රියාත්මක වුවත්, සමාජ-නිෂ්පාදන ක‍්‍රියාකාරිත්වයේ දී ම අත්පත් කර ගත් බව යි. එහි දී මාක්ස්ගේ කෘතීන්ට අවධානය යොමු කරවමින් ධනේශ්වර සමාජය තුල මේ එකකුදු තනි තනි එකලා පුද්ගලයන්ගේ නිෂ්පාදිත වත් ඒ ඒ පුද්ගලයන්ට ගෙඩි පිටින් සැපයෙන දේ වත් නොවන බව අවධාරනය කරයි. ග‍්‍රන්ථය තහවුරු කරන අන්දමට ඒ සියල්ල සමාජගත වූ එනම් නිශ්චිත සමාජ සම්බන්ධතාවන්ට ඇතුලු වීමට සිදු වූ පුද්ගලයන් විසින් සිය සමාජ නිෂ්පාදන ක‍්‍රියාකාරිත්වයේ දී අත්පත් කර ගන්නා ලද දේ ය.

ග‍්‍රන්ථය අවධාරනය කරන අන්දමට මෙසේ මිනිසාගේ වෛෂයික ක‍්‍රියාකාරිත්වය යනු තමාම කොටසක් වූ ලෝකය තමා සඳහා වූ දෙයක් බවට පරිවර්තනය කර ගැනීම සඳහා කරන අරගලය වේ. නිෂ්පාදන ක‍්‍රියාකාරිත්වය මාක්ස්ගේ කෘති ආශ‍්‍රයෙන් විමර්ශනය කරමින් සාමාජික මිනිසා තම ජීවන ක‍්‍රියාකාරිත්වය මගින් විෂය ආත්මසාත් කර ගැනීමේ ක‍්‍රියා සන්තතියේ දී විෂය ලෝකයේ නියාම, ලක්ෂන, ගුන, අන්තර් සම්බන්ධතා ආදිය ඥානනය කිරීමෙන් මෙම ප‍්‍රතිරූපය යලි යලිත් අතික‍්‍රමනය කොට සකස් කරනා බව ග‍්‍රන්ථය පෙන්වා දෙයි. විෂයක් අරමුනු කර ගත්තා වූ ද අන්තර්ගත කර ගත්තා වූ ද මෙම ක‍්‍රියාකාරිත්වයෙන් තොරව සිතන්ට හෝ හඟින්ට හෝ සංවේදී වන්ට හෝ කවර පදනමක් වත් නොමැති බව අවධාරනය කරමින්, ”...බාහිර ස්වභාව ධර්මය මිනිසාගේ ඉඳුරන් හරහා පැමිණ මිනිස් මනස තුළ මානසික ප‍්‍රතිබිම්බ ඉදි කරයි යන්න වනාහි ධනේශ්වර සමාජය තුළ හුදකලා වූ පුද්ගලයාගේ දෘෂ්ටිකෝණය වන යථානුභූතවාදයේ මායාවකි...” (35 පි.) යන්න තහවුරු කරයි.

ඉහත දැක්වූ ෆොයබාක් ගැන මාක්ස්ගේ ප‍්‍රවාදයෙන් ඉදිරිපත් කෙරෙන විද්‍යාත්මක දෘෂ්ටිය දැඩිව තහවුරු කිරීමේ දී මාක්ස්ගේ ඉගැන්වීම් සමස්තයෙහි සාරාංශයක් ඉදිරිපත් කිරීමට කතුවරු ඉදිරිපත් වෙති. සංක්ෂිප්තභාවය නිසා ද මාක්ස්වාදයේ සම්භාව්‍ය කෘතිවලින් උපුටා ගත් දීර්ඝ කොටස්වල පරිවර්තන හා අර්ථෝද්ධාර නිසා ද අධ්‍යයනයේ දී වෙහෙසකර වුවත් සියලු විප්ලවවාදියෝ ග‍්‍රන්ථය අධ්‍යයනය කොට මාක්ස්වාදී ආස්ථානයන් පාදක කොට ගත යුත්තාහ.

ග‍්‍රන්ථය, ඓතිහාසික භෞතිකවාදී ප‍්‍රවිෂ්ටයකින් සමාජ සම්බන්ධතා විභාග කර ගත යුතු බව තහවුරු කරයි. ග‍්‍රන්ථය පෙන්වා දෙන අන්දමට ද්‍රව්‍යමය ලෝකයේ අපෝහකය කිසි යම් වියුක්ත සූත‍්‍ර පාඨයකින් ඉදිරිපත් කල නොහැකි ය. ඒ ඒ සමාජයේ සුවිශේෂ නිෂ්පාදන විධිය එම සාමාජික පුද්ගලයන් අතරත් මිනිසා සහ සොබාදහම අතරත් සුවිශේෂ සම්බන්ධතාවක් ප‍්‍රතිෂ්ඨාපනය කරයි. නිෂ්පාදන විධිය විසින් නිපදවනු ලැබෙන නිෂ්පාදන සම්බන්ධතා ඇතුලත නිෂ්පාදන බලවේගයන් වර්ධනය කෙරේ. වර්ධනය වූ නිෂ්පාදන බලවේගයෝ නිෂ්පාදන සම්බන්ධතා හා ගැටෙති. සමාජය තුල පවතින දෘෂ්ටිවාද, නීතිරීති හා සම්ප‍්‍රදායන්, මානුෂික අවශ්‍යතා, හැකියා, රුචිකත්ව සාක්ෂාත් වීමට බාධකව සිටී. ග‍්‍රන්ථය පෙන්වා දෙන අන්දමට සෑම නිෂ්පාදන ක‍්‍රමයක් තුල ම මෙම එකමුතුව හා ගැටුම එක ම ස්වභාවයක් භජනය කරන්නේ නැත. ඒ නිසා ම ඒවායේ පොදු ස්වභාවය කිසි යම් සූත‍්‍ර පාඨයකින් ඉදිරිපත් කිරීමට නොහැකි ය. ඒ, සුවිශේෂ යුගයේ නිෂ්පාදන විධිය විසින් පිහිටුවනු ලබන පුද්ගලයා හා සමාජය අතර සබඳතා ද මිනිසා හා සොබාදහම අතර සබඳතා ද පිලිබඳ සුවිශේෂ විශ්ලේෂනයකින් ම මතු කර ගත යුතු ය.

සමාජ විකාශනයේ මෙම අභ්‍යන්තර නීතිරීති විභාග කරන ග‍්‍රන්ථය, මධ්‍යකාලීන භාරතීය වැඩවසම් සමාජ සම්බන්ධතා ද වත්මන් ධනේශ්වර සමාජ සම්බන්ධතාවන්හි සුවිශේෂ අංග ලක්ෂන ද විභාග කරයි. ”ජාතික සංස්කෘතිය” මැයෙන් අද උද්ගතව ඇති ප‍්‍රතිගාමී උද්ඝෝෂනයට ද මධ්‍යකාලීන භාරතීය වැඩවසම් සමාජ සම්බන්ධතා, කලා න්‍යායන් හා කලා නිර්මානයන් පරමාදර්ශ මට්ටමකට නංවන්නා වූ ප‍්‍රතිගාමිත්වයට ද පිලිතුරක් වන පැරැන්න කරා ආපසු හැරී ගොස් එය වැලඳ ගැනීමේ න්‍යායන්ට මාක්ස් කල් තියා ම දුන් පිලිතුර ග‍්‍රන්ථයේ මෙසේ උපුටා දැක්වෙයි:

"... මෙලෙස, නිෂ්පාදනය මානව සංහතියේ අරමුණ ලෙසත් වස්තුව නිෂ්පාදනයේ පරමාර්ථය ලෙසත් දිස් වන වත්මන් ලෝකය සමග විසංසන්දනය කළ කල්හි සීමිත ජාතික, ආගමික හා දේශපාලනික ස්වභාවය නො තකා මිනිසා ම නිෂ්පාදනයේ අරමුණ ලෙස පෙනී සිටින පැරණි දෘෂ්ටිය අතිශය උච්චතර බවක් පෙනී යයි. එහෙත් සීමිත ධනේශ්වර රූපය ගලවා විසි කළ කල්හි වස්තුව යනු විශ්වව්‍යාපී හුවමාරුව මගින් නිර්මිත වූ පුද්ගල අවශ්‍යතා, ධාරිතා, ආස්වාද්‍යතා, නිෂ්පාදන බලවේග යනාදිය හැර වෙන කුමක් ද? මිනිසා විසින් ස්වභාව ධර්මයේ බලවේග, ඊනියා ස්වභාව ධර්මයේ හා මානව සංහතියේ ම බලවේග ස්වවශීකරණය කරනු ලැබීම හැර වෙන කුමක් ද? වර්ධනයේ මෙම ඓක්‍යය, එනම්, සකලවිධ මානව බලයන් පූර්ව නිර්ණිත මානදණ්ඩකට අනුව මැන නො ව ඒ හැටියට ම වර්ධනය කිරීම සිදු කරන්නා වූ අතීත ඓතිහාසික වර්ධනය මිස වෙනත් පූර්ව කල්පිතයක් රහිතව මිනිසාගේ නිර්මාණාත්මක විභවයන් පරම ලෙස ම ක‍්‍රියාත්මක කිරීම හැර වෙන කුමක් ද?...” (94 පි., උපුටා ගැනීම: [Karl Marx, Grundrisse, (ගෘන්ඩි‍්‍රස්), යන කාල් මාක්ස්ගේ කෘතියෙනි, (පෙලිකන්, 487-488 පිටු)].

ග‍්‍රන්ථය යලි යලිත් තහවුරු කරන අන්දමට සියලු ද්‍රව්‍යමය හා ආධ්‍යාත්මික බලශක්තීන්, කලා ශිල්ප සාමාජික මිනිසාගේ වෛෂයික ක‍්‍රියාකාරිත්වයේ දී එනම් පැවැත්ම සදහා කරන අරගලයේ ප‍්‍රතිඵලයක් වසයෙන් වර්ධනය කෙරී ඇත.

කලාව මෙම වෛෂයික ක‍්‍රියාකාරිත්වයෙන් වෙන් කරන්නේ කෙසේ ද? ග‍්‍රන්ථය ප‍්‍රශ්න කරයි. කලා නිර්මාන තුල සුවිශේෂ නිෂ්පාදන විධියේ අභ්‍යන්තර ගැටුම ප‍්‍රකාශයට පත් වන බව කීම කලාවට නීති පැනවීමක් ලෙස දකින්නේ කෙසේ ද? සාමාජික මිනිසාට මෙන් ම කලාකරුවාට ද අවශ්‍යතාව මතු වන්නේ ඔහුගේ වෛෂයික ක‍්‍රියාකාරිත්වයෙන් ම පැන නගින ඓතිහාසික අවශ්‍යතාවක් වසයෙනි. එනම් නිෂ්පාදන සම්බන්ධතා මධ්‍යයේ වුව ද නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනය විසින් ම පැන නංවන්නා වූ අවශ්‍යතාව යි. ඔහු විඳින මානුෂික වේදනාවේ සාරය නම් විෂය තමාට අභිමත පරිදි හැඩ ගස්වා හැසිරවීම සඳහා ඓතිහාසිකව ජනනය වූ අවශ්‍යතාව යි. මෙම අවශ්‍යතාව නිෂ්පාදන සම්බන්ධතා ප‍්‍රතිෂ්ඨාපනය කල නීතිරීති සම්ප‍්‍රදායන් හා ගැටීම නිසා ම නොනිදහසක් දැනේ. මේ වේදනාව දැනෙන්නෙකු බැවින් ඔහු විෂය කරා නැඹුරු වීමට සමත් වූවෙකි. මේ වනාහි හුදු පුද්ගලයෙකුට දැනුන සුඛදායක හෝ දුක්ඛදායක අත්දැකීමක් නො වේ.

සාමාජික මිනිසාගේ වෛෂයික ක‍්‍රියාකාරිත්වය ඔහුගේ චින්තනයෙන් හා අවබෝධයෙන් පමනක් නො ව ඓතිහාසිකව සැකසී එන හැඟීම්වලින් ද වෙන් කල නොහැකි බව ග‍්‍රන්ථය අවධාරනය කරයි. කලාකරුවා උත්තේජනය ලබන්නේ නිෂ්පාදන බලවේගයන් හා නිෂ්පාදන සම්බන්ධතා අතර ගැටුමෙන් ම ය. මෙම ගැටුම ප‍්‍රකාශයට පත් වන්නේ පන්ති අරගලය ලෙස ය. එනිසා ම බලවත් හැඟීම් ජනනය කරවීමේ දී කලාකරුවෝ පන්තිවල හා පන්ති කන්ඩායම්වල ඓතිහාසිකව සැකසී එන ප‍්‍රබල උවමනාවන් මත රැඳී සිටිති. ධනේශ්වර ක‍්‍රමය තුල දී නම් නිෂ්පාදන බලවේග ඉල්ලා සිටින සැබෑ මානුෂික අවශ්‍යතා, එනම් මානුෂික අවශ්‍යතාවල, හැකියාවල හා රුචිකත්වවල විශ්වව්‍යාපී භාවය ඉදිරිපත් කෙරෙන තාක් දුරට කලා නිර්මානය මිනිසාගේ විමුක්ති මාර්ගයේ බලයකි. නිෂ්පාදන සම්බන්ධතා කලාකරුවා මත්තේ තම පන්ති දෘෂ්ටිවාදයන් පටවන බව ද ඒවා කලා කෘති තුල විද්‍යමාන වන බව ද සත්‍ය ය. එහෙත් සෑම සම්භාව්‍ය කලා නිර්මානයක් ම ඥානනයේ සංක‍්‍රමනයක් ද නව හැඟීම් හා මනෝභාව වර්ධනය කරන්නක් ද වන්නේ ය. මාක්ස් පෙන්වා දෙන පරිදි කලාකරුවා ආත්මය සඳහා විෂයක් පමනක් නො ව විෂය සඳහා ආත්මයක් ද නිපදවන්නේ ය. ඉහත කී සන්තතිය කලා නිර්මානයට පාදක වන අයුරු විමර්ශනය කරමින් මාක්ස්ගෙන් මෙසේ උපුටා දක්වා ඇත:

"... මේ හේතු කොට ගෙන සාමාජික මිනිසාගේ ඉඳුරෝ අසාමාජික මිනිසාගේ ඉඳුරන්ගෙන් වෙනස් වෙති. ආත්මීය මානුෂික සූක්ෂ්මාත්මතාවේ ආඪ්‍යත්වය (සංගීත රසඥ කර්ණේන්ද්‍රිය, රූප සෞන්දර්යඥ චක්ෂුරේන්ද්‍රිය - සැකෙවින් කිව හොත්, මානුෂික ආහ්ලාදය වින්දනයෙහි සමත් ඉඳුරන්, මිනිසාගේ සාරභූත බලයන් ලෙස තුමූ ම තහවුරු වන්නා වූ ඉඳුරන්) වගා කෙරෙන්නේ හෝ මතු වී එන්නේ වෛෂයිකව ආවිස්තරණය කෙරුණු මිනිසාගේ සාරභූත සත්තාව මගින් පමණි. පංචේන්ද්‍රියන් පමණක් නො ව ඊනියා මනේන්ද්‍රියන්, (ඉච්ඡාව, ආලය යනාදි) ව්‍යවහාරික ඉන්ද්‍රියන්, එක් වචනයකින් කිව හොත්, මානුෂික ඉන්ද්‍රිය, එනම් ඉන්ද්‍රියන්ගේ මානුෂික ස්වභාවය උද්භව වන්නේ එහි විෂයේ බලයෙනි; මානුෂීකෘත ස්වභාව ධර්මයේ බලයෙනි. පංචේන්ද්‍රියන් සකස් වීම වනාහි වත්මන දක්වා දිවෙන ලෝකයේ මුළු මහත් ඉතිහාසයෙහි ශ‍්‍රමයකි” (34-35 පිටු, උපුටා ගැනීම:[Karl Marx, Economic and Philosophic Manuscripts of 1884,(1844 ආර්ථික හා දාර්ශනික අත්ලිපි යන කාල් මාක්ස්ගේ කෘතියෙනි) ප්‍රෝග්‍රෙස් පබ්ලිෂර්ස්, මොස්කව් 1977, 73-74පිටු.]

කලා විචාර කිරීමේ මාක්ස්වාදී ආස්ථානයන් ලියොන් ට්‍රොට්ස්කිගෙන් මෙසේ උපුටා දක්වයි:

"මාක්ස්වාදය කවියෙකු ප‍්‍රකාශ කරන චින්තාවන් හා හැඟීම් කරණ කොට ඔහුට කිසි සේත් ම ‘දෝෂාරෝපණය’ නො කරයි; එනමුත් ඊට වඩා අතිශයින් ම ගැඹුරු වැදගත්කම්වලින් යුතු ප‍්‍රශ්න මතු කරයි. ඒ ප‍්‍රශ්න නම් වසයෙන් සඳහන් කරත හොත්: දෙන ලද කලාත්මක කෘතියක් එහි සියලු සුවිශේෂතාවන්ගෙන් යුක්තව ගත් කල්හි කවර හැඟීම් පටිපාටියකට අනුරූප වන්නේ ද? මෙම චින්තාවන්ගේ හා හැඟීම්වල සාමාජික කොන්දේසි කවරේ ද? සමාජයක හා පන්තියක ඓතිහාසික වර්ධනයෙහි ලා ඒවා කවර ස්ථානයක් භජනය කරයි ද? තව ද නව ආකෘතිය ඔප් නංවා පරිපූර්ණ කිරීම තුළට කවර සාහිත්යික උරුමයක් ඇතුළු වී ඇත්තේ ද?

"නව හැඟීම් හා නව චින්තා සංකීර්ණයන් කාව්‍යමය විඤ්ඤාණයේ ක්ෂේත‍්‍රයෙන් වෙන් කොට තබන්නා වූ කටුව කඩා ගෙන එළියට විත් තිබෙන්නේ කවර ඓතිහාසික ආවේගයක බලපෑම යටතේ ද?” (44 පි; උපුටා ගැනීම: සාහිත්‍යය හා විප්ලවය යන ලියොන් ට්‍රොට්ස්කිගේ කෘතියෙනි).

ධනේශ්වර සුවිශේෂ නිෂ්පාදන විධිය මාක්ස්ගේ ඉගැන්වීම් මත විමර්ශනයට ලක් කරමින් ග‍්‍රන්ථය මෙසේ අවධාරනය කරයි:

"ප‍්‍රථම කොට මෙම ආත්මසාත්කරණය නිර්ණය කරනු ලබන්නේ ආත්මසාත් කළ යුතු විෂය වන නිෂ්පාදන බලවේග විසිනි....

"දෙවනුව, එය නිර්ණය කරනු ලබන්නේ ආත්මසාත් කරන පුද්ගලයන් විසිනි. නිෂ්පාදන බලවේග සමස්තය ආත්මසාත්කරණයෙන් සමන්විත වන පරිපූර්ණ වූත් සකල සීමාබන්ධනයන්ගෙන් විනිර්මුක්ත වූත් ස්වයං-ක‍්‍රියාකාරිත්වය අත්පත් කර ගැනීමෙහි සමත් වත්මන් සමාජයේ සිටින එක ම විප්ලවවාදී පන්තිය නම් නිෂ්පාදන බලවේගවල හිමිකමින් වියෝ කෙරී ස්වයං-ක‍්‍රියාකාරිත්වයෙන් ¥රීභූත කෙරී සිටින්නා වූ නිර්ධන පන්තිය යි.

"මාක්ස්ට අනුව, නිර්ධන පන්තිය නිෂ්පාදන බලවේගයන්ගේ අතිමහත් වර්ධනයේ ම ගම්‍යය වන ලෝක ඓතිහාසික පැවැත්මකින් යුත් බලවේගය යි. සකල සුවිශේෂත්වයෙන් වියෝ කෙරුණු ශ‍්‍රම ක‍්‍රියාකාරිත්වයට කැඳවනු ලැබූ එය බිහි විය හැක්කේ ලෝක පරිමාණ ශ‍්‍රම විභජනය හා ලෝක වෙළඳ පොළ යන පූර්ව කොන්දේසි මත පමණකි; එනම්, නිෂ්පාදනය පුද්ගල, ප‍්‍රාදේශීය හා ජාතික සීමා ඉක්මවා සමාජමය වීමේ ප‍්‍රතිඵල වසයෙන් පමණකි.

"ආත්මසාත්කරණ විධියෙන් එය තව දුරටත් නිර්ණය වෙයි. මෙම ආත්මසාත්කරණය අත්පත් කර ගත හැක්කේ නිර්ධන පන්තියේ ස්වභාවයෙන් ම සාර්වත‍්‍රික වන්නා වූ එකමුතුවක් හරහා සිදු කරනු ලබන සමාජ විප්ලවයකින් පමණි...” (16-17 පිටු; උපුටා ගැනීම:([Karl Marx and Frederick Engels, Selected Works, (ප්‍රෝග්‍රෙස් පබ්ලිෂර්ස්, 1969, වෙලූම 1, පිටු 37, 74-75)].

විද්‍යා උරුමය මෙන් ම කලා උරුමය ද විෂය ආත්මසාත්කරනයෙහි සුවිශේෂ විධීන් ලෙස ක‍්‍රියාත්මක වුවත් නිෂ්පාදන බලවේගයන්හි ද නිර්මානාත්මක බලශක්තීන්හි ද අංශයක් බව අපෝහක භෞතිකවාදය තහවුරු කරයි. ධනවාදයේ මාරක අර්බුදය උග‍්‍ර වත් ම සියලූ ම නිෂ්පාදන බලවේග ධනපති නිෂ්පාදන සබඳතා සමග ප‍්‍රචන්ඩව ගැටෙත් ම නිෂ්පාදන බලවේගයන්ගේ මෙම ගැටීමට සාහිත්‍ය-කලාවන් ද බද්ධ වීම වැලැක්විය නොහැකි ය. ග‍්‍රන්ථය මෙසේ අවධාරනය කරයි:

"ධනවාදය ලෝක ශ‍්‍රම විභජනයක් හා ලෝක වෙළඳ පොළක් මතු නො ව සත්තකින් ම ලෝක සාහිත්‍යයක් හා කලාවක් ද නිපදවී ය. ඒ සමග ම මේ ලෝක එකමුතුව ධනවාදය යටතේ තම ප‍්‍රතිපක්ෂය සමග යෙදී සිටින මාරක අරගලයක් ලෙසින් විනා ග‍්‍රහණය කළ නො හැකි ය: ම්ලේච්ඡුතම මට්ටම් කරා උත්සන්න කරනු ලබන ජාතික පීඩනය, වෙළඳ හා ආයෝජන බිම් සඳහා අධිරාජ්‍යවාදීන් අතර සිදු වන කුරිරු තරග හා යුද්ධ, කම්කරු පන්තිය හා ගොවි ජනතාව තම නිෂ්පාදිතයේ ප‍්‍රතිඵලවලින් බලාත්කාරයෙන් ඈත් කර තැබීම හා අනෙක් අතට පුද්ගලයාගේ නිදහස මෙම සමස්තයෙන් පරිබාහිර ය යන මායාව නිපදවීම සරච්චන්ද්‍ර නො දක්නා ඒ අනෙක් පැත්ත යි. මානුෂික අවශ්‍යතාවල, හැකියාවල හා රුචිකත්වවල විශ්වව්‍යාපී භාවය සාක්ෂාත් වීමට මේ දෙවනු කී සියල්ල බාධකව සිටී. ඒ නිසා ම විශ්ව රුචිකත්වය මෙකී භේදයන්ට හා බන්ධනයන්ට එරෙහි අරගලයක් ලෙස මිස වෙනත් ආකාරයකට ග‍්‍රහණය කළ නො හැකි ය. එසේ නම් මේ යුගයේ සාහිත්‍ය-කලාවන් අගය කිරීමේ මිම්ම බවට පත් වන්නේ මෙම ප‍්‍රතිවිරෝධය ජය ගැනීමටත් එමගින් මානුෂික පරිපූර්ණත්වය හා සුසංවාදය සාක්ෂාත් කර ගැනීමටත් මිනිස් වර්ගයාට පවත්නා උවමනාව හා ඒ සඳහා ඔවුන් ම දරන ප‍්‍රයත්නය නො වේ ද? මෙලෙසින් ලෝක විප්ලවය ම සාහිත්‍ය-කලාවන් විචාරය කිරීමේත් ඒවා ම මිනිසා සඳහා උපුටා ගැනීමේත් එක ම මානය බවට පත් නො වන්නේ ද?” (113-14 පිටු).

ලෝක ධනවාදයේ මාරක අර්බුදය මධ්‍යයේ දී කම්කරුවන්, ගොවියන්, තරුනයන්, පීඩිත ජාතීන් හා බුද්ධිමත්තු ධනවාදයේ සෑම අංශයකට ම අභියෝග කිරීමට පෙරට පැමින සිටිති. සමස්ත මානව සංස්කෘතිය ම වනසා දමා හෝ පුද්ගලික දේපොල ආධිපත්‍යය රැක ගැනීමට ධනපති පන්තිය දරන වියරු තැත උත්සන්න වත් ම කම්කරු පන්තියේ වෛෂයික අවශ්‍යතාව දැනුවත්ව ප‍්‍රකාශයට පත් කරන්නා වූ මාක්ස්වාදයෙන් ද නිර්ධන පන්ති විප්ලවයෙන් ද කලාව හා සංස්කෘතිය බේරා ගැනීමට දරන තැත උත්සන්න මට්ටම්වලට නැගී ඇත. විඤ්ඤානවාදී යථානුභූතවාදයේ කාර්ය භාරය බවට පත්ව ඇත්තේ එය යි. එහෙයින් ම ග‍්‍රන්ථය මෙසේ ප‍්‍රශ්න කරයි:

"... එහෙත් කලාව මානව වර්ගයාගේ විමුක්ති අරගලයට නිරවශේෂයෙන් ම ආබද්ධ ය යන සංකල්පය දරන්නා වූ ද එය මානව වර්ගයාගේ සකලවිධ විමුක්ති අරගලයෙන් පරිබාහිර ය යන සංකල්පය දරන්නා වූ ද කඳවුරු දෙක අතර කවර හෝ සම්මුතියක්, සහජීවනයක් කෙසේ නම් පැවතිය හැක්කේ ද?”. (11 පි.)

ධනවාදය අර්බුදයේ අගාධය කරා ම පැමින ඇති වත්මන් අවස්ථාවේ දී ධනවාදයට එරෙහිව සෑම ක්ෂේත‍්‍රයක ම නැගී සිටින කම්කරු පන්තිය ප‍්‍රමුඛ සියලු සමාජ කන්ඩායම් කම්කරු පන්තියේ වෛෂයික අවශ්‍යතාව දැනුවත්ව ප‍්‍රකාශයට පත් කරන්නා වූ මාක්ස්ගේ විද්‍යාත්මක ලෝක දෘෂ්ටිය වන අපෝහක භෞතිකවාදයෙන් සන්නද්ධ කිරීම ග‍්‍රන්ථයේ ඒකායන අරමුන බව පැහැදිලි ය. සියලූ විප්ලවවාදීන් මෙම ග‍්‍රන්ථය ද එහි දී අවධාරනයට ලක් කෙරෙන මාක්ස්ගේ කෘතීන් ද අධ්‍යයනය කරමින් විද්‍යාත්මක මාක්ස්වාදයෙන් සන්නද්ධ විය යුතු ය.

ආර්ථික හා දේශපාලන පෙරමුනුවල පමනක් නො ව න්‍යායික පෙරමුනෙහි ද පන්ති සටන ගෙන යාම වරෙක එංගල්ස් හඳුන්වා දුන්නේ ය. එහි දී එංගල්ස් අවධාරනය කරන්නේ ධනේශ්වර ක‍්‍රමය පෙරලා දමා සැබෑ නිෂ්පාදකයා වන කම්කරු පන්තිය ට තමන්ගෙන් පරත්වාරෝපිත කර ඇත්තා වූ නිෂ්පාදන ක‍්‍රියාකාරිත්වය හා නිෂ්පාදන බලවේග ආත්මසාත් කර ගැනීම සඳහා නායකත්වය දීමේ දී ඊට සතුරුව මතු වන්නා වූ ධනේශ්වර දෘෂ්ටිවාදයේ ප‍්‍රවනතාවන්ට එරෙහිව කල යුතු න්‍යායික අරගලය සම්බන්ධව ම ය. මෙහි අවසානයට එංගල්ස්ගේ පාඨයක් උපුටා දැක්වීම උචිත ය:

"සියලු ම න්‍යායික ප‍්‍රශ්න සම්බන්ධයෙන් වඩ වඩාත් පැහැදිලි විනිවිද දක්නා අවබෝධයක් ලබා ගැනීමත් පැරනි ලෝකාවබෝධයෙන් උරුම කොට දෙන ලද්දා වූ සාම්ප‍්‍රදායික අදහස්වල බලපෑමෙන් තමන් වඩ වඩාත් නිදහස් වීමත් සමාජවාදය විද්‍යාවක් බවට පත්ව ඇති නිසා එය විද්‍යාවක් සේ ක‍්‍රියාවට නැගිය යුතු, එනම් අධ්‍යයනය කල යුතු බව නිතර ම සිත්හි දරා ගෙන සිටීමත් නායකයන්ගේ විශේෂ යුතුකම වන්නේ ය.”

Share this article: