ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් පිලිබඳ එක්සත් ජනපදයේ හඬ තැලීම තීව‍්‍ර කරයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි , 2013 දෙසැම්බර් 21

එලඹෙන මාර්තු මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරෙන එහි වාර්තාව ගැන විවේචනාත්මක තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීම පිලිබඳව සාකච්ඡාවන් සිදුවෙමින් පවතින තතු තුල ඔබාමා ආන්ඩුව විසින් "මානව හිමිකම්” පාදක කර ගෙන ශ‍්‍රී ලංකාව මත යොදන පීඩනය තීව‍්‍ර කරමින් තිබේ. කොලඹ ආන්ඩුව බටහිර රටවල් සමග වඩාත් දැඩිව පෙල ගස්වා ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිලිබඳව සෝදිසි කිරීමේ තර්ජනය එක්සත් ජනපදය හා එහි සගයන් විසින් උපයෝගී කරගනිමින් සිටියි.

එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් ශ‍්‍රී ලංකාව ගැන යෝජනා දෙකක් දැනටමත් ඉදිරිපත් කර තිබේ. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ මිලිටරි පරාජයෙන් 2009 කෙලවර වූ දිවයිනේ දිග්ගැස්සුන යුද්ධයේ ප‍්‍රතිවිපාක සොයා බැලීමට පත් කල උගත් පාඩම් හා සංහිඳියා (එල්එල්ආර්සී) කොමිසමේ නිර්දේශයන් ක‍්‍රියාවට දමන ලෙස මාර්තු මාසයේ සම්මත කල යෝජනාව මගින් කොලඹ ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ ය.

ශ‍්‍රී ලංකා ආන්ඩුව සහ මිලිටරිය සිදුකල යුද අපරාධවලට සුදුහුනු ගෑමේ රැවටිල්ලක් වූ එල්එල්ආර්සී වාර්තාව තවමත් ක‍්‍රියාවට දමා නැති සීමිත යෝජනා ඉදිරිපත් කලේ ය. බහුතරය සිවිල් වැසියන් වූ 40,000 ජනයා යුද්ධයේ අවසන් සතිවල දී මියගිය බව එක්සත් ජාතීන්ගේ අධ්‍යයනයකින් තක්සේරු කර ඇත.

රට තුල මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය නිසි පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් සහ ඔහුගේ ආන්ඩුවෙන් ඉල්ලා සිටින ප‍්‍රකාස පසුගිය දින කිහිපය තුල දී එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප‍්‍රකාශිකා මාරී හාෆ් විසින් නිකුත් කරනු ලැබ ඇත.

"මේ සම්බන්ධයෙන් නිසි ප‍්‍රගතියක් නැතිනම්” ජාත්‍යන්තර ප‍්‍රජාවගේ ඉවසීම "වියැකී යාමට” පටන් ගනු ඇතැයි බිශ්වාල් දෙසැම්බර් 4 ඇඟවූයේය. මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන වගවීම සහ නීතියේ පාලනය ඛාදනය වීම, ආගමික සුලුතරයන්ට එරෙහි ප‍්‍රචන්ඩත්වය හා මාධ්‍ය නිදහසට බාදා පැමිනවීම ගැන සැලකිලිමත්වීම දිගටම පවත්වාගෙන යන බව ඉන් දින දෙකකට පසු හාෆ් ප‍්‍රකාශ කලා ය.

එක්සත් ජනපද විදේශ සම්බන්ධතා කාර්ය මන්ඩල සාමාජික ඬේමියන් මර්ෆි පසුගිය සතියේ ශ‍්‍රී ලංකාවට පැමිනියේ ය. සන්ඬේ ටයිම්ස් වාර්තාවට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා නව යෝජනාවක් සැකසීම සම්බන්ධව ඔහු සහ ඇමරිකානු නිලධාරීන් ආන්ඩුවේ නිලධාරීන් සහ දෙමල නායකයන් සමග පුලුල් පරාසයක සාකච්චා පැවත් වූයේ ය.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිලිබඳව තමන්ගේම ස්වාධීන හා විශ්වසනීය පරීක්ෂනයක් කිරීමට ශ‍්‍රී ලංකා ආන්ඩුව අසමත් වුවහොත් එක්සත් ජාතීන්ගේ නව යෝජනාවක් සඳහා එක්සත් රාජධානියත් පීඩනය යෙදීමේ හැකියාව ඇති බවට බි‍්‍රතාන්‍ය විදේශ හා පොදුරාජ්‍ය මන්ඩල කාර්යාලයේ ඇමති හියුගෝ සුවිරේ මේ සතියේ සඳහන් කලේ ය. එල්එල්ආර්සී යෝජනා සම්පුර්නයෙන් ක‍්‍රියාවට දැමීමට අසමත් වුවහොත් එක්සත් ජාතීන්ගේ පුර්න පරීක්ෂනයක් පවත්වන බවට තර්ජනය කරන යෝජනාවක් පසුගිය සතියේ යුරෝපීය පාර්ලිමේන්තුව සම්මත කලේ ය.

ලංකාව සම්බන්ධ ජපාන විශේෂ නියෝජිත යසුසි අකාෂි පසුගිය සිකුරාදා (13) සිය සංචාරය නිමාකලේ එල්එල්ආර්සී නිර්දේශ ක‍්‍රියාවට දැමීම සම්බන්ධව ආන්ඩුවේ ප‍්‍රමාදය ගැන ජාත්‍යන්තර උත්සුකයන් පවතින බවට මාධ්‍යවලට ප‍්‍රකාශයක් කරමිනි. "කොමිෂන් පත් කිරීමට ශ‍්‍රී ලංකා ආන්ඩුව බොහෝ කාලයක් ගැනීම හා කිසිදු ක‍්‍රියා මාර්ගයක් නො ගෙන පසුව ඒවා හමස් පෙට්ටියට දැමීම ගැන මතයක් ඇත” යි ඔහු කීවේ ය. "ජාත්‍යන්තර ප‍්‍රජාවට” ඇහුම්කන්දීම සමීප සහයෝගීතාවය සඳහා "පූර්ව කොන්දේසියක්” බවට අකාශි අනතුරු ඇඟ වී ය.

එල්ටීටීඊය ට එරෙහි රාජපක්ෂ ආන්ඩුවේ යුද්ධයට සහයෝගය දුන් සහ අන්තිම සති කිහිපය දක්වා ම එහි යුද අපරාධ වසන් කල එක්සත් ජනපදය සහ එහි සගයන්ගේ "මානව හිමිකම්” පිලිබඳ උද්ඝෝෂනය මුලුමින් ම කුහක ය. ඇෆ්ගනිස්තානය, ඉරාකය, ලිබියාව සහ සිරියාව තුල නීතිවිරෝධී හා කොල්ලකාරී යුද්ධ යුක්තිසහගත කිරීම සඳහා එක්සත් ජනපදය "මානව හිමිකම්” ගසා කා ඇති ලෙස ම ශ‍්‍රී ලංකාව තුල අධිරාජ්‍යවාදී වුවමනාවන් ලුහුබැඳීමට ද එම ව්‍යාජ බැනරය ම යොදා ගනු ලබයි.

වොෂින්ටනය ශ‍්‍රී ලංකාව කෙරෙහි යොමුවෙමින් සිටින්නේ කලාපය තුල චීනයේ බලපෑමට වලකැපීම සහ චීනයට එරෙහි මිලිටරි වටලෑමක් ඉලක්ක කර ගත් ඔබාමාගේ "ආසියාවට හැරීමේ” කොටසක් ලෙස ය. එක්සත් ජනපදය ශ‍්‍රී ලංකා මිලිටරියේ දුෂ්ට ක‍්‍රියාවන් ගැන ඇඟිල්ල දිගුකිරීමට පටන් ගත්තේ යුද්ධය අවසන් වෙමින් තිබිය දී පමනි. එය ඇත්ත වසයෙන් ම සැලකිලිමත් වන්නේ යුද්ධය කාලපරිච්චේදයේ රාජපක්ෂ ආන්ඩුවට මිලිටරි හා මුල්‍ය ආධාර සැපයීම මගින් චීනය කොලඹ ආන්ඩුව මත එහි ග‍්‍රහනය ශක්තිමත් කරගෙන තිබීම කෙරෙහි ය.

පසුගිය මාසයේ "ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඊලඟට කුමක් ද - ප‍්‍රගතිය ද ආපස්සට යාම ද - සහ එක්සත් ජනපද ශ‍්‍රී ලංකා සම්බන්ධතා?” මැයෙන් සාකච්චා සභාවක් පැවැත් වූ වාර්ගික හා ආගමික නිදහස පිලිබඳ එක්සත් ජනපද කොන්ග‍්‍රස් කන්ඩායම ද්විපාර්ශවීය මූලිකත්වයක් ගෙන ඇත. ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ හිටපු ඇමරිකානු තානාපති ඈෂ්ලි විල්ස්, දක්ෂිනාංශික බුද්ධි මන්ඩලයක් වූ හෙරිටේජ් ෆවුන්ඬේෂන් සංවිධානයේ ලීසා කර්ටිස් සාකච්චා සභාවට ඇතුලත් වූහ.

සාකච්චා සභාවට ආරාධනය කරමින් යැවූ ලිපිය තුල "වාර්ගික හා ආගමික සුලුතරයන්ට සලකන ආකාරය ගැන දිගට ම සැලකිලිමත් වන බව” සටහන් කර තිබූ නමුත් අවධානය යොමු කර තිබුනේ "ශ‍්‍රී ලංකාව තුල ස්ථාවරත්වයට වලකැපීමට තර්ජනය කරන අසහනකාරී දේශපාලන ප‍්‍රවනතා පිලිබඳ පුලුල් සන්දර්භයක් මෙන් ම සමවබෝධී, ප‍්‍රගතිශීලී එක්සත් ජනපද-ශ‍්‍රී ලංකා හවුලක්” කෙරෙහි ය.

රොයිටර් වාර්තාකල ආකාරයට 2009 සිට ශ‍්‍රී ලංකා- එක්සත් ජනපද සම්බන්ධතා "පහතට හැරුනු සර්පිලාකාර” හැඩයක් ගෙන ඇති හෙයින් එම ප‍්‍රවනතාවය ආපසු හැරවීම සඳහා "කැරට් අලය සහ කෙවිටේ” සංයෝජනයක් භාවිතා කරන ලෙස කර්ටිස් එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියා ය. විශේෂයෙන් ම දිවයින සාගරයෙහි මුලෝපායාත්මක තැනක පිහිටා තිබීම හා චීනය විසින් වඩ වඩා පෙම් බැඳීම නිසා ශ‍්‍රී ලංකාව ගැන සැලකිලිමත් වීමේ වැදගත් මූලෝපායාත්මක හේතු ඇත” යි ඇය ලිවී ය.

ශ‍්‍රී ලංකාවේ යුද්ධය අවසන් වී යන්තම් මාස කිහිපයක් ගත වූ තැන, 2009 දෙසැම්බර් මාසයේ නිකුත් කල ලියවිල්ලක එම පනිවුඩය ම සටහන් කර තිබුනි. එවකට සෙනෙට් සභාවේ විදේශ සම්බන්ධතා කමිටුවේ සභාපති වූ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී දිවයින තුල එක්සත් ජනපදයේ උත්සුකතාවයන් පිලිබඳ විමර්ශන ලේඛනයක සමකතෘත්වය දැරුවේ ය. කොලඹ ආන්ඩුව මත චීනයේ වැඩෙන ආනුභාවය හා ඉන්දියානු සාගරයේ වැදගත් මුහුදු මාර්ග ආසන්නයේ දිවයින පිහිටා තිබීමේ මූලෝපායාත්මක වැදගත්කම ගැන සඳහන් කිරීමෙන් පසුව ලේඛනය අවසන් කෙරුනේ "එක්සත් ජනපදයට ශ‍්‍රී ලංකාව අහිමි කර ගත නොහැකි” බව සඳහන් කරමින් හා එය ස්ථීරසාර ලෙස එක්සත් ජනපද කක්ෂය තුලට ගෙන ඒමට යෝජනා කරමිනි.

එක්සත් ජනපද "මානව හිමිකම්” උද්ඝෝෂනයට එරෙහිව චීනය දිගට ම ශ‍්‍රී ලංකාවට සහයෝගය දී ඇත. චීනය "ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික ඒකාබද්ධතාවය ආරක්ෂා කර ගැනීමේ ශ‍්‍රී ලංකා ආන්ඩුවේ උත්සාහයට සහයෝගය දෙන” බවට කොලඹ චීන තානාපති කාර්යාලය මෑත දී ප‍්‍රකාශයක් නිකුත් කලේ ය. "ප‍්‍රශ්නය සංකීර්න විය හැකි පියවර ගන්නවා වෙනුවට ජාත්‍යන්තර ප‍්‍රජාව” මානව හිමිකම් පිලිබඳ ගැටලුවලට අමන්ත‍්‍රනය කිරීමේ දී ශ‍්‍රී ලංකාවට තමන්ගේ ම මාවතක් තෝරා ගැනීමට ඉඩ යුතු බව එහි වැඩි දුරටත් සඳහන් විය.

පසුගිය සිව් වසර තුල රාජපක්ෂ ආන්ඩුව ඩොලර් බිලියන හතරක ව්‍යාපෘතීන් චීන සමාගම්වලට පවරා ඇත. චීනයෙන් ඩොලර් බිලියන 1.3 සහිත බිලියන 2 ක් වටිනා ආයෝජනවලට මෙම වසර අවසන් වීමට පෙර ආන්ඩුව අත්සන් කරන බව ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් අබේවර්ධන පසුගිය මාසයේ ප‍්‍රකාශ කෙලේ ය.

"රට යායුතු දිසාව තීරනය කිරීමේ හැකියාව ඇත්තේ හා තීන්දු කල යුත්තේ ශ‍්‍රී ලංකාව විසින් මිස වෙනත් රටක් නොවේ. තර්ජන හා බිය ගැන්වීම් තිබුනත් කිසියම් ම ආකාරයකින් එම වගකීම වෙනත් රටකට පැවරීමට ආන්ඩුව සූදානම් නැති” බව ශ‍්‍රී ලංකාවේ විදේශ ඇමති පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කලේ ය.

කෙසේවූව ද චීනයට එරෙහි "හැරීමේ” එහි ආක‍්‍රමනශීලී පිලිවෙත සමග පෙලගස්වා ගැනීමේ සඳහා ආසියාව පුරා රටවල් මත යොදන පීඩනය ඔබාමා ආන්ඩුව විසින් තීව‍්‍ර කරන තතු තුල රාජපක්ෂ ආන්ඩුවේ උපාමාරු දැමීමේ ඉඩකඩ වඩ වඩා පටු වී තිබේ. තමන් වොෂින්ටනයේ මූලෝපායාත්මක ඉල්ලීම්වලට අවනත නොවුනොත් රාජපක්ෂ සහ සෙසු දේශපාලන සහ මිලිටරි නායකයන් යුද අපරාධ නඩුවල ඉලක්කයන් බවට පත් වීමේ ඉමහත් තර්ජනයට ශ‍්‍රී ලංකාව මුහුන දෙයි.

Share this article: