ශී‍්‍ර ලංකාවේ යාපනය රෝහලේ ස්වේච්ඡා සේවකයෝ සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා වැඩවරති

யாழ்ப்பாண வைத்தியசாலை தொண்டர் ஊழியர்கள் நிரந்தர நியமனத்துக்காக போராடுகின்றனர்

අපගේ වාර්තාකරුවන් විසිනි, 2013 දෙසැම්බර් 24

යුද ව්‍යසනයට ලක්ව ඇති උතුරු පලාතේ යාපනය ශික්ෂන රෝහලෙහි ස්වේච්ඡා උපස්ථායක කම්කරුවෝ දෙසැම්බර් 12දා සිට ස්ථීර රැකියා ඉල්ලා වැඩවර්ජනයක නිරතව සිටිති. ආන්ඩුවේ කොටස්කාර පක්ෂයක් වන ඊලම් ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (ඊපීඩීපී) වර්ජනය කඩාකප්පල් කිරීමට උත්සාහ කල ද කම්කරුවෝ තමන් නිරතව සිටින සාධාරන අරගලය දිගට ම ගෙන යාමට අදිටන් කරගෙන සිටින බව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට පැවසූහ.

වර්ජනයේ යෙදුනු කම්කරුවෝ රෝහල්භූමිය තුල වාඩිලාගෙන සිටිති

ස්වේච්ඡා සේවකයින් 243 දෙනාම වැඩ වර්ජනය කර සිටිති. ජාත්‍යන්තර රතු කුරුස කමිටුව හා ශාන්ත ජෝන් ගිලන් රථ සේවය හරහා බඳවා ගැනුනු ඔවුහු පසුගිය වසර හය පුරා රෝහල් සේවයේ නියුක්තව සිටිති. තම සේවය ස්ථීර කරන තෙක් නව බඳවා ගැනීම් නො කරන ලෙසත් අනෙකුත් ස්ථීර කම්කරුවන්ට ගෙවන වැටුප තමන්ට ද ගෙවන ලෙසත් ඔවුහු ඉල්ලති.

මොවුන් දුපප්පත් පවුල්වලට අයත් කම්කරුවන්ය. ඔවුන් අතර තරුන තරුනියන්, යුද්ධයෙන් වැන්දඹු බවට පත් කතුන් හා ස්වාමි පුරුෂයන් හෝ පවුල් විසින් අත්හැර දමන ලද කාන්තාවෝ සිටිති. යුද කාලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම තනතුරුවල පුරප්පාඩු පිරවූයේ නැත. ඒ කාලයේ පාලකයන් රෝහලේ සේවා පවත්වාගෙන ගියේ මෙම කම්කරුවන්ගේ උදවුවෙනි. කලින් වතාවල පුරප්පාඩු පුරවන විට අමාත්‍යාංශය මෙම කම්කරුවන්ට ප‍්‍රමුඛතාව දුන්නේය.

පසුගිය වසර හය පුරා මෙම සේවකයෝ සොච්චම් වැටුපකට සේවය කලහ. ආරම්භයේ දී ඔවුන්ට ගෙවන ලද්දේ රුපියල් 75ක දෛනික වැටුපක් පමනි. එය රුපියල් 175 දක්වා වැඩි කරන ලද්දේ දැනට යන්තම් වසර දෙකකට පෙර දීය. එම වැටුප දෛනික වියහියදම්වලටවත් ප‍්‍රමානවත් නො වුන ද ඔවුන් එතරම් දීර්ඝ කාලයක් ඉවසිලිවන්තව සිටියේ සිය සේවය ස්ථීර කරතැයි යන අපේක්ෂාවෙනි.

එහෙත් ස්ථීර රැකියා දීම සඳහා බලධාරීන් මෑතකදී සම්මුඛ පරීක්ෂන පැවැත්වූ අවස්ථාවේ මෙම කම්කරුවන් අතුරින් සේවයට බඳවා ගනු ලබන්නේ සාමාන්‍ය පෙල සමතුන් පමනක් බව කියන ලදී. පිටස්තරින් පුද්ගලයින් බඳවා ගැනීම සඳහා සිය දේශපාලන බලපෑම පාවිච්චි කරමින් ඊපීඩීපීය මෙම නිර්නායකය යෝජනා කර තිබේ.

මෙම තනතුරට බඳවා ගැනීම සඳහා කලින් තිබුනු සුදුසුකම වූයේ 8වන ශ්‍රේනිය සමත් වීම යි. දැන් බලධාරීහු සාමාන්‍ය පෙල සහතිකය ඉල්ලති. මෙම කම්කරුවන් අතරින් බොහෝ දෙනා සාමාන්‍ය පෙල සමතුන් ය. සියලු කම්කරුවන්ට වසර හයක සේවා පලපුරුද්ද තිබේ. ඔවුන් කම්කරුවන් සොච්චම් වැටුපකට වැඩ කරද්දී තමන් මහජනයාට විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් සම්පාදනය කරන්නේ යයි බලධාරීහු පුරාජේරු දොඩති. දැන් ඔවුන් දේශපාලන හේතූන් මත සේවයෙන් ඉවත් කිරීමට හා වෙනස්කම් කිරීමට ගොදුරු කර ඇත.

යාපන අර්ධද්වීපයේ පිහිටි ප‍්‍රධානතම රෝහල යාපනය ශික්ෂන රෝහල යි. යාපනය රෝහලේ පවතින දුෂ්කර කොන්දේසි තුල ස්වේච්චා කම්කරුවන් අඩු වැටුපකට දිගටම තබා ගැනීමේ හා ඔවුන්ගේ රැකියා කපා දැමීමේ සැලසුමකින් බලධාරියෝ කි‍්‍රයා කරති. එහි දැනට පවතින තත්වය පෙන්නුම් කරන්නේ බලධාරීන් ස්වේච්ඡා සේවකයන් නොසලකාහැර ඇත්තේ හා ඔවුන්ට නින්දිත ලෙස සලකන්නේ සොච්චම් වැටුප් මත ඔවුන් තවදුරටත් තබා ගැනීමේ බලාපොරොත්තුවෙන් බවයි. හෙදහෙදියන් 1,300ක් මෙම රෝහලට අවශ්‍ය කලත් සිටින්නේ 600ක් පමනි. හෙද හිඟය නිසා අලුතෙන් පිහිටුවන ලද ශල්‍යාගාර තුන අකර්මන්‍යව පවතී. ලෝසවෙඅ වාර්තාකරුවන් වෙත අදහස් දැක්වූ එක් සෞඛ්‍ය නිලධාරියෙක් පැවසුවේ හෘද රෝග විශේෂඥයන් දෙදෙනෙක් සිටියත් හෙද හිඟය හේතුවෙන් ඔවුන්ගේ වාට්ටු නිසි පරිදි සංවිධානය වී නොමැති බව යි. v

ඔහු වැඩි දුරටත් මෙසේ පැවසීය: “යාපනය දිස්ති‍්‍රක්කයේ අනෙකුත් රෝහල්වල පහසුකම් අඩුකම නිසා බොහෝ දෙනා මේ රෝහලට එනවා. ඒ නිසා මෙහි තදබදය තිබෙනවා. රෝගීන් කොරිඩෝර දිගේ වැතිරී සිටින ආකාරය ඔබට දැකගත හැකියි. අපට ඇති තරම් ඖෂධ වර්ග ද නැහැ. මේ දැන් වුනත් ඖෂධ සඳහා දෛනිකව රුපියල් 2,000ක් වියදම් කරන 10 වෙනි වාට්ටුවේ ඉන්න රෝගියෙක් ගැන මා දන්නවා.

“යුද්ධය පැවති අවධියේ ස්වේච්ඡා සේවකයින් විශිෂ්ට සේවයක් කලා. ඔවුන් රෝගීන් රැගෙන තරප්පු පේලි දිගේ උඩ තට්ටුවලට නැග්ගා.”

තම කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට මෙම ස්වේච්ඡා සේවකයන් අවශ්‍ය බව එක් හෙදියක් කීවා ය. “අපට උදවු වන ඒ අය කැපවෙලා වැඩ කරනවා. දොස්තර කෙනෙක් රෝගියෙකු රැගත් පුටුවක් තල්ලු කරගෙන යනවා අද මම දැක්කා. කල් මරන්නේ නැතිව ආන්ඩුව ඒගොල්ලන්ගෙ ඉල්ලීම් දෙන්න ඕන.”

වෛද්‍යවරු, හෙද හෙදියෝ හා අනෙකුත් ස්ථීර කම්කරුවෝ වර්ජනයට සහාය දක්වති. ඔවුහු මෙම සේවකයන්ට සහාය පිනිස එක් දින වැඩ වර්ජනයක ද නිරත වූහ. ආන්ඩුව හා එහි කොටස්කාර ඊපීඩීපීය වර්ජනය කඩාකප්පල් කිරීමට උත්සාහ කරති. පැරා මිලිටරි කටයුතු හා මැර වැඩ පිලිබඳව කුප‍්‍රකට ඊපීඩීපීය සේවකයන් කිහිප දෙනෙකු ඔවුන්ගේ කාර්යාලයට කැඳවා තර්ජනය කලහ.

එක් ප‍්‍රාදේශීය ඊපීඩීපී නායකයෙක් මෙසේ කීවේ ය: “සාමාන්‍ය පෙල පාස් අයට විතරයි ස්ථීර රස්සාවල් දෙන්නෙ. තමුසෙලා ඒකට ඇහුම්කන් දෙන්නෙ නැත්නම් අපි තමුසෙලාව හමුදාවයි පොලිසියයි ගෙන්නල එලියට ඇදල දාල අලුත් අය වැඩට ගන්නවා.” සේවකයන්ගේ වර්ජනය ප‍්‍රචන්ඩ ලෙස මර්දනය කිරීමට ඊපීඩීපීය සූදානම් වන බව මෙයින් පෙන්නුම් කෙරේ.

ආන්ඩු පක්ෂයට සම්බන්ධ ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමය කම්කරුවන්ට කීවේ තමන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබා දී වර්ජනය අවසන් කිරීමට කටයුතු කරන බව යි.

ප‍්‍රධාන දෙමල ධනේශ්වර පක්ෂය වන දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) වර්ජිත කම්කරුවන් මුනගැසීමට පැමින නොතිබීම කැපී පෙනෙන කාරනයකි. වර්ජනය පිලිබඳව ටීඑන්ඒය මුනිවත රැකීම පුදුමයක් නො වේ. පාර්ලිමේන්තුවේ ද මන්තී‍්‍රවරුන් සිටින ටීඑන්ඒය උතුරු පලාත් සභාව පාලනය කරයි. අධිරාජ්‍යවාදයට හිතැති පක්ෂයක් වන එය දෙමල ප‍්‍රභූවට වැඩි බලතල ලබා ගැනීම සඳහා අධිරාජ්‍යවාදී රටවල හා ඉන්දියාවේ සහාය පතයි.

යාපන රෝහල් කම්කරුවන් මර්දනය කිරීම අනෙකුත් ප‍්‍රදේශවල සෞඛ්‍ය කම්කරුවන් ද මුහුන දෙන නරකම කොන්දේසි පිලිබඳ දර්ශකයකි. සේවය ස්ථීර නො කල උපස්ථායක සේවකයන් හා කම්කරුවන් දහස් ගනනක් රටපුරා සිටිති. ඔවුන්ගෙන් සමහරෙක් ස්ථීර සේවයට අන්තර්ග‍්‍රහනය කොට ඇතත් අනෙක් අය කොන්ත‍්‍රාත් පදනමේ සිටිති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග පරිදි සිදු කරන සමාජ සේවා සඳහා අයවැය ප‍්‍රතිපාදන කප්පාදුවේ කොටසක් ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව සෞඛ්‍ය වියදම් කපමින් සිටී. ලෝකයේ අනෙක් රටවල මෙන්ම මෙරට ආන්ඩුව ද සෞඛ්‍ය ක්ෂේත‍්‍රය ලාභ උපදවන කර්මාන්තයක් බවට පරිවර්තනය කිරීමට පුද්ගලික රෝහල් හා වෛද්‍ය ආයතන දිරිමත් කරමින් නිදහස් සෞඛ්‍ය සේවය වඩ වඩා කප්පාදු කරමින් සිටී.

එම රෝහලේ ම තරප්පු පෙල දිගේ භාන්ඩ ගෙන යාමේ දී තුවාල ලබා වාට්ටුවක ප‍්‍රතිකාර ලබන ස්වේච්ඡා සේවිකාවක් අපට මුන ගැසුනි. ඇය කීවේ: “මට දරුවො හතර දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් විවාහක යි. අනෙක් තුන්දෙනයි මගේ අම්මයි බලාගන්නෙ මම. යුද්ධයේ අවසන් දවස්වල මගේ මහත්තය අතුරුදන් වුනා. මට දැන් එයා ගැන කිසි ආරංචියක් නැහැ. උදේ ඉඳිආප්ප තම්බල විකුනල තමයි මං වැඩට එන්නෙ.

“කිලිනොච්චි ඉඳන් වැඩට එන මට දවසක බස් ගාස්තුව රුපියල් 200ක්. මගේ එකම බලාපොරොත්තුව වුනේ ස්ථීර රස්සාවක්. මට මේ අනතුර වුනේ වැඩකරද්දි වුනත් කිසිම වන්දියක් හම්බවුනේ නැහැ.”

කිලිනොච්චිය ආසන්නයේ ම සිට සේවයට එන තවත් කම්කරු කාන්තාවක් තමන්ට දිනකට ප‍්‍රවාහනය සඳහා රුපියල් 230ක් වියදම් වන බව කීවා ය. එම නිසා ඇයත් තවත් මිතුරියන් කිහිප දෙනෙකුත් රුපියල් 1,500කට කාමරයක් කුලියට ගෙන තිබේ. නිල ඇඳුම්වලට රුපියල් 800ක් හා සපත්තු ජෝඩුවකට රුපියල් 600ක් වැය කිරීමට කම්කරුවන්ට සිදුව තිබේ.

කුඩා වැටුපෙන් පියවාගත නොහැකි වියදම් සඳහා පියාගෙන් මුදල් නයට ගන්නා බව තවත් කම්කරුවෙක් කීවේ ය. “ස්ථීර රස්සා දෙන බව කියා ඊපීඩීපී ඡන්ද වැඩ කරන්න කියල අපිට කිවුවා. ඒත් දැන් ඒගොල්ලො කතා කරන්නේ වෙන විදිහකට. ටීඑන්ඒ එක අපිව බලන්න ආවෙ නැහැ. ඒගොල්ලො අපි ගැන තැකීමක් නැහැ. බලධාරීන් අධ්‍යාපන සුදුසුකම් ගැන කතා කරනවා. ගෙවුනු අවුරුදු හයේ දී ඉස්පිරිතාලෙ හැම අංශයක ම හැම වැඩක් ම අපි පුහුනු වුනා. මොනව ද ඒගොල්ලො ඉල්ලන සුදුසුකම්? අපි ස්ථීර කරන්න ඕන. ආන්ඩුවට අපිත් එක්ක කතා කරන්න ඕනලු. ආන්ඩුව උත්සාහ කරන්නේ අපේ අරගලය පීලි පන්නවල කඩාකප්පල් කරන්න, එහෙම නේද?” යි ඇය පැවසුවා ය.

මෙම කම්කරුවන්ගේ අරගලය හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ කම්කරුවන් ඉදිරිපත් විය යුතු ය.

Share this article: