ජවිපෙ ෆැසිස්ට් මැරයන් පිටවෙල සහ ගුනපාල ඝාතනය කිරීමෙන් වසර 25 ක්

එස්.කේ. අයිරාංගනී සහ පානිනී විජේසිරිවර්දන විසිනි, 2013 දෙසැම්බර් 23

2013 වසර නිමා වන්නේ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) ෆැසිස්ට්වාදීන් විසින් සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ සාමාජිකයන් වූ ආර්.ඒ. පිටවෙල සහ පී.එම්. ගුනපාල යන දිරිමත් ටෙ‍්‍ර‍්‍රාට්ස්කිවාදී සටන්කරුවන් දෙදෙනාගේ ජීවිත බිලි ගෙන වසර විසිපහක් ගතවී ඇති බව සටහන් කරමිනි.

පාසැල් ගුරුවරයෙකු වූ 36 හැවිරිදි පිටවෙල 1988 නොවැම්බර් 12 වන දා වැලිමඩ හඟුන්නාවේදී ද, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සේවකයකු වූ 33 හැවිරිදි ගුනපාල එම වසරේම දෙසැම්බර් 23 වනදා පේරාදෙනිය රජවත්තේදී ද, ජවිපෙ තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කෙරින. ජවිපෙ ෆැසිස්ට් මැරයන් විකොසෙන් තවත් බිල්ලක් ගනිමින් 1989 ජූනි 24 දා හලාවත එහි සාමාජිකයෙකු වූ ගේ‍්‍රෂන් ගීකියනගේ වෙඩි තබා මරා දැමූහ.

අතරමං වූවෙකුට පාරක් අසා ගැනීමේ මුවාවෙන් එදින රාති‍්‍රයේ පිටවෙලගේ නිවසට ගිය ජවිපෙ ඝාතකයෝ ඔහු නිවසින් පිටතට කැඳවා ගෙන ගොස් පාලු තැනක දී චෝදනා පත‍්‍රයක් දී එයට අත්සන් කරන්නට බල කලහ. ජවිපෙ කැඳ වූ බලහත්කාරී පෙලපාලිවලට සහභාගි වීම ප‍්‍රසිද්ධියේ ප‍්‍රතික්ෂේප කිරීම ඔහුට එරෙහි ප‍්‍රධාන චෝදනාව විය.

හතරවන ජාත්‍යන්තරයේ මූලෝපායික දේශපාලන කර්තව්‍යය වන "ධනවාදය පෙරලා දමා කම්කරු පන්තිය බලය ගැනීම” සාක්ෂාත් කරනු වස් දශකයකට අධික කාලයක් තිස්සේ සටන් වැද සිටි පිටවෙල තමාට එරෙහි ජවිපෙ චෝදනා පත‍්‍රය එකහෙලා ප‍්‍රතික්ෂේප කලේය. ජවිපෙ මිනීමරුවන් විසින් පිටවෙලට වෙඩි තබා මරා ලයිට් කනුවක එල්ලනු ලැබුවේ ඔහුගේ එම සප‍්‍රතිපත්තිකභාවය හේතුවෙනි.

අසල පිහිටි බොජුන්හලකින් තම රාත‍්‍රි ආහාරය මිල දී ගත් ගුනපාල එය අනුභව කිරීම සඳහා තම නේවාසිකාගාරයට පැමිනෙමින් සිටිය දී මග රැක සිටි ඝාතකයෝ ඔහුට වෙඩි තබා පලා ගියහ.

ජවිපෙ මැරයන් විකොස සාමාජිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම කම්කරු පන්තික කි‍්‍රයාකාරීන්ට ද දේශපාලන විරුද්ධවාදීන්ට ද එරෙහිව මුදාහල පලල් ප‍්‍රහාරයක කොටසකි. එලෙස සිය ගනනක් කම්කරුවන් හා දේශපාලන විරුද්ධවාදීන් ජවිපෙ විසින් මරා දැමුනි. v

ට්‍රොට්ස්කිවාදී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වූ විකොස සටන් වැදුනේ ද එහි අනුප‍්‍රාප්තික සසප සටන් වදිනුයේ ද ලියොන් ට්‍රොට්ස්කිගේ "නොනවතින විප්ලව න්‍යාය” මත පාදකව ය. "ධනේශ්වර විප්ලවය පමා වී සිදුවුනු විජිත හා අර්ධ විජිත රටවල ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්, ජාතික විමුක්තිය, හා ගොවි ජනතාවගේ කෘෂිකාර්මික ප‍්‍රශ්න විසඳා ගත හැක්කේ නිර්ධන පන්ති ආඥාදායකත්වය පිහිටුවීමෙන් පමනකි” යන්න එම න්‍යායේ මූලික හරයයි.

මිට ප‍්‍රතිකූලව, කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය ප‍්‍රතික්ෂේප කල ජවිපෙ ගම්බද ගොවි ජනතාව මත පදනම් වූ සිංහල ස්වෝත්තමවාදී සුලු ධනේශ්වර සංවිධානයක් ලෙස තම දේශපාලන කටයුතු ආරම්භ කොට දැන් ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ පක්ෂයක් බවට පත්ව ඇත.

1970 දී විකොස හිටපු ප‍්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය කෘතිය තුල ජවිපෙ කා සඳහා මතු වූ ව්‍යාපාරයක් ද යන්න මෙසේ පැහැදිලි කලේ ය: "ලෝකය පුරාම ඒ ඒ රටවල මධ්‍යම පන්තීන් විසින් ගොඩනගාගෙන ඇති ව්‍යාපාරයන්ට සමාන්තරව ලංකාවේ සිංහල සුලු ධනේශ්වර පන්තිය ගොඩනගා ඇති ව්‍යාපාරය ජවිනතා විමුක්ති පෙරමුනයි. එහි අරමුන කම්කරු පන්තිය බලයට ගෙන යාම නොවේ. සිංහල කම්කරුවන්, සිංහල ගොවියන්, සිංහල පීඩිතයන් සිංහල ශිෂ්‍යයන් පමනක් නොව ජාතික ධනේශ්වර පන්තියේ කොටස් ද "දේශපේ‍්‍රමීයත්වයේ” පදනම මත එක් කර "දේශපේ‍්‍රමී රාජ්‍ය යන්ත‍්‍රයක් තැනීමයි.”

1980 ගනන් වල මුල් භාගයේ ලෝක ධනේශ්වර අර්බුදය උග‍්‍ර වීමත් සමග, ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව එල්ල කල ප‍්‍රහාර හමුවේ ගම්බද ගොවීන් තුල වැඩුනුු අසහනයත්, 1987 ඉන්දු-ලංකා ගිවිසුම මත ඉන්දියානු හමුදා පැමිනීමත් සමග ඇති වූ තත්වයත් ගසා කෑ ජවිපෙ සිංහල වර්ගවාදය අවුලුවමින් "පලමුව මවුබිම-දෙවනුව වැඩබිම, පලමුව මම්බිම - දෙවනුව ගොවිබිම, පලමුව මව්බිම - දෙවනුව පාසල” යන සටන් පාඨ යටතේ ආරම්භ කල ව්‍යාපාරයේ එක් අංගයක් වූ මෙම බලහත්කාරී පෙලපාලි සම්බන්ධයෙන් විකොස ගත් කම්කරු පන්තික ආස්ථානය තම පුවත්පත වූ කම්කරුමාවත හි මෙසේ පල කලේය.

"මහජනතාවට තුවක්කු එල්ල කරමින් පෙලපාලිවලට දැක්කීම තුල පවතින්නේ කම්කරු පන්තියට එරෙහිව සුලු ධනේශ්වරය බලමුලු ගන්වාගෙන අධිරාජ්‍යවාදයට සේවය කිරීමේ අධිකාරය ජවිපෙ අතට ගැනීම ය. කම්කරු පන්තිය එක්සත් ජාතික පක්ෂය පලවා හැර වෙනත් ධනපති හෝ ෆැසිස්ට් ආඥාදායකත්වයකට ඉඩ නොතබා ශ‍්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩනැගිය යුතු ය.”

ජවිපෙ මරන තර්ජන මධ්‍යයේ විකොස සහෝදරවරුන් සමග ගෙයින් ගෙට ගොස් කම්කරු මාවත විකුනමින් ඉහත විකොස ආස්ථානය මහජනතාවට අවධාරනය කිරීමට සටන් වැද සිටි පිටවෙල සහ ගුනපාල තම ෆැසිස්ට් වැඩකටයුතු වලට එරෙහි බාධකයක් ලෙස සැලකූ ජවිපෙ ඔවුන් මරා දැමීමට තීරනය කලේය.

ජවිපෙ විසින් මෙසේ මරා දැමුනේ, 1970 ගනන් වල සිරිමා බන්ඩාරනායකගේ සමගි පෙරමුනු ආන්ඩුව ජවිපෙට එරෙහිව ගෙන ගිය මර්දනයට විරුද්ධව, දේශපාලනය කිරීමට ඔවුනට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටිමින්, "සියලු දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරනු” යන සටන් පාඨය යටතේ සප‍්‍රතිපත්තික අරගලයක නියැලුනු විකොස සාමාජිකයන් තිදෙනෙකි.

මෙම ඝාතනයන් මගින් විකොස පසුබස්සන්නට ජවිපෙට නොහැකි විය. මාක්ස්වාදී ව්‍යාපාරයේ ඓතිහාසික අරගලවල පන්නරයෙන් ශක්තිමත් වී සිටි විකොස රාජ්‍ය භීෂනයට හා ජවිපෙ ෆැසිස්ට් භීෂනයට එරෙහිව එක්සත් පෙරමුනු වැඩ පිලිවෙල - නිශ්චිත දේශපාලන ක‍්‍රියාවක දී කම්කරු පක්ෂ එකතු වී ගොඩනගන පෙරමුන - යෝජනා කරමින් සටන් වැදුනි. එහි අරමුන වූයේ කම්කරු පීඩිත මහජනතාවගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක කමිටු ගොඩ නැගීම ය.

එවකට කම්කරු පක්ෂයන් වූ ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ නව සමසමාජ පක්ෂය මෙම එක්සත් පෙරමුනු යෝජනාව ප‍්‍රතික්ෂේප කරමින් එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවේ බලඇනිවලත් අවි ආයුධවලත් පිහිට පැතී ය. කම්කරු නායකයන් මරා දැමීමට ජවිපෙ අත තැබීමත් සමග කම්කරු නායකයන්ගේ මෙම පාවා දීමේ පරිමාව ප‍්‍රකාශයට පත් විය. පිටවෙල ඇතුලු විකොස සාමාජිකයන් ජවිපෙ ගොදුරු බවට වූයේමේ පාවා දීම විසිනි.

මෙම තතු තුල විකොස ලංකාවේ කම්කරු පන්තිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය බලවේග ජාත්‍යන්තරව බලමුලු ගැන්වීම සඳහා තම ජාත්‍යන්තර සහෝදර පක්ෂවල සහයෝගය ඇතිව රටවල් ගනනාවක සංචාරය කරමින් උද්ඝෝෂනයේ යෙදුනි.

දේශපේ‍්‍රමී තන්ත‍්‍රය ගොඩනැගීම සඳහා ජවිපෙ ගෙන ගිය ඝාතන ව්‍යාපාරය පිලිබඳව නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පල වූ විකෘති වාර්තාවකට විරෝධය පල කරමින් එම පුවත්පතට යැවූ ලිපියක ජවිපෙ ෆැසිස්ට් පරිවර්තනය ගැන 1987 දී සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස් මෙසේ ලිවී ය.

"ෆැසිස්ට් සංවිධාන ගොඩ නැගෙන්නේ ප‍්‍රමුඛ කොටම මංමුලාවට පත් සුලු ධනේශ්වර කන්ඩායම් පදනම් කරගෙන ය. එහි නායකයෝ සිය සංවිධාන ගොඩ නැගීමේ දී මහ ධනේශ්වරය සමග විශේෂයෙන් එහි දේශපාලනික හා ආර්ථික වශයෙන් බලවත් කොටස් සමග සම්බන්ධතා තහවුරු කර ගැනීමට සෑම තැතක්ම දරති. එ මෙන්ම දේශපාලනිකව හා ආර්ථික වශයෙන් බලගතු ධනපතියෝ වරෙක කම්කරු පන්තියට එරෙහිව රුදුරු මැර බලයක් ලෙස පවත්වා ගැනීමට ද කම්කරු නායකයන් බිය ගන්වා යටත් කර තබා ගැනීමට ද අනාගතයේ අවශ්‍ය වූ විට ෆැසිස්ට් ආඥාදායකත්වයක් ඇටවීමට කැඳවා ගැනීමට ද උවමනා නිසා ෆැසිස්ට්වාදීන් සමග විවෘත හා ආවෘත සම්බන්ධකම් ගොඩ නගා ගනිති.”

මෙම විශ්ලේශනය සනාථ කරමින්, තමා මුහුන දී සිටි දැවැන්ත දේශපාලන අර්බුදය හමුවේ එජාප ආන්ඩුව, තම අවශ්‍යතා සඳහා ජවිපෙ සේවයේ යොදවා ගත්තේ ය. ආන්ඩුවේ අරමුන ඉටු වූ පසු ජවිපෙ මතට කඩා පැන එහි නායකයන් ඝාතනය කර ජවිපෙ ආධාරකරුවන් මැඩීමේ නාමයෙන් ගම්බද පැවති විරෝධය මැඩීමේ ව්‍යාපාරය ඇරඹී ය. එය අවසන් වූයේ තරුනයන් 60,000ක් බිලි ගෙන ය.

මෙම තරුන සංහාරයට එරෙහිව "ගම්බද ඝාතන නතර කරනු” යන සටන් පාඨය යටතේ ගෙන ගිය සප‍්‍රතිපත්තික අරගලය, කම්කරුවන් සහ පීඩිතයන් අතර ඇති කල බලපෑම හේතුවෙන් නව තරුන කන්ඩායමක් දිනා ගැනීමට විකොස සමත් විය.

2004 දී චන්ද්‍රිකා කුමාරතුංග බලයට ගෙන ඒම සඳහා තීරනාත්මක ක‍්‍රියාකලාපයක් ඉටු කල ජවිපෙ ඇගේ ආන්ඩුවේ කොටස්කරුවෙකු වී මහජනයාට එල්ල කල සෑම ප‍්‍රහාරයකදීම තම පූර්න සහාය ලබා දුන්නේ ය. මෙම සන්ධානය යුද්ධය යලි ඇවිලවීමට අවශ්‍ය බලවේග එක් කිරීමක් විය. තමන් දේශපාලන සංස්ථාපිතයේ කොටසක් වී තමන්ගේම පාලනයක් සඳහා පදනම් දමා ගැනීමට සන්ධානයෙන් ජවිපෙ අපේක්ෂා කලේ ය.

තමාත් ඇතුලු කුමාරතුංග ආන්ඩුව කෙරෙහි මහජන වෛරය වැඩෙද්දී වඩාත් දකුනට ගිය ජවිපෙ, "පශ්චාත් සුනාමි මෙහෙයුම් සැලැස්ම” (පීටොම්ස්) සඳහා එල්ටීටීඊ ය සම්බන්ධ කර ගැනීමට විරුද්ධත්වය පල කරමින් ආන්ඩුවෙන් ඉවත් විය. මහජනතාවගේ අපේක්ෂා භංගත්වය හා වෛරය සිංහල ස්වෝත්තමවාදී දේශපාලනය දෙසට අපසරනය කොට තම පදනම් රැක ගැනීමේ අරමුනෙන්. "මව්බිම රැකීම අන් සියල්ලටම ඉහලින් තැබිය යුතුයි” ඔවුහු ප‍්‍රකාශ කලහ.

2005 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට ජවිපෙ කටයුතු කල අතර ඔහු විසින් යුද්ධය යලි ඇරඹූ විට එයට සෘජුව සහයෝගය දුන්නේ ය. කම්කරුවන් වැටුප් ඉල්ලීම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සඳහා සටන් වදින විට මහජන විරෝධය බොරු විරෝධතා බවට හරවා ඒවා දුර්මුඛ කලේ එම අරගල දේශද්‍රෝහී හා රටේ ආරක්ෂාව අනතුරේ හෙලන ඒවා ලෙස ආන්ඩුව හා මාධ්‍ය ගෙන ගිය ප‍්‍රචාරයේ කොටස්කරුවන් වෙමිනි.

මීට විපරීතව, මුල සිටම මෙම වර්ගවාදී යුද්ධයට එරෙහි කම්කරු පන්තික ජාත්‍යන්තරවාදී ආස්ථානයක් ගත් විකොස සහ සසප, "වර්ගවාදී යුද්ධයට එක සතයක් හෝ ලේ බිඳක් නොදෙනු!” හා "උතුරෙන් හා නැගෙනහිරෙන් ශී‍්‍ර ලංකා හමුදා ඉවත්කරනු!” යන සටන් පාඨ ඉදිරිපත් කරමින් ශී‍්‍ර ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටන් වැදුනි.

ජවිපෙ විසින් සමාජවාදී රාජ්‍යයක් ලෙස හුවා දක්වන ලද චීනයේ ස්ටැලින්වාදී තන්ත‍්‍රය ධනවාදය වැලැඳ ගනිමින් ලෝකයේ විශාල සංගතවලට ශ‍්‍රම ශක්තිය රිසි සේ සූරා කෑමට දොරටු විවෘත කර රාජ්‍ය අංශය වසා දමමින් සිටින තතු තුල ජවිපෙ සිංහල ධනපති වර්ගවාදී යුද්ධයට පාර්ලිමේන්තුව තුල සිට සහය දුනි.

මෙම ප‍්‍රතිගාමී භාවිතාවේ ප‍්‍රතිඵලයක් ලෙස ජවිපෙ මහජන පදනම් දැවැන්තව ඛාදනය වූ අතර පෙර 2004 දී 39 ක්ව තිබූ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 2010 දී 4 දක්වා පහත වැටුනි.

මෙම අර්බුදය මධ්‍යයේ ජවිපෙන් බිඳී ගිය කන්ඩායමක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) නමින් නව පක්ෂයක් පිහිටුවන ලදී. පසුගිය අවුරුදු දෙකක කාලය තුල සනාථ කෙරී ඇත්තේ පෙසප වනාහි ධනේශ්වර පද්ධතියට හෝ රාජපක්ෂ ආන්ඩුවට අභියෝග නොකරන හා ආන්ඩුවේ ප‍්‍රහාර වලට එරෙහිව අරගලයට අවතීර්න වන කම්කරුවන්, තරුනයන් හා පීඩිතයන්ට උගුල් මානන දක්ෂිනාංශික ව්‍යාජ වාම පක්ෂයක් බවයි.

ලෝක ධනවාදය බිඳ වැටීමක් කරා ගමන් කරමින් සිටින තතුු තුල, ලොව පුරා වැඩෙන විප්ලවවාදී අරගල අපසරනය කිරීම සඳහා රටක් රටක් පාසා නව වාම කාන්ඩ ගැසීම් සිදු වෙමින් පවතී. පෙසප විසින් තම මොඩලයක් සේ සලකන ගී‍්‍රසියේ සයිරිසා ඇතුලු ප‍්‍රන්සයේ නව ධනපති විරෝධී පක්ෂය, එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය හා ඊජිප්තුවේ විප්ලවවාදී සමාජවාදියෝ වැනි සංවිධාන ජාත්‍යන්තර තලයේ ඉටු කරන ප‍්‍රතිගාමී භූමිකාව පෙසප ඇතුලු මෙම ව්‍යාජ වම්මුන් පිලිබඳ බලගතු චිත‍්‍රයක් සම්පාදනය කරයි.

ජවිපෙන් බිඳුනු බවක් පෙසප පවසන නමුදු දෙවසරක අතීතය මගින් පෙන්නුම් කෙරෙන්නේ ජවිපෙ දේශපාලනයෙන් කවර හෝ බිඳීමක් සිදු නොවී ඇති බවයි. විකොස සාමාජිකයන් ද ඝාතනය කරමින් කම්කරු පන්තියට එරෙහිව 1980 ගනන් වල අග භාගයේ ගෙන ගිය ෆැසිස්ට් ප‍්‍රහාරය විප්ලවවාදී කි‍්‍රයා ලෙස "ඉල් මහ විරු සමරුව” නමින් මහ ඉහලින් සැමරීමට ජවිපෙ මෙන්ම පෙසප දක්වන ආයාසය මගින්මත් පෙන්නුම් කෙරෙන්නේ එහි කම්කරු පන්තික විරෝධයේ පරිමාවයි.

2008 සිට ලෝක ධනවාදයේ බිඳ වැටීම මගින් ජනිත කෙරී ඇති අධිරාජ්‍යවාදී යුද්ධයන්ගේ හා විප්ලවයන්ගේ කාල පරිච්ඡේදය තුල මානව වර්ගයාගේ ඉරනම රඳා පවත්නේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනය යටතේ කම්කරු පන්තික බලය ස්ථාපිත කිරීමට අවශ්‍ය නායකත්වය සම්පාදනය කිරීමෙනි. වත්මන් තත්වය පෙර දැක තිබූ ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සාමාජිකයන් ලෙස පිටවෙල, ගුනපාල සහ ගීකියනගේ වැනි සහෝදරවරුන් නොපසුබසිමින් ස්ථිරසාරව සටන් වැද තම ජීවිතයෙන් වන්දි ගෙව්වේ එම අරගලය වෙනුවෙනි.

Share this article: