එක්සත් ජනපදය තම සිරියානු කුලී හමුදාවන්ට දෙන ආධාර අත්හිටුවයි

US suspends military aid to its Syrian proxies

කීත් ජෝන්ස් විසිනි , 2013 දෙසැම්බර් 13

බෂීර් අල් අසාද්ගේ සිරියානු ආන්ඩුව පෙරලා දැමීම සඳහා අධිරාජ්‍යවාදීන්ගේ පිටුබලය සහිතව සන්නද්ධ කරනු ලැබ සිටින ත‍්‍රස්තවාදී කුලී හමුදාව වන නිදහස් සිරියානු හමුදාවේ (නිසිහ) උත්තරීතර මන්ඩලයට දෙන මිලිටරි ආධාර, එජ හා බි‍්‍රතාන්‍ය විසින් අත්හිටුවා ඇත.

නිසිහ මේ වන තෙක්ම සමීපව සිටි සවුදියේ පිටුබලය ලබන ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන් විසින්, තුර්කි දේශසීමාව දිගේ පිහිටි වැයික්කියක පාලනය නිසිහ අතින් පැහැර ගැනීමෙන් පසුව මෙම අත්හිටුවීම සිදුව තිබේ.

අලුතෙන් පිහිටුවන ලද සලාෆිස්ට් හා අනෙකුත් සුන්නි මූලධර්මවාදී මිලිෂියාවේ ඉස්ලාමීය පෙරමුනෙහි භටයෝ දෙසැම්බර් 06දා, නිසිහ අයත්ව තිබූ අත්මේ යන දේශසීමා නගරයෙහි පිහිටි, උතුරු සිරියාව තුල මෙහෙයුම්වල නිරතව සිටි මිලිටරි මූලස්ථානය හා මිලිටරි ගබඩා ගනනාවක් සියටතට ගත්හ. මිලිටරි මෙවලම් අතර යුද ටැංකි, එජ හා බි‍්‍රතාන්‍ය විසින් සපයා තිබුනු අවි, පනිවිඩ හුවමාරු උපකරන හා ට‍්‍රක්රථ ද විය.

නිසිහ පාලනය යටතේ පැවති, තුර්කියට ඇතුලුවන දේශසීමා කපොල්ල වූ බාබ් අල් හවා ද ඉස්ලාමීය පෙරමුන සියතට ගෙන තිබේ. එහි වඩා ශක්තිමත් බලය හමුවේ නිසිහ භටයින් යටත්වී හෝ පලාගොස් ඇති අතර මාධ්‍ය වාර්තා විශ්වාසකල හැකි නම්, ඔවුන්ට සිදුව ඇති හානිය සුලුය. නිසිහ අනදෙන නිලධාරියා වන ජෙනරාල් සලිම් ඉද්රිස් ද තුර්කි දේශසීමාව හරහා පලාගොස් කටාර් වෙත පැමින සිටියි.

අල් කයිඩාව සමග සම්බන්ධ, ඉරාක ඉස්ලාමීය රාජ්‍ය හා ලෙවන්ට් හෙවත් අයිඑස්අයිඑස් හමුදා විසින් පහර දෙනු ඇති බවට කථා පැතිර තිබුනු තතු හමුවේ නිසිහ තමන්ට සහාය පිනිස ඉස්ලාමීය පෙරමුන තම මිලිටරි මධ්‍යස්ථාන වෙත සාදරයෙන් පිලිගනු ලැබ තිබුනි. ඒ වෙනුවට පෙරමුනේ බලඇනි කලේ එම මධ්‍යස්ථාන අල්ලා ගැනීමයි.

මිලිටරි පසුබෑම් මාලාවකට හා ඊසානදිග සිරියාවේ රැඳී සිටි එහි සටන්කරුවන් බොහෝ දෙනෙක් අල්කයිඩාවට සම්බන්ධ මිලිෂියාවන්ට යටත්වීමෙන් පසුව, ඇට්මේහිදී ලැබූ මෙම නින්දිත පරාජය, එහි අඛන්ඩ හැකියාව පිලිබඳව වොෂින්ටනයේ, ලන්ඩන්හි හා පැරිසියේ එහි අනුග‍්‍රාහකයින්ගේ විශ්වාසය පලුදුකර තිබීම නිසැක කාරනයකි. යුද පෙරමුනේදී නිසිහ, එන්ට එන්ටම හීන වන ක‍්‍රියාකලාපයක් ඉටුකරමින් සිටි අතර, ඔවුන් හා එජ සංවිධානය කරන ලද දේශපාලන කල්ලි වලින් සැදුම්ලත් සිරියානු ජාතික කවුන්සිලය, "මධ්‍යස්ථ” පොදු මුහුනුවරකින් පෙනී සිටිමින් ඩැමස්කසයේ පාලන තන්ත‍්‍රය වෙනස්කිරීමේ එජ හා යුරෝපීය සංගමයේ කුහක ව්‍යාපාරයට තල්ලුව දීම වෙත හැරී තිබුනි. වොෂින්ටනය හා එහි යුරෝපීය අනුචරයෝ, ඉස්ලාමීය මිලිෂියාවන්ට ආයුධ හා මිලිටරි උපකරන සැපයීම සඳහා මාවතක් ලෙස, නිසිහ පිම්බීමට වෙර දැරූහ.

නිසිහ පරාජය සිදුවූයේ, සිරියාව සම්බන්ධ එජ පිලිවෙත මත එරට දේශපාලන සංස්ථාපිතය හා මිලිටරි-ඔත්තු සේවා කටුක ලෙස බෙදී ගොස් තිබුනු අවස්ථාවකය.

මහජන සහයෝගය අල්පවීම නිසා එජ-සවුදි ත‍්‍රස්තවාදී ව්‍යාපාරයේ පස්ස බිම ඇනී තිබෙන අතර ත‍්‍රස්තවාදය තව තවත් වෛරයට පාත‍්‍ර කරවීමට පමනක් උපකාරී වන ප‍්‍රචන්ඩත්වය හා දුෂ්ට නිකායික දේශපාලනය කරගසාගත් දහස් ගනන් විදේශ සටන්කරුවන් ද ඇතුලත් සුන්නි ඉස්ලාම්වාදීන් මත වඩ වඩාත් යැපීමට ඔවුන්ට සිදුව තිබේ.

අසාද් පෙරලා දැමීමට අසමත්වන තතු හමුවේ ත‍්‍රස්තවාදය, සිරියාවේ වැඩි කොටසක් බිමට සමතලා කර, ලක්ෂයකට වැඩි පිරිසක් මරාදමා, මිලියන හතක ජනතාවට උන්හිටි තැන් අහිමිකර, මැද පෙරදිග පුරා සුන්නි-ෂියා සතුරුකම් අවුස්සා, උතුරු හා නැගෙනහිර සිරියාවේ සැලකිය යුතු කොටසක් කපා වෙන්කර ගැනීමට අල් කයිඩාවට හා එහි සහචරයින්ට හැකියාව ලබා දුන්නේය.

අතීතයේදී එක්සත් ජනපදය අල් කයිඩාව සමග ඇයි හොඳයිකම් වගාකර ගැනීමට ඕනෑවටත් වඩා කැමැත්තෙන් සිටියේය. ලිබියාවට එරෙහි නේටෝ යුද්ධයේදී බලල් අත් ලෙස යොදාගත් පරිද්දෙන්ම, අසාද් පෙරලා දැමීමේ ව්‍යාපාරය තුල ඔවුන්ගේ භූමිකාව නිසැකයෙන්ම සාදරයෙන් පිලිගනු ලැබිනි. එහෙත් අල් කයිඩාවට ඕනෑවට වැඩි ඉඩකඩ ලබාදීම නිසා එය තම බලපෑම සිරියාවේ සිට ඉරාකය දක්වා විහිදුවා ගනු ඇතැයි ද 2007-08 වසරවල සිය මිලිටරි ආක‍්‍රමනය නිමා කලායින් පසුව, එජ එහි පිහිටුවන ලද බිඳෙන සුලූ වාර්ගික-දේශපාලන ව්‍යුහය කුඩු කරනු ඇතැයි ද වොෂින්ටනය තුල වැඩිවන බියක් පවතියි.

එක්සත් ජනපදය හා එහි අනුචරයින් සිරියාවේ හා ඉරාකයේ අල් කයිඩාවරුන්ට එරෙහිව පියවර ගැනීමට යන බවට නොයෙකුත් වාර්තා පසුගිය සතිවල පලවිය. ඒ, සිරියාව තුල අසාද් තන්ත‍්‍රයට එරෙහිව මිලිටරි පීඩනය පවත්වාගෙන යාමේ අරමුන ඇතිව අනෙකුත් ඉස්ලාමීය මිලිෂියාවන්ට අනුබල දෙන අතරතුරය.

සිරියාවට එරෙහිව මිලිටරි ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා කඩතුරාව ලෙස අගෝස්තු හා සැප්තැම්බරයේ ඉදිරිපත් කල බොරු ගොන්න එලිදරව් කෙරෙන සීමෝ හර්ෂ් විසින් සම්පාදිත ලිපියකින් ඔබාමා පාලනාධිකාරය හා පාලක සංස්ථාපිතය අතර ඇතිව තිබෙන බෙදීම් පිලිබඳ තවත් තොරතුරු මේ සතිය තුල අනාවරනය විය. ජාතික ආරක්ෂක යාන්ත‍්‍රනය තුලින් හෙලිදරව් වූ තොරතුරු පදනම් කරගෙන හර්ෂ්, අගෝස්තු 21දා අසාද් තන්ත‍්‍රය සෙරීන් ගෑස් ප‍්‍රහාරයක් එල්ල කල බවට එජ සතුව කිසිදු සාක්ෂියක් නොතිබුනා පමනක් නොව, අල් නුස්රා යන අල් කයිඩාවට සම්බන්ධ කන්ඩායම අතේ තොග ගනනින් සෙරීන් වායුව තිබුනේය යන හොඳින් දැන සිටි කාරනය ඔවුන් යටගැසූ බව හෙලිකරයි.

අවසාන මොහොතේ ඔබාමා පාලනය, සිරියාවට එරෙහි ප‍්‍රහාරය අත්හිටවා සිරියාවේ ප‍්‍රධාන කලාපීය මිතුරා ද සිරියාව තුල එජ අනුග‍්‍රහය දක්වන ඉස්ලාමීයවාදීන්ගේ යුද්ධයෙහි ප‍්‍රධාන ඉලක්කයක්ව ද පැවති ඉරානය සමග ප‍්‍රසිද්ධ සාකච්ඡා වෙත හැරුනි.

ඉරාන පාලන තන්ත‍්‍රය, දරුනු එජ-යුරෝපීය ආර්ථික සම්බාධක වලින් අඩපන වෙමින් පැවති තතු තුල වොෂින්ටනය, තම මූලෝපායික අවශ්‍යතා වෙනුවෙන් ටෙහෙරානය නම්මාගත හැකි යයි ද ඒ අනුව තම වඩාත් බලගතු එදිරිවාදීන් වන රුසියාව හා චීනයට එරෙහිව සිය මිලිටරි හා දේශපාලන සම්පත් මුදාගත හැකි යයි ද ගනන් බැලීය.

ඔවුන්ගේ පැත්තෙන් ඉරාන ධනපති තන්ත‍්‍රය, එක්සත් ජනපද හා යුරෝපීය අන්තර් ජාතික සංගතයන්ට එරට තෙල් හා ස්වාභාවික ගෑස් සම්පත් වෙත වාසිදායක ප‍්‍රවිෂ්ටයක් සැලසීමේ හා ඇෆ්ගනිස්ථානයේ සිට ලෙබනනය දක්වා මැදපෙරදිග ස්ථාවර කිරීම පිනිස එජට සහාය දක්වීමේ උනන්දුව පලකලේය. අධිරාජ්‍යවාදයේ පිටුබලය ලබන "කැරලිකරුවන්ට” අඩු ගනනේ ආසන අඩක්වත් හිමිව තිබෙන "අන්තර්වාර ආන්ඩුවක්” වෙත යටත් වීම සඳහා අසාද් තන්ත‍්‍රයට බලපෑම් කිරීම පිනිස සිරියානු යුද්ධයට "දේශපාලන විසඳුමක්” සොයන එජ-රුසියාව අනුග‍්‍රහය දක්වන ඉදිරි මාසයේදී පැවැත්වීමට නියමිත සමුලුවට සහභාගී විය යුතු යයි දැන් වොෂින්ටනය ටෙහෙරානයට කියා සිටියි. ඒ අතරම ඩැමස්කසය මත මිලිටරි පීඩනය පවත්වාගෙන යාමට ද එය උත්සාහ කරයි.

ඇට්මේහි පසුගිය සතියේ සිදුවීම් වලට පෙරාතුව ඔබාමා පාලනාධිකාරයේ නිලධාරීහු, අල්කයිඩාවට සම්බන්ධ අල් නුස්රා පෙරමුන සමග එලිපිටම වැඩ කරන බොහොමයකගෙන් සැදුම්ලත් ඉස්ලාමීය පෙරමුන ජාත්‍යන්තර සමුලුවට නියෝජිතයින් එවන බවට පොරොන්දුකර ගැනීමේ උත්සාහයක නිරතව සිටියහ.

නිසිහට එල්ල කල පෙරමුනේ ප‍්‍රහාරයට ප‍්‍රතිචාර වශයෙන් ඔබාමා පාලනාධිකාරය තමන්ට පෙරමුන සමග ඇති සම්බන්ධය දිගටම පවත්වාගැනීමට අවශ්‍ය බව කියා සිටියේය. රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශිකාවක් වන ජෑන් සාකි මෙසේ පැවසුවාය. වොෂින්ටනය ඇට්මේහි සිදුවීම් පිලිබඳව "පැහැදිලිවම කනස්සල්ලට පත්ව” සිටියි. එහෙත් "අප මේ අවස්ථාවේදී, එහි අර්ථය කුමක් ද යන්න පිලිබඳව හෝ එහි දිගු කාලීන ප‍්‍රතිවිපාක කවරේ ද යන්න පිලිබඳව පුලුල් ප‍්‍රකාශයක් කිරීමට සූදානම් නැත.”

අනෙක් අතට නිසිහ, ඉස්ලාමීය පෙරමුන සමග සමීප සහයෝගයෙන් කටයුතු කිරීමට උනන්දුවෙන් සිටියි. එහි උත්තරීතර මිලිටරි කවුන්සිලයේ ප‍්‍රකාශකයෙක් වන ලොයේ අල් මොක්ඩාඞ්, තමන් හා පෙරමුන අතර ගැටුම ”සහෝදරයින් අතර වැරදි වැටහීමක්” යයි ලිහිලෙන් පැවසීය. ”අප සියල්ලන් සඳහාම විවෘතය. සිරියානු තන්ත‍්‍රයට එරෙහිව එක්සත් වීමට දැන් කාලයයි.” ඔහු පැවසීය.

නිසිහ පෙරමුන සමග සහයෝගයෙන් කටයුතු කරන්නේ කෙතෙක් දුරට ද යන්න තවමත් පැහැදිලි නැත. මිලිටරි කවුන්සිලයේ පාලනයෙන් සැලකිය යුතු පංඟුවක් තමන්ට ද හිමිවිය යුතු යයි කියා සිටින පෙරමුනේ ඉල්ලීම් වලට ඉඩ දෙනවා ද යන්න ද පැහැදිලි නැත. නොවැම්බර් 22දා එය පිහිටුවන විට ඉස්ලාමීය පෙරමුන, සිරියානු ජාතික කවුන්සිලය ප‍්‍රතික්ෂේප කර ෂරියා නීතියට යටත් සුන්නි පාලනය යටතේ පවතින සිරියාවක් පිලිබඳ සිය අරමුන ඉදිරිපත් කලේය.

තව ද එය පිහිටුවීමේදී සවුදි අරාබිය, සැලසුම් කලේ නැතිනම් එයට පිටුබලය දුන්නේය. වොෂින්ටනය ටෙහෙරානය සමග පවත්වන ඇයි හොඳයිකම් පිලිබඳව සවුදි රජ පවුල කෙලින්ම විරුද්ධත්වය පලකොට තිබුනි. තමන්ට ඉරානය කෙරෙහි බලපෑම් කිරීමට ඇති ඉඩකඩ ඇහිරෙනු ඇතැයි ඔවුහු බියට පත්ව සිටිති. සිරියාවේ පාලන තන්ත‍්‍රය වෙනස් කිරීමේ ව්‍යාපාරය වෙතින් පල්ලම් බසින බවට එය ඔබාමා පාලනයට දොස් පැවරීය.

වොෂින්ටනය හා එහි අනුචරයෝ, සිරියාව තුල දැවැන්ත අපරාධ සිදුකරති. ලෝකයේ වඩාත්ම වැදගත් තෙල් අපනයන කලාපයේ එජ නිර්බාධිත ආධිපත්‍යයට බාධාවක් ලෙස දැකගන්නා තන්ත‍්‍රය පෙරලා දැමීම සඳහා ඔවුහු අතිශයින්ම ප‍්‍රතිගාමී බලවේගයන් සංවිධානය කර සන්නද්ධ කරති. මෙහිදී ව්‍යාජ වම්මු ඔවුන්ට ආධාරකොට පුම්බනු ලබයි. විශේෂයෙන්ම මෙහිදී, බි‍්‍රතාන්‍යයේ සමාජවාදී කම්කරු පක්ෂය, ප‍්‍රන්සයේ නව ධනපති විරෝධී පක්ෂය හා එජ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය කැපී පෙනෙයි. ඔවුන් අධිරාජ්‍යවාදී ප‍්‍රචාරයන් කරගසාගෙන යන අතර එජ-සවුදි හවුල විසින් ගොඩනගා ඇති සුන්නි ඉස්ලාමීය ත‍්‍රස්තවාදය "විප්ලවයක්” ලෙස පින්තාරු කරති.

Share this article: