ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක වර්ධන පෙරදැකීම් කපා හරියි

IMF cuts world growth forecast

By Andre Damon , 28 January 2013

2012 හතරවන කාර්තුවේ දී ජර්මානු, බි‍්‍රතාන්‍ය සහ ස්පාඤ්ඤ ආර්ථිකයන් හැකිලුන බව නවතම දත්ත නිකුතුව අනාවරනය කරන අතරේදී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) 2013 සහ 2014 සඳහා වූ තම ලෝක වර්ධන පෙරදැකීම් ගිය සතියේදී පහත හෙලූවේය.

ඔක්තෝබරයේ ප‍්‍රකාශ කල ලෝක ආර්ථිකයේ ස්වාභාවය පිලිබඳ තම යාවත්කාලීන ලියවිල්ල තුල තම පෙර ඇස්තමේන්තු හා සැසඳීමේදී, 2012 සහ 2013 දෙවසරේදීම ගෝලීය වර්ධනය සියයට 0.1 කින් පහල යන බවට තමන් බලාපොරොත්තු වන බව ජාමූඅ පැවසීය. පෙර වසරේදී සියයට 1.4 කින් වර්ධනය වුන යුරෝපා කලාපීය ආර්ථිකය, 2012 දී සියයට 0.4 කින් හැකිලුන බව වාර්තාව සඳහන් කලාය.

එක්සත් ජනපද (එජ) ෆෙඩරල් රිසර්ව් සහ යුරෝපීය මහ බැංකුව විසින් පෙර නො වූ විරූ මුදල් කාවැද්දීමෙහි ප‍්‍රතිපලයක් ලෙසට මූල්‍ය තත්වයන් තාවකාලිකව වැඩිදියුනු වීම ද කොටස් මිල ගනන් ඉහලයෑම ද සිදු වූවත්, යුරෝපා යථා ආර්ථිකයේ දිගටම පවතින සහ ගැඹුරුවන ඇද වැටීම මෙම සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරයි.

"2012 හතරවන කාර්තුවේ දී ගෝලීය මූල්‍ය තත්වයන් දිගටම වැඩිදියුනු වූ බව” සඳහන් කරන නමුත් "ගෝලීය වර්ධනය තවදුරටත් ශක්තිමත් නොවූ බව ගෝලීය කර්මාන්ත නිෂ්පාදනය සහ වෙලඳාම සඳහා වන පුලුල් දර්ශක සමූහයක් පෙන්නුම් කරන බවට” ජාමූඅ වාර්තාව අනතුරු ඇඟවීය.

"යුරෝපා කලාපයේ පිටත සීමාවට ආසන්න කොටස බලාපොරොත්තුවූවාට වඩා දුර්වල අතර යුරෝපා කලාපීය න්‍යෂ්ටිය කරා එම දුර්වලතාවයන්ගේ ප‍්‍රබල උතුරායෑම්වල සමහර ලක්ෂනයන් පැතිරෙන බව ” ජාමූඅ වාර්තාව එකතු කලේය. ජාතීන් 17 කින් සැදි යුරෝපා කලාපය මෙම වසරේදී සියයට 0.2 කින් හැකිලෙන බවට එය අනාවැකි පලකලේය.

ජාමූඅ හි අඳුරු විග‍්‍රහයට එකතු කිරීමක් කරමින්, 2012 අවසන් කාර්තුවේ දී ජර්මන් ආර්ථිකය සියයට 0.5 ක අනුපාතයකින් හැකිලුන බව ජර්මානු ෆෙඩරල් සංඛ්‍යා ලේඛන කාර්යාලය මෙම මස මුලදී ප‍්‍රකාශ කලේය. 2011 වසරේ සියයට 3.0 ට සාපේක්ෂව 2012 ජර්මානු ආර්ථිකය සියයට 0.7 ක් පමනක් වර්ධනය විය. 2013 දී රටෙහි ආර්ථිකය සියයට 0.4 ක අනුපාතයකින් පමනක් වර්ධනය වනු ඇතැයි ජර්මානු මහ බැංකුව අනාවැකි පලකලේය.

ජර්මනිය ලෝකයේ හතරවන විශාලතම ආර්ථිකය වන අතර යුරෝපා කලාපයේ ආර්ථික නිමැවුම්වලින් හතරෙන් එකක් නිෂ්පාදනය කරනු ලබයි. ස්පාඤ්ඤ, ඉතාලි, ග‍්‍රීක සහ පෘතුගාල වැනි "වටපිටාවේ” ආර්ථික සීඝ‍්‍ර පහලයෑමේ අත්දැකීම් ලබද්දී, පසුගිය වසර වනතුරු, කල්පැවතුන මන්දාවධමනය මගහරිමින්, ජර්මනිය යුරෝපීය ආර්ථිකයේ දීප්තිමත් ලක්ෂ්‍යයක් ලෙස සලකන ලදී.

යුරෝපා කලාපයේ "වටපිටාවේ” ආර්ථිකයන් ද වඩාත් නරක අතට හැරෙමින් තිබේ. 2012 හතරවන කාර්තුවේදී ස්පාඤ්ඤ ආර්ථිකය සියයට 0.6 කින් හැකිලූන අතර පෙර වසරේ සිට සියයට 1.7 කින් හැකිලූන බව ස්පාඤ්ඤ බැංකුව ගිය සතියේ පැවසීය. පෙර කාර්තුවේදී, ස්පාඤ්ඤ ආර්ථිකය සියයට 0.3 කින් හැකිලුනි.

"අයවැය තහවුරු කිරීමේ උත්සාහය වසර පුරා ක‍්‍රියාකාරීත්වය මත, විශේෂයෙන්ම අවසන් මාස කීපය තුල, ශුද්ධ හැකිලීමේ බලපෑමක් ඇති කර තිබෙන” බව පවසමින් රජය විසින් ක‍්‍රියාත්මක කල කප්පාදු ප‍්‍රතිපත්තීන්ගේ ආර්ථික බලපෑම සම්බන්ධව ස්පාඤ්ඤ මහ බැංකුව සඳහන් කලේය. මේ වසරේ වඩා නාටකාකාරී කප්පාදු සැලසුම් සඳහා "මධ්‍යම සහ ප‍්‍රාදේශීය රජයන් විසින් වඩා අධිෂ්ඨානශීලී වූ වැඩිපුර මූල්‍යමය උත්සාහයක් දැරීම අවශ්‍ය” බව එය එකතු කලේය.

ස්පාඤ්ඤ ආන්ඩුව, 2011 දී දල දේශීය නිෂ්පාදනයෙන් (දදේනි) සියයට 9 ක් වූ තම අයවැය හිඟය 2012දී සියයට 6.3 කට හැකිලීමට ඉලක්ක කර තිබිනි. බදු ඉහල දැමීම් සහ සමාජ වියදම් කප්පාදු ඒකාබද්ධ කිරීමක් හරහා මේ වසරේදී හිඟය තවදුරටත්, එනම් දදේනි යෙන් සියයට 4.5 තෙක් කප්පාදු කිරීමට එය සැලසුම් කර ඇත.

ස්පාඤ්ඤ විරැකියා අනුපාතය 2012 හතරවන කාර්තුවේදී, 1970 මැදභාගයෙන් මෙපිට උච්චතම අගය වන සියයට 26 කට ඉහල ගියේය. පසුගිය වසර අවසන දී රටෙහි මිනිසුන් දශ ලක්ෂ 5.97 ක් විරැකියාවෙන් පෙලෙන බව ස්පාඤ්ඤ ජාතික සංඛ්‍යාලේඛන ආයතනය පැවසීය.

යුරෝපය ගැඹුරුවන කඩා වැටීමක් මධ්‍යයේ සිටිය දී වුවත්, ආසියානු ආර්ථිකයන් ද ගෝලීය ඇදවැටීම විසින් ඇතිකරන බලපෑමට හසුව තිබේ. 2012 හතරවන කාර්තුවට පෙර රටෙහි ආර්ථිකය වසර තුල සියයට 1.5 කින් පමනක්, එනම් බැංකුව අනාවැකි පලකල වර්ධන අනුපාතයෙන් භාගයකට, වර්ධනය වුන බව දකුනු කොරියා මහ බැංකුව ප‍්‍රකාශ කලේය.

හතරවන කාර්තුවේ දී එක්සත් රාජධානියේ ආර්ථිකය සියයට 0.3 කින් හැකිලුන බව සිකුරාදා බි‍්‍රතාන්‍ය ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය ප‍්‍රකාශ කලේය. පසුගිය වසර පුරා බි‍්‍රතාන්‍ය ආර්ථිකය සම්පූර්නයෙන්ම සමතලව පැවතුන බව එය වාර්තා කලේය.

එක්සත් රාජධානියේ ආර්ථිකය "තෙවරක් ගිලෙන” මන්දාවධමනයකට මුහුන දෙන බවට ආර්ථික විශේෂඥයෝ අනතුරු ඇඟවා තිබිනි. ආර්ථික අර්බුදයේ පටන්ගැන්මේ සිට, බි‍්‍රතාන්‍ය ආර්ථිකය සියයට 3.3 කින් හැකිලී තිබේ. ඔහුගේ කප්පාදු වැඩසටහනට එරෙහිව මහජන විරෝධය වැඩෙන අතරේ, වියදම් කපාහරින තම සැලසුම් වෙතින් "පලායන්නට” සෘනාත්මක දත්ත තමන්ට බලනොකරනු ඇතැයි චාන්ස්ලර් ජෝර්ජ් ඔස්බෝර්න් පැවසීය.

වෘත්තීමය සේවා සමාගමක් වන අර්නස්ට් ඇන්ඩ් යංග් විසින් ඉරිදා නිකුත් කෙරුනු වාර්තාවකට අනුව, 2008 මෙපිට කිසිදු කාලසීමාවකට වඩා බි‍්‍රතාන්‍ය සමාගම් ලාභ අනතුරු ඇඟවීම් වැඩි සංඛ්‍යාවක් නිකුත් කලේය. ඉල්ලුමේ සීඝ‍්‍ර කඩාවැටීමකට මුහුන දෙන කාර්මික නිෂ්පාදන සමාගම් වෙතින් කෙරෙන ඇඟවීම් වල ඉහලම වැඩිවීම් සමග, 2012 දී ලාභ අනතුරු ඇඟවීම් සියයට 30 කින් ඉහල ගියේය. බෙලහීන ආර්ථික වර්ධනයේ ප‍්‍රතිපලයක් වන එවන් අනතුරු ඇඟවීම් නිරතුරුවම දැවැන්ත රැකියාවලින් නෙරපීම් ගැන පෙර නිමිති සපයයි.

ලෝකය පුරා එවන් නෙරපාහැරීම් අඩුවක් නැත. සේවකයන් 3,000 ක් ඉවත් කරමින් 2011 දී තමන් විසින් මිලදී ගත් බ්ලොක්බස්ටර් වීඩියෝ කුලියට දීමේ ස්ථාන 300 ක් වසාදමන සැලසුම් එක්සත් ජනපදයේ ඩිෂ් නෙට්වර්ක් ගිය සතියේ නිවේදනය කලේය. 2016 දී, තම මුලු සේවක පිරිසෙන් සියයට 10 කට වඩා වන 6,000 ක රැකියා කප්පාදු කරන්නට තමා සැලසුම් කරන බව ජර්මනියේ එක් විශාලතම බැංකුවක් වන කොමර්ස්බෑන්ක් පැවසීය.

Share this article: