ඩේවිඩ් කිං විසින් සම්පාදිත Russian Revolutionary Posters කෘතිය දැන් මෙහ්රිං පොත් වෙතින්

Now available from Mehring Books: Russian Revolutionary Posters by David King

By David Walsh , 29 November 2012

book

මෙහ්රිං පොත් ප‍්‍රකාශකයන් විසින් අභිනව කෘතියක් අලෙවි කෙරෙනුයේ සාඩම්බරයෙනි. ඒ වනාහි ඩේවිඩ් කිං විසින් සම්පාදිත Russian Revolutionary Posters: From Civil War to Socialist Realism, From Bolshevism to the End of Stalinism (රුසියානු විප්ලවීය පෝස්ටර්: සිවිල් යුද්ධයේ සිට සමාජවාදී යථාර්ථවාදය දක්වා, බොල්ෂෙවික්වාදයේ සිට ස්ටැලින්වාදයේ අවසානය දක්වා) නමැති ග‍්‍රන්ථය යි.

ටේට් ප‍්‍රකාශනයක් වන මෙකී වෙලුම දේශපාලනික හා සංස්කෘතික පෝස්ටර් 150ක පින්තූර හා විස්තර අඩංගු කර ගනී. මේවා උපුටාගෙන තිබෙනුයේ නූතන ජාත්‍යන්තර චිත‍්‍ර කලාව පිලිබඳ බි‍්‍රතාන්‍යයේ ජාතික කෞතුකාගාරය වන ලන්ඩන්හි ටේට් මොඩර්න් කලාගාරයෙහි ඩේවිඩ් කිං එකතුවෙනි.

කලාකරුවෙකු, මෝස්තර ශිල්පියෙකු, සංස්කාරවරයෙකු, පර්යේෂකයෙකු, සේයා රූ ඉතිහාසඥයෙකු හා ලේඛනාරක්ෂකයෙකු වන ඩේවිඩ් කිං මෝස්තර ශිල්පියෙකු ලෙස හෝ කතුවරයෙකු ලෙස හෝ නැතිනම් ඒ දෙයාකාරයට ම සිය දායකත්වය සපයන ලද කෘති ලැයිස්තුව අසාමාන්‍ය වූවකි: Trotsky: A Documentary (ට්‍රොට්ස්කි: වර්තාමය ලේඛනයක්, 1972), Alexander Rodchenko (ඇලෙක්සැන්ඩර් රොඩ්චෙන්කෝ, 1979), Trotsky: A Photographic Biography (ට්‍රොට්ස්කි: ඡායාරූපමය චරිතාපදානයක්, 1986), The Commissar Vanishes: The Falsification of Photographs and Art in Stalin’s Russia (කොමිසාර් අන්තර්ධාන වෙයි: ස්ටැලින්ගේ රුසියාව තුල සේයා රූ හා සිතුවම් මුසාකරනය වීම, 1997), Odinery Citizens: The Victims of Stalin (සාමාන්‍ය වැසියෝ: ස්ටැලින්ගේ ගොදුරු, 2003) සහ Red Star Over Russia: A Visual History of the Soviet Union from the Revolution to the Death of Stalin (රුසියාවට ඉහලින් පෑයූ රතු තරුව: විප්ලවයේ සිට ස්ටැලින්ගේ මරනය තෙක් සෝවියට් සංගමයේ දෘශ්‍ය කලාමය ඉතිහාසය, 2009).

spread2008 දී පැවති සම්මුඛ සාකච්ඡාවක දී, රුසියානු විප්ලවය පිලිබඳ සත්‍යය අනාවරනය කරමින් කිං සඳහන් කල පරිදි, ට්‍රොට්ස්කිගේ භූමිකාව සහ ස්ටැලින්වාදයේ නැගීම හතලිස් වසරකට පෙර කලාකාර කතුවරයා හට "ඊට ම ඔබින ජීවිතයක්” හිමි කර දුනි. "එය තදබල ලාලසාවක් බවට පත් විය. එය මා ජීවත් කර වී ය. මගේ දිවිය අඛන්ඩව පවත්වාගෙන යනුයේ මේ ඉතිහාස නිරාවරනය මගිනි.”

රුසියානු විප්ලවීය පෝස්ටර් කෘතිය මෙකී ජීවිතකාලීන ප‍්‍රයත්නයෙහි කොටසකි. නව ග‍්‍රන්ථයෙහි අඩංගු බොහෝ පින්තූර චිත්තාකර්ශනීය වුව කිංගේ සටහන් ද සැලකිය යුතු ලෙස ඊට දායක වී ඇත. සංස්කාරක කතුවරයා සිය සංඥාපනයෙහිලා මෙසේ ලියයි: "1918 සිට 1920 දක්වා සමාජවාදය කෙරෙහි සහානුභූතික වූ පෝස්ටර් සිත්තරුන් හා මෝස්තර ශිල්පීන් දෙසීයකට අධික පිරිසක්(1) අතින් බොල්ෂෙවික් විප්ලවය ආරක්ෂා කරනුව හිමධාවයක් බඳු දේශපාලන පෝස්ටර් තොගයක් නිර්මානය කෙරුනි. ඒවා ඉතිහාසය තුල බිහි වූ ශ්‍රේෂ්ඨතම පෝස්ටර් ලෙස බහුලව පිලිගැනේ.

එවක පල වූ අද්විතීය හා අමිල කෘතියක් වන යැචෙස්ලාව් පොලොන්ස්කි විසින් සම්පාදිත The Russian Revolutionary Poster ( රුසියානු විප්ලවීය පෝස්ටරය, 1925) සොයා ගැනුමට තමා සමර්ථ වූ අන්දම කිං මහත් අභිරුචියෙන් යුතුව විස්තර කරයි: "දේශපාලනික වර්න පෝස්ටර්වල ප‍්‍රතිනිර්මාන සහ සිත් කලඹවන ප‍්‍රචාරක දුම්රියවල ඡායාරූප අඩංගු එය විශාල ප‍්‍රමානයේ රුසියානු ඇල්බමයකි.”(2)

රුසියානු සමාජවාදීන්ගේ අපූර්ව පරපුරට අයත් වූ ද, බොල්ෂෙවික්වාදීන්ගේ නිර්මානශීලී අධ්‍යක්ෂවරයා වූ ද පොලොන්ස්කි ගැන යමක් සඳහන් කිරීමට ද කිං ඉදිරිපත් වේ. ට්‍රොට්ස්කිගේ Literature and Revolution (සාහිත්‍යය හා විප්ලවය) [1924] කෘතිය අගය කල තැනැත්තෙකු වූ පොලොන්ස්කි, විප්ලවීය පෝස්ටර් පිලිබඳ සිය අධිකාරීමය කෘතියට ස්ටැලින්ගේ එකදු පින්තූරයක් හෝ ඇතුලත් නොකලේ ය. ට්‍රොට්ස්කි පිටුවහල් කෙරුනු පසුව, ප‍්‍රති-විප්ලවීය වැඩකටයුතුවල නියැලී යයි චෝදනා කරමින් පොලොන්ස්කි නිහඬ කෙරුනි. ඔහු 1932 දී උන සන්නිපාතය වැලඳී මිය ගියේ ය.

spreadවිටෙක, ප‍්‍රතිරූපමය පෝස්ටර් නිර්මානය කලා වූ ඇතැම් කලාකරුවන් ගැන ද කිං විස්තර කරයි. නිදසුනක් ලෙස, දිමිති‍්‍ර මුවර් දෙවසරක් තුල (1919-20), කීර්තිධර Death to World Imperialism (ලෝක අධිරාජ්‍යවාදයට මරනය) ද ඇතුලු විප්ලවීය පෝස්ටර් 50ක් චිත‍්‍රනය කලේ ය (මෙය ග‍්‍රන්ථයට ඇතුලත් කෙරී ඇත). කිං නිරීක්ෂනය කරන පරිදි, මෙකී පෝස්ටරය නිර්මානය කෙරුනේ, "හරියට, කිසියම් ඔපෙරාවක කූටප‍්‍රාප්තිය මෙනි.”

කිං සාකච්ඡා කරන තවත් තැනැත්තෙකු වනුයේ ඩෙනී(3) නමැති කලාකරු ය. පිත්තෝන්මාදයට හා විෂාදයට පත් මොහු ද සිවිල් යුද සමයෙහි විප්ලවීය පෝස්ටර් 50ක් පමන චිත‍්‍රනය කලේ ය. ග‍්‍රන්ථයේ වත්මන් වෙලුමෙහි අඩංගු Capital (ප‍්‍රාග්ධනය) සහ A Pig Trained in Paris (පැරිසියෙහි පුහුනුව ලද සූකරයෙක්) බඳු මේ ඇතැම් නිර්මාන "වරක් නැරඹූ කල්හි කිසි කලෙක අමතක නොවේ.”

මෙහිදී සාකච්ඡාකල නොහැකි තරම් පින්තූර රාශියක් නව ග‍්‍රන්ථයෙහි හමුවෙයි. එල්. ලිසිට්ස්කි 1920දී මනරම් ලෙස ප්‍රතිනිර්මානය කල පෝස්ටරය Beat the Whites with the Red Wedge (රතු කූඤ්ඤයෙන් සුදු හමුදාව පරදවමු) ද ඒ අතර වෙයි. ඔක්තෝබර් විප්ලවයෙන් හා ලෝක සමාජවාදී පිලිවෙතින් ආවේශය ලද කලාකරුවන්ගේ කැපවීම හා ලාලසාව මෙහි පිටුවක් පිටුවක් පාසා දැක ගත හැක.

ස්ටැලින්වාදය යටතේ සෝවියට් සංගමයෙහි පිරිහීම පෝස්ටර් මගින් ප‍්‍රකාශයට පත් වූ අයුරු ද කිංගේ කෘතියෙන් අනාවරනය කෙරේ. 1920 ගනන් මැද දී මුලින් ම කලඑලියට ආවේ "ලෙනින් ලබ්ධිය” යි. 1924 දී මිය ගිය ලෙනින් කිනම් අයුරක වුව චාටු ප‍්‍රශංසාවලට අකමැති වූ අතර ඔහු ජීවත්ව සිටියේ නම් එය තුච්ඡ කොට සලකන්ට ඉඩ තිබුනි. 1930 ගනන්හි දී, කිං ලියන පරිදි, "මෙය, ස්ටැලින් විසින් ම දියත් කෙරුනු වඩා භයංකර ‘ස්ටැලින් ලබ්ධිය’ බවට හැරුනි.”

spread"ස්ටැලින් ලබ්ධියෙහි ප‍්‍රබලතම ප‍්‍රචාරකයා වූයේ පෝස්ටර් ශිල්පියෙකු බවට පත් සිත්තරා ගුස්ටාව් ක්ලූට්සිස් වග අවිවාදාත්මක මෙන්ම උත්ප‍්‍රාසජනක ය. දෘශ්‍ය කලාව විෂයෙහි ස්ටැලින් මිථ්‍යොක්තියට නැංවීමෙහිලා ඔහු දැවැන්ත වැඩ කොටසක් ඉටු කලේ ය. පසුව, ආඥාදායකයා විසින් ඔහු වෙඩි තබා මරා දමන ලදී. ක්ලූට්සිස්ගේ නිර්මාන රැුසක් උදාහරන වශයෙන් නව ග‍්‍රන්ථයෙහි දක්වා ඇත.

ස්වකීය සංඥාපනයට අමතරව, එක් එක් පින්තූරය පිලිබඳව කිං ක්ෂුද්‍ර රචනා ස්වරූපයේ ප‍්‍රතිවේධී විස්තරකථන ඉදිරිපත් කරයි. නිදසුන: "රුසියා-පෝලන්ත යුද්ධය (1920) සමයෙහි ප‍්‍රකාශිත, ට්‍රොට්ස්කිගේ පඨිතයක් රැගත් දිමිති‍්‍ර මුවර්ගේ Be on Guard! (සුපරික්ෂාරී වන්න) පෝස්ටරය – රතු අශ්වාරෝහක හමුදාවේ සෙබලෙක් පෝලන්ත ඉඩම් හිමියන් මත සිය බූට් සපත්තුව තබනුයේ, අවට ගැවසෙන පෝලන්ත, එස්තෝනියානු, ලැට්වියානු හා රුසියානු ධනපතීන් තර්ජනයක් විය හැකි බවට ලකුනු තිබියදී ය... රතු හමුදාවේ ප‍්‍රති-ප‍්‍රහාර පෝලන්ත දේශ සීමාවේ දී නතර කල යුතු යයි ට්‍රොට්ස්කි ලෙනින්ට උපදෙස් දුනි. සෝවියට් පෝලන්තයක් පිලිබඳව විශ්වාසය තබමින් ලෙනින් ඊට එකඟ නොවී ය. එහෙත්, එය එසේ සිදු වූයේ නැත.”

මේ පෝස්ටර් සංස්කෘතික හා ස්වස්ථතාමය ප‍්‍රශ්න පිලිබඳව ද ජනතාවට අනුශාසනා සපයයි: ගොවියෙකුගේ දෑකැත්තක් රැඳි අතකින් පිටු පෙරලුනු පුස්තකයකි. මේ 1920 පෝස්ටරයෙහි කොටසක මෙලෙස ලියැවී ඇත: "වැඩියෙන් නිපදවීමට නම් ඔබ වැඩියෙන් දැන ගත යුතු ය.”(4)

වඩාත් ආවේගශීලී පෝස්ටර් අතරින් සමහරක් ආමන්ත‍්‍රනය කරනුයේ සෝවියට් ජනගහනයේ පීඩිත ස්ථර – වැඩ කරන ස්ත‍්‍රීන්, ගොවීන් හා නැගෙනහිර ජනයා හට ය. කිං සටහන් කරන පරිදි, නිකොලායි කොචර්ගින්ගේ 1921 පෝස්ටරයෙහි ටාටර් බසින් කියැවෙනුයේ "සාක්ෂරතාව, දේශපාලනය හා රැකියා ඔස්සේ තමන් වෙත විමුක්තිය රැගෙන ආ රුසියානු සහෝදරියන් හට මුස්ලිම් ස්තී‍්‍රහු සිය ආචාරය පුද කරත්” යනුවෙනි.

සෑම අතින් ම, මේ වනාහි නැතිව ම බැරි කෘතියකි.

පරිවර්තකගේ සටහන්:

1. මේ අය පොදුවේ සෝවියට් ඇජිට්ප්‍රොප් (Agitprop) කලාකරුවන් ලෙස හැඳින්වෙයි.

2. විචිත‍්‍ර ලෙස සරසන ලද බොල්ෂෙවික් ප‍්‍රචාරක දුම්රිය එවක රුසියාවෙහි සුලබ දසුනක් විය.

3. වික්ටර් නිකොලායෙවිච් ඩෙනිසොව් (1893-1946)

4. ඇලෙක්සැන්ඩර් නිකොලායෙවිච් සෙලෙන්ස්කි (1882-1942) විසින් නිර්මිත ය.

Share this article: