ඇතන්ස්හි උමං මාර්ග වැඩවර්ජනයේ දේශපාලන පාඩම්

Political lessons of the Athens subway strike

29 January 2013

ඇතන්ස්හි උමං මාර්ග කම්කරුවන්ගේ වැඩවර්ජනයට එරෙහිව යොදන ලද කුරිරු රාජ්‍ය මර්දනය ජාත්‍යන්තර කම්කරු පන්තියට කෙරෙන පැහැදිලි අනතුරු ඇඟවීමකි.

ජනවාරි 17දා ග්‍රීක ආන්ඩුව වැඩවර්ජිත අගනුවර කම්කරුවන්ට එරෙහිව යුද නීතිය පනවමින් සිර භාරයට ගැනීමේ තර්ජනය යටතේ ආපසු වැඩට යාමට බල කලේය. පසුදා උදෑසන සිය ගනනක පොලිසිය මධ්‍යම උමං මධ්‍යස්ථානයට කඩාවැදී කම්කරුවන් 10 දෙනෙක් අත්අඬංඟුවට ගත් අතර එක් අයෙකුට තුවාල සිදු කලේය. 20දා වන විට ආන්ඩුව අනෙකුත් රජයේ ප්‍රවාහන සේවකයින්ගේ සහයෝගිතා වැඩවර්ජන නීති විරෝධී බව ප්‍රකා කලේය.

උමං මාර්ග කම්කරුවන්ගේ වැඩවර්ජනය, යුරෝපීය සංගමය විසින් පනවනු ලැබ, නව ප්‍රජාතන්ත්‍රයේ නායකත්වයෙන් යුත් සභාග ආන්ඩුව විසින් ක්‍රියාවට නගන ලද ග්‍රීක කම්කරුවන්ගේ ජීවන තත්වයන්ට එරෙහි පුලුල් ප්‍රහාරය කෙරෙහි පලවූ මහජන විරෝධයේ ප්‍රකාශනයකි. නොවැම්බරයේ පනවන ලද නවතම කප්පාදු පැකේජය යටතේ රාජ්‍ය අංශයේ කම්කරු වැටුප් සියයට 25 දක්වා කැපීම ඉල්ලා සිටියේය.

උමං මාර්ග කම්කරු අරගලය, ජනගහනයේ පුලුල් කොටස් දුප්පත්කමට ඇද දමන නිමක් නැති කප්පාදු වටයන්ට අභියෝගයක් ලෙස පලල් වශයෙන් දැකගෙන තිබුනි. එබැවින් ඊට කම්කරු පන්තිය තුල පෘතුල සහයෝගයක් පලවිය.

උමං මාර්ග කම්කරුවන්ට එරෙහිව ග්‍රීක පාලක පන්තිය යොදාගත් හදිසි නීති බලතල හා රාජ්‍ය ප්‍රචන්ඩත්වය, යුරෝපීය සංඟමය හා බැංකු මගින් පනවන ලද නියෝග වලට පලවූ විරුද්ධත්වය බලහත්කාරයෙන් බිඳ දැමීමේ එහි අරමුන පැහැදිලි කලේය. කොන්සවේටිව් අගමැති ඇන්ටෝනිස් සමරාස්, ඉදිරි වැඩවර්ජනයන්ට එරෙහිව ද එවැනිම පියවර ගන්නා බව දැනටමත් කියා ඇත.

සීමිත වැඩවර්ජන හා විරෝධතා මගින් රාජ්‍ය පිලිවෙත් වෙනස් කල හැකි බවට පලව තිබුනු සියලු ප්‍රකාශ කුඩුපට්ටම් වී ගොසිනි.

යුරෝපීය පරිමානයේ කප්පාදු වැඩසටහන් ආරම්භවූ 2010 වසරේදී ග්‍රීක ට්‍රක්රථ රියදුරන්, ස්පාඤ්ඤ ප්‍රවාහන පාලකයින් හා ප්‍රන්ස තෙල් පිරිපහදු කම්කරුවන් විසින් ගෙනගිය ප්‍රධාන වැඩවර්ජන බොහොමයක් අවසන් වූයේ පොලිසියේ හා හමුදාවේ මැදිහත් වීමෙනි.

සිදුවෙමින් ඇත්තේ පන්ති සම්බන්ධතාවන්ගේ ඓතිහාසික පරිවර්තනයකි. සෝසසසං බිඳවැටීමෙන් දශක දෙකකට පසුව යුරෝපීය පාලක පන්තිය, කම්කරු පන්තිය අනාගත දුගී භාවයටත් සමාජ කාලකන්නිකමටත් ඇද දමමින් සිටියි. කම්කරු පන්තියේ සාමුහික ප්‍රතිරෝධයේ සියලු රූපාකාරයන් තලා දැමීමටත් ඒවාට එරෙහිව ප්‍රචන්ඩත්වය මුදාහැරීමටත් හිංසාකාරී රාජ්‍ය යාන්ත්‍රනය වඩ වඩාත් යොදාගනිමින් තිබේ.

වෘත්තීය සමිති හා ව්‍යාජ වාම බලවේග ඇතන්ස් නාගරික වැඩවර්ජනය කුඩුකර දැමීමත් සමග වහාම යටත්වීම මගින් සලකුනු කලේ, මෙම සංවිධාන හෙලිදරව් කිරීමට හා ඔවුන් කම්කරු පන්තිය මත පවත්වන බලපෑම බිඳ දැමීමට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගෙනයන අරගලයේ වැදගත්කමයි. ඔවුන් උත්සාහ කරන්නේ, කම්කරුවන්ගේ අරගල නිෂ්ක්‍රීය, සංකේතාත්මක විරෝධතාවන්ට සීමාකර තැබීමටය.

කම්කරු පන්තියට සිය කාර්මික ශක්තිය සාර්ථකව බලමුලුගැන්විය හැක්කේ, නව සංවිධාන හා නායකත්වයක් ගොඩනගමින්, අරගල වෘත්තීය සමිති හා ඒවායේ ව්‍යාජ වාම සහචරයින් වෙතින් සියතට ගෙන මෙහෙයවීම මගින් පමනි. වැඩවර්ජන හා අනෙකුත් මහජන ක්‍රියා, ආන්ඩුව බිඳ දැමීමටත්, එය සමාජවාදී පිලිවෙත් මත පදනම්වූ කම්කරුවන්ගේ ආන්ඩුවකින් විස්ථාපනය කිරීමටත් යොමුකල යුතුය.

යුද නීතිය ප්‍රකාශකල වහාම ග්‍රීක නාගරික කම්කරුවන්ගේ සෙල්මා වෘත්තීය සමිතිය, වර්ජනය අත්හිටවූ අතර වර්ජකයින් වැඩට යායුතු යයි කියා සිටියේය. සිය යටත්වීම වසංකර ගැනීමේ උත්සාහයක් ලෙස ඔවුහු වැඩවර්ජන බිඳීමේ පියවරයන්ට එරෙහිව අධිකරනයේ පිහිට පතන බව නිවේදනය කලහ.

විරෝධය පලකරන බව ඇඟවීම පිනිස අනෙකුත් නාගරික සමිති, සහයෝගය පලකිරීමේ සීමිත වැඩවර්ජන කැඳවුම් කලහ. සිවිල් සේවා සම්මේලනය හෙවත් ඇඩිඩි යන ප්‍රධාන සමිති සමුලුව හා ජීසී හෙවත් ග්‍රීක කම්කරුවන්ගේ පොදු සමුලුව වර්ජන බිඳීම විවේචනය කල නමුත් සිය ප්‍රතිචාරය පෙබරවාරියේ මුල පවත්වන බවට නිවේදනය කල 24 පැයේ සංකේත වර්ජනයකට සීමා කලහ.

සමිති, කම්කරුවන්ගේ ජීවන තත්වයන් කාබාසීනියා කිරීම සඳහා සහාය දී තිබේ. යුරෝපීය සංගමයේ පන්ති යුද්ධයේ සමාජ න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරන ලද අපකීර්තිමත් ආන්ඩු පෙලක්ම පෙරලා දැමීම සඳහා කම්කරු පන්තිය දේශපාලනිකව බලමුලු ගැන්වීම, ඔවුන් ප්‍රතික්ෂේපකොට තිබුනි. ඔවුන් සූදානම් වූයේ වැඩිම වුනොත් සීමිත සංකේත වර්ජන සංවිධානය කරමින්, කම්කරු පන්තියේ විරුද්ධත්වය අත්අඩංඟුවට ගෙන වාෂ්පකර දැමීමටය.

ආන්ඩුව යුද නීතිය පනවනු ලැබුවේම, කම්කරු පන්තියේ විරුද්ධත්වය විසුරුවා හැරීමට, සමිති කටයුතු කරනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුවය.

ආන්ඩුවේ තවත් ප්‍රධාන අනුචරයෙක් වූයේ ග්‍රීසියේ ආනකුත් ව්‍යාජ වාම කන්ඩායම් සමග එක්වූ රැඩිකල් වමේ සභාගය වන සිරිසාවයි. පසුගිය ජූනි මැතිවරනයේදී සිරිසා සමාජ කප්පාදු පිලිබඳ සීමිත විවේචන ගෙන එමින්, පොදු ජනතා විරෝධය ගසාකෑමට උත්සාහ කලේය. එය සියයට 27ක ඡන්ද ලබාගනිමින් ප්‍රබලම විපක්ෂය ලෙස මතුව ආවේය. කෙසේ වෙතත් ඒ අවධියේ පවා සිරිසා, ධනපති රාජ්‍යයට හා යුරෝපීය සංඟමයට සිය සහාය පලකල අතර ඒවායේ හිඟ පියවීමේ ප්‍රතිපත්ති වල සීමිත වෙනස්කම් යෝජනා කලේය.

එතැන් පටන් සිරිසාව, තව තවත් දකුනට සේන්දුවී තිබේ. ඒ සමගම නාගරික කම්කරුවන්ගේ වැඩවර්ජනය රාජ්‍යයේ ප්‍රහාරයට මුහුනපා තිබියදී එහි නායක සිප්රාස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (ජාමූඅ) හා ඇමරිකානු පාලක පැලැන්තියට තම පක්ෂය "විශ්වාසකටයුතු සහචරයෙක්” බව හගිස්සවීම සඳහා එක්සත් ජනපදයේ සංචාරයක යෙදී සිටියේය. නිව් යෝර්ක්හි පැවති මාධ්‍ය සමුලුවකදී ඔහු අර්බුදයට උමං මාර්ග කම්කරුවන් ද වගකිවයුතු බව ඇඟවුම් කරමින්, ග්‍රීක ආන්ඩුවේ පියවර විවේචනයට ලක් කලේය.

කම්කරු පන්තියේ අරගල පිලිබඳ සිය සතුරුකම ප්‍රදර්ශනය කරමින් ඔහු මෙසේ පැවසීය. "අපගේ රටට අවශ්‍ය අන්තිම දේ නම්, ආතතීන් හා සමාජ ගැටුම් පැතිරයාමයි.”

සිය පක්ෂ අනුචරයෙක් හා සිරිසාහි නියෝජ්‍ය පාර්ලිමේන්තු නායක ඩිමිට්‍රිස් පැපැන්ඩිමොයුලිස් ඊටත් වඩා කෙලින් කථා කලේය. වසර ගනනාවක් වරප්‍රසාද භුක්ති විඳි බව පවසමින් ඔහු, ගුවන් විදුලි වැඩසටහනකදී නාඟරික කම්කරුවන්ට දොස් පැවරීය. සිරිසාවට වැඩවර්ජනය සමග කිසිදු සම්බන්ධයක් නැතැයි ඔහු අවධාරනය කලේය.

වෘත්තීය සමිති හා ව්‍යාජ වම්මුන්ගේ සතුරු ආකල්ප පෙන්නුම් කරන්නේ, සිය අයිතීන් අරක්ෂා කිරීමේදී කම්කරුවෝ රාජ්‍ය යාන්ත්‍රනයට පමනක් නොව සමිති හා ඒවායේ ව්‍යාජ වාම අනුචරයින් ද ඇතුලු එහි ද්වීයීතික ඒජන්සිවලට ද මුහුනදී සිටින බවයි.

වර්ජනය කිරීමේ අයිතිය ද ඇතුලු අත්‍යවශ්‍ය සමාජ අවශ්‍යතා පිලිබඳ අයිතීන් ආරක්ෂා කිරීමේදී, වැඩකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර පාලනය යටතේ ප්‍රධාන සංගත හා බැංකු ජනසතු කිරීමට කැපවූ, කම්කරුවන්ගේ ආන්ඩුවක් පිහිටුවීම අරමුනු කරගත්, කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීමක් ඉල්ලා සිටියි.

එවන් අරගලයක් සාර්ථක වනු ඇත්තේ. ධනේශ්වර ක්‍රමයට, එහි රාජ්‍ය යාන්ත්‍රනයට හා වෘත්තීය සමිති නිලධරය තුල සිටින හා ව්‍යාජ වාම සංවිධානවල එහි ආරක්ෂකයින්ට ද එරෙහිව මෙහෙයවන, කම්කරුවන්ගේ යුරෝපීය හා ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසක් ලෙස පමනි. යුරෝපීය සමාජවාදී සමූහාන්ඩු සංගමයක ඉදිරිදර්ශනය සහිතව යුරෝපීය සංගමයට විරුද්ධ වන විප්ලවවාදී පක්ෂයක් ලෙස ජාත්‍යන්තර කමිටුව ගොඩනැඟීම එමගින් ඉල්ලා සිටියි.

ක්‍රිස්ටෝෆ් ඩ්‍රියර්

Share this article: