නිව් යෝර්ක් නාගරික පාසල් බස් වැඩ වර්ජනය සන්ධිස්ථානයක

New York City school bus strike at the crossroads

31 January 2013

දැනට තුන්වන සතියට ඇතුලු වී තිබෙන 9,000ක් නිව් යෝර්ක් නාගරික පාසල් බස් රියදුරන්, මෙට‍්‍රන් වරුන් සහ කාර්මිකයන්ගේ වැඩ වර්ජනය තීරනාත්මක සන්ධිස්ථානයකට එලඹ ඇත.

නගරාධිපති මයිකල් බ්ලූම්බර්ග් රැකියා සුරක්ෂිතතා සහ ජ්‍යෙෂ්ඨතා ප‍්‍රතිපාදන ඉරා දැමීමට ගත් පියවරවලට එරෙහිව ජනවාරි මැද දී වැඩ වර්ජනය ට බට පාසල් සේවකයන් ප‍්‍රකාශයට පත් කරන්නේ මුලු රටපුරා ම කම්කරුවන් තුල පැසෙමින් පවත්නා විරෝධයයි.

මෙම අරගලය ඇමරිකාව තුල මූලික පන්ති බෙදීම් එලිදරව් කර ඇත. හුදෙක් තමන්ගේ ජීවිත පමනක් නොව පොදු අධ්‍යාපනයේ අනාගතය ද ආරක්ෂා කිරීම සඳහා සටන් වැද සමස්ත කම්කරු පන්තිය වෙනුවෙන් ම නැගී සිටින බස් රියදුරන් එක් පැත්ත ක ය; අනෙක් පැත්තේ ඉන්නේ බස් කම්කරුවන්ට එරෙහි ප‍්‍රහාරය කම්කරු පන්තියේ සෑම කොටසකට ම එරෙහි ප‍්‍රහාරයේ කොටසක් බව දක්නා බ්ලූම්බර්ග් ය. මහා සංගත-පාලිත මාධ්‍යයන් ද ඩිමොක‍්‍රටික් පාක්ෂිකයන් ද රිපබ්ලිකන් පාක්ෂිකයන් ද ඇතුලු සමස්ත දේශපාලන සංස්ථාපිතය ම බ්ලූම්බර්ග්ට පිටුපසින් පෙල ගැසී සිටිති.

ෆොර්බ්ස් ආයතනය විසින් සකස් කරනු ලබන ඇමරිකාවේ මහා ධනපති ලැයිස්තුවේ මුදුනේ දහවන තැන ගෙන ඉන්නා ඩොලර් බිලියන 25ක ධනය හිමි මෙම තැනැත්තා ලෝකයේ වඩාත් වියදම් සහිත නගරයෙහි ඩොලර් 35,000 වැටුපක් ලබන බස් සේවකයාගේ පඩිය උවමනාවට වැඩිය යි කීමේ පුදුමය විසින් පෙන්නුම් කරනු ලබන්නේ ඇමරිකාව තුල පන්ති සම්බන්ධතාවල හැබෑ සැටියයි.

මෑතක සිට, සමහර බස් කොම්පැනි හොරිකඩයන් ගෙනෙන්නට පටන් ගෙන ඇත. ඇමල්ගමේටඩ් ට‍්‍රාන්සිට් යුනියන් (ඒටීයු) වෘත්තීය සමිතිය මීට දක්වන ප‍්‍රතිචාරය නම් පාසල් බස්රියදුරන් ගුරුවරුන් ඇතුලු අනෙකුත් නාගරික කම්කරුවන් ගෙන් තනි කරන අතර හාම්පුතුන්ට දරුනු සහන දීමෙන් වැඩවර්ජනය අවසන් කිරීමේ තම පිලිවෙත ඉදිරිය ට ගෙන යාමය.

බදාදා පැවැත්වුනු පුවත් පත් සාකච්ඡාවක දී වෘත්තීය සමිති කියා සිටියේ දවස් 60 සිට 90ව දක්වා කම්කරුවන් ආපසු වැඩට යවා "ඇල් මරන” ඉසුඹුවක් ඇති කොට, සමිතිය ද කොම්පැනි ද නගර සභාව ද අතර විකල්ප "වියදම් කැපීම” ගැන කතා කරගත යුතු බව ය. එහෙත් මෙම ස්ට‍්‍රයිකය බිඳීම මගින් කම්කරුවන්ගේ ප‍්‍රතිරෝධය කුඩුකොට සෙසු කම්කරුවන් බියපත් කිරීම ට කල්බලන නගර සභා අධිකාරීහු සමිතියේ මෙම යෝජනාව පවා ප‍්‍රතික්ෂේප කලෝ ය.

වත්මන් සේවා කොන්ත‍්‍රාත්තුව අවසන් වන ජුනි මාසය තෙක් වර්ජනය දිග්ගැසීමට ඉඩ දී, ඊට පසු, නගර සභාව සරලව ම අලුත් කම්කරුවන් බඳවා ගන්නා බව බ්ලූම්බර්ග් කියා ඇත. ඒ සමග ම වැඩවර්ජනය බලෙන් නවත්වන ලෙස කොම්පැනි ගනනාවක් ජාතික කම්කරු සම්බන්ධතා මන්ඩලය ට කර ඇති ඉල්ලීම පිලිබඳ තීන්දුව වැඩ වර්ජනය හමාර කරනු ඇති බවද අපේක්ෂා කෙරේ.

නගර සභාවේ ප‍්‍රහාරයට විරුද්ධව නැගී සිටින බස් සේවකයන් ඉමහත් ධෛර්යයක් පෙන්නුම් කර ඇත. එහෙත් වැඩ වර්ජනය දැනට යන පාරේ ගියොත් සාර්ථක කර ගත හැකි වනු නැත.

බස්වලින් දරුවන් ප‍්‍රවාහනය කිරීම සහ දරුවන්ට උගැන්වීම වැනි මෙතරම් අවශ්‍ය සේවාවක් කරන කම්කරු පිරිසකට පහරදීම ගැන තමන් කම්පා වී සිටින බව බොහෝ වැඩ වර්ජකයෝ පිකට් ලයින්වල දී ප‍්‍රකාශ කලහ. එහෙත් ඉන් පෙන්නුම් කෙරෙන්නේ ධනවාදයේ ද ඇමරිකානු සමාජය මත ආධිපාත්‍යය දරන්නා වූ මුල්‍ය වංශාධිපාත්‍යයේ ද සැබෑ හැටියයි. බ්ලූම්බර් වැනි මූල්‍ය පරපුට්ටෝ පොදු සම්පත් කොල්ල කමින්, වැටුප් කපා දමමින් ඉමහත් ධනයක් ගොඩ ගසාගෙන සිටිති. ලෝක මුල්‍ය පද්ධතියේ ස්නායු කේන්ද්‍රය වූ නිව් යෝර්කය තරම් අන් කිසි නගරයක් මෙම සමාජ ගතිකය නියෝජනය කරන්නේ නැත. 2008 වර්ෂයේ දී පුපුරා ගිය ආර්ථික අර්බුදය මුල්‍ය සමපේක්ෂනයේ ද අපරාධකාරිත්වයේ ද ප‍්‍රතිවිපාකය ය. බැංකු කාරයන්ගේ පොන්සි මගඩි බිඳ වටුනු විට ජනාධිපති බුෂ් සහ ජනාධිපති ඔබාමා බදු ගෙවන්නන් ගේ මුදල් වියදම් කොට ඔවුන් ගලවා ගත්හ.

බ්ලූම්බර්ග් ගේ පිටුපසින් ඉන්නේ රට පුරා ම පොදු අධ්‍යාපනයට ද පාසල් සේවකයින්ගේ අයිතීන්ට ද එරෙහි නිර්දය යුද්ධයක් ගෙන යමින් සිටින සමස්ත මහා සංගත සහ දේශපාලන සංස්ථාපිතය ය.

පසුගිය සතියේ නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත ඔබාමාගේ ඩිමොක‍්‍රටික් පාක්ෂික පාලනාධිකාරය වෙනුවෙන් කතා කරමින්, වැඩ වර්ජකයින් ට ජයදී පසු නොබසින ලෙස මුලු නගරයෙන් ඉල්ලා සිටියේ ය.

සමාජවාදී සමානතා පක්ෂය

Share this article: