ශ්‍රී ලංකාවේ ආන්ඩුව විදුලිය, තෙල් හා ජලය පුද්ගලීකරනය කඩිනම් කිරීමට සැරසෙයි

By W.A. Sunil, 04 February 2013

ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම), ඛනිජ තෙල් සංස්ථාව සහ ජාතික ජල සම්පාදන හා ජල අපවහන මන්ඩලය ඇතුලු රාජ්‍ය අංශයේ ප්‍රධාන ආයතන පුද්ගලීකරනය කඩිනම් කිරීමට ආන්ඩුව තීන්දු කර ඇති බව මුදල් හා සැලසුම් නියෝජ්‍ය ඇමති සරත් අමුනුගම මෑත දී කල ප්‍රකාශයකින් එලිදරව් වී තිබේ.

ජනවාරි 22 දා අමුනුගම මෙම ප්‍රකාශය කලේ, මහජන උපයෝගිතා කොමිසමේ උත්සවයක් අමතමිනි. ''චීනය, ඉන්දියාව වැනි ආර්ථික යෝධයන් ඇතුලුව, ලෝකය ආර්ථික අර්බුදයකට මුහුන දී ඇති'' බවත් එම තතු තුල විදේශ ආයෝජකයන් ආකර්ෂනය කර ගැනීම සදහා ''ශ්‍රී ලංකාවේ සෑම පාර්ශවයක් ම තරඟකාරී විය යුතු'' බවත් ඔහු එහි දී ප්‍රකාශ කලේ ය. ඒ සදහා ''ආර්ථිකයේ පදනම් ලෙස සලකනු ලබන ලංකා විදුලි බල මන්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව සහ ජාතික ජල සම්පාදන හා ජල අපවහන මන්ඩලය'' වැනි ''රාජ්‍ය ආයතන පුද්ගලික අංශය සමග කටයුතු කල යුතු'' යයි ඔහු අවධාරනය කලේ ය.

ලංවිම හා තෙල් සංස්ථාව පාඩු ලැබීම මෙම ප්‍රතිසංස්කරනවලට මුලික හේතුව බව ආන්ඩුව කියයි. වාර්තාවන ආකාරයට ලංවිම වර්තමාන අලාබය දිනකට රුපියල් මිලියන 167 කි. ලංවිම සහ තෙල් සංස්ථාව 2012 ලැබූ මුලු පාඩුව පිලිවෙලින් රුපියල් බිලියන 65 සහ 95 කි.

පාඩුව මුලිකව අමුනුගම සඳහන් කරන ලෝක ආර්ථික අර්බුදයේ ම ප්‍රතිපලයක් වන අතර පුද්ගලීකරනය කඩිනම් කිරීම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජමුඅ) සහ ලෝක බැංකුවේ නියෝගවලට අනුකූලව ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව ගෙන ඇති තීන්දුවකි. රාජ්‍ය වියදම් කප්පාදුවේ කොටසක් ලෙස රාජ්‍ය ආයතන පුද්ගලීකරනය නොපමාව ක්‍රියාවට දමන ලෙස මෙම ජාත්‍යන්තර බැංකු ආන්ඩුවට දිගට ම බලපෑම් කලෝ ය. විශේෂයෙන් ම අමුනුගම සඳහන් කල ආයතන සහ ඊට අමතරව දුම්රිය හා ලංගම ආන්ඩුවේ අරමුදල්වලින් යැපීම අහෝසිකොට, ඒවා තමන් උපයන ආදායමෙන් නඩත්තු වන ලාබ ලබන ආයතන බවට පරිවර්තනය කල යුතු යයි ජාත්‍යන්තර බැංකු දිගට ම අවධාරනය කලේ ය.

අමුනුගමගේ ප්‍රකාශයෙන් පසුව, ලංවිම ''පුද්ගලීකරනය නොකරන'' බවට හිටපු විදුලිබල ඇමති චම්පික රනවක දෙපිටකාට්ටු ප්‍රකාශයක් කලත් ලංවිම ලාබදායක රාජ්‍ය ආයතනයක් බවට පරිවර්තනය කිරීම සදහා ඊට ''යම් නිශ්චිත පරිපාලන ප්‍රතිසංස්කරන හඳුන්වා දිය යුතු'' බව ඔහු අවධාරනය කලේ ය. ''පරිපාලන ප්‍රතිසංස්කරන'' යන්නට මුවා වී ලංවිම පුද්ගලීකරන සැලසුම් සේවකයන්ගෙන් වසන් කිරීමට ඇමති රනවක උත්සාහ කල ද ඊනියා පරිපාලන ප්‍රතිසංස්කරන යනු පුද්ගලීකරනයට පාවිච්චි කරන ආදේශක නමක් පමනි. ටෙලිකොම්, රක්ෂණ සංස්ථාව ඇතුලු රාජ්‍ය ආයතන පුද්ගලීකරනය කෙරුනේ ''පරිපාලන ප්‍රතිසංස්කරන'' හෙවත් පරිපාලනය පුද්ගලික අංශයට පැවරීම හරහා ය.

අමාත්‍ය මන්ඩල සංශෝධනයේ දී ඇමති රනවක හා ඛනිජ තෙල් ඇමති සුසිල් ප්‍රේමජයන්ත ඉවත් කොට ඒ වෙනුවට පවිත්‍රා වන්නිආරච්චි විදුලිබල අමාත්‍යවරිය ලෙසත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඛනිජ තෙල් ඇමති ලෙසත් පත් කිරීම ද නිශ්චිත ඇඟවුම් සහිත ය. ප්‍රේමජයන්ත ද විදුලිබල හා බලශක්ති සහ ඛනිජ තෙල් ඇමතිකම් දරද්දී එම ආයතන පුද්ලීකරනය නොකරන බවට කම්කරුවන් නොමග යැවීමේ සටකපට කතා කී අයෙකි. ආන්ඩුවට දැන් අවශ්‍යව ඇත්තේ කිසිදු වැනීමකින් හෝ කල්මැරීමකින් තොරව ජාත්‍යන්තර බැංකු විසින් නිර්දේශිත පිලිවෙත නිර්දය ලෙස ක්‍රියාවට දැමීම ය. වන්නිආරච්චි හා අබේවර්ධන ඒ කටයුත්තට වඩා සුදුසු යයි ආන්ඩුව තීන්දු කොට තිබේ.

පුද්ගලීකරනය කඩිනම් කිරීමේ ආණ්ඩුවේ සැලැසුම් එලියට දැමීමත් සමග එයට එරෙහිව කම්කරුවන්ගෙන් මතුවිය හැකි බලගතු විරෝධයකට වලකැපීම සඳහා විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙක, එක්සත් ජාතික පක්ෂය (එජාප) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), සහ ජවිපෙට සම්බන්ධ ලංකා විදුලි සේවක සංගමය (ලංවිසේස) වැඩට බැස සිටිති. මෙම පක්ෂ හා වෘත්තීය සමිති පෙරමුන වැඩේට අත ගසා තිබෙන්නේ නාස්තිය, දුෂනය නැතිකොට මෙම ආයතන කාර්යක්ෂම හා ලාබ උපයන ආයතන බවට පත් කිරීම සම්බන්ධව ආණ්ඩුවට උපදෙස් දෙන මහදැනමුත්තන් රොත්තක් ලෙසිනි.

ලංවිම ගැන සඳහන් කරමින් ආන්ඩුව එකවර පාඩුව මහජනයා මත පටවන්නේ නැතිව මහජනයාට ''කරුනු පැහැදිලි කරමින් එය කල යුතු'' යයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හා ආර්ථික විශ්ලේෂක හර්ෂ ද සිල්වා යෝජනා කරයි. 2002 ප්‍රතිසංස්කරන පනතත් සමග එජාපය මිල සූත්‍රයක් හඳුන්වා දුන් බව මතක් කරමින් එය ක්‍රියාවට දැමීම වර්තමාන ''ආන්ඩුව ප්‍රතික්ෂේප'' කිරීම ගැන සිල්වා ආන්ඩුවට චෝදනා කරයි.

රාජ්‍ය ආයතනවල අලාබය පියවා ගැනීම සඳහා ඇති ''එක ම මග ආන්ඩුව ස්වේච්ඡාවෙන් දේශපාලන හා මුල්‍ය දුෂනයත් වංචාවත් අඩු කිරීම'' බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ජනවාරි 28 දා දි අයිලන්ඩ් පත්‍රයට ප්‍රකාශ කර තිබේ.

ලංවිම වෘත්තීය සමිති ඉදිරිපත් කරන්නේ ද ඒ හා සමාන ආස්ථානයකි. අමුනුගමගේ ප්‍රකාශය දැඩි ලෙස හෙලා දකින බවත් ලංවිම පුද්ගලීකරනයට කිසිසේත් ම ඉඩ නොදෙන බවත් ලංවිම වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුනේ කැඳවුම්කරු හා ලංවිසේස ලේකම් රන්ජන් ජයලාල් මාධ්‍යයට ප්‍රකාශ කර ඇත. එහෙත් වර්තමාන කලමනාකරනය නිසා ලංවිම බරපතල මුල්‍ය අර්බුදයකට මුහුන දී ඇති බවත් එම නිසා එය ''ප්‍රතිසංස්කරනය'' කල යුතු බවත් ඔහු කියයි.

සුපුරුදු බොරු ගෝරනාඩුව පසෙක ලූ කල ජයලාල්ගේ ප්‍රකාශය පෙන්නුම් කරන්නේ ලංවිම ''ප්‍රතිසංස්කරනය'' සඳහා ආන්ඩුව සහ ලංවිම බලධාරීන් සමග සහයෝගයෙන් වැඩකිරීමට ලංවිම සමිතිවල ඇති සුදානම යි.

පසුගිය වසර කිහිපය පුරා මෙම සමිති පෙරමුන, ආන්ඩුව හා ලංවිම බලධාරීන් සමග අනියම් ලෙස කෝපරේට්වාදී ගනුදෙනුවක යෙදී සිටියහ. 2009 ලංවිම ප්‍රතිසංස්කරන පනත ආන්ඩුව විසින් සම්මත කර ගැනීමේ දී ද ඒ යටතේ ක්‍රියාවට දැමුනු ප්‍රතිව්‍යුහකරනයන් සහ කම්කරුවන්ගේ වැටුප් හා සේවා කොන්දේසිවලට එල්ල වූ ප්‍රහාරවලදී ද ඔවුන්ගේ අරගල හැකි තරම් සීමාකර හා දුර්වල කර අවසානයේ විසුරුවාලීමට ජයලාල් හා ලංවිම සමිති පෙරමුන කටයුතු කලහ. ඒ සඳහා මෑත ම උදාහරනය, පසුගිය අගෝස්තු මාසයේ වැටුප් හා සේවා කොන්දේසි සම්බන්ධ අරගලය යි. ජයලාල් ප්‍රමුඛ සමිති පෙරමුනේ නිලධාරීන් ලංවිම බලධාරීන් හා කම්කරු කොමසාරිස් සමග ගිවිසුමකට යටත් කොට එම අරගලය පාවාදුන්හ. (බලන්න: ලංවිම සමිති වර්ජනය පාවා දෙති) ලංවිම ''රැක ගැනීමේ'' නමින් ආන්ඩුව සහ ලංවිම බලධාරීන් සමග දැන් ඍජු කෝපරේට්වාදී ගනුදෙනුවකට යාමට සමිති පෙරමුනේ ඇති සුදානම ජයලාල්ගේ ප්‍රකාශයෙන් ඇඟවුම් කෙරෙයි.

ලංවිම අර්බුදය එජාප, ජවිපෙ සහ ලංවිම සමිති පෙරමුන කියන ආකාරයට හුදෙක් දුෂ්පරිපාලනයේ හා මුල්‍ය දූෂනයේ ප්‍රතිවිපාකයක් නොවේ; ගැඹුරුවන ලෝක ආර්ථික අර්බුදය නිසා ලංකාවේ ආර්ථික අර්බුදය තීව්‍ර වීමේ ප්‍රතිපලයකි. රාජපක්ෂ ආන්ඩුව, අනෙක් සෑම රටක ම මෙන් ම ක්‍රියාවට දමමින් සිටින්නේ, කප්පාදු පිලිවෙත් හා පුද්ගලීකරනය ඇතුලු ඊනියා ආර්ථික ප්‍රතිසංස්කරන හරහා එම අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීම යි.

එජාපයට හෝ ජවිපෙට ආන්ඩුවේ පිලිවෙත් ගැන මූලික මතභේදයක් නැත. ඔවුන්ට මතභේද පවතින්නේ කම්කරු පන්තියේ ප්‍රතිරෝධය දුර්මුඛ කොට එය ක්‍රියාවට දමන්නේ කෙසේ ද යන්න ගැන පමනි.

ලංවිම පුද්ගලීකරනය කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවට රන්ජන් ජයලාල් කරන තර්ජනය හුදෙක් බොරු ගෝරනාඩුවක් පමනි. 2009 මාර්තු මාසයේ ද ලංවිම ප්‍රතිසංස්කරන පනත සම්මත වීමට පෙර ලංවිම කම්කරුවන් විවිධාකාර විරෝධතාවලට මෙහෙය වූ ජයලාල් හා සමිති පෙරමුනේ සෙසු නායකයෝ පනත සම්මත වූ පසු ''සම්මත වුනාට ක්‍රියාවට දමන්න ඉඩ දෙන්නේ නැතැ'' යි කියමින් කම්කරුවන්ගේ අරගලය පාවා දුන්හ.

ලංවිම ප්‍රතිසංස්කරන පනතට අනුව, ලංවිම සමග තරඟකාරී පදනමක කටයුතු කිරීම සඳහා විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය හා බෙදා හැරීම යන සෑම අංශයක් ම පුද්ගලික අංශයට, සමුපකාර හා පලාත් පාලන ආයතනවලට පැවරිය හැකි ය. මේ වැඩපිලිවෙල ආන්ඩුව දැනටමත් ක්‍රියාවට දමා තිබේ.

මෙහිදී දුෂ්ඨත ම ක්‍රියා කලාපය ඉටුකලේ, නව සම සමාජ පක්ෂය හා එවකට එය විසින් පාලනය කල ලංවිම බිල් ලිපිකරුවන්ගේ සංගමය යි. ආන්ඩුව කම්කරුවන්ගේ ඇස්වලට වැලි ගැසීම සඳහා, පනතේ ''අහිතකර වගන්ති'' සංශෝධනය කරන බව පවසා ලංවිම පාලනයෙන් සියයට 51 ආන්ඩුව අතේ තබා ගැනීමට සංශෝධිත පනත යටතේ පියවර ගැනීම, කලින් පනතට වඩා ''අඩු නපුරක්'' යයි පවසමින් ඔව්හු එයට සහයෝගය දුන්හ.

ආන්ඩුව ලෝක ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීමේ සැලසුම් වේගවත් කිරීමත් සමග එය වඩ වඩා නැඹුරුවෙමින් සිටින්නේ, කම්කරු අයිතීන් මුළුමනින් ම තලා දැමීමේ පොලිස් රාජ්‍යයක් දිශාවට ය. එබැවින්, පුද්ගලීකරනයට එරෙහි අරගලය ඉල්ලා සිටින්නේ රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ දේශපාලන ප්‍රතිප්‍රහාරයක් සූදානම් කිරීමේ අවශ්‍යතාව යි. එනම් ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ හා මෙරට මහා ව්‍යාපාරිකයන්ගේ උපකරනයක් ලෙස ක්‍රියාත්මක වන, රාජපක්ෂ ආන්ඩුව ප්‍රමුඛ ධනපති පන්ති පාලනය පෙරලා දමා කම්කරු පන්තියේ අවශ්‍යතා සඳහා කැප වූ, සමාජවාදී ආර්ථික පිළිවෙතක් ක්‍රියාවට දමන, කම්කරු-ගොවි ආන්ඩුවක් කරා පෙරට කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම යි.

එජාප, ජවිපෙ, වෘත්තීය සමිති සහ නසසප වැනි ව්‍යාජ වම්මු එවන් අරගලයකට මුළුමනින් ම හතුරු බව දැනටමත් ඔප්පු කොට තිබේ. කම්කරු පන්තියට නව නායකත්වයක් අවශ්‍ය ය. ඒ, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පාදක වූ විප්ලවවාදී පක්ෂයකි. ඒ සඳහා සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි. සසපට බැඳී එය කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩ නගන්න.

Share this article: