සතියක් තුල විකල්පයක් තෝරා ගන්නා ලෙස කොම්පඤ්ඤවීදියේ නිවැසියන්ට ගෝඨාභය රාජපක්ෂ තර්ජනය කරයි

Kalpa Fernando, 16 February 2013

කොම්පඤ්ඤ වීදිය ප‍්‍රතිසංවර්ධන ව්‍යාපෘතිය යටතේ එම ප‍්‍රදේශයෙන් ඉවත් කෙරෙන පවුල් 500 කට නාගරික සංවර්ධන අධිකාරිය (නාසඅ) විසින් ඉදිරිපත් කොට ඇති ''විකල්පයන්ගෙන්" එකක් තෝරා ගැනීමට සතියක කාලයක් පමනක් ලබා දෙන බවට නාසඅ හා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ 28 වනදා කොලඹ පැවති රැස්වීමක දී තර්ජනය කලේ ය.

රජය නිමවා දෙන තාවකාලික නිවසක පදිංචි වීම, රජයේ ඉඩමක තමා විසින් ඉදිකරගත් නිවසක තාවකාලිකව පදිංචි වීම, නිවාස ඉදි කෙරෙන තුරු රජය විසින් ලබා දෙන මුදලක් ගෙන කුලී නිවසක පදිංචි වීම හා ඉඩමේ වටිනාකමට රජයෙන් මුදල් ගෙන ඉවත් වීම නාසඅ ඉදිරිපත් කොට ඇති විකල්පයන් ය.

කොලඹ නගරයේ පැල්පත්වාසී දුගී පවුල් 70,000 කට නිවාස අහිමි කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ආන්ඩුව දරන වෑයම පිලිබඳව එක දිගට අනතුරු ඇඟවූ සමාජවාදී සමානතා පක්ෂය (සසප) ගෝඨාභය රාජපක්ෂගේ මෙම තර්ජනයත් විකල්පත් එක හෙලා ප‍්‍රතික්ෂේප කරන ලෙස කොම්පඤ්ඤ වීදියේ නිවාස අහිමි වීමට නියමිත ජනතාවගෙන් ඉල්ලා සිටී.

පැල්පත් වාසීන් ඉවත් කිරීම, කොලඔ නගරය දකුනු ආසියාවේ වානිජ හා සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ පුලුල් සැලැස්මේ කොටසකි. රාජපක්ෂ ආන්ඩුවේ ආර්ථික පිලිවෙතේ ප‍්‍රධාන එල්ලය වන්නේ, ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ ගසා කෑමට ඉඩ විවෘත කර එමගින් දේශීය ධනපති පන්තියේ වරප‍්‍රසාද රැක ගැනීම යි.

මෙම රුදුරු සැලසුම් යටතේ කොම්පඤ්ඤ වීදිය දුම්රිය පොල අසල දුගී ජනයා ජීවත් වන අක්කර 8 ක පමන භූමි භාගයක් ඉන්දීය ටාටා සමාගම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 460 කට විකුනා තිබේ. මෙහි ඉදි කෙරෙන සුපිරි නිවාස හා වෙලෙඳ සංකීර්න ව්‍යාපෘතිය සඳහා ගිවිසුම අත්සන් කෙරුනේ පසුගිය මාර්තු මාසයේ දී ය.

අක්කර අටෙන් පහක් ව්‍යාපෘතිය සඳහා වෙන් කෙරෙන බවත් ඉඩම් වලින් ඉවත් කෙරෙන පවුල් සඳහා ටාටා සමාගමේ වියදමින් ඉතිරි අක්කර තුනෙහි තට්ටු නිවාස ඉදි කෙරෙන බවත් නාසඅ පවසා ඇත.

පසුගිය කාලයේ දී ටාටා සමාගම හා නාසඅ කොම්පඤ්ඤ වීදියේ මෙම පවුල් හමු වී නාගරික සංවර්ධනයේ වැදගත්කම හා ''ආසියාවේ ආශ්චර්යයේ" ප‍්‍රාතිහාර්යය පිලිබඳව රැස්වීම් පවත්වා ඔලු සේදීමේ වැඩපිලිවෙලක් ද දියත් කර තිබේ.

කොම්පඤ්ඤ වීදියේ නිවැසියන් ඉවත් කිරීම ඔවුන්ගේ මූලික අයිතියක් උල්ලංඝනය කිරීමක් මෙන් ම ජීවන හා සමාජ කොන්දේසි වලට එරෙහි ව එල්ල කෙරෙන දරුනු පහරකි. අති බහුතරය දුගීන් වන ඔවුන්ගෙන් කොටසක් කම්කරු පවුල් වන අතර අනෙක් අය සුලු වෙලඳාමෙන් දිවි රැක ගනිති.

අවුරුදු තුනකින් මෙම ප‍්‍රදේශයේ ම නිවාස ලබා දෙන බවට නාසඅ කියන මෙම කතාව නිවැසියන්ගේ විරෝධය මකා දැමීමට ගෙතූ බේගලයකි. රාජපක්ෂ ආන්ඩුවේ බේගල් පොරොන්දු පිලිබඳ අත් දැකීම් ඇති ප‍්‍රදේශයේ ජනයාගෙන් බොහොමයක් මෙම පොරොන්දුව පිලිබඳව ද විශ්වාසයක් නොතබන අතර තම නිවෙස් වලින් පලවා හැරීම පිලිබඳව ඔවුන්ගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයකි.

මෙම ජනවාරි 28 වන දා පැවති නාසඅයේ රැස්වීමට සහභාගි වූ ජාවා ලේන් හි දෙදරු පියෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) මෙසේ පැවසී ය: ''ගෝඨාභය රාජපක්ෂ අපිට කිව්වේ සතියයි කල් දෙන්නේ කියලා. මේවා අපේ පරම්පරා ගනනාවක් ජීවත්වුනු ඉඩම්. අපි කොහෙද යන්නෙ? අපි එහෙම යන්නෙ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරනයේ අපි නඩුවක් දාලා තියෙනවා ඒක ගැනත් දැන් නම් ඒ හැටි විශ්වාසයක් නැහැ. උසාවිය කිව්වේ යූඩීඒ එකත් එක්ක සාකච්ඡා කරලා සම්මුතිය උසාවියට දන්වන්න කියලා. අපේ දරුවො වෙනුවෙන් මරාගෙන මැරෙන්නයි සිද්ද වෙන්නෙ."

ජාවා ලේන් හි පදිංචිකරුවෙකු බි‍්‍රස්ටල් වීදියේ පිහිටි තම කඩ කාමරය කඩා ඉවත් කිරීම පිලිබඳව ලෝසවෙඅ ට මෙසේ ප‍්‍රකාශ කලේ ය: ''අපටකිසි දැනුම් දීමක් කලේ නැහැ. බැකෝ දාලා කඩ කඩනකොට මම හිටියේ ගෙදර මගේ මුලු පවුල ම ජීවත් වුනේ කඩයේ ආදායමෙන්. කරපු රස්සාවත් නැති කරලා දැන් ගෙදරිනුත් එලවනවා. මිනිස්සු තේරුම් ගන්න ඕනෙ ආන්ඩුවේ ආශ්චර්ය කියන්නෙ බඩට පහර වදින එක කියලා.''

කොලඹ බි‍්‍රස්ටල් වීදියේ අනවසර යැයි නම් කල කඩ 20ක් ද බැස්ටියන් මාවතේ කඩ කාමර 100 කට වැඩි ප‍්‍රමානයක් ද මිලිටරිය හා පොලීසිය ලවා බැකෝ යන්ත‍්‍ර යොදා ගනිමින් මෑතක දී කඩා දැමුනි. බැස්ටියන් මාවතේ පිහිටි ඉන්ධන පිරවුම්හල පවා ඉවත් කරන ලෙස දන්වා තිබෙන බව එහි සේවකයෙක් ලෝසවෙඅ ට පැවසී ය.

දුගී ජනයාගේ ජීවිත සමතලා කෙරෙන මෙම ව්‍යාපෘති සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාසඅ මාධ්‍යට ප‍්‍රකාශ කලේ, අගනුවර ලස්සන කිරීමේ සැලැස්ම යටතේ මාර්ග පුලුල් කිරීමටත් බේරේ වැව පිරිසිදු කර එහි හංස බෝට්ටු යෙදවීමටත් සැලසුම් කර තිබෙන බව යි.

රාජපක්ෂ ආන්ඩුව රුපියල් මිලියන ගනන් මුදල් යොදවා සංචාරක ආකර්ෂනය ලබා ගැනීමටත් ධනපති පන්තියේ ජීවන තත්ත්වයන් ඉහල දැමීමටත් කොලඹ අලංකාර කිරීමේ ව්‍යාපෘතිය වේගවත් කර ඇත. මේ යටතේ කොලඹ තුරඟ තරග පිටිය ප‍්‍රතිසංස්කරනය කොට එහි කොටස් ව්‍යාපාරිකයන්ට පවරා තිබේ. මෙම ව්‍යාපෘති කඩිනම් කර ඇතත් පැල්පත් වාසීන් සඳහා නිවාස ඉදිකිරීම වසර ගනන් කල් දමා ඇත.

මේ අතර ජනතාව අතර වැඩෙන විරෝධය හා කෝපය ගසා කෑමට එක්සත් ජාතික පක්ෂය (එජාපය) වැඩට බැස ගෙන ඇත. එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජීව සේනසිංහ ප‍්‍රදේශයට කඩාපාත් වී නිවාස අහිමි වන ජනතාව නඩුවකට කොටු කොට විරෝධය වාෂ්ප කිරීමේ තැතක යෙදී සිටී.

පසුගිය සැප්තැම්බර් 13 වන දා ශ්‍රේෂ්ඨාධිකරනය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කලේ ය. එජාපය මෙය සුවිශේෂී ජයග‍්‍රහනයක් ලෙස උලුප්පා දැක්වූ නමුත් අවසානයේ දී සිදුව ඇත්තේ, ආන්ඩුවේ පිලිවෙත සමග සම්මුතියකට යාමට ශ්‍රේෂ්ඨාධිකරනය විසින් උපදෙස් දීම යි.

2011 ඔක්තෝබර් 8 දින පැවැත්වූ පලාත් පාලන මැතිවරනයේ දී ආන්ඩුවේ නිවාස කැඩීමේ පිලිවෙතට විරුද්ධ බවක් මවා පෙන්වා කොලඹ නගරාධිපති ධුරයට පත්වූ ඒ.ජේ.එම්. මුසම්මිල්, ''මහජනයා ආන්ඩුව සමග සහයෝගයෙන්" කි‍්‍රයා කල යුතු බව පවසමින් නිවාස අහිමි කිරීමේ ආන්ඩුවේ පිලිවෙත මුලුමනින් ම අනුමත කරයි.

ඔහු ජනවාරි 27 සන්ඩේ ඔබ්සවර් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පැවසුවේ, ''අපව විරුද්ධ පක්ෂයෙන් තෝරා පත් කරනු ලැබූවත්, නගරය අලංකරනය කිරීමේ ව්‍යාපෘතියට නාගරික සංවර්ධන මන්ඩලය සමගත්, පොලීසිය සමග හා අනෙකුත් ආයතන සමගත් අපි සහයෝගීව කටයුතු කරන්නෙමු" යනුවෙනි. ''නගරය අයිතිවන්නේ ජනතාවට පමනක් නොව මුලුමහත් රටට ම ය. මෙම නගරය දියුනු කලොත් එය සංචාරක කර්මාන්තය සඳහා ද අයෝජකයන්ට සහ අනිකුත් ආයතනයන්ට ද සුබදායක ය," ඔහු තවදුරටත් කියා සිටියේ ය.

රාජපක්ෂ ආන්ඩුවේ ආර්ථික පිලිවෙත සමග කවර හෝ මත භේදයක් එජාපයට නොමැත. 1977 වෙලෙඳ පොල විවෘත ආර්ථික පිලිවෙත ආරම්භ කරමින් කොලඹ වානිජ්‍ය නගරයක් බවට පත් කිරීමේ සැලසුම් සකස් කලේ එජාපය යි. 28 වන දා පැවති නාසඅයේ රැස්වීමට සහභාගි වූ එජාපයේ කොලඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් හා සුජීව සේනසිංහ, ගෝඨාභය රාජපක්ෂගේ තර්ජනය ඉදිරියේ කවර හෝ විරුද්ධත්වයක් පල නොකලේ මෙය ඔවුන්ගේ ද පිලිවෙත වන බැවිනි.

සසප එකදිගට ම අවධාරනය කලේ, කොලඹ පැල්පත් ඉවත් කිරීම ධනේශ්වර අර්බුදයේ බර කම්කරුවන් ඇතුලු අවශේෂ පීඩිතයන් මත පැටවීම සඳහා රාජපක්ෂ ආන්ඩුව ගෙන යන සමස්ත ප‍්‍රහාරයක කොටසක් වන බව හා තම නිවාස අයිතිය ආරක්ෂා කිරීමට කම්කරු පන්තිය ස්වාධීනව මෙහෙයවා ගත යුතු බව යි.

කොම්පඤ්ඤවීදියේ ප‍්‍රහාරයට ලක් ව සිටින නිවැසියන්ගෙන් ද කොලඹ නගරයේ අවශේෂ පැල්පත්වාසීන්ගෙන් ද සසප ඉල්ලා සිටින්නේ, ධනපති පක්ෂ වලින් ස්වාධීනව සමාජවාදී ප‍්‍රතිපත්ති මත පාදක වූ ක‍්‍රියාකාරී කමිටු ගොඩ නගා සෙසු කම්කරුවන්ගේ හා ජනයාගේ සහයෝගය දිනා ගනිමින් තම නිවාස අයිතිය තහවුරු කර ගැනීමේ අරගලය ඉදිරියට ගෙන යාමට පෙරට එන ලෙස යි. ඒ සඳහා අවශ්‍ය දේශපාලන නායකත්වය ලබා දීමට සසප සූදානම් ය.

Share this article: